අභිධර්මාර්ථ ප්‍රදීපිකා

උපාදාන පච්චයා භවො

බලවත් ලෝභ දිට්ඨි සඞ්ඛ්‍යාතවූ උපාදානය හේතු කොට ගෙන භවය ඇතිවේ. උපාදානය නැති කල්හි භවය ඇති නොවේ.

අර්ථ වශයෙන් වනාහි යම් ධර්‍ම ස්වභාවයෙක් තෙම වේද එහෙයින් ඒ ධර්‍මස්වභාවයට භව යයි කියනු ලැබේ. ඒ භවය ද්විවිධ වේ. එනම්:

  1. කර්‍ම භවය
  2. උපපත්ති භවය

කර්‍මයම භවය වේනුයි කර්‍මභව නම් කර්‍මය හේතුකොට පවත්නා විපාකස්කන්‍ධ, කටත්තාරූප, භවය වේනුයි උපපත්ති භව නම්. එය ඵලෝපචාර හෙවත් ඵලයාගේ නාම වශයෙනි.

භවයට පමුණුවන හෙයින් සියලු භවගාමි කර්‍ම කර්‍ම භව නම් වෙත්. එය:

  1. පුණ්‍යාභිසංස්කාරය
  2. අපුණ්‍යාභිසංස්කාරය
  3. ආනෙඤ්ජාභිසංස්කාරය යයි ත්‍රිවිධ වේ.

ධර්ම වශයෙන්

පුණ්‍යාභිසංස්කාරය-

කාමාවචර කුසල චෙතනා 8 } 13 රූපාවචර කුසල චෙතනා 5

අපුණ්‍යාභිසංස්කාරය-

අකුසල චෙතනා 12

ආනේඤ්ජාභිසංස්කාරය-

අරූප කුසල චෙතනා 4

29

මේ එකුන්තිස් (29) චෙතනා ගත් කල්හි ඒ චෙතනා හා සම්ප්‍රයුක්ත ධර්මයන්ද එයටම ඇතුළත්කොට කර්මභව යයි වදාරන ලදී.

උප්පත්ති භවය

  1. ලෞකික විපාක - කාමාවචර විපාක 23 } 32 මහග්ගත විපාක 9
  2. එම විපාක සිත්හි සම්ප්‍රයුක්ත චෛතසික 35
  3. කර්මජ රූපයෝ 20

යන මේ ධර්මයෝ උප්පත්ති භව නම් වෙත්.

මේ උප්පත්ති භවය නවසත්ත්‍වාවාසයන් ගේ වශයෙන් නව වැදෑරුම් වේ.

එනම්:

  1. කාම භවය - කාම නම් ලද භවයයි. එනම් කාම භූමි එකොළොස ය. (11)
  2. රූප භවය - රූප ලොක සොළොස ය (16)
  3. අරූප භවය - අරූපතල සතර ය (4)
  4. සඤ්ඤි භවය - සංඥා ඇති පුද්ගලයන්ගේ භවය නොහොත් සංඥාතොමෝ මේ භවයෙහි ඇත්තේනුයි සංඥා භව නම්.

එනම්:

කාමභූමි එකොළොසය 11

අසංඥාතලය හැර රූප තල පසළොසය 15

ආකාශානඤ්චායතනය 1

විඤ්ඤාණඤ්චායතනය 1

ආකිඤ්චඤ්ඤායතනය 1

29

  1. අසඤ්ඤි භවය - අසංඥාතලය යි.
  2. නේවසඤ්ඤානාසඤ්ඤි භවය - ඖදාරිකවූ සංඥාවගේ නැති හෙයින් ද, සූක්‍ෂම වූ සංඥාවක් ඇති හෙයින් ද නේවසඤ්ඤානාසඤ්ඤා නම් වූ භවයයි.
  3. එකවෝකාර භවය - හුදු රූපස්කන්‍ධයෙන් ගැවසී ගත්තාවූ භවය තෙම එකවෝකාර භව නම් වේ. නොහොත් එක් රූපස්කන්‍ධයෙක් මේ භවයට ඇත්තේනුයි එකවෝකාර භව නම්. (අසංඥාතලයයි)
  4. චතුවෝකාර භවය - සතර නාමස්කන්‍ධයෙන් ගැවසී ගත්තාවූ භවය චතුවෝකාර භවය නම් වේ. (අරූප තල සතරය.)
  5. පඤ්චවෝකාර භවය - පඤ්චස්කන්‍ධයෙන් ගැවසී ගත්තාවූ භවය පඤ්චවෝකාර භවය නම් වේ.

එනම්: අසංඥා තලය හැර රූපී බ්‍රහ්මලොක 15 } 26 කාම භූමි 11 යන භූමි 26 ය.

මෙය උපාදාන ප්‍රත්‍යයෙන් වන්නාවූ භවය වේ.

තවද, මේ උපාදාන ප්‍රත්‍යයෙන් සම්භව වන භවයාගේ ධර්‍ම කාය වශයෙන් වනාහි

  1. කාම භවය - පඤ්චවිධවූ උපාදින්නස්කන්‍ධයෝයි.
  2. රූප භවය - එසේම පඤ්චවිධවූ උපාදින්නස්කන්ධයෝයි.
  3. අරූප භවය - චතුර්විධ වූ උපාදින්නස්කන්ධයෝයි.
  4. සඤ්ඤි භවය - චතුර්විධ වූ පඤ්චවිධ වූ උපාදින්නස්කන්ධයෝයි.
  5. අසඤ්ඤි භවය - එක් උපාදින්නස්කන්ධයකි.
  6. නේවසඤ්ඤා නාසඤ්ඤා භවය - චතුර්විධ වූ උපාදින්නස්කන්ධයෝයි.
  7. එකවෝකාර භවය - එක් උපාදින්නස්කන්ධයකි.
  8. චතුවෝකාර භවය - චතුර්විධ වූ උපාදින්නස්කන්ධයෝයි.
  9. පඤ්චවෝකාර භවය - පඤ්චවිධ වූ උපාදින්නස්කන්ධයෝයි. උපාදාන ප්‍රත්‍යයයෙන් වන්නා වූ කර්ම භවය පුණ්‍යාභිසංස්කාරාදී වශයෙන් ත්‍රිවිධ සංස්කාරයන් බව යට දක්වන ලදි. එසේම ප්‍රතිසන්‍ධි විඤ්ඤාණයට ප්‍රත්‍යවන ත්‍රිවිධ සංස්කාරයන් ද සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං යන්නෙන් දක්වා ඇති හෙයින් මෙහි වෙනස දතයුතු. සංඛාර පච්චයා විඤ්ඤාණං යයි කී තැන ඒ සංස්කාරයෝ නම් ප්‍රත්‍යුත්පන්න භවයෙහි ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වන අතීත කර්මයෝයි. මේ භවනිර්දේශයෙහි දක්වන ලද සංස්කාරයෝ නම් අනාගත භවයෙහි ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වන කර්මයෝයි. එසේම සංඛාර පච්චයා විඤ්ඤාණං යයි කී තැන චේතනාවම සංස්කාර යයි දක්වන ලදී. මේ භව නිර්දේශයෙහි චේතනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද සංස්කාර යයි වදාරන ලදී.

තවද සංඛාර පච්චයා විඤ්ඤාණං යන්නෙන් විඤ්ඤාණය ප්‍රත්‍යයකොට ඇත්තා වූ කර්මය සංස්කාරයයි වදාළසේක. මේ නිර්දේශයෙහි අසංඥසත්ත්‍ව භවය උපදවන්නා වූ කර්මය ද සංස්කාරය යයි වදාරන ලදි.

එමෙන්ම අවිජ්ජා පච්චයා සංඛාරා යන තන්හි පුණ්‍යාභි සංස්කාරාදී වූ කුසලාකුසල ධර්ම වදාළහ. උපදාන පච්චයා භවො යන තන්හි උපපත්ති භවයත් ඇතුළත් කළ හෙයින් කුසලාකුසල අව්‍යාකෘත ධර්‍මයෝ සංස්කාරයෝ යයි වදාළහ.

ප්‍රභේද වශයෙන් වනාහි, කාමොපාදානය හේතු කොට ගෙන කාම භවය උපදවන්නාවූ යම් කර්‍මයෙක් කරනු ලැබේද, ඒ කර්‍ම සඞ්ඛ්‍යාතවූ භවය තෙම කර්‍ම භවය නමි. ඒ කර්‍ම භවය විසින් උපදවන ලද ස්කන්‍ධයෝ උපපත්ති භව නමි. එසේම කාමොපාදානය හේතුකොට ගෙන රූප භවය උපදවන්නාවූ යම් කර්‍මයෙක් කරනු ලැබේද එය කර්‍ම භවය නමි. එයින් උපදවන ලද ස්කන්‍ධයෝ උපපත්ති භවය නමි කාමොපාදානය හේතු කොට ගෙන අරූප භවය උපදවන්නාවූ යම් කර්‍මයෙක් කරනු ලැබේද, එය කර්‍ම භවය නමි. එයින් උපදවන ලද ස්කන්‍ධයෝ උපපත්ති භවය නමි. මෙසේ කාමොපාදානය හේතුකොට ගෙන ෂඩ් (6) විධවූ භව කෙනෙක් වෙති.

මෙපරිද්දෙන්ම දිට්ඨුපාදාන ප්‍රත්‍යයයෙන් ෂඩ්විධවූ භව කෙනෙක්ද, සීලබ්බතූපාදාන ප්‍රත්‍යයයෙන් ෂඩ්විධවූ භව කෙනෙක්ද, අත්තවාදූපාදාන ප්‍රත්‍යයයෙන් ෂඩ්විධවූ භව කෙනෙක්දැයි උපාදාන ප්‍රත්‍යයෙන් වන්නාවූ භවයෝ සූවිසි කෙනෙක් වෙති. මෙයම, කර්‍ම භවයත් උපපත්ති භවයත් එක්කොට ගත් කල්හි එක් එක් උපාදාන ප්‍රත්‍යයයෙන් ත්‍රිවිධ ත්‍රිවිධ වූ භව කෙනෙක් වේ. එකල්හි සංක්‍ෂේප වශයෙන් භවයෝ දොළොස් කෙනෙක් වෙති.

එසේම කාම භවයට පමුණුවන්නාවූ කර්‍මය කර්‍ම භවය වශයෙන්ද, ඒ කර්‍මයෙන් නිපන් ස්කන්‍ධයෝ උපපත්ති භව වශයෙන්ද ගත් කල්හි කාම භවයෝ දෙදෙනෙකි. රූපභවයෝද දෙදෙනෙකි. අරූප භවයෝද දෙදෙනෙකි. මෙපරිද්දෙන් ෂඩ්විධවූ භව කෙනෙක් වෙති. කර්‍මභව, උපපත්ති භව වශයෙන් ප්‍රභේදය නොසළකා කාම භව, රූප භව, අරූප භව වශයෙන් ගත් කල්හි භවයෝ තිදෙනෙකි. කාමභවාදී භේදයද කර්‍මභව උපපත්තිභව යන හෙදයද නොසළකා උපාදාන පච්චයා භවො යයි ගත් කල්හි එක් භවයෙක් වේ. මෙසේ උපාදාන ප්‍රත්‍යයයෙන් වන්නාවූ භවයාගේ ප්‍රභෙදය දතයුතු.

ප්‍රත්‍යයවිම - පෘථග්ජන තෙමේ උමතු අයකු වැනිය හෙතෙම මේ කටයුත්ත යුතුය, මේ කටයුත්ත අයුතුය යි නො විමසා යම්කිසි උපාදානයක්හුගේ වශයෙන් යම්කිසි භවයක් ප්‍රාර්ථනා කොට යම්කිසි කර්මයක් කරන්නේමය. මෙසේ චතුර්විධවූ උපාදානය හේතුකොට ගෙන ත්‍රිවිධවූ භවයම වේයයි දතයුතුයි.

මේ මිනිස් ලෙව්හි ඇතැම් පෘථග්ජනයෙක්, ඇසූ දුටු අනුසාරයෙන්, මේ කාමගුණයෝ නම් මිනිස් ලෙව්හි ක්‍ෂත්‍රිය මහාසාරාදී කුලයන්හිද, ෂට් කාමාවචර දෙවලොකයන්හිද සමෘද්ධයහ යයි සිතා ඒ කාම සම්පත් ලැබීම පිණිස පුරාණ භාරත ශීතාහරණ පශුඝාතන විධි ආදිකොට ඇති අසද්ධර්‍මශ්‍රවණාදියෙන් මුළාවී මේ කර්මය හේතුකොට ගෙන කාම ගුණයෝ සමෘද්ධවෙත් යයි හඟිමින් කාමූපාදානයාගේ වශයෙන් කාය දුශ්චරිතාදීන්ද කෙරෙයි. ඒ හේතුවෙන් හෙතෙමේ අපායෙහි උපදී. ඒ අපාය භූමියෙහි ඒ පුද්ගලයාගේ උත්පත්තියට හේතුවවූ කර්මය, කර්ම භව නම්. කර්මයෙන් ජනිතවූ ස්කන්‍ධයෝ උපපත්ති භව නම්.

අන්‍යවූ පෘථග්ජනයෙක් සද්ධර්‍මශ්‍රවණාදියෙන් වැඩියෙන් වඩාගත් නුවණ ඇත්තේව මේ කර්මය හේතුකොට ගෙන කාම ගුණයෝ සමෘද්ධවෙත් යයි හඟිමින් කාමොපාදාන වශයෙන් කාය සුචරිතාදීන් කෙරෙයි, හෙතෙමේ ඒ හේතු වෙන් දෙවියන් කෙරෙහි හෝ මිනිසුන් කෙරෙහි හෝ උපදී. ඒ දෙව් මිනිස් දෙගතීන්හි උත්පත්තියට හේතුව වූ කුසල කර්මය, කර්ම භව නම්. ඒ කුසල කර්මයෙන් නිපන් ස්කන්‍ධයෝ උපපත්ති භව නම්.

අන්‍යවූ පෘථග්ජනයෙක් රූපාරූප භවයන්හි කාම ගුණයෝ ඒ දෙව් මිනිස් ලෙව්හි කාමගුණයන්ට වඩා අතිශයින් සමෘද්ධයහයි අසා හෝ පරිවිතර්‍කනය කොට හෝ කාමූපාදානයාගේ වශයෙන් රූපාරූප සමාපත්තීන් උපදවා සමාපත්ති බලයෙන් රූපාරූප බඹලෙව්හි උපදී. ඔහුගේ බඹලෙව්හි උත්පත්තියට හේතුව වූ මහද්ගත කර්‍මය කර්‍ම භව නමි. එයින් නිපන් ස්කන්‍ධයෝ උපපත්ති භව නමි.

මෙසේ කාමොපාදානය තෙම ත්‍රිවිධ භවයන්ටම ප්‍රත්‍යය වේ.

අන්‍යවූ පෘථග්ජනයෙක්, මේ ආත්මය තෙමේ කාමාවචර සම්පත්ති භවයෙහි හෝ, රූපාරූප භවයන් අතුරෙන් එක්තරා භවයෙක්හි හෝ විනාශවනුයේ සකලවෘත්තදුක්ඛය සමූලඝාතනය කිරීම් වශයෙන් මනාකොට අභාවප්‍රාප්ත වූයේ වේ යයි සිතා උච්ඡේද දෘෂ්ටිය දැඩිකොටගෙන ඒ කාමභව, රූපභව, අරූපභවයන්ට පමුණුවන්නාවූ කාමාවචර, මහද්ගත කර්‍ම කෙරෙයි. ඔහුගේ ඒ කර්‍මය කර්‍ම භව නමි. එයින් ජනිතවූ ස්කන්‍ධයෝ උපපත්ති භව නමි. මෙසේ දිට්ඨුපාදානය තුන්වැදෑරුම් වූ කාම, රූප, අරූප භවයන්ට ප්‍රත්‍යය වේ.

අන්‍යවූ පෘථග්ජනයෙක් මේ ශීලවෘතය නම් කාමාවචර රූපාවචර, අරූපාවචර භවයන් අතුරෙන් එක්තරා භවයක හෝ සම්පූර්‍ණ කරන්නාහට, සුඛය සම්පූර්‍ණ වේ යයි සිතා සීලබ්බතූපාදාන වශයෙන් ඒ කාම, රූප, අරූප භවයන්ට පමුණුවන්නාවූ කාමාවචර, මහද්ගත කර්‍මය කෙරෙයි. ඔහුගේ ඒ කර්‍මය කර්‍ම භව නමි. එයින් නිපන් ස්කන්‍ධයෝ උපපත්ති භව නමි. මෙසේ සීලබ්බතූපාදානයද ත්‍රිවිධවූ භවයන්ට ප්‍රත්‍යය වේ.

අන්‍යවූ පෘථග්ජනයෙක් මේ ආත්මය නම් කාම, රූප, අරූප භවයන් අතුරෙන් එක්තරා භවයෙක හෝ සැප ඇත්තේ වේ, පහවූ රාග පරිතාප ඇත්තේ වේ යනාදි වශයෙන් සිතා අත්තවාදූපාදානය කරණකොටගෙන ඒ කාම, රූප, අරූප භවයන්ට පමුණුවන්නාවූ කාමාවචර මහද්ගත කර්‍මය කෙරෙයි. ඔහුගේ ඒ කර්‍මය, කර්‍ම භව නමි. එයින් නිපන් ස්කන්‍ධයෝ උපපත්ති භව නමි. මෙසේ අත්තවාදූපාදානය තෙම ත්‍රිවිධවූ භවයන්ට ප්‍රත්‍යය වේ.

චතුර්විධවූ මේ උපාදානය තෙම, රූපාරූප භවයන්ට ද කාම භවයෙහි ඇතුළත්වූ කර්‍මභවය අතුරෙන් කුසල කර්‍ම භවයට ද, උපපත්ති භවයට ද උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් එක් අයුරෙකින් ප්‍රත්‍යය වේ.

කර්‍ම භවය අතුරෙන් තමා හා සම්ප්‍රයුක්තවූ අකුසල කර්‍මභවයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්ප්‍රයුක්ත, අත්‍ථි, අවිගත, හේතු ප්‍රත්‍යයයන්ගේ වශයෙන් සත් (7) පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.

විප්‍රයුක්තවූ අකුසල කර්‍ම භවයට වනාහි උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන්ම ප්‍රත්‍යය වේ.