අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පඤ්චුපාදානස්කන්‍ධ

කාමූපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතුපාදාන, අත්තවාදූපාදාන යයි උපාදානයෝ සතරදෙනෙකි තෘෂ්ණා නමැති රැහැනින් බැඳ ළඟට ඇදගන්නා බව උපාදාන නමි. ඒ උපාදානයන්ට විෂයවූ ස්කන්‍ධ සමූහය උපාදානස්කන්‍ධ නමි.

ස්කන්‍ධ සඞ්ඛ්‍යාවට වට්ට විවට්ට දෙක්හි පැවති සියළුම ධර්මයෝ ඇතුළත් වෙත්.

වට්ට නම් වූ කාමභව, රූපභව, අරූපභව යන භවත්‍රයට ඇතුළත්වූ සියළු ධර්මයෝ උපාදානස්කන්‍ධයෝයි.

විවට්ට නම් නිර්වාණ ධාතුවයි.

කාමාදි උපාදානයන්ට විෂය නොවන බැවින් ලොකොත්තර සිත් අට සහ එහි ඇතුළත් චෛතසික ධර්මද උපාදානස්කන්‍ධ සඞ්ඛ්‍යාවට ඇතුළත් නොවේ.

උපාදානස්කන්‍ධ පඤ්චකය විදර්ශනා භූමියට අයත් වේ.

නාමස්කන්‍ධයන් අතුරෙන් සියළුම අසූනවයක් සිත්හි සම්ප්‍රයුක්ත වෙදනාවෝ වේදනාස්කන්‍ධ යයිද එම අසූනව සිත්හි සම්ප්‍රයුක්ත සංඥාවෝ සංඥාස්කන්‍ධ යයිද, එම අසූනව සිත්හි සම්ප්‍රයුක්ත ඉතිරි චෛතසික පනස සංස්කාරස්කන්‍ධය යයි ද, එම සිත් අසූනවයම විඤ්ඤාණස්කන්‍ධය යයි ද දතයුතු.

ලොකොත්තර සිත් අට හැර ඉතිරි ලෞකික සිත් අසූඑකෙහි සම්ප්‍රයුක්ත වෙදනාවෝ වේදනුපාදානස්කන්‍ධය යයි ද, එම අසූ එකක් සිත්හි සම්ප්‍රයුක්ත සංඥාවෝ, සඤ්ඤුපාදානස්කන්‍ධය යයිද, එම අසූඑකක් සිත්හි සම්ප්‍රයුක්ත ඉතිරි චෛතසික පනස සඞ්ඛාරූපාදානස්කන්‍ධය යයි ද, එම සිත් අසූ එකම විඤ්ඤාණුපාදානස්කන්‍ධය යයි ද දතයුතු.