අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. වර්‍තමාන හේතුපඤ්චකය

තණ්හා, උපාදාන, භව යන අඞ්ගයෝ තිදෙන වර්‍තමාන හේතූහු වෙත්. කර්‍මභවය ගත් කල්හි ඒ කර්‍ම භාවයාගේ පූර්‍වභාග වූ සංස්කාරයෝ නොහොත් තත් සම්ප්‍රයුක්ත වූ යම් සංස්කාරයෝ ද ගන්නා ලද්දාහුම වෙත්. තෘෂ්ණා, උපාදානයන්ගේ ගැනීමෙන් ඒ තෘෂ්ණා උපාදානයන් හා සම්ප්‍රයුක්ත වූ යම් අවිද්‍යාවකින් මුළා වූ පුද්ගලතෙමේ කුසලාකුසල කර්‍මය කෙරේද, එහෙයින් ඒ අවිද්‍යා තොමෝ ගන්නා ලද්දීම වේ. මෙසේ තණ්හා, උපාදාන, භව, අවිජ්ජා, සඞ්ඛාර යන අඞ්ග පස වර්‍තමාන හේතු පඤ්චකය වේ.

  1. අවිද්‍යාව - මේ ප්‍රත්‍යුත්පන්න භවයෙහි ආයතනයන්ගේ මුහුකුරා ගිය බැවින් මුළාවීම හෝ සසර දුක මුවහ කරවන මෝහය අවිද්‍යා නම්.
  2. සඞ්ඛාර - ආයූහන හෙවත් පූර්‍වභාග වූ චේතනා තුමූ සංස්කාර නම්.
  3. තණ්හා - නිකාන්තිය හෙවත් ආලම්බනයෙහි පැවති අභිලාෂී තොමෝ තෘෂ්ණා නම්.
  4. උපාදාන - උපගමන හෙවත් අරමුණ දැඩිකොට ගන්නා ස්වභාවය තෙම උපාදාන නම්.
  5. භව - පරිත්‍යාගාදි වශයෙන් දානාදි ක්‍රියාවන්හි ව්‍යාපාරවත් වූ චේතනාතොමෝ භව නමි.

මෙසේ මේ ධර්‍මයෝ පස්දෙන මේ ප්‍රත්‍යක්‍ෂ වූ කර්‍ම භවය ඇති කල්හි අනාගතයෙහි ප්‍රතිසන්‍ධියගේ ප්‍රත්‍යයයෝ වෙත්.