අභිධර්මාර්ථ ප්‍රදීපිකා

14. විපාක ප්‍රත්‍යය

විපාකයෝ නම් පැසීමට පැමිණියාවූ ධර්මයෝයි. මේ විපාක ධර්මයෝ ඉතා සාන්තය. දානාදීවූ කුසල ක්‍රියාවක් හෝ ප්‍රාණඝාතාදීවූ අකුසල ක්‍රියාවක් හෝ සිදුකිරීමට අසමර්‍ත්‍ථය. මේ විපාක චිත්ත චෛතසිකයෝ අතීත කුසලාකුසල කර්මයන්ගේ විපාක වශයෙන් උපදනා ධර්මයෝය. එහෙයින්ම නිරුත්සාහ භාවයෙන් යුක්තය. නිරුත්සාහ භාවය නිසාම ශාන්තද වෙති. රහතන් වහන්සේගේ සිත ක්ලේශ ප්‍රහාණය කරණකොටගෙන ශාන්තවේ. නමුත් විපාක චිත්තයන්ගේ ශාන්ත භාවය නිරුත්සාහ භාවයෙන්ම සිදුවන්නකි. ශාන්තවූ ඒ විපාක චිත්තයන් නිසා උපදනා චෛතසික ධර්මයෝද ශාන්ත වෙති. සිත චෛතසිකයනට තමාගේ නිරුත්සාහ ශාන්ත භාවය දෙන්නාක් මෙන් චෛතසිකයෝද, චිත්තයට තමන්ගේ නිරුත්සාහ ශාන්ත භාවය දෙති. ශාන්තවූ මේ විපාක චිත්තය නිසා උපදනාවූ රූපයෝද ශාන්ත වෙති. එහෙයින් ඒ චිත්තජ රූපයන්ට ශරීරය සෙළවීම් ආදි ක්‍රියාවන් සිදු කිරීමට ශක්තියක් නැත. එබැවින් විපාක ධර්මයෝ ඔවුනොවුන්ට හා සහජාත ධර්මයන්ටද ශාන්ත භාවය ගැන්වීම් වශයෙන් උපකාර වන හෙයින් විපාක ප්‍රත්‍යය ධර්‍මයෝ යයි කියනු ලැබේ.