අභිධර්මාර්ථ ප්‍රදීපිකා

1. හේතු ප්‍රත්‍යය

යමකිසි ධර්‍මයකගේ ඇතිවීමට හා පැවතීමට මූලභාව යෙන් උපකාර වන ධර්‍මය හේතු ප්‍රත්‍යය නමි. හේතු යන්නෙන් මූල භාවය ද, ප්‍රත්‍යය යන්නෙන් උපකාරක භාවය ද ප්‍රකාශ වේ.

මූල භාවයෙන් අන්‍ය ධර්‍මයන්ට උපකාර වන හේතු ධර්‍මයෝ සදෙනෙකි. එනම්:- ලොභ, දොෂ, මොහ යන අකුසල හේතු තිදෙනා හා අලොභ, අදොෂ, අමොහ යන කුසලව්‍යාකෘත හේතු තිදෙනා ය. පොළොව තදින් අල්වා ගන්නා ගස්වල මුල් මෙන් මේ හේතු ධර්‍මයෝ සදෙන ද අරමුණු තදින් අල්වා ගන්නා චෛතසික ධර්‍මයෝ ය. මේ හේතූන්ගේ උපකාරයෙන් ඒ ධර්‍මයෝ ද සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසික ධර්‍මයෝ ද ලොභාදි වූ ඒ ආරම්මණයන්හි මනාකොට ස්ථිරව පිහිටති. මේ ලොභාදියෙහි ඇති ආරම්මණයෙහි නොසැලී ස්ථිරව පිහිටන ස්වභාවයට හේතු ශක්තිය යයි කියනු ලැබේ. මේ හේතු ධර්‍මයන් උපදනා කල්හි එයටම අනුකූලව සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ද හේතූන් අනුව ආරම්මණය ස්ථිරව ගනිමින් ඔවුන් හා බැඳී උපදිති. එබැවින් හේතූහු සම්ප්‍රයුක්ත ධර්‍මයන්ගේ ඉපදීමට ද උපකාර වන ධර්‍මයෝ යයි කියනු ලැබෙත්. හේතු ධර්‍ම යෙදෙන සිත් වලට සහේතුක චිත්තයෝ යයි ව්‍යවහාර කෙරෙති. සම්ප්‍රයුක්ත ධර්‍ම සහිත වූ සහේතුක සිත්වලින් සහේතුක චිත්තජ රූපයෝ ද, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපද උපදවන කල්හි මේ හේතුහු ඒ සහේතුක චිත්තජ රූපවලට සහ සහේතුක ප්‍රතිසන්‍ධි කර්මජ රූපවලට ද මූල භාවයෙන් උපකාර වෙති. එබැවින් මේ ලෝභාදී වූ හේතු ධර්‍මයෝ සදෙන අන්‍ය ධර්‍මයන්ගේ ඉපදීමටත්, පැවැත්මටත් උපකාර වන හෙයින් එයට ජනකොපස්ථම්භක ප්‍රත්‍යයයෝ යයි කියනු ලැබෙත්. ජනක ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍යොත්පන්න ධර්‍මයාගේ උත්පාදයටත් උපස්ථම්භක ප්‍රත්‍ය ශක්තියෙන් ඒ ධර්‍මයාගේ ස්ථිතියටත් ප්‍රත්‍යය වේ. මේ හේතු ධර්‍මයන් ඇති සිත් එනම් සහේතුක සිත් හේතු ශක්තිය නිසා බලවත් වෙති.

ලෝභය - ප්‍රිය අරමුණ තදින් අල්වාගෙන ස්ථිරව පිහිටා එහි ඇලෙන ස්වභාවය ලෝභය නම්. මේ ලෝභ චෛතසිකය හේතු ධර්‍මයක් වශයෙන් ලෝභ මූල අකුසල් සිත් අටෙහි මෝහයත් සමග සම්ප්‍රයුක්තව ඇත්තේය. ලෝභ මූල සිත් අටෙහි ඇති ලෝභ, මෝහ යන හේතු දෙක ඒ ලෝභ මූල චිත්තයට හා හේතූන්ගෙන් අන්‍යවූ චෛතසිකයන්ට ද, චිත්තජ රූපයන්ට ද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ. එමෙන්ම එහි ඇති ලෝභය මෝහයට ද, මෝහය ලෝභයට ද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ. එබැවින් ලෝභයත් මෝහයත් යන හේතූන් දෙදෙන ප්‍රත්‍යය හා ප්‍රත්‍යොත්පන්න භාවයට ද පැමිණෙති. සිත හා ලෝභ මෝහ දෙදෙනාගෙන් අන්‍යවූ චෛතසික ධර්‍මයෝ ප්‍රත්‍යොත්පන්නයෝ පමණක් වෙති.

ද්වේෂය - අප්‍රිය අරමුණ තදින් අල්වාගෙන ස්ථිරව පිහිටා එහි විරුද්ධව ගැටෙන ස්වභාවය ද්වේෂය නම්. දෝෂ මූල දෙසිතෙහි මේ ද්වේෂ චෛතසිකය හේතු ධර්‍මයක් වශයෙන් මෝහයත් සමග සම්ප්‍රයුක්තව ඇත්තේය. ඒ දෝෂ මූල දෙසිතෙහි යෙදෙන දෝෂ, මෝහ යන හේතු දෙදෙන ඒ දෝෂ මූල චිත්තයට හා හේතූන්ගෙන් අන්‍යවූ සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට ද චිත්තජ රූපයන්ට ද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ. එමෙන් එහි ඇති ද්වේෂය මෝහයටත්, මෝහය ද්වේෂයටත් හේතු ශක්තියෙන් උපකාර වේ. එබැවින් මේ දොෂ, මොහ දෙදෙන ප්‍රත්‍යයෝ ද වෙත්. ප්‍රත්‍යොත්පන්න යෝ ද වෙත්. සිත හා දොෂ මොහ දෙදෙනාගෙන් අන්‍යවූ චෛතසික ධර්‍මයෝ ප්‍රත්‍යොත්පන්නයෝ පමණක් වෙති.

මොහය- අරමුණ තදින් අල්වාගෙන, ස්ථිරව පිහිටා, එහි සත්‍ය ස්වභාවය, ආදීනවාදිය වසා සිටින මුළා කරවන ස්වභාවය මොහය නම්. ප්‍රිය අරමුණට ඇලුම් කරන ලොභයත්, අප්‍රිය අරමුණට පිළිකුල් කරන දොෂයත් ඇති වන්නේ මේ මොහය නිසාමය. මේ මොහ චෛතසිකය හේතු ධර්‍මයක් වශයෙන් ලොභ මූල සිත් අටෙහි ලොභ හේතුවත් සමඟද, දොෂ මූල දෙසිතෙහි දොෂ හේතුවත් සමඟද, මොහ මූල දෙසිතෙහි මොහ හේතුව පමණක් ද ඇත්තේය. මොහ මූල දෙසිතෙහි යෙදෙන මොහ හේතුව එහි සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ටද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ. ඒ දෙසිතෙහි ඇති මොහයට හේතු ශක්තියෙන් උපකාර වීමට අන් හේතු ධර්‍මයක් නැති හෙයින් ඒ මොහ මූල දෙසිතෙහි ඇති මොහය, ප්‍රත්‍යය ධර්‍මයක් පමණක් වේ. ප්‍රත්‍යොත්පන්න භාවයට නො පැමිණෙයි.

අලොභය- අරමුණ තදින් අල්වාගෙන ස්ථිරව පිහිටා ලොභයට ප්‍රතිවිරුද්ධ වන ස්වභාවය අලොභය නම්. මේ අලොභ චෛතසිකය හේතු ධර්‍මයක් වශයෙන් සියලුම කාමාවචර මහා කුසල් විපාක, ක්‍රියා සිත් සූවිස්සෙහිද, මහග්ගත කුසල විපාක ක්‍රියා සත්විස්සෙහිද ලොකොත්තර සිත් අටෙහිද යන එකුන් සැටක් වූ (59) සොභන සිත්හි සම්ප්‍රයුක්තව, කාම සොභන සිත් අතුරෙන් ඥානවිප්‍රයුක්ත සිත් දොළොසෙහි අදොෂ හේතුවත් සමඟද, ඥානසම්ප්‍රයුක්ත සිත් දොළොසෙහි අදොෂ, අමොහ යන හේතුන් දෙදෙනාත් සමඟද ඇත්තේය. මහග්ගත ලොකොත්තර සිත්හි අලොභ, අදොෂ, අමොහ යන හේතූහු තිදෙනම ඇත්තාහ.

අදොෂය- අරමුණ තදින් අල්වාගෙන ස්ථිරව පිහිටා දොෂයට ප්‍රතිවිරුද්ධ වන ස්වභාවය අදොෂ නම්. එය මෛත්‍රියට නමෙකි. මේ අදෝෂ චෛතසිකය, අලෝභ චෛතසිකය යෙදෙන සියලුම සොභන සිත්හි සම්ප්‍රයුක්තව හේතු ධර්‍මයක් වශයෙන් ඇත්තේය. ඥානවිප්‍රයුක්ත සිත්හි අලෝභ හේතුවත් සමග ද, ඥානසම්ප්‍රයුක්ත හෙවත් ත්‍රිහේතුක සිත්හි අලෝභ අමෝහ හේතු දෙදෙනාත් සමගද ඇත්තේය.

අමෝහය - අරමුණ තදින් අල්වාගෙන ස්ථිරව පිහිටා මෝහයට ප්‍රතිවිරුද්ධ වන ස්වභාවය අමෝහ නම්. එය ප්‍රඥාවට නමෙකි. මේ අමෝහ චෛතසිකය හේතු ධර්‍මයක් වශයෙන් සියලු ත්‍රිහේතුක චිත්තයන්හි හෙවත් ඥානසම්ප්‍රයුක්ත කාමාවචර, මහග්ගත, ලෝකෝත්තර චිත්තයන්හි සම්ප්‍රයුක්තව අලෝභ, අදෝෂ යන හේතු දෙදෙනාත් සමග ඇත්තේය. කාමාවචර කුසල් සහ ක්‍රියා සිත් සොළස (16) අතුරෙන් ඥානවිප්‍රයුක්ත සිත්හි ඇති අලෝභ හේතුව සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ටද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ. එමෙන්ම අලෝභ හේතුව අදෝෂ හේතුවට ද, අදෝෂ හේතුව අලෝභ හේතුවටද හේතු භාවයෙන් උපකාර වේ. කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සහ ක්‍රියා සිත්හි ඇති අලෝභ හේතුව සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ටද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ. එමෙන්ම එහි ඇති අලෝභ හේතුව අදෝෂ අමෝහ යන හේතු දෙකටද, අදෝෂ හේතුව අලෝභ අමෝහ හේතු දෙකටද අමෝහ හේතුව අලෝභ අදෝෂ හේතු දෙකටද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වෙත්.

කාමාවචර මහා විපාක සිත් අට අතුරෙන් ඥානවිප්‍රයුක්ත සිත් සතරෙහි යෙදෙන අලෝභ අදෝෂ හේතු දෙක ඔවුනොවුන්ට හා සම්ප්‍රයුක්ත ධර්‍මයන්ටද, භවාඞ්ග තදාරම්මණ වශයෙන් හා ශෛක්‍ෂ පෘථග්ජන වශයෙන්ද චුති වශයෙන්ද උපදින කල්හි චිත්තජ රූපයන්ටද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වෙති. ප්‍රතිසන්‍ධි කෘත්‍යයෙන් උපදනා කල්හි ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ටද හේතු ශක්තියෙන් උපකාර වෙත්. ප්‍රතිසන්‍ධි චිත්තය චිත්තජරූපයන් නූපදවන බැවින් චිත්තජ රූපයන්ට ප්‍රත්‍යවීමෙක් නැත. ඥානසම්ප්‍රයුක්ත මහා විපාක සිත් සතරෙහි අලෝභ, අදෝෂ, අමෝහ යන හේතු තුනම යෙදෙන හෙයින් මේ හේතු තිදෙන ඔවුනොවුන්ට හා සම්ප්‍රයුක්ත ධර්‍මයන්ටද යට කී පරිද්දෙන් භවාඞ්ග, තදාරම්මණ, වශයෙන් හා ශෛක්‍ෂ, පෘථග්ජන චුතිකෘත්‍ය වශයෙන් උපදනා කල්හි චිත්තජ රූපයන්ට ද ප්‍රතිසන්‍ධිකෘත්‍යයෙන් උපදනා කල්හි ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ටද හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙති. අර්හත්චුති චිත්තයෙහි සම්ප්‍රයුක්ත හේතුහු තිදෙන ඔවුනොවුන්ට හා සම්ප්‍රයුක්ත ධර්‍මයන්ටද ප්‍රත්‍යය වෙත්.

මහද්ගත කුසල, මහද්ගත ක්‍රියා සම්ප්‍රයුක්ත හේතුහුද, ලෝකෝත්තර චිත්ත සම්ප්‍රයුක්ත හේතුහුද, ඔවුනොවුන්ට හා සම්ප්‍රයුක්ත ධර්‍මයන්ටද චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වෙති. රූපාවචර විපාක සිත් ප්‍රතිසන්‍ධි කෘත්‍යයෙන් උපදනා කල්හි ඒ විපාක හේතුහු ඔවුනොවුන්ටද සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ටද ප්‍රත්‍යය වෙති. භවාඞ්ග චුති කෘත්‍යයෙන් උපදනා කල්හි ඔවුනොවුන්ටද, සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වෙති.

අරූපාවචර විපාක සම්ප්‍රයුක්ත වූ හේතුහු ඔවුනොවුන්ට හා සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට පමණක් ප්‍රත්‍යය වෙති. අරූප භූමියෙහි රූප ඉපදවිය නොහැකි හෙයින් රූපයන්ට ප්‍රත්‍යය වීමෙක් නැත.

අටළොස් අහේතුක චිත්තයන්හි එක් හේතුවක්වත් නැත. එබැවින් අහේතුක චිත්ත චෛතසිකයෝද, අහේතුක චිත්තජ රූපයෝද, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝද හේතු ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්න භාවයට නොපැමිණෙන බැවින් ඉතා දුබල ධර්‍මයන් වශයෙන් සළකනු ලැබෙත්.

ත්‍රි රාශිය - හේතු ප්‍රත්‍යය පිළිබඳ වූ ස්වරූපයෝ ත්‍රිවිධ වෙති. එනම්:-

  1. හේතුප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.
  2. හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්න ධර්‍මයෝ ය.
  3. හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනික ධර්‍මයෝ ය හෙවත් හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්න භාවයට නො පැමිණෙන ධර්‍මයෝ ය.
  4. ප්‍රත්‍යය වන ධර්‍ම - හේතුප්‍රත්‍යය වන ධර්‍මයෝ සදෙනෙකි.

එනම්:-

ලොභ, දොෂ, මොහ, අලොභ, අදොෂ, අමොහ යන හේතු ධර්‍මයෝ යි.

  1. ප්‍රත්‍යොත්පන්න ධර්‍ම - සහේතුක සිත් එක් සැත්තෑවය (71) මොහමූල දෙසිතෙහි මොහය හැර චෛතසික 52 සහේතුක චිත්තජ රූපයෝ ය. සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය.
  2. ප්‍රත්‍යනික ධර්‍ම - අහේතුක සිත් අටළොසය (18) ඡන්‍දය හැර අන්‍ය සමාන චෛතසික දොළොසය (12) මොහමූල දෙසිතෙහි මොහය ය අහේතුක චිත්තජ රූපයෝ ය අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය. බාහිර රූපයෝ ය ආහාරජ රූපයෝ ය සෘතුජ රූපයෝ ය අසංඥසත්‍ව කර්‍මජ රූපයෝ ය ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය

හේතු ප්‍රත්‍යයෙහි විසර්ජනා වාර හෙවත් වීථි සතකි (7)

1. වීථිය

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස

හේතු පච්චයෙන පච්චයො

(කුසල ධර්මය හෙවත් නිරවද්‍ය ඉෂ්ට විපාක දෙන ලක්‍ෂණය ඇති නිස්සත්ත්‍ව නිර්ජීව ස්වභාවය කුසල ධර්මයට හෙවත් නිරවද්‍ය ඉෂ්ට විපාක දෙන ලක්‍ෂණ ඇති නිස්සත්ත්‍ව නිර්ජීව ස්වභාවයට හේතුප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ.)

කුසලා හේතු සම්පයුත්තකානං ඛන්‍ධානං

හේතු පච්චයෙන පච්චයො

(කුසල් වූ හේතූහු එකොත් පාදාදී භාවයෙන් ඔවුනොවූන්ට හා සම්ප්‍රයුක්ත වූ ස්කන්‍ධයන්ට හෙවත් කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන ධර්මයන්ට හේතුප්‍රත්‍යය ශක්තියෙන් උපකාරක වේ.) මෙහි ප්‍රත්‍යය ධර්ම වශයෙන් කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන මොවුන්ගේ ද්විහේතුක චිත්තයන්හි ඇති අලෝභ අදෝෂ දෙකය, ත්‍රිහේතුක චිත්තයන්හි ඇති අලෝභ, අදෝෂ, අමෝහ තුනය යන හේතු ධර්ම ලැබෙත්.

ප්‍රත්‍යොත්පන්න ධර්ම වශයෙන් කුසල් සිත් එක්විස්සය චෛතසික අටතිසය යන ධර්මයෝ ලැබෙත්.

දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, තෙරුවන් පිදීම, ධර්මශ්‍රවණය, වතාවත් කිරීම, පින් දීම යනාදී නිරවද්‍ය වූ යහපත් වූ ඉෂ්ට විපාක ගෙන දෙන්නාවූ ක්‍රියාවන්ට කුසල කර්ම යයි කියනු ලැබේ. මෙසේ කාමාවචර කුසල් කරන කල්හි කාමාවචර මහා කුසල් සිත් අටෙන් එකක් ජවන් වශයෙන් උපදී. රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවන කල්හි මහග්ගත කුසල් නවයෙන් එකක් ජවන් වශයෙන් උපදී. සෝවාන් ආදී මාර්ගයන්ට පැමිණෙන කල්හි ලොකොත්තර කුසල් සිත් සතරෙන් එකක් ජවන් වශයෙන් උපදී. කාමාවචර ඥානවිප්‍රයුක්ත සිත් සතරෙන් එකක් මෙසේ උපදී නම් එහි හේතු ධර්‍ම වශයෙන් අලොභ, අදොෂ යන හේතු දෙකද, ඉතිරි කුසල් සිත් සතළොස (17) නම් එහි අලොභ, අදොෂ, අමොහ යන හේතු තුනම ඇත්තාහ. සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හේතුප්‍රත්‍යයෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම් මේ කියනලද එක්විසි කුසල් සිත්හි ඇති හේතු ධර්‍මයෝ යි.

මේ හේතුප්‍රත්‍යය ශක්තියෙන් උපකාර ලබන කුසල ධර්‍මයෝ නම් එකී කුසල් සිත් එක්විස්ස සහ එහි සම්ප්‍රයුක්ත වූ අටතිස් කුසල චෛතසික ධර්‍මයෝයි. මේ ධර්‍මයෝ කුසල හේතු ධර්‍මයන්ගේ ප්‍රත්‍යොත්පන්නයෝ යි.

කාමාවචර කුසල ජවන් උපදනා චිත්තවීථියෙහි පිළිවෙලින් භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේද, මනොචාරාවජ්ජන යන සිත්වලට අනතුරුව කාමාවචර කුසල් සිත් අටෙන් එකක් ජවන් වශයෙන් සත්වරක් පිළිවෙලින් ඉපිද නිරුද්ධ වූ පසු විභූතාරම්මණ වීථියක් වීනම් තදාරම්මණ දෙසිතද, අවිභූතාරම්මණ වීථියක් වීනම් භවාඞ්ග සිත් ද ඉපිද නිරුද්ධ වෙත්. මෙහි කුසලකර්‍ම වශයෙන් ඇතිවන්නේ ජවන් සිත් සතෙහි ඇති චෙතනාවය. කුසල හේතූහු නම් ඒ ජවන් සිත්වල ඇති අලොභ, අදොෂ, අමොහ යන හේතූහුය. ඒ හේතූහු ඒ ජවන් සිත්වල පහළවන අන්‍ය වූ චෛතසික ධර්‍මයන්ට හා ඒ කුසල් සිත් වලටද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයට හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වීම” යයි කියනු ලැබේ. මහග්ගත ලෝකෝත්තර කුසල් සිත් පහළවීමේදී ද මේ පිළිවෙලමය. මෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ යයි දක්වන ලද්දේ ඒ කුසල් සිත පිළිබඳවූ වෙදනා, සංඥා, සඞ්ඛාර, විඥාන යන සතර නාමාස්කන්‍ධයන්ට ය.

මෙහිදී සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුසල හේතු තුනෙහි එක්වර ලැබෙන හේතු, අධිපති, සහජාත අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දශයෙන් හේතු ශක්තිය ලැබේ.

2. වීථිය

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතු පච්චයෙන පච්චයො

(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට හේතුප්‍රත්‍යය ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මේ වීථියෙහි අව්‍යාකෘත ධර්මයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වන කුසල ධර්මයෝ නම් එක්විසි කුසල් සිත් වලින් ද්විහේතුක සිත්හි ලැබෙන අලොභ, අදොෂ, දෙකද ත්‍රිහේතුක සිත්හි ලැබෙන අදොෂ, අමොහ යන හේතු තුනද වෙති. ප්‍රත්‍යොත්පන්න ධර්මයන් වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් ඒ ඒ කුසල චිත්තයන් විසින් උපදවන චිත්තජ රූපයෝයි. සම්ප්‍රයුක්ත ධර්මයන් සහිතවූ මේ කුසල් සිත් උපදනා කල්හි එහි උත්පාදක්‍ෂණයේදීම චිත්තජ රූපද උපදවනු ලැබේ. සිතට හා සම්ප්‍රයුක්ත ධර්මයන්ටද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වන හේතු ධර්මයෝ මේ චිත්තජ රූපයන්ටද හේතු ශක්තියෙන්ම ප්‍රත්‍යය වෙත්. මෙය කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට හේතු ශක්තියෙන් ප්‍රත්‍යයවීම යයි කියනු ලැබේ. මෙහිදී චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන කුසල හේතුන්හි සුදුසු පරිදි එක්වර ලැබෙන හේතු, අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, විප්‍රයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය අතුරෙන් හේතු ශක්තිය ලැබේ.

3. වීථිය

කුසලො ධම්මො කුසලස්සච අබ්‍යාකතස්සච ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො

(කුසල ධර්මය කුසල ධර්මයට හා අව්‍යාකෘත ධර්මයට ද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

කුසලාහෙතු සම්පයුත්තකානං ඛන්ධානං

චිත්තසමුට්ඨානානංච රූපානං හේතුපච්චයෙන පච්චයො

(කුසල හේතුහු සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වන කුසල ධර්‍මයෝ නම් පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුසල් සිත් අතුරෙන් ද්විහේතුක කුසල් සිත්හි ඇති අලොභ, අදොෂ දෙක හා ත්‍රිහේතුක සිත්හි අලොභ, අදොෂ අමොහ යන හේතු තුනද වෙත්. ඒ හේතු ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්නයෝ නම් කුසල් සිත් එක්විස්සය, (21) චෛතසික අටතිසය (38) යන සම්ප්‍රයුක්ත ස්කන්ධයන් හා චිත්තජ රූපයෝයි. මේ වීථියෙන් දක්වන ලද්දේ පඤ්චවොකාර භූමියෙහි කුසල ජවන් උපදනා චිත්ත වීථියෙහි ජවන් සිත්වල යෙදෙන කුසල හේතුහු ඒ චිත්තක්‍ෂණයෙහිම පහළවන සම්ප්‍රයුක්ත ධර්‍ම සමූහයට සහ චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ආකාරයයි. මෙහිදී සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යයවන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල හේතු තුනෙහි සුදුසු පරිදි එක්වර ලැබෙන හේතු, අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්තීන් අටදෙනා අතුරෙන් හේතු ශක්තිය ලැබේ.

  1. වීථිය

අකුසලො ධම්මො අකුසලස්සධම්මස්ස හේතුපච්චයෙන පච්චයො

(අකුසල ධර්‍මය අකුසල ධර්‍මයට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

අකුසලා හේතු සම්පයුත්තකානං ඛන්ධානං හේතුපච්චයෙන පච්චයො

(අකුසල හේතූහු සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙයින් සාවද්‍ය දුක්ඛ විපාක දෙන ලක්‍ෂණවූ අකුසල ධර්‍මය සාවද්‍ය දුක්ඛ විපාක දෙන ලක්‍ෂණවූ අකුසල ධර්‍මයට හේතු ශක්තියෙන් ප්‍රත්‍යවන සැටි දැක්වේ. මෙහි සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වන අකුසල ධර්‍මයෝ නම්:

  1. ලෝභමූල සිත් අටෙහි ඇති ලෝභ මෝහ යන හේතු දෙකය.
  2. ද්වේෂමූල සිත් දෙකෙහි ඇති ද්වේෂ, මෝහ යන හේතු දෙකය.
  3. මෝහමූල සිත් දෙකෙහි ඇති මෝහ හේතුවය.

මේ අකුසල හේතූන්ගේ ප්‍රත්‍යොත්පන්න භාවයට පැමිණෙන අකුසල ධර්‍මයෝ නම්:

  1. අකුසල් සිත් දොළොසය (12)
  2. මෝහමූලචයෙහි මෝහය හැර චෛතසික සත්වීස්සය (27)

ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණවාච, ඵරුසවාච, සම්ඵප්පලාප, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යනාදී වූ අකුසල කර්‍මයක් සිදුකරන කල්හි ඒ චිත්ත වීථියෙහි දොළොස් අකුසල් සිත් අතුරෙන් එක් අකුසල් සිතක් ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වූ පසු විභූතාරම්මණ වීථියක් වීනම් තදාරම්මණ සිත් දෙකක්ද අවිභූතාරම්මණ වීථියක් වීනම් භවාඞ්ග සිත් ද පිළිවෙළින් ඉපිද නිරුද්ධ වෙත්. මෙහි අකුසල හේතූන් වශයෙන් දක්වන ලද්දේ ඒ අකුසල ජවන් සිත්හි ඇති අකුසල හේතු ධර්‍මයෝයි. ඒ අකුසල හේතු ප්‍රත්‍යය ධර්‍මයන්ගේ ප්‍රත්‍යොත්පන්න භාවයට පැමිණෙන අකුසල ධර්‍මයෝ නම් ඒ අකුසල ජවන් සිත්හි ඇති සම්ප්‍රයුක්ත ධර්මයෝ ය. මෙය අකුසල ධර්මය අකුසල ධර්මයට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වීම යයි කියනු ලැබේ. මෙහිදී සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අකුසල හේතූන්හි එක්වර ලැබිය හැකි හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සත අතුරෙන් හේතු ශක්තිය ලැබේ.

5. වීථිය

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයෙන පච්චයො

(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

අකුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතු පච්චයෙන පච්චයො

(අකුසල හේතුහු චිත්තජරූපයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි අව්‍යාකෘත ධර්මයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වන අකුසල ධර්මයෝ නම් පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසල් සිත්හි ඇති ලොභ, දොෂ, මොහ යන අකුසල හේතුහුය. ප්‍රත්‍යොත්පන්න භාවයට පැමිණෙන අව්‍යාකෘත ධර්මයෝ නම් ඒ ඒ අකුසල ජවනයන් විසින් උපදවනු ලබන චිත්තජ රූපයෝ ය. මෙය අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට හේතුශක්තියෙන් ප්‍රත්‍යය වීමය. මෙහිදී දොළොස් අකුසල් සිත්හි ඇති ලොභ, දොෂ, මොහ යන හේතූන්හි එක්වර ලැබිය හැකි හේතු, සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් හේතු ශක්තිය ලැබේ.

6. වීථිය

අකුසලො ධම්මො අකුසලස්සච අබ්‍යාකතස්සච ධම්මස්ස හේතු පච්චයෙන පච්චයො

(අකුසලධර්මය, අකුසල ධර්මයට හා අව්‍යාකෘත ධර්මයට ද හේතුශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

අකුසලාහෙතු සම්පයුත්තකානං ඛන්ධානං චිත්ත- සමුට්ඨානානංච රූපානං හේතුපච්චයෙන පච්චයො

(අකුසලහේතූහු, සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ටද හේතුශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහිදී සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ටද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වන අකුසල ධර්‍මයෝ නම් පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසල චිත්තයන්හි ඇති ලොභාදී හේතූහුය. මේ අකුසල හේතු ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යොත්පන්න භාවයට පැමිණෙන ධර්‍මයෝ නම් ඒ අකුසල ජවන් සිත්හි ඇති සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සසම්ප්‍රයුක්ත වූ ඒ අකුසල ජවනයන් විසින් උපදවනු ලබන චිත්තජ රූපයෝය.

එනම්:

  1. අකුසල් සිත් දොළොසය.
  2. මොහමූල දෙසිතෙහි මොහය හැර චෛතසික සත්විස්සය.
  3. අකුසල චිත්තජ රූපයෝය.

මෙය අකුසල ධර්‍මය අකුසල ධර්‍මයට හා අව්‍යාකෘත ධර්‍මයටද හේතුශක්තියෙන් ප්‍රත්‍යයවීමය. මෙහි සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන අකුසල හේතූන්හි එක්වර ලැබිය හැකි හේතු, සහජාත, නිස්සය අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් හේතු ශක්තිය ලැබේ.

7. වීථිය

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හේතු පච්චයෙන පච්චයො

(අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා හේතු සම්පයුත්තකකානං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානංච රූපානං හේතුපච්චයෙන පච්චයො

(ප්‍රවෘත්ති කාලයෙහි අව්‍යාකෘත වූ විපාක ක්‍රියා හේතූහු සම්ප්‍රයුත්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි අව්‍යාකෘත ධර්මයන්ට හේතුශක්තියෙන් ප්‍රත්‍යය වන අව්‍යාකෘත ධර්මයෝ නම් ප්‍රවෘත්ති කාලයෙහි සම්ප්‍රයුක්ත ධර්මයන්ටද, සම්ප්‍රයුක්ත ධර්මයන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වන-

  1. සහේතුක විපාක සිත් එක් විස්සය (21)
  2. සහේතුක ක්‍රියා සිත් සතළොසය (17)
  3. චෛතසික අටතිසය (38)

යන මොවුන්ගේ ද්විහේතුක චිත්තයන්හි ලැබෙන අලොභ, අදෝෂ දෙකය. ත්‍රිහේතුක චිත්තයන්හි ලැබෙන අලොභ, අදෝෂ, අමොහ යන හේතු තුනය.

මේ අව්‍යාකෘත හේතුන්ගේ ප්‍රත්‍යොත්පන්න භාවයට පැමිණෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

  1. සහේතුක විපාක සිත් එක්විස්සය (21)
  2. සහේතුක ක්‍රියා සිත් සතළොසය (17)
  3. චෛතසික අටතිසය (38)

යන සම්ප්‍රයුක්ත නාමස්කන්ධයන් සහ චිත්තජ රූපයෝය.

මේ වීථියෙහි ප්‍රත්‍යය ධර්ම වශයෙන් දක්වනලද අව්‍යාකෘත ධර්මයෝ වනාහි විස්තර වශයෙන් මෙසේය:

  1. කාමාවචර මහා විපාක සිත් අටය (8)
  2. මහග්ගත විපාක සිත් නවය (9)
  3. ලොකොත්තර ඵල සිත් සතරය (4)

යන විපාක සිත් එක්විස්සය.

  1. කාමාවචර මහා ක්‍රියා සිත් අටය (8)
  2. මහග්ගත ක්‍රියා සිත් නවය (9) යන ක්‍රියා සිත් සතළොසය (17) යන මොවුන්ගේ ද්විහේතුක සිත්හි අලෝභ අදෝෂ හේතු දෙක සහ ත්‍රිහේතුක සිත්හි අලෝභ අදෝෂ අමෝහ හේතු තුනය මෙයින් ප්‍රවෘත්ති කාලයෙහි මහා විපාක සිත් උපදින්නේ භවාඞ්ග තදාරම්මණ සිත් වශයෙනි මරණාසන්න චිත්ත වීථියෙහි චුති සිත වශයෙන්ද මේ මහා විපාක සිත උපදී ක්‍රියා සිත් උපදින්නේ රහතන් වහන්සේගේ චිත්ත සන්තානයෙහිය. මහග්ගත විපාක සිත් ප්‍රවෘත්ති කාලයෙහි දී රූපාරූප භූමිවලදී භවාඞ්ග සිත් වශයෙන් හා චුති සිත වශයෙන්ද උපදී. ලෝකෝත්තර ඵල සිත් ඇතිවන්නේ මාර්ග සිත් වලට අනතුරුවය.

පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා හෙතු සම්ප්‍රයුත්තකානං ඛන්‍ධානං කටත්තාච රූපානං හෙතුපච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අව්‍යාකෘත වූ විපාක හේතූහු, සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ද හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අව්‍යාකෘත හේතුප්‍රත්‍යයන් වශයෙන් ලැබෙන ධර්මයෝ නම්:

  1. සහේතුක ප්‍රතිසන්‍ධි සිත් සතොළොසය (17)
  2. චෛතසික පන්තිසය (35)

යන මොවුන්ගේ ද්විහේතුක සිත්හි ලැබෙන අලෝභ, අදෝෂ, දෙකය, ත්‍රිහේතුක සිත්හි ලැබෙන අලෝභ, අදෝෂ, අමෝහ යන හේතු තුනය.

ප්‍රත්‍යොත්පන්න ධර්ම වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

  1. සහේතුක ප්‍රතිසන්‍ධි සිත් සතොළොසය (17)
  2. චෛතසික පන්තිසය (35)
  3. ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය.

ප්‍රතිසන්ධික්‍ෂණයේදී සසම්ප්‍රයුක්තවූ ප්‍රතිසන්ධි චිත්තයාගේ දුබලතාවය හා වස්තු දුබලතාවය නිසා චිත්තජරූප නූපදී එහි උත්පාදක්‍ෂණයේදී කර්මජ රූපයෝ පමණක් උපදී. කර්මජ රූපයන්ගේ චිත්තය හා සම්බන්ධය ඇත්තේ මේ ප්‍රතිසන්ධි අවස්ථාවෙහි පමණය. ප්‍රවෘත්ති කර්මජ රූපයෝ සිත් හා සම්බන්ධව නොපවතී.

ප්‍රවෘත්ති කාලයෙහි, සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටද, සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වන විපාක ක්‍රියා හේතූන්හි එක්වර සුදුසු පරිදි ලැබෙන හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස (12) අතුරෙන් හේතු ශක්තිය ලැබේ.

ප්‍රතිසන්ධික්‍ෂණයෙහි සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ටද ප්‍රත්‍යය වන සහේතුක ප්‍රතිසන්ධි සතොළොසෙහි (17) ඇති හේතු තුනෙහි සුදුසු පරිදි එක්වර ලැබෙන හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දශය අතුරෙන් හේතු ශක්තිය ලැබේ.

මෙය අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වීමය.

මෙසේ මේ හේතු ප්‍රත්‍යය පිළිබඳව-

  1. හේතු ප්‍රත්‍යය ධර්ම සයක්ද (6)
  2. විසර්ජනාචාර හෙවත් වීථි සතක්ද (7)
  3. එකට ගැටෙන ප්‍රත්‍යය දොළොසක්ද (12) වෙති.