අනන්තර ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය.
අනන්තර ප්‍රත්‍යය වන ධර්මයෝ නම්:
- රහතන් වහන්සේගේ චුති චිත්තය හැර පූර්ව පූර්ව වූ එකුන්අනූ (89) චිත්තය ය.
- චෛතසික දෙපනස (52)ය. ප්‍රත්‍යයොත්පන්න ධර්මයෝ නම්:
රහතන් වහන්සේගේ චුති චිත්තය සහිතවූ පශ්චිම පශ්චිම වූ එකුන් අනූ චිත්තය. චෛතසික දෙපනසය (52).
අනන්තර ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක ධර්මයෝ නම්:
චිත්තජ රූපයෝ ය,
ප්රතිසන්ධි කර්මජ රූපයෝය,
බාහිර රූපයෝය,
ආහාරජ රූපයෝය,
සෘතුජ රූපයෝය,
අසංඥසත්ත්ව කර්මජ රූපයෝය,
යන රූප ධර්මයෝ ය.
අනන්තර ප්‍රත්‍යය පිළිබඳ විසර්ජනාවාර හෙවත් වීථි සතකි (7).
1. වීථිය
(කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො.
කුසල ධර්මය කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්:
අන්තිම ජවනය හැර පූර්ව පූර්ව ලෞකික කුසල් සතළොසය (17).
ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:
ප්‍රථම ජවනය හැර පශ්චිම පශ්චිම කුසල් සිත් එක් විස්සය.
කුසල් ජවන් උපදනා චිත්ත වීථියෙහි ප්‍රථම කුසල ජවනය දෙවන ජවනයටද, දෙවන ජවනය තුන්වන ජවනයට ද, තුන්වන ජවනය සතරවන ජවනයට ද, සතර වන ජවනය පස්වන ජවනයට ද, පස්වන ජවනය සවෙනි ජවනයට ද, සවෙනි ජවනය සත්වන ජවනයට ද අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
සොමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් දෙක, ධ්‍යාන අර්පණා චිත්ත වීථියෙහි මහග්ගත සොමනස්ස සහගත ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථ ධ්‍යාන යන ධ්‍යාන සිත් සතරට පූර්ව වූ ගෝත්‍රභූ චිත්තය වශයෙන් ද, සොවාන් මාර්ග සිත උපදනා කල්හි ඒ සොවාන් මග සිතට පූර්වයෙහි උපදින ගෝත්‍රභූ චිත්තය වශයෙන් ද අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. එසේම එම සොමනස්ස ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් දෙක වොදාන චිත්තය වශයෙන් සකෘදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අර්හත් මාර්ග යන සිත් තුනට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
උපෙක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් දෙක, ගෝත්‍රභූ චිත්තය වශයෙන්, රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයට සහ අරූපාවචර සිත් සතරටය යන උපෙක්ෂා සහගත සිත් පසට ද, ඒ කුසල් සිත් දෙකම ගෝත්‍රභූ වොදාන කෘත්යයයෙන් උපෙක්ඛා සහගත පඤ්චමධ්‍යාන මාර්ග සිත් සතරට ද අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
සමාපත්ති වීථින්හි පශ්චිම පශ්චිම මහද්ගත කුසලයන්ට පූර්ව පූර්ව වූද සමාන වූද මහද්ගත කුසලයෝ අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
අනන්තර ප්‍රත්‍යයාගේ ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් ලැබෙන ධර්මයෝ නම්:
මහා කුසල, දෙවන, තුන්වන, සතරවන, පස්වන, සවන, සත්වන ජවනයෝ ය.
මහද්ගත කුසල් නවය ය, මාර්ග සිත් සතරය යන ධර්මයෝ යි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන, නත්ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් අනන්තර ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්
- පුරිමා පුරිමා කුසලාඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්ධානං අනන්තර පච්චයෙන පච්චයො.
(පූර්ව පූර්ව වූ කුසලස්කන්ධයෝ පශ්චිම පශ්චිම වූ කුසල ස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
මෙහි පශ්චිම පශ්චිම කුසලස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍යය වන පූර්ව පූර්ව වූ කුසලස්කන්ධයෝ නම්:
මහා කුසල ද්විතියාදී ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්ව පූර්ව වූ මහා කුසල ජවනයෝය,
මහග්ගත කුසල සොමනස්ස සහගත සිත් සතරට හා මාර්ග සොමනස්ස සහගත සිත් සොළොසට ප්‍රත්‍යයවන ගොත්රභූ වොදාන කෘත්‍යවත් සොමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් දෙකය,
මහග්ගත කුසල උපෙක්ෂා සහගත සිත් පසට හා මාර්ග උපෙක්ෂා සහගත සිත් සතරට ප්‍රත්‍යය වන ගොත්රභූ වොදාන කෘත්‍යවත් උපෙක්ඛා සහගත ඤාණසම්ප්‍රයුක්ත මහා කුසල් සිත් දෙකය,
සමාපත්ති වීථියෙහි පශ්චිම පශ්චිම මහද්ගත කුසලයන්ට ප්‍රත්‍යය වන පූර්ව පූර්ව මහද්ගත ජවනයෝය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන පශ්චිම පශ්චිම වූ කුසල ස්කන්ධයෝ නම්:
මහද්ගත කුසල නවය,
මාර්ග සිත් සතරය යන ධර්මයෝය.
2. අනුලොමං ගොත්රභුස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(අනුලොම චිත්තය ගොත්රභූ චිත්තයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
විදසුන් වඩා සම්පූර්ණකොට සොවාන් මග උපදනා කල්හි, භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව සංස්කාර ධර්මයන් අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනයද, මහා කුසල ඥානසම්ප්‍රයුක්ත කුසල් සිතක් පරිකර්ම, උපචාර, අනුලොම වශයෙන් ඉපිද නිරුද්ධවූ පසු එම චිත්තයම නිර්වාණය අරමුණු කරමින් ගොත්රභූ චිත්තය වශයෙන් ඉපිද නිරුද්ධවේ. ඉක්බිතිව පිළිවෙලින් සොවාන් මාර්ග චිත්තය හා ඵල සිත්ද ඉපිද භවාඞ්ගය වේ. මෙහිදී සංස්කාරාරම්මණිකව අනුලොම කෘත්‍යය සිද්ධ කරමින් උපදනා ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත, නිර්වාණාරම්මණිකවූ ගොත්රභූ චිත්තයට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
3. අනුලොමං වොදානස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(අනුලොම සිත වොදාන සිතට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ)
සකෘදාගාමි, අනාගාමි, අර්හත් මාර්ගයට පූර්වයෙහි උපදනා වොදාන චිත්තය ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතරෙන් එකෙකි. වොදාන සිත නිර්වාණය අරමුණු කරයි ඒ වොදාන සිතට පූර්වයෙහි උපදනා අනුලොම සිතද, සංස්කාරයන් අරමුණු කොට ඇති ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතරෙන් එකෙකි. පූර්වයෙහි උපදනා අනුලොම සිත පසුව උපදනා වොදාන සිතට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යයවීම, “කුසල ධර්මය කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
4. ගෝත්‍රභූ මග්ගස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(ගෝත්‍රභූ චිත්තය සොවාන් මාර්ග චිත්තයට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
සොවාන් මාර්ගය උපදනා චිත්ත වීථියෙහි එයට පූර්වයෙහි උපදනා ගෝත්‍රභූ කෘත්යයවත් කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත, එයට අනතුරුව උපදනා ලොකොත්තර කුසල සොවාන් මාර්ග සිතට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්මය කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
5. වොදානං මග්ගස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(වොදාන සිත, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්ග චිත්තයට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
සකෘදාගාමි, අනාගාමි, අර්හත් මාර්ග චිත්තයන්ට පූර්වයෙහි නිර්වාණාරම්මණිකව උපදනා වොදාන සිත ඒ මාර්ගත්රයට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්මය කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
2. වීථිය
කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
මෙහි අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්ති යෙන් උපකාර වන ප්‍රත්‍යය ධර්මයෝ නම්:
සතොළොස් (17) ලෞකික කුසලයන්ගේ අන්තිම ජවනයෝය, මාර්ග ජවන් සතරය.
ප්රත්යාත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
සන්තීරණ සිත් තුනය, මහා විපාක සිත් අටය, මහද්ගත විපාක සිත් නවය, ලොකොත්තර ඵල සිත් සතරය යන ධර්මයෝ යි විස්තර වශයෙන් වනාහි අනන්තර ප්‍රත්‍යය ශක්තිය ඇති කුසල ධර්මයෝ නම්:
මහා කුසල ජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි තදාරම්මණ එකොළොසය,
මහා කුසල ජවනය කෙරෙන් තදාරම්මණය නොවන කල්හි භවාඞ්ග එකුන් විස්සය.
යන මොවුන්ට ප්‍රත්‍යය වන මහා කුසල් අන්තිම ජවනය,
පඤ්චවොකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට ප්‍රත්‍යය වන රූපාවචර කුසල අන්තිම ජවනය,
පඤ්චවොකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට හා ආකාසානඤ්චායතන භවාඞ්ගයට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුසල අන්තිම ජවනය,
විඤ්ඤාණඤ්චායතන භවාඞ්ගයට ප්‍රත්‍යය වන විඤ්ඤාණඤ්චායතන කුසල අන්තිම ජවනය,
ආකිඤ්චඤ්ඤායතන භවාඞ්ගයට ප්‍රත්‍යය වන ආකිඤ්චඤ්ඤායතන කුසල අන්තිම ජවනය,
නෙවසඤ්ඤානාසඤ්ඤායතන භවාඞ්ගයට ප්‍රත්‍යය වන නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල අන්තිම ජවනය,
ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට හා නිරොධ සමාපත්ති යෙන් නැඟිට කල්හි අනාගාමි ඵල චිත්තයටද ප්‍රත්‍යය වන නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල අන්තිම ජවනය,
සොවාන් ඵලයට ප්‍රත්‍යය වන සොවාන් මාර්ග චිත්තය,
සකෘදාගාමී ඵලයට ප්‍රත්‍යය වන සකෘදාගාමි මාර්ග චිත්තය,
අනාගාමී ඵලයට ප්‍රත්‍යය වන අනාගාමි මාර්ග චිත්තය,
අර්හත් ඵලයට ප්‍රත්‍යය වන අර්හත් මාර්ග චිත්තය,
යන මෙකී කුසල ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් යට දක්වනලද ලෞකික කුසල විපාක සිත් විස්ස සහ ලොකොත්තර ඵල සිත් සතරද ලැබෙත්.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන, අනන්තර, සමනන්තර, උපනිස්සය, කම්ම, නත්ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සයෙන් අනන්තර ශක්ති විශේෂය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්
- කුසලං වුට්ඨානස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(සතළොස් (17) ලෞකික කුසලයන්ගේ අන්තිම ජවනය එයට අනතුරුව තදාරම්මණය උපදනා කල්හි ඒ තදාරම්මණයටද, භවාඞ්ගය උපදනා කල්හි භවාඞ්ගයටද අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
මෙහි අනන්තර ප්‍රත්‍යය වන කුසල ධර්ම වශයෙන් සතළොස් (17) ලෞකික කුසලයන්ගේ අන්තිම ජවනය ගතයුතු.
ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් ජවනයට අනතුරුව තදාරම්මණ උපදනා කල්හි තදාරම්මණ එකොළොස්ද,
තදාරම්මණ නොවන කල්හි භවාඞ්ග එකුන් විස්සද ගතයුතු.
මෙසේ සතළොස් (17) ලෞකික කුසලයන්ගේ අත්තිම ජවනය අව්‍යාකෘත ධර්ම වූ තදාරම්මණ එකොළොස (11) හා භවාඞ්ග එකුන් විස්සට (19) අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
- මග්ගො ඵලස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(මාර්ග සිත් සතර ඵල සිත් සතරට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ)
සොවාන් මාර්ග සිත එයට අනතුරුව උපදනා සොවාන් ඵල සිතටද, එමෙන්ම සකෘදාගාමි මාර්ග සිත සකෘදාගාමි ඵල සිතටද, අනාගාමි මාර්ග සිත අනාගාමි ඵල සිතටද අර්හත් මාර්ග සිත අර්හත් ඵල සිතටද අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
- අනුලොමං සෙක්ඛාය ඵල සමාපත්තියා අනන්තර පච්චයෙන පච්චයො.
(සංස්කාර ධර්මයන් අරමුණු කරමින් අනුලොම කෘත්‍යයෙන් උපදනා මහා කුසල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ශෛක්ෂ පුද්ගලයාගේ ඵල සමාපත්තියට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ)
සොවාන්, සකෘදාගාමි, අනාගාමි නම් වූ ආර්‍ය්‍යයන් වහන්සේලා තම තමන්ගේ ඵලයට සමවදනා කල්හි, ඒ ඵල චිත්තයට පූර්වයෙහි උපදනා අනුලොම් සිත එයට අනතුරුව උපදනා ඵල චිත්තයට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
- නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤා- යතන කුසලං ඵල සමාපත්තියා අනන්තර පච්චයෙන පච්චයො.
(නිරොධ සමාපත්තියෙන් නගින්නාවූ අනාගාමි පුද්ගලයාගේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලය, අනාගාමි ඵල සමාපත්තියට අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
නිරොධ සමාපත්තියට සමවදිනු හැකිවන්නේ අෂ්ටසමාපත්තිලාභි අනාගාමි සහ අෂ්ටසමාපත්තිලාභි රහතන් වහන්සේට පමණය.
අෂ්ටසමාපත්තිලාභි අනාගාමි ආර්‍ය්‍යයන් වහන්සේ නිරොධ සමාපත්තියට සමවදිනු කැමති කල්හි පිළිවෙලින් ප්‍රථම ධ්‍යානය පටන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයන්ට සමවැද එයින් නැගිට පූර්ව කෘත්‍යයන් කොට අවසානයෙහි භවාඞ්ග චලන භවාංගුපච්ඡේදයන් ඉපිද නිරුද්ධවූ පසු, අකිඤ්චඤ්ඤායතන කුසලය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය හා උපචාර අනුලොම, වොදාන කෘත්‍යවත් කාමාවචර ඥානසම්ප්රයුත්ත මහ කුසල උපෙක්ඛා සහගත චිත්තය ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චිත්තය දෙවරක් ඉපිද නිරුද්ධ වූ පසු චිත්ත සන්තතීය බිඳීයාමෙන් නිරොධ සමාපත්තියට සමවැදුනේ වේ. එතැන් සිට චිත්තයන්ගේ හා චිත්තජ රූපයන්ගේ ඉපැදීමක් නැත. අධිෂ්ඨානය කළ පරිදි නිරොධ සමාපත්තියට සමවැද එයින් නැගීමේ දී අනාගාමි ඵල සිත එක් වරක් ඉපිද නිරුද්ධවීමෙන් පසු භවාඞ්ගය වේ. නිරොධ සමාපත්තියට සමවැදීමේදී අවසාන වශයෙන් ඇතිවූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිතටත් එයින් නැගීමේදී පළමුකොට ඇතිවන අනාගාමි ඵලසිතටත් අතර කාලයේදී චිත්තයන්ගේ ඉපදීමක් නැති හෙයින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලය නිරොධ සමාපත්තියෙන් නැගීමේ දී ඇතිවන අනාගාමි ඵල සිතට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ යයි කියනු ලැබේ.
3. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො,
(අකුසල ධර්මය අකුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අකුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්—
අන්තිම ජවනය හැර පූර්ව පූර්ව වූ දොළොස් අකුසල ජවනයෝය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:
ප්‍රථම ජවනය හැර පශ්චිම පශ්චිම වූ දොළොස් අකුසල ජවනයෝයි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන අනන්තර, සමනන්තර ආසේවන, නත්ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් අනන්තර ශක්ති විශේෂය ලැබේ.
මේ විධියට අනුවාද වශයෙන්
පුරිමා පුරිමා අකුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ඛන්ධානං අනන්තර පච්චයෙන පච්චයො.
(පූර්ව පූර්ව වූ අකුසල ස්කන්ධයෝ පශ්චිම පශ්චිම වූ අකුසල ස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
දොළොස් අකුසල චිත්තයන් අතුරෙන් යම් අකුසල් සිතක් ජවනකෘත්‍යයෙන් උපදනා කල්හි පළමු අකුසල ජවනය, දෙවන අකුසල ජවනයට ද, දෙවන ජවනය තුන්වන ජවනයට ද, තුන්වන ජවනය සතරවන ජවනයට ද, සතර වන ජවනය පස්වන ජවනයට ද, පස්වන ජවනය සවෙනි ජවනයට ද, සවෙනි ජවනය සත්වන ජවනයට ද අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. මෙය “අකුසල ධර්මය අකුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
4. වීථිය
අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
මෙහි දී අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්-
දොළොස් (12) අකුසලයන්ගේ අන්තිම ජවනයෝ ය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
සන්තීරණ තුනය
මහා විපාක අටය
මහද්ගත විපාක නවය
යන විපාක චිත්තයෝ ය.
මෙහි අනුවාදය වශයෙන්
අකුසලං වුට්ඨානස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(දොළොස් (12) අකුසලයන්ගේ අන්තිම ජවනය, එයට අනතුරුව උපදනා තදාරම්මණයට හෝ භවාඞ්ගයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
ලොභමූල මොහමූල ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි අන්තිම ජවනය, තදාරම්මණ එකොළොසට ද,
තදාරම්මණය නොවන කල්හි අන්තිම ජවනය භවාඞ්ග එකුන් විස්සට (19) ද,
දොසමූල ජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි අන්තිම ජවනය උපෙක්ෂා තදාරම්මණ පසට ද,
තදාරම්මණ නොවන කල්හි කාම උපෙක්ෂා භවාඞ්ග සයටද අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
5. වීථිය
අබ්යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහිදී අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන ප්‍රත්‍යය ධර්මයෝ නම්.
අර්හත් චුති චිත්තය හැර පූර්ව පූර්ව වූ විපාක සිත් සතිස (36) හා ක්‍රියා සිත් විස්සය (20).
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්—
අර්හත් චුති චිත්තය සහිතවූ පශ්චිම පශ්චිම වූ විපාක සිත් සතිස (36) හා ක්‍රියා සිත් විස්සය (20).
මෙහිදී සුදුසු පරිදි එක්වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසේවන, නත්ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සයෙන් අනන්තර ශක්තිය ලැබේ.
විස්තර වශයෙන් ප්‍රත්‍යයවීම මෙසේ යි—
| අනන්තර ප්‍රත්‍යය ධර්ම | අනන්තර ප්රත්යොත්පන්න ධර්ම |
|---|---|
| ප්රතිසන්ධි නාමස්කන්ධ | ප්‍රථම භවාඞ්ග නාමස්කන්ධ |
| ප්‍රථමාදී පූර්ව පූර්ව භවාඞ්ග නාමස්කන්ධ | ද්විතීයාදී පශ්චිම භවාඞ්ග නාමස්කන්ධ |
| පඤ්චවොකාර භවාඞ්ගුපච්ඡෙද 15 | ආවර්ජනද්වය 2 |
| අරූප භවාංගුපච්ඡෙද 4 | මනොද්වාරාවජ්ජනය |
| පඤ්චද්වාරාවජ්ජනය | පඤ්ච විඥානයෝ |
| සම්පටිච්ඡනයෝ | සන්තීරණයෝ |
| සන්තීරණයෝ | ව්‍යවස්ථාපනය |
| ප්‍රථම ව්‍යවස්ථාපනය | පරිත්තාරම්මණ වීථියෙහි ද්විතීය ව්‍යවස්ථාපනය |
| ද්විතීය ව්‍යවස්ථාපනය | පඤ්චවොකාර භවාඞ්ග 15 |
| ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනයෝ | අති මහන්තාරම්මණ, විභූතාරම්මණ, අවිභූතාරම්මණ වීථීන්හි හසිතොත්පාද මහා ක්‍රියා ප්‍රථම ජවනයෝ |
| ප්‍රථම ක්‍රියා ජවනය | එම ද්විතීය ක්‍රියා ජවනය |
| ද්විතීය ක්‍රියා ජවනය | තෘතීය ක්‍රියා ජවනය |
| තෘතීය ක්‍රියා ජවනය | චතුර්ථ ක්‍රියා ජවනය |
| චතුර්ථ ක්‍රියා ජවනය | පඤ්චම ක්‍රියා ජවනය |
| පඤ්චම ක්‍රියා ජවනය | ෂෂ්ඨ ක්‍රියා ජවනය |
| ෂෂ්ඨ ක්‍රියා ජවනය | සප්තම ක්‍රියා ජවනය |
| හසිතොත්පාද අන්තිම ජවනය | හසිතොත්පාදය කෙරෙන් තදාරම්මණය වන කල්හි සොමනස්ස තදාරම්මණ 5 නොවන කල්හි පඤ්චවොකාර ත්‍රිහේතුක භවාඞ්ග 9 |
| සොමනස්ස සහගත මහා ක්‍රියා අන්තිම ජවනය | මහා ක්‍රියා සොමනස්ස ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි සොමනස්ස තදාරම්මණ 5 නොවන කල්හි ත්‍රිහේතුක භවාඞ්ග 13 |
| උපෙක්ෂා සහගත මහා ක්‍රියා අන්තිම ජවනය | මහා ක්‍රියා උපෙක්ෂා සහගත ජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි උපෙක්ෂා තදාරම්මණ 6 නොවන කල්හි ත්‍රිහේතුක භවාඞ්ග 13 |
| ප්‍රථම තදාරම්මණය | ද්විතීය තදාරම්මණය |
| ද්විතීය තදාරම්මණය | කාම භවාඞ්ග 10 |
| අනුලොම කෘත්‍යවත් මහා ක්‍රියා ප්‍රථමද්වය 2 | මහද්ගත ක්‍රියා සොමනස්ස සිත් 4 අර්හත් ඵල සොමනස්ස සිත් 4 |
| අනුලොම කෘත්‍යවත් මහා ක්‍රියා තෘතීයද්වය 2 | මහග්ගත ක්‍රියා උපෙක්ඛාසහගත සිත් 5 අර්හත්ඵල උපෙක්ඛා සහගත සිත |
| සමාපජ්ජන වීථින්හි පූර්ව පූර්ව මහද්ගත ක්‍රියා ජවනයෝ | සමාපජ්ජන වීථින්හි පශ්චිම පශ්චිම මහද්ගත ක්‍රියා ජවනයෝ |
| රූපාවචර ක්‍රියා අන්තිම ජවනයෝ | පඤ්චවොකාර ත්‍රිහේතුක භවාඞ්ග 9 |
| ආකාසානඤ්චායතන ක්‍රියා අන්තිම ජවනය | ආකාසානඤ්චායතන භවාඞ්ගය හා පඤ්චවොකාර ත්‍රිහේතුක භවාඞ්ග 9 |
| විඤ්ඤාණඤ්චායතන ක්‍රියා අන්තිම ජවනය | පඤ්චවොකාර ත්‍රිහේතුක භවාඞ්ග 9 විඤ්ඤාණඤ්චායතන භවාඞ්ගය |
| ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා අන්තිම ජවනය | පඤ්චවොකාර ත්‍රිහේතුක භවාඞ්ග 9 ආකිඤ්චඤ්ඤායතන භවාඞ්ගය |
| නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා අන්තිම ජවනය | ත්‍රිහෙතුක භවාඞ්ග තෙළෙස (13) හා නිරොධ සමාපත්තියෙන් නගින අවස්ථාවෙහි අර්හත් ඵලය |
| පූර්‍වපූර්‍ව ඵලසිත් සතර | පශ්චිම පශ්චිම ඵලසිත් සතර |
| අන්තිම ඵල ජවනයෝ | ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙස (13) |
| ද්විතීය තදාරම්මණය | මරණාසන්නයෙහි තදාරම්මණයට අනන්තරව චුතිය වන කල්හි කාම චුති සිත් දසය |
මහා ක්‍රියා පඤ්චම ජවනය ජවනයට අනතුරුව චුතිය වන කල්හි ත්‍රිහේතුක චුති තෙළෙස
භවාඞ්ග එකුන්විස්ස භවාඞ්ගයට අනතුරුව චුතිය වන කල්හි චුති එකුන්විස්ස
ද්විහේතුක අහේතුක චුතීහු - කාමප්රතිසන්ධි දසය (10)
කාමත්‍රිහේතුක චුතීහු සතර - ප්රතිසන්ධි එකුන්විස්ස (19)
රූපාවචර චුති පස සහේතුක ප්රතිසන්ධි සතළොස (17)
ආකාසානඤ්චායතන චුතිය කාමත්‍රිහේතුක ප්රතිසන්ධි සතර (4) අරූප ප්රතිසන්ධි සතර (4)
විඤ්ඤාණඤ්චායතන චුතිය කාමත්‍රිහේතුක ප්රතිසන්ධි සතර (4) උපරිම අරූපප්‍රතිසන්‍ධි (3)
ආකිඤ්චඤ්ඤායතන චුතිය ත්‍රිහේතුක ප්රතිසන්ධි සතර ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්රතිසන්ධි දෙක (2)
නේවසඤ්ඤානාසඤ්ඤායතන චුතිය කාමත්‍රිහේතුක ප්රතිසන්ධින් හා නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්රතිසන්ධිය
මෙහි අනුවාද වශයෙන්-
1. පුරිමා පුරිමා විපාකාබ්‍යාකතා කිරියාබ්යාකතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං විපාකාබ්‍යාකතානං කිරියාබ්යාකතානං ඛන්ධානං අනන්තර පච්චයෙන පච්චයො.
(පූර්ව පූර්ව වූ විපාක ක්‍රියා අව්‍යාකෘත ස්කන්ධයෝ පශ්චිම පශ්චිම වූ විපාක ක්‍රියා අව්‍යාකෘත ස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අර්හත් චුතිචිත්තය හැර පූර්ව පූර්වවූ විපාක ක්‍රියා නාමස්කන්‍ධයෝ අර්හත් චුතිය සහිතවූ පශ්චිමවූ විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට අනන්තර ශක්තියෙන් ප්රත්යවීම ‘අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
2. භවඞ්ගං ආවජ්ජනාය අනන්තර පච්චයෙන පච්චයො.
(පඤ්චවොකාර භවාඞ්ගුපච්ඡෙද එකුන්විස්ස ආවර්ජනා සිත් දෙකට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
පඤ්චචාරික වීථින්හි භවඞ්ගුපච්ඡෙදය පඤ්චචාරාවජ්ජනයටද මනොචාරික වීථින්හි භවඞ්ගුපච්ඡෙදය මනොචාරාවජ්ජනයටද අරූප භවාඞ්ගුපච්ඡෙද සතර මනොචාරා වජ්ජනයටද, අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යයවීම” අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
3. කිරියං චුට්ඨානස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(ආවජ්ජනාවය හැර ඉතිරි ක්‍රියා සිත් අටළොසෙහි අන්තිම ජවනය හා ව්‍යවස්ථාපන චිත්තය තදාරම්මණ, භවාඞ්ගයන්ට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
හසිතොත්පාදය, මහා ක්‍රියා අටය, මහග්ගත ක්‍රියා නවය යන අටළොස් ක්‍රියා චිත්තයන්ගේ අන්තිම ජවනය එයට අනතුරුව ඇතිවන තදාරම්මණයට හෝ භවාඞ්ගයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. එසේම වොට්ඨපන චිත්තය එයට අනතුරුව භවාඞ්ගය වන කල්හි ද ඒ භවාඞ්ගයට ද අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. මෙයද “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
4. අරහතො අනුලොමං ඵලසමාපත්තියා අනන්තර පච්චයෙන පච්චයො.
(රහතන් වහන්සේගේ අනුලොම කෘත්‍යවත් මහා ක්‍රියා ප්‍රථම වශ හා තෘතීයවශ අග්‍ර ඵල චිත්තයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
රහතන් වහන්සේ ඵලසමාපත්තියට සමවදින කල්හි මහාක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතර අනුලොම කෘත්‍යය යෙන් ඉපිද නිරුද්ධ වූ පසු අග්‍ර ඵලසිත් උපදී. එකල්හි ඒ අනුලෝම සිත අර්හත් ඵල සිතට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
5. නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤා- යතන කිරියං ඵලසමාපත්තියා අනන්තර පච්චයෙන පච්චයො.
(රහතන් වහන්සේ නිරොධ සමාපත්තියෙන් නැගීමේදී නෙවසඤ්ඤානාසඤ්ඤායතන අන්තිම ජවනය අර්හත් ඵල සිතට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
රහතන් වහන්සේ නිරොධ සමාපත්තියට සමවැදීමේ දී අන්තිම චිත්තය වශයෙන් ලැබෙන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා ජවනයයි. අධිෂ්ඨානයෙන් පසු නිරොධ සමවතින් නැගීමේදී පළමුව ඇතිවන්නේ අර්හත් ඵල සිතයි. එබැවින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා ජවනය නිරොධ සමවතින් නැගීමේදී අර්හත් ඵල චිත්තයට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. මෙයද “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
6. වීථිය
අබ්යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මය නම්-
ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජන චිත්තයයි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්ම නම්මහා කුසල ප්‍රථම ජවනයයි.
මෙහිදී අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන, නත්ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් අනන්තර ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්,
ආවජ්ජනා කුසලානං ඛන්ධානං අනන්තර පච්චයෙන පච්චයො.
(මනොද්වාරාවජ්ජන චිත්තය එයට අනතුරුව උපදින ප්‍රථම කුසල ජවනයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
කාමාවචර මහා කුසල් සිත් අටෙන් එකක් ජවන කෘත්‍යයෙන් උපදනා කල්හි එම චිත්තවීථියෙහි ප්‍රථම ජවනයට පෙර උපදනා ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජන චිත්තය ප්‍රථම මහා කුසල ජවනයට අනන්තර ශක්තියෙන් උපකාරවීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
7. වීථිය
අබ්යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
අකුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මය නම්-
ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනයයි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මය නම් දොළොස් අකුසලයන්ගේ ප්‍රථම ජවනයයි.
මෙහිදී අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසේවන, නත්ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් අනන්තර ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්,
ආවජ්ජනා අකුසලානං ඛන්ධානං අනන්තර පච්චයෙන පච්චයො
(මනොචාරාවජ්ජනය එයට අනතුරුව උපදනා ප්‍රථම අකුසල ජවනයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
දොළොස් අකුසල චිත්තයන් අතුරෙන් යම් සිතක් ජවන කෘත්‍යයෙන් උපදනා කල්හි, එයින් පළමු ජවනයට පූර්වයෙහි ඇතිවන ව්‍යවස්ථාපන මනොචාරාවජ්ජන සිත ඒ ප්‍රථම අකුසල ජවනයට අනන්තර ශක්තියෙන් ප්රත්යවීම “අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.