සූවිසි ප්‍රත්‍යය ධර්ම
- හේතු පච්චයො - හේතු භාවයෙන් උපකාරක ධර්මය ය.
- ආරම්මණ පච්චයො - ආරම්මණ භාවයෙන් උපකාරක ධර්මය ය.
- අධිපති පච්චයො - අධිපති භාවයෙන් උපකාරක ධර්මය ය.
- අනන්තර පච්චයො - අනන්තර භාවයෙන් උපකාරක ධර්මය ය.
- සමනන්තර පච්චයො - සමනන්තර භාවයෙන් උපකාරක ධර්මය ය.
- සහජාත පච්චයො - සහජාත භාවයෙන් උපකාරක ධර්මය ය.
- අඤ්ඤමඤ්ඤ පච්චයො - අන්‍යොන්‍ය භාවයෙන් උපකාරක ධර්මය ය.
- නිස්සය පච්චයො - නිශ්‍රය භාවයෙන් උපකාරක ධර්මය ය.
- උපනිස්සය පච්චයො - බලවත් හේතු භාවයෙන් උපකාරක ධර්මය ය.
- පුරෙජාත පච්චයො - පූර්වයෙහි ඉපිද පැවතීම් වශයෙන් උපකාරක ධර්මය ය.
- පච්ඡාජාත පච්චයො - පසුව ඉපිද පූර්වයෙහි උපන් ධර්මයන්ට උපකාරක ධර්මය ය.
- ආසෙවන පච්චයො - තමාගේ ස්වභාවය ප්රදානය කිරීම් වශයෙන් උපකාරක ධර්මය ය.
- කම්ම පච්චයො - චිත්තප්‍රයෝග සඞ්ඛ්‍යාත ක්‍රියා භාවයෙන් උපකාරක ධර්මය ය.
- විපාක පච්චයො - නිරුත්සාහ ශාන්තභාව සඞ්ඛ්‍යාත විපාක ස්වභාවයෙන් උපකාරක ධර්මය ය.
- ආහාර පච්චයො - උපස්ථම්භක භාවයෙන් උපකාරක ධර්මය ය.
- ඉන්ද්රිය පච්චයො - ඊශ්වර භාවයෙන් උපකාරක ධර්මය ය.
- ඣාන පච්චයො - එළඹ බැලීම් වශයෙන් උපකාරක ධර්මය ය.
- මග්ග පච්චයො - එතර කරවීම් වශයෙන් උපකාරක ධර්මය ය.
- සම්පයුත්ත පච්චයො - සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාරක ධර්මය ය.
- විප්පයුත්ත පච්චයො - විප්‍රයුක්ත භාවයෙන් උපකාරක ධර්මය ය.
- අත්ථි පච්චයො - විද්‍යමාන භාවයෙන් උපකාරක ධර්මය ය.
- නත්ථි පච්චයො - අවිද්‍යමාන භාවයෙන් උපකාරක ධර්මය ය.
- විගත පච්චයො - පහවීම් වශයෙන් උපකාරක ධර්මය ය.
- අවිගත පච්චයො - නොපහවීම් වශයෙන් උපකාරක ධර්මය ය.
ප්‍රත්‍යය ය - නූපන් චිත්ත, චෛතසික, රූප ධර්මයන්ගේ ඉපදීමටත් පරම්පරා වශයෙන් පැවතීමටත්, පරම්පරා වශයෙන් වැඩිවීමටත් උපකාරක වන ධර්මයන්ට ප්‍රත්‍යය ධර්ම යයි කියනු ලැබේ. ප්‍රත්‍යය නොවන්නා වූ ධර්මයක් නැත. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, ප්රඥප්ති යන පඤ්චවිධ වූ සියලුම ධර්මයෝ ප්‍රත්‍යයෝ වෙත්.
ප්රත්යොත්පන්නය - ප්‍රත්‍යය කරණකොටගෙන හටගන්නා වූ ද, පවත්නා වූ ද ධර්මයන්ට ප්රත්යොත්පන්න ධර්මයෝ යයි කියති. එනම්:- චිත්ත, චෛතසික, රූප යන ත්‍රිවිධ වූ ධර්මයෝ යි.
නිර්වාණ, ප්රඥප්ති දෙක හටගැනීමක් නැති ධර්ම බැවින් ප්රත්යොත්පන්න ධර්ම නොවෙත්. හටගැනීමක් ඇත්තා වූ චිත්ත, චෛතසික, රූප ධර්මයෝ ප්‍රත්‍යයෝ ද වෙත්. ප්රත්යොත්පන්නයෝ ද වෙති.
ප්රත්යොත්පන්න හෙවත් ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්මයන්ගේ ඇතිවීමට ප්‍රත්‍ය ධර්ම බොහෝ ගණනකගේ උපකාරය ලැබිය යුතුය. එක් ප්රත්යයකින් පමණක් හට ගන්නා ධර්මයෙක් නැත. එක් ප්රත්යොත්පන්න ධර්මයක් ඇතිවීමට එක් ප්‍රත්‍යයක් එක් ආකාරයකින් හෝ ආකාර කිපයකින් උපකාරක විය හැකිය. එසේ ප්‍රත්‍යය ධර්මයන්ගේ උපකාර වන ආකාරයන්ට ප්‍රත්‍යය ශක්තීන් යයි කියනු ලැබේ. එකම ධර්මය එක් ධර්මයකට එක් ආකාරයකින් ද, අන්‍ය ධර්මයන්ට අන්‍ය ආකාරවලින් ද උපකාරකවන්නේය. ලොභාදී වූ එකම ධර්මයක් අන්‍ය ධර්මයකට මූල භාවයෙන් හෝ ආරම්මණ භාවයෙන් හෝ අධිපති භාවයෙන් හෝ අන්‍යොන්‍ය භාවයෙන් හෝ නිශ්‍රය උපනිශ්‍රය ආදි භාවයෙන් හෝ උපකාර විය හැකි ය. වෙන් වෙන්වූ උපකාරක ශක්තීන් කරණකොටගෙන ඒ එකම ධර්මය නොයෙක් ප්‍රත්‍ය ධර්ම වශයෙන් සළකනු ලැබේ.
මෙසේ යමකිසි ආකාරයකින් හෙවත් ශක්ති විශේෂය කින් අන්‍ය ධර්මයකට උපකාරවන ධර්මයට ප්‍රත්‍යය ධර්ම යයි ද, ප්‍රත්‍යය ධර්මයක් නිසා ඇතිවූ පවත්නාවූ ධර්මයට ප්රත්යොත්පන්න ධර්ම යයි ද කියනු ලැබේ. යම් ප්‍රත්‍යය ධර්මයක් ප්රත්යොත්පන්න භාවයට නොපැමිණෙන ධර්මයක් වේ නම් එයට ප්‍රත්‍යනීක ධර්ම යයි කියනු ලැබේ. ත්‍රී රාශිය යයි කියනු ලබන්නේ මේ ප්‍රත්‍යය, ප්රත්යොත්පන්න, ප්‍රත්‍යනීක යන ත්‍රිවිධ ධර්මයන්ට ය.