4. අනාගත ඵලපඤ්චකය
වර්‍තමාන හේතුන්ගේ ඵලය වශයෙන් අනාගතයෙහි ජාති ජරා මරණාදිය ලබන්නාහ. මෙහි ජාති ශබ්දයාගේ ගැනීමෙන්, විඥාන, නාමරූප, සළායතන, ඵස්ස, වෙදනාදී වූ ඵල ධර්‍මයෝ පස්දෙන ගන්නා ලද්දී වේ. ඒ විඥානාදී ඵල ධර්‍මයන්ගේම දිරීම් බිඳීම් දෙක ජරා මරණ නමි. එබැවින් අනාගත ඵල පඤ්චකය වශයෙන් විඥාන, නාමරූප, සළායතන, ඵස්ස, වෙදනා යන අඞ්ගයෝ පස්දෙන ගන්නා ලදී.
- විඥාන - අනාගත භවයෙහි ප්‍රතිසන්‍ධි තොම විඥාන නමි.
- නාමරූප - මව් කුසට වදනාක් මෙන් රූපාරූප ධර්‍මයන්ගේ පහළවීම් ස්වභාවය නාමරූප නමි.
- සළායතන - චක්‍ෂු ප්‍රසාදාදී ප්‍රසාදය තෙම ආයතන නමි.
- ඵස්ස - අරමුණු පහස්නා බව හෝ අරමුණෙහි හැපෙමින් උපදිනා බව ස්පර්‍ශ නමි.
- වෙදනා - අරමුණු රස විඳින බව නොහොත් අරමුණු රස විඳීම් වශයෙන් පවත්නා ධර්‍ම ස්වභාවය තෙම වෙදනා නමි.
මෙසේ අනාගතයෙහි උපපත්ති භවය ඇති කල්හි මේ ධර්‍මයෝ පස්දෙන මේ අත්බැව්හි කරන ලද්දා වූ කර්‍මයට ප්‍රත්‍යය වූවාහු වෙත්. නොහොත් කර්‍මයාගේ ප්‍රත්‍යවීම් හේතුවෙන් වෙත්. යථොක්ත නයින් මේ භව චක්‍රය තෙමේ විසි ආකාර අර ඇත්තේ වේ.
ඒ විසි ආකාර භේදයන් අතුරෙහි පූර්‍ව කර්‍මභවය ඇති කල්හි පඤ්චවිධවූ කර්‍ම සම්භාරයෝද, මේ වර්‍තමාන භවයෙහි පඤ්චවිධවූ විපාක ධර්‍මයෝද, මේ වර්‍තමාන භවයෙහි පඤ්චවිධවූ කර්‍ම සම්භාරයෝද, අනාගත භවයෙහි පඤ්චවිධවූ විපාක කර්‍මයෝදැයි මෙපරිද්දෙන් ධර්‍මයෝ දස දෙනෙක් කර්‍ම නම්. දස ධර්‍ම කෙනෙක් විපාක නම්. මෙසේ දෙතන්හි කර්මය තෙම කර්‍ම නම්. දෙතන්හි විපාකය තෙම විපාක නම්. මෙසේ හෙයින් සියළුම ප්‍රත්‍යාකාර වෘත්ත නම් ලද ඒ භව චක්‍රය තෙම කර්‍ම නමුදු වේ, කර්‍ම විපාක නමුදු වේ.
එමෙන්ම දෙතන්හි කර්මය තෙම කර්‍ම සංක්‍ෂේප නම්. දෙතන්හි විපාකය තෙම විපාක සංක්‍ෂේප නම්. මෙසෙයින් සියළුම භවචක්‍රය තෙම කර්‍ම සංක්‍ෂේප නමුදු වේ. විපාක සංක්‍ෂේප නමුදු වේ.
දෙතන්හි කර්මය තෙම කර්‍මවට්ට නම්. දෙතන්හි විපාකය තෙම විපාක වට්ට නම්. මෙසෙයින් සියළුම භව චක්‍රය තෙම කර්‍මවෘත්ත නමුදු වේ. විපාක වෘත්ත නමුදු වේ.
එමෙන්ම දෙතන්හි කර්මය තෙම කර්‍ම භව නම්. දෙතන්හි විපාකය තෙම විපාක භව නම්. මෙසෙයින් සියළුම ඒ භව චක්‍රය තෙම කර්‍මභව නමුදු වේ. විපාක භව නමුදු වේ.
දෙතන්හි කර්මය තෙම කර්‍ම ප්‍රවෘත්ත නම්. දෙතන්හි විපාකය තෙම විපාක ප්‍රවෘත්ත නම්. මෙසෙයින් සියලුම ඒ භව චක්‍රය තෙම කර්‍ම ප්‍රවෘත්ත නමුදු වේ. විපාක ප්‍රවෘත්ත නමුදු වේ.
එමෙන්ම දෙතන්හි කර්මය තෙම කර්‍ම සන්තති නම්. දෙතන්හි විපාකය තෙම විපාක සන්තති නම්. මෙසෙයින් සියළුම ඒ භව චක්‍රය තෙම කර්‍ම සන්තති නමුදු වේ. විපාක සන්තති නමුදු වේ.
දෙතන්හි කර්මය තෙම ක්‍රියා නමි. දෙතන්හි විපාකය තෙම ක්‍රියාඵල නමි. මෙසෙයින් සියළුම ඒ භව චක්‍රය තෙම ක්‍රියා නමුදු වේ; ක්‍රියාඵල නමුදු වේ.
මෙසේ මේ භව චක්‍රය තෙම හේතුව හා සමග පැවතුම් ඇත්තේය, දුක්වන්නේය, අනිත්‍ය ස්වභාවය ඇත්තේය, සැලෙන සුළුය, භවාඞ්ගාවස්ථාවට පැමිණෙන ස්වභාව ඇත්තේය, තහවුරු බැව් නොහොත් හර නැත්තේය, නිසරු හේතුභූතවූ ධර්මයන් කෙරෙන් නොහොත් ධර්මයන් හේතුකොට ගෙන ඵලභූතවූ ධර්මයෝ හටගනිත්.
මේ භව චක්‍රයෙහි තෙමේ කිසියා හෝ අනෙකෙක කිසියා හෝ නැත්තේය. හේතුභූත සම්භාර ප්‍රත්‍යය වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයෝ, විපාකභූතවූ ප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයන් සම්බන්‍ධකොට උපදවත්. හේතුන්ගේම නිරෝධය පිණිස සර්වඥයන්වහන්සේ විසින් පර්යාප්ති ධර්මය දෙසූ සේක. හේතු ධර්මයන් නැසූ කල්හි හෝ නිරුද්ධව ගිය කල්හි මාර්ගයෙන් සිඳිනලද ත්‍රිවිධ වෘත්තය තෙමේ නොපවතී. මෙසේ හේතු ධර්මයෙන් ඵල ධර්ම මාත්‍රයක්හුගේ සම්භවය ඇති කල්හි හේතු නිරෝධයෙන් ත්‍රිවිධවෘත්තය සිඳීම ඇති කල්හි හේතුනිරෝධය පිණිස වදහළ ධර්මයද ඇති කල්හි, දුක් කෙළවර කිරීම පිණිස නිරුපදිශේෂ නිර්වාණ ධාතුව පිණිස මේ බුදු සස්නෙහි ශාසන බ්‍රහ්මචර්යාවත් නොහොත් මාර්ග බ්‍රහ්මචර්යාවත් විද්‍යාමාන වේ. සත්ත්‍වයෙකු නොලැබෙන කල්හි උච්ඡේද දෘෂ්ටියකුත් නොමැත්තේමය, ශාශ්වත දෘෂ්ටියකුත් නොමැත්තේමය.