තණ්හාපච්චයා උපාදානං.
තණ්හාව ඇති කල්හිම උපාදානයෝ ඇතිවෙත්. තණ්හාව නැති කල්හි ඇති නොවෙත්.
අරමුණ දැඩිකොට අල්වා ගැනීම උපාදාන නම්. තෘෂ්ණාවෙන් මඩනාලද පුද්ගලතෙමේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන සයාකාර අරමුණු තදින් අල්වා ගනී. උපාදාන යන්නෙන් දැඩි ලෝභ දිට්ඨි දෙදෙනා ගනු ලැබේ.
මේ උපාදානයෝ සතර දෙනෙකි. එනම්:
- කාමූපාදාන
- දිට්ඨුපාදාන
- සීලබ්බතූපාදාන
- අත්තවාදූපාදාන යන සතර ය.
1. කාමූපාදානය - යම් ධර්මයක් වස්තුකාම සඞ්ඛ්‍යාත කාමය දැඩිකොට ගනීද, එය කාමූපාදාන නම් ඒ ධර්ම ස්වභාවය තෙම කාමයත් වේ, උපාදානයත් වේ. තවද, පඤ්චවිධවූ කාමගුණයන්හි යම් කාමච්ඡන්දයක් වේද, යම් කාම රාගයක් වේද, යම් කාමනන්දි නම්ලද ලෝභයක් වේද, යම් කාම තෘෂ්ණාවක් වේද, යම් කාමස්නේහ නම් ලද ලෝභයෙක් වේද, යම් කාම මූර්ජා නම් ලද ලෝභයෙක් වේද, යම් කාම පරිනිෂ්ඨා නම් ලද ලෝභයෙක් වේද, මේ ධර්ම ජාති තොමෝ කාමූපාදාන නම් වේ. මෙසේ තෘෂ්ණාවගේ දැඩි බවම උපාදාන යයි වදාරන ලදී. පූර්වතෘෂ්ණා සඞ්ඛ්‍යාත උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් දැඩිව, පසුව ඇතිවූ තෘෂ්ණාතොමෝයි.
2. දිට්ඨුපාදානය - යම් ධර්මයක් මිථ්යාදර්ශන නම්වූ මිථ්‍යා දෘෂ්ටියක් වේද, එයම දැඩිකොට අල්වාගන්න අර්ත්ථයෙන් උපාදානයත් වේද, එය දිට්ඨුපාදාන නම් එය දසවස්තුක මිථ්යාදෘෂ්ටියටද නමෙකි. එනම්:
- දානයාගේ ඵලයෙක් නැත.
- මහා දානයාගේ ඵලයෙක් නැත.
- ආමන්ත්‍රණය කොට දෙන්නාවූද, ආගත්තුගයාට දෙන්නාවූද, ආවාහාදීන්හිද, මඞ්ගල්‍යය පිණිසද දෙන්නාවූ දානයාගේද ඵලයෙක් නැත.
- දස කුසල කර්මපථ, දස අකුසල කර්මපථ යයි කියන ලද්දාවූ කුසලාකුසල කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත.
- මෙලොව නැත.
- පරලොවක් නැත.
- මව් කෙරෙහි මිථ්‍යා ප්‍රතිපන්න, සම්‍යග් ප්රතිපන්නයන්ට කර්ම ඵලයෙක්, විපාකයෙක් නැත.
- පියා කෙරෙහි මිථ්‍යා ප්‍රතිපන්න, සම්‍යග් ප්රතිපන්නයන්ට කර්ම ඵලයෙක්, විපාකයෙක් නැත.
- පූර්ව භවයෙන් චුතව පශ්චිම භවයෙහි ඕපපාතිකව උපදනාසිලීවූ සත්ත්ව කෙනෙක් නැත.
- යම් මහණ බමුණෙක් මෙලොවත් පරලොවත් තුමූම විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට දැන ප්‍රකාශකිරීමට සමත් වේද එබඳුවූ, සන්හුන් බවට පැමිණියාවූ අනුලෝම පිළිවෙත මනාව පිළිපන්නාවූ, ධාර්මිකවූ මහණ බමුණු කෙනෙක් ලෙව්හි නැත්තාහ යනාදි වශයෙන් ගන්නාලද මිථ්‍යාදෘෂ්ටිය වේ.
තවද, දිට්ඨිගතවූ හෙවත් දෙසැටක් මිථ්යාදෘෂ්ටින්හි පර්ය්යාපන්නවූ යම් මිථ්‍යාදෘෂ්ටියක් වේද, දිට්ඨිගහණ නම් වූ, ඉක්මයානොහැකි අර්ත්ථයෙන් වනදුර්ග, ගිරිදුර්ගාදීන් බඳුවූ යම් දෘෂ්ටි ගැනීමක් වේද, දිට්ඨි කාන්තාර හෙවත් චෞර කාන්තාර, ව්‍යාල කාන්තාර, මරු කාන්තාර, නිරුදක කාන්තාර, දුර්භික්ෂ කාන්තාරයන් බඳුවූ යම් දෘෂ්ටි කාන්තාරයෙක් වේද, දිට්ඨි විසූකායික නම් ලද සම්‍යග් දෘෂ්ටිය විනිවිදලන අර්ත්ථයෙන්ද, සම්‍යග් දෘෂ්ටියට විලොම්වන අර්ත්ථයෙන්ද යම් දිට්ඨි නම්ලද යවුලෙක් වේද, දිට්ඨිවිප්පන්දිත හෙවත් ශාශ්වත උච්ඡේද වශයෙන් සැලෙන අර්ත්ථයෙන් යම් දෘෂ්ටි විෂ්ඵන්දනයෙක් වේද, දිට්ඨිසංයෝජන හෙවත් දිට්ඨියෙන් බන්ධනයෙක් වේද, ග්‍රාහ හෙවත් ආලම්බනය දැඩිකොට ගන්නා අර්ත්ථයෙන් යම් දැඩිකොට ගැනීමක් වේද, පතිට්ඨගාහ හෙවත් බලවත්ව පවත්නා බැවින් මොනවට පිහිටා ගන්නා අර්ත්ථයෙන් දෘෂ්ටි නම්ලද ප්රතිෂ්ඨග්රාහයෙක් වේද, අභිනිවෙස හෙවත් නිත්‍යාදි වශයෙන් පවත්නා යම් දෘෂ්ට්යාභිනිවෙසයක් වේද, පරාමාස හෙවත් අනිත්‍යාදි ධර්මස්වභාවය ඉක්මපියා නිත්‍යාදි වශයෙන් අන් පරිද්දෙකින් ආමර්ශනය කරන්නා වූ යම් දෘෂ්ටියක් පරාමර්ශනයක් වේද, කුම්මග්ග හෙවත් යම් දෘෂ්ටිසඞ්ඛ්‍යාත දුර්මාර්ගයක්, දුගතීන්ට මාර්ගයවූ යම් දෘෂ්ටියක් වේද, මිථ්යාපථ හෙවත් දිග් මුලා වූවකු විසින් මේ අසුවල් ගමට යන මගැයි ගත්මග තෙමේ ඒ ගමට නොපමුණුවන්නාසේ දෘෂ්ටිගතිකයා විසින් සුගතිපථ යයි ගත් දෘෂ්ටි තොමෝ තමා සුගතියට නොපමුණුවානුයි අසත්පථ වන අර්ත්ථයෙන් දෘෂ්ටි නම් ලද යම් මිථ්‍යා පථයෙක් වේද, මිච්ඡත්ත හෙවත් දෘෂ්ටි නම්ලද මිථ්‍යා ස්වභාවයෙක් වේද, තිත්ථායතන හෙවත් බාල පෘථග්ජනයෝ එහිම පරිභ්‍රමණ වශයෙන් බැසගනිත්නුයි තීර්ත්ථවූද, අනර්ත්ථයන්ගේ උත්පත්තියට කාරණානුයි ආයතනවූද, යම් තීර්‍ත්‍ථායතනයෙක් වේද, විපරියෙසග්රාහ හෙවත් දෘෂ්ටි නම් ලද යම් විපර්‍ය්‍යාස වූ ග්‍රාහයෙක් වේද, වරදවා අරමුණු ගැනීමක් වේද යන මේ ආදිය දිට්ඨුපාදානය යයි කියනු ලැබේ.
- සීලබ්බතූපාදානය - යම් මිථ්‍යා දර්ශනයක් ගෝසීල ගෝව්‍රත ආදී ශීලව්‍රතය දැඩිකොට ගනීද, එහෙයින් ඒ මිථ්‍යා දර්ශනය තෙම ශීලව්‍රත නමි. මෙවැනි ගෝසීලාදියෙන් සංසාර ශුද්ධිය වේයයි කියා වරදවා ලබ්ධි ගන්නා හට තුමූම උපාදානද වේත්. මෙසේ වරදවා ගත් මෙබඳු ස්වභාවය ඇත්තාවූ යම් දෘෂ්ටියක්, දිට්ඨි ගත බවක්, දිට්ඨිගහණාදි බවෙක් වේද, ඒ මිථ්‍යා දෘෂ්ටිය සීලබ්බතූපාදාන යයි කියනු ලැබේ.
- අත්තවාදූපාදානය - යම් ධර්ම ස්වභාවයක් කරණ කොට ගෙන සත්ත්වයෝ කියද්ද, ඒ ධර්ම ස්වභාවයෝ වාද නමි. එයම කරණකොට ගෙන දැඩිව ගනීද, එහෙයින් උපාදාන නමුදු වේ. ආත්මයාගේ ප්‍රකාශයට කාරණා වූවක්හු දැඩිකොට ගැනීම ආත්මවාදොපාදාන නම් වේ. ආත්මය යන වචන මාත්‍රයම හෝ ආත්මය යයි සත්ත්වයෝ මේ ධර්ම ජාතිය කරණකොටගෙන දැඩිකොට ගනිත්නුයි අත්තවාදූපාදාන නම්. තවද, විසි ආකාර සක්කායදෘෂ්ටියටද අත්තවාදූපාදානය යයි කියනු ලැබේ.
එනම්, හෙතෙම
- රූපය ආත්මයකැයි මොනවට දක්නේයි.
- ආත්මය රූපවත් වූවක් කොට මොනවට දක්නේයි.
- ආත්මය කෙරෙහි රූපය මොනවට දක්නේයි.
- රූපය කෙරෙහි ආත්මය මොනවට දක්නේයි.
එමෙන්ම වෙදනාවද, සංඥාවද, සංස්කාරයද, විඤ්ඤාණයද මෙසේ සතර සතර ආකාරයෙන් දක්නේය. වරදවාගත් මෙබඳු ස්වභාවය ඇත්තාවූ යම් දෘෂ්ටියක්, දිට්ඨිගත බවක්, දිට්ඨිගහණාදි බවෙක් වේද, එය අත්තවාදූපාදාන නම්.
මෙහි කියනලද සතරාකාරවූ උපාදානයෝ තණ්හා ප්‍රත්‍යයෙන් ලත් උපාදානයෝ යි. තණ්හාව නැති කල්හි මේ උපාදානයෝ ඇති නොවෙත්.
තවද, උපාදානය පිළිබඳව, උත්පත්ති ක්‍රම, පහාණ ක්‍රම, දේශනා ක්‍රම යන ත්‍රිවිධ ක්රමයන් අතුරෙන්, නුවණින් නොදත හැකි පූර්වාවධිය ඇති සසරෙහි මෙනම් ක්ලේශයාගේ පළමුකොට ඉපදීම වේයයි අවිද්‍යමාන වන හෙයින් උත්පත්ති ක්‍රමය නො වදාරනලදි. එක් අත්බැවෙක්හි ආත්මදෘෂ්ටි ග්‍රහණය මුල්කොට ඇති ශාශ්වත, උච්ඡේද දෘෂ්ටි වශයෙන් මිථ්යාභිනිවේශය කිරීම උපදී, හෙවත් ආත්මවාදූපාදානය පළමුකොට හටගනී. ඉක්බිති ඒ ආත්මය තෙම ශාශ්වත යයි ලබ්ධි ගන්නා පුද්ගලයාහට ආත්මයාගේ විශුද්ධි භාවය මුල්කොට ඇති සීලබ්බතුපාදානය උපදී. මේ ආත්මය විනාශවේයයි උච්ඡේද වශයෙන් ලබ්ධි ගන්නාවූ පරලෙව්හි අපේක්ෂා රහිත පුද්ගලයාහට කාමූපාදානය තෙම උපදී. මෙකී නයින් පළමුකොට ආත්මවාදූපාදානයද, ඊට ඉක්බිතිව දිට්ඨුපාදාන, සීලබ්බතූපාදාන, කාමුපාදානයන්ද පිළිවෙළින් උපදිත්. මෙය උපාදානයන්ගේ එක් අත් බැවෙක්හි උත්පත්ති ක්‍රමය වේ.
ප්‍රහාණ ක්‍රමය. සොවාන් මගින් නැසියයුතු හෙයින් දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදානයද පළමුකොට ප්රහාණය කරනු ලැබේ. රහත් මගින් නැසිය යුතු හෙයින් කාමූපාදානය පසුව ප්රහාණය කරණු ලැබේ.
දෙශනා ක්‍රමය. වහා විෂය වන බැවින්ද, ප්‍රකට වන බැවින්ද, කාමූපාදානය පළමුකොට වදාරන ලදී. ඒ කාමො- පාදානය අෂ්ටවිධ ලෝභමූල චිත්තයන් හා සමග යෙදෙන හෙයින් මහත්වූ උත්පත්තිස්ථාන ඇත්තේය. අනික් උපාදානයෝ තිදෙන දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලෝභචිත්තයන් හා සමග යෙදෙන හෙයින් අල්පවූ උත්පත්ති ස්ථාන ඇත්තාහ.
බෙහෙවින්, ආලයරාමතාය හෙවත් ආලය සඞ්ඛ්‍යාත පඤ්චොපාදානස්කන්ධයන්හි රමණය කරණ හෙයින් ආලයරාමතායවූ ප්‍රජාව කෙරෙහි කාමූපාදානය ප්‍රකට වේ. අනිත් උපාදානයෝ තිදෙන ප්‍රකට නොවෙත්.
කාමූපාදානය ඇති පුරුෂ පුද්ගලතෙම වස්තුකාමයන්ගේ ප්‍රතිලාභය පිණිස දිට්ඨ, සුත, මුත ආදී වශයෙන් පැවති කුතූහල මගුල් ආදිය බහුලකොට ඇත්තේ වේ. ඒ බව කාමොපාදානය ඇති පුරුෂ පුද්ගලයාගේ දිට්ඨුපාදානය වේද, එහෙයින් කාමොපාදානයට අනතුරුව දිට්ඨුපාදානය වදාළ සේක.
ඒ දිට්ඨුපාදානය තෙම ප්‍රභෙද වනුයේ සීලබ්බතූපාදාන, අත්තවාදූපාදානයන්ගේ වශයෙන් විප්‍රකාර වේ. ඒ දෙක අතුරෙන් ගෝක්රියා, කුක්කුට ක්‍රියාවන්ගේ වශයෙන් දතයුතු වන හෙයින් ඖදාරික වේද, එහෙයින් සීලබ්බ- තූපාදානය තෙම අත්තවාදූපාදානයට පළමු වදාළ සේක. සියුම් වන බැවින් අවසාන වශයෙන් අත්තවාදූපාදානය වදාළ සේක. මෙය උපාදානයන්ගේ දෙශනා ක්‍රමයයි.
ප්‍රත්‍යය වීම. කාමූපාදානයට තෘෂ්ණාතොමෝ උප- නිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් එක් අයුරෙකින් ප්‍රත්‍යය වේ. තෘෂ්ණාව විසින් ඇලී බැඳී ගන්නාලද්දාවූ ආලම්බනයන්හි උපදනා හෙයිනි.
සෙසු උපාදානත්රයට 1. සහජාත, 2. අඤ්ඤමඤ්ඤ, 3. නිශ්‍රය, 4. සම්ප්‍රයුක්ත, 5. අත්ථි, 6. අවිගත, 7. හේතු යන මොවුන්ගේ වශයෙන් සත් (7) අයුරෙකින් හෝ උපනිශ්‍රය ප්‍රත්‍යය හා සමඟ අට අයුරෙකින් හෝ ප්‍රත්‍යය වේ.