අභිධර්මාර්ථ ප්‍රදීපිකා

2. ආරම්මණ ප්‍රත්‍යය

සිතින් ගතයුතු දෙය හෙවත් සිතක් ඇතිවීමට උපකාර වන දෙය අරමුණ නම්. අරමුණක් නැතිව සිතක් නූපදී. චෛතසිකයෝද සිත හා බැඳී සිතට අනුව අරමුණු ගනිමින්ම තම තමන්ට අයත් කෘත්‍යයන් සිදුකරමින් උපදී. චිත්ත චෛතසිකයෝ අවුත් යමක ඇලේද එහෙයින් ඒ ධර්‍මයන්ට ආරම්මණයෝ යයි කියති. චිත්ත චෛතසික ධර්‍මයන්ගේ ඉපදීමට මේ ආරම්මණයෝ උපකාරවන බැවින් එයට ආරම්මණ ප්‍රත්‍යය යයි කියනු ලැබේ. රූපාදි ආරම්මණයන්හි සිතට ගැනීමට ඉඩ දෙන, සිතට ගැනීමට යෝග්‍ය වන ස්වභාවය ආරම්මණ ප්‍රත්‍යය ශක්තිය නම්. ත්‍රෛකාලිකවූ සියලුම චිත්ත, චෛතසික, රූප ධර්‍මයෝද, කාලමුක්තවූ නිර්‍වාණය හා ප්‍රඥප්තියද, යන සියල්ලම ආරම්මණ ප්‍රත්‍යය ධර්‍මයෝය. ආරම්මණ බවට නොපැමිණෙන ධර්‍මයක් නැත්තේය. අරමුණක් නිසා ඇතිවන සියලුම චිත්ත චෛතසික ධර්‍මයෝ ආරම්මණ ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්නයෝ වෙති. එබැවින් චිත්ත චෛතසික ධර්‍මයෝ ආරම්මණ ප්‍රත්‍යයෝද වෙති. ප්‍රත්‍යොත්පන්නයෝද වෙති. රූප ධර්‍මයෝද නිර්‍වාණය හා ප්‍රඥප්තීහුද ප්‍රත්‍යයයෝ පමණක් වෙති. ප්‍රත්‍යොත්පන්න භාවයට නො පැමිණෙති.

ත්‍රිරාශිය - ආරම්මණ ප්‍රත්‍යයයාගේ ප්‍රත්‍යය ධර්‍මය ය, ප්‍රත්‍යොත්පන්න ධර්‍මය ය, ප්‍රත්‍යනීක ධර්‍මය යයි ධර්‍මයෝ ත්‍රිවිධ වෙත්.

ප්‍රත්‍යය ධර්‍ම - වර්‍තමාන වූ ද, අතීත වූ ද, අනාගත වූ ද සියලුම

සිත් 89

චෛතසික 52

රූප 28

කාලමුක්තවූ නිර්‍වාණය හා ප්‍රඥප්තිය.

ප්‍රත්‍යොත්පන්න ධර්‍ම-

සිත් 89

චෛතසික 52

ප්‍රත්‍යනීක ධර්‍ම-

චිත්තජ රූපයෝය

ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය

බාහිර රූපයෝය

ආහාරජ රූපයෝය

සෘතුජ රූපයෝය

අසංඥසත්ත්‍ව කර්මජ රූපයෝය

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය

ඒ ඒ ආරම්මණ ප්‍රත්‍යොත්පන්න ධර්මයන්ට ප්‍රත්‍යය වන ආරම්මණ ප්‍රත්‍යය ධර්ම හෙවත් අරමුණු මෙසේයි:

ප්‍රත්‍යොත්පන්න ධර්මප්‍රත්‍යය ධර්ම හෙවත් අරමුණ
චක්ඛුද්වාරික සිත්46වර්‍තමාන වර්‍ණය
ශ්‍රොතද්වාරික සිත්46වර්‍තමාන ශබ්දය
ඝ්‍රාණද්වාරික සිත්46වර්‍තමාන ගන්‍ධය
ජිව්හාද්වාරික සිත්46වර්‍තමාන රසය
කායද්වාරික සිත්46වර්‍තමාන පොට්ඨබ්බය (පඨවි, තෙජො, වායෝ)
මනොද්වාරික සිත්67වර්‍තමාන වූද, අතීත වූද, අනාගත වූද, කාලත්‍රයට අයත් නොවූද, පරමාර්ථ වූද, පරමාර්ථ නොවූද සියලු ධර්මයෝ
ද්වාරමුක්ත සිත් (පටිසන්‍ධි, භවාඞ්ග, චුති)19අතීත භවයෙහි මරණාසන්නයේදී වැටහුණු කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන තුනෙන් එකෙකි.
අකුසල් සිත්12නවලොකොත්තර ධර්ම හැර ඉතිරි සියල්ල
අහේතුක සිත්18
චක්ඛු විඥාන සිත්2වර්‍තමාන වර්‍ණය
සොත විඥාන සිත්2වර්‍තමාන ශබ්දය
ඝාන විඥාන සිත්2වර්‍තමාන ගන්‍ධය
ජිව්හා විඥාන සිත්2වර්‍තමාන රසය
කායවිඥාන සිත්2වර්‍තමාන ස්පර්‍ශය
සම්පටිච්ඡන සිත්2වර්‍තමාන රූපාදී වූ පඤ්චවිධ ආරම්මණයෝ
පඤ්චද්වාරාවජ්ජන සිත්1
සන්තීරණ සිත්2කාමාවචර ධර්‍ම සියල්ල
හසිතොත්පාද සිත්1
මනොද්වාරාවජ්ජන සිත්1සියලුම ධර්‍ම
ඥානසම්ප්‍රයුක්ත මහා කුසල් සිත්4අර්‍හත් මග හා ඵලය හැර අන් සියල්ල
ඥානවිප්‍රයුක්ත ,,4ලෞකික ධර්‍ම සියල්ල
මහා විපාක සිත්8කාමාවචර ධර්‍ම සියල්ල
ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත්4ලෞකික ලොකොත්තර ධර්‍ම සියල්ල
ඥානවිප්‍රයුක්ත මහාක්‍රියා සිත්4ලෞකික ධර්‍ම සියල්ල
රූපාවචර ප්‍රථමධ්‍යාන සිත්3කසිණ10
අසුභ10
කෙශාදී කොට්ඨාශය1
ආශ්වාස ප්‍රශ්වාසය1
මෛත්‍රියට අරමුණු වන සත්ත්‍ව ප්‍රඥප්තිය1
කරුණාවට අරමුණු වන සත්ත්‍ව ප්‍රඥප්තිය1
මුදිතාවට අරමුණු වන සත්ත්‍ව ප්‍රඥප්තිය1
යන ප්‍රඥප්තීහු25
රූපාවචර දෙවෙනි ධ්‍යාන සිත් 39කසිණ10
රූපාවචර තුන්වෙනි ධ්‍යාන සිත් 3ආශ්වාස ප්‍රශ්වාසය1
මෛත්‍රියට අරමුණුවන සත්ත්‍ව ප්‍රඥප්තිය1
රූපාවචර සතරවෙනි ධ්‍යාන සිත් 3කරුණාවට අරමුණුවන සත්ත්‍ව ප්‍රඥප්තිය1
මුදිතාවට අරමුණුවන සත්ත්‍ව ප්‍රඥප්තිය1
යන ප්‍රඥප්තීහු14
රූපාවචර පස්වෙනි ධ්‍යාන සිත් 3කසිණ10
ආශ්වාස ප්‍රශ්වාසය1
උපෙක්‍ෂා බ්‍රහ්ම විහරණයට අරමුණුවන සත්ත්‍ව ප්‍රඥප්තිය1
යන ප්‍රඥප්තීහු12
රූපාවචර 5 වෙනි ධ්‍යාන කුසල අභිඥා සිත 1අර්‍හත් මාර්‍ග සිත හා අර්‍හත් ඵල සිත හැර අන් සියලුම ධර්‍ම
රූපාවචර 5 වෙනි ධ්‍යාන ක්‍රියා අභිඥා සිත 1සියලුම ධර්‍ම
අරූපාවචර සිත්
ආකාසානඤ්චායතන සිත් 3ආකාස කසිණය හැර ඉතිරි කසිණ නවය උද්ඝාටනය කොට ලැබෙන ආකාශ ප්‍රඥප්තිය
විඤ්ඤාණඤ්චායතන කුසල් සිත 1ඒ සන්තානයෙහි වර්‍තමාන භවයෙහි හෝ අතීත භවයෙහි හෝ ඇතිවූ ආකාසානඤ්චායතන කුසල චිත්තය

විඤ්ඤාණඤ්චායතන විපාක සිත 1

අතීත භවයෙහි ඒ සන්තානයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසල චිත්තය

විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සිත 1

වර්‍තමාන භවයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසලය හා වර්‍තමාන භවයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන ක්‍රියා සිත

ආකිඤ්චඤ්ඤායතන සිත් 3

ආකාසානඤ්චායතන කුසල ක්‍රියා චිත්තයාගේ නාස්තිභාව ප්‍රඥප්තිය

නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත 1

අතීතභවයෙහි හෝ වර්‍තමාන භවයෙහි ඒ සන්තානයෙහි ඇතිවූ ආකිඤ්චඤ්ඤායතන කුසලය

නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක සිත 1

අතීත භවයෙහි ඇතිවූ ආකිඤ්චඤ්ඤායතන කුසලය.

නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා සිත 1

ආකාසානඤ්චායතන කුසල ක්‍රියා සිත් දෙක

ලොකොත්තර සිත් 8

නිර්‍වාණය

ආරම්මණ ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනාවාර හෙවත් විථි නවයෙකි.

1. වීථිය

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(කුසල ධර්‍මය කුසල ධර්‍මයක පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවන කුසල ධර්‍මයෝ නම්:-

  1. මහා කුසල ඤාණ විප්පයුත්ත සිත් සතරට ප්‍රත්‍යය වන ලෞකික කුසල් සතළොස (17)
  2. මහා කුසල ඤාණ සම්පයුත්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හත් මාර්‍ග සිත හැර කුසල් සිත් විස්සය (20)
  3. විඤ්ඤාණඤ්චායතන කුසලයට ප්‍රත්‍ය වන වර්‍තමාන භවයෙහි හා අතීත භවයෙහි ස්වසන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුසලය.
  4. නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසලයට ප්‍රත්‍යවන වර්‍තමාන භවයෙහි හා අතීත භවයෙහි ස්වසන්තානයෙහි උපන් ආකිඤ්චඤ්ඤායතන කුසලය.
  5. ඉද්ධිවිධ කුසලාභිඥාවට ප්‍රත්‍යය වන පාදක රූපාවචර පඤ්චමධ්‍යාන කුසලය.
  6. චේතෝපරිය කුසලාභිඥාවට ප්‍රත්‍යය වන අතීත යෙන් සත්දිනක්ද, අනාගතයෙන් සත්දිනක්ද ඇතුළු කාලත්‍රයෙහිවූ අර්‍හත් මාර්‍ගයෙන් අන්‍යවූ අන්‍ය සත්‍වයන්ගේ කුසල් සිත් විස්සය (20)
  7. පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඥාවට ප්‍රත්‍ය වන පෙර ජාතිවල උපන්, අර්‍හත් මාර්‍ගයෙන් අන්‍ය කුසල් සිත් විස්සය (20)
  8. යථා කම්මූපග කුසලාභිඥාවට ප්‍රත්‍ය වන අතීත ලෞකික කුසල ධර්‍මයෝය.
  9. අනාගතංස කුසලාභිඥාවට ප්‍රත්‍යය වන අර්‍හත් මාර්‍ගය හැර කුසල් සිත් විස්සය (20)

10. චෛතසික අටතිසය (38) යන මොවුහු ආරම්මණ ප්‍රත්‍යයවූ මේ කුසල ධර්‍මයන්ගේ ප්‍රත්‍යොත්පන්න ධර්‍මයෝ නම්:-

  1. මහා කුසල් සිත් අටය (8)
  2. විඤ්ඤාණඤ්චායතන කුසල් සිතය.
  3. නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිතය
  4. ඉද්ධිවිධ කුසලාභිඥාවය
  5. චෙතොපරිය කුසලාභිඥාවය.
  6. පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඥාවය.
  7. යථාකම්මූපග කුසලාභිඥාවය.
  8. අනාගතංස කුසලාභිඥාවය.
  9. විරති, අප්‍රමාණ්‍යයන් හැර චෛතසික තෙතිසය (33)

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබිය හැකි ආරම්මණ, ආරම්මණාධිපති, ආරම්මණූපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති තුන අතුරෙන් ආරම්මණ ශක්තිය ලැබේ.

මේ වීථියේ අනුවාද වශයෙන්

  1. දානං දත්වා තං පච්චවෙක්ඛති

(දන් දීමෙහිදී පරිත්‍යාග චෙතනා ප්‍රධාන කාමාවචර කුසල චිත්තය එම කුසලය මෙනෙහි කරන්නාවූ කාමාවචර කුසල චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

ආහාර පානාදීවූ දාන වස්තූන් පරිත්‍යාග චෙතනාවෙන් දෙන කල්හි, ඔහුගේ සන්තානයෙහි පිළිවෙලින් භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේදයන් ඉපිද නිරුද්ධ වූ පසු එම දාන වස්තුව අරමුණුකොට මනොද්වාරාවජ්ජන චිත්තය ද, එයට අනතුරුව මහා කුසල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවන් වශයෙන් සත් වරක් ඉපිද නිරුද්ධ වෙති. එම චිත්ත වීථිය විභූතාරම්මණ වීථියක් වීනම් ජවනයන්ට අනතුරුව දෙවරක් තදාරම්මණය ඉපිද නිරුද්ධවීමෙන් පසු භවාඞ්ගය වේ. අවිභූතාරම්මණ වීථියක් වේනම් ජවනයට අනතුරුව භවාඞ්ගය වේ. ඒ චිත්ත වීථියෙන් දන්දීම සිදු වේ. අනතුරුව ඒ දාන වස්තුව අරමුණුකොට තදනුවර්‍තක මනොචාර වීථිහු උපදිති. පසුව ඒ දන්දුන් පුද්ගලයා විසින් තමාගේ සන්තානයෙහි උපන් පරිත්‍යාග චෙතනාව ප්‍රධාන කොට ඇති කුසල චිත්තය මෙනෙහි කරන කල්හි නැවත පිළිවෙලින් භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡෙද මනොචාරාවජ්ජන චිත්තයන් ඉපිද නිරුද්ධවූ පසු, ඒ දාන චෙතනාව ප්‍රධාන කොට උපන් කාමාවචර කුසල චිත්තය අරමුණු කොට මහා කුසල් සිත් අට අතුරෙන් එක් කුසල් සිතක් ජවන් වශයෙන් සත් වරක් ඉපිද, විභූතාරම්මණ වීථියක් වීනම් තදාරම්මණ සිත් දෙකක්ද, අවිභූතාරම්මණ වීථියක් වීනම් භවාඞ්ගයෙන්ද වීථිය අවසන් වේ එයට අනතුරුව ඒ පරිත්‍යාග චෙතනාව ප්‍රධාන කොට උපන් කුසල චිත්තය අරමුණු කොට තදනුවර්‍තක මනොචාර වීථිහු බොහෝ ගණනක් උපදිති එසේ උපදනා කාමා වචර කුසල ජවනයන් අතුරෙන් පරිත්‍යාග චෙතනාව ප්‍රධාන කොට ඇති කාමාවචර කුසලයන් ඒවා අරමුණු කොට ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් වශයෙන් හෙවත් මෙනෙහි කිරීම් වශයෙන් පසුව උපදනා කාමාවචර කුසලචිත්තයට ආරම්මණ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම” යයි කියනු ලැබේ.

2. සීලං සමාදියිත්‍වා තං පච්චවෙක්ඛති

(පඤ්චාඞ්ග සීල, දශසීලාදි වශයෙන් ඇතිවන සීල චෙතනාව ප්‍රධාන කාමාවචර කුසල චිත්තය ඒ සීලමය කුසලය ප්‍රත්‍යවේක්‍ෂා කරන හෙවත් මෙනෙහි කරන කාමාවචර කුසල චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

පන්සිල් සමාදන්ව, පඤ්ච දුශ්චරිතයෙන් වළක්නා පුද්ගලයාහට ඔහුගේ චිත්ත සන්තානයෙහි පිළිවෙලින් භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡෙද සිත් ඉපිද නිරුද්ධවූ කල්හි ප්‍රාණඝාතයෙන් වළක්නේ වේ නම් රූපජීවිතෙන්‍ද්‍රිය ය හෝ, රූපජීවිතෙන්‍ද්‍රියය අරමුණු කරන අකුසල චෙතනාව ප්‍රධාන කොට ඇති දොසමූල මොහමූල චිත්තය හෝ, ඒ දොසමූල මොහමූල චිත්තයන් විසින් උපදවන කාය විඥප්තිය හෝ අරමුණු කොට හෝ මනොද්වාරාවජ්ජන චිත්තය හා මහා කුසල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වෙති. ඉක්බිති තදාරම්මණ දෙසිත හා භවාඞ්ගය හෝ තදාරම්මණය නැතිව භවාඞ්ගය හෝ ඉපිද චිත්ත වීථිය අවසන්වේ. මේ වීථියෙන් ප්‍රාණ- ඝාතයෙන් වැළකීම සිදුවේ.

මේ පුද්ගලතෙමේ අදත්තාදානයෙන් වළක්නා කල්හි අන්සතු වස්තුව හෝ, එය අරමුණු කොට උපදනා අකුසල චෙතනාව ප්‍රධාන කොට ඇති දොළොස් අකුසල චිත්තයන් හෝ, ඒ සිත්වලින් උපදවන කාය විඥප්තිය හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන, ජවනයෝ උපදිති. මේ වීථියෙන් අදත්තාදානයෙන් වැළකීම සිදුවේ.

කාමමිථ්‍යාචාරයෙන් වළක්නා කල්හි පරස්ත්‍රී, පරපුරුෂයන් හෝ ඔවුන් අරමුණු කොට උපදනා චෙතනාව ප්‍රධාන කොට ඇති ලොහමූල මොහමූල චිත්තයන් හෝ, ඒ සිත් වලින් උපදවන කාය විඥප්තිය හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන ජවනයෝ උපදිති. මේ වීථියෙන් කාමමිථ්‍යාචාරයෙන් වැළකීම සිදුවේ.

මුසාවාදයෙන් වළක්නා කල්හි අසත්‍ය වස්තුව හෝ, එය අරමුණු කොට උපදනා අකුසල චෙතනාව ප්‍රධාන කොට ඇති දොළොස් අකුසල චිත්තයන් හෝ ඒවායින් උපදවන කාය වාග් විඥප්තින් හෝ, අරමුණු කොට මනොද්වාරාවජ්ජන, ජවනයෝ උපදිති. මේ වීථියෙන් මුසාවාදයෙන් වැළකීම සිදුවේ.

සුරාපානයෙන් වළක්නා කල්හි සුරාව හෝ එය අරමුණු කරන අකුසල චෙතනාව ප්‍රධාන කොට ඇති ලොභමූල මොහමූල චිත්තයන් හෝ, ඒ සිත්වලින් උපදවන කාය විඥප්තිය හෝ, අරමුණු කොට මනොද්වාරාවජ්ජන ජවනයෝ උපදිති. මේ වීථියෙන් සුරාපානයෙන් වැළකීම සිදුවේ.

මෙසේ ප්‍රාණඝාතාදියෙන් වළක්නා චිත්තවීථින්ට අනතුරුව සුදුසු පරිදි තදනුවර්‍තක මනොද්වාරවීථිහු උපදනාහ. ප්‍රාණඝාතාදියෙන් වැළකුණාවූ පුද්ගලයා විසින් පසුව එය ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි හෙවත් මෙනෙහි කරන කල්හි පිළිවෙලින් භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේදයන් ඉපිද නිරුද්ධ වූ පසු පඤ්චාඞ්ග සීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසල චිත්තයන් අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, මහා කුසල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවන් වශයෙන් සත්වරක් ඉපිද අනතුරුව තදාරම්මණ ඇතිව හෝ නැතිව හෝ භවාඞ්ගය වීමෙන් ප්‍රත්‍යවෙක්‍ෂා ජවන චිත්තවීථිය අවසන්වේ. එයට අනතුරුව සුදුසු පරිදි තදනුවර්‍තක මනොද්වාර වීථිහු උපදිති. මෙසේ පඤ්චාඞ්ග සීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසල චිත්තය, එය ප්‍රත්‍යවෙක්‍ෂා කරන කුසල චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම කුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම යයි කියනු ලැබේ.

දසසිල් සමාදන්ව ප්‍රාණඝාතාදි අකුසල කර්‍ම දසයෙන් වළක්නා කල්හි යටකී පිළිවෙළට කුසල ජවනයන් උපදිති. ප්‍රාණඝාත අදත්තාදානාදිය යට දක්වන ලදි අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වළක්නා කල්හි නුවණැතියන් පිළිකුල් කරන මෛථුන සෙවනය හෝ එය අරමුණු කරන අකුසල චෙතනාව ප්‍රධාන ලොභමූල චිත්තයන් හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන කුසල ජවනයන් සහිත වූ චිත්ත වීථි ඉපිද අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකීම සිදුවේ.

මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාපයන් ගෙන් වළක්නා කල්හි ඒ ඒ කර්‍මයන් සිදුකරන අකුසල චෙතනාවන් ප්‍රධාන කොට ඇති ලොභමූල, දොෂමූල, මොහ මූල චිත්තයන් හෝ ඒවායින් උපදවන වාග් විඥප්තිය හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන, කුසල ජවන සහිතවූ චිත්තවීථි ඉපිද ඒ මුසාවාදාදියෙන් වැළකීම සිදුවේ.

විකාල භොජනයෙන් වළක්නා කල්හි භොජනයන්හි ඇති වර්‍ණ ගන්‍ධාදී අවයවයන් හෝ සියලු භොජනයම හෝ ඒ භොජනයට ආශා කරන ලොභය ප්‍රධාන කොට ඇති අකුසල චිත්තයන් හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන කුසල ජවනයන් ඉපිද විකාල භොජනයෙන් වැළකීම සිදුවේ.

නච්ච ගීත විසූක දස්සනයෙන් වළක්නා කල්හි නෘත්‍යය ගීතාදිය පිළිබඳ රූප ශබ්දයන් හෝ එයට ඇලුම් කරන ලොභය ප්‍රධාන අකුසල චිත්තයන් හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන, කුසලජවනයන් ඉපිද නච්ච ගීත විසූක දස්සනාදියෙන් වැළකීම සිදුවේ.

මාලාගන්‍ධ විලෙපන ධාරණාදියෙන් වළක්නා කල්හි මාලාගන්‍ධාදියේ වර්‍ණ ගන්‍ධාදිය හෝ එයට ඇලුම් කරන ලොභමූල චිත්තයන් හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන කුසල ජවනයන් ඉපිද මාලාගන්‍ධ විලෙපන ධාරණාදියෙන් වැළකීම සිදුවේ.

ජාත රූප රජත පටිග්ගහනයෙන් වළක්නා කල්හි ඒ රන්රිදී ආදිය හෝ එයට ඇලුම් කරන ලොභමූල චිත්තයන් හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන, කුසල ජවනයන් ඉපිද ජාතරූප රජත පටිග්ගහනාදියෙන් වැළකීම සිදුවේ.

උච්චාසයන මහාසයනයන් ගෙන් වළක්නා කල්හි, උස් අසුන් මහ අසුන් හෝ ඒවායේ රූපාරම්මණ, පොට්ඨබ්බාරම්මණයන් හෝ ඒවා අරමුණු කරන ලොභමූල චිත්තයන් හෝ අරමුණු කොට මනොද්වාරාවජ්ජන, කුසල ජවනයන් ඉපිද උච්චාසයන, මහාසයනයන්ගෙන් වැළකීම සිදුවේ.

මේ චිත්ත වීථිවලට අනතුරුව සුදුසු පරිදි තදනුවර්‍තක මනොද්වාර වීථිහුද බොහෝ ගණනක් උපදිති. එසේ ප්‍රාණඝාතාදියෙන් වැළකුණු පුද්ගලයා විසින් සීල චේතනාව ප්‍රධාන කාමාවචර කුසලය ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි හෙවත් මෙනෙහි කරන කල්හි භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන් ඉපිද නිරුද්ධ වූ පසු සීල චේතනා ප්‍රධාන කාමාවචර කුසලය අරමුණු කොට මනොද්වාරාවජ්ජනය ද, මහා කුසල් සිත් අටෙන් එකක් ජවන් වශයෙන් සත් වරක් ද ඉපිද තදාරම්මණයන් ඇතිව හෝ නැතිව හෝ භවාඞ්ග වී චිත්ත වීථිය අවසන් වේ. එයට අනතුරුව සුදුසු පරිදි තදනුවර්‍තක මනොද්වාර වීථිහු පහළ වෙති. එසේ උපදනා චිත්ත වීථින්ගේ සීල චේතනා ප්‍රධාන කාමාවචර කුසල චිත්තයන් ඒවා අරමුණු කොට උපදනා කාමාවචර කුසල චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම” යයි කියනු ලැබේ. මේ සීල සමාදාන යන පදයෙන් ගිහියන්ගේ නිත්‍ය සීලය වූ පඤ්චාඞ්ග සීලය ද සාමණේරයන්ගේ නිත්‍ය සීලය වූ දශ සීලය ද, භික්‍ෂූන්ගේ චතුපාරිශුද්ධ සීලය හා වත් පිළිවෙත් කිරීම ද ගතයුතු.

  1. උපෝසථ කම්මං කත්‍වා තං පච්ච වෙක්ඛති.

(පෞෂථ ශීල චේතනා ප්‍රධාන කාමාවචර කුසලය එය ප්‍රත්‍යවේක්‍ෂා කරන කුසල චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍ය වේ.)

මේ පදයෙන් ගිහියන් විසින් පොහෝ දවස්හි රක්නා අෂ්ටාඞ්ගශීලය ගතයුතු. ප්‍රාණඝාතාදි වූ ඒ අකුසල් අටෙන් වළක්නා කල්හි ද පෙර කී පරිද්දෙන් ඒ ඒ කරුණු අරමුණු කොට උපදනා ශීලමය චේතනා ප්‍රධාන කුසල චිත්තය, ඒවා අරමුණු කොට උපදනා කුසල ප්‍රත්‍යවේක්‍ෂා ජවනයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම” යයි කියනු ලැබේ.

4. පුබ්බෙ සුචිණ්ණානි පච්චවෙක්ඛති.

(පෙර පවත්වන ලද දාන, ශීල, පෞෂථ ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය ඒවා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුසලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

පූර්‍වයෙහි දෙනලද දානයක් හෝ සමාදන් වූ පඤ්චාඞ්ග ශීල දශාඞ්ග ශීලයක් හෝ රක්නාලද පෞෂථ ශීලයක් හෝ ප්‍රත්‍යවේක්‍ෂා කරනු කැමැති කල්හි පිළිවෙලින් භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන් ඉපිද අනතුරුව පෙර ස්වසන්තානයෙහි ඇතිවූ දාන, ශීල, පෞෂථ ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, කාමාවචර කුසල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවන් වශයෙන් සත් වරක්ද ඉපිද නිරුද්ධ වෙති. අනතුරුව තදාරම්මණ ඇතිව හෝ නැතිව හෝ භවාඞ්ග වීමෙන් චිත්ත වීථිය අවසන් වේ. මේ චිත්ත වීථියෙන් පෙර පවත්වන ලද දාන, ශීල, පෞෂථ ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ. අනතුරුව සුදුසු පරිදි තදනුවර්‍තක මනොද්වාර වීථිහු පහළ වෙති. එසේ උපදනා කාමාවචර කුසල චිත්තයන්ට පෙර පවත්වන ලද දාන, ශීල, පෞෂථ ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම” යයි කියනු ලැබේ.

5. ඣානා වුට්ඨහිත්‍වා ඣානං පච්චවෙක්ඛති.

(ධ්‍යානයෙන් නැඟීසිට ඒ මහද්ගත කුසලය, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුසලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මේ අනුවාදයෙන් මහද්ගත කුසල් සිත් නවය එය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුසල චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම දැක්වේ.

ප්‍රථම ධ්‍යානය ලැබීමේ හේතු සම්පත් ඇත්තාවූ ත්‍රිහේතුක කාමාවචර මහා විපාක සිතකින් ප්‍රතිසන්‍ධිය ලැබූ කාම ත්‍රිහේතුක පුද්ගලයා විසින් දස කසිණයන් අතුරෙන් යම් කිසි කසිණයක ප්‍රතිභාග නිමිත්ත ගෙන පරිකර්‍ම කොට ඒ ප්‍රථම ධ්‍යානය ඉපදීමට ලංවූ කල්හි තමාගේ ප්‍රතිසන්‍ධි සිතට සමානවූ සිතක් භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේද වශයෙන් දෙවරක් ඉපිද නිරුද්ධවූ පසු කසිණ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොට මනොද්වාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. අනතුරුව ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් දෙක අතුරෙන් එක් සිතක්, ඒ පුද්ගල තෙම මන්‍ද ප්‍රාඥ දන්‍ධාභිඥ පුද්ගලයෙක් වී නම්, පරිකර්‍ම උපචාර, අනුලොම, ගොත්‍රභූ වශයෙන් සතර වරක්ද, තික්ඛප්‍රාඥ ඛිප්පාභිඥ පුද්ගලයෙක් වී නම් උපචාර, අනුලොම ගොත්‍රභූ වශයෙන් තුන්වරක්ද ඉපිද නිරුද්ධ වූ පසු, පස්වනුව හෝ සතරවනුව විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සඞ්ඛ්‍යාත වූ ධ්‍යානාඞ්ග පසෙන් යුක්ත වූ ප්‍රථමධ්‍යාන කුසල චිත්තය එක් වරක් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව කාම ත්‍රිහේතුක භවාඞ්ග සිත් සතරෙන් එකක් භවාඞ්ග වශයෙන් උපදී. මෙසේ ප්‍රථමධ්‍යානය ලැබූ ත්‍රිහේතුක පුද්ගලයා ඒ ප්‍රථමධ්‍යානයට අයත් විතර්‍කාදි ධ්‍යානාඞ්ගයන් මෙනෙහි කරන කල්හි භවාඞ්ගචලන භවාඞ්ගු -පච්ඡේදයන් ඉපිද නිරුද්ධවූ කල්හි ධ්‍යානාඞ්ගය අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, එයට අනතුරුව මහා කුසල් සිතක් ප්‍රත්‍යවේක්‍ෂා ජවන් වශයෙන් සත්වරක් හෝ සතර වරක් පස්වරක් හෝ ඉපිද නිරුද්ධ වූ පසු සුදුසු පරිදි භවාඞ්ගයෝ වෙති. මෙසේ තමන් ලැබූ ධ්‍යානයෙහි අන්තර්‍ගත ඒ ඒ අඞ්ගයන් වෙන් වෙන්වූ ප්‍රත්‍යවේක්‍ෂා ජවන වීථිවලින් දැනගනී. මේ චිත්ත වීථිවලින් ප්‍රථමධ්‍යාන වීථියෙහි ධ්‍යාන කුසල චිත්ත, ප්‍රත්‍යවේක්‍ෂා වීථියෙහි කාමාවචර ජවනයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයක පහළවීමට ආරම්මණ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

ඒ ප්‍රථමධ්‍යානය ලැබූ පුද්ගල තෙමේ ප්‍රථමධ්‍යාන සමාපත්තියට සමවදිනු කැමති කල්හි යට කී පරිදි භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව කසිණ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොට මනොද්වාරාවජ්ජන සිතද, මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත සිතක් මන්‍දප්‍රාඥ තික්ඛප්‍රාඥ පුද්ගලයන්ගේ වශයෙන් සතර වරක් හෝ තුන් වරක් පරිකර්‍ම, උපචාර, අනුලොම, ගොත්‍රභූ යන නම් වලින්ද ඉපිද නිරුද්ධවූ පසු ධ්‍යානාඞ්ග පසෙන් යුත් රූපාවචර ප්‍රථමධ්‍යාන සිත බොහෝ වාර ගණනක් උපදී.

ප්‍රථමධ්‍යාන සමාපත්තියට සමවැදුනු හෙතෙමේ ධ්‍යානාඞ්ගයන් මෙනෙහි කරන කල්හි ඒ ඒ ධ්‍යානාඞ්ගයන් අරමුණු කොට වෙන් වෙන්වූ ප්‍රත්‍යවේක්‍ෂා ජවන චිත්ත වීථි පහළවීමේදී ඒ රූපාවචර ප්‍රථමධ්‍යාන චිත්තය ආවර්ජනා වීථිවල කාමාවචර කුසල ජවනයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

මේ ක්‍රමයෙන්, රූපාවචර ධ්‍යාන පසත් අරූපාවචර ධ්‍යාන සතරත් යන මහද්ගත කුසල නවය, එය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ කාමාවචර කුසලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම දතයුතු.

6. සෙක්ඛා ගොත්‍රභුං පච්චවෙක්ඛන්ති.

(සෝවාන් මාර්‍ග චිත්තයට පූර්‍වයෙහි උපදනා මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත චිත්තය, ඒ සෝවාන් පුද්ගලයාගේ සන්තානයෙහි උපදනා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ කාමාවචර කුසල චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

විදර්‍ශනාව සම්පූර්‍ණ වූ ත්‍රිහේතුක පෘථග්ජන පුද්ගලයාහට සෝවාන් මාර්‍ග සිත ඉපදීමට ළං වූ කල්හි, භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව ත්‍රෛභූමික සංස්කාරයන් අරමුණු කොට මනොද්වාරාවජ්ජන චිත්තයද, ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක් මන්‍දප්‍රාඥ, තික්ඛප්‍රාඥයන්ගේ වශයෙන් තුන්වරක් හෝ දෙවරක් පරිකර්‍ම, උපචාර, අනුලොම වශයෙන්ද ඉපිද නිරුද්ධ වූ පසු ඒ සිතම නිර්‍වාණය අරමුණු කරමින් ගොත්‍රභූ යන නාමයෙන් ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව සෝවාන් මාර්‍ග චිත්තය එක්වරක් ඉපිද නිරුද්ධ වූ පසු සෝවාන් ඵල සිත මන්‍දප්‍රාඥ තික්ඛප්‍රාඥයන්ගේ වශයෙන් දෙවරක් හෝ තුන්වරක් ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව භවාඞ්ග සිත් පහළ වේ. මෙය සෝවාන් මාර්‍ග චිත්තය ලැබීමේදී පහළ වන චිත්ත වීථිය වේ.

සෝවාන් පුද්ගලයා විසින් තමාගේ ගොත්‍රභූ සිත මෙනෙහි කරනු කැමති කල්හි සෝවාන් මාර්‍ග සිතට පූර්වයෙහි ඇතිවූ ගොත්‍රභූ සිත අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, එයට අනතුරුව ගොත්‍රභූ සිතම අරමුණු කොට කාමාවචර කුසල් සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගපාතය වේ. ඒ වීථියෙහි උපදනා මහා කුසල ජවනයට සෝවාන් පුද්ගලයාගේ ගොත්‍රභූ චිත්තය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම කුසල ධර්‍මය කුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

7. සෙක්ඛාවොදානං පච්චවෙක්ඛන්ති.

(සකෘදාගාමි අනාගාමි මාර්‍ග දෙකට පූර්‍වයෙහි වොදාන කෘත්‍ය සිදුකරමින් උපදනා ඥානසම්ප්‍රයුක්ත මහා කුසල් සිත, එය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නා වූ කාමාවචර කුසල් සිතට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

සකෘදාගාමි, අනාගාමි පුද්ගලයන් විසින් තමතමන්ගේ වොදාන චිත්තයන් මෙනෙහි කරනු කැමති කල්හි භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේද චිත්තයන්ට අනතුරුව වොදාන සිත අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, කාමාවචර මහා කුසල් සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය ඇතිවේ. මේ චිත්ත වීථියෙහි උපදනා කාමාවචර ප්‍රත්‍යවෙක්‍ෂා ජවනයන්ට වොදාන කෘත්‍යය සිදුකරමින් උපන් කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයකගේ පභළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. සෙක්ඛා මග්ගාවුට්ඨහිත්‍වා මග්ගං පච්ච වෙක්ඛන්ති.

(සෝවාන්, සකෘදාගාමි, අනාගාමි මාර්‍ග චිත්තයන් එය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නාවූ ඥානසම්ප්‍රයුක්ත මහා කුසල චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

සෝවාන් මාර්‍ගයට හා ඵලයට පැමිණි ආර්‍ය්‍ය පුද්ගල තෙමේ තමා පැමිණි සෝවාන් මාර්‍ගය මෙනෙහි කරනු කැමති කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව සෝවාන් මාර්‍ග සිත අරමුණු කරමින් මනොචාරාවජ්ජනයද, ඥානසම්ප්‍රයුක්ත මහා කුසල් සිතක් ජවන කෘත්‍යයයෙන් සත් වරක්ද ඉපිද නිරුද්ධවූ පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථියෙහි සෝවාන් මාර්‍ගය ප්‍රත්‍යවෙක්‍ෂා කරන ඥානසම්ප්‍රයුක්ත මහා කුසල් සිතට සෝවාන් මාර්‍ග සිත ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයකගේ පභළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ. මේ පිළිවෙලින් සකෘදාගාමි මාර්‍ග සිත හා අනාගාමි මාර්‍ග සිතද ඒවා ප්‍රත්‍යවෙක්‍ෂා කරන මහා කුසල ජවනයන්ට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන සැටි දතයුතු.

  1. සෙක්ඛාවා පුථුජ්ජනාවා කුසලං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සන්ති.

(ශෛක්‍ෂයන් විසින් හෝ පෘථග්ජනයන් විසින් හෝ ත්‍රෛභූමික කුසලය, අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරන කල්හි ඒ කුසල් සිත විදර්‍ශනා කරන්නාවූ කාමාවචර කුසල් සිතට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

ශෛක්‍ෂයන් විසින් හෝ පෘථග්ජනයන් විසින් හෝ ත්‍රෛභූමික කුසලය අනිත්‍යය, දුක්ඛ ය, අනාත්මය යයි විදර්‍ශනා වශයෙන් මෙනෙහි කරන කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව ත්‍රෛභූමික කුසලය අරමුණු කොට මනොද්වාරාවජ්ජනය හා කාමාවචර මහා කුසල් සිතක් ජවන් වශයෙන් සත්වරක් ද ඉපිද නිරුද්ධවීමෙන් පසු භවාඞ්ගය වේ. විදර්‍ශනා කිරීමේදී මෙවැනි චිත්තවීථි බොහෝ ගණන් ඇතිවෙත්. ඒ වීථිවල කාමාවචර කුසල ජවනයන්ට ත්‍රෛභූමික කුසලයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

10. සෙක්ඛාවා පුථුජ්ජනාවා චෙතොපරියඤාණෙන කුසලචිත්ත සමඞ්ගිස්ස චිත්තං ජානන්ති.

(ශෛක්‍ෂයන් විසින් හෝ පෘථග්ජනයන් විසින් හෝ චෙතොපරියඤාණයෙන් හෙවත් පරසිත් දන්නා නුවණින් අතීත සත්වන දිනය පටන් අනාගත සත්වන දින දක්වා අන්‍ය පුද්ගලයන්ගේ සන්තානයෙහි කාලත්‍රයට අයත්වූ අර්හත් මාර්ග සිත හැර කුසල් සිත් විස්ස අරමුණු කරන කල්හි ඒ කුසල් සිත් චෙතොපරිය කුසල අභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෙක් චෙතොපරිය කුසලාභිඤ්ඤාව ලබා අතීතයෙන් සත්වන දිනටත් අනාගතයෙන් සත්වන දිනටත් අතර කාලත්‍රයට අයත්වූ අර්හත් මාර්ගයෙන් අන්‍යවූ පරසන්තානගත කුසලයන් දකිනු කැමතිව රූපාවචර පඤ්චමධ්‍යානයට සමවදිනු කැමති කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව ආලෝක කසිණය අරමුණු කරමින් මනොද්වාරාවජ්ජන චිත්තයද, උපෙක්ඛාසහගත ඤාණසම්ප්‍රයුක්ත සිතක් මන්දප්‍රාඥ, තීක්ෂ්ණප්‍රාඥයන්ගේ වශයෙන් සතර වරක් හෝ තුන් වරක් හෝ ඉපිද නිරුද්ධවූ පසු රූපාවචර පඤ්චම ධ්‍යාන සිත බොහෝ වාර ගණනක් ඉපිද නිරුද්ධ වේ. මෙසේ රූපාවචර පඤ්චමධ්‍යාන සමාපත්තියට සමවැද ඉක්බිති පරචිත්තය දැනගැනීමට අධිෂ්ඨාන කරන කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව අධිෂ්ඨානය ආවර්ජනා කරමින් මනොද්වාරාවජ්ජන සිතද මහා කුසල් සිතක් අසුවල් සිත දැනගනිමියි අධිෂ්ඨාන කිරීම් වශයෙන් ජවන කෘත්‍යයෙන් සත්වරක් ඉපිද භවාඞ්ග වෙත්. මෙපරිද්දෙන් අධිෂ්ඨානකොට එයට අනතුරුව චෙතොපරිය කුසලාභිඤ්ඤාවට පාදක වන රූපාවචර පඤ්චමධ්‍යානයට නැවත වරක් සමවදී. එයින් නැගිට පරසන්තාන ගත කුසල චිත්තය දක්නා චෙතොපරිය කුසලාභිඤ්ඤා චිත්තය ඉපදීමේදී භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව ඒ පරසන්තානගත කුසල් සිත අරමුණු කරමින් මනොද්වාරාවජ්ජන චිත්තයද, උපෙක්ඛාසහගත ඥානසම්ප්‍රයුක්ත සිතක් අනුරූප පරිදි සතර වරක් හෝ තුන්වරක් ජවන වශයෙන් ඉපිද නිරුද්ධවූ පසු චෙතොපරිය කුසලාභිඤ්ඤා භාවයෙන් රූපාවචර පඤ්චමධ්‍යාන සිත එක් වරක් ඉපිද නිරුද්ධවේ. මේ චිත්ත වීථියට අනතුරුව නැවත භවාඞ්ග චලනාදීන් ඉපිද එයට අනතුරුව චෙතොපරිය ඤාණයෙන් දක්නාලද පරසන්තානගත කුසල චිත්තය අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනයද, මහා කුසල් සිතක් ජවන් වශයෙන් සත් වරක් ඉපිද නිරුද්ධවීමෙන් පසු භවාඞ්ග වෙති. ඒ වීථියෙන් පරසන්තානගත චිත්තය දැනගනී. මේ චිත්ත වීථිවලින් අභිඤ්ඤා වීථියේ චෙතොපරියඤාණය ප්‍රධාන රූපාවචර කුසල පඤ්චමධ්‍යාන චිත්තයට හා අනතුරු වීථිවල මහා කුසල ජවනයන්ට පරසන්තානගත කුසල් සිත් විස්ස ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්මය කුසල ධර්මයකගේ පහළවීමට ආරම්මණ ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. ආකාසානඤ්චායතන කුසලං විඤ්ඤාණඤ්චායතන කුසලස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(වර්‍තමාන අතීත භවයන්හි ස්වසන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුසලය, වර්‍තමාන භවයෙහි විඤ්ඤාණඤ්චායතන කුසලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

ආකාසානඤ්චායතන කුසලධ්‍යානය ලබාගත් කාමත්‍රිහේතුක වූ හෝ, රූපභූමික වූ හෝ, ආකාසානඤ්චායතන භූමිකවූ හෝ පුද්ගලයෙක් තමා ලබාගත් ආකාසානඤ්චායතන ධ්‍යානයෙහි දෝෂයත්, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයෙහි ශාන්තභාවයත් දැක එය ලබාගැනීම පිණිස ආකාසානඤ්චායතන කුසල් සිත අරමුණු කොට “විඤ්ඤාණය අනන්තය” යනාදී වශයෙන් භාවනා කළ කල්හි, භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡෙදයත් ඉපිද නිරුද්ධ වූ පසු මේ සන්තානයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසල් සිත අරමුණුකොට මනොද්වාරාවජ්ජන සිතද, අනතුරුව මහා කුසල උපෙක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත සිතක්, පරිකර්‍ම, උපචාර, අනුලොම, ගොත්‍රභූ වශයෙන් සතර වරක් හෝ තික්ඛප්‍රාඥයෙකු වීනම් උපචාර, අනුලොම, ගොත්‍රභූ වශයෙන් තුන්වරක් හෝ ඉපිද නිරුද්ධ වේ. ඉක්බිතිව විඤ්ඤාණඤ්චායතන කුසලධ්‍යානය ඉපිද නිරුද්ධවීමෙන් පසු භවාඞ්ගය වේ.

මෙසේ විඤ්ඤාණඤ්චායතනධ්‍යානය ලැබූ පුද්ගලයා විසින් එම ධ්‍යානයට සමවදිනු කැමති කල්හි පෙර තම සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුසල චිත්තය අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, උපෙක්ඛාසහගත ඤාණසම්ප්‍රයුක්ත කුසල් සිතක් උපචාර ජවන් වශයෙන් සතර වරක් හෝ තුන්වරක් ඉපිද නිරුද්ධවූ පසු විඤ්ඤාණඤ්චායතන කුසලධ්‍යාන සිත බොහෝ වාර ගණනක් උපදී අනතුරුව භවාඞ්ගය වේ. එසේ උපදනා විඤ්ඤාණඤ්චායතන කුසල චිත්තයන්ට අතීත භවයේ හා වර්‍තමාන භවයේ ඒ සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුසල චිත්තයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

12. ආකිඤ්චඤ්ඤායතන කුසලං නෙවසඤ්ඤානා- සඤ්ඤායතන කුසලස්ස ආරම්මණපච්චයෙන පච්චයො.

(වර්‍තමාන අතීත භවයන්හි ස්වසන්තානයෙහි උපන් ආකිඤ්චඤ්ඤායතන කුසලය වර්‍තමාන භවයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි විස්තරය එකොළොස්වන අනුවාදයට අනුව දතයුතු.

13. කුසලා ඛන්‍ධා ඉද්ධිවිධ ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(පාදක රූපාවචර කුසල පඤ්චමධ්‍යානය, ඉද්ධිවිධ කුසලාභිඤ්ඤා රූපාවචර කුසල පඤ්චමධ්‍යාන චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

රූපයන් නිර්‍මාණය කරණු පිණිස රූපාවචර පඤ්චමධ්‍යානයට සමවදිනු කැමති කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන් ඉපිද නිරුද්ධ වූ පසු පඨවි කසිණ ප්‍රතිභාග නිමිත්ත අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, උපෙක්ඛාසහගත ඤාණසම්ප්‍රයුක්ත සිතක් සතර වරක් හෝ තුන් වරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු රූපාවචර පඤ්චම ධ්‍යාන සිත බොහෝ වාර ගණනක් උපදී. අනතුරුව භවාඞ්ගය වේ. එයට පසුව “සියයක් වෙමි” “දහසක් වෙමි” යනාදී වශයෙන් අධිෂ්ඨානය කරන කල්හි එම අධිෂ්ඨානය අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, මහා කුසල් සිතක් අධිෂ්ඨාන ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු භවාඞ්ගය වේ.

මෙසේ අධිෂ්ඨානකොට නැවත ඉද්ධිවිධ කුසලාභිඤ්ඤාවට පාදක වනු පිණිස රූපාවචර කුසල පඤ්චමධ්‍යානයට සමවදිනු කැමති කල්හි පඨවි කසිණ ප්‍රතිභාග නිමිත්ත අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, උපෙක්ඛාසහගත ඤාණසම්ප්‍රයුක්ත සිතක් සතර වරක් හෝ තුන් වරක් ඉපිද නිරුද්ධවීමෙන් පසු රූපාවචර කුසල පඤ්චමධ්‍යාන සිත බොහෝ වාර ගණනක් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව භවාඞ්ගය වේ. මෙයට පසුව ඉද්ධිවිධ අභිඤ්ඤා චිත්තය උපදනා කල්හි රූපාවචර කුසල පඤ්චමධ්‍යානය අරමුණු කොට මනොචාරාවජ්ජනයද, උපෙක්ඛාසහගත ඤාණසම්ප්‍රයුක්ත මහා කුසල් සිතක් සතර වරක් හෝ තුන් වරක් ඉපිද නිරුද්ධවීමෙන් පසු රූපාවචර පඤ්චමධ්‍යාන සිත පාදක රූපාවචර පඤ්චමධ්‍යානය අරමුණු කරමින් සිය දහස් ගණන් රූපයන් නිර්‍මාණය කරමින් ඉද්ධිවිධ අභිඥා කෘත්‍යයෙන් එක් වරක් උපදී. අනතුරුව භවාඞ්ගය වේ. මේ චිත්ත වීථියට පසු නිර්‍මාණය කරනලද රූපයන් අරමුණුකොට තදනුවර්‍තක මනොචාර වීථිහු පහළවෙති.

මේ චිත්ත වීථිවල පාදක රූපාවචර කුසල පඤ්චමධ්‍යානය ඉද්ධිවිධ අභිඤ්ඤා රූපාවචර කුසල පඤ්චමධ්‍යාන චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

14. කුසලා ඛන්‍ධා චෙතොපරියඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අතීතයෙන් සත්වන දිනය පටන් අනාගතයෙහි සත් වන දිනය දක්වා කාලයෙහි, කාලත්‍රයට අයත් පරසන්තාන ගත, අර්‍හත් මාර්‍ග සිත හැර, කුසල් සිත් විස්ස චෙතොපරිය කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

චෙතොපරිය ඤාණයට පාදක වන්නේ ආලොක කසිණය අරමුණු කරණ පඤ්චමධ්‍යානයයි. අධිෂ්ඨාන වීථියට අරමුණු වන්නේ අර්‍හත් මාර්‍ග සිත හැර අන්‍යවූ පරසන්තානගත කුසල් සිත් විස්සය. අධිෂ්ඨාන කරන කල්හි “අසුවලාගේ කුසල් සිත දැනගනිමි” යි කියා අධිෂ්ඨාන කළයුතු. අභිඥා චිත්තයට අරමුණු වන්නේත් ඒ කුසල් සිත් විස්සමය. සෙස්ස ඉද්ධිවිධ ඤාණයට කියන ලද ක්‍රමය අනුව දතයුතු.

15. කුසලා ඛන්‍ධා පුබ්බෙ නිවාසානුස්සති ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අර්හත් මාර්ග සිත හැර කුසල් සිත් විස්ස පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඥාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

පුබ්බෙනිවාසානුස්සති ඤාණයට පාදක වන්නේ ආලොක කසිණ අරමුණු කරන පඤ්චමධ්‍යානයයි. අධිෂ්ඨාන වීථියට හා අභිඥා වීථියට අරමුණු වන්නේ කුසල් සිත් විස්සය. සෙස්ස ඉද්ධිවිධ ඤාණයට කියන ලද ක්‍රමය අනුව දත යුතු.

16. කුසලා ඛන්‍ධා යථා කම්මූපග ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අතීත ලෞකික කුසල් සිත් සතළොස (17) යථා කම්මූපග කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

යථා කම්මූපග ඤාණයට පාදක වන්නේ ආලොක කසිණය අරමුණු කරන පඤ්චමධ්‍යානයයි. අධිෂ්ඨාන වීථියට හා අභිඤ්ඤා වීථියට අරමුණු වන්නේ අතීත ලෞකික කුසල් සිත් සතළොසය. “අතීත කර්මය දැනගනිමි”යි කියා අධිෂ්ඨානය කළයුතු. සෙස්ස පෙර මෙනි.

17. කුසලා ඛන්‍ධා අනාගතංසඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අර්හත් මාර්ග සිත හැර අන්‍යවූ අනාගත කුසල් සිත් විස්ස අනාගතංසකුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

අනාගතසංස ඤාණයට පාදක වන්නේ ආලොක කසිණය අරමුණු කරන පඤ්චමධ්‍යානයයි. අධිෂ්ඨාන වීථියට හා අභිඥා වීථියට අරමුණු වන්නේ අනාගත කුසල් සිත් විස්සය. “අනාගත ස්කන්‍ධයන් දැනගනිමි”යි අධිෂ්ඨාන කළ යුතු. සෙස්ස පෙර කියන ලද පරිද්දෙන් දතයුතු.

මෙය “කුසල ධර්මය කුසල ධර්මයකගේ පහළවීමට ආරම්මණ ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

2. වීථිය

කුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය අකුසල ධර්මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

මෙහි අකුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවන කුසල ධර්මයෝ නම් ලෞකික කුසල් සිත් සතළොසය.

මේ කුසල ධර්මයන්ගේ ප්‍රත්‍යොත්පන්න ධර්මයෝ නම් අකුසල් සිත් දොළොස සහ චෛතසික සත් විස්සය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබිය හැකි ආරම්මණ ආරම්මණාධිපති, ආරම්මණූපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති තුන අතුරෙන් ආරම්මණ ශක්තිය ලැබේ

මේ විථියේ අනුවාද වශයෙන්

1. දානං දත්‍වා තං අස්සාදෙති, අභිනන්‍දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

(දන්දීමේ ත්‍යාග චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය “මා විසින් උසස් පිනක් කරගන්නා ලද්දේ” යයි ලොභ සිතින් ආස්වාදනය කරන කල්හි ලොභ මූල සොම්නස් සහගත සිත් සතරට ද, “මාගේ පින ඉතා හොඳ” යයි ඒ ගැන සතුටුවන කල්හි ප්‍රීතිය ප්‍රධාන ලොභ මූල සිත් සතරට ද, එය කරණකොට ගෙන පිනට ඇලුම් කරන කල්හි රාගය ප්‍රධාන ලොභ මූල සිත් අටට ද, “මම පිනක් කෙළෙමි” යි වරදවා ගන්නා කල්හි දෘෂ්ටිය ප්‍රධාන ලොභ මූල සිත් සතරට ද, “දන් දී මා කෙළේ පිනක් ද පවක් ද යනාදීන්” සැක ඇතිවන කල්හි මොහ මූල විචිකිච්ඡා සහගත චිත්තයට ද, ඒ ගැන සිත වික්‍ෂිප්තවන කල්හි මොහ මූල උද්ධච්ච සම්ප්‍රයුක්ත චිත්තයට ද, දන් දී පසුව ඒ ගැන නොසතුටුවන කල්හි ද්වෙෂ මූල සිත් දෙකට ද ආරම්මණ ශක්තියෙන් උපකාරක වේ.)

දන් දීමෙන් පසු ඒ පරිත්‍යාග චෙතනාව ප්‍රධාන කොට ඇති මහා කුසල් සිත් අටෙන් යම් සිතක් අරමුණු කොට ආස්වාදන අභිනන්‍දනාදී වශයෙන් අකුසල ජවන චිත්ත වීථින් උපදනා කල්හි භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව පරිත්‍යාග චෙතනාව ප්‍රධාන කාමාවචර කුසලය අරමුණු කොට මනොද්වාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව කුසලය ආස්වාදනය කරන්නේ නම් සොම්නස් සහගත ලෝභ මූල සිත් සතරෙන් එකක් ද, සතුටු වන්නේ නම් සප්‍රීතික තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සොම්නස් සහගත සිත් සතරෙන් එකක් ද, ඇලුම් කරන්නේ නම් රාගය ප්‍රධාන ලෝභ මූල සිත් අටෙන් එකක් ද, දෘෂ්ටි වශයෙන් වරදවා ගන්නේ නම් ලෝභ මූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙන් එකක් ද, සැක කරන්නේ නම් විචිකිච්ඡා සහගත සිත ද, වික්‍ෂිප්ත වන්නේ නම් උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත ද, නොසතුටු වන්නේ නම් ද්වෙෂ මූල සිත් දෙකෙන් එකක් ද, ජවන කෘත්‍යයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව තදාරම්මණයන් ඇතිව හෝ නැතිව හෝ භවාඞ්ගයෝ වෙති මේ වීථියෙහි අකුසල ජවනයන්ට කාමාවචර කුසලය ආරම්මණ ශක්ති යෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය අකුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම” යයි කියනු ලැබේ.

2. සීලං සමාදියිත්‍වා තං අස්සාදෙති අභිනන්‍දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

(සිල් සමාදන්ව, ඒ සීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය මා විසින් උසස් පිනක් කරගන්නා ලද්දේ යයි ලෝභ සිතින් ආස්වාදනය කරන කල්හි ලෝභ මූල සොම්නස් සිත් සතරට ද, ඒ ගැන සතුටුවන කල්හි ප්‍රීතිය ප්‍රධාන ලොභ මූල සිත් සතරට ද, එය කරණකොටගෙන පිනට ඇලුම් කරන කල්හි රාගය ප්‍රධාන ලොභ මූල සිත් අටට ද, වරදවා ගන්නා කල්හි දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරට ද, සැක ඇතිවන කල්හි විචිකිච්ඡා සහගත සිතට ද, වික්‍ෂිප්ත වන කල්හි උද්ධච්ච සහගත චිත්තයට ද, සිල් සමාදන්ව පසුව ඒ ගැන නොසතුටුවන කල්හි ද්වේෂ මූල සිත් දෙකට ද ආරම්මණ ශක්තියෙන් උපකාරක වේ.)

සිල් සමාදන්ව ඒ සීල චෙතනාව ප්‍රධානකොට ඇති මහා කුසල් සිත් අටෙන් යම් සිතක් අරමුණුකොට ආස්වාදන අභිනන්‍දනාදී වශයෙන් අකුසල ජවන චිත්ත වීථින් උපදනා කල්හි පළමු කී පරිදි දොළොස් අකුසල චිත්තයන් ජවන කෘත්‍යයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වෙති. මෙසේ සීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය දොළොස් අකුසලයන්ටම ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය අකුසල ධර්මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම” යයි කියනු ලැබේ.

3. උපෝසථ කම්මං කත්‍වා තං අස්සාදෙති, අභිනන්‍දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

(උපෝසථ කර්මය නම්වූ අෂ්ටාඞ්ගපෞෂථ ශීල ප්‍රධාන කාමාවචර කුසලය එය ආස්වාදනය කරන කල්හි ද, අභිනන්‍දනය කරන කල්හි ද, එය කරණකොටගෙන රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්ධච්චය, දොමනස්සය උපදනා කල්හි ද යට කියනලද පරිද්දෙන් දොළොස් අකුසලයන්ට ආරම්මණ ශක්තියෙන් උපකාරක වේ.)

අෂ්ටාඞ්ගපෞෂථ ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය දොළොස් අකුසලයන්ට ආරම්මණ ශක්තියෙන් උපකාරවන ක්‍රමය යට දක්වන ලද ක්‍රමය අනුව දතයුතු.

4. පුබ්බෙ සුචිණ්ණානි අස්සාදෙති, අභිනන්‍දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

(පෙර පවත්වන ලද දාන, සීල, අෂ්ටාඞ්ග සීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය, එය ආස්වාදනය කරන කල්හි ද, අභිනන්‍දනය කරන කල්හි ද, එය කරණකොටගෙන රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්ධච්චය, දෝමනස්සය උපදනා කල්හි ද, යට දක්වන ලද පරිද්දෙන් දොළොස් අකුසලයන්ට ආරම්මණ ශක්තියෙන් උපකාරක වේ.)

පෙර පවත්වන ලද දාන, සීල, අෂ්ටාඞ්ග සීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය, දොළොස් අකුසල චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යවන ආකාරය යට කියන ලද පරිදි දතයුතු.

5. ඣානා වුට්ඨහිත්‍වා ඣානං අස්සාදෙති අභිනන්‍දති තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති

(ධ්‍යාන සමවතින් නැගී එම ධ්‍යානය ආස්වාදනය කරන කල්හිද, අභිනන්‍දය කරන කල්හිද, එය කරණ කොට ගෙන රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්ධච්චය උපදනා කල්හිද, එම මහද්ගත කුසල් නවය ලොභ මූල, මොහ මූල අකුසල් චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් උපකාරක වේ.

මෙහි ධ්‍යාන නම් ලෞකිකවූ රූපාවචර අරූපාවචර ධ්‍යානයෝය. ධ්‍යාන ලාභී පුද්ගලතෙම ධ්‍යාන සමවතින් නැගී එම ධ්‍යානයම අරමුණු කරමින් ආස්වාදන අභිනන්‍දනා දිය කරන කල්හි ඇතිවන අකුසල ජවන චිත්ත වීථින්හි උපදනා ලොභ මූල, මොහ මූල අකුසල ජවනයන්ට එකී ධ්‍යාන සිත් නවය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම, “කුසල ධර්මය අකුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

6. ඣානෙ පරිහීනෙ විප්පටිසාරිස්ස දෝමනස්සං උප්පජ්ජති.

(ධ්‍යානයෙන් පිරිහුණු කල්හි නැවත එය සිහිකරන්නා භට දොම්නස උපදී. එකල්හි පරිහීනවූ මහද්ගත කුසල ධ්‍යානය එය අරමුණු කරන ද්වේෂ මූලික අකුසල ජවනයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

යම් නුසුදුසු කරුණකින් පිරිහුණාවූ ධ්‍යානය අරමුණු කොට ද්වේෂ මූල ජවනය උපදනා කල්හි, භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව පරිහීන ධ්‍යානය අරමුණු කොට මනොද්වාරා වජ්ජනයද, එයට අනතුරුව ද්වේෂ මූල දෙසිතෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ඉපිද නිරුද්ධවූ පසු භවාඞ්ගය වේ. මේ පුද්ගල තෙම කාම ත්‍රිහේතුක උපෙක්ඛා සහගත සිතකින් ප්‍රතිසන්‍ධිය ලැබූ පුද්ගලයෙක් වීනම්, කාම ත්‍රිහේතුක උපෙක්‍ෂා සහගත භවාඞ්ග දෙකින් එක් සිතක් භවාඞ්ග කෘත්‍යයෙන් උපදී. හෙතෙම කාම ත්‍රිහේතුක සොමනස්ස සහගත චිත්තයකින් ප්‍රතිසන්‍ධිය ලැබූ පුද්ගලයෙකු වීනම්, කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිත, පෙර පුරුදු අරමුණක් ගනිමින් ආගන්තුක භවාඞ්ග කෘත්‍යයයෙන් ඉපිද නිරුද්ධ වීමෙන් පසු තමන්ට අයත් කාමත්‍රිහේතුක සොමනස්ස භවාඞ්ගයෝ උපදිති. මේ චිත්තවීථියෙහි අකුසල ජවනයන්ට ඒ පිරිහුණු ධ්‍යාන කුසල චිත්තය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය අකුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

3. වීථිය

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො,

(කුසල ධර්‍මය හෙවත් කුසල් සිත් එක් විස්ස අව්‍යාකෘත ධර්‍මයන්ට හෙවත් විපාක ක්‍රියා චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි අව්‍යාකෘත ධර්‍මයන්ට ආරම්මණ ශක්තියෙන් උපකාරවන කුසල ධර්‍මයෝ නම් කුසල් සිත් එක්විස්සය (21).

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:-

තදාරම්මණ එකොළොසය.

පඤ්චද්වාරාවජ්ජනය හැර අන්‍ය වූ කාම ක්‍රියා දශය.

විඤ්ඤාණඤ්චායතන විපාක ක්‍රියා දෙකය.

නේවසඤ්ඤා නාසඤ්ඤායතන විපාක ක්‍රියා දෙකය.

චෙතොපරිය, පුබ්බෙනිවාසානුස්සති, යථාකම්මූපග, අනාගතංස අභිඥාවෝය.

විරති අප්‍රමාණ්‍යයන් හැර චෛතසික තෙතිසය (33) යන අව්‍යාකෘත ධර්‍මයෝයි.

මෙහි සුදුසු පරිදි එක්වර ලැබෙන ආරම්මණ, ආරම්මණාධිපති, ආරම්මණූපනිස්සය යන ප්‍රත්‍ය ශක්ති තුනෙන් ආරම්මණ ප්‍රත්‍යය ශක්තියම ලැබේ.

මේ වීථියේ අනුවාද වශයෙන්

  1. අරහා මග්ගාවුට්ඨහිත්‍වා මග්ගං පච්චවෙක්ඛති.

(රහතන්වහන්සේ අර්‍හත් මාර්‍ගයෙන් නැගී එම අර්‍හත් මාර්‍ග කුසලය ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි, එම ප්‍රත්‍යවෙක්‍ෂා ජවනයන්ට අර්‍හත් මාර්‍ග සිත ආරම්මණ ශක්තියෙන් උපකාර වේ)

රහතන්වහන්සේ තමා ලත් අර්‍හත් මාර්‍ග චිත්තය ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව අර්‍හත් මාර්‍ග සිත අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරින් එක් සිතක් ප්‍රත්‍යවෙක්‍ෂා ජවන් වශයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධවීමෙන් පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථිවල අර්‍හත් මාර්‍ග චිත්තය එය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නාවූ කාම ක්‍රියා චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම” යයි කියනු ලැබේ.

  1. අරහා පුබ්බෙ සුචිණ්ණානි පච්චවෙක්ඛති.

(රහතන් වහන්සේ පෙරකළ කුසල් ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි එම කුසල් සිත් ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නාවූ කාමා වචර ක්‍රියා ජවනයන්ට ආරම්මණ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ.)

රහතන් වහන්සේ පෙරකළ කුසල් නැවත සිහිකිරීම් වශයෙන් ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව එම කුසල් සිත් අරමුණු කොට මනොචාරාවජ්ජනයද, මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරින් එක් සිතක් ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධවීමෙන් පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථිවල පූර්‍ව කුසල චිත්තය, එය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නාවූ කාමාවචර ක්‍රියා චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම” යයි කියනු ලැබේ.

  1. අරහා කුසලං අනිච්චතො, දුක්ඛතො, අනත්ත තො විපස්සති.

(රහතන් වහන්සේ කුසලය අනිත්‍යය, දුක්ඛය, අනාත් මය යයි විදර්‍ශනා කරන කල්හි එම පූර්‍ව කුසල චිත්තය විදර්‍ශනා කරන කාම ක්‍රියා ජවනයන්ට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

රහතන් වහන්සේ විසින් පූර්‍ව කුසල චිත්තය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යනාදි වශයෙන් විදර්‍ශනා වඩන කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව එම කුසල චිත්තය අරමුණු කරමින් මනොචාරාවජ්ජනය ද, කාම ක්‍රියා සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධවූ පසු භවාඞ්ගය වේ. මෙහිදී පූර්‍ව කුසල චිත්තය, එය අරමුණු කොට විදර්‍ශනා කරන්නාවූ කාමාවචර ක්‍රියා ජවනයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

4. අරහා චෙතොපරිය ඤාණෙන කුසල චිත්ත සමඞ්ගිස්ස චිත්තං ජානාති.

(රහතන්වහන්සේ කුසල් සිත් ඉපදවූවහුගේ එම කුසල් සිත චෙතොපරිය ඤාණයෙන් හෙවත් පරසිත් දන්නා නුවණින් දැනගන්නා කල්හි එම කුසල් සිත චෙතොපරිය ක්‍රියා අභිඥා චිත්තයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

රහතන්වහන්සේ අනුන්ගේ කුසල් සිත බලනු කැමති කල්හි රූපාවචර ක්‍රියා පඤ්චමධ්‍යානයට සමවැද එයින් නැගී අධිෂ්ඨාන කොට නැවත චෙතොපරිය ක්‍රියා අභිඥාවට පාදක වනු පිණිස රූපාවචර ක්‍රියා පඤ්ච මධ්‍යානයට සමවැද අනතුරුව චෙතොපරිය ක්‍රියා අභිඥාව උපදනා කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව රූපාවචර ක්‍රියා පඤ්චමධ්‍යානය අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද උපෙක්ඛා සහගත මහා ක්‍රියා සිතක් සතරවරක් හෝ තුන්වරක් හෝ ඉපිද නිරුද්ධ වූ පසු පරසන්තානගත කුසල චිත්තය අරමුණු කරමින් චෙතො පරිය ක්‍රියා අභිඥා චිත්තය ඉපිද නිරුද්ධ වේ. එයට පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථියෙහි පරසන්තානගත කුසල චිත්තය එය අරමුණු කරන්නා වූ රහතන්වහන්සේගේ චෙතොපරිය ක්‍රියා අභිඥා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම යයි කියනු ලැබේ.

5. සෙක්ඛාවා පුථුජ්ජනාවා කුසලං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති, කුසලෙ නිරුද්ධෙ විපාකො තදාලම්බණතා උප්පජ්ජති.

(ශෛක්‍ෂවූ හෝ පෘථග්ජනවූ හෝ පුද්ගලයන් විසින් කාමාවචර කුසලය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යනාදී වශයෙන් විදර්ශනා කරන කල්හි එම චිත්තවීථියේ කුසල් ජවන් නැතිවූ පසු උපදනා විපාකවූ තදාරම්මණ සිත් එකොළොසට එම කුසල් සිත ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

සොවාන්, සකෘදාගාමි, අනාගාමි යන ආර්‍ය්‍ය පුද්ගලයන් විසින් හෝ පෘථග්ජන පුද්ගලයන් විසින් හෝ කාමාවචර කුසලය අරමුණු කොට අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යනාදි වශයෙන් විදර්‍ශනා වඩන කල්හි, භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව එම කාමාවචර කුසලය අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, මහා කුසල සිතක් විදර්‍ශනා ජවන කෘත්‍යයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධවූ පසු එකොළොස් තදාරම්මණයන් අතුරෙන් එක් සිතක් තදාරම්මණ කෘත්‍යයෙන් ඉපිද එයට අනතුරුව භවාඞ්ගයෝ වෙත්. මේ තදාරම්මණ සිත්වලට අරමුණු වන්නේ විදර්‍ශනා කරනු ලබන කාමාවචර කුසලයයි. මෙයද “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

6. කුසලං අස්සාදෙති, අභිනන්‍දති තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති, අකුසලෙ නිරුද්ධෙ විපාකො තදාරම්මණතා උප්පජ්ජති.

(කාමාවචර කුසලය, එය ආස්වාදනය කරන සොම්නස් ලොභ ජවනයන්ට අනතුරුව උපදනා තදාරම්මණයටද, එයම අභිනන්‍දනය කරන සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන සොම්නස් ලොභ ජවනයන්ට අනතුරුව උපදනා තදාරම්මණයටද එය කරණකොටගෙන රාගය උපදනා කල්හි රාග ප්‍රධාන ලොභ මූල ජවනයන් කෙරෙන් වන තදාරම්මණයටද, දිට්ඨිය උපදනා කල්හි දිට්ඨිගත සම්ප්‍රයුක්ත අකුසල ජවනයන් කෙරෙන් වන තදාරම්මණයටද, විචිකිච්ඡාව උපදනා කල්හි මොහමූල විචිකිච්ඡා සහගත ජවනයන් කෙරෙන් වන තදාරම්මණයටද, උද්ධච්චය උපදනා කල්හි මොහමූල උද්ධච්ච සහගත ජවනයන් කෙරෙන් වන තදාරම්මණයටද, දෝමනස උපදනා කල්හි දෝෂමූල ජවනයන් කෙරෙන් වන තදාරම්මණයටද ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

කාමාවචර කුසලයක් කොට එය ලෝභ සිතින් ආස්වාදනය කරන කල්හි භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡෙද යන්ට අනතුරුව එම කාමාවචර කුසලය අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, ලෝභ මූල සොම්නස් සහගත සිත් සතරෙන් එකක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ද ඉපිද නිරුද්ධවූ පසු එකොළොස් තදාරම්මණයන්ගෙන් එක් සිතක් තදාරම්මණ කෘත්‍යයෙන් දෙවරක් ඉපිද නිරුද්ධවූ කල්හි භවාඞ්ගයෝ වෙත්. මේ චිත්ත වීථියේ උපදනා තදාරම්මණ විපාක චිත්තයට එම කාමාවචර කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ. එපරිද්දෙන්ම, එම කාම කුසලය අභිනන්‍දනය කරන කල්හි හෙවත් එයට සතුටු වන කල්හි සප්‍රීතික තෘෂ්ණාව ප්‍රධාන ලෝභ මූල සොම්නස් සහගත සිත් සතරෙන් එකක් ජවන කෘත්‍යයෙන් සත්වරක් උපදී. එයට ඇලුම් කරන කල්හි රාගය ප්‍රධාන ලෝභ මූල සිත් අට අතුරෙන් එකක්ද, වරදවා ගන්නා කල්හි ලෝභ මූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙන් එකක්ද, සැක කෙරේනම් විචිකිච්ඡා සහගත සිතද, වික්‍ෂිප්ත වේ නම් උද්ධච්ච සහගත සිතද, නොසතුටු වේ නම් ද්වේෂ මූල දෙසිතෙන් එකක්ද ජවන කෘත්‍යයෙන් සත්වරක් උපදී. මෙසේ උපදනා අකුසල ජවනයන්ට අනතුරුව ඇතිවන තදාරම්මණ දෙසිතට කාමාවචර කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

7. ආකාසානඤ්චායතන කුසලං විඤ්ඤාණඤ්චා- යතන විපාකස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අතීත භවයෙහි ස්වසන්තානයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසලය, ප්‍රතිසන්‍ධි භවාඞ්ග චුති වශයෙන් පවත්නා විඤ්ඤාණඤ්චායතන විපාකයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මේ අනුවාදයෙන් දැක්වෙන්නේ සප්තකාම සුගතිය, අසංඥසත්තය හැර රූප භූමි පසළොසය, ආකාසානඤ්චායතන භූමිය යන තෙවිසි භූමියෙන් චුතව විඤ්ඤාණඤ්චායතන භූමියෙහි උපදනා පුද්ගලයන්ගේ ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, චුති වශයෙන් පවත්නා විඤ්ඤාණඤ්චායතන විපාක චිත්තයන්ට අතීත භවයෙහි ස්වසන්තානයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වන සැටිය. එකී තෙවිසි භූමියෙන් චුතවී විඤ්ඤාණඤ්චායතන භූමියෙහි ඉපදීමට ලංවූ කල්හි ඒ පුද්ගලයන්ගේ මරණාසන්න චිත්තවීථියෙහි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව අධ්‍යාත්ම සන්තානයෙහි අතීතයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසලය වූ කර්‍මනිමිත්ත අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, කාමාවචර මරණාසන්න ජවන චිත්තයක් පස්වරක්ද ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව භවාඞ්ගය ඇතිව හෝ නැතිව හෝ චුති සිත එක් වරක් ඉපිද නිරුද්ධ වේ. මේ චුති චිත්තයට අනතුරුව මරණාසන්න ජවනයන් විසින් ගන්නාලද පූර්‍වභවයෙහි අධ්‍යාත්ම සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුසලයවූ කර්‍මනිමිත්ත අරමුණුකොට විඤ්ඤාණඤ්චායතන විපාක චිත්තය, විඤ්ඤාණඤ්චායතන භූමියෙහි ප්‍රතිසන්‍ධි කෘත්‍යයයෙන් එක් වරක් උපදී. එයට අනතුරුව ඒ විඤ්ඤාණඤ්චායතන විපාක චිත්තයම භවාඞ්ග කෘත්‍යයයෙන් පසළොස් වරක් පමණ ඉපිද නිරුද්ධවූ පසු, අභිනව භවය වූ විඤ්ඤාණඤ්චායතන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, භවනිකන්තික ලොභ ජවනය සත්වරක්ද ඉපදීමෙන් පසු විඤ්ඤාණඤ්චායතන භවාඞ්ගය වේ. එම භවයාගේ අවසානයෙහිද එම සිතම චුති කෘත්‍යයයෙන් උපදී. මෙසේ ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, චුති වශයෙන් උපදනාවූ විඤ්ඤාණඤ්චායතන විපාකයට ආකාසානඤ්චායතන කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. ආකාසානඤ්චායතන කුසලං විඤ්ඤාණඤ්චායතන කිරියස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(වර්‍තමාන භවයේ හෝ අතීත භවයෙහි ස්වසන්තානයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසලය විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

කාම භූමියෙහි හෝ, රූප භූමියෙහි හෝ, ආකාසානඤ්චායතන භූමියෙහි හෝ අෂ්ටසමාපත්තිලාභි අනාගාමි පුද්ගලයා රහත් බවට පැමිණ, විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සමාපත්තියට සමවදිනු කැමති කල්හි, භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව වර්‍තමාන භවයෙහි ස්වසන්තානයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසලය අරමුණුකොට මනොද්වාරාවජ්ජනය ඉපිද නිරුද්ධවූ පසු උපෙක්ඛා සහගත ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිතක් සතරවරක් හෝ තුන්වරක් පරිකර්‍ම, උපචාර, අනුලොම, ගොත්‍රභූ වශයෙන් ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සිත බොහෝ වාර ගණනක් ඉපිද භවාඞ්ගය වේ.

විඤ්ඤාණඤ්චායතන භූමියෙහිදී අර්‍හත් බවට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයා විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සමාපත්තියට සමවදිනු කැමති කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව අතීත භවයෙහි අධ්‍යාත්ම සන්තානයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසලය අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, උපෙක්ඛාසහගත මහා ක්‍රියා සිතක් සතරවරක් හෝ තුන්වරක් ඉපදීමෙන් පසු අතීත භවයෙහි ආකාසානඤ්චායතන කුසලය අරමුණුකොට විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තය බොහෝ වාර ගණනක් ඉපිද භවාඞ්ගය වේ.

මේ වීථිවල විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තයන්ට ආකාසානඤ්චායතන කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

9. ආකිඤ්චඤ්ඤායතන කුසලං නෙවසඤ්ඤානා- සඤ්ඤායතන විපාකස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(පූර්‍ව භවයෙහි අධ්‍යාත්මික සන්තානයෙහි හටගත් ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්තය, ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, චුති වශයෙන් පවත්නා නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාකයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

කාම භූමියෙන් හෝ රූප භූමියෙන් හෝ යට අරූප භූමියෙන් හෝ චුතව නෙවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහි ඉපදීමට ළංවූ කල්හි ඒ පුද්ගලයන්ගේ මරණාසන්න චිත්ත වීථියෙහි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව පූර්‍වයෙහි ඇතිවූ ආකිඤ්චඤ්ඤායතන කුසලය වූ කර්‍මනිමිත්ත අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, කාමාවචර මරණාසන්න ජවන චිත්තයක් පස්වරක්ද ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව භවාඞ්ගය ඇතිව හෝ නැතිව හෝ චුති සිත එක්වරක් උපදී. ඒ චුති චිත්තය ඉපිද නිරුද්ධවූ පසු මරණාසන්න ජවනයන් විසින් ගන්නාලද ආකිඤ්චඤ්ඤායතන කුසලය නම්වූ කර්‍ම නිමිත්ත අරමුණුකොට නෙව සඤ්ඤානාසඤ්ඤායතන විපාක චිත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤා භූමියෙහි ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, චුති වශයෙන් උපදී. මෙසේ ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, චුති වශයෙන් උපදනාවූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාකයට ආකිඤ්චඤ්ඤායතන කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

10. ආකිඤ්චඤ්ඤායතන කුසලං නෙවසඤ්ඤානා- සඤ්ඤායතන කිරියස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අතීත භවයෙහි හෝ වර්‍තමාන භවයෙහි ස්වසන්තානයෙහි හටගත් ආකිඤ්චඤ්ඤායතන කුසලය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

කාම භූමියෙහි හෝ රූප භූමියෙහි හෝ යට අරූප භූමියෙහි හෝ අෂ්ටසමාපත්තිලාභි අනාගාමි පුද්ගලතෙම රහත් බවට පැමිණ නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා සමාපත්තියට සමවදින කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව ස්වසන්තානයෙහි පෙර ඇතිවූ ආකිඤ්චඤ්ඤායතන කුසලය අරමුණුකොට මනොද්වාරාවජ්ජනය ඉපිද නිරුද්ධවූ පසු පිළිවෙලින් උපදනා පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්‍රභූ චිත්තයන්ට අනතුරුව නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා චිත්තය බොහෝ වාර ගණනක් ඉපිද භවාඞ්ගය වේ. මේ ආදී වශයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා චිත්තයට ආකිඤ්චඤ්ඤායතන කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

11. කුසලාඛන්‍ධා චෙතොපරියඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො

(පරසන්තානගත කුසල චිත්තය රහතන්වහන්සේගේ චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

රහතන් වහන්සේ, චෙතොපරිය ක්‍රියා අභිඥා චිත්තය උපදවා එයින් පරසන්තානගත කුසල චිත්තයන් දක්නා කල්හි ඒ පරසන්තානගත කුසල චිත්තය, චෙතොපරිය ක්‍රියා අභිඥාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

12. කුසලා ඛන්‍ධා පුබ්බෙනිවාසානුස්සති ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(පූර්ව භවයන්හි වූ කුසලය රහතන් වහන්සේගේ පුබ්බෙනිවාසානුස්සති ක්‍රියා අභිඤ්ඤා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

රහතන් වහන්සේ පූර්‍ව භවයන්හි ඇතිවූ කුසලය දකිනු පිණිස පුබ්බෙනිවාසානුස්සති ක්‍රියා අභිඥා චිත්තය උපදවා ගන්නා කල්හි එම පුබ්බෙනිවාසානුස්සති ක්‍රියා අභිඥාවට පූර්‍ව භවයන්හි වූ කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. කුසලා ඛන්‍ධා යථා කම්මූපග ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අතීත ලෞකික කුසලයන් රහතන් වහන්සේගේ යථාකම්මූපග ක්‍රියා අභිඥා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

පෙර ආත්මභාවයන්හි කළ කුසල ධර්‍මයන් දක්නා කැමති රහතන් වහන්සේ යථා කම්මූපග ක්‍රියා අභිඥාව උපදවන කල්හි එම යථා කම්මූපග ක්‍රියා අභිඥා චිත්තයට පූර්‍ව ආත්මභාවයන්හි ඇතිවූ කුසලයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. කුසලා ඛන්‍ධා අනාගතංස ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අනාගතයෙහි ඇතිවන එක්විසි කුසල චිත්තය රහතන් වහන්සේගේ අනාගතංස ක්‍රියා අභිඥා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

රහතන් වහන්සේ අන්‍යයන්ගේ අනාගත කුසලයන් දකිනු කැමතිව අනාගතංස ක්‍රියා අභිඥා චිත්තය උපදවන කල්හි එම අනාගතංස ක්‍රියා අභිඥා චිත්තයට එක්විසි කුසල චිත්තය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

මේ අනුවාදයන්හි දැක්වෙන අභිඥා චිත්තයන් උපදවා ගන්නා පිළිවෙළ යට දක්වනලද හෙයින් ඒ අනුව චිත්ත වීථි යොදාගත යුතු.

  1. කුසලා ඛන්‍ධා ආවජ්ජනාය ආරම්මණ පච්චයෙන පච්චයො.

(කුසල් සිත් එක්විස්ස එය අරමුණු කරන මනොද්වාරවජ්ජන චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

කුසල් සිත් අරමුණු කරමින් උපදනා චිත්ත වීථින්හි ජවනයන්ට පෙර උපදනා මනොද්වාරාවජ්ජන චිත්තයද එම කුසල චිත්තය අරමුණු කිරීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

4. වීථිය

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අකුසල ධර්‍මය අකුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහිදී අකුසල ධර්‍මයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වන අකුසල ධර්‍මයෝ නම්:

අකුසල් සිත් දොළොසය.

චෛතසික සත් විස්සය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්‍මයෝ නම් එම දොළොස් අකුසල් සිත් සහ චෛතසික සත් විස්සය.

මෙහි සුදුසු පරිදි එක්වර ලැබෙන ආරම්මණ ආරම්මණාධිපති, ආරම්මණුපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් ආරම්මණ ප්‍රත්‍යය ශක්තියම ලැබේ.

මේ වීථියේ අනුවාද වශයෙන්

  1. රාගං අස්සාදෙති, අභිනන්‍දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති. උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

ස්වසන්තානයෙහි හෝ පරසන්තානයෙහි හෝ ඇතිවූ රාගය ආස්වාදනය අභිනන්‍දය කරන කල්හි, එය කරණ කොටගෙන රාගය උපදියි. දිට්ඨිය උපදියි, විචිකිච්ඡාව උපදියි, උද්ධච්චය උපදියි, දොමනස උපදියි.)

රාගය ප්‍රධාන ලෝභමූල චිත්තය, තවත් ලෝභමූල සොම්නස් සිතකින් ආස්වාදනය කරන කල්හිද, සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලෝභමූල සොම්නස් චිත්තයෙන් අභිනන්‍දනය කරන කල්හිද, එය අරබයා හෙවත් එය කරණ කොටගෙන නැවතත් රාගය උපදී. එකල්හි උපදනා චිත්ත වීථියෙහි භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයනට අනතුරුව රාගය ප්‍රධාන ලෝභමූල අකුසල් සිත් අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, රාගය ප්‍රධාන ලෝභමූල සිතක් ජවනකෘත්‍යයයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධවූ පසු තදරම්මණ ඇතිව හෝ නැතිව හෝ භවාඞ්ගයවේ. මෙපරිද්දෙන්ම එම රාගයම අරමුණු කොට ඒ මාගේ අරමුණයයි වරදවාගෙන සතුටු වන කල්හි දිට්ඨිගත සම්ප්‍රයුක්ත චිත්තයද, එය අකුසලයක්ද? නැතිද? යනාදී වශයෙන් සැකය උපදනා කල්හි මොහමූල විචිකිච්ඡා සහගත චිත්තයද, එම රාගය නිසා සිත වික්‍ෂිප්ත වන කල්හි මොහමූල උද්ධච්ච සම්ප්‍රයුක්ත චිත්තයද, රාගය කරණකොටගෙන දොම්නසක් ඇතිවූ කල්හි ද්වේෂමූල දොමනස්ස සහගත සිතක්ද ජවන කෘත්‍යයයෙන් සත්වරක් ඉපිද නිරුද්ධවේ. මෙසේ රාගය ප්‍රධාන ලෝභමූල අකුසලය අරමුණුකොට දොළොස් අකුසල චිත්තයන් ඇතිවීමේදී ඒ දොළොස් අකුසල චිත්තයන්ට මුලින් සිදුකළ රාගය නම් වූ අකුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්මය අකුසල ධර්මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම”යයි කියනු ලැබේ.

2. දිට්ඨිං අස්සාදෙති, අභිනන්‍දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

(ස්ව සන්තානයෙහි හෝ පරසන්තානයෙහි හෝ ඇතිවූ මිථ්‍යාදෘෂ්ටිය, ආස්වාදනය, අභිනන්‍දනය කරන කල්හි එය අරබයා රාගය උපදියි, දිට්ඨිය උපදියි, විචිකිච්ඡාව උපදියි, උද්ධච්චය උපදියි, දොමනස්සය උපදියි.)

මෙහි දිට්ඨිය නම් මම ය මාගේ ය යනාදි වශයෙන් ගන්නා සක්කායදෘෂ්ටිය ආදිකොට ඇති සියළුම මිථ්‍යාදෘෂ්ටීහුය. ඒ දිට්ඨිය ප්‍රධාන ලෝභ මූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත අකුසලය ආස්වාදන, අභිනන්‍දනාදිය කරන කල්හි, රාග, දිට්ඨි, විචිකිච්ඡා, උද්ධච්ච, දොමනස්සාදී අකුසලයන් ඇති වීමේදී ඒ දොළොස් අකුසල චිත්තයන්ට දිට්ඨිය ප්‍රධාන ලෝභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත චිත්තය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අකුසල ධර්‍මයක් අකුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

3. විචිකිච්ඡං ආරබ්භ විචිකිච්ඡා උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

(විචිකිච්ඡාව අරබයා විචිකිච්ඡාව උපදියි, දිට්ඨිය උපදියි, උද්ධච්චය උපදියි, දොමනස්සය උපදියි.)

විචිකිච්ඡාව අරමුණුකොට නැවත නැවතත් සැකය උපදනා කල්හි විචිකිච්ඡා සම්ප්‍රයුක්ත අකුසල ජවනයද දිට්ඨිය උපදනා කල්හි ලෝභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත ජවන් සිතක්ද, උද්ධච්චය උපදනා කල්හි මෝහමූල උද්ධච්චසම්ප්‍රයුක්ත ජවනයද, දොම්නස උපදනා කල්හි ද්වේෂමූල පටිඝ සම්ප්‍රයුක්ත ජවනයද ඇතිවේ. එසේ ජවන කෘත්‍යයෙන් උපදනා දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලෝභමූල සිත් සතරය, ද්වේෂමූල දෙසිතය, මෝහමූල දෙසිතය යන අකුසල් සිත් අටට විචිකිච්ඡා සම්ප්‍රයුක්ත මෝහමූල අකුසල චිත්තය අරමුණුවීම “අකුසල ධර්‍මය, අකුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

4. උද්ධච්චං ආරබ්භ උද්ධච්චං උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

(උද්ධච්චය අරබයා උද්ධච්චය උපදියි, දිට්ඨිය උපදියි, විචිකිච්ඡාව උපදියි, දොමනස්සය උපදියි.)

උද්ධච්චය අරමුණුකොට උද්ධච්චය උපදනාකල්හි, මොහ මූල උද්ධච්ච සම්ප්‍රයුක්ත ජවනයද, දිට්ඨිය උපදනා කල්හි ලොභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත ජවනයද, විචිකිච්ඡා උපදනා කල්හි මොහමූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත ජවනයද දොම්නස උපදනාකල්හි දොෂ මූල දොම්නස් ජවනයද ඇතිවේ. එසේ ජවනකෘත්‍යයෙන් උපදනා දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරය, දොම්නස් දෙසිතය, මොහමූල දෙසිතය යන අකුසල් සිත් අටට උද්ධච්ච සහගත මොහ මූල අකුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්‍මය අකුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

5. දොමනස්සං ආරබ්භ දොමනස්සං උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති.

(දොම්නස අරබයා දොම්නස උපදියි, දිට්ඨිය උපදියි, විචිකිච්ඡාව උපදියි, උද්ධච්චය උපදියි.)

දොම්නස හෙවත් ද්වේෂමූල අකුසලය අරමුණුකොට දොම්නස උපදනා කල්හි ද්වේෂමූල ජවනයද, දිට්ඨිය උපදනාකල්හි ලොභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත ජවනයද, විචිකිච්ඡාව උපදනා කල්හි මොහමූල විචිකිච්ඡා සහගත ජවනයද, උද්ධච්චය උපදනා කල්හි මොහමූල උද්ධච්ච සහගත ජවනය ද ඇතිවේ. එසේ ජවනකෘත්‍යයෙන් උපදනා දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලොභමූල සිත් සතරය, ද්වේෂමූල දෙසිතය, මොහමූල දෙසිතය යන අකුසල් සිත් අටට දොම්නස ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්‍මය, අකුසල ධර්‍මයකගේ පහළවීමට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

5. වීථිය

අකුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

මෙහි කුසල ධර්මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වන අකුසල ධර්මයෝ නම්:

අකුසල් සිත් දොළොස ය.

චෛතසික සත්විස්ස ය.

මේ අකුසල ප්‍රත්‍යය ධර්මයන්ගේ ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:

මහා කුසල් සිත් අටය

චෙතොපරිය කුසලාභිඤ්ඤාය

පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤාය

යථාකම්මූපග කුසලාභිඤ්ඤාය

අනාගතංස කුසලාභිඤ්ඤාය

අප්‍රමාණ්‍යයන් හැර චෛතසික සතිස ය

මෙහි ලැබෙන්නේ ආරම්මණ ශක්තිය ය.

මේ වීථියෙහි අනුවාද වශයෙන්

  1. සෙක්ඛා පහීනෙ කිලෙසෙ පච්චවෙක්ඛන්ති.

(ශෛක්‍ෂ පුද්ගලයෝ මාර්ගයෙන් ප්‍රහීණ කළ කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි ඒ ප්‍රත්‍යවෙක්‍ෂා ජවනයන්ට ප්‍රහාණය කළ ක්ලේශයෝ ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වෙත්.)

සොවාන් මාර්ගඥානයෙන් ප්‍රහාණය කරනු ලබන ක්ලේශයෝ නම් දිට්ඨි විචිකිච්ඡා යන දෙකය. සොවාන් පුද්ගලතෙම තමාගේ මාර්ගයෙන් ප්‍රහීණ ක්ලේශයන් මෙනෙහි කරන කල්හි, භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව දිට්ඨි විචිකිච්ඡා යන ක්ලේශයන් අරමුණු කොට මනෝචාරාවජ්ජනයද, කාමාවචර මහා කුසල් සිතක් ප්‍රත්‍යවේක්‍ෂා ජවන කෘත්‍යයෙන් සත් වරක්ද ඉපිදැ නිරුද්ධවීමෙන් පසු භවාඞ්ගය වේ. අනතුරුව තදනුවර්‍තක මනෝචාර වීථියකින් තමා විසින් ප්‍රහාණය කරනලද කෙලෙස් මෙතෙකැයි දැන ගන්නේය. මේ චිත්ත වීථිවල ප්‍රත්‍යවේක්‍ෂාකුසල ජවනයන්ට ප්‍රහීණක්ලේශයෝ ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වෙති.

සකෘදාගාමි මාර්‍ගයෙන් තුනී කිරීම් වශයෙන් ප්‍රහාණය කරනු ලබන ක්ලේශයෝ නම් ඖදාරික රාග, ද්වේෂ, මෝහයෝ යි

අනාගාමි මාර්‍ගයෙන් ප්‍රහාණය කරනුලබන ක්ලේශයෝ නම් කාමරාග ව්‍යාපාද යන දෙකය.

සකෘදාගාමි අනාගාමි ආර්‍ය්‍යයන් වහන්සේලා විසින් තම තමන්ගේ මාර්‍ගයෙන් ප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂා කරන කලහි ඒ චිත්ත වීථිවල උපදනා මනෝචාරාවජ්ජනයට හා ප්‍රත්‍යවේක්‍ෂා ජවනයන්ට අරමුණු වන්නේ ඒ ඒ මාර්‍ගයෙන් ප්‍රහීණ කළ කෙලෙස්ය. මෙසේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ආර්‍ය්‍ය පුද්ගලයන් විසින් තම තමන්ගේ මාර්‍ග ඥානයෙන් ප්‍රහීණ කළ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ කාමාවචර ප්‍රත්‍යවේක්‍ෂා කුසල ජවනයන්ට ඒ ඒ ක්ලේශයෝ ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම ය යි” කියනු ලැබේ.

2. සෙක්ඛා වික්ඛම්භිතෙ කිලෙසෙ පච්චවෙක්ඛන්ති.

(ශෛක්‍ෂ පුද්ගලයෝ මාර්‍ගයෙන් විෂ්කම්භිත කෙලෙස් නොහොත් අප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ ප්‍රත්‍යවේක්‍ෂා ජවනයන්ට අප්‍රහීණ ක්ලේශයෝ ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වෙති.)

සෝවාන් මාර්‍ගයෙන් අප්‍රහීණ ක්ලේශයෝ නම් ලෝභ, දෝෂ, මෝහ, මාන, ථීන, උද්ධච්ච, අහිරීක, අනෝත්තප්ප යන අට දෙනය.

සකෘදාගාමි මාර්‍ගයෙන් අප්‍රහීණ ක්ලේශයෝ නම්, සූක්‍ෂමවූ රාග, ද්වේෂ, මෝහ, මාන, ථීන, උද්ධච්ච, අහිරීක, අනෝත්තප්ප යන අට දෙනාය.

අනාගාමි මාර්‍ගයෙන් අප්‍රහීණ ක්ලේශයෝ නම් රූප රාග, අරූප රාග, මෝහ, මාන, ථීන, උද්ධච්ච, අහිරීක, අනෝත්තප්ප යන අට දෙනය.

සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ආර්‍ය්‍යයන් වහන්සේලා තම තමන්ගේ මාර්‍ගයෙන් අප්‍රහීණ කෙලෙස් මෙනෙහි කරනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව අප්‍රහීණ කෙලෙස් අරමුණුකොට මනෝචාරාවජ්ජනයද, කාමාවචර මහා කුසල් සිතක් ජවන කෘත්‍යයෙන් සත් වරක්ද ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථියට අනතුරුව තදනුවර්‍තක මනෝචාර වීථියෙන් අප්‍රහීණ කෙලෙස් මෙතෙකැයි දැනගනී. මෙසේ ශෛක්‍ෂ පුද්ගලයන් විසින් තමන්ගේ මාර්‍ගයෙන් අප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි අප්‍රහීණ ක්ලේශයෝ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාම කුසල ජවනයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. පුබ්බෙ සමුදාචිණ්ණෙ කිලෙසෙ ජානන්ති.

(ශෛක්‍ෂ පුද්ගලයෝ පෙර පැවති ක්ලේශයන් දැනගනු කැමති කල්හි, එය දැනගන්නා කාමාවචර කුසල ජවනයන්ට පෙර පැවති ක්ලේශයෝ ආරම්මණ ශක්තියෙන් උපකාර වේ.)

සෝවාන්, සකෘදාගාමි, අනාගාමි පුද්ගලයෝ, පෙර තම සන්තානයන්හි බලපැවැත්වූ ක්ලේශයෝ මේ මේ යයි දැන ගන්නා කල්හි භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව, පෙර පැවති කෙලෙස් අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද මහා කුසල් සිතක් ජවන කෘත්‍ය යෙන් සත්වරක් ද ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථින්හි උපදනා කාමාවචර කුසල ජවනයන්ට පෙර පැවති කෙලෙස් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අකුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්ති යෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

4. සෙක්ඛාවා පුථුජ්ජනාවා, අකුසලං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සන්ති.

(ශෛක්‍ෂ වූ හෝ ප්‍රෘථග්ජන වූ හෝ පුද්ගලයා විසින් අකුසලය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරන කල්හි එම අකුසලය විදර්‍ශනා කරන කාමාවචර කුසලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

ශෛක්‍ෂ පුද්ගලයෙක් හෝ පෘථග්ජන පුද්ගලයෙක් හෝ රාගාදී වූ යම් අකුසලයක් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරන කල්හි භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව රාගාදී වූ අකුසල ප්‍රධාන අකුසල චිත්තය අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, කාමාවචර මහා කුසල් සිතක් විදර්‍ශනා ජවන් වශයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධ වීමෙන් පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථියෙහි උපදනා කාමාවචර කුසල ජවනයන්ට විදර්‍ශනාවට අරමුණු වූ අකුසල චිත්තය ආරම්මණ ශක්ති යෙන් ප්‍රත්‍යයවීම “අකුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

5. චෙතොපරිය ඤාණෙන අකුසල චිත්ත සමඞ්ගිස්ස චිත්තං ජානන්ති.

(ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෙක් චෙතොපරිය ඤාණයෙන් හෙවත් පරසිත් දන්නා නුවණින් පරසන්තාන ගත අකුසල චිත්තය දැනගන්නා කල්හි එම පරසන්තානගත අකුසලය චෙතොපරිය කුසලාභිඤ්ඤා චිත්තයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අෂ්ටසමාපත්තිලාභි ශෛක්‍ෂ පුද්ගලයෙක් හෝ පෘථග්ජන පුද්ගලයෙක් හෝ අතීත සත්වන දිනය සිට අනාගත සත්වන දිනය ඇතුළත පරසන්තානයෙහි පහළවූ අකුසලය දකිනු කැමති කල්හි රූපාවචර පඤ්චධ්‍යාන සමාපත්තියට සමවැද, එම පාදක රූපාවචර පඤ්චමධ්‍යානයෙන් නැගිට අධිෂ්ඨාන කොට චෙතොපරිය කුසලාභිඤ්ඤා චිත්තය උපදවා ගනී. එම චෙතොපරිය කුසලාභිඤ්ඤා චිත්තයට අරමුණු වන්නේ පරසන්තානගත අකුසල චිත්තයයි. එයට අනතුරුව චෙතොපරිය ඤාණ යෙන් දක්නාලද පරසන්තානගත අකුසලය අරමුණු කොට කාමාවචර කුසල ජවනයන් පහළවන මනොද්වාර වීථිවලින් අකුසලය මෙතෙකැයි දැනගනී. මේ චිත්ත වීථිවල උපදනා කුසල ජවනයන්ට පරසන්තානගත අකුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අකුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

6. අකුසලා ඛන්‍ධා චෙතොපරිය ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(දොළොස් අකුසල් සිත් හා චෛතසික සත්විස්ස (27) ශෛක්‍ෂවූ හෝ පෘථග්ජනවූ හෝ පුද්ගලයාගේ චෙතො පරිය කුසලාභිඤ්ඤා චිත්තයට ආරම්මණ ප්‍රත්‍යය ශක්ති යෙන් උපකාර වෙත්.)

ශෛක්‍ෂ පුද්ගලයෙක් හෝ පෘථග්ජන පුද්ගලයෙක් හෝ පරසන්තානගත අකුසලය, චෙතොපරිය ඤාණයෙන් දකිනු කැමති කල්හි යට දක්වන ලද පරිද්දෙන් චෙතො පරිය ඤාණය උපදවාගෙන එයින් පරසන්තානගත අකුසල වූ වෙදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණ යන නාමස්කන්‍ධයන් දැනගනී.

මෙසේ උපදනා චෙතොපරිය කුසලාභිඤ්ඤාවට පරසන්තානගත අකුසලස්කන්‍ධයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම අකුසල ධර්මය කුසලධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම යයි කියනු ලැබේ.

  1. අකුසලාඛන්‍ධා පුබ්බෙනිවාසානුස්සති ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අකුසල ස්කන්‍ධයෝ පෙර විසූ කඳ පිළිවෙල දන්නා පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤාවට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

ශෛක්‍ෂවූ හෝ පෘථග්ජනවූ හෝ පුද්ගලයන් විසින් පෙර ජාතිවල පැවති අකුසලයන් අරමුණු කොට පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤා චිත්තය උපදවාගෙන එයින් පෙර ජාතිවල පැවති අකුසලයන් බලන කල්හි පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤා චිත්තයට එම අකුසල ස්කන්‍ධයන් අරමුණුවීම “අකුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. අකුසලාඛන්‍ධා යථාකම්මූපග ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අකුසලස්කන්‍ධයෝ අතීත අකුසල කර්මයන් දක්නා යථාකම්මූපග කුසලාභිඤ්ඤාවට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අතීත අකුසලය දක්නා කැමති ශෛක්‍ෂ පෘථග්ජන පුද්ගලයන් විසින් අතීත අකුසලය අරමුණු කොට යථාකම්මූපග කුසලාභිඤ්ඤා චිත්තය උපදවා ගත් කල්හි එම යථාකම්මූපග ඤාණයට අකුසල් සිත් දොළොස (12) සහ චෛතසික ධර්ම සත්විස්ස (27) ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. අකුසලා ඛන්‍ධා අනාගතංස ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අනාගත අකුසලස්කන්‍ධයන් අනාගතංස කුසලාභිඤ්ඤාවට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අනාගත අකුසලයන් දක්නා කැමැතිව එම අනාගත අකුසල් සිත් දොළොස සහ චෛතසික සත්විස්ස අරමුණු කොට උපදනා අනාගතංස කුසලාභිඤ්ඤාවන්ට එම අකුසල ස්කන්‍ධයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

3. විථිය— අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මණ

පච්චයෙන පච්චයො.

(අකුසල් සිත් දොළොස හා චෛතසික සත්විස්ස අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි අව්‍යාකෘත ධර්‍මයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්

අකුසල් සිත් දොළොස සහ චෛතසික සත්විස්සය

ප්‍රත්‍යොත්පත්ත ධර්‍ම වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්

තදාරම්මණ එකොළොසය

පඤ්චද්වාරාවජ්ජනය හැර කාමක්‍රියා දශය ය

චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤාවය

පුබ්බෙනිවාසානුස්සති ක්‍රියා අභිඤ්ඤාවය

යථාකම්මූපග ක්‍රියා අභිඤ්ඤාවය

අනාගතංස ක්‍රියා අභිඤ්ඤාවය

විරති හා අප්‍රමාණ්‍යයන් හැර චෛතසික තෙතිසය. මෙහි ආරම්මණ ශක්තිය පමණක් ලැබේ.

මේ වීථියේ අනුවාද වශයෙන්

  1. අරහා පහීනෙ කිලෙසෙ පච්චවෙක්ඛති.

(රහතන් වහන්සේ අර්හත් මාර්‍ගඥානයෙන් ප්‍රහීණ කළ කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි ඒ ප්‍රත්‍යවෙක්‍ෂා ක්‍රියා ජවනයන්ට ප්‍රහීණ කළ ක්ලේශයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

රහත් මගින් ප්‍රහීණ කරනු ලබන ක්ලේශයෝ නම් රූප රාග, අරූප රාග, මොහ, මාන, ථින, උද්ධච්ච, අහිරික අනොත්තප්ප යන මොව්හු ය.

අර්හත් බවට පැමිණි ආර්‍ය්‍යයන් වහන්සේ රහත් මග නැණින් පහකළ කෙලෙස් මෙනෙහි කරනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන් ඉපිද නිරුද්ධවූ පසු පහකළ ඒ රාගාදි කෙලෙස් අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, කාමාවචර මහා ක්‍රියා සිතක් ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධවූ පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථියෙහි කාමාවචර මහා ක්‍රියා ජවනයන්ට රාගාදිවූ පහකළ කෙලෙස් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. අරහා පුබ්බෙ සමුදාචිණ්ණෙ කිලෙසෙ ජානාති.

(පූර්‍වයෙහි කරනලද අකුසලයන් දැනගන්නා කල්හි රහතන් වහන්සේගේ සන්තානයෙහි උපදනා කාමාවචර ක්‍රියා ජවනයන්ට පෙර කළ අකුසල් ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

රහත් බවට පැමිණීමට පෙර කරනලද අකුසලයන් මෙනෙහි කරන කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව ඒ අකුසලයන් අරමුණුකොට මනොද්වාරාවජ්ජන යද, කාමාවචර මහා ක්‍රියා සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ඉපිද නිරුද්ධවූ පසු භවාඞ්ගය වේ. අනතුරුව තදනුවර්‍තක මනොද්වාර කාමක්‍රියා ජවන් සහිත වූ චිත්ත වීථි පහළවීමෙන් ඒ පෙර කළ අකුසලයන් දැනගනී. මේ චිත්ත වීථිවල කාමාවචර ක්‍රියා ජවනයන්ට පෙර රැස්කළ ක්ලේශ ධර්‍මයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

3. අරහා අකුසලං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සති.

(රහතන් වහන්සේ අකුසලය අනිත්‍යය, දුක්ඛය ය, අනාත්මය යයි විදර්‍ශනා කරන කල්හි උපදනා කාමාවචර ක්‍රියා ජවනයන්ට ඒ අකුසල ධර්‍මය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

පූර්‍වයෙහිදී ස්වසන්තානයෙහි හෝ පරසන්තානයෙහි හෝ හටගත් අකුසලයන් අනිත්‍යය, දුක්ඛය ය, අනාත්මය යයි විදර්‍ශනා කරන කල්හි උපදනා චිත්ත වීථියෙහි කාම ක්‍රියා ජවනයන්ට ඒ අකුසල ධර්‍මයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

4. අරහා චෙතොපරිය ඤාණෙන අකුසල චිත්ත සමඞ්ගිස්ස චිත්තං ජානාති.

(රහතන්වහන්සේ පරසිත් දන්නා නුවණින් හෙවත් චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤා සිතින් අකුසල් සිත් ඇතියහුගේ එම අකුසල් සිත් දක්නා කල්හි ඒ චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤා චිත්තයට අකුසල ධර්‍මය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

පරසන්තානගත අකුසල චිත්තය බලනු කැමති රහතන් වහන්සේ රූපාවචර පඤ්චමධ්‍යාන ක්‍රියා සමාපත්තියට සමවැද එයින් නැගිට චෙතොපරිය ක්‍රියා අභිඥාවට පාදක වන රූපාවචර පඤ්චමධ්‍යානයට සමවැද, එයට අනතුරුව පරසන්තානගත අකුසලය දක්නාවූ චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤා චිත්තය ඉපදීමේදී භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව එම අකුසලය අරමුණුකොට මනොද්වාරා වජ්ජනයද, උපෙක්ඛා සහගත ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිතක් ජවනකෘත්‍යයෙන් පරිකර්ම, උපචාර, අනුලොම, ගෝත්‍රභූ වශයෙන්ද, පඤ්චමධ්‍යාන ක්‍රියා චිත්තය පරසිත් දන්නා චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤා භාවයෙන්ද, එක්වරක් උපදී. එයට පසු භවාඞ්ගය වේ. මෙයට අනතුරුව චෙතොපරිය ඤාණයෙන් දක්නා ලද පරචිත්තය අරමුණු කොට කාම ක්‍රියා ජවන චිත්තවීථි ඉපදීමෙන් පරසන්තාන ගත අකුසලය දැනගනී. මේ චිත්ත වීථි වලින් අභිඤ්ඤා වීථියේ චෙතොපරිය ඤාණය ප්‍රධාන රූපාවචර ක්‍රියා පඤ්චමධ්‍යානයට හා එයට අනතුරුව ඇතිවන වීථියේ මහා ක්‍රියා ජවනයන්ටද පරසන්තානගත අකුසල් සිත් දොළොස (12) ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යවීම “අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

5. සෙක්ඛාවා පුථුජ්ජනාවා අකුසලං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති, කුසලෙනිරුද්ධෙ විපාකො තදාරම්මණතා උප්පජ්ජති.

(ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ අකුසලය අනිත්‍යය, දුක්ඛය ය, අනාත්මය යයි විදර්ශනා කරන කල්හි, ඒ විදර්ශනා කුසල ජවනයන් නිරුද්ධ වූ කල්හි ඇතිවන තදාරම්මණ විපාක චිත්තයන්ට, අකුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

ශෛක්‍ෂ වූ පුද්ගලයෙක් හෝ පෘථග්ජන පුද්ගලයෙක් හෝ ස්වසන්තානගත හෝ පරසන්තානගත අකුසලය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්ශනා කිරීමේදී භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව, අකුසලය අරමුණු කොටගෙන මනොද්වාරාවජ්ජනයද මහා කුසල් සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වෙත්. එයට අනතුරුව තදාලම්බන විපාක චිත්තයක් ඒ අකුසලයම අරමුණුකොට දෙවරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු භවාඞ්ගයෝ වෙත්. මේ විපාක වූ තදාරම්මණ චිත්තයන්ට අකුසල චිත්තය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යවීම “අකුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

6. අකුසලං අස්සාදෙති, අභිනන්‍දති, තං ආරබ්භරාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති, අකුසලෙ නිරුද්ධෙ විපාකො තදාරම්මණතා උප්පජ්ජති.

(අකුසලය ආස්වාදනය, අභිනන්‍දනය කරන කල්හි එය අරබයා රාගය උපදී, දිට්ඨිය උපදී, විචිකිච්ඡාව උපදී, උද්ධච්චය උපදී, දොමනස්සය උපදී. ඒ අකුසල ජවනයන් නිරුද්ධ වූ කල්හි එම අකුසලයම අරමුණුකොට උපදනා විපාක වූ තදාරම්මණ චිත්තයන්ට අකුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි ආස්වාදනයෙහිදී ලොභමූල සිත් සතරද, අභිනන්‍දනයෙහිදී ප්‍රීතිය ප්‍රධාන ලොභමූල සිත් සතරද, රාගය උපදනා කල්හි රාගය ප්‍රධාන ලොභමූල සිත් අටද, දිට්ඨිය උපදනා කල්හි ලොභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරද, විචිකිච්ඡාව උපදනාකල්හි මොහමූල විචිකිච්ඡා සහගත චිත්තයද, උද්ධච්චය උපදනා කල්හි මොහමූල උද්ධච්ච සහගත චිත්තයද, දොමනස උපදනා කල්හි ද්වේෂමූල පටිඝ සම්ප්‍රයුක්ත දෙසිතද යන මේ දොළොස් අකුසල ජවනයන් එකී අකුසලය අරමුණු කරමින් උපදී. මේ අකුසල ජවනයන් නිරුද්ධ වූ කල්හි එම අකුසල අරමුණම ගෙන විපාක වූ තදාරම්මණ දෙසිත පහළ වෙත්. අනතුරුව භවාඞ්ගය වේ. මේ විපාක වූ තදාරම්මණ සිතට එම අකුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යවීම “අකුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

7. අකුසලා ඛන්‍ධා චෙතොපරිය ඤාණස්ස, පුබ්බෙනිවාසානුස්සති ඤාණස්ස, යථා කම්මූපග ඤාණස්ස, අනාගතංස ඤාණස්ස ආවජ්ජනාය ආරම්මණ පච්චයෙන පච්චයො.

(අකුසලස්කන්‍ධයෝ රහතන් වහන්සේගේ චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤාවටද, පූර්‍වෙනිවාසානුස්සති ක්‍රියා අභිඤ්ඤාවටද, යථා කම්මූපග ක්‍රියා අභිඤ්ඤාවටද, අනාගතංස ක්‍රියා අභිඤ්ඤාවටද, මනොචාරාවජ්ජන චිත්තයටද ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

රහතන් වහන්සේ පරසන්තානගත අකුසලය දක්නා කල්හි චෙතොපරිය ක්‍රියා අභිඥාචිත්තය උපදී. පෙරවිසූ කඳ පිළිවෙල දක්නා කල්හි පුබ්බෙනිවාසානුස්සති ක්‍රියා අභිඤ්ඤාචිත්තය උපදී. ඒ ඒ සත්ත්‍වයන්ගේ උත්පත්තියට හේතුවන කර්‍මයන් දක්නා කල්හි යථාකම්මූපග ක්‍රියා අභිඤ්ඤාචිත්තය උපදී. අනාගතය දක්නා කල්හි අනාගතංස ක්‍රියා අභිඤ්ඤාව උපදී. මේ ක්‍රියා අභිඤ්ඤා චිත්තයන්ට අරමුණුවන්නේ එයින් දක්නා අකුසල ධර්‍මයයි. එපරිද්දෙන්ම අකුසලය අරමුණුකොට ඇතිවන චිත්තවීථින්හි, ජවන් සිත්වලට පූර්‍වයෙහි උපදනා මනොචාරාවජ්ජන චිත්තයද එම අකුසලය අරමුණු කරන්නේය. මෙකී ක්‍රියා චිත්තයන්ට අකුසල ස්කන්‍ධයෝ ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අකුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

7. වීථිය

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි අව්‍යාකෘත ධර්‍මයන්ට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන ප්‍රත්‍යය ධර්‍මයෝ නම්:

විපාක සිත් සතිසය ක්‍රියා සිත් විස්සය චෛතසික අටතිසය රූප අටවිස්සය නිවනය යන ධර්‍මයෝයි.

ප්‍රත්‍යොත්පන්න ධර්ම වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

කාම විපාක තෙවිස්සය (23)

කාම ක්‍රියා එකොළොසය

විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සිතය

නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා සිතය

දිබ්බචක්ඛු ක්‍රියා අභිඤ්ඤාය

දිබ්බසොත ක්‍රියා අභිඤ්ඤාය

ඉද්ධිවිධ ක්‍රියා අභිඤ්ඤාය

චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤාය

පුබ්බෙනිවාසානුස්සති ක්‍රියා අභිඤ්ඤාය

යථාකම්මූපග ක්‍රියා අභිඤ්ඤාය

අනාගතංස ක්‍රියා අභිඤ්ඤාය

ලොකොත්තර ඵල සිත් සතරය

අප්‍රමාණ්‍යයන් හැර චෛතසික සතිසය (36)

යන ප්‍රත්‍යොත්පන්න ධර්මයෝ යි.

මෙහි ආරම්මණ, ආරම්මණාධිපති, වත්‍ථාරම්මණනිස්සය, ආරම්මණුපනිස්සය, ආරම්මණ පුරෙජාත, වත්‍ථාරම්මණ විප්පයුත්ත, ආරම්මණ පුරෙජාතාත්‍ථි, ආරම්මණ පුරෙජාත, අවිගත යන ශක්ති අටෙන් ආරම්මණ ශක්තියම ලැබේ.

මෙහි අනුවාද වශයෙන්

  1. අරහා ඵලං පච්චවෙක්ඛති.

(රහතන් වහන්සේ අර්හත් ඵලය ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි උපදනා ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා චිත්තයන්ට අර්හත් ඵල සිත ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

රහතන්වහන්සේ තමාගේ අර්හත් ඵලය ප්‍රත්‍යවෙක්‍ෂා කරනු කැමති කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව අර්හත්ඵලය අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද, ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතරෙන් එකක් ප්‍රත්‍යවෙක්‍ෂා ජවන කෘත්‍යයෙන් සත්වරක් ද ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. අනතුරුව තදනුවර්‍තක මනොචාර වීථිහු වෙති. ඒ චිත්ත වීථින්හි මනොචාරාවජ්ජනයට හා මහා ක්‍රියා ජවනයන්ට අර්හත් ඵල සිත ආරම්මණ ශක්ති යෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. අරහා නිබ්බානං පච්චවෙක්‍ඛති.

(රහතන් වහන්සේ නිර්‍වාණය ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි උපදනා ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා චිත්තයන්ට නිර්‍වාණය ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

යට කියනලද පරිද්දෙන් රහතන් වහන්සේ නිර්‍වාණය ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි උපදනා චිත්තවීථින්හි මනොචාරාවජ්ජනයට සහ ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා ජවනයන්ට නිර්‍වාණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම, අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් “උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. නිබ්බානං ඵලස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(නිර්‍වාණය, එය අරමුණුකොට උපදනා ලොකොත්තර ඵල සිත් සතරට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

සොවාන් පුද්ගලතෙම තමාගේ සෝවාන් ඵලයට සමවදිනු කැමති කල්හි, භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව ත්‍රෛභූමික සංස්කාරයන් අරමුණුකොට මනොචාරාවජ්ජනයද ඤාණසම්ප්‍රයුක්ත සොමනස්ස මහා කුසල් සිත දෙකෙන් එකක් අනුලොම ජවන් වශයෙන් සතර වරක් හෝ තුන් වරක් ඉපදීමෙන් පසු ප්‍රථමධ්‍යාන සහගත වූ හෝ, ද්විතීයධ්‍යාන සහගත වූ හෝ තෘතීයධ්‍යාන සහගත වූ හෝ, චතුර්‍ත්‍ථධ්‍යාන සහගත වූ හෝ, සොතාපත්ති ඵල චිත්තයද, ඤාණ සම්ප්‍රයුක්ත උපෙක්ඛා සහගත මහා කුසල් සිත් දෙකෙන් එකක් අනුලොම ජවන් වීතම් පඤ්චම ධ්‍යාන සහගත වූ හෝ සොතාපත්තිඵල චිත්තයද, බොහෝ වාර ගණනක් උපදනේය.

සකෘදාගාමි, අනාගාමි ඵල සමාපත්ති වීථිහුද මෙසේමය. අර්‍හත් ඵල සමාපත්ති වීථින්හි අනුලොම ජවන් වශයෙන් උපදින්නේ ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා චිත්තයෝය.

මේ චිත්ත වීථිවල ලොකොත්තර ඵල චිත්තයන්ට නිර්‍වාණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

4. නිබ්බාණං ආවජ්ජනාය ආරම්මණ පච්චයෙන පච්චයො.

(නිර්‍වාණය මනොද්වාරාවජ්ජන චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

සොවාන්, සකෘදාගාමි, අනාගාමි ආර්‍ය්‍යයන් වහන්සේලා නිවන ප්‍රත්‍යවෙක්‍ෂා කරනු කැමති කල්හි භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව නිර්‍වාණය අරමුණුකොට මනොද්වාරාවජ්ජනයද ඤාණසම්ප්‍රයුක්ත මහා කුසල් සිතක් ජවන් වශයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. රහතන් වහන්සේගේ වනාහි ජවනයෝ මහා ක්‍රියා ඤාණ සම්ප්‍රයුක්ත සිත් සතරින් එකකි. මේ වීථිවල මනොද්වාරාවජ්ජන චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම යයි කියනු ලැබේ.

5. අරහා චක්ඛුං අනිච්චතො, දුක්ඛතො, අනත්ත- තො විපස්සති.

(රහතන් වහන්සේ චක්‍ෂුප්‍රසාදය අනිත්‍යය ය, දුක්ඛය ය, අනාත්මය ය යි විදර්‍ශනා ඤාණයෙන් දක්නා කල්හි, විදර්‍ශනා කරන ඤාණ සම්ප්‍රයුක්ත මහා ක්‍රියා ජවනයන්ට චක්‍ෂුප්‍රසාදය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

චක්‍ෂුප්‍රසාදය විදර්‍ශනා කරන රහතන් වහන්සේට උපදනා චිත්තවීථියෙහි ඤාණසම්ප්‍රයුක්ත කාම ක්‍රියා ජවනයන්ට චක්‍ෂුප්‍රසාදය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. අරහා සොතං අනිච්චතො, දුක්ඛතො, අනත්- තතො විපස්සති. (රහතන් වහන්සේ ශ්‍රෝත ප්‍රසාදය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි)
  2. අරහා ඝාණං අනිච්චතො, දුක්ඛතො, අනත්ත- තතො විපස්සති. (රහතන් වහන්සේ ඝාණ ප්‍රසාදය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  3. අරහා ජිව්හං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සති. (රහතන්වහන්සේ ජිව්හා ප්‍රසාදය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි)
  4. අරහා කායං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සති (රහතන්වහන්සේ කාය ප්‍රසාදය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි)
  5. අරහා රූපෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති. (රහතන්වහන්සේ චතුසමුට්ඨානික රූපයන්ගේ වර්‍ණයද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  6. අරහා සද්දෙ අනිච්චතො දුක්ඛතො, අනත්ත- තතො විපස්සති. (රහතන්වහන්සේ ද්වි සමුට්ඨානික ශබ්දයන් අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  7. අරහා ගන්‍ධෙ අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සති. (රහතන්වහන්සේ චතුසමුට්ඨානික ගන්‍ධයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  8. අරහා රසෙ අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සති. (රහතන්වහන්සේ චතුසමුට්ඨානික රසයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  9. අරහා පොට්ඨබ්බෙ අනිච්චතො දුක්ඛතො, අනත්තතො විපස්සති. (රහතන්වහන්සේ චතුසමුට්ඨානික පොට්ඨබ්බයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  10. අරහා වත්‍ථුං අනිච්චතො, දුක්ඛතො අනත්තතො විපස්සති. (රහතන්වහන්සේ කර්‍මජ හදය වස්තු රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  11. අරහා විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති. (රහතන්වහන්සේ විපාක සිත් දෙතිස (32) හා චෛතසික ධර්‍මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  12. අරහා කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ අනිච්චතො, දුක්ඛතො අනත්තතො විපස්සති. (රහතන්වහන්සේ ක්‍රියා සිත් විස්ස (20) හා චෛතසික ධර්‍මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
  13. අරහා දිබ්බෙන චක්ඛුනා රූපං පස්සති. (රහතන් වහන්සේ දුරවූ ද, ප්‍රතිච්ඡන්නවූ ද, සූක්‍ෂමවූ ද, රූපාරම්මණය දිබ්බචක්ඛු ක්‍රියා අභිඤ්ඤා චිත්තයෙන් දකියි.)

19. අරහා දිබ්බාය සොත ධාතුයා සද්දං සුණාති.

(රහතන් වහන්සේ දුරවූ ද, ප්‍රතිච්ඡන්නවූ ද, සූක්‍ෂමවූ ද, ශබ්දාරම්මණය දිබ්බසොත ක්‍රියා අභිඤ්ඤා චිත්තයෙන් අසයි.)

20. අරහා චෙතොපරිය ඤාණෙන විපාකාබ්‍යාකත කිරියාබ්‍යාකත චිත්තසමඞ්ගිස්ස චිත්තං ජානාති.

(රහතන් වහන්සේ පරසන්තානගත විපාක ක්‍රියා චිත්තයන් චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤා චිත්තයෙන් දැන ගන්නේය.)

යට දක්වනලද අනුවාදයන්හි රහතන් වහන්සේ සොත, ඝාණ, ජිව්හා, කායප්‍රසාදයන් ද, රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශ, හෘදයවත්‍ථු විපාක ක්‍රියා චිත්තයන් ද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරන කල්හි උපදනා ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියාජවනයන්ට ඒ සොතාදී අව්‍යාකෘතධර්මයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” ය යි කියනු ලැබේ.

එසේම රහතන් වහන්සේ දිබ්බචක්ඛු ක්‍රියා අභිඤ්ඤා චිත්තයෙන් රූප දක්නා කල්හිද, දිබ්බසොත ක්‍රියා අභිඤ්ඤා චිත්තයෙන් ශබ්ද අසන කල්හිද, චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤා චිත්තයෙන් පරසන්තානගත විපාක ක්‍රියා චිත්තයන් දැනගන්නා කල්හිද උපදනා ක්‍රියා අභිඤ්ඤා චිත්තයන්ට ඒ රූප ශබ්දාදිය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” ය යි කියනු ලැබේ.

21. ආකාසානඤ්චායතන කිරියං විඤ්ඤාණඤ්චායතන කිරියස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(රහතන් වහන්සේගේ ආකාසානඤ්චායතන ක්‍රියා චිත්තය විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.) 22. ආකිඤ්චඤ්ඤායතන කිරියං නෙවසඤ්ඤානාසඤ්ඤායතන කිරියස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(රහතන් වහන්සේගේ ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා චිත්තය නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මේ අනුවාද දෙකෙහි රහතන් වහන්සේගේ විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තයට ආකාශානඤ්චායතන ක්‍රියා චිත්තයද, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා චිත්තයට ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා චිත්තයද, ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවීම” ය යි කියනු ලැබේ.

23. රූපායතනං චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(රූපායතනය, චක්ඛු විඤ්ඤාණ චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

24. සද්දායතනං සොතවිඤ්ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(ශබ්දායතනය, සොතවිඤ්ඤාණ චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

25. ගන්‍ධායතනං ඝාණ විඤ්ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(ගන්‍ධායතනය, ඝාණ විඤ්ඤාණ චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

26. රසායතනං ජිව්හා විඤ්ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(රසායතනය ජිව්හා විඤ්ඤාණ චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

27. පොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(පොට්ඨබ්බායතනය, කායවිඤ්ඤාණ චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

මේ අනුවාද පසෙහි රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ යන අව්‍යාකෘතවූ කාම ධර්මයන් අරමුණුකොට උපදනා පඤ්චද්වාර චිත්තවීථින්හි පිළිවෙලින් භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව රූපායතනාදී වූ ආරම්මණයන් අතුරෙන් එක් ආරම්මණයක් අරමුණුකොට පඤ්චද්වාරාවජ්ජනයද, කුසලාකුසල අහේතුක විපාක ද්විපඤ්චවිඤ්ඤාණයන් අතුරෙන් එක් සිතක්ද, සම්පටිච්ඡනයද, සන්තීරණයද, වොට්ඨපනයද, කාමාවචර ජවන් සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධ වූ පසු තදාරම්මණයන් ඇතිව හෝ නැතිව හෝ භවාඞ්ගය වේ. මේ චිත්ත වීථින්හි දෙපස් විඤ්ඤාණ විපාක චිත්තයන්ට රූපායතනාදීන් අතුරෙන් එක් ආරම්මණයක් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

28. අබ්‍යාකතා ඛන්‍ධා ඉද්ධිවිධ ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(පාදක රූපාවචර පඤ්චමධ්‍යානය හා නිර්මිත රූපයන් රහතන් වහන්සේගේ ඉද්ධිවිධ ක්‍රියා අභිඤ්ඤා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

29. අබ්‍යාකතා ඛන්‍ධා චෙතොපරිය ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(පරසන්තානගත විපාක ක්‍රියා චිත්තයන් රහතන් වහන්සේගේ චෙතොපරිය ක්‍රියා අභිඤ්ඤා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

30. අබ්‍යාකතා ඛන්‍ධා පුබ්බෙනිවාසානුස්සති ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(පෙර ජාතිවලට අයත් විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය, රූප අටවිස්සය යන අව්‍යාකෘත ධර්මයන් රහතන් වහන්සේගේ පුබ්බෙනිවාසානුස්සති ක්‍රියා අභිඤ්ඤා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

31. අබ්‍යාකතා ඛන්‍ධා අනාගතංස ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො

(අනාගත විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය, රූප අටවිස්සය යන අව්‍යාකෘත ධර්මයන් රහතන් වහන්සේගේ අනාගතංස ක්‍රියා අභිඤ්ඤා චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

මේ අනුවාද සතරෙහි රහතන් වහන්සේගේ ඉද්ධිවිධ චෙතොපරිය, පුබ්බෙනිවාසානුස්සති අනාගතංස ක්‍රියා අභිඤ්ඤා චිත්තයන්ට විපාක ක්‍රියා චිත්තයන් හා රූපයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

32. අබ්‍යාකතා ඛන්‍ධා ආවජ්ජනාය ආරම්මණ පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ස්කන්‍ධයන් අරමුණුකොට උපදනා චිත්ත වීථින්හි මනොද්වාරාවජ්ජන චිත්තයට ඒ අව්‍යාකෘත ස්කන්ධයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

එසේ උපදනා චිත්තවීථින්හි ආවජ්ජනා චිත්තයට අව්‍යාකෘත ධර්මයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

8. විථිය— අබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි කුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් උපකාරවන ප්‍රත්‍යය ධර්‍මයෝ නම්:

අර්‍හත් ඵලය හැර විපාක සිත් පන්තිසය

ක්‍රියා සිත් විස්සය

චෛතසික අටතිසය

රූප අටවිස්සය

නිවන යන ප්‍රත්‍යය ධර්‍මයෝ යි.

මේ ප්‍රත්‍යය ධර්‍මයන්ගේ ප්‍රත්‍යොත්පන්න භාවයට පැමිණෙන කුසල ධර්‍මයෝ නම්:

මහා කුසල් සිත් අටය

දිබ්බ චක්ඛු කුසලාභිඤ්ඤාවය

දිබ්බසොත කුසලාභිඤ්ඤාවය

ඉද්ධිවිධ කුසලාභිඤ්ඤාවය

චෙතොපරිය කුසලාභිඤ්ඤාවය

පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤාවය

අනාගතංස කුසලාභිඤ්ඤාවය

අප්‍රමාණ්‍යයයන් හැර චෛතසික සතිසය

යන ප්‍රත්‍යොත්පන්න ධර්‍මයෝ යි.

මෙහි එක්වර ලැබෙන ආරම්මණ, ආරම්මණාධිපති වත්‍ථාරම්මණ නිස්සය, ආරම්මණූපනිස්සය, ආරම්මණ පුරෙජාත, වත්‍ථාරම්මණ විප්පයුත්ත, ආරම්මණ පුරෙජාතාත්‍ථි, ආරම්මණ පුරෙජාතාවිගත යන ප්‍රත්‍යය ශක්ති අටෙන් ආරම්මණ ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මේ වීථියෙහි අනුවාද වශයෙන්

  1. සෙක්ඛා ඵලං පච්චවෙක්ඛන්ති.

(ශෛක්‍ෂයන් වහන්සේලා තම තමන් විසින් ලබන ලද ඵල සිත් ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමේ දී ප්‍රත්‍යවෙක්‍ෂා කරන කුසල ජවනයන්ට ඵල සිත් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

සොවාන්, සකෘදාගාමි, අනාගාමි ආර්‍ය්‍යයන් වහන්සේලා තම තමන් විසින් ලබන ලද ඵල සිත ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡේද යන චිත්ත යන්ට අනතුරුව එම ඵලසිත අරමුණු කොට මනොද්වාර වජ්ජන චිත්තයද, කාමාවචර මහා කුසල් සිතක් ජවන කෘත්‍යයයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධවූ පසු භවාඞ්ගයවේ. මේ චිත්තවීථියෙහි ප්‍රත්‍යවෙක්‍ෂා ජවන් වශයෙන් උපදනා කාමාවචර මහා කුසල් සිත් වලට සොවාන් සකෘදාගාමි, අනාගාමි ඵලසිත් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්‍මය කුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

2. සෙක්ඛා නිබ්බානං පච්චවෙක්ඛන්ති.

ශෛක්‍ෂයන් වහන්සේලා නිර්‍වාණය ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි උපදනා කාමාවචර මහා කුසල ජවනයන්ට නිර්‍වාණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙය යට දක්වන ලද පළමුවන අනුවාදය මෙන් දත යුතු.

3. නිබ්බානං ගොත්‍රභුස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

නිර්‍වාණය ගෝත්‍රභූ චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

පෘථග්ජන තෙම විදසුන් වඩා සම්පූර්‍ණකොට සෝවාන් මගට පැමිණීමට ලංවූ කල්හි උපදනා මාර්‍ග චිත්ත වීථියෙහි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව විදර්‍ශනා කළ සංස්කාර ධර්මය අරමුණු කොට මනොද්වාරාවජ්ජන චිත්තය ද ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිතක් පරිකර්ම උපාචාර අනුලොම වශයෙන් ද ඉපිද නිරුද්ධ වෙත්. අනතුරුව නිවන අරමුණු කරමින් එම ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිතම ගෝත්‍රභූ චිත්තය වශයෙන් ඉපිද නිරුද්ධ වූ පසු සොවාන් මාර්‍ග සිත හා ඵලසිත් දෙක ද පිළිවෙලින් ඉපිද නිරුද්ධ වෙත්. මේ සොවාන් මාර්‍ගය උපදනා චිත්ත වීථියෙහි ප්‍රථග්ජන ගෝත්‍රයෙන් එතර කරවන ගොත්‍රභූ සිතට නිවන ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. නිබ්බානං වොදානස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(නිර්‍වාණය වොදාන චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ) සොවාන් ඵලස්ථ පුද්ගලතෙම නැවත විදසුන් වඩා සකෘදාගාමී මාර්‍ග ඵලයන් හා අනාගාමී අර්හත් මාර්‍ග ඵලයන් උපදවා ගන්නා කල්හි භවාඞ්ගචලන, භවාංගුපච්ඡේදයන්ට අනතුරුව පරිකර්‍ම, උපචාර, අනුලොම, සිත් ඉපිද නිරුද්ධ වූ පසු නිවන අරමුණු කරමින් ඉතා පිරිසිදු වූ එම ඤාණසම්ප්‍රයුක්ත චිත්තයම, වොදාන නමින් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව සකෘදාගාමී මාර්‍ග සිත හා ඵල සිත් දෙක ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. අනාගාමී මාර්‍ගය හා අර්හත් මාර්‍ගය ලැබෙන චිත්ත වීථියද මෙසේමය. මේ චිත්ත වීථින්හි වොදාන සිතට නිර්‍වාණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. නිබ්බානං මග්ගස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(නිර්‍වාණය මාර්‍ග චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

සෝවාන් සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන ලොකොත්තර මාර්‍ග කුසල් සිත් විසින් අරමුණු කරනු ලබන්නේ නිර්‍වාණයයි. මෙසේ මාර්‍ග කුසල් සිතට නිර්‍වාණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. සෙක්ඛාවා පුථුජ්ජනාවා චක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ පුද්ගලයන් විසින් චක්‍ෂුප්‍රසාදය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා වඩන කල්හි, විදර්‍ශනා කරන කාමාවචර ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් වලට චක්‍ෂුප්‍රසාදය ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.) සොවාන්, සකෘදාගාමි, අනාගාමි පුද්ගලයන් විසින් හෝ පෘථග්ජන පුද්ගලයන් විසින් හෝ චක්‍ෂුප්‍රසාදය අනිත්‍යය දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා වඩන කල්හි භවාඞ්ගචලන, භවාංගුපච්ඡෙදයන්ට අනතුරුව චක්‍ෂු ප්‍රසාදය අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනයද, ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිතක් විදර්‍ශනා ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථින්හි විදර්‍ශනා කරන කාමාවචර ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල චිත්තයන්ට චක්‍ෂු ප්‍රසාදය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම, “අව්‍යාකෘත ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
  2. සෙක්ඛාවා පුථුජ්ජනාවා සොතං අනිච්චතො, දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ ශ්‍රොතය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)
  3. සෙක්ඛාවා පුථුජ්ජනාවා ඝාණං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ ඝාණය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)
  4. සෙක්ඛාවා පුථුජ්ජනාවා ජිව්හං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ ජිව්හය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)
  5. සෙක්ඛාවා පුථුජ්ජනාවා කායං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ කය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්)
  6. සෙක්ඛාවා පුථුජ්ජනාවා රූපෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ රූපයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්)
  7. සෙක්ඛාවා පුථුජ්ජනාවා සද්දෙ අනිච්චතො, දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ ශබ්දයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)
  8. සෙක්ඛාවා පුථුජ්ජනාවා ගන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ ගන්ධයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)
  9. සෙක්ඛාවා පුථුජ්ජනාවා රසෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ රසයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)
  10. සෙක්ඛාවා පුථුජ්ජනාවා පොට්ඨබ්බෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ ස්පර්‍ශයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)
  11. සෙක්ඛාවා පුථුජ්ජනාවා වත්‍ථුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති.

(ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ හදය වස්තු රූපය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)

17. සෙක්ඛාවා පුථුජ්ජනාවා විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති.

(ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරත්.)

මේ අනුවාදයන්හි ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයන් විසින් ශ්‍රෝත, ඝාන, ජිව්හා, කාය, රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ, හදයවස්තු, විපාක ක්‍රියා චිත්තයන් විදර්‍ශනා කරන කල්හි ඒ විදර්‍ශනා කුසල ජවනයන්ට ශ්‍රෝතාදී වූ අව්‍යාකෘත ධර්මයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

18. දිබ්බෙන චක්ඛුනා රූපං පස්සන්ති.

(ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයන් විසින් දිවැසින් රූපයන් දක්නා කල්හි ඒ දිබ්බචක්ඛු කුසලාභිඤ්ඤා චිත්තයට දූර ප්‍රතිච්ඡන්නාදී වූ රූපාරම්මණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

අර්‍හත් බවට නොපැමිණි අෂ්ටසමාපත්තිලාභී පුද්ගල තෙම දිව්‍යචක්‍ෂුරභිඥා උපදවා දූරප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂමාදී වූ රූපාරම්මණය දක්නා කල්හි ඒ චිත්ත වීථියෙහි උපදනා දිබ්බචක්ඛු කුසලාභිඤ්ඤා චිත්තයට හා තදනුවර්‍තක මනොද්වාරික චිත්ත වීථීන්හි උපදනා කාමාවචර කුසල ජවනයන්ටද ඒ සූක්‍ෂම රූපාරම්මණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යවීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

19. දිබ්බාය සොතධාතුයා සද්දං සුණන්ති.

(ශෛක්‍ෂවූ හෝ පෘථග්ජනවූ හෝ පුද්ගලයන් විසින් දිව කණින් ශබ්ද අසන කල්හි ඒ දිබ්බසොත කුසලාභිඤ්ඤා චිත්තයට දූර ප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම ශබ්දාරම්මණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

20. චෙතොපරිය ඤාණෙන විපාකාබ්‍යාකත කිරියා- බ්‍යාකත චිත්තසමඞ්ගිස්ස චිත්තං ජානන්ති.

(ශෛක්‍ෂවූ හෝ පෘථග්ජනවූ හෝ පුද්ගලයන් විසින් පර සිත් දන්නා නුවණින් හෙවත් චෙතොපරියඤාණයෙන් පරසන්තානගත විපාක ක්‍රියා සිත් දැනගන්නා කල්හි ඒ චෙතොපරිය කුසලාභිඤ්ඤා චිත්තයට පරසන්තානගත විපාක ක්‍රියා චිත්තයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

21. අබ්‍යාකතාඛන්‍ධා ඉද්ධිවිධ ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(නිර්මිත රූප සඞ්ඛ්‍යාත ෂඩාරම්මණය ඉද්ධිවිධ කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

22. අබ්‍යාකතාඛන්‍ධා චෙතොපරිය ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අතීත සත්වන දිනයට හා අනාගත සත්වන දිනයට අතරෙහි කාලත්‍රයට අයත් පරසන්තානගත අර්‍හත් ඵලය හැර විපාක සිත් පන්තිසය, ක්‍රියා සිත් විස්සය යන ධම්මාරම්මණය චෙතොපරිය කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

23. අබ්‍යාකතාඛන්‍ධා පුබ්බෙ නිවාසානුස්සති ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(පෙර ජාතියෙහි වූ අර්‍හත් ඵලය හැර විපාක සිත් පන්තිසය ක්‍රියා සිත් විස්සය, රූප අටවිස්සය යන ස්කන්‍ධ පඤ්චකයය, ඒ ස්කන්‍ධානුසාරයෙන් දතයුතුවූ නිවණය යන ෂඩාරම්මණය පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

24. අබ්‍යාකතාඛන්‍ධා අනාගතංස ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අනාගතවූ අර්‍හත් ඵලය හැර විපාක සිත් පන්තිසය (35), ක්‍රියා සිත් විස්සය, රූප අටවිස්සය (28) යන ස්කන්‍ධ පඤ්චකය ඒ ස්කන්‍ධානුසාරයෙන් දතයුතුවූ නිවණය යන ෂඩාරම්මණය අනාගතංස කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

මේ කුසල අභිඤ්ඤා චිත්තයන්ට අව්‍යාකෘත ධර්‍මයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම යයි කියනු ලැබේ.”

9. වීථිය

අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්‍මය අකුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

මෙහි අකුසල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් උපකාර වන ප්‍රත්‍යය ධර්‍මයෝ නම්:

ලෞකික විපාක දෙතිසය (32),

ක්‍රියා සිත් විස්සය,

චෛතසික පන්තිසය (35),

රූප අටවිස්සය (28)

යන ප්‍රත්‍යය ධර්‍මයෝයි.

මේ ප්‍රත්‍යය ධර්‍මයන්ගේ ප්‍රත්‍යොත්පන්න භාවයට පැමිණෙන අකුසල ධර්‍මයෝ නම්

අකුසල් සිත් දොළොසය

චෛතසික සත් විස්සය (27)

යන ප්‍රත්‍යොත්පන්න ධර්‍මයෝ යි.

මෙහි එක්වර ලැබෙන ආරම්මණ සභාග ප්‍රත්‍යයන් අතුරෙන් ආරම්මණ ශක්තිය ලැබේ.

මේ වීථියෙහි අනුවාද වශයෙන්

  1. චක්ඛුං අස්සාදෙති, අභිනන්‍දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති. (චක්‍ෂුප්‍රසාදය ආස්වාදනය අභිනන්‍දනය කිරීමේදී චක්‍ෂුව අරමුණුකොට රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්ධච්චය, දොමනස්සය උපදී.) චක්‍ෂුප්‍රසාදය ආස්වාදනය කරන කල්හි ලොභමූල සොමනස්ස සහගත සිත් සතරටද, මගේ ඇස ඉතා හොඳය යි සතුටුවන කල්හි ප්‍රීති සහගත ලොභමූල චිත්තයට ද, ඇසට ඇලුම් කරන කල්හි රාගය ප්‍රධාන ලොභමූල සිත් අටට ද, මගේ ඇස යයි වරදවා ගන්නා කල්හි දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරටද, සැකයක් උපදනා කල්හි මොහමූල විචිකිච්ඡා සහගත සිතටද, වික්‍ෂිප්ත වන කල්හි උද්ධච්ච සහගත චිත්තයටද, නොසතුටු වන කල්හි දොමනස්ස සහගත සිත් දෙකට ද, චක්‍ෂු ප්‍රසාදය නම් වූ ඒ අව්‍යාකෘත ධර්මය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
  2. සොතං, ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ ගන්‍ධෙ, රසෙ, පොට්ඨබ්බෙ, වත්ථුං, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ අස්සාදෙති, අභිනන්‍දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.

(ශ්‍රොතය, ඝාණය, ජිව්හය, කායය, රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ, හදය වස්තු, විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් ආස්වාදනය අභිනන්‍දනය කරන කල්හි එකී අව්‍යාකෘත ධර්මයන් අරමුණුකොට රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්ධච්චය, දොමනස්සය උපදී.)

චක්‍ෂුප්‍රසාදය මෙන්ම, ශ්‍රොතප්‍රසාදය, ඝාණප්‍රසාදය, ජිව්හාප්‍රසාදය, කායප්‍රසාදය, රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බය, හදය වස්තුව, විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් අරමුණුකොට ආස්වාදනය, අභිනන්‍දනය කරන කල්හි එය අරබයා රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්ධච්චය, දොම්නස උපදී. එසේ එකී අව්‍යාකෘත ධර්‍මයන් අරමුණු කොට දොළොස් අකුසල චිත්තයන් උපදනා කල්හි දොළොස් අකුසල චිත්තයන්ට එකී අව්‍යාකෘත ධර්‍මයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම, “අව්‍යාකෘත ධර්‍මය අකුසල ධර්‍මයට ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම යයි” කියනු ලැබේ.