අභිධර්මාර්ථ ප්‍රදීපිකා

යොග ධර්‍ම

ගව ආදි සිවුපාවුන් රථයෙහි යොදා බඳින්නාවූ රැහැනක් වැනි හෙයින්ද සංසාරගත සත්ත්‍වයා භව නමැති රථයෙහි යොදන හෙයින්ද; ආලම්බණයෙන් වියොගවීමක් වත්, දුකින් වියොගවීමක්වත් විය නො දෙන හෙයින්ද, යොග නම් වන්නේය.

යොග ධර්‍මයෝ සතර දෙනෙකි එනම්:-

  1. කාමයොග
  2. භවයොග
  3. දිට්ඨියොග
  4. අවිජ්ජායොග

කාමරාගය නම් වූ කාමයොගය ද, භවරාගය නම් වූ භවයොගය ද, මිථ්‍යා දෘෂ්ටිය නම් වූ දිට්ඨියොගය ද, අවිද්‍යාව නම් වූ අවිජ්ජායොගය ද යන සතර යොග ධර්‍මයන්ට අසු වූ සත්ත්‍වයන් භව යන්ත්‍රයෙහිම යොදවමින් සසරින් මිදිය නොහෙන පරිද්දෙන් බැඳ තබා දුක් පමුණුවන්නේය. එයින් මිදෙනු කැමැති පුද්ගලයන් විසින් දහම් ඉගෙන, මනා පිළිවෙතෙහි පිහිටා සමථ විදර්‍ශනා භාවනා වඩා නිවන් පතා දානාදි පින්කම් කොට මාර්ග උපදවා ඉතා දුකසේ සසරින් මිදීම කටයුතු වේ. මේ සතර යෝග ධර්මයන් අතුරෙන් දිට්ඨි යෝගය, සෝවාන් මග නුවණින්ද, කාමයෝගය, අනාගාමි මග නුවණින් ද, භවයෝගය හා අවිජ්ජායෝගය අර්හත් මග නුවණින්ද දුරු කට යුත්තේය.