කාමච්ඡන්ද නීවරණය
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සඞ්ඛ්‍යාත පඤ්චකාමයන්හි යම් කාම සඞ්ඛ්‍යාත ඇල්මක් වේද, සතුටු වීමක් වේද, තෘෂ්ණාවෙක් වේද, ස්නේහයක් වේද පරිළාහයක් හෙවත් දැවිල්ලක් වේද, කාමමූර්ඡාවක් වේ ද, මේ මාගේයයි දැඩිකොට ගන්නාවූ කාමයන් ගිලගැනීමක් වේද එයට කාමච්ඡන්ද නීවරණය යයි කියනු ලැබේ චෛතසික ධර්මයන් අතුරෙන් මෙය ලොභ චෛතසිකය වේ.
ස්වභාව වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභයයි ඇති සැටි නොගෙන නිත්‍ය, සුඛ, ආත්ම, සුභ වශයෙන් වරදවා නිමිත්තාරම්මණ ගැනීම, නුපන් කාමච්ඡන්ද නීවරණයාගේ ඉපදීමටත්, මතු මත්තෙහි වැඩි පැවතීමටත් කාරණාවන හේතු ප්‍රත්‍යයෝ වෙති. කාමච්ඡන්දයෙහි එල්ලි වාසය කරන්නහුගේ රාගාදි ක්ලේශයන් වර්ධනය වීමෙන් දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම නිර්වාණාදී සියලු සම්පත් ආවරණය වන්නේය. යෝනිසෝමනසිකාරයෙන් හෙවත් නුවණින් යථා තත්වයෙන් ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ වශයෙන් දැකීම කාමච්ඡන්ද නීවරණයාගේ ප්රහාණය පිණිස පවත්නේය.
සමාධිය වළක්වන්නාවූ කාමච්ඡන්දය දුරුකිරීම පිණිස ධර්ම සයක් උපකාරවේ. එනම්:
- අසුභාරම්මණයාගේ ඉගෙනීමද,
- අසුභ භාවනායෙහි නැවත නැවත යෙදීමද,
- චක්ෂුරාදී ඉන්ද්රියන්හි වසන ලද දොර ඇති බවය,
- භෝජනයෙහි පමණ දැන වැළඳීමය.
- කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීමය
- සප්පාය කථා හෙවත් යහපත් කාලොචිත කථා ඇති බවය. එකග්ගතා ශක්තිය වැඩීමෙන්, දියුණුවීමෙන් කාමච්ඡන්දය ක්‍රමයෙන් දුරුවන්නේය.
මේ කාමච්ඡන්දය දුරුනොකොට ධ්‍යාන මාර්ග ඵලයන් කිසිසේත් ලැබිය නොහැකිවේ. තදඞ්ග විෂ්කම්භන, සමුච්ඡේදාදි වශයෙන් කාමච්ඡන්ද නීවරණය දුරුකිරීම කාමාවචර කුසල ධ්‍යාන, මාර්ග ඵල චිත්තයන්ගේ ශක්තියෙන් කටයුතු වේ. අනාගාමි මග නුවණින් කාමභවයෙහි රඳවන්නාවූ කාමච්ඡන්දය සමුච්ඡේද වශයෙන් ප්රහාණය වන්නේ ය.