අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ග්‍රන්‍ථ ධර්ම

ගෝතන්නෝ හෙවත් ගැටගසන්නෝ ග්‍රන්‍ථයෝයි. නාමකයෙන් රූප කායද, වර්තමාන කයෙන් අනාගත කායද ගෝතන්නෝ හෙවත් වෙන්විය නොදී එක්කොට බඳින්නාවූ ධර්මයෝ ග්‍රන්ථ ධර්මයෝයි.

ග්‍රන්ථ ධර්ම සතරෙකි. එනම්:-

  1. අභිජ්ඣා කාය ග්‍රන්ථය
  2. ව්‍යාපාද කාය ග්‍රන්ථය
  3. සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය
  4. ඉදං සච්චාභිනිවෙස කාය ග්‍රන්‍ථය
  5. අභිජ්ඣා කාය ග්‍රන්‍ථය - අභිජ්ඣා යනු දැඩි ලෝභයට නමෙකි කාම රාග, රූප රාග, අරූප රාග යන සියලු තෘෂ්ණාවෝ නාමරූප ධර්මයන්ද, අතීත වර්තමාන අනාගත භවයන්ද, වෙන්විය නොහැකි පරිද්දෙන් එකිනෙකට බැඳ තබන හෙයින් කාය ග්‍රන්‍ථයක් වන්නේය. දාන, සීලාදී පින්කම් කොට, නෛෂ්ක්‍රම්‍ය වඩා සමථ විදර්ශනා භාවනාවෙහි යෙදී වාසය කිරීමෙන් අවිද්‍යාව ක්‍රමයෙන් තුනී කොට අර්හත් මග නුවණින් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කටයුතු වේ.
  6. ව්‍යාපාද කාය ග්‍රන්‍ථය - ව්‍යාපාදය නම් වූ අන් සත්ත්‍ව යෙකුගේ විනාශය කැමැතිවන බව, ද්වේෂමූල දොම්නස් සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිතින් සිදුවන්නාවූ අකුසල කර්මයකි. හෙතෙමේ ඒ ව්‍යාපාද අකුසල කර්මය කරණ කොටගෙන මරණින් මතු සතර අපායයන්හි ඉපිද අප්‍රමාණ දුක් විඳින්නේය. මෙසේ දුගති භවයෙන් දුගති භවයට පමුණුවන්නාවූ ද ඒ ඒ භවයන්හි නාමස්කන්‍ධ හා රූපස්කන්‍ධ එකිනෙකට බැඳ තබන හෙයින්ද ව්‍යාපාදය කාය ග්‍රන්‍ථයක් වන්නේය. ව්‍යාපාද කාය ග්‍රන්ථයෙන් මිදෙනු කැමැති පුද්ගල තෙමේ මෛත්‍රී භාවනාදිය වඩා ධ්‍යාන උපදවා විෂ්කම්භණ වශයෙන් එය ප්‍රහීන කරන්නේය. සමථ විදර්‍ශනා වඩන්නාවූ පුද්ගලතෙමේ අනාගාමී මාර්‍ගය උපදවා සමුච්ඡෙද වශයෙන් ව්‍යාපාදය නසන්නේය.
  7. සීලබ්බත පරාමාස කාය ග්‍රන්‍ථය - මෝක්‍ෂ මාර්‍ගය යයි වරදවා පිළිගන්තාවූ පුද්ගලතෙමේ ගෝසීල, ගෝවෘත ආදී දුක් සහිතවූ නොයෙක් සීලවෘතයන්හි යෙදී වාසය කොට, මෙලොවදීත් දැඩි දුක් විඳ සසරෙහිම රැඳෙන්නේය. මොහුගේ මේ මිථ්‍යා දෘෂ්ටිය පවත්නා තාක් කල් නිර්‍වාණාවබෝධයක් නම් නොවන්නේය. විදසුන් වඩා සොවාන් මග නුවණින්ම මේ සීලබ්බත පරාමාස නම්වූ කාය ග්‍රන්ථය සමුච්ඡෙද වශයෙන් නැසිය යුතුවේ. චෛතසික ධර්‍මයන් අතුරෙන් මෙය දිට්ඨි චෛතසිකය නම් වේ.
  8. ඉදං සච්චාභි නිවෙස කාය ග්‍රන්‍ථය - මෙය සත්‍යය ය, අන්‍යවූ මාර්‍ගයෝ සත්‍ය නොවන්නාහ යනාදි වශයෙන් මිථ්‍යාභි නිවෙසය හෙවත් වරදවා ගත් දෘෂ්ටිය ඉදං සච්චාභිනිවෙසය නම් වේ. මේ මිථ්‍යා දෘෂ්ටිය කරණ කොට ගෙන ඒ ඒ භවයන්හි උපදවමින්, නාම රූපාදීන් එකිනෙකට බැඳ තබමින් සත්ත්‍වයා සසරෙහි ම රඳවා ගන්නා හෙයින් කාය ග්‍රන්ථයක් වන්නේය. ඉදං සච්චාභිනිවෙස කාය ග්‍රන්ථය සොවාන් මග නුවණින් සමුච්ඡෙද වශයෙන් ප්‍රහාණය වන්නේය.