අභිධර්මාර්ථ ප්‍රදීපිකා

භව පච්චයා ජාති

භවය ප්‍රත්‍යය කොටගෙන ජාතිය වන්නේය. මෙහි භවය යන්නෙන් කර්‍ම භවයම අදහස් කරන ලදී. මේ කර්‍ම භව සඞ්ඛ්‍යාතවූ එකුන්තිස් (29) චේතනාවන්ගේ උපකාරයෙන් එක් භවයෙක්හි ඇතුළත්වූ ස්කන්‍ධ පරම්පරාවගේ පළමුවන හටගැනීම නම්වූ ජාතිය පහළවේ. ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍ව සමූහයෙහි යම් ඉපදීමක් හෙවත් පළමුව පටිසන්‍ධි විඤ්ඤාණයත් සහිතවූ පඤ්චස් කන්‍ධයන්ගේ පහළවීම නම්වූ ජාතියක් වේද, සංජාත හෙවත් සම්පූර්‍ණ ආයතනයන් ඇතිව මොනවට ඉපදීමක් වේද, බැසගැන්මක් හෙවත් අණ්ඩජ ජලාබුජ වශයෙන් සත්ත්‍වයෝ අණ්ඩකෝෂයෙහිද, වස්තිකෝෂයෙහිද පිළිසිද ගැනීම් වශයෙන් බැසගැනීම ප්‍රවේශවීම නම්වූ අවක්‍රාන්ති- යක් වේද, අභිනිබ්බත්තියක් හෙවත් සංසේදජ, ඔපපාතික වශයෙන් සත්ත්‍වයන් ගේ යම් ප්‍රකටවූ පහළවීමක්, විශේෂ ඉපදීමක් වේද, එකවෝකාර, චතුවෝකාර, පඤ්චවෝකාරයන්ගේ වශයෙන් ස්කන්‍ධයන්ගේ යම් පහළවීමක් වේද; ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද මෙයට ජාතිය යයි කියනු ලැබේ.

ජාතියගේ පහළවීමට කර්ම භවය තෙමේ නා නා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය, ප්‍රකෘත්‍යුපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් දෙපරිද්දෙකින් ප්‍රත්‍යය වේ.

ජාතියගේ පහළවීමට කර්ම භවය මුත් අන් ප්‍රත්‍යයක් නොමැති හෙයින් භව පච්චයා ජාති යයි වදාරන ලදි.