අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පච්ඡාජාත ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය.

පච්ඡාජාත ප්‍රත්‍යය වන ධර්මයෝ නම්:

අරූප විපාක සතර හැර ප්‍රථම භවඞ්ගාදී පශ්චිම පශ්චිම වූ සිත් පස් අසූවය. චෛතසික දෙපනසය (52) - යන නාම ධර්මයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්

ප්‍රතිසන්‍ධි ආදී පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණියා වූ එකජකාය, ද්විජකාය, ත්‍රිජකාය, චතුජකාය යන රූප ධර්මයෝයි.

ප්‍රත්‍යනීක ධර්මයෝ නම්-

එකුන් අනූ (89) චිත්තය,

චෛතසික දෙපනසය (52),

පශ්චිම පශ්චිම චිත්තයන් හා උපදනා චිත්තජ රූපයෝය,

බාහිර රූපයෝය,

ආහාරජ රූපයෝය,

සෘතුජ රූපයෝය,

අසංඥසත්ත්‍ව කර්මජ රූපයෝය,

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය.

යන මේ නාමරූප ධර්මයෝයි.

පශ්චාජ්ජාත ප්‍රත්‍යය පිළිබඳ විසජ්ජන වාර හෙවත් වීථි තුනෙකි.

1. වීථිය

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම් පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන කුසල නාමස්කන්‍ධයෝය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්: වොට්ඨපන, මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණෙන තිජකාය, චතුජ කායයන්ට ඇතුළත් රූප ධර්මයෝයි.

මෙහි අනුවාද වශයෙන්,

පච්ඡාජාතා කුසලාඛන්‍ධා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො.

(පසුව පසුව උපදනා එක්විසි කුසල් සිත් හා අටතිස් චෛතසිකයෝ පූර්‍ව පූර්‍ව වූ වොට්ඨපන මනොද්වාරාවජ්ජනාදී චිත්තයන් හා ඉපිද ස්ථිතිප්‍රාප්තවූ තිජ, චතුජ ආදී ප්‍රභෙද වත්වූ මේ කයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

කුසල් සිත් උපදනේ ජවන් සිත් වශයෙනි. පඤ්චද්වාර චිත්ත වීථියක් වේ නම් කුසල ජවනයට පූර්‍වයෙහි උපදින්නේ වොට්ඨපන චිත්තයයි. මනොද්වාර වීථියෙහි නම් කුසල ජවනයට පූර්‍වයෙහි මනොද්වාරාවජ්ජන චිත්තය උපදී. ඒ ක්‍රියා චිත්තය සමඟ ඉපිද ස්ථිතිප්‍රාප්තවූ රූපයනට කුසල නාමස්කන්ධයෝ පච්ඡාජාත ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

2. වීථිය

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො.

(අකුසල නාමස්කන්ධයෝ අව්‍යාකෘත ධර්‍මයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අව්‍යාකෘත ධර්‍මයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්‍මයෝ නම්, අකුසල් සිත් දොළොස සහ චෛතසික සත්විස්සය ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම් වොට්ඨපන මනොචාරාවජ්ජනාදී පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණෙන තිජකාය, චතුජ කායයන්ට ඇතුළත් රූප ධර්‍මයෝයි.

මෙහි අනුවාද වශයෙන්,

පච්ඡාජාතා කුසලාඛන්‍ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො

(පසුව පසුව උපදනා දොළොස් අකුසල් සිත් හා සත්විසි චෛතසිකයෝ, පූර්‍ව පූර්‍ව වූ වොට්ඨපන මනොචාරාවජ්ජනාදී චිත්තයන් හා ඉපිද ස්ථිතිප්‍රාප්ත වූ තිජ චතුජ ආදී වූ මේ කයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.

3. වීථිය

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

මෙහි අව්‍යාකෘත ධර්‍මයට පච්ඡාජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:

ප්‍රතිසන්ධි ආදී පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපිද ස්ථිතිප්‍රාප්තවූ එකජ, විජ, තිජ, චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ප්‍රථම භවඞ්ගාදී පශ්චිම පශ්චිම වූ විපාක සිත් දෙතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන අව්‍යාකෘත ධර්‍මයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:

ප්‍රතිසන්ධි ආදී පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි එකජ, විජ, තිජ, චතුජ කායයන් වූ රූප ධර්‍මයෝ යි.

මෙහිදී එක්වර ලැබෙන පච්ඡාජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතරෙන් පච්ඡාජාත ශක්තියම ලැබේ.