අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පට්ඨාන නය

හෙතු ඵල ධර්‍මය වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් පඤ්චූපාදානස්කන්‍ධ සඞ්ඛ්‍යාත වූ දුක්ඛස්කන්ධයාගේ හෙවත් දුක්ඛාර්‍ය්‍යසත්‍යයාගේ ප්‍රත්‍යය හෙවත් හේතුව වශයෙන් කාමතෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණා සඞ්ඛ්‍යාත වූ ත්‍රිවිධ තෘෂ්ණාව නම් වූ සමුදයාර්‍ය්‍යසත්‍යය වදාළ සේක. මේ සමුදය සත්‍යයාගේ පහකිරීමෙන් පැමිණිය යුතු වූ ව්‍යපසම සුඛ සඞ්ඛ්‍යාත වූ නිර්‍වාණය හෙවත් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර ගැනීමට එකායන මාර්‍ගය වූ අඞ්ග අටෙකින් යුත් දුක්ඛනිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වදාළ සේක.

මධ්‍යම ප්‍රමාණයෙන් හේතුඵල ධර්‍මයන් වදාරන්නා වූ තථාගතයන් වහන්සේ “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදී වශයෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් ත්‍රිවිධ සංස්කාරයන් ඇතිවන බවත් සංස්කාරයන් ප්‍රත්‍යය කොටගෙන ප්‍රතිසන්‍ධි විඥානාදිය පහළවන බවත් මේ ආදී පිළිවෙලින් නොයෙක් හේතුන් අතුරෙන් ප්‍රධාන වූ එක් හේතුවක් හා නොයෙක් ඵලයන් අතුරෙන් එක් ප්‍රධාන ඵලයක් ද ගෙන අඞ්ග දොළොසකින් යුක්තකොට පටිච්චසමුප්පාද ධර්‍මය වදාළ සේක.

විස්තර වශයෙන් හේතු ඵල ධර්‍මය දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ “හෙතු පච්චයො, අරම්මණ පච්චයො” යනාදී වශයෙන් සූවිසි ප්‍රත්‍යයයන් දක්වමින් ඒ ඒ ධර්‍මයන්ගේ ඇතිවීමටත්, පැවතීමටත් උපකාර වන විශේෂ ප්‍රත්‍යය ධර්‍මයන් සර්‍වඥතාඥානයෙන් දැන අති ගම්භීර වූ මේ පට්ඨානනය දේශනාව වදාළ සේක.

මෙහි පට්ඨාන යන්නෙන් නානාප්‍රකාර වූ ප්‍රත්‍යයන් ඇති බවය යන අර්‍ත්‍ථය ද, කුසලාදී ධර්‍මයන් හේතුප්‍රත්‍යාදී වශයෙන් බෙදා දක්වන ලදය යන අර්‍ත්‍ථය ද, සර්‍වඥතාඥානයට කැමැතිසේ ගමන් කළහැකි ධර්‍මයය යන අර්‍ත්‍ථය ද ප්‍රධාන වූ ධර්‍මය යන අර්‍ත්‍ථය ද දැක්වේ.

බුද්ධත්‍වයට පැමිණි සිව්වැනි සතියෙහි රුවන් ගෙයි වැඩහිඳ ත්‍රිපිටක ධර්‍මය මෙනෙහි කරන්නා වූ සර්‍වඥයන් වහන්සේ මේ පට්ඨාන ප්‍රකරණයෙහි අන්තර්ගත වූ සූවිසි ප්‍රත්‍යයයන් පිළිබඳ වූ නානා නය මෙනෙහි කරන කල්හි බුදු සිරුරෙහි පැතිර ගිය ප්‍රණීත රූප ධර්‍මයන් කරණකොටගෙන සවණක් ඝණ බුදුරැස් දසදිග්හි විහිදෙන්නට වූ බව දක්වා තිබේ. මේ අති ගම්භීර ධර්‍මයට අනන්ත නය සම්මන්නාගත සමන්ත පට්ඨානය යයි ද ව්‍යවහාර කරනු ලැබේ.