12. ආසේවන ප්‍රත්‍යය
ප්රත්යොත්පන්න ධර්මය නැවත නැවත සේවනය කරන්නේය යන අර්ත්ථයෙන්ද, ප්රත්යොත්පන්නයා විසින් නැවත නැවත සේවනය කරනු ලබන්නේය යන අර්ත්ථයෙන්ද ආසේවන නම් වේ. අනතුරුව උපදනා තමාගේ ජාතියට අයත් චිත්තය වඩා බලවත් කිරීමටත් තමාගේ ස්වභාවය ගැන්වීමටත් සමත් බව ආසේවන ශක්තිය වේ. මෙසේ අනතුරු චිත්තය බලවත් කිරීමට ශක්තිය ඇත්තේ ජවන් සිත්වලට පමණය. විපාක සිත් ස්වභාවයෙන්ම දුර්වල හෙයින් එහි ආසේවන ශක්තියක් නැත. ජවන් සිත්වලද, සමාන ජාතික වුවද, සමාන වේදනා ඇති සිතක්ම විය යුතු. අන් වේදනාවකින් යුක්ත සිතකට ආසේවන ප්‍රත්‍යය නොවේ.
කාමාවචර කුසල චිත්තය තමාට අනතුරුව උපදනා වූ වේදනා වශයෙන් නොවෙනස්වූ කාමාවචර කුසල චිත්තයට ආසේවන ප්‍රත්‍යය වේ.
කාමාවචර ඥානසම්ප්‍රයුක්ත කුසල චිත්තයෝ වේදනා වශයෙන් තමන් හා සමාන වූ රූපාවචර, අරූපාවචර, ලෝකොත්තර කුසල චිත්තයන්ට ආසේවන ශක්තියෙන් ප්‍රත්‍යය වෙති.
රූපාවචර කුසලයෝ තමන් හා සමාන රූපාවචර කුසලයන්ටද, අරූපාවචර කුසලයෝ තමන් හා සමාන අරූපාවචර කුසලයන්ටද ආසේවන ප්‍රත්‍යය වෙති.
ලෝකොත්තර කුසල චිත්තයට අනතුරුව නැවත ලෝකොත්තර කුසල චිත්තයක් නූපදනා හෙයින් එහි ආසේවන ප්‍රත්‍යයක් නැත.
අකුසල චිත්තයෝ වේදනාදී වශයෙන් තමන් හා සමාන වූ අකුසල චිත්තයන්ටම ආසේවන ප්‍රත්‍යය වෙති.
කාමාවචර ක්‍රියා චිත්තයෝ වේදනාදී වශයෙන් තමන් හා සමාන වූ කාමාවචර ක්‍රියා චිත්තයන්ට ආසේවන ප්‍රත්‍යය වෙති.
ඥානසම්ප්‍රයුක්ත ක්‍රියා චිත්තයෝ වේදනාදී වශයෙන් තමන් හා සමාන වූ රූපාවචර අරූපාවචර ක්‍රියා චිත්තයන්ටද ආසේවන ප්‍රත්‍යය වෙති.
රූපාවචර ක්‍රියා චිත්තයෝ තමන් හා සමාන වූ රූපාවචර ක්‍රියා චිත්තයන්ට ආසේවන ප්‍රත්‍යය වෙති.
අරූපාවචර ක්‍රියා චිත්තයෝ තමන් හා සමාන අරූපාවචර ක්‍රියා චිත්තයන්ට ආසේවන ප්‍රත්‍යය වෙති.
කුසලාදී චිත්තයන් අතුරෙන් ආසේවන ප්‍රත්‍යය ලැබූ චිත්තයෝ එය නොලැබූ චිත්තයන්ට වඩා බලවත් වෙති.