අභිධර්මාර්ථ ප්‍රදීපිකා

උපාදාන

නාගයෙකු විසින් මැඩියකු අල්වාගනු ලබන්නාක් මෙන් අරමුණ අත්නොහැර දැඩිකොට අල්වා ගැනීම උපාදානය නම් වේ. තෘෂ්ණාවෙන් මඩනා ලද පුද්ගලතෙමේ රූප ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන සයාකාර අරමුණු තදින් අල්වා ගන්නේය.

උපාදානයෝ සතර දෙනෙකි එනම්.

  1. කාමූපාදාන
  2. දිට්ඨුපාදාන
  3. සීලබ්බතූපාදාන
  4. අත්තවාදූපාදාන

1. කාමූපාදාන - පඤ්චකාමයෙහි යම් කාමච්ඡන්‍දයක් වේද, හෙවත් රූපාදී අරමුණෙහි දුර්වල ඇලීමක් වේද, යම් කාමරාගයක් වේද හෙවත් රූපාදියෙහි බලවත් ඇලීමක් වේද, යම් කාම සමෘද්ධියක් වේද, යම් කාම තෘෂ්ණාවක් වේද, යම් කාම ස්නේහයක් වේද, යම් කාම පරිළාහයක් වේද, යම් කාම මූර්ඡාවක් වේද මෙය කාමූපාදාන නම් වේ රූපාදි සාරම්මණයන්හි හටගන්නාවූ එක්සිය අටක් ප්‍රභෙද ඇති තෘෂ්ණාවගේ දැඩිබව කාමූපාදාන යයි දතයුතු.

සියලුම ලෞකික ධර්මයන් වස්තුකාම වශයෙන් කාමයයි ගත්කල්හි රූප රාග අරූප රාගයෝද කාමූපාදානයෙහි ඇතුළත්වේ.

කාමූපාදානයන් විසින් මඩනාලද සත්ත්‍වයා කර්මභවය උත්පත්තිභවය යන දෙවැදෑරුම් භවයෙන් නොමිදෙන්නේය. කාමූපාදානයාගේ නිරෝධය තෘෂ්ණා නිරෝධයෙන්ම වන්නේය. මෙය ලෝභ චෛතසිකය වේ.

2. දිට්ඨුපාදාන - දුන් දෙයෙහි විපාක නැත්තේය. යනාදී වූ දසවස්තුකවූ යම් මිථ්‍යාදෘෂ්ටියෙක් වේද, යම් විපරීත ග්‍රහණයක් වේද මෙය දිට්ඨුපාදාන නම්. සීලබ්බත අත්තවාද යන දෘෂ්ටි හැර ඉතිරි මිථ්‍යා දෘෂ්ටීන් මෙයට ඇතුළත්වන්නාහ. මෙය දිට්ඨි චෛතසිකය වේ.

3. සීලබ්බතූපාදාන - සීලයෙන්ම පිරිසිදු වන්නේය, වෘතයෙන්ම පිරිසිදු වන්නේය, සිලවෘත දෙකින්ම පිරිසිදු වන්නේය යනාදී වශයෙන් යම් දෘෂ්ටියක් වේද, යම් විපරීත ග්‍රහණයක් වේද, මෙය සීලබ්බතූපාදාන නම්. මෙහි සීල යන්නෙන් සංසාර මුක්තියට මාර්ග නොවූ ගෝ කුක්කුර ආදීන්ගේ ඒ ඒ ප්‍රකෘති ස්වභාව නම් වූ චාරිත්‍ර සීලයද, වෘත යන්නෙන් ඒ ඒ සාවද්‍ය සීලයන් සමාදන්ව ගන්නා ලද පිළිවෙතද ගතයුතුයි. ඒ මිථ්‍යා ග්‍රහණය දැඩිකොට පවත්නා කල්හි සීලබ්බතූපාදාන නම් වන්නේය. මෙයද දිට්ඨි චෛතසිකය වේ.

4. අත්තවාදුපාදානය - ආර්ය්‍ය ධර්මයෙහි දක්‍ෂ නොවූ, ආර්ය්‍ය ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම රූප, වෙදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්‍ධයන් සතරාකාරයෙන් ආත්ම වශයෙන් ගන්නේවේද එය අත්තවා දුපාදාන නම් වේ. මෙසේ විසි ආකාරවන්නාවූ මිථ්‍යා දෘෂ්ටි හෙවත් අත්තවාදුපාදානයෝ නම්

  1. රූපය ආත්මය ය
  2. තමා රූපවත්ය
  3. තමා කෙරෙහි රූපය පිහිටියේය.
  4. රූපයෙහි තමා පිහිටියේය
  5. වෙදනාව ආත්මයය
  6. තමා වෙදනාවූ යෙහිය
  7. තමා කෙරෙහි වෙදනාව පිහිටියේය
  8. වෙදනාවෙහි තමා පිහිටියේය
  9. සංඥාව ආත්මය ය
  10. තමා සංඥාවත්ය
  11. තමා කෙරෙහි සංඥාව පිහිටියේය
  12. සංඥාවෙහි තමා පිහිටියේය
  13. සංස්කාරයන් ආත්මයය
  14. තමා සංස්කාරවත්ය
  15. තමා කෙරෙහි සංස්කාරයෝ පිහිටියාහුය
  16. සංස්කාරයන්හි තමා පිහිටියේය.
  17. විඤ්ඤාණය ආත්මයය
  18. තමා විඤ්ඤාණ වත්ය
  19. තමා කෙරෙහි විඤ්ඤාණය පිහිටියේය
  20. විඤ්ඤාණයෙහි තමා පිහිටියේය.

මේ විංශතී වස්තුකවූ සක්කාය දෘෂ්ටිය අත්තවාදුපාදානය යයි කියනු ලැබේ.

වස්තු සැපයීමට ඇතිවන ආශාව තණ්හා වශයෙන්ද, ලද වස්තුවෙහි පවත්නා ලෝභය උපාදාන වශයෙන්ද සැලකිය යුතුයි.

මේ සතරවැදෑරුම් උපාදානයන් අතුරෙන් දිට්ඨුපාදාන, සීලබ්බතුපාදාන, අත්තවාදුපාදාන යන උපාදානයෝ තිදෙන සොවාන් මග නුවණින් ද කාමූපාදානයට රූපා රූපා රාග ඇතුළත්වන හෙයින් අර්හත් මග නුවණින්ද සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරනු ලැබේ.