සංයෝජන
සත්ත්වයන් භව යන්ත්‍රයෙහි හෙවත් සංසාරයෙහි සංයෝජනිය වස්තූන් හා බැඳීමට උපකාරවන අකුසල ධර්මයෝ සංයෝජනයෝ යි. සංයෝජනීය වස්තුහු නම් රූපාදි ආරම්මණයෝ යි මේ ආරම්මණයන් නුවණින් ගන්නා පුද්ගලයාහට, එම සන්තානයෙහි පහළවන්නාවූ ලොභ, මොහ, දෝෂ, මාන, දිට්ඨි ආදීවූ අකුසල ධර්මයෝ, නොයෙක් දුක් පමුණුවමින්, සසරින් එතරවිය නොදී සසරෙහිම බැඳ තබන හෙයින් සංයෝජන යයි කියනු ලැබේ. රැහැනින් බඳනාලද ගවයා රැහැනින් මිදෙන තෙක් නිදහසක් නොලබන්නාක් මෙන් මේ සංයෝජන ධර්මයන්ගෙන් බඳනා ලද සත්ත්වතෙමේ සසරින් නොමිදෙන්නේ ය.
සංයෝජනයෝ දස දෙනෙකි. එය ද සූත්‍රාන්තික ක්‍රමය, අභිධර්ම ක්‍රමය යයි ද්විවිධ වේ.
සූත්‍රාන්තික ක්‍රමය අනුව දස සංයෝජනයෝ නම්:-
- කාමරාග සංයෝජනය
- රූප රාග සංයෝජනය
- අරූප රාග සංයෝජනය
- පටිඝ සංයෝජනය
- මාන සංයෝජනය
- දිට්ඨි සංයෝජනය
- සීලබ්බත පරාමාස සංයෝජනය
- විචිකිච්ඡා සංයෝජනය
- උද්ධච්ච සංයෝජනය
- අවිජ්ජා සංයෝජනය
- කාම රාග සංයෝජනය. සත්ත්වයන් සංසාරයෙහි කාම වස්තූන් හෙවත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ සඞ්ඛ්‍යාත කාම ධර්මයන් හා බැඳ තැබීමට උපකාරවන, කාමයන් පිළිබඳවූ යම් තෘෂ්ණාවක් හෝ ඇලීමක් හෝ, රාගයක් හෝ සතුටුවීමක් හෝ වේ ද, එයට කාමරාග සංයෝජනය යයි කියනු ලැබේ. මේ කාම වස්තූන් සුභ වශයෙන් හෝ, සැප වශයෙන් හෝ සාර වශයෙන් හෝ ගන්නා පුද්ගලයාහට එම කාම වස්තූන්හි වැඩි වැඩියක්ම තෘෂ්ණාව දියුණුවන්නේය. මෙසේ වැඩෙන්නාවූ තෘෂ්ණාව, ඒ සන්තානය අත්නොහරිමින් මරණින් මත්තෙහි ද කාමභූමියෙහිම පහළකරවන්නේය. කාම භූමියෙන් මිදෙනු කැමති පුද්ගලතෙමේ නෙක්ඛම්ම සංකල්පය හෙවත් කාමයන්ගෙන් නික්මීමේ කල්පනාව ක්‍රමයෙන් දියුණු කොටගෙණ, භාවනානුයොගීව කමටහන් වඩා කාමරාගය තදඞ්ග විෂ්කම්භණාදි වශයෙන් දුරුකොට ධ්‍යාන උපදවා කාම භූමියෙන් එතරව රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලොකයන්හි පහළවන්නේ ය.
කාමලොක, රූපලොක, අරූපලොක යන ත්‍රිවිධ ලොකයන් අතුරෙන් රූපා රූප ලොකයන්ට යටින් පිහිටි කාම භූමියම භජනය කරන හෙයින් මේ කාමරාගය ඔරංභාගිය සංයෝජනයක් ද වන්නේය. චෛතසික ධර්ම අතුරෙන් ලොභ චෛතසිකය වේ. කාමරාග සංයෝජනය අනාගාමි මග නුවණින් සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කටයුතු වේ.
- රූප රාග සංයෝජනය. කාම භවය දුක් සහිත බව වටහාගත් පුද්ගලතෙමේ එයින් එතරවනු කැමතිව, සමථ භාවනා වඩා රූපාවචර ධ්‍යාන උපදවා මහද්ගත කුසල් රැස් කොට එහි විපාක වශයෙන් ලැබෙන්නා වූ රූපාවචර බ්‍රහ්ම සම්පත් අපේක්ෂා කරමින් එහි තෘෂ්ණාව උපදවා ගන්නේය.
මෙසේ රූපාවචර ධ්‍යාන කුසල විපාකයන් පිළිබඳව ඇතිවන්නා වූ තෘෂ්ණා තොමෝ රූප රාගය නම් වේ. ඒ රූප රාගයද සත්ත්වයා සසරෙහිම රඳවා ගන්නා බැවින් සංයෝජනයක් ද වන්නේය. කාම භූමියෙන් මතුයෙහි පිහිටි රූපාවචර භූමිය භජනය කරන හෙයින් රූප රාග සංයෝජනය උද්ධංභාගිය සංයෝජනයක් ලෙස සළකනු ලැබේ. මෙයද ලොභ චෛතසිකයයි. මේ රූප රාග සංයෝජනය අර්හත් මාර්ග ඥානයෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කට යුතු වේ.
- අරූප රාග සංයෝජනය - අරූප ධ්‍යාන කුසලයන් රැස්කිරීම සහ එහි විපාකයන් විඳීම පිළිබඳව පහළවන්නා වූ යම් තෘෂ්ණාවක් වේද, එය අරූප රාගය නම් වේ. මෙයද සත්ත්වයා සසර බැඳ තබන සංයෝජන ධර්මයකි. කාම භූමියෙන් මතුයෙහි පිහිටි අරූප තලයන් භජනය කරන හෙයින් උද්ධංභාගිය සංයෝජනයක් ද වන්නේය. මෙයද ලොභ චෛතසික යකි. අරූප රාග සංයෝජනය සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරණු ලබන්නේ අර්හත් මාර්ග ඥානයෙනි.
- පටිඝ සංයෝජනය. අනිෂ්ට වූ ද, නොකැමැති වූ ද කාම අරමුණු හමුවූ කල්හි, පටිඝය උපදී. එය ක්‍රමයෙන් දියුණුවීමෙන් ව්‍යාපාදය ඇතිවී එහි විපාක වශයෙන් අනර්‍ත්‍ථ යක්ම සිදුවන්නේය. ඔහුට ඇතිවන්නාවූ දොෂමූල පටිඝ සම්ප්‍රයුක්ත අකුසල ජවනයන් ගේ විපාක වශයෙන් සතර අපා දුකටද පැමිණ, නැවත නැවතත් උපදින්නාවූ පටිඝය කරණකොට ගෙණ අපාදුකින් මිදීම ඉතා දුෂ්කර වන්නේය. එබැවින් මේ ව්‍යාපාදය හෙවත් පටිඝය සත්ත්වයා සසරෙහිම බැඳ තබන රැහැනක් වැනි හෙයින් එයට පටිඝ සංයෝජනය යයි කියනු ලැබේ. කාම භූමියෙන් මිදිය නොදී එහිම රඳවා ගන්නාවූ ද, කාම භූමිය භජනය කරන්නාවූ ද, ඒ පටිඝ සංයෝජනය ඔරංභාගිය සංයෝජනයක් ද වන්නේය. මෙය
- චෛතසික ධර්මයන් අතුරෙන් ද්වෙෂ චෛතසිකය වේ. පටිඝ සංයොජනය අනාගාමි මාර්ග ඥානයෙන් සමුච්ඡෙද වශයෙන් ප්‍රහීණ කරණු ලැබේ.
- මාන සංයොජනය. මානය, ලොභමූල දිට්ඨිගත විප්‍රයුක්ත සිත්හි යෙදෙන අකුසල චෛතසික ධර්මයකි. රහත් මග නුවණින් සමුච්ඡෙද වශයෙන් ප්‍රහීණ කරණ තාක් කල් සත්ත්ව සන්තානයෙහි අනුසය වශයෙන්ද පවතී. කාමභූමියෙන් මතුයෙහි පිහිටි රූපා රූප භූමි භජනය කරන හෙයින් උද්ධංභාගිය සංයොජනයක් ද වන්නේය.
- දිට්ඨි සංයොජනය - සක්කායදිට්ඨි ආදි වශයෙන්ද නාස්තික අහේතුක, අකිරිය ආදී වශයෙන්ද, ශාස්වත උච්ඡෙදා දී වශයෙන්ද යම්තාක් මිථ්‍යා දෘෂ්ටි වේද, ඒ සියලුම දෘෂ්ටීහු සත්ත්වයා සසරට බැඳ තබන අකුසල ධර්ම බැවින් එයට දිට්ඨි සංයොජනය යයි කියනු ලැබේ. මේ දිට්ඨිය සත්ත්ව සන්තානයෙහි බලපවත්නාතුරු සසරින් එතරවීමක් හෙවත් මාර්ග ඵලාධිගමයක් නොවන්නේය. ලොභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත්හි යෙදෙන මේ අකුසල ධර්මය සොවාන් මාර්ග ඥානයෙන් ප්‍රහීණ කටයුත්තේය. මේ දිට්ඨි සංයොජනය කාම භූමිය භජනය කරන හෙයින් ඔරංභාගිය සංයොජනයක් ද වන්නේය.
- සීලබ්බත පරාමාස සංයොජනය - නිර්වාණ මාර්ගය අවුරන්නාවූද, මිථ්‍යා දෘෂ්ටිය කරණ කොට ගෙණ පහළ වන්නාවූද බාහිර සීලවෘතයන් පිළිගත්තා වූ පුද්ගල තෙමේ, මුළාවූයේ, ඒ සීලවෘතයන්ගෙන් බඳනාලදුව සසරින් එතරවිය නොහැකිව කාමභූමියෙහිම රැඳී අනෙකවිධ දුක්ඛයන්ට භාජනවන්නේය. දිට්ඨි චෛතසිකයම වූ මේ අකුසල ධර්මය සොවාන් මාර්ග ඥානයෙන් සමුච්ඡෙද වශයෙන් ප්‍රහීණ කළයුතු වේ. මෙයද ඔරංභාගිය සංයොජනයකි.
- විචිකිච්ඡා සංයොජනය - බුද්ධාදි අටතැන්හි පවත්නා සැකය නම් වූ විචිකිච්ඡා ව ද, සත්ත්වයා සසරටම බැඳ තබන අකුසල ධර්මයකි. මෙයද සොවාන් මග නුවණින් සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කටයුතු වේ. එතෙක් කාම භූමියෙහිම රඳවා ගන්න හෙයින් විචිකිච්ඡා සංයොජනය ඔරංභාගිය සංයෝජනයක් ද වන්නේය.
- උද්ධච්ච සංයොජනය - මොහමුල උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත්හි යෙදෙන මෙම අකුසල ධර්මයද රහත් මග නුවණින් ප්‍රහීණ කරනතුරු සංයොජන ධර්මයක් වශයෙන් පවති. එය රූපා රූප භූමි භජනය කරන හෙයින් උද්ධංභාගිය සංයොජනයක් වශයෙන් සළකණු ලැබේ.
- අවිජ්ජා සංයොජනය - සියලුම අකුසල් සිත්හි සම්ප්‍රයුක්ත ධර්මයක් වශයෙන් යෙදෙන්නාවුද, අකුසල මූලයක්වුද, මේ මොහය හෙවත් අවිද්‍යාව අර්හත් මාර්ගඥානයෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරණ තුරු සත්ත්වයාට සසරින් මිදිය නොදී සසරෙහිම බැඳ තබන් නේය. තුනී කරණ ලද හෙවත් යටපත් කරණ ලද අවිද්‍යාව ඇති පුද්ගලයා රූපා රූප භූමියට ඇඳගන්නා හෙයින් එය උද්ධංභාගිය සංයොජනයක් ද වේ.
සූත්‍රාන්තික ක්‍රමය වශයෙන් දක්වන ලද මේ සංයොජන දසදෙනා පරමාර්‍ත්‍ථ ධර්ම වශයෙන් සළකණු ලබන කල්හි ධර්මයෝ සත් දෙනෙකි. එනම්:-
ලොභ, දොෂ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, උද්ධච්ච, මොහ යන අකුසල චෛතසික සතය.
තවද මේ දස සංයෝජනයන් අතුරෙන් පස් දෙනෙක් ඔරංභාගිය වශයෙන් ද පස්දෙනෙක් උද්ධංභාගිය වශයෙන් ද දක්වනු ලැබේ.
ඔරංභාගිය සංයෝජන පස නම්:-
- සක්කාය දිට්ඨි සංයෝජනය
- විචිකිච්ඡා සංයෝජනය
- සීලබ්බත පරාමාස සංයෝජනය
- කාමරාග සංයෝජනය
- ව්‍යාපාදය හෙවත් පටිඝ සංයෝජනය
උද්ධංභාගිය සංයෝජන පස නම්:-
- රූප රාග සංයෝජනය
- අරූප රාග සංයෝජනය
- මාන සංයෝජනය
- උද්ධච්ච සංයෝජනය
- අවිජ්ජා සංයෝජනය
මෙයින් ඔරංභාගිය සංයෝජනයෝ, දික්වූ රැහැන කින් දිගෙලිකර ගාල්කණුවෙක බැඳ තබනලද ගවයෙකු මෙන් සත්ත්වයා එකොළොස් කාම භූමියෙහි මිස එයින් පිටතට යන්නට නොදී කාම භූමියෙහි බැඳ තබන්නාහ.
උද්ධංභාගිය සංයෝජනයෝ වනාහි ගාල්කණුවෙන් මුදා රැහැන් සමඟ හරිනලද ගවයන් මෙන් කාම භූමියෙන් ඈත්ව රූපා රූප භූමියෙහි හැසිරීම කරවන්නාහ.
තවද සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තිදෙන සොවාන් මාර්ගඥානයෙන් ද, කාමරාග ව්‍යාපාද යන සංයෝජන දෙක අනාගාමි මාර්ග ඥානයෙන්ද, ඉතිරි පස අර්හත් මගනුවණින්ද සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරණු ලැබේ.
අභිධර්ම ක්‍රමය අනුව දස සංයෝජනයෝ නම්:-
- කාමරාග සංයෝජනය
- භවරාග සංයෝජනය
- පටිඝ සංයෝජනය
- මාන සංයෝජනය
- දිට්ඨි සංයෝජනය
- සීලබ්බත පරාමාස සංයෝජනය
- විචිකිච්ඡා සංයෝජනය
- ඉස්සා සංයෝජනය
- මච්ඡරිය සංයෝජනය
- අවිජ්ජා සංයෝජනය
මෙහි භවරාග යන්නෙන් රූප රාග, අරූප රාග දෙකම එකක් කොට ගන්නාලදී.
ඉස්සා සංයෝජනය යනු දොෂ මූල සිත්හි යෙදෙන ඉස්සා නම් වූ අකුසල චෛතසිකයයි. අනුන්ගේ සම්පත් ආදිය නොරුස්නා ස්වභාවයයි.
මච්ඡරිය සංයෝජන යන්නෙන් දොෂමූල සිත්හිම යෙදෙන මච්ඡරිය චෛතසිකය ගත යුතුයි.
මේ මච්ඡරිය හෙවත් මසුරු බව ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය යනාදි වශයෙන් නොයෙක් ප්‍රකාර වේ.
මේ ක්‍රමය අනුව පරමාර්ථ ධර්මයෝ අටදෙනෙකි. එනම්:- ලොභ, දොෂ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ඉස්සා, මච්ඡරිය, මොහ යන අටයි.