අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දුක්ඛ නිරෝධගාමිණි ප්‍රතිපදා

ආර්‍ය්‍ය සත්‍යය

අඞ්ග අටකින් යුත් මේ එකම ආර්‍ය්‍ය මාර්‍ගය, දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය නම් වේ. ඒ අඞ්ග අට නම්:

  1. සම්මා දිට්ඨි
  2. සම්මා සඞ්කප්ප
  3. සම්මා වාචා
  4. සම්මා කම්මන්ත
  5. සම්මා ආජීව
  6. සම්මා වායාම
  7. සම්මා සති
  8. සම්මා සමාධි

මෙයටම මධ්‍යම ප්‍රතිපදා යයිද; ආර්‍ය්‍ය මාර්‍ග යයිද, මාර්‍ග සත්‍යය යයිද කියනු ලැබේ. සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්‍හත් යන සතර මාර්‍ගයන් විසින් ප්‍රහීණ කටයුතුවූ කෙලෙශ යන් කෙරෙන් දුරුවන බැවින්ද, පුද්ගලයාගේ ආර්‍ය්‍ය භාවය සිද්ධ කරන බැවින්ද, ආර්‍ය්‍ය ඵලය ලබාදෙන බැවින්ද මේ මාර්‍ගාඞ්ගයෝ අට දෙනාම ආර්‍ය්‍ය මාර්‍ගාඞ්ගයෝ යයි කියනු ලැබේ. එහෙයින් අඩුත් නොවූ වැඩිත් නොවූ අඞ්ග අටකින්ම යුත් මේ මාර්‍ගයට ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යයි ව්‍යවහාර කරන බව දතයුතු. නිවන් කැමැති පුද්ගලයන් විසින් යම් ධර්‍මයක් සොයනු ලැබේද, නොහොත් නිර්‍වාණය සොයාද, නොහොත් කෙලෙසුන් නසමින් නිවණට යේද, එහෙයින් ඒ ධර්‍මය තෙම මාර්‍ගය නම් වේ. මේ අඞ්ග හෙවත් අවයවයන් ගෙන් විනිර්මුක්තවූ නිර්‍වාණ මාර්‍ගයක් නම් නැත්තේය

ලක්‍ෂණ වශයෙන් වනාහි මේ මාර්‍ගාඞ්ග අටදෙනා අතුරෙන්:

සම්මාදිට්ඨිය - සම්මාදස්සන ලක්‍ෂණ හෙවත් ඇති සැටි දැකීම් ලක්‍ෂණ ඇත්තීය.

සම්මාසඞ්කප්පය - අභිනිරොපන ලක්‍ෂණ හෙවත් මොනවට අරමුණු කරා නගන ලක්‍ෂණ ඇත්තීය.

සම්මා වාචා - සම්මා පරිග්ගහ ලක්‍ෂණ හෙවත් තමා අයත් කළ දනන්ද, සම්ප්‍රයුක්ත ධර්මයන්ද මොනවට තමා අයත් කොට ගන්නා ලක්‍ෂණ ඇත්තීය.

සම්මා කම්මන්තය - සම්මා සමුට්ඨාපන ලක්‍ෂණ හෙවත් සහජාත ධර්මයන් මොනවට නිපදවීම් ලක්‍ෂණ ඇත්තීය.

සම්මා ආජීවය - සම්මා වොදාපන ලක්‍ෂණය හෙවත් කාය වාගේ කර්මාදීන් මොනවට පිරිසිදු කරවන ලක්‍ෂණ ඇත්තේය.

සම්මා වායාමය - සම්මා පග්ගහ ලක්‍ෂණ හෙවත් සම්ප්‍රයුක්ත ධර්මයන්ට මොනවට අනුබල දීම් ලක්‍ෂණ ඇත්තේය.

සම්මා සතිය - සම්මා උපට්ඨාන ලක්‍ෂණ හෙවත් අරමුණ මොනවට වැටහීම් ලක්‍ෂණ ඇත්තීය.

සම්මා සමාධිය - සම්මා සමාධාන ලක්‍ෂණ හෙවත් අර මුණෙහි මොනවට පිහිටීම් ලක්‍ෂණ ඇත්තීය.

කෘත්‍ය වශයෙන් වනාහි ඒ සම්මාදිට්ඨි ආදීවූ මාර්ගාඞ්ගයන් අට දෙනා අතුරෙන් එක් එක් මාර්ගාඞ්ගයක්හුගේ කෘත්‍යයෝ තුන් තුන් දෙන බැගින් වෙති.

සම්මා දිට්ඨිය - 1. තමහට ප්‍රතිපක්‍ෂවූ කෙලෙසුන් සමඟ මිථ්‍යා දෘෂ්ටිය දුරු කෙරෙයි.

  1. නිර්‍වාණය අරමුණ වූවක් කෙරෙයි.
  2. තමා හා සම්ප්‍රයුක්ත ධර්මයන්ද නිවන් මුවහ කරන මුළාව පහකිරීම් හේතුවෙන් නුමුළා වශයෙන් දකී.

සම්‍යක් සඞ්කල්පාදීහුද එසේම තම තමන්ට ප්‍රතිපක්‍ෂවූ ක්ලේශයන් හා සමග මිථ්‍යා සඞ්කල්පාදීන්ද දුරු කෙරෙත්. නිර්‍වාණයත් අරමුණු වූවක්හු කෙරෙත්. විශේෂ වශයෙන් වනාහි සම්‍යක් සඞ්කල්පය සහජාත ධර්‍මයන් අරමුණට මොනවට නගයි සම්‍යග් වාග් විරතිය මනාකොට තමා අයත් කොට ගන්නීය. සම්‍යක් කර්‍මාන්තය මනාකොට නිෂ්පාදනය කෙරෙයි. සම්‍යක් ආජීව විරතිය මනාකොට පිරිසිදු කරවයි. සම්‍යක් ව්‍යායාමය මනාකොට අනුබල දීම කෙරෙයි. සම්‍යක් ස්මෘතිය මනාකොට වටහාගනී. සම්‍යක් සමාධිය මනාකොට පිහිටීම කෙරෙයි.

එසේම මේ සම්‍යග් දෘෂ්ටිය ආර්‍ය්‍ය මාර්‍ගයට පූර්‍වවූ කාලයෙහි නොයෙක් චිත්තක්‍ෂණයන්හි නොයෙක් අරමුණු ඇත්තී වේ. මාර්‍ග සිත උපන් ඇසිල්ලෙහි එකම චිත්තක්‍ෂණයෙහි එකම අරමුණක් ඇත්තී වේ. මේ මාර්‍ග ඥානය දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනීම සමුදය සත්‍යය පහකිරීම, නිරෝධ සත්‍යය සාක්‍ෂාත් කිරීම, මාර්‍ග සත්‍යය වැඩීම යනාදි වශයෙන් චතුර්විධ කෘත්‍යයන් සිද්ධ කරන හෙයින් දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරෝධෙ ඤාණං, දුක්ඛ නිරෝධගාමිනි පටිපදාය ඤාණං යන චතුර්විධ නාමයන් ලබයි. සම්‍යක් සඞ්කල්පාදීහුද ආර්‍ය්‍ය මාර්‍ගයට පූර්‍වවූ කාලයෙහි නොයෙක් චිත්තක්‍ෂණයන්හි, නොයෙක් අරමුණු ඇත්තාහු වෙත්. මාර්‍ග චිත්තය උපන් ඇසිල්ලෙහි එකම චිත්තක්‍ෂණයෙහි එකම අරමුණක් ඇත්තාහු වෙත්.

මේ මාර්‍ගාඞ්ගයන් අතුරෙන් සම්‍යග් සඞ්කල්පය කෘත්‍ය වශයෙන් කාම සඞ්කල්ප, ව්‍යාපාද සඞ්කල්ප, විහිංසා සඞ්කල්පාදීන් ප්‍රහාණය කරන හෙයින් නෙක්ඛම්ම සඞ්කප්ප, අව්‍යාපාද සඞ්කප්ප, අවිහිංසා සඞ්කප්ප යන ත්‍රිවිධ නාමයන් ලබයි.

සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්‍ගාඞ්ගයෝ තිදෙන ආර්‍ය්‍යමාර්‍ගයට පූර්‍වවූ කාලයෙහි නොයෙක් චිත්තක්‍ෂණයන්හි නොයෙක් අරමුණු ඇත්තාහු වෙත්. එසේම විරතීහුද වෙත්. චේතනාවෝද වෙත්. එසේ නමුදු මාර්ග චිත්තය උපන් ඇසිල්ලෙහි විරතීහුම වෙත්. බොරුකීම් ආදියෙන් වළක්නා කල්හි විරතිහු වෙත්. සුභාෂිතාදී වූ බස් බිණීම් ආදි කල්හි චේතනාවෝ වෙත්. මාර්ගක්‍ෂණයෙහි මාර්ග භාවයෙන් විරතිහුම වෙත්. මාර්ගක්‍ෂණයෙහි වූ චේතනාවගේ සම්‍යග් වචන, සම්‍යග් කර්මාන්ත, සම්‍යග් ආජීව යන කෘත්‍යයන් සම්පාදනය කරන ස්වභාවයක් නැති බැවින්ද, චේතනාවගේ සම්‍යග් වචනාදී භාවය සිද්ධ නොවන හෙයින්ද, එසේ සිද්ධ බවක් ඇති කල්හිත් ඒ ත්‍රිවිධ අඞ්ග භාවයම සිද්ධ නොවන හෙයින්ද චේතනාවගේ සම්‍යග් වචනාදී භාවයක් නැතැයි දක්වන ලදී.

සම්මා වායාමය, සතර සම්‍යග් ප්‍රධන් වීර්‍ය්‍යයන්ගේ වශයෙන් සතර කෘත්‍යයන් සිද්ධ කරන බැවින් ඒ සතර නාමයම ලබන්නේය.

සම්මා සතියද සතර සතිපට්ඨානයන්ගේ වශයෙන් සතර කෘත්‍යයක් සිද්ධකරන හෙයින් ඒ සතර නාමයන්ම ලබයි.

සම්මා සමාධිය වනාහි මාර්ගයාගේ පූර්‍වභාගයෙහිද, මාර්ගක්‍ෂණයෙහිද සම්‍යග් සමාධිය වේමැයි. සමාධියට උපකාර වූ අරමුණට නැගීම් ආදි වශයෙන් කෘත්‍ය ඇති විතර්‍ක විචාර, ප්‍රීති, සුඛ, උපෙක්ඛා වශයෙන් ධ්‍යාන සතරකින් සම්‍යග් සමාධි තෙම බෙදුනේවී නමුත්. ව්‍යායාමය, නූපන් අකුසල් නො ඉපිදවීම් ආදී සතර වීර්‍ය්‍යයන් සිදුකරන්නාසේ, ස්මෘතිය, අසුභවූ, අසුඛවූ, අනිත්‍යවූ අනාත්මවූ කාය වෙදනා චිත්ත ධර්‍මයන්හි සුභ, සුඛ, නිත්‍ය ආත්ම සංඥාවන් පහකිරීමයයි කියනලද සතර සීවටන් කිස සිදුකරන්නාසේ සමාධිය ධ්‍යාන චතුස්කයාගේ සමාධාන කෘත්‍ය සිද්ධ නොකෙරේ. එහෙයින් මාර්ගයට පූර්‍වභාගයෙහි ප්‍රථමධ්‍යාන සමාධි චිත්තයෙහිවූ. සමාධිය ප්‍රථමධ්‍යාන සමාධිය වේමය, මාර්‍ගක්‍ෂණයෙහිද ප්‍රථමධ්‍යාන සමාධි චිත්තයෙහිවූ සමාධිය ප්‍රථමධ්‍යාන සමාධිය වේමය. පූර්‍ව භාගයෙහි ද්විතීය, තෘතීය, චතුර්‍ථ ධ්‍යානසමාධින්හිද මාර්ගක්‍ෂණයෙහිද මේ අනුසාරයෙන්ම දතයුතු.

අටවැදෑරුම්වූ මේ මාර්ගාඞ්ග ධර්‍මයන් අතුරෙහි, භාග්‍ය වතුන් වහන්සේ විසින්, නිවන් පසක් කිරීම පිණිස පිළිපන් යොගාවචර පුද්ගලයා හට බොහෝවූ උපකාර ඇති බැවින් පළමුකොට සම්‍යග් දෘෂ්ටිය වදාරන ලදී. මේ සම්මාදිට්ඨියට ප්‍රඥාපජ්ජොතය, ප්‍රඥා ශස්ත්‍රය කියාද වදාරණ ලදී. එහෙයින් මාර්‍ගයට පූර්‍වභාගයෙහි විදර්‍ශනා ඥානය යයි කියන ලද මේ සම්‍යග් දෘෂ්ටිය කරණකොට ගෙන අවිද්‍යාන්‍ධකාරය හෙවත් මොහය නසා, කෙලෙස් සොරුන්ද විනාශ කරමින්, කෙලෙස් බිය නැති හෙයින් නිර්‍භයව, යොගාවචර පුද්ගලතෙම නිවණට පැමිණේ. එහෙයින් නිවන් පසක් කිරීම පිණිස පිළිපන් යොගාවචර පුද්ගලයා හට බොහෝවූ උපකාර ඇති බැවින් පළමුකොට සම්මාදිට්ඨිය වදාරන ලදැයි දතයුතු.

සම්මා සඞ්කල්පය වනාහි යම්හෙයකින් ඒ සම්‍යග් දෘෂ්ටියට බොහෝවූ උපකාර ඇත්තේද, එහෙයින් සම්මාදිට්ඨියට අනතුරුව සම්මාසඞ්කල්පය වදාරන ලදී. රන් කරුවෙක් කහවණුවක් අතින් ගෙන පෙරළ පෙරළා ඇසින් බලා මේ කහවණුව සැබෑ කහවණුවෙක, මේ කහවණුව බොරු කහවණුවෙක යනාදි වශයෙන් දැනගන්නාක් මෙන්, යොගාවචර තෙමේද මාර්‍ගයට පූර්‍වභාගයෙහි විතර්‍කය කරණ කොටගෙන කල්පනාකොට විදර්‍ශනා ඥානයෙන් බලන්නේ මේ ධර්‍මයෝ කාමාවචරය, මේ ධර්‍මයෝ රූපාවචරය යනාදී වශයෙන් දනී.

එමෙන්ම පුරුෂයෙකු විසින් කෙළවර අල්වාගෙන පෙරළ පෙරළා දෙනලද මහරුක, වඩු තෙම වෑයෙන් සැස කැමැතිවූ කටයුත්තෙහි එළවන්නාක් මෙන් විතර්‍කයා විසින් කල්පනා කොට අරමුණට නංවා දෙනලද ධර්‍මයන් යෝගාවචර පුද්ගල තෙම විදර්‍ශනා ඥානයෙන් මේ ධර්‍මයෝ කාමාවචරය යනාදී වශයෙන් පිරිසිඳ දැන විදර්‍ශනා භාවනා කර්‍මයෙහි යෙදෙන්නේය.

සම්‍යග් සඞ්කල්පය, යම්සේ සම්‍යග්දෘෂ්ටියට උපකාර වේද, එපරිද්දෙන්ම සම්‍යග් වචනයටද උපකාර ඇත්තේ වේ. පළමුව කල්පනා කොට, පරීක්‍ෂා කොට පසුව වාග් භෙදය කරන හෙයින් සම්මා සඞ්කප්පයට අනතුරුව සම්‍යග් වචනය වදාරන ලදී. එමෙන්ම යම්හෙයකින් මෙනම් මෙනම් කටයුත්ත කරන්නෙමුයයි පළමුකොට වචනයෙන් නියමකොට ගෙන කර්‍මාන්තයන්හි යෙදෙද්ද, එහෙයින් සම්‍යග් වචනය සංඛ්‍යාත වූ විරතිය කායික ක්‍රියා සංවිධායක වූ සම්‍යග් කර්‍මාන්තයට බොහෝවූ උපකාර ඇත්තීය. එහෙයින් සම්‍යග් වචනයට අනතුරුව සම්‍යග් කර්‍මාන්තය වදාරන ලදී.

චතුර්විධවූ වාග්දුශ්චරිතයන් හා ත්‍රිවිධවූ කාය දුශ්චරිතයන් දුරු කරමින් විප්‍රකාරවූ වාග් සුචරිතයන් පුරන්නා හටම යම් හෙයකින් ආජීවට්ඨමක ශීලය හෙවත් ආජීවය අටවැනි කොට ඇති ශීලය සම්පූර්‍ණ වේද, වාග් සුචරිත කාය සුචරිත නොපුරන්නාහට එය සම්පූර්‍ණ නොවේද, එහෙයින් සම්මා වාචා, සම්මා කම්මන්ත යන අඞ්ග දෙකට අනතුරුව සම්මා ආජීවය වදාරන ලදී.

මෙපරිද්දෙන් පිරිසිදුවූ ආජීවය ඇති පුද්ගලයා විසින් මේ මාගේ ආජීවය දැන් පිරිසිදු වීය, මෙපමණකින් මා සතුටු නොවිය යුතුය, නිදා සිටින්නෙකු මෙන්ද පමාවන්නකු මෙන්ද වාසය කිරීම නුසුදුසුය, ඒකාන්තයෙන්ම සතර ඉරියව් වෙහිම වීර්‍ය්‍ය කටයුතුයයි මෙනෙහි කොට සතර සම්‍යග් ප්‍රධන් වීර්‍ය්‍ය ආරම්භ කරන්නේය. එහෙයින් සම්මා ආජීවයට අනතුරුව සම්මා වායාමය වදාළ සේක.

මෙසේ පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇති පුද්ගලයා විසින් රූපකය මුල් කොට ඇති සතර වස්තූන්හි හෙවත් චතුර්විධ නිශ්‍රයස්ථානයන්හි ස්මෘති මනා කොට පිහිටුවා ගතයුතු බව දැක්වීම පිණිස සම්මා වායාමයට අනතුරුව සම්මා සතිය වදාරන ලදී.

යම්හෙයකින් සම්මා සතියෙහි වශයෙන් මනාකොට පිහිටුවාගත් සිහි ඇති පුද්ගලයා විසින් සමාධියට උපකාරවූද උපකාර නොවූද ධර්‍මයන් මනාකොට සළකා එකම අර මුණෙක්හි නොහොත් නිර්‍වාණාලම්බනයෙහි සිත පිහිටුවා ගැනීමට පොහොසත් වන හෙයින් සම්මා සතියට අනතුරුව සම්මා සමාධිය වදාරන ලදී.

මෙසේ සම්මාදිට්ඨිය ආදිකොට ඇති මාර්‍ගාඞ්ගයෝ අටදෙනා මේ පිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකොට වදාරනලද බව දතයුතු.

සම්මා දිට්ඨිය දක්වා වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරොධගාමිණි පටිපදාය ඤාණං යනාදි වශයෙන් සිවුසස් පිළිබඳ ඤාණය සම්මා දිට්ඨිය යයි දක්වන ලද්දීය. ඒ චතුස්සත්‍යයන් අතුරෙන් දුක්ඛ සමුදය යන පළමු සත්‍යයෝ දෙදෙන වට්ට හෙවත් වෘත්ත සඞ්ඛ්‍යාත ලෞකික ධර්‍මයෝ වෙත්. පැසුළුවූ නිරොධ මාර්‍ග සත්‍යයෝ දෙදෙන විවට්ට හෙවත් විවෘත්ත සඞ්ඛ්‍යාත ලොකොත්තර ධර්මයෝ වෙත්. මේ වට්ට විවට්ට යයි කියනලද ලෞකික ලොකොත්තර ධර්මයන් අතුරෙන් වට්ටයයි කියනලද ලෞකික ධර්මයන් විෂයෙහි භික්‍ෂුවගේ කර්මස්ථානාභිනිවේශය හෙවත් කර්මස්ථානයට ප්‍රවේශය වන්නේය. විවට්ට නම් ලද ලොකොත්තර ධර්මයන් විෂයෙහි කර්මස්ථානාභිනිවේශයක් නැත. දුක්ඛ සමුදය සත්‍යයන් අතුරෙන් පඤ්චස්කන්‍ධයෝ දුක්ඛ සත්‍යය යයිද, තෘෂ්ණාව සමුදය සත්‍යය යයිද, මෙසේ සංක්‍ෂෙප වශයෙන්ද, විස්තර වශයෙන්ද ආවාර්‍ය්‍යයන් වහන්සේ වෙතින් උගෙන නැවත නැවත වාචොද්ගත කරන්නාවූ යොගාවචර පුද්ගලතෙම භාවනා කර්මය හෙවත් කමටහන වැඩීම කෙරෙයි. නිරොධ, මාර්‍ග සත්‍යයන් දෙදෙනා අතුරෙන් නිරොධ සත්‍යය ඉෂ්ටය, කාන්තය, මනාපය. මාර්‍ග සත්‍යයද ඉෂ්ටය, කාන්තය මනාපය කියා ඇසීමෙන්ම භාවනා කර්මය කෙරෙයි. හෙතෙම මෙපරිද්දෙන් අර්‍ථ උගෙනීමෙන්, අර්‍ථ ඇසීමෙන් කමටහන් වඩන්නේ චතුස්සත්‍යයන් එක් ප්‍රතිවෙධඥානයකින් ප්‍රතිවෙධයකෙරෙයි. එක් අභිසමය ඥානයකින් අභිසමය හෙවත් විශිෂ්ටාවබෝධය කෙරෙයි. දුක්ඛ සත්‍යය පිරිසිඳීම් වශයෙන් ප්‍රතිවෙධ ඥානයෙන් ප්‍රතිවෙධය කෙරෙයි. සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම් වශයෙන් ප්‍රතිවෙධ ඥානයෙන් ප්‍රතිවෙධය කෙරෙයි. නිරොධ සත්‍යය සාක්‍ෂාත් කිරීම් වශයෙන් ප්‍රතිවෙධ ඥානයෙන් ප්‍රතිවෙධය කෙරෙයි. මාර්‍ග සත්‍යය භාවනා හෙවත් වැඩීම් වශයෙන් ප්‍රතිවෙධ ඥානයෙන් ප්‍රතිවෙධ කෙරෙයි. එසේම දුක්ඛ සත්‍යය පිරිසිඳීම් වශයෙන් පැවති අභිසමය ඥානයෙන් අභිසමය හෙවත් මනාකොට අවබෝධය කෙරෙයි. සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම් වශයෙන් පැවති අභිසමය ඥානයෙන් මනාකොට අවබෝධය කෙරෙයි. නිරොධ සත්‍යය පසක් කිරීම් වශයෙන් පැවති අභිසමය ඥානයෙන් මනාකොට අවබෝධය කෙරෙයි. මාර්‍ගසත්‍යය වැඩීම් වශයෙන් පැවති අභිසමය ඥානයෙන් මනාකොට අවබෝධය කෙරෙයි. මෙසේ ඒ භික්‍ෂුවගේ පූර්‍වභාග ප්‍රතිපදා සමයෙහි හෙවත් මාර්‍ගයෙන් පූර්‍වකාලයෙහි දුක්ඛ සමුදය යන උභය සත්‍යයන්හි උගෙනීමය, පිළිවිසීමය, ඇසීමය, දැරීමය, විමසීම යයි කියනලද ප්‍රතිවෙධ ඥානය වේ. නිරොධ මාර්‍ග යන උභය සත්‍යයන්හි ශ්‍රවණය කිරීම් වශයෙන්ම ප්‍රතිවෙධය වේ. මාර්‍ග චිත්තයාගේ උත්පාදක්‍ෂණ යෙහිදී වනාහි දුක්ඛ, සමුදය, මාර්‍ග යන ත්‍රිවිධ සත්‍යයන්හි පරිඥා, ප්‍රහාන, භාවනා කෘත්‍ය වශයෙන් ප්‍රතිවෙධය වේ. නිරොධ සත්‍යයෙහි අරමුණු කිරීම් වශයෙන් ප්‍රතිවෙධය වේ.

දුක්ඛ සත්‍යය තෙම උත්පත්ති වශයෙන් ප්‍රකටය. සමුදය සත්‍යයද කනු කැමැති බව බුදිනු කැමති බව යන මේ ආදීන්ගේ වශයෙන් උපදනා හෙයින් ප්‍රකටය නමුත් ලක්‍ෂණ ප්‍රතිවෙධ වශයෙන් දුක්ඛ සමුදය සත්‍යයන් දෙදෙනම ගම්භීරය නිරොධ මාර්‍ග යන උභය සත්‍යයන්ගේ දැක්ම පිණිස කරනු ලබන ප්‍රයත්නය. භවාග්‍රය හෙවත් නේවසඤ්ඤා නාසඤ්ඤායතන තලය ගැනීම පිණිස අත දිගු කිරීම මෙන්ද, අවිචි නිරය පහස්නා පිණිස පා දිගු කිරීම මෙන්ද, සියක්වර පැළූ අස්ලොමක්හුගේ කෙළවරින් කෙළවර ගැළපීම මෙන්ද වේ. එහෙයින් ඒ නිරොධ මාර්‍ග සත්‍ය දෙදෙන දක්නට අති දුෂ්කරයහ මෙසේ දක්නට දුෂ්කරවූ ගැඹුරුවූ චතුස්සත්‍යයන්හි ඉගෙනීම් පිළිවිසීම ආදි වශයෙන් පූර්‍වභාග ප්‍රතිපදා සමයෙහි චතුස්සත්‍ය ඥානයාගේ උත්පත්තිය ඇතිවන බැවින් “දුක්ඛෙඤාණං” ආදි වශයෙන් වදාරන ලදි. ප්‍රතිවෙධක්‍ෂණයෙහි හෙවත් මාර්‍ගක්‍ෂණයෙහි එකම මාර්‍ග ඥානයම වේ.

සම්මා සඞ්කප්පය වනාහි නෙක්ඛම්ම සඞ්කප්ප, අව්‍ය- පාද සඞ්කප්ප, අවිහිංසා සඞ්කප්ප වශයෙන් ත්‍රිවිධ වේ. කාමකොට්ඨාසයන් කෙරෙන් යම් විතර්‍කයෙක් නික්ම ගියේද, ඒ විතර්‍කය නෙක්ඛම්ම සඞ්කප්ප හෙවත් නෛෂ්ක්‍රම්‍ය සඞ්කප්පය නම් වේ. ද්වේෂයා කෙරෙන් යම් විතර්‍කයක් නික්ම ගියේද, ඒ විතර්‍කය අව්‍යාපාදසඞ්කප්ප නම් වේ. විහිංසා හෙවත් සත්ත්‍ව හිංසාවෙන් යම් විතර්‍කයක් නික්ම ගියේද ඒ විතර්‍කය අවිහිංසා සඞ්කප්ප නම් වේ. මේ ත්‍රිවිධ විතර්‍කයන් අතුරෙන් නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය, කාම විතර්‍කයාගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයක්ව කාම විතර්‍කයාගේ උත්පත්ති හේතු විනාශය කෙරෙමින් උපදී. අව්‍යාපාද විතර්‍කය ව්‍යාපාද විතර්‍කයාගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයක්ව ව්‍යාපාද විතර්‍කයාගේ උත්පත්ති හේතූන් විනාශය කෙරෙමින් උපදී. අවිහිංසා විතර්‍කය, විහිංසා විතර්‍කයාගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයෙක්ව විහිංසා විතර්‍කයාගේ උත්පත්ති හේතූන් විනාශය කෙරෙමින් උපදී.

කාම විතර්‍කයාගේ උත්පත්ති හේතු විනාශය පිණිස කාම විතර්‍කය හෝ අන්කිසි සංස්කාර ධර්‍මයක් හෝ සම්මර්‍ශනය කරන කාලයෙහි ඒ යෝගාවචර පුද්ගලයාගේ විදර්‍ශනා වඩන කෙණෙහි ඒ විදර්‍ශනා ජවන් සිත් සමග යෙදුනාවූ විතර්‍කය තදඞ්ග ප්‍රහාන වශයෙන් කාමවිතර්‍කයාගේ උත්පත්ති හේතු විනාශය කෙරෙමින් උපදී. විදර්‍ශනාව සම්පූර්‍ණවී කෙලෙස් සංසිඳුනු කල්හි සොවාන් ආදි ආර්‍ය්‍ය මාර්‍ගයට පැමිණීමේදී ඒ මාර්‍ග චිත්තය හා යෙදුනාවූ විතර්‍කය තෙම සමුච්ඡේද ප්‍රහාන වශයෙන් කාම විතර්‍කයාගේ උත්පත්ති හේතු විනාශය කෙරෙමින් උපදී. එපරිද්දෙන්ම ව්‍යාපාද විතර්‍කයාගේද විහිංසා විතර්‍කයාගේද උත්පත්ති හේතු විනාශය පිණිස ව්‍යාපාද විතර්‍කය හෝ විහිංසා විතර්‍කය හෝ අන්කිසි සංස්කාර ධර්‍මයක් හෝ සම්මර්‍ශනය කරන කල්හි විදර්‍ශනා ජවන් සිත්හි යෙදුන විතර්‍කය ඒ ව්‍යාපාද විහිංසා විතර්‍කයන් තදඞ්ග ප්‍රහාන වශයෙන්ද මාර්‍ගක්‍ෂණයේදී සමුච්ඡේද ප්‍රහාන වශයෙන්ද ව්‍යාපාද විහිංසා විතර්‍කයන්ගේ උත්පත්ති හේතු විනාශය කෙරෙමින් උපදින්.

කර්‍මස්ථාන භාවනානුයෝගි පුද්ගල තෙමේ අසුභ කර්‍මස්ථාන වඩා ප්‍රථම ධ්‍යානයට සමවන් කල්හි ඒ ප්‍රථම ධ්‍යාන චිත්තය හා යෙදුනාවූ විතර්‍කය තෙම කාම විතර්‍කයාගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයෙක්ව ඉපිද විෂ්කම්භන ප්‍රහාන වශයෙන් කාම විතර්‍කය නසයි. ධ්‍යානය පාදක කොටගෙන විදර්‍ශනා වඩනා කෙණෙහි විදසුන් ජවන් සිත් සමඟ යෙදුනාවූ විතර්‍කය තෙම තදඞ්ග ප්‍රහාන වශයෙන් කාම විතර්‍කයාගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයෙක් වී උපදී. විදර්‍ශනාව මුදුන් පැමිණ කෙලෙසුන් සංසිඳුනු කල්හි සෝවාන් ආදිවූ මාර්‍ග චිත්තය උපදී. ඒ මාර්‍ගක්‍ෂණයේදී මාර්‍ග සිත හා යෙදුනාවූ විතර්‍කය තෙම සමුච්ඡේද ප්‍රහාන වශයෙන් කාම විතර්‍කයාගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයෙක්වී උපදී. මෙය නෙක්ඛම්ම සඞ්කප්ප යයි කියනු ලැබේ. මෙසේම මෛත්‍රී බ්‍රහ්ම විහාර කර්‍මස්ථානයෙහි පැවැති තෘතීය චතුර්ථධ්‍යානයෝ ව්‍යාපාද විතර්‍කයාගේ ප්‍රතිපක්‍ෂයෝය කරුණා බ්‍රහ්ම විහාර කර්‍මස්ථානයෙහි පැවති තෘතීය චතුර්ථධ්‍යානයෝ විහිංසා විතර්‍කයාගේ ප්‍රතිපක්‍ෂයෝය. මෙසේ මෛත්‍රී කරුණා බ්‍රහ්ම විහාර කර්‍මස්ථාන භාවනා කොට ධ්‍යාන උපදවා ඒ ධ්‍යානයන් පාදක කොට ගෙන විදසුන් වඩා මාර්‍ග චිත්තය උපදවන කල්හි යටකී නයින් අව්‍යාපාද සඞ්කප්ප, අවිහිංසා සඞ්කප්ප යන් උපදනා බව දතයුතු. පුර්‍වභාග ප්‍රතිපදා සමයෙහිදී වෙන් වෙන්ව උපදනා මේ විතර්‍කයෝ මාර්‍ගක්‍ෂණයේදී එක්ව ඉපිද සම්මා සඞ්කප්ප යන නාමය ලබයි.

සම්මාවාචා යනු සතර වාග් දුශ්චරිතයන්ගෙන් වැළකීමය. මුසාවාද, පිසුණාවාච, පරුසාවාච, සම්ඵප්පලාප යන මේ සතර දුශ්චරිතයන්ගෙන් වෙන්වීම පූර්‍වභාග ප්‍රතිපදා සමයෙහිදී වෙන් වෙන්වූ සිත්වලින්ම සිදුවන හෙයින් භින්නයහ මාර්‍ගක්‍ෂණයෙහිදී වනාහි මිථ්‍යා වචනයයි කියන ලද සිව්වැදෑරුම්වූ, අකුසලවූ, දුශ්ශීල භාව සඞ්ඛ්‍යාත චේතනාවගේ උත්පත්ති හේතුව සිඳින හෙයින් අපුනරුත්පත්තිය සිදු කිරීම වශයෙන් මාර්‍ගාඞ්ගය සම්පූර්‍ණ කරමින් අභින්නව සම්‍යග්වචනය යයි කියන ලද කුසල චිත්ත සම්ප්‍රයුක්ත විරතිය උපදී. මේ විරතිය සම්මා වාචා නම්.

ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගෙන් වැළකීම සම්මාකම්මන්ත නම්. ආර්‍ය්‍ය මාර්‍ගයාගේ පූර්‍ව කාලයෙහි පාණාතිපාතයෙන් හෙවත් සත්ත්‍වඝාතනයෙන් වැළකීම, අදත්තාදානයෙන් හෙවත් අනුන් අයත් දෑ සොරා ගැන්මෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම යන මේ ත්‍රිවිධ විරතීන් වෙන් වෙන්වූ සිත්වලින්ම සිදුවන හෙයින් භින්නයහ. මාර්‍ගක්‍ෂණයෙහි වනාහි මිථ්‍යාකර්‍මාන්තය යයි කියන ලද ත්‍රිවිධ වූ අකුසලවූ දුශ්ශීලභාව සඞ්ඛ්‍යාත චේතනාවගේ උත්පත්ති හේතුව සිඳින හෙයින් අපුනරුත්පත්තිය සිදුකිරීම වශයෙන් මාර්‍ගාඞ්ගය සම්පූර්‍ණ කරමින් අභින්නව සම්‍යග් කර්‍මාන්තයයි කියන ලද කුසල චිත්ත සම්ප්‍රයුක්ත විරතිය උපදී. මේ විරතිය සම්මාකම්මන්ත නම්,

මේ ශාසනයෙහි කල්‍යාණ පෘථග්ජන පුද්ගලයා සහිතවූ සප්ත ශෛක්‍ෂ පුද්ගල සඞ්ඛ්‍යාතවූ බුද්ධ ශ්‍රාවක තෙම ලාමකවූ දිවි පැවැත්ම හැර බුදුන් විසින් පසස්නා ලද්දාවූ නිරවද්‍යවු ජීවිකාවෙන් දිවිපැවැත්ම කෙරෙයි. මොහුගේ දිවි පැවැත්ම කරණු කොට ඇති ප්‍රාණඝාතාදිවූ ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් වැළකීමය, දිවිපැවැත්ම කරණුකොට ඇති චතුර්විධ වාග් දුශ්චරිතයෙන් වැළකීමය යන මෙය ආර්‍ය්‍ය මාර්‍ගයට පූර්‍ව කාලයෙහි වෙන්වෙන්වූ සිත්වලින්ම හෙවත් නානාක්‍ෂණිකව උපදී. මාර්‍ගක්‍ෂණයෙහි වනාහි කාය වාග්ද්වාරයන්හි සප්තවිධ කර්‍ම පථයන්ගේ වශයෙන් උපන්නාවූ මිථ්‍යා ආජීවය නම් ලද දුශ්ශීල භාව සඞ්ඛ්‍යාත චේතනාවගේ උත්පත්ති හේතුව නසන හෙයින් අපුනරුත්පත්තිය සිදුකිරීම වශයෙන් මාර්‍ගාඞ්ගය සම්පූර්‍ණ කරමින් අභින්නව සම්මා ආජීවය යයි කියන ලද කුසල චිත්ත සම්ප්‍රයුක්ත විරතිය උපදී. මේ විරතිය සම්මා ආජීව නම්.

සම්මා වායාම යනු සතර සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යය යි. ආර්‍ය්‍ය මාර්‍ගයාගේ පූර්‍වකාලයෙහි මේ සතරදෙන නොයෙක් සිත්හි ලැබෙයි. අන්‍යවූම සිතෙකින් නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස වීර්‍ය්‍ය කෙරෙයි. අන් සිතෙකින්ම උපන්නාවූ ලාමක අකුසල ධර්‍මයන්ගේ ප්‍රහානය පිණිස වීර්‍ය්‍ය කෙරෙයි. අන් සිතෙකින්ම උපන්නාවූ කුසල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස වීර්‍ය්‍ය කෙරෙයි. අන් සිතෙකින්ම උපන්නාවූ කුසල ධර්‍මයන්ගේ චිරස්ථිතිය පිණිස වීර්‍ය්‍ය කෙරෙයි. මාර්‍ගක්‍ෂණයෙහි වනාහි එක් සිතෙක්හිම ලැබේ එකලාවූම මාර්‍ග චිත්තය හා යෙදුනාවූ වීර්‍ය්‍ය තෙම මේ චතුර්විධ කෘත්‍යයන් සාදන හෙයින් චතුර්විධ නාමයන්ම ලබයි.

සම්මා සති යනු සතර සතිපට්ඨානයෝයි. ආර්‍ය්‍ය මාර්‍ගයට පූර්‍ව කාලයෙහි මේ සතර සතිපට්ඨානයෝ නොයෙක් සිත්හි ලැබෙත්. අන් සිතෙකින්ම රූප කායය පිරිසිඳ දනී. වේදනා චිත්ත ධම්ම අනුපස්සනාවන් අන් අන් සිත්වලින්ම පිරිසිඳ දනී. මාර්‍ගක්‍ෂණයෙහි වනාහි එක් සිතෙහිම ලැබේ. මාර්‍ග චිත්තය හා යෙදුනාවූ ස්මෘති තොමෝ සතර කිස සපයන අර්‍ත්‍ථයෙන් චතුර්විධ නාමයන් ලබයි.

සම්මා සමාධියෙහි වනාහි චතුර්විධවූ ධ්‍යානයෝ ආර්‍ය්‍ය මාර්‍ගයාගේ පූර්‍ව කාලයෙහිද භින්නයහ. ආර්‍ය්‍ය මාර්‍ගක්‍ෂණයෙහිද භින්නයහ. ආර්‍ය්‍ය මාර්‍ගයට පූර්‍වකාලයෙහි සමාපත්තීන්ගේ වශයෙන් භින්නයහ. ආර්‍ය්‍ය මාර්‍ගක්‍ෂණයෙහි නොයෙක් මාර්‍ග වශයෙන් භින්නයහ. එක් පුද්ගලයෙකුගේ පළමුවන සෝවාන් මඟ ප්‍රථම ධ්‍යානය හා සමාන ස්වරූප ඇත්තේ වේ. සකෘදාගාමි, අනාගාමි, අර්‍හත් මාර්‍ගාදීහුද ප්‍රථම ධ්‍යානය හා සමාන ස්වරූප ඇත්තාහු වෙත්, නො හොත් දුතීයධ්‍යානාදීන් අතුරෙන් එක්තරා ධ්‍යානයක් හා සමාන ස්වරූප ඇත්තාහු වෙත්. එමෙන්ම එක් පුද්ගල යෙක්හුගේ සෝවාන්මඟ ද්විතීය ධ්‍යානාදීන් අතුරෙන් එක්තරා ධ්‍යානයක් හා සමාන ස්වරූප ඇත්තේ වේ. සකෘදාගාමි ආදි මාර්‍ගද ද්විතීයධ්‍යානාදීන් අතුරෙන් එක්තරා ධ්‍යානයක් හා සමාන ස්වරූප ඇත්තාහු වෙත්. මෙසේ චතුර්විධවූ ආර්‍ය්‍ය මාර්‍ගයෝ ධ්‍යාන වශයෙන් සමාන වූවාහු හෝ වෙත්. අසමාන වූවාහු හෝ වෙත්. ඇතැම් ධ්‍යාන යන් හා සමාන වූවාහු හෝ වෙත්. ඒ මාර්‍ගයාගේ සමාන අසමානාදි භාවය පාදක ධ්‍යානයාගේ නියමයෙන් වේ. ප්‍රථමධ්‍යානලාභීව ප්‍රථමධ්‍යාන සමාපත්තියෙන් නැග විදසුන් වඩන්නාවූ යෝගාවචරයාහට උපන්නාවූ ආර්‍ය්‍ය මාර්‍ගය තෙම ප්‍රථම ධ්‍යානය හා සමාන වූයේ වේ. මේ ප්‍රථම ධ්‍යාන හා සදෘශ්‍යවත්ව උපන් ආර්‍ය්‍ය මාර්‍ගයෙහි වනාහි මාර්‍ගාඞ්ගයෝ සම්පූර්‍ණවූවාහුම වෙත්. ද්විතීය ධ්‍යාන සමාපත්තියෙන් නැග විදසුන් වඩන්නාවූ යෝගාවචරයා හට උපන් ආර්‍ය්‍ය මාර්‍ගය තෙම දුතිය ධ්‍යානය හා සමාන වූයේ වේ මේ දුතියධ්‍යානය හා සදෘශවත්ව උපන් ආර්‍ය්‍ය මාර්‍ගයෙහි වනාහි මාර්‍ගාඞ්ගයෝ සම්‍යක් සඞ්කල්පය රහිතවූ සත් දෙනෙක් වෙත්. තෘතීය ධ්‍යාන සමාපත්තියෙන් නැග විදසුන් වඩන්නාවූ යෝගාවචරයා හට උපන් ආර්‍ය්‍ය මාර්‍ගය තෙම තෘතීය ධ්‍යානය හා සම වූයේ වේ මේ තෘතීයධ්‍යානය හා සමානව උපන් ආර්‍ය්‍ය මාර්‍ගයෙහි වනාහි මාර්‍ගාඞ්ගයෝ සත් දෙනෙක් හා බොධ්‍යාඞ්ගයෝ සදෙනෙක් වෙත්. චතුෂ්ක නයින් තෘතීය ධ්‍යානයෙහි ප්‍රීති සම්බොධ්‍යඞ්ගය නොයෙදේ. චතුර්ථ ධ්‍යානයාගෙන් පටන් ගෙන නෛවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානය දක්වා මේ නයම පැමිණවිය යුතු. ප්‍රථම ධ්‍යානාදීන් අතුරෙන් යම් ධ්‍යානයකින් නැග සොවාන් මග ලැබ අරූපාවචර සමාපත්තීන් වඩා අරූතලයෙහි යම් පුද්ගලයෙක් උපන්නේ වේද, ඒ පුද්ගලයාගේ ඒ අරූතලයෙහි උපරි මාර්ගයෝ තුන්දෙන ඒ ප්‍රථම ධ්‍යානාදීන් හා සමාන වූවාහුම උපදිති. මෙකී නයින් පාදක ධ්‍යානය තෙමේම ආර්‍ය්‍ය මාර්ග ධ්‍යානයන්ගේ ව්‍යවස්ථානය කෙරෙයි. මේ ධ්‍යානයන්හි යම් එකාග්‍රතාවයක් ඇද්ද මේ එකග්‍රතාවය ආර්‍ය්‍ය මාර්ගයට පූර්‍වකාලයෙහි ලෞකික වේ. මාර්‍ගක්‍ෂණයෙහි ලොකොත්තරවූ සම්‍යක් සමාධිය නමැයි වදාරනු ලැබේ. මෙසේ ලෞකික ලොකොත්තර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මාර්ග සත්‍යය දේශනා කළ සේක.

මේ ලෞකික ලොකොත්තර මාර්ගයන් අතුරෙන් ලෞකික මාර්ගයෙහි සියලු මාර්ගාඞ්ගයෝ ඒ ඒ මාර්ගාඞ්ග ධර්‍මයන්ට සුදුසු පරිද්දෙන් ෂඩ්විධ වූ ආලම්බනයන් අතුරෙන් එක්තරා අරමුණක් ඇත්තාහු වෙත්. ලොකොත්තර මාර්‍ගයෙහි වනාහි සිව්සස් පිළිබඳ දැනීම් වශයෙන් පැවැත්තාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ නිවණම අරමුණුකොට ඇත්තාවූ අවිද්‍යානුශය නිරවශේෂ කොට නසන්නාවූ ප්‍රඥාවක්‍ෂුෂය හෙවත් නුවණැස සම්මා දිට්ඨිය නමි. එබඳුවූ සම්මාදිට්ඨියෙන් යුත් පුද්ගලයාගේ ඒ හා සම්ප්‍රයුක්තවූ ත්‍රිවිධවූ මිථ්‍යාසංකල්පය නිරවශේෂ කොට නසන්නාවූ විතර්‍කය නිර්‍වාණ පදයට නගන්නා සම්මා සඞ්කප්ප නමි. එබඳුවූ සම්මා දිට්ඨියෙන් හා සම්මාසඞ්කප්පයෙන් යුත් පුද්ගලයාගේ ඒ හා සම්ප්‍රයුක්තවූ චතුර්විධ වාග් දුශ්චරිතය නිරවශේෂ කොට නසන්නාවූ මිථ්‍යා වචනය කෙරෙන් වැළකීම සම්මා වාචා නමි. එබඳුවූ චතුර්විධ වාග් දුශ්චරිතයෙන් වළක්නා පුද්ගලයාගේ ඒ හා සම්ප්‍රයුක්තවූ මිථ්‍යා කර්‍මාන්තය නිරවශේෂ කොට නසන්නාවූ ත්‍රිවිධකාය දුශ්චරිතයන් කෙරෙන් වැළකීම සම්මා කම්මන්ත නමි. ඒ සම්‍යග් වචන සම්‍යග් කර්‍මාන්තයන්ගේම පිරිසිදු බවවූ ඒ හා සම්ප්‍රයුක්තවූ කුහන ලපනාදීන් නිරවශේෂ කොට නසන්නාවූ මිථ්‍යා ජීවයෙන් වැළකීම සම්මා ආජීව නමි. මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යයි කියන ලද ශීල නමැති පොළොවෙහි පිහිටන්නාවූ පුද්ගලයාගේ ඒ ශීලයට සුදුසුවූ ඒ හා සම්ප්‍රයුක්තවූ කුසීත බව නිරවශේෂ කොට නසන්නාවූ, නූපන්නාවූද, උපන්නාවූද අකුසල, කුසලයන්ගේ නොඉපදීමය, පැහීමය, ඉපදීමය, පිහිටීමය යන මේ කෘත්‍ය සපයන්නාවූද වීර්‍ය්‍යාරම්භය තෙම සම්මා වායාම නමි. මෙපරිද්දෙන් වෑයම් කරන්නාවූ පුද්ගලයාගේ ඒ හා සම්ප්‍රයුක්තවූ මිථ්‍යා ස්මෘතිය නිරවශේෂ කොට නසන්නාවූ කාය, වෙදනා, චිත්ත ධර්‍මයන්හි කායානුදර්‍ශනාදිය සාධන්නාවූ චිත්තයාගේ නුමුළාවන ස්වභාවයවූ සිහිය සම්මා සති නමි. ලොකොත්තර වූ මේ සමාධිය විසින් මනාකොට කරනලද චිත්තයාගේ ආරක්‍ෂාව ඇති පුද්ගලයාගේ ඒ හා සම්ප්‍රයුක්තවූ මිථ්‍යා සමාධිය නිරවශේෂ කොට නසන්නාවූ චිත්තෛකාග්‍රතා තොමෝ සම්මා සමාධි නම්.

මෙසේ මේ මාර්‍ගය තෙම ලොකොත්තරවූ ආර්‍ය්‍යවූ අඞ්ග අටක් ඇත්තාවූ මාර්‍ගය හෙවත් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය නම් වේ. යම් ලොකොත්තරවූ මාර්‍ගයෙක් ලෞකිකවූ මාර්‍ගය හා සමග දුක්ඛනිරොධගාමිණි ප්‍රතිපදාවය යන ව්‍යවහාරයට ගියේද, ඒ මාර්‍ගය තෙම වනාහි සම්මාදිට්ඨි සම්මා සඞ්කල්පයන් විද්‍යාවෙන්ද, ඉතිරි මාර්‍ගාඞ්ග ධර්‍මයන් චරණයෙන්ද හකුළුවා ගත් බැවින් විද්‍යා නමුදු වේ, චරණ නමුදු වේ. එමෙන්ම ඒ සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පයන් දෙදෙනා විපස්සනා යානයෙන්ද ඉතිරි මාර්‍ගාඞ්ග ධර්‍මයන් සමථයානයෙන්ද හකුළුවා ගත් බැවින් සමථ නමුදු වේ, විදර්‍ශනා නමුදු වේ.

තවද ඒ සම්මා දිට්ඨි සම්මා සඞ්කල්පයන් දෙදෙනා ප්‍රඥා ස්කන්‍ධයෙන්ද, සම්මා වාචා සම්මා කම්මන්තා, සම්මා ආජීව යන තිදෙන ශීලස්කන්‍ධයෙන්ද, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, යන තිදෙනා සමාධි ස්කන්ධයෙන්ද, අධිප්‍රඥා ශික්‍ෂා, අධිශීල ශික්‍ෂා, අධිචිත්ත ශික්‍ෂාවන් කරණකොට ගෙනද හකුළුවාගත් බැවින් ස්කන්ධත්‍රය නමුදු වේ, ශික්‍ෂාත්‍රය නමුදු වේ.

යම් ආර්‍ය්‍ය මාර්‍ගයක් හා යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නිවන් පසක් කෙරේද, ඒ ආර්‍ය්‍ය මාර්‍ගය කරණකොට ගෙන දක්නට සමත්වූ දැසිනුදු, ගමනට සමත්වූ දෙපයිනුදු යුක්තවූ මගියක්හු මෙන් විද්‍යාචරණයෙන් සමන්විතවූ පුද්ගලයෙක් වී, විදර්‍ශනාමය ඥානයෙන් කාමසුඛල්ලිකානුයෝගයද, සමථමයවූ ඥානයෙන් ආත්මක්ලමථානුයෝගයද යන මේ අන්ත දෙක හැර මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන්නේව, ප්‍රඥාස්කන්‍ධයෙන් මෝහස්කන්‍ධයද, සීලස්කන්‍ධයෙන් ද්වේෂ ස්කන්ධයද, සමාධි ස්කන්ධයෙන් ලෝභ ස්කන්ධයද, පළන්නේව අධිප්‍රඥා ශික්‍ෂාවෙන් ප්‍රඥා සම්පත්තියට ද. අධිශීල ශික්‍ෂාවෙන් ශීල සම්පත්තියට ද, අධිචිත්ත ශික්‍ෂාවෙන් සමාධි සම්පත්තියට ද යන ත්‍රිවිධ සම්පදාවන්ට පැමිණ අමෘතවූ නිර්‍වාණය සාක්‍ෂාත් කෙරෙයි. ආදි මධ්‍යාවසානයෙහි සුන්‍දරවූ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍ම රත්නයෙන් විසිතුරුවූ සම්මත්ත නියාමය යි කියන ලද ආර්‍ය්‍ය භූමියට ද හෙවත් ශීලාදී ස්කන්ධත්‍රයෙන් සඞ්ගෘහිත මාර්‍ගඵල සඞ්ඛ්‍යාත ශාසනයට ද බැසගත්තේ වේ.

මේ සර්‍ව සංග්‍රහයෙහි ස්කන්ධ, ආයතන, ධාතු, සත්‍යය වශයෙන් බෙදා දක්වන ලදී. ඒ ඒ සත්ත්‍වයන්ගේ ධර්‍මාවබෝධයට උපකාරවන පරිදි ස්කන්ධ වශයෙන් ද, ආයතන වශයෙන් ද, ධාතු වශයෙන් ද මේ ධර්‍මය දේශනා කළ සේක. සංසාරගත සත්ත්‍වයෝ තුන් කොටසකට බෙදනු ලැබේ. නාම සම්මූල්හයෝය, රූප සම්මූල්හයෝය, නාමරූප සම්මූල්හයෝය කියායි.

නාම සම්මූල්හයෝ නම් නාමයෙහි මුළාවූ සත්ත්‍වයෝයි. මොවුන් පිණිස රූපය එකක් වශයෙන් ද, නාමය සතරක් වශයෙන් ද බෙදා ස්කන්‍ධ දේශනාව කළ සේක. ඒ ස්කන්‍ධ සඞ්ඛ්‍යාත භූමියෙහි විදර්‍ශනා ප්‍රඥා සඞ්ඛ්‍යාත වෘක්‍ෂය රෝපනය කිරීමෙන් නොබෝ කලකින්ම සතර මග සතර ඵලය හා නිර්‍වාණ සඞ්ඛ්‍යාත අමාඵලය ලැබිය හැකියි.

රූපසම්මුල්හයෝ නම් රූපයෙහි මුළාවුවෝය. මොවුන් උදෙසා ආයතන දේශනාව කරන ලදී. මෙහි නාමය එක් ආකාරයකින්ද රූපය නොයෙක් ආකාරයෙන්ද බෙදා දක්වන ලදි.

නාමරූප සම්මුල්හයෝ නම් නාමයෙහිත් රූපයෙහිත් මුළාවුවෝය මොවුන් උදෙසා ධාතු දේශනාව වදාළ සේක. මෙහි රූපය එකොළොස් ආකාරයකින්ද නාමය සත් ආකාරයකින්ද බෙදා වදාරන ලදි.

නිමි.