4. අනන්තර ප්‍රත්‍යය
ප්රත්යොත්පන්න ධර්මය තමාගෙන් වෙන්කරන අන්තර ධර්මයක් ඇතිනොවන ලෙස උපකාරකවන ධර්මය අනන්තර ප්‍රත්‍යය නම් වේ. චිත්ත පරම්පරාව නොසිදෙන පරිද්දෙන් ක්‍රමානුකූලව පසු පසු චිත්තයන්ගේ උත්පත්තියට පූර්ව පූර්වවූ චිත්තය උපකාර වේ. චිත්ත නියාමය අනුව ක්‍රමානුකූලව ඒ ඒ ක්‍රියා සිදුකළ හැකි ලෙස චිත්ත සන්තතිය ඇතිනුවුවහොත් අන්‍යොන්‍ය සම්බන්ධය නැතිවීමෙන් කිසිදු ක්‍රියාවක් කිරීමට අසමත් වේ. එවැනි තත්ත්වයක් වළක්වා අන්‍යොන්‍ය සම්බන්ධය ඇතිකොට ක්‍රමානුකූලව චිත්ත පරම්පරාව ඇතිවන්නේ පූර්ව පූර්ව චිත්තයාගේ විශේෂ ශක්තියක් නිසාය. ඒ ශක්ති විශේෂයට අනන්තර ප්‍රත්‍යය යයි කියනු ලැබේ. එබැවින් රහතන් වහන්සේගේ චුති චිත්තය හැර අන්‍යවූ හැම සිතක්ම නිරුද්ධවන කල්හි ඒ නිරුද්ධවන සිතට අනතුරුව තැනට සුදුසුවූ සිත, පූර්ව චිත්තය නිරුද්ධවනු සමඟම පූර්ව චිත්තයාගේ ස්ථානය ගනිමින් පූර්ව චිත්තය හා ඒකත්වයට පැමිණෙන්නාක් මෙන් උපදී. චිත්ත වීථියක් ගෙන පරීක්ෂාකර බැලීමේදී මේ අනන්තර ප්රත්යයවීමේ පිළිවෙල අවබෝධ කරගත හැකි වේ.
චක්ඛුචාරික චිත්ත වීථියක පිළිවෙලින් අතීත භවාඞ්ග, භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේද, පඤ්චද්වාරාවජ්ජන, චක්ඛු විඥාන, සම්පටිච්ඡන, සන්තීරණ, වොට්ඨපන, ජවන, තදාරම්මණ යන සිත් ඉපිද භවාඞ්ගය වේ භවාඞ්ග සිතක් ඇති නුවූයේ නම් භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයක් ඇතිවීමට නුපුළුවන. එසේම භවාඞ්ගුපච්ඡේදයක් ඇතිවීම නිසා පඤ්ච ද්වාරාවජ්ජනයද, පඤ්චද්වාරාවජ්ජනය කලින් උපන් නිසා චක්ඛුවිඤ්ඤාණයද උපදී. චක්ඛුවිඤ්ඤාණයක් නූපදින්නේ නම් සම්පටිච්ඡන සිතක් නූපදී. සම්පටිච්ඡන සිත නූපදින්නේ නම් සන්තීරණ සිත නූපදී. සන්තීරණ චිත්තය නූපදින්නේ නම් වොට්ඨපන සිත නූපදී. වොට්ඨපන සිත නූපදින්නේ නම් ජවනයෝ නූපදී. ජවන් සිත් නූපදින්නේ නම් තදාරම්මණයෝ නූපදිති. මෙසේ පූර්ව පූර්ව චිත්තය පසු පසු චිත්තය පහළවීමට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
මේ අනන්තර ප්‍රත්‍යය නාම ධර්මයන්ට පමණක් සීමා වූවකි. නිරොධ සමාපත්තියට සමවදනා පුද්ගලයාගේ අන්තිම චිත්තය වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චිත්තය, නිරොධ සමාපත්තියෙන් නැගිටිනා අවස්ථාවෙහි ඇතිවන පළමුවන චිත්තයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. එපරිද්දෙන්ම දෙවන ජාතියෙහි අසංඥ භවයෙහි උපදනා පුද්ගලයාගේ චුති චිත්තය, මහා කල්ප පන්සියයකින් පසු අසංඥ භවයෙන් චුතව අන් භවයක ඇතිවන්නාවූ ප්රතිසන්ධි චිත්තයටද අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. කාලයෙන් හෝ රූපයන්ගෙන් හෝ අනන්තර ප්‍රත්‍ය භාවයට බාධාවක් නම් නොවන්නේය.