විසි ආකාර අර
මේ අරයෝ විසිදෙන සතර කොටසකට බෙදා දක්වනු ලැබේ.
එනම්:
- අතීත හේතු පඤ්චකය
- වර්තමාන ඵලපඤ්චකය
- වර්තමාන හේතුපඤ්චකය
- අනාගත ඵලපඤ්චකය
යන පඤ්චක සතරය.
අතීත හේතු පඤ්චකය - අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව යන අඞ්ග පස අතීත හේතු පඤ්චකය වේ. මෙහි පළමුකොට අවිද්‍යා, සංඛාර දෙදෙන දක්වන ලදී. විදර්ශනාඥානයෙන් පහවූ, අඥානවූ පෘථග්ජන තෙමේ යම් හෙයකින් තෘෂ්ණා වශයෙන් ආලම්බණ ග්‍රහණය කෙරේද, තෘෂ්ණා වශයෙන් ආලම්බන ග්‍රහණයට පැමිණි අඥාන පෘථග්ජන තෙමේ දැඩිබවට පත් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ආලම්බනය දැඩිකොට ගැනීම කෙරෙයි. ඒ අඥාන පෘථග්ජනයා හට උපාදාන ප්‍රත්‍යයයෙන් භවය තෙම ලැබේද, එහෙයින් තෘෂ්ණා, උපාදාන, කර්ම භවයෝද ගන්නා ලද්දාහු වෙත්.
අවිද්‍යාව - පූර්වාත්මභාවයෙහිවූ කර්ම භවය ඇති කල්හි දුක්ඛ සත්යාදීන්ගේ ස්වභාවය වැටහිය නොදී මුවා කොට සිටියාවූ මෝහය තෙම මෙහි අවිද්‍යාව නම්.
සංඛාර - ආයූහනය හෙවත් දානාදි ක්‍රියාවන් සකස් කොට කරන්නාවූ චේතනාවෝ තුමූ සංස්කාරයෝ නම්හු වෙත්.
තණ්හා - ආලම්බනයෙහි පැවති අභිරතිය තණ්හා නම්.
උපාදාන - උපගමන හෙවත් අරමුණු දැඩිකොට ගන්නා ස්වභාව ධර්මය තෙම උපාදාන නම්.
භව - පරිත්යාගාදි වශයෙන් දානාදි ක්‍රියාවන්හි ව්‍යාපාර වත්වූ චේතනා තොමෝ භව නම්.
මෙසේ පූර්වාත්මභාවයෙහිවූ කර්මභවය ඇති කල්හි මේ ධර්මයෝ පස්දෙන මේ වර්තමාන භවයෙහි ප්රතිසන්ධියට ප්‍රත්‍යයෝ වෙත්.
මෙහි ආයූහන සංස්කාරයෝ නම්, ඒ කුසලාකුසල කර්මය කරන්නහුගේ යම් පූර්ව පූර්වවූ චේතනා කෙනෙක් ඇද්ද නොහොත් දාන වස්තුව දෙන්නෙමියි සිත උපදවා මසක් මුළුල්ලෙහිත් අවුරුද්දක් මුළුල්ලෙහිත් දානෝපකරණයන් පිළියෙළ කරන්නාවූ පුද්ගලයාට උපන්නාවූ පූර්ව වෙතනාවෝයි. ප්‍රතිග්‍රාහක පුද්ගලයන්ගේ අත්හි දාන වස්තුව පිහිටුවන්නාවූ පුද්ගලයාගේ චෙතනා තොමෝ කර්මභව නමි.
තවද, එක් ආවර්ජන චිත්තයක් ඇති ෂඩ්විධ වූ ජවන් සිත්හි පැවති චෙතනාවෝ තුමූ ආයූභන සංස්කාරයෝ යයිද, සත්වැනි වූ චෙතනා තොමෝ කර්මභව යයිද, පූර්ව පශ්චිම වශයෙන් නියමයක් නැතියෙන් සියළුම චෙතනා තොමෝ කර්මභව යයිද, ඒ චෙතනාව හා සම්ප්‍රයුක්ත වූ ස්පර්ශාදී ධර්මයෝ තුමූ ආයූභන සංස්කාර යයිද දක්වා තිබේ.
නිකාන්තිය හෙවත් කර්මය කරන්නාවූ පුද්ගලයා හට, ඒ කර්මයාගේ අනාගත ඵලයවූ, උපපත්ති භවයෙහි යම් ආසාවක් යම් ප්‍රාර්‍ත්‍ථනාවක් ඇද්ද, ඒ උපපත්ති භව ප්‍රාර්‍ත්‍ථනා තොමෝ තෘෂ්ණා නමි. භවයාගේ ප්රත්යභූත වූ, මෙනම් කර්මයක් කොට අසවල් තන්හි කාම ගුණයන් සේවනය කරන්නෙමි, සසර දුක සිඳින්නෙමි. මේ ආදී වශයෙන් පැවති යම් උපගමනයක් හෙවත් අරමුණ චෙත දැඩිකොට එළඹ සිටිනා බවෙක්, යම් අරමුණ දැඩිකොට ගන්නා බවෙක්, යම් දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය කිරීමක්, වරදවා ලබ්ධි ගැනීමක් ඇද්ද, මේ උපගමනග්රහණ පරාමර්ශනය තෙමේ උපාදාන නමි.