ත්‍රිවිධ වට්ට
- කම්ම වට්ට
- කිලෙස වට්ට
- විපාක වට්ට ය යි මේ භව චක්‍රයෙහි වෘත්ත තුනෙකි. එයින්:
- කර්ම වෘත්තය නම් සංස්කාර, භව යන දෙදෙනාය,
- ක්ලේශ වෘත්තය නම් අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන යන තිදෙනාය,
- විපාක වෘත්තය නම් විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වෙදනා යන පස්දෙනාය.
මෙසේ ත්රිවෘත්තයක් ඇති භව චක්‍රය තෙමේ යම්තාක් කලෙකින් කෙලෙස්වට නොසිඳේද, ඒ කෙලෙස්වට නොසිඳ පවත්නාතාක් කල්, නොසිඳ පියනලද ප්‍රත්‍යය ඇති බැවින්, පිරිසිඳීමක් නැතිව, නැවැත්මෙක් නැතිව, නැවත නැවත පරිවර්තනය වන හෙයින් භ්‍රමණය වේමැයි දතයුතු.
මෙපරිද්දෙන් භ්‍රමණය වන්නාවූ ඒ භව චක්රයතෙමේ:
- සත්‍ය වශයෙන්ද, සත්‍යයන්ගේ හෝ ප්‍රභව වශයෙන්ද,
- කෘත්‍ය වශයෙන්ද,
- මිථ්යාදර්ශන නිවාරණ වශයෙන්ද,
- උපමා වශයෙන්ද,
- ගම්භීර වශයෙන්ද,
- නය ප්‍රභේද වශයෙන්ද දතයුත්තේය.
1. අවිජ්ජා පච්චයා සඞ්ඛාරා යන තන්හි අවිද්‍යාවත්, අවිද්‍යාව ප්‍රත්‍යය කොට ගෙන වූ සංස්කාරයෝද ද්විතීය සමුදය ප්‍රභවකොට ඇති සමුදය සත්‍යය වේ.
සංස්කාරයන් ප්‍රත්‍යය කොටගෙන වූ ලෞකික විපාක විඥානය තෙමේ, ද්විතීයවූ සමුදය සත්‍යය ප්‍රභව කොට ඇති දුක්ඛ සත්‍යය වේ.
විඥානාදීන් ප්‍රත්‍යය කොට ගෙන වූ නාමරූප, සළායතන, ඵස්ස, වෙදනා යන අවයවයෝ ප්‍රථම වූ දුක්ඛ සත්‍යය ප්‍රභවකොට ඇති දුක්ඛ සත්‍යය වේ.
විපාක වෙදනාව ප්‍රත්‍යය කොටගෙන වූ තෘෂ්ණා තොමෝ ප්‍රථම වූ දුක්ඛ සත්‍යය ප්‍රභවකොට ඇති සමුදය සත්‍යය වේ.
තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ගෙන වූ උපාදානය තෙම ද්විතීය වූ සමුදය සත්‍යය ප්‍රභව කොට ඇති සමුදය සත්‍යය වේ.
උපාදානය ප්‍රත්‍යයකොට ගෙන වූ භවය තෙම ද්විතීය වූ සමුදය සත්‍යය ප්‍රභව කොට ඇති දුක්ඛ සමුදය සත්‍යය වේ.
භවය ප්‍රත්‍යය කොට ගෙන වූ ජාති තොමෝ ද්විතීය වූ සමුදය සත්‍යය ප්‍රභවකොට ඇති දුක්ඛ සත්‍යය වේ.
ජාතිය ප්‍රත්‍යයකොට ගෙන වූ ජරා මරණය තෙමේ, ප්‍රථම වූ දුක්ඛ සත්‍යය ප්‍රභවකොට ඇති දුක්ඛ සත්‍යය වේ.
කෘත්‍යය වශයෙන් වනාහි
අවිද්‍යාව - ආලම්බනයන්හිත්, නොහොත් චක්ෂුරාදී වූ වස්තු රූපයන්හිත් නොහොත්, දුක්ඛාදී වූ වස්තුන්හිත් සත්ත්වයන් වැඩියක් මුළා කෙරෙයි, නොහොත් මුළා කරවයි. සංස්කාරයන්ගේ පහළවීම පිණිස ප්රත්යයත් වේ.
සංස්කාරයෝ - සඞ්ඛත ධර්මයන් මොනවට පිළියෙළ කෙරෙත්. විපාකාදි විඥානයට ප්‍රත්‍යයයෝ ද වෙත්.
විඥානය - ආලම්බනයන් විජානනය කෙරෙයි. නාම රූපයනට ප්‍රත්‍යය ද වේ.
නාම රූපය - ඔවුනොවුනුත් අනුබල දෙයි. සළායතනයට ප්‍රත්‍යය ද වේ.
සළායතනය - තමතමන් විෂය වූ රූපාලම්බනයෙහිත් පවතී, ස්පර්ශයට ප්රත්යයත් වේ.
ඵස්සය - ආලම්බනයන් ස්පර්ශ කෙරෙයි, වෙදනාවට ප්රත්යයත් වේ.
වෙදනාව - ආලම්බන රසයත් ආස්වාදය කරයි හෙවත් විඳී, තෘෂ්ණාවට ප්රත්යයත් වේ.
තෘෂ්ණාව - රජ්ජනය කටහැකිවූ ආලම්බනයෙහිත් රජ්ජනය කරයි, උපාදානයට ප්රත්යයත් වෙයි.
උපාදානය - උපාදානයන්ට ගොචර වූ ධර්මයනුත් දැඩි කොට ගනී, භවයට ප්රත්යයත් වෙයි.
භවය - නොයෙක් ප්රභෙදවත් වූ පඤ්චප්‍රකාර ගතීන්හිත් විසුරුවා දමයි, ජාතියට ප්රත්යයත් වෙයි.
ජාතිය - ස්කන්ධයනුත් උපදවයි. ඒ ස්කන්ධයන්ගේ අලුත හට ගැනුම්හුගේ වශයෙන් පැවැත්ම කෙරෙයි, ජරා මරණයට ප්රත්යයත් වේ.
ජරා මරණය - ස්කන්ධයන්ගේ දිරීම් බිඳීම් බවත් නිසා පවතී. භවාන්තරයෙහි පහළවීම්හුගේ නොහොත් අභිනව ප්රතිසන්ධි ග්‍රහණය සඳහා ප්රත්යයත් වේ, සොකාදීන්ටද කරුණු වෙත්.
මිථ්යාදර්ශන නිවාරණ - වශයෙන් වනාහි
අවිජ්ජා පච්චයා සංඛාර යන පදය ඊශ්වරාදී කාරක යෙක් ඇතැයි යන මිථ්‍යා දර්ශනය වළක්වයි.
සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං යන පදය ආත්මයාගේ භවාන්තරයට සඞ්ක්‍රමණය ඇතැයි යන මිථ්‍යා දර්ශනය වළක්වයි.
විඤ්ඤාණ පච්චයා නාමරූපං යන පදය ආත්මයයි කල්පනාකොට ගන්නා ලද පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත වස්තූන් ගේ වෙනස දක්වන හෙයින් එක් සත්ත්වයෙකැයි ගන්නා ඝණ බහළ සංඥාව දුරුකරයි.
නාමරූප පච්චයා සළායතනං යන පදය ආත්මය තෙම අරමුණු දකී, අසයි යනාදි වූ මිථ්‍යා සංඥාය දුරුකරයි.
සළායතන පච්චයා ඵස්සො යන පදය ආත්ම තෙම අරමුණු ස්පර්ශ කරයි යන මිථ්‍යා සංඥාව දුරුකරයි.
ඵස්ස පච්චයා වෙදනා යන පදය ආත්මය තෙම අරමුණු රස විඳියි යන මිථ්‍යා සංඥාව දුරුකරයි.
වෙදනා පච්චයා තණ්හා යන පදය ආත්මය තෙම අරමුණට ආලය කෙරෙයි යන මිථ්‍යා සංඥාව දුරුකරයි.
තණ්හා පච්චයා උපාදානං යන පදය ආත්මය අරමුණ දැඩිකොට ගනී යන මිථ්‍යා සංඥාව දුරුකරයි.
උපාදාන පච්චයා භවො යන පදය ආත්මය කර්මභව උප්පත්ති භව වේයයි යන මිථ්‍යා සංඥාව දුරුකරයි.
භව පච්චයා ජාති යන පදය ආත්මය ප්රතිසන්ධි වශයෙන් උපදී යන මිථ්‍යා දර්ශනය වළක්වයි.
ජාති පච්චයා ජරා මරණං යන පදය ආත්මය දිරයි, බිඳෙයි යන ආදි මිථ්‍යා දර්ශනයන් දුරුකරයි.
උපමා - වශයෙන් වනාහි,
අවිද්‍යාව - කර්කශ ස්පර්ශනාදීවූ තම තමන් සතු විශේෂ ලක්ෂණ හා අනිත්යාදීවූ සාධාරණ ලක්ෂණයන්ගේ වශයෙන් ස්වභාව ධර්මයන් නොදක්නා හෙයින් අවිද්‍යා තොමෝ දෑස් නැති අන්ධයක්හුමෙන් දතයුතු.
සංස්කාරයෝ - අවිද්‍යා ප්‍රත්‍යයයෙන් පවත්නාවූ සංස්කාරයෝ දෑස් නැති අන්ධයාගේ පා පැකිලීමක් මෙන් දතයුතු.
විඤ්ඤාණය - සංස්කාර ප්‍රත්‍යයයෙන් පවත්නාවූ විඥානය තෙමේ පා පැකිල ගිය අන්ධයාගේ හීමක් මෙන් දතයුතු.
නාමරූපය - විඥාන ප්‍රත්‍යයයෙන් පවත්නාවූ නාම රූපය පා පැකිලහුණුවාවූ අන්ධයාගේ ගඩ හටගැන්මක් මෙන් දතයුතු.
සළායතනය - නාමරූප ප්‍රත්‍යයයෙන් පවත්නාවූ ෂඩායතනය ගඬ ගැහෙනු සඳහා අටගත් පොළක් මෙන් හෝ ගණ්ඩයාගේ අනෙක් පරිද්දෙකින් භේදයෙහි ලා මතුවූ බිබිලි මෙන් දතයුතු.
ඵස්සය - සළායතන ප්‍රත්‍යයයෙන් පවත්නාවූ ස්පර්ශය ගඬ මත්තෙහි නැගි පොළ ගැහැගීමක් මෙන් හෝ ගණ්ඩයාගේ අනෙක් පරිද්දෙකින් භේදයෙහි මතුවූ බිබිලි පෑරීමක් මෙන් දතයුතු.
වේදනාව - ස්පර්ශයෙන් පවත්නාවූ වේදනාව ගැටුමෙන් හෝ පෑරීමෙන් හටගත් දුක මෙන් දතයුතු.
තණ්හාව - වේදනා ප්‍රත්‍යයයෙන් පවත්නාවූ තෘෂ්ණා තොමෝ ගඬ පෑරීමෙන් හටගත් දුකට පිළියම් කරනු කැමැත්තක් මෙන් දතයුත්තීය.
උපාදානය - තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් පවත්නා වූ උපාදානය තෙම පිළියම් කරනු කැමැත්තෙන් අසත්ප්‍රාය දැය ගැනීමක් මෙන් දතයුතු.
භවය - උපාදාන ප්‍රත්‍යයයෙන් පවත්නා වූ භවය තෙම වැරදි දැඩි කොටගත් නොසැපවූ ඖෂධ ආලෙප කිරීමක් මෙන් දතයුතු.
ජාති - භව ප්‍රත්‍යයයෙන් පවත්නාවූ ජාති තොමෝ අසත්ප්‍රාය බෙහෙත් ආලෙප කිරීමෙන් ගඬයාගේ ඉදිමීම් ලේ මිශ්‍ර සැරව දැඩිබැව් ආදී විකෘතින් පහළවීමක් මෙන් දතයුතු.
ජරා මරණය - ජාති ප්‍රත්‍යයයෙන් පවත්නාවූ ජරාමරණය ඉදිමුම්, ලේ සැරව දැඩි බැව් ආදී විකෘති හේතුවෙන් ගණ්ඩයාගේ බිඳීමක් මෙන් දතයුතු.
තවද,
අවිද්‍යාව - පටලයක් මෙන් දතයුතු, සුදු නිල් ආදී කාව පටලයෙන් මඩනාලද ඇස් ඇති පුද්ගල තෙමේ රූපයන් නොදකී. ඉදින් දක්නේ වී නමුත් ඇති සැටි නොව වරදවා දකී. එපරිද්දෙන් අවිද්‍යාවෙන් මඩනාලද අන්ධ පෘථග්ජන තෙම දුක්ඛාදී සත්‍යයන් නොදකී. දක්නට නොපිළිපදියි. වරදවා හෝ පිළිපදියි. එහෙයින් අවිද්‍යා තොමෝ පටලයක් මෙනැයි දැක්වන ලදී.
සංස්කාරයෝ - කෝශ ප්‍රදේශයන් මෙන් දතයුතු කීටයා විසින් කෘමි කෝශය කරනලද මෙන් අවිද්‍යාවගේම පරිභ්‍රමණයට කරුණු වන බැවින්ද, සංස්කාරයෝ කෝශ ප්‍රදේශයන් මෙනැයි දැක්වන ලදී.
විඤ්ඤාණය - පරිණායක මහ ඇමතියක්හු විසින් ආරක්ෂා කරනලද රාජ කුමාරයෙක් තෙම, රජ සැපත්හි පිහිට ලබන්නාක් මෙන් සංස්කාරයන් විසින් උපස්ථම්භනය කරන ලද විඥානය තෙම කර්ම, කර්ම නිමිති, ගති නිමිති සඞ්ඛ්යාතවූ ප්රතිසන්ධි විඥානයාගේ ආලම්බනය අරමුණු කරන හෙයින් පඤ්චවිධ ගතීන්හි පිහිට ලබයි.
නාමරූපය - මායාකරු තෙමේ හෙවත් ඉන්ද්‍රජාලික තෙමේ, මායාවෙන් නොයෙක් දැය මවා අරගන්නාක් මෙන් විඥානය තෙමේ ප්රතිසන්ධික්ෂණයෙහි අනෙක ප්‍රකාරවූ නාම රූපය සහජාතාදි ප්‍රත්‍යය වශයෙන් උපදවයි.
සළායතන - මනා බිම් පියෙස්හි පිහිටියාවූ වන ලැහැබ වෘද්ධියට, සාතිශය රෝහණයට, විපුලත්වයට පැමිණෙන්නාක් මෙන් නාම රූපයෙහි පිහිටියාවූ සළායතනය තෙමේ වෘද්ධියට සාතිශය රෝහණයට විපුලත්වයට පැමිණේ.
ඵස්සය - ගිනිගානා උඩ යට දඬු දෙක එකට ගැටීම් හේතුවෙන් ගින්න උපදනාක් මෙන් අධ්‍යාත්ම බාහිර ආයතනයන්ගේ ඔවුනොවුන් හමුවන බවයයි කියන ලද ගැටීම් හේතුවෙන් ස්පර්ශය උපදී.
වේදනාව - ගින්නෙන් පහර ලත් පුද්ගලයා හට දැවිල්ල හටගන්නාක් මෙන් ස්පර්ශයෙන් පහළාවූ පුද්ගලයා හට වේදනාවෝ හටගනිත්.
තණ්හාව - ලුණු දිය බොන්නාවූ පුද්ගලයාහට පිපාසය වැඩෙන්නාක් මෙන් අරමුණු රස විඳින්නාහට තෘෂ්ණාව වැඩෙයි.
උපාදානය - පිපාසයෙන් පීඩිත පුද්ගල තෙමේ පැන්පානය කිරීමට ආසා කරන්නාක් මෙන් ආලම්බන තෘෂ්ණා නම් වූ පිපාසයෙන් පීඩිතවූ පුද්ගල තෙමේ භවයන්හි ආශාව කෙරෙයි. ඒ භවයන්හි අභිලාෂය කිරීම නොහොත් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනය ඒ පුද්ගලයාගේ උපාදානය වේ.
භවය - ඇම ගසාකන ලොබින් මත්ස්‍ය තෙම බිලිය දැඩිකොට ගන්නාක් මෙන් හෙවත් බිලිය ගිලින්නාක් මෙන් උපාදානය හේතුකොට ගෙන භවය දැඩිකොට ගනී.
ජාතිය - බීජය ඇති කල්හි අඞ්කුරය වන්නාක් මෙන් භවය ඇති කල්හි ජාතිය වේ.
ජරා මරණය - උපන්නාවූ වෘක්ෂයාගේ පතනය මෙන් උපන් සත්ත්වයාගේ නොහොත් පහළ වූ පඤ්චස්කන්ධයාගේ නියතයෙන් ජරා මරණය වේ.
ගම්භීර - වශයෙන් වනාහි
- අර්ථ ගම්භීරය
- ධර්ම ගම්භීරය
- දේශනා ගම්භීරය
- ප්‍රතිවේධ ගම්භීරය
වශයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය සතරාකාරයකින් ගම්භීරය.
එයින්:-
- අර්ථ ගම්භීරය - යම් හෙයකින් ජාති ප්‍රත්‍යය ශක්තියෙන් ජරා මරණය තෙම නොවන්නේ නොවේද, වන්නේම වේද, ජාති ප්‍රත්‍යය හැර අන්‍ය ශක්තියකින් නොමවේද, මේ අර්ත්ථය අවබෝධයට දුෂ්කර වන හෙයින් නොහොත් දුකසේ අවබෝධ කළයුතු හෙයින් අර්ත්ථ ගම්භීරය. මෙසේම ජාතියගේ භව ප්‍රත්‍යය හේතුකොට ගෙනම වීමය, භවයාගේ උපාදාන ප්‍රත්‍යය හේතුකොටගෙන වීමය, උපාදානයාගේ තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ගෙන වීමය, තෘෂ්ණාවගේ වේදනාව හේතුකොට ගෙන වීමය, වේදනාවගේ ස්පර්ශය හේතුකොටගෙන වීමය, ස්පර්ශයාගේ සළායතනය හේතුකොටගෙන වීමය, සළායතනයාගේ නාමරූප හේතුකොටගෙන වීමය, නාමරූපයාගේ විඥානය හේතුකොටගෙන වීමය, විඥානයාගේ සඞ්ඛාරයන් හේතුකොටගෙන වීමය, සඞ්ඛාරයන්ගේ අවිද්‍යාව හේතුකොටගෙන වීමය යන මේ අර්ත්ථයෝද ගම්භීරය. එහෙයින් මේ භව චක්‍රය තෙම අර්ත්ථ වශයෙන් හෙවත් ඵල වශයෙන් ගැඹුරු වන්නේය; නොහොත් ගැඹුරුවූ අර්ත්ථ හෝ ගැඹුරුවූ ඵල ඇත්තේය. හේතුහුගේ ඵලයෙහි පැවති නුවණ අර්ත්ථ පටිසම්භිදා නමි.
- ධර්ම ගම්භීරය - යම් හෙයකින්, යම් ආකාරයකින්, යම් යම් අවස්ථාවන්වූද නොහොත් යම් යම් අවස්ථා වශයෙනුදු අවිද්‍යා තොමෝ ඒ ඒ සංස්කාරයනට ප්‍රත්‍යය වේද, ඒ ආකාරය නොහොත් ඒ අවස්ථා විශේෂ අවබෝධයට දුෂ්කර වන හෙයින් නොහොත් දුකසේ අවබෝධ කළයුතු හෙයින් අවිද්‍යාවගේ සංස්කාරයනට ප්‍රත්‍යවීම් සඞ්ඛ්‍යාත අර්ත්ථය ගැඹුරු වේමය. ඒ හා සමානවම සංස්කාරයන්ගේ විඥානයට ප්‍රත්‍යය වීමද, විඥානයාගේ නාම රූපයට ප්‍රත්‍යය වීමද, නාමරූපයාගේ සළායතනයට ප්‍රත්‍යය වීමද, සළායතනයාගේ ඵස්සයට ප්‍රත්‍යය වීමද, ඵස්සයාගේ වේදනාවට ප්‍රත්‍යය වීමද, වේදනාවගේ තණ්හාවට ප්‍රත්‍යය වීමද, තණ්හාවගේ උපාදානයට ප්‍රත්‍යය වීමද, උපාදානයාගේ භවයට ප්‍රත්‍යය වීමද, භවයාගේ ජාතියට ප්‍රත්‍යය වීමද, ජාතියගේ ජරා මරණයට ප්‍රත්‍යය වීම් සඞ්ඛ්‍යාත අර්ත්ථයද ගැඹුරු වේමය. එහෙයින්ම මේ භව චක්‍රය තෙම ධර්ම වශයෙන් හෝ හේතු වශයෙන් ගැඹුරු වන්නේය, නොහොත් ගැඹුරු වූ ධර්ම හෝ ගැඹුරුවූ හේතු ඇත්තේය. හේතුවෙහි පැවති ඥානය ධර්ම ප්‍රතිසම්භිදා නම් වේ.
- දේශනා ගම්භීරය - යම් හෙයකින් ඒ භව චක්‍රය තමා වෛනෙය ජනයාගේ චතුස්සත්යාවබෝධයට අනුරූප වූ ඒ ඒ කරුණෙන් අනුලෝම ප්රතිලෝමාදි වූ ඒ ඒ ප්‍රකාරයෙන් පැවැත්විය යුතු වන හෙයින් හෙවත් වදාළ යුතු වන හෙයින් දේශනා තොමෝද ගැඹුරු වන්නීය. ඒ දේශනා ප්‍රකාරයෙහි සර්වඥතාඥානය කෙරෙන් අන්‍යවූ ඥානයකින් පිහිට නොලැබේමය. එහෙයින්ම පෙළෙහි කිසි තැනෙක්හි අනුලෝම වශයෙන්ද, කිසි තැනෙක්හි ප්‍රතිලෝම වශයෙන්ද, කිසි තැනෙක අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද; කිසි තැනෙක මැදින් පටන් ගෙන අනුලෝම වශයෙන්ද, ප්‍රතිලෝම වශයෙන්ද, කිසිතැනෙක ත්රිසන්ධි, චතු සංක්ෂෙප වශයෙන්ද, කිසි තැනෙක විසන්ධි ත්‍රි සංක්ෂෙප කොටද, කිසි තැනෙක එක සන්ධි ද්වි සංක්ෂෙප කොටද වදාළ සේක. එහෙයින් මේ භව චක්‍රය තෙම දේශනා වශයෙන් ගැඹුරු වේ, නොහොත් ගැඹුරු වූ දේශනා ඇත්තේ වේ.
- ප්‍රතිවේධ ගම්භීරය - අවිද්‍යාදීන්ගේ යම් අඥාන අදර්ශනාදී ස්වභාවය යම් ප්රතිවේධඥානයකින් පිළිවිද දතයුතු වේද, ඒ අවිද්‍යාදී වූ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වලක්ෂණ වශයෙන් ප්‍රතිවේධය කරන ලද්දාහු වෙද්ද, ඒ අවිද්‍යාදීන්ගේ ප්‍රතිවේධය නුබුදු වූවන්ගේ නුවණින් බැසගැනීමට නොහැකි වන බැවින් ගැඹුරු වේද, එහෙයින් මේ භව චක්‍රය ප්රතිවේධඥාන වශයෙන් නොහොත් පිළිවිද දතයුතු වූ ස්වභාව වශයෙන් ගැඹුරු වේ.
- අවිද්‍යාවගේ අඤ්ඤාණ හෙවත් ඤාණයට ප්රතිපක්ෂ භාවය යයි කියනලද අනුවණ බවය, අදස්සන හෙවත් ප්රත්යක්ෂ කිරීම් වශයෙන් අරමුණු දක්නා නුවණට
- ප්රතිපක්ෂ භාවය යයි කියනලද නොදක්නා බවය, සච්චසංපටිවෙධය හෙවත් චතුස්සත්යයයන් මොනවට පිළිවිද දැනීමට නොදී වසා සිටිනා බවය යන ත්‍රිවිධ වූ අර්ථය ගැඹුරු වේ.
- සංඛාරයන්ගේ අභිසංස්කරණය හෙවත් දාන සීලාදී වශයෙන් කර්මයන් සකස්කොට පිළියෙළ කරන බවය. ආයූහන හෙවත් දාන වස්තු සම්පාදනාදි වශයෙන් පූර්ව පූර්ව භාගයෙහි කර්මයන් රැස්කරන බවය, සරාග හෙවත් රාගය හා සම්ප්‍රයෝග වශයෙන් වන බවය, නොහොත් රාගයාගේ හෝ අකුසලයන්ට ප්රතිපක්ෂ නොවන බවය, විරාග හෙවත් රාගය හා සම්ප්‍රයෝග වශයෙන් නොවන බවය, නොහොත් රාගයාගේ හෝ කුසලයන්ට ප්රතිපක්ෂ වන බවය යන චතුර්විධ වූ අර්ථය ගැඹුරු ය.
- විඤ්ඤාණයාගේ සුඤ්ඤත හෙවත් ආත්මයෙන් සූන්‍යය වන බවය, අව්‍යාපාර හෙවත් ව්‍යාපාර රහිත වන බවය, අසඞ්කන්ති හෙවත් භවයෙන් භවයට සක්මන් නොකරන බවය, පටිසන්ධි හේතු භාවය හෙවත් ප්රතිසන්ධි වශයෙන් පහළවන බවය යන චතුර්විධ වූ අර්ථය ගැඹුරු ය.
- නාමරූපයාගේ ඒකුප්පාද හෙවත් සමාන උත්පත්ති ඇති බවය, විනිබ්භෝග හෙවත් නාමයාගේ රූපය හා රූපයාගේ නාමය හා ද අසම්ප්රයෝග වශයෙන් වෙන්ව පවත්නා බවය, අවිනිබ්භෝග හෙවත් නාමයාගේ නාමය හා සම්ප්‍රයෝග වශයෙන් නොවෙන්ව පවත්නා බවය, නමන හෙවත් අරමුණෙහි නැමෙන බවය, රුප්පන හෙවත් විකාරයට පැමිණෙන බවය යන පඤ්චවිධ අර්ථය ගැඹුරු වේ.
- සළායතනයාගේ අධිපති හෙවත් ඉන්ද්රිය ප්‍රත්‍යය භාවය, ලෝක හෙවත් ලෝක බවය, චාර හෙවත් චාර බවය, ඛෙත්ත හෙවත් ක්ෂේත්‍ර භාවය, විසය හෙවත් විෂය භාවය, විසයිභාව හෙවත් විෂයී භාවය යන ෂඩ්විධ වූ අර්ථය ගැඹුරු ය.
- ඵස්සයාගේ - ඵුසන හෙවත් අරමුණු පහස්නා බවය, සඞ්ඝට්ටන හෙවත් වෙසෙසින් අරමුණු ගටන බවය, සඞ්ගති හෙවත් වස්තු, ආලම්බන, විඥානයන්ගේ සාමාග්‍රිය යයි කියන ලද සමඟම් වන බවය, සන්නිපාත හෙවත් වස්තු ආලම්බන විඥානයන්ගේ එළඹ සිටිනා බවය යන චතුර්විධවූ අර්ථය ගම්භීර ය.
- වේදනාවගේ - අරම්මණ රසානුභවන හෙවත් අරමුණු රස විඳින බවය, සුඛ හෙවත් සුව බවය, දුක්ඛ හෙවත් දුක් බවය, මජ්ඣත්තභාව හෙවත් සුව දුක් දෙක අතර පැවති මැදහත්වූ විඳින බවය, නිජ්ජීව හෙවත් නිර්ජීවාර්ථය, වේදයිත හෙවත් අනුභව ලක්ෂණය යන මේ ෂඩ්විධවූ අර්ථයෝ ගැඹුරු ය.
- තෘෂ්ණාවගේ අභිනන්දිත හෙවත් අරමුණෙහි ඇලෙන බවය, අජ්ඣාසාන හෙවත් අරමුණෙහි ගිල ගන්නාක් මෙන් සම්පූර්ණ වශයෙන් ලොල්වන බවය, සරිතා හෙවත් සරිත් සදෘශ බවය. ලතා හෙවත් ලතා සදෘශ බවය, නදී හෙවත් නදී සදෘශ බවය, තණ්හා හෙවත් පවස් බවය, සමුද්ද හෙවත් සමුද්‍ර බවය, දුප්පූරණ හෙවත් තෘප්තියට පමුණුවාලිය නොහැකි බවය යන අෂ්ටවිධ අර්ථය ගැඹුරු ය.
- උපාදානයාගේ - ආදාන හෙවත් අරමුණු දැඩිකොට ගන්නා බවය, ගහණ හෙවත් කාමොපාදානයාගේ වශයෙන් අරමුණු ගන්නා බවය, අභිනිවෙසය හෙවත් දිට්ඨුපාදානයාගේ වශයෙන් අරමුණු වරදවා වටහා ගන්නා බවය, පරාමාස හෙවත් සීලබ්බතොපාදානයාගේ වශයෙන් අරමුණු අත් අයුරෙකින් ආමර්ශනය කිරීමය, දුරතික්කමන හෙවත් අත්තවාදොපාදානයාගේ වශයෙන් ගත් අරමුණු ඉක්මවාලිය නොහැකි බවය යන පඤ්චවිධ අර්ථය ගැඹුරු වේ.
- භවයාගේ ආයූහන හෙවත් පූර්ව පූර්ව භාගයෙහි දාන වස්තු සම්පාදනාදි වශයෙන් කර්ම රැස්කිරීමය, අභිසඞ්ඛරණ හෙවත් දාන වස්තු පරිත්යාගාදි වශයෙන් කර්ම රැස්කිරීමය, යොනි ගති ඨිති නිවාසෙසු ඛිපනට්ඨ හෙවත් චතුර්විධ යොනි, පඤ්චවිධ ගති, සප්තවිධ විඥානස්ථිති නවවිධ සත්ත්වාවාසයන්හි බහාලන බවය යන ත්‍රිවිධ වූ අර්ථය ගැඹුරු වේ.
11. ජාතියාගේ ජාති හෙවත් ස්කන්ධයන්ගේ පළමු හටගන්නා බවය, සඤ්ජාති හෙවත් ආයතනයන්ගේ පරි පූර්ණව පහළවන බවය, ඔක්කන්ති හෙවත් මව් කුසට වදනාක්මෙන් හටගන්නා බවය, නිබ්බත්ති හෙවත් ස්කන්ධාදීන්ගේ නව නවාකාරයෙන් මතු මත්තෙහි පහළ වීමය, පාතුභාව හෙවත් ස්කන්ධාදීන්ගේ පහළවීමය යන මේ පඤ්චවිධ වූ අර්ථය ගැඹුරු ය.
12. ජරා මරණයාගේ ඛය හෙවත් ක්ෂය භාවය, වය හෙවත් ව්‍යය භාවය, භේද හෙවත් බිඳෙන බවය, විපරිණාම හෙවත් වෙනස්වන බවය යන චතුර්විධ වූ අර්ථය ගැඹුරු වේ.
මේ කියනලද්දේ භව චක්‍රයාගේ ප්‍රතිවේද ගම්භීරාර්ථයයි.
නය ප්‍රභේද වශයෙන් වනාහි මේ භව චක්‍රයෙහි නය සතරෙකි. එනම්:-
- එකත්තනය හෙවත් සමාන භාව සඞ්ඛ්‍යාත වූ එකත්‍වනය.
- නානත්තනය හෙවත් අසමාන භාව සඞ්ඛ්‍යාත වූ නානත්ත්වනය.
- අව්‍යාපාරනය හෙවත් ස්වභාව ධර්මයන්ගේ නිරුත්සාහ භාව සඞ්ඛ්‍යාත වූ අව්‍යාපාරනය.
- එවං ධම්මතානය හෙවත් අවිද්‍යාදීන්ගේ මෙබඳු වූ ධර්මතායෙක් ඇති බව යයි කියනලද එවං ධර්මතා නය යන සතර නය වෙති.
1. එකත්තනය - මේ භව චක්‍රයෙහි අවිද්‍යා ප්‍රත්‍යය හේතුකොට සංස්කාරයෝ හටගනිත්, සංස්කාර ප්‍රත්‍යය හේතුකොට විඥානය හටගනී යනාදී වශයෙන් බීජයාගේ අඞ්කුර පත්‍ර නාලස්කන්ධ ශාඛාපල්ලව පලාසාදී භාවයෙන් වෘක්ෂ භාවයට පත්වන්නාක් මෙන් සන්තති වශයෙන් නොසිඳ පැවැත්ම නොහොත් සන්තතියගේ නොසිඳ පැවැත්ම එකත්‍වනය නම් වේ, ඒ එකත්‍වනය නොහොත් යම් සන්තතියගේ නොසිඳ පැවැත්මක් අවිපරීතකොට දක්නාවූ පුද්ගල තෙම, හේතුඵල ධර්මයන්ගේ ගැළපීම් වශයෙන් නොහොත් හේතුඵල ධර්මයන්ගේ ගැළපීම් හේතු කොටගෙන, හේතුඵල පරම්පරාවගේ නොසිඳ පැවැත්ම පිරිසිඳ හෝ ඇති සැටියෙන් අවබෝධ කරන හෙයින් උච්ඡේද දෘෂ්ටිය අත්හරින්නේය. ඒ එකත්‍වනය නොහොත් සන්තතියගේ නොසිඳ පැවැත්ම විපරීතකොට දක්නාවූ පුද්ගලතෙම හේතු ඵල ධර්මයන්ගේ ගැළපීම් වශයෙන් හෝ ගැළපීම හේතුකොටගෙන පවත්නාවූ හේතුඵල පරම්පරාවගේ නොසිඳ පැවැත්ම හේතුඵල භේදයක් නොකොට සමානභාව සඞ්ඛ්‍යාත එකත්වය යයි කියාගන්නා හෙයින් ශාශ්වත දෘෂ්ටිය දැඩිකොට ගනී.
- නානත්තනය - අවිද්‍යාදීන්ගේ ස්වකීය ස්වකීයවූ ලක්ෂණයන් විනිශ්චයකොට දැනීම අසමානභාව සඞ්ඛ්‍යාත නානත්වනය නම් වේ. යම් ලක්ෂණාදීහු අවිපරීතකොට දක්නාවූ පුද්ගලතෙම අභිනව අභිනව වූ ධර්මයන්ගේ ඉපැද්ම දක්නා හෙයින් ශාශ්වතදෘෂ්ටිය අත්හරින්නේය. එය විපරීතකොට දක්නාවූ පුද්ගලතෙම එකම සන්තතියෙක්හි පතිතවූ හේතු ඵල ධර්මයාගේ, ප්රභේදවත්වූ සන්තානයෙහි පැවති හේතු ඵල ධර්ම සමූහයක්හු මෙන් නොහොත් එකම සත්ත්වයෙකුගේ සන්තානයෙහි පැවති ධර්ම සමූහය නොයෙක් සත්ත්වයන්ගේ සන්තානයෙහි පවත්නා ධර්ම ජාතයක්හු මෙන් නානත්වයක් යයි ගන්නා හෙයින් උච්ඡේද දෘෂ්ටිය දැඩිකොට ගනී.
- අව්‍යාපාරනය - අවිද්‍යාවගේ, සංස්කාරයෝ තුමූ මා විසින් ඉපැද්දවිය යුත්තාහ. සංස්කාරයන්ගේ විඥානය තෙම සංස්කාර නම් ලත් අප විසින් ඉපැද්දවිය යුතුය යනාදී වශයෙන් ව්‍යාපාර රහිත බව හෙවත් නිරුත්සාහ බව අව්‍යාපාරනය නම් වේ. ඒ අව්‍යාපාරනය අවිපරීතකොට දක්නා වූ පුද්ගලතෙම ඊශ්වරාදී වූ කාරකයක්හුගේ අවිද්යමානත්වය අවබෝධ කිරීම හේතුකොටගෙන ආත්මදෘෂ්ටිය අත්හරින්නේ ය. ඒ අව්‍යාපාරනය විපරීතකොට දක්නා වූ පුද්ගලතෙම උත්සාහය අවිද්‍යමාන කල්හිදු අවිද්‍යාදීන්ගේ ස්වභාවයම වූ නියම වශයෙන් සිද්ධ වූ යම් හේතු භාවයෙක් ඇද්ද, ඒ හේතු භාවය වටහා නොගන්නා හෙයින් අක්‍රිය දෘෂ්ටිය දැඩිකොට ගනී.
4. එවං ධම්මතානය - කිරි ආදීන් හේතුකොටගෙන දී ආදි ඵලයන්ගේ ලැබීම වන්නාක් මෙන් අවිද්‍යාදී වූ ප්‍රත්‍යයන් හේතුකොටගෙන සංස්කාරාදී ඵලයන්ගේ ම ලැබීම වේ. අන්‍ය ඵලයක් නොලැබේ. මෙසේ වූ නය එවං ධම්මතානය නම් වේ. ඒ ධර්මතානය අවිපරීත කොට දක්නා වූ පුද්ගල තෙමේ ප්‍රත්‍යයනට අනුරූප වූ පරිද්දෙන් ඵලය පිරිසිඳ හෝ ඇති සැටි අවබෝධ කරන හෙයින් අහේතුක දෘෂ්ටියත්, අක්‍රිය දෘෂ්ටියත් අත්හරින්නේ ය. ඒ ධර්මතානය විපරීත කොට දක්නා වූ පුද්ගලතෙමේ ප්‍රත්‍යයනට අනුරූප පරිද්දෙන් ඵලයන්ගේ පැවැත්ම වටහා නොගෙන අනියම් හේතුවකින් අනියම් ඵලයක්හුගේ අසද් භාවය වටහාගන්නා හෙයින් අහේතුක දෘෂ්ටියත් නියත වාදයත් දැඩිකොට ගනී.
මේ භව චක්‍රය තෙම ඉතා ගැඹුරු වන හෙයින් නුවණින් බැසගත නොහැක්කේ ය. නානාවිධ නයින් ගහණ වූ හෙයින් නුවණින් අතික්රමයට දුෂ්කර වන්නේ ය. සමාධි නමැති උතුම් හණගල් පෝරුවෙහි මොනවට මුවහත් තුබූ මාර්ග ඥාන සඞ්ඛ්‍යාත කඩුවෙන් භව චක්‍රය නොපලා හෙණසක්මඬලක් මෙන් නිත්‍යයෙන් මැඩපියන සුළු වූ සසර භය ස්වප්නාන්තරයෙක්හිදු ඉක්මවිය හැකි කිසි පුද්ගලයෙක් නැත්තේ ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා තිබේ. මේ ප්‍රතීත්‍ය සමුප්පාදය තෙම ගැඹුරුය. ගැඹුරුවම ප්‍රකාශද වනුය. ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයාගේ නොදැනීම හේතුවෙන් පිරිසිඳ නොවටහා ගැනීම් හේතුවෙන්, ප්‍රතිවේධය නොකිරීම් හේතුවෙන් මෙබඳු වූ මේ සත්ව සමූහ සඞ්ඛ්‍යාත ප්‍රජා තොමෝ හු කැටියක්හුගේ අවුල් බවක් මෙන් ක්ලේශ කර්ම විපාකයන් කරණකොටගෙන වැඩියක්ම වෙළුනි. ගුණ නම් ලද වඩු කිරිල්ලකගේ කැදැල්ලෙක ගෙත්තමක් මෙන් ක්ලේශ කර්ම විපාකයන් කරණකොටගෙන වැඩියක්ම ගෙතුනි. මුදුතණ, බබුස්තණ පදුරු එතීමක් මෙන් ක්ලේශ කර්ම විපාකයන් කරණකොටගෙන එතුනි. අපාය නම් වූ, දුර්ගති නම් වූ, විනිපාත නම් වූ සතර අපාය ද, සංසාරය ද නොයික්මවයි. එහෙයින් තමාගේ හෝ මෙරමාගේ හිත පිණිස, සැප පිණිස පිළිපන් පුද්ගලතෙම ප්‍රතීත්‍ය සමුප්පාද ධර්ම ඥානයෙහි වැර කිරීම මුත් අන්‍ය කෘත්‍යයන් අත්හරී.
මේ බුදුසස්නෙහි නුවණැත්තේව, සිහි ඇත්තේව, ගැඹුරු වූ පටිච්ච සමුප්පාදයාගේ භේදයෙහි යම් පරිද්දෙකින් පිහිට ලබන්නේ ද, එපරිද්දෙන් සැමකල්හි වැරකරන්නේයි.