අභිධර්මාර්ථ ප්‍රදීපිකා

13. කර්‍ම ප්‍රත්‍යය

කර්‍මය යනු චේතනාවට නමෙකි. සියලුම එකුන් අනූ චිත්තයන්හි යෙදෙන, සබ්බචිත්ත සාධාරණ චෛතසිකයකි. යම්කිසි අරමුණක් ගෙන සිතක් උපදනා කල්හි, ඒ චිත්තයෙන් කරනු ලබන යම් කිසි ක්‍රියාවෙක් වේ නම් ඒ ක්‍රියාව සිදුකිරීමට උපකාර වන පරිද්දෙන් අනිකුදු චෛතසික ධර්මයන් උපදවා ගෙන මේ චේතනා චෛතසිකය ඒ සිතත් හා සමගම උපදී. එපමණක් නොව ඇතැම් විටෙක රූප ධර්මයෝද උපදවයි. එහෙයින්, සහජාත රූපාරූප ධර්මයනුත් උපදවාගෙන නොයෙක් ක්‍රියාවන් කිරීමෙහි ශක්තියක් මේ කර්‍ම නම්වූ චේතනා චෛතසිකයට ඇති බව කියන ලදී.

තවද, නොයෙක් කුසලාකුසල කර්ම සිදුකිරීමේදී, ඒ චිත්තය හා සමග උපදනා චේතනාව තමා උපදනා අවස්ථාවෙන් අන්‍යවූ අවස්ථාවක අනාගතයෙහි රූපාරූප ධර්මයන් උපදවයි. දානමය පුණ්‍යකර්මයක් සිදුකිරීමේදී කාමාවචර මහා කුසල් සිතක් උපදී. ඒ සිත හා සමගම ඒ දානමය පින්කම කිරීමට චිත්තප්‍රයෝගය හෙවත් උත්සාහවත් කිරීම් වශයෙන් චේතනා චෛතසිකය අනිකුදු චෛතසික ධර්මයන් හා රූප ධර්මයන්ද උපදවාගෙන උපදියි. එයින් දානමය පින්කම සිදුවේ. මෙහිදී ඒ සිත උපදින ක්‍ෂණයෙහි සහජාතව උපදනා අනිකුදු රූපාරූප ධර්මයන්ට කර්ම නම් වූ මේ චේතනාව සහජාත කර්‍ම ප්‍රත්‍යයයෙන් උපකාර වේ. තවද, මේ කුසල චේතනාව බලවත් වේ නම් අනාගතයේදී විපාක වශයෙන් නොයෙක් රූපාරූප ධර්මයන් ඉපදවීමේ ශක්තියක් ද ඉතිරි කොට ඒ චෙතනාව නිරුද්ධ වේ. ඒ භේතුවෙන් මරණින් මතු දෙව් මිනිස් සුගතියෙහි උපදනා කල්හි මේ චෙතනාවගේ අනාගත විපාක ශක්තිය වශයෙන් පටිසන්‍ධි චිත්තයද, කර්මජ රූප කලාපයෝ ද, ප්‍රවෘත්ති විපාකයෝ ද ඇතිවෙත්. මෙයට නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය යයි කියනු ලැබේ.

මෙසේ කර්ම ප්‍රත්‍යය සහජාත කර්ම ප්‍රත්‍යය, නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය යයි ද්විවිධ වේ.

තමා උපදනා කෙණෙහිම රූපාරූප ධර්මයන් උපද වන චෙතනාව සහජාත කර්ම ප්‍රත්‍යය වේ.

තමා උපදනා අවස්ථාවෙන් අන්‍යවූ අවස්ථාවක අනාගත යෙහි රූපාරූප ධර්මයන් උපදවන චෙතනාව නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය වේ. නානා ක්‍ෂණික කර්මය නම්වූ මේ අතීත චෙතනාව, ප්‍රතිසන්‍ධි භවාඞ්ගාදී චිත්තයන් හා කර්මජ රූපයන් හටගැනීමට භේතු වන බව දතයුතු.