අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය

කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා වශයෙන් ත්‍රිවිධවූ තෘෂ්ණාවගේම යම් අශේෂ විරාග නිරෝධයක් හෙවත් නිවණට පැමිණ, අරමුණුකොට, ඉතිරි නොවී ක්‍ෂයවීම් වශයෙන් පහ කිරිමක්, නිරුද්ධ කිරීමක් වේද, ත්‍යාගය හෙවත් තෘෂ්ණාව අනපෙක්‍ෂ භාවයෙන් අත්හරිනු ලැබේද, පටිනිස්සග්ගය හෙවත් නැවත නො පවත්නා පරිද්දෙන් දුරලීම් වශයෙන් බැහැර ලනු ලැබේද, මුක්තිය හෙවත් බන්‍ධන භූතවූ තෘෂ්ණාව කෙරෙන් මිදේද, නිදහස් වේද, අනාලය හෙවත් නිකාන්ති වශයෙන් නො ඇලේද, මෙය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය නම් වේ.

චක්ඛු, සොතාදී වූ සැට තැනෙක්හි, ප්‍රිය ස්වභාව වශයෙන්ද, සැප ස්වභාව වශයෙන්ද ගත් කල්හි යම් තෘෂ්ණාවක් උපදීද, යම් තෘෂ්ණාවක් පවතීද, ඒ සැට තැන්හිම, පහවනු ලබන්නාවූ මේ තෘෂ්ණාව පහ වේ. නැතිවනු ලබන්නාවූ මේ තෘෂ්ණාව නැති වේ. යම් රුකක්හුගේ මුල උපද්‍රව රහිතවූ කල්හි, තහවුරුවූ කල්හි ඒ වෘක්‍ෂය මතුභාගයෙහි සිඳිනලද්දේ වීනමුත් නැව තත් යම්සේ වැඬේද, එපරිද්දෙන් තෘෂ්ණා සඞ්ඛ්‍යාතවූ අනුසය ක්ලේශය, රහත්මග නුවණින් සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් දුරු නොකළ කල්හි ජාති ආදි ප්‍රභේදවත්වූ මේ දුක නැවත නැවත උපදී.

එහෙයින් දුක්ඛ නිරෝධය හෙවත් දුක් නැති කිරීම් දක්වා වදාරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුක් උපදවන හේතුව වූ තෘෂ්ණාව නැති කිරීමෙන් දුක්ඛ නිරෝධය වන බව දැක්වීම පිණිස තෘෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධාදී වශයෙන් දේශනාකරනලද බව දතයුතු.

තථාගතවූ බුදුවරයෝ සිංහයන් බඳු පැවතුම් ඇතියහ. සිංහ තෙමේ විදින්නාවූ වෙධකයා කෙරෙහි පිළිපදනේය. හීය කෙරෙහි නො පිළිපදනේය. බුදුවරයෝද දුක නැති කරන්නාහු, දුක් නැති කිරීමත් දක්වා වදාරන්නාහු හේතු වෙහි පිළිපදිති ඵලයෙහි නො පිළිපදිති. ශාසනයෙන් බාහිරවූ අන්‍ය ලබ්ධි ගත් තීර්‍ත්‍ථකයෝ වනාහි ශුනකයන් බඳු පැවතුම් ඇතියහ. ශුනක තෙමේ කැටගල්හි පිළිපදනේයි පහර දෙන්නහු කෙරෙහි නො පිළිපදනේයි. එමෙන්ම ඒ අන්‍ය තීර්‍ත්‍ථකයෝ දුක් නැති කරන්නාහු දුක් නැති කිරීමත් ගෙන ඇර දක්වන්නාහු, ආත්මක්ලමථානුයෝගයෙන්ද ඒ ආත්මක්ලමථානුයෝග සඞ්ඛ්‍යාත ඵලයම දේශනා කිරීමෙන්ද, ඵලයෙහි පිළිපදිති හේතුවෙහි නො පිළිපදිති.

දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය සඞ්ඛ්‍යාතවූ මේ නිර්‍වාණ ධර්‍මය එකම ධර්‍මයක් වූවද, ඒ නිර්‍වාණයාගේ පර්‍ය්‍යාය වචනයෝ සියළු සඞ්ඛත ධර්‍මයන්ගේ නාමයන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් අනේකප්‍රකාර වේ. එනම්; අසේසවිරාග නිරෝධය, චාගය, පටිනිස්සග්ගය, මුත්තිය, අනාලය, රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, තණ්හක්ඛය, අනුප්පාදය, අප්පවත්තය, අනිමිත්තය, අප්පණිහිතය, අනායූහනය, අප්පටිසන්‍ධිය, අනුප්පත්තිය, අගතිය, අජාතය, අජරය, අබ්‍යාධිය, අමතය, අසෝකය, අපරිදේවය, අනුපායාසය, අසංකිලිට්ඨය යනාදීහුය.

පුරුෂයෙක් කෙතෙහි හටගත් තිත්ත ලබු වැලක් දැක අග සිට මුල සොයා සිඳින්නේ නම් ඒ තිත්ත ලබු වැල පිළිවෙලින් මැලවී තිත්ත ලබු වැල ඇතැයි යන ව්‍යවහාරය නැතිවීමට යන්නීය. එසේ තිත්ත ලබු වැල ඇතැයි යන ව්‍යවහාරය නැතිවීමට ගිය කල්හි, ඒ කෙතෙහි තිත්ත ලබු වැල නිරුද්ධවූය, ප්‍රහීනවූය යන මේ වචනය යම්සේ කියනු ලබන්නේද, එපරිද්දෙන්ම තිත්ත ලබු වැල මෙන් චක්‍ෂුරාදීන්හි යම් තෘෂ්ණාවක් උපදීද ඒ තෘෂ්ණාව චතුර්විධ ආර්‍ය්‍ය මාර්‍ගයෙන් මුලින් සිඳින ලද්දී නිර්‍වාණය නිසා නොපැවැත්මට යේ. මෙබඳු ස්වභාවයට පැමිණියාවූ ඒ තෘෂ්ණාව වනාහි ඒ චක්‍ෂුරාදී වස්තූන්හි කෙතෙහි තිත්ත ලබු වැල නොපැණෙන්නාක් මෙන් නොපැණේ. මෙහි තිත්ත ලබු වැලගේ නොපැවැත්ම කැමති පුරුෂයා මෙන් ආර්‍ය්‍ය මාර්‍ගය දතයුතු. තිත්ත ලබු වැල නොපැවැත්මට නැඹුරු සිත් ඇති පුද්ගලයාගේ මුලින් සිඳීම මෙන් නිවන් අරමුණුකොට ඇති ඒ ඒ ආර්‍ය්‍ය මාර්‍ගයාගේ තෘෂ්ණා ප්‍රහානය දතයුතු. ඒ තිත්ත ලබු වැලගේ නොපැවැත්ම මෙන් තෘෂ්ණාවගේ අප්‍රවෘත්තිභූතවූ නිර්‍වාණය දතයුතු.

තවද, වනයෙහි සැඟවී සිටි සොරුන් අල්වාගෙනවුත් නගරයාගේ දකුණු වාසල් දොරෙහි සිටුවා නසන්නාහුය. එසේ නැසීමෙන් පසු වනයෙහි සොරු මළහයි කියා හෝ මරවන ලදහයි කියා හෝ කියනු ලබන්නාහුය එපරිද්දෙන්ම, වනයෙහි සොරුන් මෙන් චක්‍ෂුරාදි වස්තූන්හි හටගත්තාවූ යම් තෘෂ්ණාවක් ඇද්ද, ඒ තෘෂ්ණාව දකුණු වාසල් දොරෙහි මළාවූ සොරුන් මෙන් නිර්‍වාණයට පැමිණ, නිවණ අරමුණු කොට නිරුද්ධව ගිය බැවින් නිර්‍වාණයෙහි නිරුද්ධ වූවාය. මෙපරිද්දෙන් නිරුද්ධවූ තෘෂ්ණාව වනාහි ඒ චක්‍ෂුරාදි වස්තූන්හිම තෘෂ්ණාවගේ නිරෝධය වන බව දක්වා වදාරන ලදී.