අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ජාති පච්චයා ජරාමරණං

ජාතිය විද්‍යමාන කල්හිම ජරා මරණාදි දුක්ඛ ධර්මයන්ගේ පහළවීම වන හෙයින් ද, ජාතිය අවිද්‍යමාන කල්හි ඒ දුක්ඛ ධර්මයන්ගේ පහළවීමක් නොවන හෙයින් ද, ජාති පච්චයා ජරා මරණං යයි වදාළසේක.

ඒ ඒ සත්ත්‍වනිකායයෙහි උපන්නාවූ ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමක් දිරණ බවක්, කැඩුණු බිඳුණු බවක්, පැසුණු බවක්, වියලි බවක්, ආයුෂයාගේ පිරිහීමක්, ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීම් බවක් වේද එයට ජරාව යයි කියනු ලැබේ.

ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් චුතියක්, චුතවන බවක්, බිඳීමක්, අන්තර්ධානයක්, මියයාමක්, කාලක්‍රියාවක්, ස්කන්‍ධයන්ගේ බිඳීමක්, ශරීරයාගේ බහා තැබීමක්, ජීවිතෙන්‍ද්‍රියයාගේ සිඳීමක් වේද එය මරණ නම්.

එක් භවයක ජාතියත් මරණයත් අතර මේ ජාතිය නිසාම පහළවන්නාවූ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන දුක්ඛ ධර්මයන්ද මෙයටම ඇතුළත් වේ.

ඤාතිව්‍යසන, භෝග ව්‍යසන, රෝගව්‍යසන, සීලව්‍යසන, දිට්ඨිව්‍යසන යනාදි ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකින් යුත් පුද්ගලයාගේ යම් ශෝකයක්, ශෝකයාගේ ආකාරයක්, ශෝක කරන්නහුගේ ස්වභාවයක්, අභ්‍යන්තරයෙහිවූ ශෝකයක්, අභ්‍යන්තරයෙහි වියලවන්නාක්හු මෙන් ඇතිවන ශෝකයක්, චිත්තයාගේ දවන ආකාරයක්, දුකට පත්සිතක් හෙවත් දොම්නසක් ශෝක නමැති හුලක් වේද එයට ශෝක යයි කියනු ලැබේ.

ඥාතිව්‍යසනාදියෙන් මඩනලද පුද්ගලයාගේ යම් නම් කියා හැඬීමක්, ගුණ කියා හැඬීමක්, නම් කියා හඬන ස්වභාවයක්, ගුණ කියා හඬන ස්වභාවයක්, නම් කියා හඬන බවක්, ගුණ කියා හඬන බවක්, නිශ්ඵල වචනබිණීමක්, නැවත නැවත තෙපලීමක්, නැවත නැවත තෙපලන බවක් වේද, එයට පරිදෙව යයි කියනු ලැබේ.

යම් කායික දුකක්, කායික අපහසුවක්, කය හා ස්පර්‍ශ වීමෙන් උපන්නා වූ අපහසු වූ වේදනා ආකාර වූ දුකක් වේද කය හා ස්පර්‍ශ වීමෙන් හටගත් ඒ දුක් වූ අපහසු වූ වේදනාවනට දුක්ඛය යයි කියනු ලැබේ.

දුක් වූ, අමධුර වූ යම් චෛතසික දුකක් වේද, දුක් වූ අමධුර වූ විඳියයුතු වූ සිත හා ස්පර්‍ශයෙක් වේද, සිත හා ස්පර්‍ශ වූ අමධුර වූ දුක් වූ වේදනාවක් වේද, එය දොමනස්ස නම්.

ඥාති ව්‍යසනාදියෙන් මඩනාලද පුද්ගලයාගේ යම් සිත්හි වෙහෙසීමක්, කලාන්ත බවක්, බලවත් කලාන්ත බවක් දැඩි කලාන්ත බවක් වේද එය උපායාස නම්.

මෙසේ මේ ජාති තොමෝ, ජරා මරණ දුක්ඛයට ද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ට ද ප්‍රත්‍යය වෙත්. ජාතිය නැති කල්හි ජරාමරණාදීහු නැත්තාහුමය.

මේ ජාතිතොමෝ ජරා මරණ ශෝක පරිදෙව දුක්ඛ, දොම්නස්ස, උපායාසාදීන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

මෙසේ, මේ අඞ්ග දොළොසකින් යුත් මේ භව වක්‍රය සියලු දුක් සමූහයාගේ ඇතිවීමට ප්‍රත්‍ය වේ මය.

තව ද, මේ භව වක්‍රයෙහි ශෝකාදි ධර්‍ම සමූහයක් අන්තයෙහි වදාළාහු ද, ඒ ශෝකාදීහු හේතුකොට ගෙනම ආදියෙහි දක්වන ලද, අවිද්‍යා තොමෝ සිද්ධවේමය. එසේම, මේ භව වක්‍රය තෙමේ නොබුදු වූවන් විසින් නොදත් පූර්‍වමර්‍ය්‍යාදාව ඇත්තේ ය. කාරක වේදක රහිතය හෙවත් කරන්නා වූ, විඳින්නා වූ පුද්ගලාන්තරයන් කෙරෙන් විරහිතය. මාදගප්‍රකාර වූ ශුන්‍යතායෙන් ශුන්‍යය. නිත්‍යයෙන් සම්බන්‍ධයට පැමිණියේව පවතී.

මේ ජරා මරණාදීන් අතුරෙන් ශෝක, දුක්ඛ, දොමනස්ස, උපායාස යන මොව්හු අවිද්‍යාව හා වෙන් නොවූවාහු වෙත්. පරිදෙවය නමුදු මෝහයෙන් මුළා වූ සත්ත්‍වයාහටම වේ. එහෙයින් ඒ ශෝකාදීන් පළමුව සිද්ධ වූ කල්හි අවිද්‍යා තොමෝ සිද්ධවූවාම වේ.

ආශ්‍රවයන්ගේ හටගැනීම් හේතුවෙන් ද ඒ ශෝකාදීහු වෙත්. වස්තුකාමයන් හා වෙන්වීම ඇති කල්හි ශෝකය තෙම කාමාශ්‍රවය හේතුකොට ගෙන වේ. වස්තු කාමයන්හි ඇලුනා වූ සිත් ඇති නොහොත් ක්ලේශකාම සඞ්ඛ්‍යාත වූ රාගය ඇති, උපන් ඡන්‍දරාගය ඇති, ඒ සත්ත්‍වයාහට ඒ වස්තුකාමයෝ යම් හෙයකින් වියෝව, පිරිහෙද්ද, ඒ සත්ත්‍වතෙම හෙල්ලෙන් විදිනා ලද මුවකු මෙන් ශෝක පරිදෙවාදී දුක්ඛයෙන් පෙළෙයි.

ඒ ශෝකාදීහු දිට්ඨාශ්‍රවය හේතුකොට ගෙනද වෙත්. රූපය තෙමේ මම වෙමි, මාගේ රූපය වේ, යනාදි වූ දෘෂ්ටිය හේතුකොට ගෙන මතුවී සිටිනාසීලි වූ පුද්ගලයාහට, රූපයාගේ ප්‍රකෘති ස්වභාවය හැර අන් අයුරෙකින් වීමය යන හේතුවෙන් ශෝක පරිදෙව, දුක්, දොම්නස් උපායාස යන මොව්හු උපදිති.

එසේම භවාශ්‍රවය හේතුකොට ගෙන ද ශෝකාදීහු වෙත්. දීර්‍ඝායුෂ්ක වූ, වර්‍ණවත් වූ, සැප බහුල වූ යම් දෙවිකෙනෙකුන් උස් වූ දෙව් විමන්හි අතිදීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි සිටිද්දී, ඒ දෙවියෝ ද තථාගතයන් වහන්සේගේ ධර්‍මදේශනාව අසා භීතියට, තැතිගැන්මට, සංවේගයට පැමිණෙත්. පඤ්ච ප්‍රකාර වූ පූර්‍වනිමිත්තයන් දැක මරණ බියෙන් තැතිගන්වන ලද දෙවියන්ට භයෙක්, සන්ත්‍රාසයෙක්, සංවේගයෙක් උපදනා මෙනි. ඒ පඤ්ච පූර්‍වනිමිතිහු නම් මල්දම් මැළවීම, දිවසළු කෙලෙසීම, කිසිලිවලින් ඩා මිදීම, කයෙහි පැහැ වෙනස්බවට පැමිණීම, දෙවාසනයෙහි නො ඇලීම යන මොව්හුය. ඒ නිමිති දැක කම්ම සමුට්ඨාන සකන්‍ධ සඞ්ඛ්‍යාත වූ උපපත්ති භවයෙහි භව තෘෂ්ණා බලයෙන් දෙවියනට අධික වූ ශෝක දුක්ඛයන් උපදී.

එමෙන් ම අවිද්‍යාශ්‍රවය හේතුකොට ගෙන ද ශෝකාදීහු වෙත්. ඒ අඥාන පුද්ගලතෙම මේ ආත්මභාවයෙහිම ශෝක, පරිදේව, දුක්, දොම්නස් විඳියි. මෙසේ ආශ්‍රව සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය වීම ඇති කල්හි අවිද්‍යා සඞ්ඛ්‍යාත ඵලය වේ. මේ නයින් ශෝකාදීන් හේතුකොට ගෙන අවිද්‍යාව ඇතිවීමෙන් භව චක්‍රය නොසිඳී පවත්නේ ය. හේතුඵල පරම්පරාවගේ අවසානයක් ද නැත.

දොළොස් අඞ්ගයකින් යුත් මේ භව චක්‍රය නොදත් පූර්‍වාවධිය ඇත්තේ ද වේ. මෙසේ භව චක්‍රයාගේ අනාදිමත් භාවය ඇති කල්හි, අවිජ්ජා පච්චයා සඞ්ඛාරා යනාදි වශයෙන් අවිද්‍යාව ආදිකොට දක්වන ලද්දේ එය ප්‍රධාන ධර්‍මයක් බැවිනි. ත්‍රිවිධ වූ වෘත්ත දුක්ඛයන්ට අවිද්‍යා තොමෝ ප්‍රධාන ධර්‍මයක් වන්නේ ය. ත්‍රිවිධ වෘත්තයෝ නම්, ක්ලේශවෘත්ත, කම්මවෘත්ත, විපාකවෘත්ත යන මොව්හු ය. අවිද්‍යාව ඇති කල්හිම අවිද්‍යාව කෙරෙන් අන්‍ය වූ ක්ලේශවෘත්තය ද, කර්‍මවෘත්ත, විපාකවෘත්තයෝ ද අඥාන ජනයා අනේක දුක්ඛයන්ගෙන් වැඩුණු සංසාර නමැති බන්‍ධනාගාරයෙහි හාත්පසින්ම වෙළත්. සර්‍පයෙකුගේ හිස අල්වා ගැනීම නිසා එයින් අන්‍ය වූ සර්‍ප ශරීරය අත වෙළන්නාක් මෙනි. අවිද්‍යාව මුලින් සිඳලූ කල්හි, ඒ ක්ලේශ, කම්ම, විපාක යන ත්‍රිවිධ වෘත්තයන්ගෙන් මිදුනේ වේ. සර්‍ප හිස සිඳ දැමූ කල්හි අත වෙළාගත් සර්‍ප ශරීරය කෙරෙන් මිදෙන්නාක් මෙනි. මේ බව අවිජ්ජාය ත්වෙව අසෙස විරාග නිරොධා සඞ්ඛාර නිරොධො යනාදී පාඨයෙන් දක්වා වදාළසේක. ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අවිද්‍යාව සහමුලින් නිරුද්ධ කිරීම හේතුකොටගෙන සඞ්ඛාරයන්ගේ නිරුද්ධවීම වේ. මෙසේ අවිද්‍යාව ගන්නා වූ නොහොත් උපදනා පුද්ගලයාගේ ත්‍රිවිධ වෘත්තයෙහි බැඳීමත්, අවිද්‍යාව මුදන්නා වූ නොහොත් නිරුද්ධකළ පුද්ගලයාගේ ත්‍රිවිධ වෘත්තයෙන් මිදීමත් වේ. මෙසේ හෙයින් අවිද්‍යාව ප්‍රධාන ධර්‍මයක් වශයෙන් මිස ආදි ධර්‍මයක් වශයෙන් දේශනා නොකළ බව දතයුතු.

මේ භව චක්‍රයෙහි අවිද්‍යාව ආදිකොට ඇති කරුණුවලින් සඞ්ඛාරාදීන්ගේ පැවැත්ම වේද, එහෙයින් ඒ අවිද්‍යාදී කාරණා වලින් අන්‍ය වූ සංසාරය නිර්‍මාණය කරන්නා වූ පරමෙශ්වර මහා බ්‍රහ්මාදී කෙනෙක් නැත්තේ ය. කාරකයෙක් නැත්තේම ය. එමෙන්ම මාගේ ආත්මය ඒ ඒ වැඩ අවැඩ පවසන්නේය, සුව දුක් ආදිය විඳින්නේය, සියලු අරමුණු දන්නේය යනාදියක් නොමැති හෙයින් ආත්මය කෙරෙන් තොරවේ. වේදකයෙක් හෙවත් විඳින්නෙක් ද නැත්තේම ය. මෙසේ මේ භව චක්‍රය කාරක වේදක පුද්ගලාන්තරයන් කෙරෙන් තොරවේ යයි දත යුතු.

භව චක්‍රයෙහි දොළොස් අඞ්ගයෝ තුමූ නිත්‍ය, සුඛ, සුභ, ආත්ම තාවයන්ගෙන් ද ශුන්‍යයහ.

අවිද්‍යාව, උදයව්‍යය ධර්‍ම ස්වභාවයෙන් හෙවත් ඉපදීම බිඳීම ස්වභාව කොට ඇති බැවින් නිත්‍යතාවයෙන් ශුන්‍යහ. සත්ත්‍වයාහට බාධන, තාපන ආදිය කරන හෙයින් ද, ඒ තැවීම් ආදිය කරන්නා වූ ක්ලේශ ධර්‍මයන්ට අරමුණු වන හෙයින් ද සුඛත්වයෙන් ශුන්‍යහ. ඉපදීම් බිඳීම් ස්වභාවයෙන් නැවත නැවත වැඩියක් පෙළන බැවින් සුඛත්‍වයෙන් ද ශූන්‍යහ. ප්‍රත්‍යයන් අයත් පැවතූම් ඇති බැවින් සිය කැමැත්ත සේ පවත්නා වූ ආත්ම ස්වභාවයෙන් ද ශූන්‍යහ. සංස්කාරාදීහුද මෙසේම නිත්‍ය, සුභ, සුඛ, ආත්ම ස්වභාවයෙන් ශූන්‍යහ. යම් හෙයකින් අවිද්‍යාව ආත්මයක් නොවේ ද, තමා සතුවූවක් නොවේ ද, තමා කෙරෙහි නොවේ ද, ආත්මවත් වූවක් නොවේ ද, එසේම සංස්කාරය ආදි කොට ඇති අඞ්ගයෝ ද ආත්මයෝ නොවෙති. තමා සතුවූවහු ද නොවෙති. ආත්මයන් කෙරෙහි නොවෙති. ආත්මවත් වූවාහු නොවෙති. එහෙයින් මේ භව චක්‍රය දොළොස් විධ වූ අවිද්‍යාදී ධර්‍මයන්ගේ ධුව, සුභ, සුඛ ආත්මභාව ශූන්‍යත්ත්‍වයෙන් ශූන්‍ය වේ යයි දතයුතු.

මේ භව චක්‍රයාගේ මූල දෙකෙකි. කාලයෝ තිදෙනෙකි. එහි දොළොස් අඞ්ගයන් අතුරෙන් අඞ්ග දෙකක් අතීත කාලිකය. අඞ්ග අටක් පච්චුප්පන්නය. අඞ්ග දෙකක් අනාගතය.

භව චක්‍රයාගේ අඞ්ග දොළොස අතුරෙන් මූලධර්‍ම වශයෙන්

  1. අවිද්‍යාව
  2. තණ්හාව

යන අඞ්ග දෙක වදාරා තිබේ.

අතීත ස්කන්‍ධ කොට්ඨාසය කෙරෙන් වර්‍තමාන විපාකය එළවන හෙයින් අවිද්‍යාව මුල්කොට ඇති වේදනාව අවසන් කොට ඇති එක් භව චක්‍රයකි.

අනාගත ස්කන්‍ධ කොට්ඨාසය හා ගලපන හෙයින් තණ්හාව මුල්කොට ඇති, ජරා මරණය අවසන් කොට ඇති එක් භව චක්‍රයකි. මෙසේ භවචක්‍රය ද්විවිධ වේ.

ද්විප්‍රකාරවූ මේ භව චක්‍රයන් අතුරෙන් අවිද්‍යාමූලක භව චක්‍රය දෘෂ්ටි චරිත පුද්ගලයාගේ වශයෙන් ද, තණ්හාමූලක භව චක්‍රය තෘෂ්ණා චරිත පුද්ගලයාගේ වශයෙන් ද දේශනා කරන ලදී. දෘෂ්ටි චරිතයාගේ අවිද්‍යා තොමෝ ඔහුගේ සසර පැවැත්ම කරන්නීය. තෘෂ්ණා චරිතයාගේ තෘෂ්ණා තොමෝ ඔහුගේ සසර පැවැත්ම කරන්නීය.

තවද, උච්ඡේද දෘෂ්ටිය නිරවශේෂ කොට ප්‍රහීන කිරීම සඳහා පළමුවන අවිද්‍යාමූලක භවචක්‍රය දේශනා කරන ලදී. විඥානාදී වර්‍තමාන ඵල ධර්‍මයන්ගේ ඉපැද්ම නොහොත් ඒ ඵල ධර්‍මයන්ගේ හට ගැන්මෙන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් නොදත හැකිවූ පූර්‍ව භවයෙහි එයට කාරණා වූ අවිද්‍යා, සංස්කාරයන්ගේ නොසිඳ පැවැත්ම දක්වා උච්ඡේද දෘෂ්ටිය වළක්වයි.

ශාස්වත දෘෂ්ටිය නිරවශේෂකොට ප්‍රහීන කිරීම සඳහා දෙවන තෘෂ්ණා මූලක භව චක්‍රය වදාරණ ලදී. උපන්නා වූම විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනාවන්ගේම දිරීම, බිඳීම හෙවත් ජරා මරණ වන බව දැක්වීමෙන් ශාස්වත දෘෂ්ටිය වළක්වයි.

පළමුවන භව චක්‍රයෙහි වේදනා තොමෝ තෘෂ්ණාව හා සම්බන්‍ධය ඇති අවිද්‍යාවට ප්‍රත්‍යය වේ. එහෙයින් වේදනාව හේතුකොට ගෙන අවිද්‍යාව වන්නීයයි දතයුතු. අවිද්‍යාවගේ ගැනීමෙන් තෘෂ්ණා උපාදාන යන දෙදෙනාද ගන්නා ලද්දේ වේ. අවිද්‍යාව හේතුකොට ගෙන සංස්කාරයෝ වන්නාහ. මෙහි සංස්කාර ග්‍රහණයෙන් කර්‍ම භවය ගන්නා ලද්දේ වේ. විඥානාදීන්ගේ ග්‍රහණයෙන් ජාති ජරා මරණ යෝද, ශෝකාදීහුද ගෘහීතයහ. මෙසේ සම්බන්‍ධවන හෙයින් හෙවත් වේදනාදීවූ ඵලයන්ගේ අවිද්‍යාදීවූ හේතූන් හා නැවත සම්බන්‍ධවන හෙයින් වේදනාව අවසන් කොට ඇති පළමුවන භව චක්‍රය දක්වා වදාරණ ලදී.

දෙවන භව චක්‍රයෙහි ජරා මරණාදී ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව ද, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානයද යනාදි වශයෙන් ලැබේ. මෙහි තෘෂ්ණා උපාදානයන්ගේ ගැනීමෙන් අවිද්‍යාවද, භවය ගැනීමෙන් සංස්කාරයෝ ද ගන්නා ලද්දේ වේ. ජාති ජරා මරණාදිය ගැනීමෙන් විඥානාදී විපාකයෝ ද ගන්නා ලදහ.

තවද, ගබ්භසෙය්‍යක සත්ත්‍වයන්ගේ වශයෙන් පළමුවන අවිද්‍යා මූලක භව චක්‍රය වදාරන ලදී. එහි සංස්කාර ප්‍රත්‍යය යෙන් විඥානයද, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූපද යනාදී වශයෙන් ධර්‍මයන්ගේ පිළිවෙල නොසිඳ පැවැත්ම දක්වන ලදී. මෙයින් ගර්‍භසෙය්‍යක සත්ත්‍වයන්ගේ අපරිපූර්‍ණ වූ ආයතන ඇති කලල රූපය වදාරා ඉක්බිති ඒ නාමරූපයන් ප්‍රත්‍යය කොට ඇති ෂඩායතනයන්ගේ ප්‍රවෘත්ති තොමෝ වදාරන ලදී.

එමෙන්ම, ඕපපාතික වූ සත්ත්‍වයන්ගේ වශයෙන් දෙවන තෘෂ්ණා මූලක වූ භව චක්‍රය වදාරන ලදී. එහි උපාදාන ප්‍රත්‍යයයෙන් භවයද, භව ප්‍රත්‍යයයෙන් ජාතියද යනාදී වශයෙන් උපපත්ති ස්කන්‍ධයන්ගේ එක්ව පහළවීම දක්වන ලදී.

ඒ භව චක්‍රයාගේ කාල තුනෙක් වෙත්.

එනම්:

  1. අතීත කාලය
  2. වර්‍තමාන කාලය
  3. අනාගත කාලය යන ත්‍රිවිධ කාලයෝය.

ඒ ත්‍රිවිධ කාලයන් අතුරෙන් අවිද්‍යාව සහ සංඛාර යන අඞ්ග දෙක අතීත කාලයට අයත් අඞ්ගයෝය. විඥාන, නාමරූප, සළායතන, ඵස්ස, වෙදනා, තණ්හා, උපාදාන භව යන අඞ්ග අට වර්‍තමාන කාලයට අයත් අඞ්ගයෝය. ජාති ජරා මරණ යන අඞ්ගයෝ දෙදෙන අනාගත කාලයට අයත් අඞ්ගයෝය.

තවද, ඒ භව චක්‍රයාගේ සන්‍ධි තුනෙක්ද, සංක්‍ෂේපසතරෙක්ද, අර විස්සෙක්ද, වට්ට තුනෙක්ද වෙති.