6. සහජාත ප්‍රත්‍යය
සියළුම නාම රූප ධර්මයෝ උපදනා කල්හි අන්‍ය ධර්මයන් හා එක්ව, සමූහ වශයෙන් මිස, හුදකලාව නූපදිති. එසේ සමූහ වශයෙන් උපදනා ධර්මයන් අතුරෙන් එක් එක් ධර්මයක් තමා හා උපදනා අන්‍ය ධර්මයන්ගේ ඉපදීමටද උපකාර වේ. මේ උපකාරක ශක්ති විශේෂයට සහජාත ප්‍රත්‍ය ශක්තිය යයි කියනු ලැබේ. එබැවින් එක්ව ඉපදීම වශයෙන් අන්‍ය ධර්මයන්ගේ ඉපැද්මට ද මේ සහජාත ප්‍රත්‍යය ශක්තිය උපකාර වේ. එක්ව උපදනා ධර්ම රාශියට අයත් සියළුම ධර්ම ඔවුනොවුන්ට සහජාත වශයෙන් ප්‍රත්‍යවන බව දතයුතු. සහජාත ප්‍රත්‍යයවන ආකාරය දැක්වීමේ පහසුව සඳහා අරූප ධර්ම සමූහය ස්කන්ධ වශයෙන් සතර කොටසකට බෙදා දක්වනු ලැබේ. එනම්: වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය යන ස්කන්ධ සතරය. මෙයින් එක් ස්කන්ධයක් ඉතිරි ස්කන්ධ තුනට ද, ඉතිරි ස්කන්ධ තුන ඒ එක් ස්කන්ධයට ද, ස්කන්ධ දෙකක් ඉතිරි ස්කන්ධ දෙකට ද, සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
පඤ්චවෝකාර භූමියෙහි මේ නාමස්කන්‍ධයෝ උපදනා කල්හි එය හා සමගම චිත්තජ රූපයෝ ද උපදිති. එසේ උපදනා චිත්තජ රූපයනට ඒ නාමස්කන්‍ධයෝ සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙති. එබැවින් නාමස්කන්‍ධයෝ ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව දතයුතු. එහෙයින් නාම ධර්ම රාශිය සහජාත ප්‍රත්‍යය හා ප්‍රත්‍යයොත්පන්න ද වෙති. චිත්තජ රූපයෝ ප්‍රත්‍යයොත්පන්න පමණක් වෙති. තව ද, රූප ධර්මයන් උපදනා කල්හි රූපකලාප වශයෙන් උපදී. එක් එක් රූප කලාපයක මහා භූතයෝ ඔවුනොවුන්ට හා උපාදා රූපයන්ට ද සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය වෙති. මේ මහා භූතයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයොත්පන්න දෙකටම අයත් වෙති. උපාදාය රූපයෝ ප්‍රත්‍යයොත්පන්න පමණක් වෙති. පඤ්චවෝකාර ප්රතිසන්ධි නාමස්කන්‍ධයෝ ඔවුනොවුන්ට හා හදයවස්තු රූපයෙන් අන්‍යවූ ප්රතිසන්ධි කර්මජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය වෙති. එබැවින් ඒ ප්රතිසන්ධි නාමස්කන්‍ධයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයොත්පන්න දෙකටම අයත් වෙති.
හාදය වස්තුවෙන් අන්‍යවූ කර්මජ රූපයෝ ප්රත්යයොත්පන්පන්න පමණක් වෙති. ප්රතිසන්ධි කර්මජ රූපයන් අතුරෙන් හදයවස්තු රූපය පමණක් නාමස්කන්‍ධයන්ට ද සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය වෙති.