අවිජ්ජානුසය
සියලුම අකුසලයන්ට මුල හේතුවක් වූ මෝහය හෙවත් අවිද්‍යාව අර්හත් මාර්ගඥානයෙන් ප්‍රහීණ කරණතාක් කල් අනුසය වශයෙන් සත්ත්ව සන්තානය අන්නොහැර පවත්නා හෙයින් අවිජ්ජානුසය යයි කියනු ලැබේ.
මේ අවිද්‍යාව, සැම කුසලයකට ම බාධා පමුණුවන හෙයින් ද, සත්‍යය වසා සිටිමින් ධර්මාවබෝධය වළක්වන හෙයින් ද, සසරින් එතරවිය නොදී සත්ත්ව සන්තානය අත් නොහැර පසුපසුයෙහි ලුහුබඳිමින් සසර පවත්නා හෙයින් ද පටිච්ච සමුප්පාද දේශනායෙහි ප්‍රධානකොට දේශනා කරණ ලදී. නාම රූප ධර්මයන් පිළිබඳවත්, නාම රූප ධර්මයන්ගේ උප්පාදය, නිරෝධය, එහි ආශ්වාදය, ආදිනවය සහ නිශ්ශරණය, තත්වූ පරිද්දෙන් නොවැටහීමත් මේ අවිද්‍යාව හේතුකොටගෙණම වන්නේය.
මේ අවිද්‍යාවට පූර්ව කෙළවරක් නැත්තේය. මහා සාගරය යම් කලෙක වියලේ ද, විනාශවේද, මහා මේරු පර්වතය යම් කලෙක දැවේද, විනාශ වේද, නැතිවේද, මේ මහා පොළොව යම් කලෙක දැවේද, විනාශ වේද, නැතිවේද, එබඳු කාලයක් ඒකාන්තයෙන්ම පැමිණෙන නමුත්, සසර සැරිසරන්නාවූද, අවිද්‍යාව විසින් පෙළණු ලබන්නා වූ ද සත්ත්වයාගේ කෙළවරක් හෝ දුක්ඛයාගේ කෙළවර වීමක් හෝ නොදක්නේය.
මේ අවිද්‍යාව ප්‍රඥාවගේ වැඩීමෙන්ම දුරුකටයුත්තේ ය.
අනුසය ධර්ම සතක් වූවද වස්තු ධර්ම වශයෙන් ගත්කල්හි ධර්ම සයක් වන්නේ ය. එනම් ලොභ, දෝස, මාන, දිට්ඨි, විචිකිච්ඡා, මොහ යන චෛතසිකයෝ සදෙනාය.