අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඕඝ ධර්‍ම

මහත්වූ ගඞ්ගා ජලයෙක්හි වැටුනාවූ යම් කිසි ද්‍රව්‍යයක්, ඕඝ නම් වූ එහි සැඩ පහර හා පවත්නාවූ දිය සුළියට අසු වී, ගඞ්ගාවෙන් සමුද්‍රයට වැද, ඒ සමුද්‍ර මධ්‍යයෙහිවූ දිය සුළියෙන් යටකොටගෙන සමුද්‍ර පත්ලෙහි ගසන්නාක්මෙන්, සත්ත්‍වයා සංසාර සාගරයෙහි පත්ලට බඳුවූ අවීචිමහනිරය සීමාකොට ඇති අපායෙහි ඇද හෙළා, දුකට පත් කරන්නාවූ, සැඩ පහරක් බඳුවූ අකුසල ධර්‍මයන්ට ඕඝ ධර්‍මයෝ යයි කියනු ලැබේ.

තව ද, ගඞ්ගා තරණය කිරීම පිණිස ගඞ්ගාවට බැසගත් පුද්ගලයා, එහි සැඩ පහරට අසුවුවහොත්, එයින් මිදීම ඉතා දුකසේ කටයුතු හෙයින් මේ ඕඝ ධර්‍මයන්ගෙන් පෙළණු ලබන සත්ත්‍වයෝ ද, ඉතා දුකසේ සසරින් එතරවිය යුතු වේ.

  1. ඕඝ ධර්‍මයෝ ද සතර දෙනෙක් වෙති එනම්:-
  2. කාමොඝ
  3. භවොඝ
  4. දිට්ඨොඝ
  5. අවිජ්ජොඝ

කාමොඝ - කාම සම්පත්තියෙන් මත්වූ පුද්ගලතෙමේ පව්කම්කොට කාම රාග නමැති සැඩපහරට අසුවී මිනිස් ලොවින් චුතව සතර අපායයන්හි අප්‍රමාණ දුක් විඳින්නේය. කාමොඝ නමැති සැඩපහරට අසුනොවී එයින් මිදෙනු කැමැති පුද්ගලතෙමේ, නාම රූප ධර්‍මයන් ඉගෙණ සංස්කාර ධර්‍මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීම සඳහා සමථ විදර්‍ශනා වඩා ඉතා දුකසේ මිදිය යුතුවේ.

භවොඝ - භව රාගයෙන් හෙවත් රූපාරූප භවයන්හි තෘෂ්ණාවෙන් මත්වූ පුද්ගල තෙමේ, සමථ භාවනාකොට ධ්‍යාන වඩා රූපාවචර අරූපාවචර ලොකයන්හි මහා කල්ප ගණන් බ්‍රහ්ම සම්පත් විඳ නැවතත් කාමභූමියට වැද, නිර්‍වාණාවබෝධය සඳහා පිරිය යුතු පිළිවෙත් නො පුරණලද හෙයින් සංසාර දුක්ඛයටම පත්වන්නේය. එබැවින් භවරාගයට භවොඝය යයි ද කියනු ලැබේ.

දිට්ඨොඝ - මිථ්‍යාදෘෂ්ටිය වැළඳගත් සත්ත්‍වයෝ, නුවණ යයි සිතා අනුවණ කමින්, නිවැරැදියයි සළකා ප්‍රාණඝාතාදිය කොට, බලි බිලි යාග හෝමාදිය පවත්වා, මෝක්‍ෂය ලැබීම පිණිස දෙව් බඹුන් පුදා, සාදාකාලික සුද්ධ ආත්මය හා එක්වනු පිණිස අත්තකිලමථානුයෝග කාම සුඛල්ලිකානුයෝග යනාදී සාවද්‍ය ප්‍රතිපත්තින්හි යෙදී අනන්තවූ සසර දුක්ඛයන් පමුණුවාගන්නාහු වෙත්. සද්ධර්‍මශ්‍රවණය, ඇසූ දහම නුවණින් මෙනෙහි කිරීම, කල්‍යාණ මිත්‍ර සේවනය ආදිය උපකාර කොට ගෙණ යහපත්වූ මධ්‍යම ප්‍රතිපදායෙහි යෙදී ප්‍රඥාව වඩා දිට්ඨොඝයෙන් මිදිය යුත්තේය.

අවිජ්ජොඝ - පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනෙඤ්ජාභි සංඛාර යනාදි වශයෙන් දක්වන ලද්දා වූ සියලුම සංඛාර ධර්‍මයන්ට මූලික හේතුව වූ අවිද්‍යාව හෙවත් මොහය සත්ත්‍වයාහට සසරින් ගැලවිය නොදී නොයෙක් දුක්ඛයන්ට පමුණුවන හෙයින් අවිජ්ජොඝ යයි කියනු ලැබේ. සියලුම අකුසල් සිත්හි සම්ප්‍රයුක්ත ධර්‍මයක් වශයෙන් යෙදෙන්නාවූ මේ මොහ චෛතසිකය අර්‍හත් මාර්‍ගඥානයෙන් සමුච්ඡෙද ප්‍රහාණයෙන් නසනතුරු සත්ත්‍වයා නොයෙක් ලෙසින් පෙළනු ලබන්නේය. කාම රාග භව රාගාදිය උපදින්නේත් අවිද්‍යාව නිසාමය. අමොහ නමැති ප්‍රඥාව වඩා ගැනීමෙන්ම එය දුරු කට යුත්තේය.