පඤ්චස්කන්ධයන්හි ෂෝඩශ භේදය
පඤ්චප්‍රකාර වූ ස්කන්ධයන්හි සොළොස් ආකාර වූ භේදය මෙසේ දතයුතු, ඒ සොළොස් ආකාරයෝ නම්:-
- සමුග්ගම වශයෙන් හෙවත් ප්රතිසන්ධික්ෂණයෙහි පඤ්චස්කන්ධයන්ගේ හටගැණීම් වශයෙන් ද,
- පුර්වාපර වශයෙන් ද,
- අද්ධාන පරච්ඡේද හෙවත් කාලපරිච්ඡේද වශයෙන් ද,
- එකුප්පාද නානා නිරොධ හෙවත් එක්ව ඉපදීම් වෙන්ව බිඳීම් වශයෙන් ද,
- නානුප්පාද එකනිරොධ හෙවත් වෙන්ව ඉපදීම්, එක්ව බිඳීම් වශයෙන් ද,
- එකුප්පාද එකනිරොධ හෙවත් එක්ව ඉපදීම්, එක්ව බිඳීම් වශයෙන් ද,
- නානුප්පාද නානා නිරොධ හෙවත් වෙන්ව ඉපදීම් වෙන්ව බිඳීම් වශයෙන් ද,
- අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වශයෙන් ද,
- අධ්‍යාත්ම බාහිර වශයෙන් ද,
- ඔදාරික සුක්ෂම වශයෙන් ද,
- හීනප්‍රණීත වශයෙන් ද,
- දුරාසන්න වශයෙන් ද,
- ප්‍රත්‍යය වශයෙන් ද,
- සමුට්ඨාන හෙවත් උත්පත්ති හේතු වශයෙන් ද,
- පරිනිෂ්පන්න වශයෙන් ද,
- සබ්බත වශයෙන් ද වේ.
මෙසේ ස්කන්ධයන්ගේ ෂොඩශාකාරය දැක්වීම ප්රකීර්ණක කථනය යයි ද, සම්මිශ්ර විනිශ්චය යයි ද කියනු ලැබේ.
1. සමුග්ගම වශයෙන් වනාහි ස්කන්ධයන්ගේ ප්‍රතිසන්‍ධියෙහිදී උත්පාදය නොහොත් ප්‍රථම ප්රාදුර්භාවය ගබ්භ සෙය්යක සමුග්ගමය, ඔපපාතික සමුග්ගමය යයි ද්විප්‍රකාර වේ.
ගබ්භ සෙය්යක සමුග්ගමය - මාතෘ ගර්භයෙහි පිළිසිඳ ගැනීම් වශයෙන් හෝනාවූ සත්නට පිළිසිඳගන්නා කෙණෙහි පඤ්චස්කන්ධයෝ තුමූ ඉදිරිපසු නොව එක්ව හටගනිත්. ඒ පටිසන්ධික්ෂණයෙහි හටගත්තාවූ කලලරූප යයි කියනලද රූප සන්තති තොමෝ ඉතා අල්පමාත්‍ර වූවා වේ. කුඩා මැස්සකු විසින් එක්වර පියයුතු බිඳක් පමණ ඇත්තී වේ. ඇතැම් ආචාර්ය්යවරු ඒ ප්‍රමාණයද බොහෝය. සියුම්වූ හිඳක් තෙලෙහි බහා නගාගත් කල්හි වැගිර හිඳි කෙළවර වැකි තෙල් බිඳ පමණකැයි ද කියති. එයද ඉතා බොහෝය. එක් කෙසක් තෙලෙහි බහා නගාගත් කල්හි ඒ කෙස්හුගේ කෙළවර වැගිර වැකී සිටි තෙල් බිඳ පමණැතැයිද කියති. එයද බොහෝය. මෙහි මිනිසුන්ගේ කෙසක් අට කොටසක් කොට පැළු කල්හි, ඒ අට කොටස කෙරෙන් උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ගේ කෙසක් එක් කොටසක් පමණ ඇත්තේය පහන් තලතෙලින් නගාගත් ඒ කෙස්හුගේ කෙළවර වැගිර වැකි සිටි පහන් තලතෙල් බිඳ පමණැතැයිද කියන ලදය. එයද පිළිනොගත් ඇතැම් ආචාර්ය්යවරු, ඒ කලලරූපය, හිමවත් පියෙස්හි උපදනාවූ සුක්ෂ්මජාතිමත්වූ එළුවකුගේ ලොම් පිළිබඳවූ පහන් තලතෙලෙහි බහා නගාගත් එක් ලොමයක්හුගේ කෙළවර වැකි සිටි පහන් තලතෙල් බිඳ පමණැතැයිද කියති.
ඒ කලල රූපය වනාහි පහන් වේ. වැඩියක් පහන් වේ. නො කැලඹුනේ වේ. පිරිසිදු වේ. පහන් තලතෙල් බිඳක් බඳු පැහැ සටහන් ඇත්තේ වේ. මෙකී පරිද්දෙන් ඉතා අල්පවූ මේ රූප සන්තතියෙහි වස්තු දසකයද, කාය දසකයද, ස්ත්රියහට ස්ත්රීන්ද්රියගේ වශයෙන් භාව දසකයද, පුරුෂයාහට පුරුෂෙන්ද්රියගේ වශයෙන් භාවදසකයද මෙසේ ප්‍රධාන අවයව වූ සන්තති ශීර්ෂියෝ තුනෙක් වෙත්.
ඒ ප්රධානඞ්ග වූ සන්තති රූපයන් අතුරෙහි හදයවත්ථු රූපයද, ඒ හදයවත්ථු රූපයාගේ නිඃශ්‍රය වූ සතර මහා භූතයෝද, ඒ සතර මහා භූතයන් ඇසුරු කළාවූ වර්ණ, ගන්ධ, රස, ඕජා ද ජීවිතෙන්ද්රිය ය ද යන මේ දශ රූපයන්ගේ සමූහය වස්තු දසක නම් වේ. කායප්රසාදයද, ඒ කායප්රසාදයාගේ නිඃශ්රයවූ සතරමහා භූතයෝද, ඒ සතර මහා භූතයන් ඇසුරු කළාවූ වර්ණ, ගන්ධ, රස, ඕජාද ජීවිතෙන්ද්‍රියය ද යන මේ දශ රූපයන්ගේ සමුහය කාය දශක නම් වේ. ස්ත්‍රියගේ ස්ත්‍රී භාවයද, පුරුෂයාගේ පුරුෂ භාවයද, ඒ ස්ත්‍රීභාව පුරුෂභාවයාගේ නිඃශ්‍රය වූ සතරමහා භූතයෝද, ඒ සතරමහා භූතයන් ඇසුරු කළාවූ වර්ණ, ගන්ධ, රස, ඕජා ද, ජීවිතෙන්ද්‍රියය ද යන මේ දශ රූපයන්ගේ සමුහය භාව දශක නම් වේ.
මෙපරිද්දෙන් ගබ්භසෙය්‍යක හෙවත් ගැබ පිළිසිඳගන්නා සත්නට, ප්රතිසන්ධියගේ උත්පාදක්‍ෂණයෙහි උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් සමත්‍රිංසත් (30) කර්මජ රූපයෝ රූපස්කන්ධ නම් වේ. ප්රතිසන්ධි චිත්තය හා එක්ව උපදනාවූ වේදනාතොමෝ වේදනාස්කන්‍ධ නම් වේ. ඒ හා එක්ව උපදනා වූ සංඥා තොමෝ, සංඥාස්කන්‍ධ නම් වේ. ඒ හා එක්ව උපදනාවූ සංස්කාරයෝ, සංස්කාරස්කන්‍ධ නම් වේ. ප්රතිසන්ධි චිත්තය තෙමේ විඤ්ඤාණස්කන්ධ නම් වේ. මෙපරිද්දෙන්, ගැබ පිළිසිඳ ගන්නා සත්නට ප්රතිසන්ධික්ෂණයෙහි පඤ්චස්කන්ධයෝ තුමු සම්පූර්ණවූවාහු වෙත්. ඉදින් නපුංසක ප්‍රතිසන්ධියක් වේ නම්, භාවදශකය පිරිහෙයි. දෙවැදෑරුම්වූ දශකයන්ගේ වශයෙන් සම විස්සක් (20) කර්මසමුට්ඨාන රූපයෝ තුමු රූපස්කන්ධ නම් වේ. වේදනාස්කන්ධාදීහු කියනලද ප්‍රකාර ඇත්තාහුම වෙත්. මෙපරිද්දෙන්ද, ගබ්භසෙය්‍යක සත්ත්වයන්හට ප්රතිසන්ධියගේ උත්පාදක්‍ෂණයෙහි පඤ්චස්කන්ධයෝ තුමු සම්පූර්ණ වූවාහු වෙත්.
ඕපපාතික සමුග්ගමය - ඕපපාතිකවූ සත්ත්වයන්ට පිළිසිඳ ගන්නා කෙණෙහි යට කියනලද්දාවූ ත්‍රිවිධ දශකයෝද, චක්ඛු දශක, සොත දශක, ඝාණ දශක, ජිව්හා දශකයෝද යන සත්වැදෑරුම් වූ ප්රධානාඞ්ග වූ, රූප සන්තති ශීර්ෂීයෝ පහළ වෙත්. ඒ සත්වැදෑරුම් වූ දශකයන් අතුරෙන් චක්ෂුර්දශකාදීහු කාය දශකය හා සමාන වූවාහුම වෙත්. නපුංසක වූ සත්නට වනාහි භාවදශකය නැත. මෙපරිද්දෙන් පරිපූර්ණායතන ඇති ඕපපාතිකවූ සත්නට සමසැත්තෑවක් වූ කර්මජ රූපයෝද, රූපස්කන්ධ නම් වේ. වෙදනාස්කන්ධාදීහු කියනලද ප්‍රකාර ඇත්තාහුම ය. මෙපරිද්දෙන් ඕපපාතික වූ සත්නට පිළිසිඳ ගන්නා කෙණෙහි පඤ්චස්කන්ධයෝ තුමූ සම්පූර්ණ වූවාහු වෙත්. මේ වනාහි ඕපපාතික සමුග්ගම හෙවත් ඕපපාතික වූ සත්නට ප්‍රථමයෙන් රූපයන් පහළවීම නම් වේ. මෙපරිද්දෙන් පළමුකොට පඤ්චස්කන්ධයෝ සමුග්ගම හෙවත් ප්රථමොත්පත්ති වශයෙන් දතයුත්තාහ.
2. පූර්වාපර වශයෙන් වනාහි ගබ්භසෙය්‍යක සත්ත්වයන්ගේ ඉදිරිපසු නොව උපන්නාවූ පඤ්චවිධ වූ ස්කන්ධයන් අතුරෙහි, රූපය තෙමේ රූපය පළමුකොට හටගන්වාද නැතහොත් නාමය තෙම රූපය හටගන්වාද, මෙසේ විචාරීමක් ඇතිකල්හි රූපය තෙමේම රූපය පළමුකොට හටගන්වයි. නාමය තෙමේ නොහටගන්වයි කිවයුතු. එයට හේතුව නම් පටිසන්ධි චිත්තය රූපජනක නොවන බව හෙවත් රූප නොහටගන්වන බැවිනි.
සියළුම සත්ත්වයන්ගේ ප්රතිසන්ධි චිත්තයද, රහතන් වහන්සේගේ චුති චිත්තයද, දෙපස් විඤ්ඤාණයෝද (10) සතර අරූප විපාක චිත්තයෝද යන මේ සොළොස් විපාක චිත්තයෝ තුමූ රූපය නොහටගන්වත් ඔවුන් අතුරෙන් ප්රතිසන්ධි චිත්තය තෙම නිඃශ්රයවූ වස්තු රූපයාගේ දුබල බැවින්ද, නොපිහිටි බැවින්ද, ප්රත්යවෛකල්යතායෙන්ද, ආගන්තුග බැවින්ද රූපය නොහටගන්වයි.
ප්රතිසන්ධික්ෂණයෙහි සහජාතවූ හදයවස්තු රූපය තෙම උත්පාදක්‍ෂණයෙහි දුබල වේ. මෙසේ වස්තු රූපයාගේ දුබල බැවින් රූපය නූපදවයි. ප්‍රපාතයෙහි පතිතවන්නාවූ පුරුෂ යෙක් අන් පුරුෂයකු හට පිටිවහළෙක් වන්නට නොහැකි වන්නේ යම්සේද, එපරිද්දෙන් ඒ ප්රතිසන්ධි චිත්තය තෙමේද කර්ම වෙගයෙන් බහාලන ලද බැවින් ප්‍රපාතයෙහි ගිලිහෙන්නක්හු මෙන් නොපිහිටියේ වේ. මෙසේ කර්ම ශක්තියෙන් බහාලන ලද බැවින් නොපිහිටි බැවිනුදු රූපය නූපදවයි. ප්රතිසන්ධි චිත්තය තෙමේද හදයවස්තු රූපය හා සමඟ පෙර පසු නොව උපන් බැවින්, ඒ ප්රතිසන්ධි චිත්තයට හදයවස්තු රූපය තෙම පුරෙජාතව හෙවත් පෙරාතුව ඉපිද ප්රත්යවන්නට නොහැක්කේය. ඉදින් ප්රත්යවනු හැක්කේ නම් ප්රතිසන්ධි චිත්තය රූපය උපදවන්නේය. පඤ්චවෝකාර භවයෙහිදු රහතුන්ගේ චුති චිත්තය තෙම පුරෙජාත ප්‍රත්‍යය ලදුයේවී නමුත් භවයෙන් භවය ගැළපීමක් නැති හෙයින් රූපය නූපදවයි. ද්විපඤ්ච විඤ්ඤාණයෝ තුමූ පුරෙජාතප්රත්යය ලද්දාහු නමුත් ධ්‍යානාඞ්ග මාර්‍ගාඞ්ගයන්ගෙන් පිරිහුණු බැවින් රූප නූපදවත්. ප්රතිසන්ධි චිත්තය තෙමේ උත්පාදක්‍ෂණයෙහි පුරෙජාත ප්‍රත්‍යය නොලත් බැවින් රූපය නූපදවයි. එහි ස්ථිතික්ෂණ භඞ්ගක්‍ෂණ දෙක්හි උත්පාදක්‍ෂණ යෙහි වූ වස්තු රූපය කෙරෙන් ලත් පුරෙජාත ප්‍රත්‍යය ශක්තිය ඇති බැවින් ස්ථිති භඞ්ගක්ෂණවයෙහි රූපය ඉපැද්විය යුතුයි. නමුත් රූපය නූපදවයි. චිත්තය තෙම ස්ථිතික්ෂණයෙහි හෝ භඞ්ගක්ෂණයෙහි හෝ රූපය උපදවන්නේ නම්, පටිසන්ධි චිත්තයද රූපය උපදවන්නේය. එකාන්ත වශයෙන් චිත්තය තෙම ඒ ස්ථිති භඞ්ගක්ෂණවයෙහි රූපය නූපදවයි. හතු කැකුළෙක් පොළොවෙන් මතුවන්නේ, පස්සුණු ඔසවාගෙනම මතුවන්නේ යම්සේද, එපරිද්දෙන් චිත්තය තෙම පූර්වයෙහි ජාතවූ වස්තු රූපය නිඃශ්රයකොට උත්පාදක්‍ෂණයෙහි අටවැදෑරුම්වූ අවිනිර්භෝග රූපයන් ගෙනම උපදනේයි. ප්රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහිම හදයවස්තු රූපය තෙමේ පුරෙජාතව ඉපිද ප්රත්යවන්නට නොහැකි වේ. මෙසේ ප්‍රත්‍යයන් විකල බැවිනුදු ප්රතිසන්ධි චිත්තය තෙමේ රූපය නොහටගන්වයි.
තවද, ප්රතිසන්ධි චිත්තය, ආගන්තුග පුරුෂයෙකු හා සමාන යයි ද කියනු ලැබේ. ආගන්තුග පුරුෂයෙක් තෙම නො ආවිරූ ප්‍රදේශයකට ගියේ, අන්කිසිවකුන්හට, පින්වතුනි එව්, ඇතුල්ගම තොපට ආහාර, පැන්, ගඳමුල් ආදින් දෙන්නෙමියි තමහට නුපුරුදු හෙයින් අගෝචරස්ථාන බැවිනුදු, අසමර්ථ බැවිනුදු, ආගන්තුග බැවිනුදු කියන්ට නොහැකි වන්නේ යම්සේද, එපරිද්දෙන්ම ප්රතිසන්ධි චිත්තය තෙම ආගන්තුග වේනුයි, තමාගේ ආගන්තුග බැවිනුදු රූපය නූපදවයි. තවද, ඒ සමතිස් කම්ම සමුට්ඨාන රූපයෝ තුමූ, චිත්තසමුට්ඨාන රූපයන්ගේ ස්ථානය ගෙන සිටියහ. එසේ සිටි හෙයිනුදු ප්රතිසන්ධි චිත්තය තෙමේ රූපය නූපදවයි.
රහතන් වහන්සේගේ වනාහි චුති චිත්තය තෙම තෘෂ්ණා අවිද්‍යා සඞ්ඛ්‍යාත වෘත්තදුක්ඛමූලය, සන්හුන් බැවින් රූපය නූපදවයි. ඒ රහතන්වහන්සේට සියළු භවයන්හි තෘෂ්ණා අවිද්‍යා සඞ්ඛ්‍යාත වෘත්තදුක්ඛමූලය තෙම සන්සිඳුනේ වේ. අභව්‍ය වූ උත්පත්ති ඇත්තේ නොහොත් නැවත උපදින්නට නුසුදුසු වනුයේ වේ. පුනර්හව සන්තතියක් නම් නැත. සෝවාන් පුද්ගලයාහට වනාහි අත්බැව් සතක් තිබියදී අටවැනි වූ අත්බැවෙහි තෘෂ්ණා අවිද්‍යා සඞ්ඛ්‍යාත වෘත්ත දුක්ඛ මූලය තෙම සන්හුන් වේ. එහෙයින් ඒ සෝවාන් පුද්ගලයාගේ චුති චිත්තය තෙම සත්වැදෑරුම් වූ අත්බැව්හි රූපය උපදවයි. සකෘදාගාමි පුද්ගලයාගේ චුති චිත්තය තෙමේ විවිධ වූ භවයන්හි හෙවත් උභයාත්මභාවයන්හි රූපය උපදවයි. අනාගාමි පුද්ගලයාගේ චුති චිත්තය තෙමේ එක් අත්බැවෙක්හි රූපය උපදවයි. රහත් පුද්ගලයාගේ චුති චිත්තය තෙම සියළු භවයන්හි තෘෂ්ණා අවිද්‍යා සඞ්ඛ්‍යාත වෘත්ත මූලය සන්සිඳීම කළ බැවින් රූපය නූපදවයි.
විපඤ්ච විඤ්ඤාණ චිත්තයන්හි වනාහි ධ්යානාඞ්ගයෙක් නැත. මාර්ගාඞ්ගයෙක් නැත. සම්ප්‍රයුක්ත හේතුවෙක් නැත. එහෙයින් චිත්තාඞ්ගය තෙමේ දුබල වූයේ වේ. මෙසේ චිත්තාඞ්ග දුර්වලතායෙන් ඒ විපඤ්ච විඤ්ඤාණයෝ තුමූ රූපය නූපදවත්. සතර අරූප විපාක චිත්තයෝ තුමූ ඒ අරූප භවයෙහි ඉපැද්දවියයුතු රූපයක්හුගේ නැති බැවින්, රූපය නූපදවත්. ඒ පමණක් නොව ඒ අරූප භවයෙහි, කාමාවචර කුසල් සිත් අටදෙනද, ද්වේෂමූල සිත් දෙකහැර ඉතිරි අකුසල් සිත් දසදෙනද, ක්‍රියා සිත් නවදෙනද, අරූපාවචර කුසල් සිත් සතරදෙනද, සෝවාන් මාර්ග සිත හැර ඉතිරි මාර්ග සිත් තිදෙනද, ඵල සිත් සතරදෙනද යන මේ දෙසාළිස් චිත්තයෝ, ඒ අරූප භූමියෙහි නිඃශ්‍රය වූ වස්තු රූපයක්හුගේ නොහොත් ඉපැද්දවියයුතු රූපයක්හුගේ නැති බැවින්ම රූපය නූපදවත්. මෙකියන ලද නයින් ප්රතිසන්ධි චිත්තය තෙම රූපය නූපදවන බව දතයුතු.
පිළිසිඳගත්නා කෙණෙහි උපන්නා වූ සමතිස් කර්මසමුට්ඨාන රූපයන්ගේ අභ්‍යන්තරයෙහි වූ තෙජො ධාතුවක් ඇත. එයට සෘතු යයි කියති. ඒ තෙජො ධාතුතොමෝ ප්‍රතිසන්ධියේ ස්ථිතික්‍ෂණයට පැමිණ, අෂ්ටවිධ අවිනිබ්භොග රූපයන් උපදවයි. ඒ සෘතුව හෙවත් තෙජො ධාතුව පවත්නා කල්හිම සිත් සොළොසක් ඉපිද නිරුද්ධ වෙත්. ඒ සොළොස් චිත්තයන් අතුරෙන් ප්රතිසන්ධි චිත්තයට අනතුරුවූ පළමුවන භවාඞ්ග චිත්තය තෙම උත්පාදක්ෂණයෙහිම අෂ්ටවිධ අවිනිබ්භොග රූපයන් උපදවයි. යම් කලෙක්හි ශබ්දයාගේ උපදනා කලෙක් වන්නේද එකල්හි සෘතු චිත්තයෝ තුමු ශබ්ද නවකය නම් වූ රූපකලාපය උපදවන්නාහුය. කබලීකාරාහාරය තෙමේද චිත්තයාගේ ස්ථිතික්‍ෂණයට පැමිණ අෂ්ටවිධ අවිනිබ්භොග රූපයන් උපදවයි. ඒ මව ගැබ තුළ හොත් ළදරුවාහට කබලීකාරාහාරය මවගෙන් ලැබේ. ඒ මාතෘ ගර්භයෙහි පිළිසිඳගත් ළදරුවාගේ මවුතොමෝ යම් බතකුත් යම් පැනකුත්, යම් භෝජනයකුත් අනුභව කරාද, ඒ ආහාරය කරණකොටගෙන මව් කුස පිළිසිඳගත්තාවූ ඒ ළදරු වූ සත්ත්ව තෙමේ, ඒ මාතෘ ගර්භයෙහි යැපෙයි. මෙපරිද්දෙන් මව් කුස පිළිසිඳ ගත්තාවූ ළදරු තෙමේ මව විසින් අනුභව කළාවූ, පානය කළාවූ, ආහාරපාන ඕජාව කරණකොටගෙන යැපේද, ඒ ඕජා තොමෝ ස්ථිතික්‍ෂණයට පැමිණ, අෂ්ටවිධ අවිනිබ්භොග රූපයන් උපදවයි.
මව විසින් අනුභව පානය කළාවූ ආහාරපාන ඕජා තොමෝ මව්කුස හොත් ළදරුවාගේ සිරුරෙහි පිහිටීමට සප්තාහ එකක් හෝ දෙකක් හෝ එයට අඩුවැඩි කලක් ගතවේ. එසේ ළදරුවාගේ සිරුරෙහි පිහිටි ඒ ඕජා තොමෝ අෂ්ටවිධ අවිනිබ්භොග රූපයන් උපදවයි. ප්‍රකෘතියෙන්ම පිළියෙළවූ ඛාද්යභොද්යයන්ගේ ඇති තැන උපන්නාවූ ඒ ඛාද්යභොද්යයන් ගෙන අනුභව කරන්නාවූ ඕපපාතිකවූ සත්ත්වයාටද ස්ථිතික්‍ෂණයට පැමිණියාවූ ඕජා තොමෝ රූප උපදවයි. එක් ඕපපාතික සත්ත්වයෙක් තෙම බත්පැන් නැත්තාවූ වනයෙහි උපදීද, මහත්වූ සාදුක් ඇත්තේ වේද, තමාගේ කෙළ, දිව කරණකොටගෙන පෙරළා ගිලීද, එසේ කෙළ ගිල බුදින කාලයෙහිත් ඒ ඕපපාතික සත්ත්වවයාහට ස්ථිතික්‍ෂණයට පැමිණියාවූ ඕජා තොමෝ රූපය උපදවයි. මෙසේ පස්විසි වැදෑරුම්වූ රූප කොටස් අතුරෙන් තෙජොධාතු තොමෝද, කබලීකාරාහාරය තෙමේද යන මේ රූපයෝ දෙදෙනහුම රූප උපදවත්.
නාම ධර්මයන් අතුරෙන් චිත්තය තෙමේත්, කර්මය යයි කියනලද චේතනා තෙමේත් යන මේ ධර්මයෝ දෙදෙනාද රූප උපදවත්.
රූප, චිත්ත, කර්මචේතනා සඞ්ඛ්‍යාත රූපජනක ප්‍රත්‍යයන් අතුරෙන් රූපය තෙම උත්පාදක්ෂණයෙහිද, භඞ්ගක්ෂණයෙහිද දුබල වේ. ඨිතික්ෂණයේදී බලවත් වේ. එහෙයින් ඨිතික්ෂණයෙහිම රූපය උපදවයි. නානාක්ෂණික කර්ම චේතනා තොමෝ නිරුද්ධවූවාම ප්‍රත්‍යය වනුයේ වේ. අතීත කාලයෙහි කප්කෙළ ලක්ෂයකින් මත්තෙහිදු සකස් කරන ලද්දාවූ කර්මය තෙම මේ වර්තමාන භවයෙහිද නොහොත් මේ වර්තමාන භවයෙහි සකස් කරණ ලද කර්මය තෙම අනාගත කාලයෙහි කප්කෙළ ලක්ෂයකින් අවසන්හිද ප්‍රත්‍යය වන්නේ වේ. මෙපරිද්දෙන් පූර්වාපර වශයෙන් පඤ්චස්කන්ධයෝ තුමූ දත යුත්තාහ.
- අද්ධාන පරිච්ඡේද වශයෙන් වනාහි රූපය තෙම කොපමණ කලක් පවතීද, නාමය තෙම කොපමණ කලක් පවතීදැයි විනිශ්චය කටයුතු. රූපය තෙම ගරු පරිණාමය හෙවත් ගරුකවූ ජරා විකෘතිය ඇත්තේය. දන්ධනිරෝධය හෙවත් ලස්වූ බිඳීම් ඇත්තේය. නාමය තෙම ලහුපරිණාම හෙවත් ලඝුවූ ජරා විකෘතිය ඇත්තේය. ඛිප්පනිරෝධය හෙවත් නොලස්වූ බිඳීම් ඇත්තේය. රූපය පවත්නා කල්හිම සිත් සොළොස් (16) දෙනෙක් ඉපිද නිරුද්ධ වෙත්. ඒ රූපය තෙම සතළොස්වන (17) සිත හා සමඟ බිඳෙයි. පුරුෂයෙක් තෙම පල නෙලන්නෙමියි මෙනෙහි කොට මුගුරකින් වෘක්ෂ ශාඛාවට ගසානම් ඵලද පත්‍රයෝ ද එකවරම නටුවෙන් මිදෙන්නාහුය. ඒ ඵල පත්රයන් අතුරෙන් ඵලයෝ තුමූ තමාගේ බර බැවින් ඉතා පළමුව පෘථිවියෙහි යම්සේ පතිත වෙත්ද පත්‍රයෝ සැහැල්ලු බැවින් පසුව යම්සේ පතිත වෙත්ද, එපරිද්දෙන්ම පොළු පහරින් පත්‍රයන්ගේ ද, ඵලයන්ගේ ද එකවටම නටුවෙන් මිදුණු කල මෙන් පිළිසිඳ ගන්නා කෙණෙහි නාමරූප ධර්මයන්ගේ එකවට පහළවීම දතයුතු. ඵලයන්ගේ බර බව කරණ කොට ගෙන වහාම පළමු පෘථිවියෙහි පතිතවීම මෙන් රූපය පවත්නා කල්හිම සොළොස්වැදෑරුම් වූ චිත්තයන්ගේ ඉපිද නිරුද්ධවීම දතයුතු. පත්‍රයන්ගේ සැහැල්ලු බව හේතු කොට ගෙන පසුව පෘථිවියෙහි පතිතවීම මෙන් රූපයාගේ, සතළොස් වැනිවූ සිත හා සමඟ නිරුද්ධවීම දතයුතු.
ඒ රූප ධර්ම නාම ධර්මයන් අතුරෙන් රූපයතෙමේ ගරු පරිණාමය හා දන්ධනිරෝධය ඇත්තේ වේ ද නාමය තෙමේ ලහුපරිණාමය හා ඛිප්පනිරෝධය ඇත්තේ වේ ද, එසේවී නමුත් රූපය තෙමේ නාමයද, නාමය තෙමේ රූපයද හැර පවත්නට නොහැකි වෙත්. නාම රූප උභය ධර්මයන්ගේ වනාහි සම ප්‍රමාණ ඇත්තාවූම ප්රවෘත්ති තොම වේ. එක් පුරුෂයෙක් තෙම ලුහුඬු වූ පා ඇත්තේය. එක් පුරුෂයෙක් තෙම දික්වූ පා ඇත්තේය. ඒ පුරුෂ යන් දෙදෙනා එකතුව මගයන කල්හි යම් පමණ කලෙකින් දික්වූ පා ඇති පුරුෂතෙම එක් පියවරක් යන්නේද, එපමණ කලෙකින් ලුහුඬු පා ඇති පුරුෂතෙම සොළොස් පියවරන් යෙයි. දික්වූ පා ඇති පුරුෂතෙම ලුහුඬු වූ පා ඇති පුරුෂයාගේ සොළොස් පියවරෙහි තමාගේ පාදය ඇද නගා එකම වූ පියවරක් කෙරෙයි. මෙසේ ඇති කල්හි එක් පුරුෂයෙකුදු එක් පුරුෂයක්හු ඉක්මවා යන්ට නොහැකි වන්නේය. පුරුෂයන් දෙදෙනාගේ වනාහි ගමන සම ප්‍රමාණ ඇත්තේ වේ. එපරිද්දෙන් ලුහුඬු පා ඇති පුරුෂයා මෙන් නාමය තෙම දතයුතු. දික්වූ පා ඇති පුරුෂයා මෙන් රූපය තෙම දතයුතු. දික්වූ පා ඇති පුරුෂයාගේ එක් පියවරක් යන කාලයෙහි අනික් ලුහුඬු පා ඇති පුරුෂයාගේ සොළොස් පියවර යාම මෙන් රූපය පවත්නා කල්හිම නාම ධර්ම යන්හි අන්තර්ගත වූ සොළොස් වැදෑරුම් වූ චිත්තයන්ගේ ඉපිද නිරුද්ධ වීම දතයුතු. පුරුෂයන් දෙදෙනා අතුරෙන් ලුහුඬු පා ඇති පුරුෂයාගේ සොළොස් පියවරයෙහි දික්වූ පා ඇති පුරුෂයාගේ තම පය ඇද නගා එක් පියවරක් කිරීම මෙන් රූපයාගේ සතළොස්වැනි වූ සිත හා සමඟ නිරුද්ධවීම දතයුතු. පුරුෂයන් දෙදෙනාගේ ඔවුනොවුන් නොයික්මවා සම ප්‍රමාණයෙන්ම ගමන මෙන් නාමයාගේ රූපය, රූපයාගේ නාමය නොයික්මවා සම ප්‍රමාණයෙන්ම පැවැත්ම දතයුතු. මෙසේ අද්ධාන පරිච්ඡේද කාලය පිරිසිඳීම් වශයෙන් පඤ්චස්කන්ධයෝ තුමූ දත යුත්තාහ.
4. එකුප්පාද නානා නිරොධය-පළමු කොට ප්රතිසන්ධි චිත්තය උපදී. දෙවනුව භවාඞ්ග චිත්තය උපදනේය. මෙතැන් සිට තුන්වනුව භවාඞ්ග චිත්තය, සතරවනුව භවාඞ්ග චිත්තය යනාදි ක්‍රමයට සොළොස්වනුව භවාඞ්ග චිත්තයද උපදී. ඒ සොළොස් චිත්තයන් අතුරෙන් එක් එක් සිතක්හුගේ උත්පාද ඨිති භඞ්ග වශයෙන් තුන් තුන් ක්ෂණ කෙනෙක් වෙත්. ඒ සොළොස් චිත්තයන් අතුරෙන් එක් එක් සිතක්හුගේ තුන් තුන් වැදෑරුම් වූ ක්ෂණයන්හි සමතිස් සමතිස් කර්මජ රූපයෝ තුමූ උපදිත්. ඒ සමතිස් කර්මජ රූපයන් අතුරෙහි ප්රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි පහළවූ කර්මජ රූපයතෙම සතළොස්වැනිවූ භවඞ්ග චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ම බිඳෙයි. ප්රතිසන්ධි චිත්තයාගේ ඨිතික්ෂණයෙහි පහළවූ කර්මජ රූපය තෙම සතළොස් (17) වැනිවූ භවඞ්ග චිත්තයාගේ ඨිතික්ෂණයෙහිම බිඳෙයි. ප්රතිසන්ධි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි පහළවූ කර්මජරූපය තෙම සතළොස්වැනි වූ භවඞ්ග චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහිම බිඳෙයි. මෙසේ දෙවෙනිවූ භවඞ්ග චිත්තය පටන් කොට, තමතමාගේ සතළොස්වැනිවූ චිත්තය හා සමග යොදා මේ කර්මජ රූපයන්ගේ පහළවීම දතයුතු. මේ ක්‍රමයෙන් සොළසත්රිකයෝ තුමූ අටසාළිස් (48) ත්‍රික කෙනෙක් වෙත්. ඒ අටසාළිසක්වූ (48) කර්මජ රූප ප්රවෙණිතොමෝ වනාහි රාත්‍රියෙහිද දහවල්හිද කැවිලි ආදිය කන්නවුන්ටත්, බත් ආදිය බුදින්නවුන්ටත්, නිදන්නවුන්ටත්, සිහි මුළා වූවන්ටත්, ගලාබස්නාවූ ගංවතුරක් මෙන් පිළිවෙළ නොසිඳ පවත්නීමැයි. එපරිද්දෙන් එක්ව ඉපදීම් වෙන්ව බිඳීම් හෙවත් එකුප්පාද නානා නිරෝධය දතයුතු.
5. නානුප්පාද එක නිරෝධය - ආයු සංස්කාරාවශානයෙහි සොළොස් විධවූ චිත්තයන්ගේ වර පැමිණි කල්හි යට ෂෝඩශකය මත්තෙහි ෂෝඩශකය යන මේ ෂෝඩශකයෝ දෙදෙන එක්කොට ගැළපිය යුතුය අවසානයෙහි උපදනා සිත් සොළොස්දෙන මත්තෙහිවූ ෂෝඩශකය නමි. එයට පෙර උපදනා සිත් සොළොස්දෙන යට ෂෝඩශකය නමි. යට ෂෝඩශකයෙහි ප්‍රථම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි පහළවූ සමතිස් (30) කර්මජ රූපය තෙම මත්තෙහි වූ ෂෝඩශකයෙහි ප්‍රථම චිත්තයාගේ උත්පාදක්ෂණයෙහිම බිඳෙයි. ස්ථිතික්ෂණයෙහි පහළවූ සමතිස් කර්මජ රූපය තෙම ඒ උපරිෂෝඩශකයෙහි ප්‍රථම චිත්තයාගේ ස්ථිතික්ෂණයෙහිම බිඳෙයි. භඞ්ගක්ෂණයෙහි පහළවූ සමතිස් කර්මජ රූපය තෙම ඒ උපරිෂෝඩශකයෙහි ප්‍රථම චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි බිඳෙයි. යට සිටි ෂෝඩශකයෙහි වනාහි දෙවෙනිවූ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි පහළවූ සමතිස් කර්මජරූපය තෙම ඒ උපරිෂෝඩශකයෙහි දෙවෙනි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි බිඳෙයි. මේ පිළිවෙළින් යට ෂෝඩශකයෙහි සොළොස්වනුවූ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි පහළවූ සමතිස් කර්මජ රූපයතෙම, චුති චිත්තයාගේ උත්පාදක්ෂණයෙහිම බිඳෙයි. යට සිටි ෂෝඩශකයෙහි සොළොස්වන චිත්තයාගේ ස්ථිතික්ෂණයෙහි පහළවූ සමතිස් කර්මජ රූපය තෙම චුති චිත්තයාගේ ස්ථිතික්ෂණයේදී බිඳෙයි. එහි භඞ්ගක්ෂණයෙහි පහළවූ සමතිස් කර්මජ රූපය තෙම චුති චිත්තයාගේ භඞ්ගක්ෂණයේදී බිඳෙයි. ඒ කර්මජ රූපනිරෝධයෙන් ඔබ්බෙහි කර්මජ රූපයන්ගේ පරම්පරා තොමෝ නොපවතී. ඉදින් කර්මජ රූප ප්රවෙණී තොමෝ පවත්නි නම් සත්ත්වයෝ ජීවිතක්ෂය නොවන්නෝ විනාශ නොවන්නෝ, නොදිරන්නෝ, නොමැරෙන්නෝ නම් වන්නාහුය. මේ නයින් එක් සිතක්හුගේ උත්පාදක්‍ෂණයෙහි උපන්නාවූ රූපය තෙම අන් සිතක්හුගේ උත්පාදක්‍ෂණයෙහි බිඳෙයි.
කායසංස්කාරය තෙම චිත්තසමුත්ථානවූ හෙවත් චිත්තය හේතුකොටගෙන උපදනාවූ ආශ්වාස ප්‍රශ්වාස වාතය නම්. මේ චිත්ත සමුට්ඨාන රූපය චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඉපිද යම්තාක් කල් අන්‍යවූ සොළොස් සිත් කෙනෙක් උපදිද්ද, ඒ තාක්කල් පවතී. ඒ සොළොස් සිත් අතුරෙන් සියලු සිත්නට පැසුළුව උපන් සිත හා සමග නිරුද්ධ වෙයි. මෙසේ යම් සිතක් හා සමග ඉපදී, ඒ තමාගේ ඉපැද්මට හේතුවූ චිත්තයෙහි පටන් සතළොස් වන සිත සමග බිඳෙයි. කිසියම් සිතක්හුගේ උත්පාදක්‍ෂණයෙහි හෝ ඨිතික්ෂණයෙහි හෝ නොබිඳෙයි. කිසියම් සිතක්හුගේ ස්ථිතික්ෂණයෙහි හෝ භඞ්ගක්ෂණයෙහි හෝ නූපදී. මෙය චිත්ත සමුට්ඨාන රූපයාගේ ස්වභාවයයි. මෙ පරිද්දෙන් චිත්ත සංස්කාරය හා සමග කාය සංස්කාරයාගේ බිඳීම වන බව දතයුතු.
චිත්තසමුත්‍ථාන රූපයාගේ යම් ක්ෂණ නියමයෙක් වේද, කම්ම සමුත්ථානාදී රූපයාගේ ද ක්ෂණ නියමය එසේම දතයුතු. එහෙයින් පටිසන්ධි චිත්තය හා සමග උපන්නාවූ කර්මජ රූපය තෙම ඒ ප්රතිසන්ධි චිත්තයෙහි පටන්ගෙන සතළොස්වන සිත හා සමග නිරුද්ධ වෙයි. ප්රතිසන්ධි චිත්තයාගේ ස්ථිතික්ෂණයෙහි උපන්නාවූ කර්මජ රූපය තෙම අටළොස්වනු වූ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි බිඳෙයි. ප්රතිසන්ධි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි උපන්නාවූ කර්මජ රූපයතෙම අටළොස්වනුවූ චිත්තයාගේ ස්ථිතික්ෂණයෙහි බිඳෙයි.
මෙසේ අවසාන වූ හෙවත් පශ්චිම වූ කර්මජරූපයාගේ නිරෝධයෙන් මත්තෙහි වනාහි ඍතුජ රූප පරම්පරා තොමෝම පවතී. ඒ චුතියෙන් මත්තෙහි මෘතදෙහයයි කියන ලද ඍතුජ රූප කලෙබරය ඉවතට ගෙනගොස් ආදහන කරව් යයි කිවයුතු වේ.
මෙකී නයින් නානුප්පාද එක නිරෝධ වශයෙන් පඤ්චස්කන්ධයෝ තුමූ දතයුත්තාහ.
6. එකුප්පාද එක නිරෝධය - රූපය තෙම වනාහි රූපය හා සමග සමානවූ ඉපදීම් ඇත්තේය. සමානවූ බිඳීම් ඇත්තේය. නාමය තෙම නාමය හා සමග සමානවූ ඉපදීම් ඇත්තේය. සමානවූ බිඳීම් ඇත්තේය. මෙපරිද්දෙන් එකුප්පාද එකනිරෝධ වශයෙන් හෙවත් එක්ව ඉපදීම් එක්ව බිඳීම් වශයෙන් පඤ්චස්කන්ධයෝ තුමූ දතයුතු.
7. නානුප්පාද නානා නිරෝධය-පත්ලෙන් මත්තෙහි කෙසගින් යට සම විරියත්කොට ඇත්තාවූ මේ ශරීරයාගේ ඒ ඒ තන්හි හෙවත් ඒ ඒ අවයවයෙහි චතුර්විධ සන්තති රූපය තෙම ඝනපුඤ්ජ භාවයෙන් පවතී. මෙපරිද්දෙන් පවත්නාවූද ඒ චතුසන්තති රූපයාගේ එකොත්පාදාදිභාවය නොසැලකිය යුත්තේය. ගමන් ගත් වේයන් රැසක් හෝ ගමන්ගත් කුහුඹුවන් රැසක් හෝ නරඹනු ලබන්නී ඒකාබද්ධ වූවාක් මෙන් පෙනෙනු ලබන නමුත් ඔව්හු ඒකාබද්ධ වූවා නොවේ. එක් කුහුඹුවන් පෙළකගේ හිස ළඟ එක් කුහුඹුවන් පෙළකගේ හිසද, කුසද, පාදයෝද යම්සේ වෙත් ද, එක් කුහුඹුවන් පෙළකගේ කුස ළඟ එක් කුහුඹුවන් පෙළකගේ හිසද, කුසද, පාදයෝ ද යම් සේ වෙත් ද, එක් කුහුඹුවන් පෙළකගේ පා ළඟ එක් කුහුඹුවන් පෙළකගේ හිසද, කුසද, පාදයෝද යම්සේ වෙත් ද, එපරිද්දෙන්ම චතුර්විධ සන්තති රූපයන්ගේ ද, අන්‍ය වූ රූපයක්හුගේ උත්පාදක්‍ෂණයෙහි අන්‍යවූ රූපයක්හුගේ ඉපදීමද, ස්ථිතියද, නිරුද්ධයද වේ. අන්‍යවූ රූපයක්හුගේ ස්ථිතික්ෂණයෙහි අන්‍ය වූ රූපයක්හුගේ ඉපදීමද, ස්ථිතියද, බිඳීමද වේ. අන්‍යවූ රූපයක්හුගේ භඞ්ගක්ෂණයෙහි අන්‍යවූ රූපයක්හුගේ ඉපදීමද, ස්ථිතියද, බිඳීමද වේ. එපරිද්දෙන් වෙත්ව ඉපදීම්, වෙත්ව බිඳීම් වශයෙන් චතුසන්තති රූපයාගේ නානුප්පාද නානානිරොධතාවය දතයුතු.
අතීතානාගත ප්‍රත්‍යුත්පන්න, අධ්‍යාත්ම බාහිර, ඖදාරික සූක්ෂ්ම, හීන ප්‍රණීත, දූරාසන්න වශයෙන්, පඤ්චස්කන්ධයන්ගේ විභාගය යට දක්වනලද පරිද්දෙන්ම දතයුතු.
ප්‍රත්‍යය වශයෙන් හා සමුට්ඨාන වශයෙන් ස්කන්ධයන්ගේ විභාගය රූප කාණ්ඩයෙහි විස්තර කරනලදී.
පරිනිෂ්පන්න වශයෙන් වනාහි පඤ්චස්කන්ධයෝ ප්‍රත්‍යයන් විසින් පිරිසිඳිනලදුව නිෂ්පාදනය කළාහුම වෙත්. අපරිනිෂ්පන්න හෙවත් ප්‍රත්‍යයන් විසින් නොපිරිසිඳිනලදුව නිෂ්පාදනය කළාහු නොවෙත්.
සඞ්ඛත වශයෙන් වනාහි ප්‍රත්‍යයන් විසින් සකස්කොට කරනලද්දාහුම වෙත්. අසඞ්ඛත හෙවත් ප්‍රත්‍යයන් විසින් සකස්කොට නොකරණ ලද්දාහු නොවෙත්.
පරමාර්ථ ධර්මයන් අතුරෙන් හුදකළාවූ නිර්වාණයම ප්‍රත්‍යයන් විසින් පිරිසිඳ නිෂ්පාදනය නොකළාවූ අර්ථයෙන් අපරිනිප්ඵන්න නමුදු වේ.
නිරොධ සමාපත්ති තොමෝ ලෞකිකය, ලොකොත්තරය කියාත්, සඞ්ඛතය අසඞ්ඛතය කියාත්, පරිනිෂ්පන්නය අපරිනිෂ්පන්නය කියාත් නොකියයුත්තීය. සමවදනා පුද්ගලයා විසින් සමවැද්දයුතු වන බැවින් නිෂ්පන්න වූවා නම් වේ. නාම ප්රඥප්ති තොමෝද එසේමැයි. එහිද ලෞකිකාදී ප්‍රභෙදයක් නැත. යම් හෙයකින් නාමග්රහණය ගන්නා තැනැත්තේම ගණිද එහෙයින් නිෂ්පන්න වූවා නම් වේ. අනිෂ්පන්න වූවා නම් නොවේ.
මේ ස්කන්ධයන්ගේ ප්රකීර්ණක කථනය වේ.
තවද පඤ්චවිධ වූ ස්කන්ධයන්හි ක්‍රම වශයෙන් හෙවත් පටිපාටි වශයෙන්ද, එයින් අන්‍යවූ විශේෂ වශයෙන්ද, අනුනාධික වශයෙන් ද, උපමා වශයෙන් ද විභාගය දතයුතු.
ක්‍රම වශයෙන් වනාහි, උත්පත්ති ක්‍රමය, ප්රහාණක්රමය, ප්‍රතිපත්ති ක්‍රමය, භූමි ක්‍රමය, දේශනා ක්‍රමය යන ආදී වශයෙන් මේ ස්කන්ධයන්ගේ විභාගක්රමය බොහෝවූ ප්‍රකාර ඇත්තේය.
මේ ක්රමයන් අතුරෙන්, ප්‍රථමකොට කලල රූපය වෙයි. ඒ කලල රූපය අර්බුධ අවස්ථාව වෙයි යනාදි ක්‍රමය තෙම උත්පත්ති ක්‍රමය නම් වේ.
දර්ශනයයි කියන ලද සොවාන් මගින් පැහිය යුතු පාපධර්මයෝය, භාවනායයි කියන ලද උපරිමාර්ගත්රයෙන් පැහිය යුතු පාපධර්මයෝය යන මේ ආදීවූ ක්‍රමය තෙම ප්රහාණක්රමය නම් වේ.
ශීලවිශුද්ධිය චිත්තවිශුද්ධිය යන මේ ආදී වූ ක්‍රමය තෙම ප්‍රතිපත්ති ක්‍රමය නම් වේ.
කාමාවචර භූමිය රූපාවචර භූමිය යන මේ ආදීවූ ක්‍රමය තෙම භූමි ක්‍රම නම් වේ.
සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යග් ප්‍රධාන වීර්‍ය්‍යයෝ ය කියා හෝ දාන කථාය, ශීල කථාය කියා හෝ මේ ආදී වූ ක්‍රමය දේශනා ක්‍රමය නම් වේ.
කලලරූපාදීන්ගේ පූර්වාපර ව්‍යවස්ථානය මෙන් ස්කන්ධයන්ගේ පූර්වාපර ව්‍යවස්ථාන වශයෙන් උත්පත්ති ක්‍රමයක් නැත්තේය. එසේම කුසල අව්‍යාකෘත ස්කන්ධයන්ද ප්රහාණය නොකට යුත්තේය. පාපධර්මයන් පිළිපැදීම් නොකට යුත්තේය. වේදනාදි ධර්මයෝ කාමාදි චතුර්විධ භූමියෙහි ඇතුළත් වේ. එහෙයින් මෙහිදී උත්පත්ති ක්රමයද, පහාන ක්රමයද, ප්‍රතිපත්ති ක්රමයද, භූමි ක්රමයද විස්තර කරනු නොලැබේ.
දේශනා ක්‍රමය:- පඤ්චස්කන්ධයන් දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් රූපස්කන්ධයෙන් ආරම්භ කොට වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණස්කන්ධයන් වදාළ සේක.
සාමාන්‍ය වශයෙන් පඤ්චස්කන්ධයන්හි මාසතු ආත්ම භාවයය යි දැඩිව ගැණීමෙහි පතිත වූ, යම් වෛනෙයජන පුද්ගල සමූහයකු ස්කන්ධයන්ගේ සමූහභූතවූ ඝන බහල භාවය වෙන් කොට දැක්වීමෙන් මා සතු ආත්මභාවයය යි දැඩිව ලබ්ධි ගැනීමෙන් මුදනු කැමති වූ, හිත කැමති භාග්‍යවතුන් වහන්සේ ඒ වෛනෙය ජනයාගේ සුවසේ දැනගැනීම පිණිස චක්ෂුරාදී චාරයන්ටද අරමුණුවූ ඖදාරික වූ රූපස්කන්ධය පළමු කොට වදාරණ සේක. ඉක්බිතිව ඉෂ්ටානිෂ්ට රූපය අනුභව කරන්නා වූ වේදනාස්කන්ධය වදාරණ සේක. යම් ඉෂ්ටානිෂ්ට රූපයක් වේදනාතොමෝ අනුභව කරයි ද ඒ ඉෂ්ටානිෂ්ට රූපයාගේ ආකාරය හඳුනගන්නා වූ සඤ්ඤා- ස්කන්ධය එයට ඉක්බිතිව වදාරණ සේක. සඤ්ඤාවගේ වශයෙන් සකස් කරන්නා වූ සංස්කාරයන් හෙවත් සංස්කාරස්කන්ධය එයට අනතුරුව වදාරණ සේක. ඒ වේදනාදීන්ගේ නිඃශ්‍රය වූ ද, අධිපති වූ ද විඤ්ඤාණය හෙවත් විඤ්ඤාණස්කන්ධය අවසාන කොට වදාරණ සේක.
විශේෂ වශයෙන් වනාහි ස්කන්ධයන්ගේද උපාදාන ස්කන්ධයන්ගේ ද වෙනස දතයුතු.
මෙහි ස්කන්ධයන්නෙන් නිර්වාණය හැර සියලු ලෞකික ලොකොත්තර ධර්මයන් දක්වන ලදී.
උපාදානස්කන්ධ වශයෙන් චතුර්විධ ආශ්‍රව ධර්මයන්ට හා චතුර්විධ උපාදාන ධර්මයන්ට ආලම්බන භාවයෙන් වෙනස් කොට ලෞකික චිත්ත චෛතසික හා රූපධර්මයෝද දක්වන ලදී.
සියලුම සාශ්‍රව අනාශ්‍රව වූ ස්කන්ධයන් එක් කොටසක් කොට ස්කන්ධයෝ යයි ද උපාදාන ධර්මයන්ට අරමුණුවූ, සාශ්රවවූ, ස්කන්ධයන් පමණක් උපාදාන ස්කන්ධයෝ යයි ද දත යුතු.
අනූනාධික වශයෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අඩුත් නොවූ වැඩිත් නොවූ ස්කන්ධයන් පස්දෙනෙක්ම වදාරන ලදි. සියලු සංස්කාර ධර්මයන්ට සමාන කොට්ඨාසයන්ගේ වශයෙන් හකුලුවා දක්වන හෙයින්ද මාගේ ආත්ම භාවය, මාගේ සම්පත්ති යයි ගැනීමට හෙවත් ආත්ම ආත්මියාභිනිවේශයට ප්‍රමාණවන හෙයින්ද ඒ පඤ්චස්කන්ධයන් කෙරෙන් අන්‍යවූ ශීලස්කන්ධාදීහු සංස්කාරස්කන්ධයෙහි ඇතුල්වන හෙයින්ද ස්කන්ධයෝ පසක්හුම වදාළ සේක.
නොයෙක් ප්‍රභේද ඇත්තාවූ සංස්කාර ධර්මයන් සමාන කොට්ඨාස වශයෙන් සංග්‍රහ කරනු ලබන කල්හි රූපය තෙම, රුප්පන ලක්ෂණයෙන් සමාන වූ කොටස් එක් තැන්හි සංග්‍රහ කිරීම් වශයෙන් එක් ස්කන්ධයක් වේ.
වේදනා තොමෝ ආලම්බන රසානුභවන සංඛ්‍යාත වේදයිත ස්වභාවයෙන් සමානවූ කොටස් එක් තැන්හි සංග්‍රහ කිරීම් වශයෙන් එක් ස්කන්ධයක් වේ.
සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණයන්ද මෙපරිද්දෙන්ම දත යුතු.
රූපය විද්‍යමාන කල්හි, ඒ රූපය නිසා, රූපය ලෙහි පිහිටුවා මේ රූපය තෙම මාගේය, නොහොත් මේ ධනය මාගේය, මේ රූප ධර්මය තෙම මම වෙමි, මේ රූපධර්මය තෙම මාගේ ආත්මය තෙමේයි යනාදී වශයෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදී.
වෙදනාව විද්‍යමාන කල්හිද, සංඥාව විද්‍යමාන කල්හිද, සංස්කාරයන් විද්‍යමාන කල්හිද, විඥානය විද්‍යමාන කල්හිද මමය, මාගේය, මාගේ ආත්මය ය යනාදී වශයෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදී. මෙසේහෙයින් ආත්ම ආත්මීයාභිනිවේශයට කාරණයාගේ වශයෙන්ද ස්කන්ධයෝ පසක්ම වදාරන ලදි.
ශීලස්කන්ධය ආදිකොට ඇත්තාවූ යම් ධර්මස්කන්ධ සමූහයක් වදාළාහුද, ඒ ධර්මස්කන්ධයෝද සංස්කාර ස්කන්ධයෙහි ඇතුළත්වන බැවින් මේ පඤ්චස්කන්ධයෙහිම අන්තර්ගත භාවයට යෙත්. මෙසේ ස්කන්ධයන්ගේ අනූනාධික භාවය දත යුතු.
උපමා වශයෙන් ස්කන්ධයන්ගේ විනිශ්චය මෙසේයි. රූපූපාදානස්කන්ධය තෙම ගිලන් හලක් හා සමාන වේ. ගිලන් පුද්ගලයෙකු හා සමාන වූ විඤ්ඤාණූපාදානස්කන්ධයාගේ වස්තු වශයෙන්ද, චාර වශයෙන්ද, ආලම්බන වශයෙන්ද, වාසස්ථාන හෙවත් ආධාරස්ථාන වන හෙයිනි.
වෙදනූපාදානස්කන්ධය තෙම ගිලන්බැව හා සමානවේ, නොහොත් ගිලන් බැවම උපමා කොට ඇත්තේය. ආබාධ පීඩා කරවන බැවින්ද දැඩි කොට පෙළන බැවින්ද ගිලන් බව හා සමාන වේ.
සඤ්ඤුපාදානස්කන්ධය තෙම ගිලන් බව උපදවන හෙවත් ගිලන් බැවට ආසන්න කාරණ වූ තුන් දෙස හා සමාන වේ. රාගාදීන් හා සම්ප්‍රයුක්ත වූ වෙදනාවගේ හට ගැනීම වන හෙයිනි.
සඞ්ඛාරූපාදානස්කන්‍ධය තෙම අසප්පාය සේවනය හෙවත් නොසැපවූ ආහාර පාන විහරණාදිය සෙවීමක් හා සමාන වේ. වෙදනා සංඛ්‍යාතවූ ගිලන් බැවම මූලකාරණය වන බැවිනි.
විඤ්ඤාණුපාදානස්කන්ධය තෙම ගිලන් පුද්ගලයෙකු හා සමානය. වෙදනාව අලම්බනරසානුභවය පිණිස සත්ත්වයෝ තුමූ නොහොත් කර්මයෝ තුමූ සකස් කෙරෙත්. අකුසල්වූ කර්මය කළ බැවින්, රැස්කළ බැවින් දුක්ඛ වෙදනාව හා එක්ව යෙදුනාවූ කායවිඤ්ඤාණ විපාක චිත්තය තෙම උපදී. කුසල්වූ කර්මය කළ බැවින්, සුඛ වෙදනාව හා එක්ව යෙදුනාවූ කායවිඤ්ඤාණ විපාක චිත්තය තෙම උපදී. වෙදනා හා ගිලන් බැවින් නොමිදුනු හෙයින් විඤ්ඤාණුපාදාන ස්කන්ධය තෙම ගිලන් පුද්ගලයෙකු හා සමානය.
තවද, මේ පඤ්චස්කන්ධයෝ තුමූ චාරක, කාරණ, අපරාධ, කාරණකාරක, අපරාධික යන මොවුන් හා සමානය. රූපූපාදානස්කන්ධය චාරක හෙවත් බන්ධනාගාරයක් හා සමානය. වෙදනූපාදානස්කන්ධය, කාරණ හෙවත් කම් කටුළ හා සමානය. සඤ්ඤුපාදානස්කන්ධය අපරාධ හා සමානය. සඞ්ඛාරූපාදානස්කන්‍ධය කාරණ කාරක හෙවත් කම්කටුළ කරන්නාවූ වධකයා හා සමානය. විඤ්ඤාණුපාදානස්කන්ධය අපරාධික හෙවත් අපරාධ කළාහු සමානය.
එසේම මේ පඤ්චස්කන්ධයෝ තුමූ භාජන, භොජන, ඛ්‍යඤ්ජන, පරිවෙසක, භුඤ්ජක යන මොවුන් හා සමානය. රූපූපාදානස්කන්ධය, භාජන හෙවත් බඳුනක් හා සමානය. වෙදනූපාදානස්කන්ධය, භොජන හෙවත් බත හා සමානය. සඤ්ඤුපාදානස්කන්ධය, ඛ්‍යඤ්ජනය හෙවත් අවුළු හා සමානය. සඞ්ඛාරූපාදානස්කන්‍ධය, පරිවෙසක හෙවත් භක්තකාරකය හා සමානය. විඤ්ඤාණුපාදානස්කන්ධය, භුඤ්ජක හෙවත් අනුභව කරන්නා හා සමානය.
පඤ්චස්කන්ධයෝ සංක්ෂෙප වශයෙන් ය, විස්තර වශයෙන් ය යන දෙපරිද්දෙකින්ම දතයුත්තාහ.
සංක්ෂෙප වශයෙන්, උපාදානස්කන්ධයෝ පස්දෙන ආශිර්විෂොපම සූත්‍රයෙහි දක්වනලද පරිද්දෙන් ඔසවා ගත් ආයුධ ඇති සතුරන් වශයෙන් නුවණින් දැක්ක යුතුය. භාර සූත්‍රයාගේ වශයෙන් බරක් මෙන් දැක්ක යුතුය. ඛජ්ජනීය සූත්‍රයාගේ වශයෙන් භක්ෂක වශයෙන් දැක්ක යුතුය. යමක සූත්‍රයාගේ වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, සඞ්ඛත, චධක වශයෙන් ද දැක්ක යුතුය.
විස්තර වශයෙන් වනාහි රූපය තෙම හෙවත් රූපූපාදානස්කන්ධය පෙණ පිඩක් මෙන් නුවණින් දැක්ක යුතුය. වෙදනා තොමෝ හෙවත් වෙදනාස්කන්ධය දිය බුබුලක් මෙන් දැක්ක යුත්තීය. සංඥා තොමෝ හෙවත් සංඥාස්කන්ධය මිරිඟු ජලයක් මෙන් දැක්ක යුත්තීය. සංස්කාරයෝ තුමූ හෙවත් සංස්කාරස්කන්ධය කෙසෙල් කඳක් මෙන් දැක්ක යුතුය. විඤ්ඤාණය තෙම හෙවත් විඤ්ඤාණස්කන්ධය මායාවක් හෙවත් ඉන්ද්රජාලයක් මෙන් දැක්ක යුතුය.
පෙණ පිඩ, නිස්සාර හෙවත් හර නැත්තේ යම්සේද එපරිද්දෙන්ම රූපය තෙමේද, නිත්‍යසාර, ධ්‍රැවසාර, ආත්මසාරයන් කෙරෙන් තොරවීම හේතුකොටගෙන නිස්සාර හෙවත් හර නැත්තේම වේ. නිත්යසාරය නම් නොනස්නා කරුණෙන් නිත්‍ය යයි ගත් දෘෂ්ටියයි. ධ්රැවසාරය නම් මිනිසත් බැව් ලත් තැනැත්තේ මිනිසත් බවම ලබන්නේය. තිරිසන් අත්බැව ලත් තැනැත්තේ තිරිසන් බවම ලබන්නේය යනාදී වශයෙන් විනාශයෙන් අන්‍යවූ විපරිණාම අන්‍ය ස්වභාවයක් නැති හෙයින් ශාශ්වත ය යි ගත් දෘෂ්ටියයි.
පෙණ පිඬෙන් පාත්‍රයක් හෝ තැටියක් හෝ කරන්නෙමු ය යි ගන්නට නොහැකිය. එසේ ගන්නා ලදුයේවී නමුත් එම අර්ථය සිද්ධ නොවේ. එපරිද්දෙන්ම රූපය තෙමේද, නිත්‍යය කියාත්, ශාශ්වතය කියාත්, මමය කියාත්, මාගේය කියාත් ගන්නට නොහැකි වේ. ගත්තේවී නමුත් එපරිද්දෙන්ම නොපවතී. අනිත්‍ය වූයේ ම වේ. අනාත්ම වූයේ ම වේ. අසුභ වූයේ ම වේ. මෙසේ හෙයින් රූපය තෙම පෙණ පිඩක් හා සමානය ය යි වදාරන ලදී.
තවද, පෙණ පිඩ ලොකු කුඩා සිදුරු ඇත්තේ වේ. නොයෙක් සම්බන්ධස්ථානයන් විසින් ගළපන ලදය. බොහෝ වූ උදක සපී හෙවත් දියබරණුන් ආදිකොට ඇති සත්ත්වයන්ට, පණුවන්ට වාසස්ථාන වූයේ වේ. එපරිද්දෙන්ම රූපය තෙමේද, කුදු මහත්වූ සිදුරු ඇත්තේ වේ. නොයෙක් සම්බන්ධස්ථානයන් විසින් ගළපන ලදය. මේ රූපකාය, කුල වශයෙන් අසූ කුලයක පණුවන්ට වාසස්ථානයක් ද වේ. ඒ රූපකායම එකී පණුවන්ට සූතිකාඝාරයක් හෙවත් තිබිරිගෙයක් ද වේ. වැසිකිළියක් ද වේ. ගිලන්හළක් ද වේ. සුසානයක් හෙවත් සොහොනක් ද වේ. එකී ප්‍රාණීහු අන් තැනෙක්හි ගොස් ප්රසවය කිරීම් ආදී කෘත්‍යයන් නොකෙරෙත්. මේ පරිද්දෙන්ද රූපය තෙම පෙණ පිඩක් හා සමානය.
පෙණ පිඩ මුලින්ම ඩෙබරයක් පමණැතිව යථාක්‍රමයෙන් පචීත කැටයක් පමණද වන්නේය. එපරිද්දෙන් රූපය තෙමේද පළමුවෙත් කලල රූප මාත්රයක්ව යථාක්‍රමයෙන් මිනිසත් බැව් ලද්දවූන්ගේ වශයෙන් බඹයක් පමණැත්තේ වේ. ගෙරි සරක් ඇතුන් ආදී වූ තිරිසන් වූ සතුන්ගේ වශයෙන් පචීත කූට ප්‍රමාණවත් වේ. මත්ස්‍ය කැසුබු ආදී තිරිසන් වූ සතුන්ගේ වශයෙන් නොයෙක් යොදුන් සියගණන් පමණැත්තේ ද වේ. මේ නයින්ද රූපය තෙම පෙණ පිඩක් හා සමාන වේ.
තවද, පෙණ පිඩ උපන් ඇසිල්ලෙහිත් බිඳෙයි මඳක් තැන් ගොස් ද බිඳෙයි. මුහුදට පැමිණි කල්හි ඒකාන්තයෙන්ම බිඳෙන්නේ වේ. එපරිද්දෙන්ම රූපය තෙමේද, කලල බැව්හි ද බිඳෙයි, අර්බුද අවස්ථාවන්හි ද බිඳෙයි, අන්තරයෙහි නොබිඳී නමුත්, සතවර්ෂායුෂ්ක සත්තට ශත වර්මයක් පැමිණි කල්හි නියතයෙන්ම බිඳෙයි. මරුමුවෙහි සුණුවිසුණු වූයේ වේ. මෙසේද රූපය තෙම පෙණ පිඬක් හා සමානය.
දිය බුබුළ අසාර වූයේ හෙවත් හර නැත්තේ යම්සේද, එපරිද්දෙන් වෙදනා තොමෝද හර නැත්තිය, අසාරය. දිය බුබුල නිෂ්ඵලය. අතලා ගන්නට නොහැක්කේය. දිය බුබුළක් ගෙන පුවරුවක් හෝ පලිහක් හෝ අසුනක් හෝ කරන්නට නොහැක්කේය. ගත් ගත් දිය බුබුල යම්සේ බිඳේද එපරිද්දෙන්ම වෙදනා තොමෝද නිෂ්ඵල වන්නීය. ගන්නට නුසුදුසු වන්නීය නිත්‍යය කියාත්, ශාස්වතය කියාත්, ලබ්ධි ගන්නට නුසුදුසු ය. නිත්‍යාදි වශයෙන් ලබ්ධි ගත් නමුදු ඒ ලබ්ධි ගත් පරිද්දෙන් නො පවත්නීය. මෙසේ නිත්‍යාදි වශයෙන් ලබ්ධි ගැණීමට නුසුදුසු බැවින්ද වෙදනා තොමෝ දිය බුබුලක් හා සමාන වන්නීය. ඒ ඒ දියබිඳෙහි බිබිළෙක් උපදින්නේද වේ, බිඳෙන්නේද වේ. වැඩි කල් පවත්නේද නොවේ. එපරිද්දෙන් වෙදනා තොමෝ ද ඉපිද වහා බිඳී යන්නීය කල් පවත්නී නොවේ. එක් අසුරක් ගසන කෙණෙහි කෙළ ලක්ෂ ගණන් ඇත්තාවූ වෙදනා තොමෝ ඉපිද බිඳෙයි.
දිය බුබුළ වනාහි උදක තලය හෙවත් දිය මතුපිටද, උදකබින්දු හෙවත් දිය බිඳුද, උදක ජල්ලක හෙවත් දිය මිදුලුද ඝඝණ වාතය හෙවත් කැටිකොට ගන්නා බොල් සුළඟද යන සිව් වැදෑරුම් වූ කරුණු නිසා උපදී. එපරිද්දෙන්ම, වෙදනා තොමෝද, වත්ථු හෙවත් නිඃශ්‍රය වූ වස්තු රූපයද, ආරම්මණ හෙවත් අරමුණද, කිලෙසජල්ල හෙවත් කෙලෙස් මලද, ඵස්සසඞ්ඝට්ටනය හෙවත් ස්පර්ශ යාගේ සමාගමය ද යන කරුණු සතරදෙනා නිසා උපදී. මෙසේ හෙයින් වෙදනා තොමෝ දිය බුබුළක් හා සමානමය.
සංඥාතොමෝද අසාර හෙවත් නිසරු හෙයින් මිරිඟු ජලය හා සමාන වන්නීය. නිත්‍යාදි වශයෙන් ලබ්ධි ගැනීමට නොනිසිවූ හෙයිනි. මිරිඟු ජලය ගෙන පානය කරන්ට හෝ ස්නානය කරන්ට හෝ බඳුනක් පුරවන්නට හෝ නොහැක්කේය. මිරිගු ජලය පොපියන්නේය. හටගත් රැළ වේගයක්හු මෙන් වැටහෙන්නේ ය. එපරිද්දෙන් නීල සංඥාදි ප්‍රභේද ඇති සංඥාතොමෝ ද නීලාදි ආලම්භන රසාස්වාදය පිණිස සැලෙයි. ඔබිමොබ සැලෙයි. මිරිගු ජලය තෙම මහජනයා පොළඹයි. දිය පිරුණු වැවක් මෙන්, ගඟක් මෙන් දක්නා ලැබෙයි. එපරිද්දෙන්ම සංඥාතොමෝද පොළඹවයි. නිල්පැහැ ඇති මේ අරමුණ සුභය, සුඛය, නිත්‍යය යනාදි වශයෙන් හඟවන්නේය. පීත වර්ණාදි ආලම්බනයෙහිත් එසේමය. මෙසේ පොළඹවන හෙයින්ද, සංඥාතොමෝ මිරිගු ජලය හා සමානවන්නීය.
සංස්කාරයෝතුමුද අසාර හෙවත් නිසරු හෙයින් කෙසෙල් කඳක් හා සමානය. එසේම නිත්‍ය සාරාදි වශයෙන් වරදවා ලබ්ධි ගැනීමට නොනිසිවූ හෙයින්ද කෙසෙල් කඳක් හා සමානය. කෙසෙල් කඳකින් කිසිවක් ගෙන හොනැස් ඈ උපකරණයන්ගේ ප්‍රයෝජනය පිණිස එලවන්නට නොහැක්කේය. එලවන ලද්දේ වී නමුත් එළවූ පරිද්දෙන් නොවන්නේය. එපරිද්දෙන් සංස්කාරයෝද නිත්‍යාදි වශයෙන් ලබ්ධි ගත්නට නොහැක්කාහ. නිත්‍යාදි වශයෙන් ලබ්ධි ගත්හු නමුදු ඒ ලබ්ධි ගත් පරිද්දෙන් නොවෙත්. කෙසෙල් කඳ තෙමේ බොහෝ වූ පතුවැටි රැසෙක් වන්නේ යම් සේද එපරිද්දෙන් සංස්කාරස්කන්ධය තෙමේ ද බොහෝ වූ චෛතසික ධර්මරාශියක් වේ. කෙසෙල් කඳ තෙමේ අනේක ලක්ෂණ ඇත්තේය. පිටත්හිවූ පතුරුවැටියගේ වර්ණය අනිකෙක් වේ. එයින් ඇතුල් ඇතුල් පතුරුවැටිවල වර්ණසංස්ථානය තෙම අනිකෙක් ම වේ. එපරිද්දෙන් ම සංස්කාරස්කන්ධය තෙමේ ද අනේක ලක්ෂණ ඇත්තේය. ස්පර්ශයාගේ ස්වභාවය තෙම අනිකෙක්මය. චේතනාදීන්ගේ ස්වභාවය තෙම අනිකෙක්මය. එසේ වෙන් වෙන් වූ ලක්ෂණ ඇත්තේ වී නමුත් එක් රැසක් කොට සංස්කාරස්කන්ධයයි කියනු ලැබේ. එහෙයින් මේ කරුණෙන් ද සංස්කාරස්කන්ධය තෙම කෙසෙල් කඳක් හා සමාන වන්නේය.
විඥානය තෙමේ ද අසාර හෙවත් නිසරු හෙයින් ඉන්ද්රජාලාදී මායාවක් හා සමාන වන්නේය. එසේම නිත්‍යාදි වශයෙන් ලබ්ධි ගැනීමට නොනිසිවූ හෙයින්ද ඉන්ද්රජාලාදී මායාවක් හා සමානය. මායාතොමෝ ලාමකය. විඥානය තෙමේද ඉන්ද්රජාලාදී මායාවටත් වඩා අතිශයින් ලාමක වන්නේමය. ඒ සිතින්ම පුරුෂ තෙම පැමිණි අයකු මෙන් ද ගිය අයකු මෙන්ද සිටිය අයකු මෙන්ද හුන් අයකු මෙන්ද වේ. එනකල සිත අනෙකක්මය ගමනකාලාදීන්හි සිත අනිකෙක්මය. මේසේ විඥානය තෙම මායාවක් හා සමාන වන්නේය. තව ද මායාතොමෝ මහජනයා රවටන්නීය. හැම දෙයක්ම ගෙන මෙය රන්ය, රිදීය, මුතුය යනාදි වශයෙන් ගන්වන්නී ය. එපරිද්දෙන්ම විඥානය තෙමේද, මහජනයා රවටන්නේය. එම සිතින්ම එන්නක්හු මෙන්ද යන්නක්හු මෙන්ද සිටියක්හු මෙන්ද හුන්නක්හු මෙන්ද දක්වන්නේය. එන ඉරියව්වෙහි සිත අනිකෙක්මය. ගමනාදීවූ ඉරියව්හි සිත අනිකෙක්මය මේ කරුණෙන්ද විඥානය තෙම ඉන්ද්රජාලාදී මායාවක් හා සමාන වන්නේය.
විශේෂ වශයෙන් වනාහි සුභාලම්බනය වූවත් ස්වසන්තාන ගත රූපය තෙම අනිෂ්ටය යයි දත යුතු. වේදනා තොමෝ දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංස්කාර දුක්ඛය යන ත්‍රිවිධ දුක්ඛ ස්වභාවයන් කෙරෙන් නොමිඳුනු හෙයින් දුකයයි දතයුතු. සංඥා සංස්කාරයෝ තුමූ තමා වසයෙහි කරන්ට නොහැකි හෙයින්ද, කර්මය විසින් සකස් කළ හෙයින්ද, ප්‍රත්‍යයන් හා එක්ව පවත්නා හෙයින්ද අනාත්ම යයි දත යුතු. විඥානය තෙම උදයව්‍යය ස්වභාවය ඇති හෙයින් හෙවත් ඉපදීම් බිඳීම්, ප්‍රකෘතිය කොට ඇති හෙයින් අනිත්‍යය යි දත යුතු.
සංක්ෂෙප වශයෙන් වනාහී උපාදානස්කන්ධයන් පස්දෙන ඔසවාගත් අසිපත් ඇති වධකාදීන් ගේ ස්වභාව යෙන් නුවණැසින් දක්නා පුද්ගල තෙම ස්කන්ධයන් විසින් නො පෙළනු ලැබේ.
විස්තර වශයෙන් වනාහි, රූපාදීන් පෙණපිඬු හා සමාන බැවින් නුවණැසින් දක්නා පුද්ගලතෙම නිස්සාරවූ ස්කන්ධයන්හි සාරය යි වරදවා දක්නා සීලී පුද්ගලයෙක් නොවේ.
විශේෂ වශයෙන් වනාහි අධ්‍යාත්මික රූපය අනිෂ්ට වශයෙන් නුවණැසින් දක්නා පුද්ගල තෙම කබලීකාරාහාරය පිරිසිඳ දනී. අසුභයෙහි සුභය යන විපල්ලාසය අත්හරියි. කාමෝඝය තරණය කෙරෙයි. කාමයෝගය හා සංයෝගයට නොපැමිණෙයි, නොහොත් කාම යෝගයෙන් මිදෙයි. කාමාශ්‍රව වශයෙන් ආශ්‍රව රහිතයෙක් වේ. අභිද්යාකාය ග්‍රන්ථය බිඳියි. කාමෝපාදානය දැඩිකොට නොගනී. වේදනාව දුක්ඛ වශයෙන් නුවණැසින් දක්නා පුද්ගලතෙම ස්පර්ශාහාරය පිරිසිඳ දනී. දුක්ඛයෙහි සුඛය යන විපල්ලාසය අත්හරියි. භවෝඝය තරණය කෙරෙයි. භවයෝගය හා සංයෝගයට නො පැමිණෙයි, නොහොත් භවයෝගයෙන් මිදෙයි. භවාශ්‍රව වශයෙන් ආශ්‍රව රහිතයෙක් වේ. ව්යාපාදකාය ග්‍රන්ථය බිඳියි. සීලබ්බතූපාදානය දැඩිකොට නොගනී.
සංඥාවද සංස්කාරයන්ද අනාත්ම වශයෙන් නුවණැසින් දක්නා පුද්ගලතෙම මනෝසඤ්චේතනාහාරය පිරිසිඳ දනී. අනාත්මයෙහි ආත්මය යන විපල්ලාසය අත්හරියි. දෘෂ්ටිඕඝය තරණය කෙරෙයි. දිට්ඨියෝගය හා සංයෝගයට නොපැමිණේ, නොහොත් දිට්ඨියෝගයෙන් මිදෙයි. දිට්ඨාශ්‍රව වශයෙන් ආශ්රවරහිතයෙක් වේ. මෙයම සත්‍යය, සෙස්ස මෝඝය ය යි වරදවා ලෙහි පිහිටුවීම් වශයෙන් ලබ්ධි ගැණීම නම්වූ ඉදංසත්යාභිනිවේසකාය ග්‍රන්ථය බිඳියි. අත්තවාදූපාදානය දැඩි කොට නොගනී.
විඥානය අනිත්‍ය වශයෙන් නුවණැසින් දක්නා පුද්ගල තෙම විඥානාහාරය පිරිසිඳ දනී. අනිත්‍යයෙහි නිත්‍යය යන විපල්ලාසය අත්හරියි. අවිද්යාඕඝය තරණය කෙරෙයි. අවිද්‍යායෝගය හා සංයෝගයට නොපැමිණේ, නොහොත් අවිද්‍යා යොගයෙන් මිදෙයි. අවිද්‍යාශ්‍රව වශයෙන් ආශ්‍රව රහිතයෙක් වේ. සීලබ්බතපරාමාස කාය ග්‍රන්ථය බිඳියි. දිට්ඨූපාදානය. දැඩි කොට නොගනී.
තවද ස්කන්ධයන්ගේ එකවිධාදී භේදය දතයුතු.
රූපස්කන්ධය, සියළුම රූපය හේතුවත් නොවේ. අහේතුකය, හේතුවෙන් වෙන්වූයේය, ප්‍රත්‍ය සහිතය, ලෞකිකය, කෙලෙස් සහිතය, බැඳීම් ඇතිකරන්නෙකි, ගෙතීම් ඇතිකරන්නෙකි, කාමාදී ඕඝයන්ගෙන් යුක්තය. කාමාදී යොගයන්ගෙන් යුක්තය, ආවරණ ඇතිකරන්නකි, සිතින් දැඩිසේ ගන්නකි, දැඩිසේ අල්ලාගන්නකි, කෙලෙස් ඇතිකරවන්නකි, විතර්ක සහිත විචාර සහිත නොවේ, අවිතර්ක අවිචාරය, සුඛ සහගත නොවේ, උපේක්ෂාසහගත නොවේ. දර්ශනයෙන් භාවනාවෙන් ප්රහාණය නොකට හැකිය, සවැදෑරුම් විඥානයන්ගෙන් දත යුතුය, අනිත්‍යය, ජරාවෙන් මැඩුනේය. මේ ආදී වශයෙන් රූපස්කන්ධය එකවිධ වේ.
තවද උපාදා රූපද උපාදා නොවන රූපද ඇත, උපාදින්න රූපද අනුපාදින්න රූපද ඇත, උපාදින්න හා උපාදානීය රූපද අනුපාදින්න උපාදානීය රූපද ඇත, සනිදස්සන රූපද අනිදස්සන රූපද ඇත, සප්පටිඝ රූපද අප්පටිඝ රූපද ඇත ඉන්ද්රිය රූපද ඉන්ද්රිය නොවන රූපද ඇත, මහාභූත රූපද මහාභූත නොවන රූපද ඇත, විඤ්ඤත්ති රූපද විඤ්ඤත්ති නොවන රූපද ඇත. තවද අජ්ඣත්තික බාහිර රූප ඖදාරික සූක්ෂ්ම රූප, දූරාසන්න රූප යනාදී වශයෙන් රූපස්කන්ධය විවිධ වේ.
මේ ආදී ක්‍රමයෙන් රූප නිර්දේශයෙහි විස්තර දක්වන ලද පරිද්දෙන් රූපස්කන්ධයාගේ එකවිධාදී භේදය දත යුතු.
වේදනාස්කන්ධය. ඵස්ස සම්පයුක්ත වේදනාව ගේ වශයෙන් එක් කොටසක් වේ. වේදනාව ස්පර්ශය හා සම්ප්‍රයුක්ත වූයේ වේ. සියළුම වේදනාවෝ චාතුර්භූමිකය. චාතුර්භූමික වෙදනාවෝ සම්ප්‍රයුක්ත හේතූන් සමඟද පවත්නේය. සම්ප්‍රයුක්ත හේතු රහිතවූ වෙදනාවෝ කාමාවචරය.
සහේතුක අහේතුක වෙදනා වශයෙන් විවිධ වේ. ජාති වශයෙන්, සුඛ, දුක්ඛ, උපේක්ෂා වෙදනා යයි ත්‍රිවිධ වේ. භූමි වශයෙන්, කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න වෙදනාවෝ ය යි චතුර්විධ වේ.
ඉන්ද්රිය වශයෙන්, සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සෝමනස්සින්‍ද්‍රිය, දෝමනස්සින්‍ද්‍රිය උපේක්ඛින්ද්‍රිය වෙදනා ය යි පඤ්චවිධ වේ මේ පඤ්ච ප්‍රකාර වෙදනෙන්ද්රියයන් අතුරෙන් සුඛේන්‍ද්‍රිය හා දුක්ඛේන්ද්රිය ද කායප්‍රසාදය නිශ්‍රය කොට පවත්නාහ. කාමාවචරම ය. සෝමනස්සින්‍ද්‍රිය තෙම සවස්තුකව හෙවත් හදය වස්තුව නිශ්‍රය කොට හෝ අවස්තුකව හෙවත් හදයවස්තුව නිශ්‍රය නොකොට හෝ පවත්නේය එය ත්රෛභූමිකද වේ. දෝමනස්සින්‍ද්‍රිය තෙම හදයවස්තු රූපය නිශ්‍රයකොට පවත්නේය. කාමාවචරය, උපේක්ඛින්ද්‍රිය තෙම චක්ඛුප්රසාදාදී චතුර්විධ ප්රසාදවස්තුන් නිශ්‍රයකොට පවත්නේ වේ. හදය වස්තුව නිශ්‍රය කොටද පවත්නේ වේ අවස්තුකව හෙවත් හදයවස්තුව නිශ්‍රය නොකොට පවත්නේද වේ. චාතුර්භූමික ද වේ.
නිශ්රයස්ථානවශයෙන් චක්ඛුප්රසාදය, සෝතප්රසාදය, ඝාණප්‍රසාදය, ජිව්හා ප්‍රසාදය, කාය ප්‍රසාදය, හදයවස්තු රූපය නිශ්‍රයකොට පවත්නා වෙදනා ය යි ෂට්විධ වේ. මෙයින් චක්ෂුරාදී පඤ්චප්‍රසාද වස්තුන් නිශ්‍රය කොට පවත්නා වෙදනාවෝ කාමාවචරය. සවැනි වෙදනාව අවස්තුකව හෝ සවස්තුකව පවත්නාහ. චාතුර්භූමිකය. මෙසේ චක්ඛු සම්ඵස්සජා වෙදනා සෝතසම්ඵස්සජා වෙදනා, ඝාණ සම්ඵස්සජා වෙදනා, ජිව්හා සම්ඵස්සජා වෙදනා, කාය සම්ඵස්සජා වෙදනා, මනෝසම්ඵස්සජා වෙදනාවන්ගේ වශයෙන් ෂඩ්විධ වේ.
මේ ශඩ්විධ නයෙහි මනොසම්ඵස්සජා වෙදනාව, මනො ධාතු සම්ඵස්සජා වෙදනා, මනොවිඤ්ඤාණධාතු සම්ඵස්සජා වෙදනා වශයෙන් ගත් කල්හි වෙදනා සප්තවිධ වේ.
මේ සප්තවිධ නයෙහි කායසම්ඵස්සජා වෙදනාව, කායික සුඛ වෙදනා, කායික දුක්ඛ වෙදනා ය යි දෙකක් කොට ගත් කල්හි වෙදනාවෝ අෂ්ටවිධ වේ.
ඒ සප්තවිධ නයෙහි මනොවිඤ්ඤාණ ධාතු සම්ඵස්සජා වෙදනාව කුසල මනොවිඤ්ඤාණ ධාතු සම්ඵස්සජා වෙදනා, අකුසල මනො විඤ්ඤාණධාතු සම්ඵස්සජා වෙදනා, අව්‍යාකත මනොවිඤ්ඤාණධාතු සම්ඵස්සජා වෙදනා ය යි තුනෙක් කොට ගත් කල්හි වෙදනාවෝ නවවිධ වේ.
අෂ්ටවිධ නයෙහි මනොවිඤ්ඤාණධාතු සම්ඵස්සජා වෙදනාව කුසල, අකුසල, අව්‍යාකත වශයෙන් තුනෙක් කොට ගත් කල්හි වෙදනාවෝ දසවිධ වේ.
මෙසේ බොහෝ වූ කොටස් වශයෙන් වෙදනාස්කන්ධය දෙශනා කරණ ලද්දේ පුද්ගලාධ්‍යාශය හා දෙශනා විලාසය වශයෙන් බව දතයුතු.
තවද මේ වෙදනාවෝ අටමහා කාමාවචර කුසල් චිත්තයන්ගේ වශයෙන් අටවිධ වේ. දොළොස් අකුසල චිත්තයන්ගේ වශයෙන් දොළොස් ආකාර වේ. අව්යාකාතවූ පඤ්චද්වාරාවජ්ජන සම්පටිච්ඡන යුග්ම සඞ්ඛ්යාතවූ මනොධාතුහු තුන්දෙනය, කුසලාකුසල විපාක සන්තීරණ සඞ්ඛ්යාතවූ අහේතුක මනොවිඤ්ඤාණධාතුහු තුන්දෙනය, මහා විපාක සිත්හු අටදෙනය, මනොද්වාරාවජ්ජන හසිතොප්පාද, මහා ක්රියාචිත්ත සඞ්ඛ්‍යාත කාමාවචර ක්‍රියා සිත්හු දසදෙනය යන සූවිස්සක් වූ චිත්තයන්ගේ වශයෙන් සූවිසි ප්‍රකාර වේ.
ඒ සූවිසි චිත්තයන් අතුරෙන් කාමාවචර කුසල් සිත් අටදෙනද, අකුසල් සිත් දොළොස්දෙනද ජවනකෘත්ය වශයෙන් ලැබෙත්.
පඤ්චද්වාරාවජ්ජන සඞ්ඛ්යාතවූ ක්‍රියා මනොධාතු චිත්තය තෙම පඤ්චද්වාරයෙහි ආවජ්ජන කෘත්‍ය වශයෙන් ලැබේ.
සම්පටිච්ඡන චිත්ත සඞ්ඛ්යාතවූ විපාක මනොධාතුහු දෙදෙන සම්පටිච්ඡන කෘත්‍ය වශයෙන් ලැබෙත්.
සන්තීරණ චිත්ත සඞ්ඛ්යාතවූ විපාක මනොවිඤ්ඤාණ ධාතුහු තිදෙන සන්තීරණ තදාලම්බන කෘත්‍ය වශයෙන් ලැබෙත්.
මනොද්වාරාවජ්ජන සඞ්ඛ්යාතවූ ක්‍රියා අහෙතුක මනො විඤ්ඤාණධාතු චිත්තය තෙම ව්‍යවස්ථාපන කෘත්‍ය වශයෙන් ලැබේ.
මහා විපාක සිත් අටදෙන තදාලම්බන කෘත්‍ය වශයෙන් ලැබෙත්.
හසිතොත්පාද අෂ්ටමහා ක්‍රියා එකතුව ක්‍රියා සිත්හු නවදෙන ජවන කෘත්‍ය වශයෙන් ලැබෙත්.
චක්ඛු, සොත, ඝාණ, ජිව්හා කායද්වාරයන්හි මෙකී නය බඳු නය ඇත්තේය.
මනොද්වාරයෙහි වනාහි චාතුර්භූමික කුසලයන්ගේ වශයෙන්ද, දොළොස් අකුසලයන්ගේ වශයෙන්ද, අටමහා විපාක සන්තීරණත්රය යන එකොළොසක්වූ කාමාවචර විපාකයන්ගේද, මනොද්වාරාවජ්ජන හසිතොත්පාද මහා ක්‍රියා සිත් අටදෙන එකතුව දසයක්වූ කාමාවචර ක්‍රියා චිත්තයන්ගේද, නවයක්වූ රූපාවචර අරූපාවචර ක්‍රියා චිත්තයන්ගේද සතරක්වූ ශ්‍රාමාණ්‍ය ඵල සඞ්ඛ්යාතවූ ලොකොත්තර ඵල චිත්තයන්ගේද යන සූතිසක්වූ චිත්තොත්පාදයන්ගේ වශයෙන්ද අනෙකප්‍රකාර වේ.
මේ සියළුම චිත්තයෝ චක්ෂුචාරයෙහි, ආදිභූත, අවයව භූත, අනන්තභූත උපනිශ්‍රය ශක්ති වශයෙන්ද, සමතික්‍රම හෙවත් ඉක්මවීම් වශයෙන්ද, භාවනා වශයෙන්දැයි යන මේ තුන් ආකාරයෙන් ලැබෙත්.
සොතචාර, මනොචාරයන්හිද චක්ෂුචාරයෙහි මෙන්ම ලැබෙත්.
ඝාන, ජිව්හා, කායචාරයන්හි වනාහි සමතික්‍රම වශයෙන්ද, භාවනා වශයෙන්ද යන මේ දෙයාකාරයෙන් ලැබෙත්.
මේ සස්නෙහි භික්ෂුතෙම විහාර චාරිකාවෙහි හැසිරෙන්නේ කසිණ මණ්ඩලයක් දැක, මේ කුමක්දැයි විචාරා කසිණ මණ්ඩලයකැයි කී කල්හි, මෙයින් කුමක් කෙරෙද්දැයි අසන්නේය. ඒ මහණහට, මේ කසිණ මණ්ඩලය වඩා ධ්‍යානයන් උපදවා සමාපත්තිය පදට්ඨානකොට හෙවත් ආසන්න කාරණා කොට ඇති විදර්ශනා වඩා රහත් ඵලයට පැමිණෙත් යයි අත් මහණක්හු සැළකෙරෙත්. උත්තමධ්යාශයෙන් සමෘද්ධවූ ඒ කුලපුත් තෙමේ මේ කටයුත්ත බැරි කමෙකැයි නොසළකා මා විසිනුදු මේ ගුණය උපදවන්නට වටනේ ය යි සිතා මේ ගුණය එක් තැනෙක හිඳ, නිදන්නාවූ මා විසින් උපදවන්නට නොහැක්කේය. මුල පටන්ම වීර්‍ය්‍ය කරන්ට, ශීලය පිරිසුදු කරන්ට වටනේයයි සිතා ශීලය පිරිසුදු කෙරෙයි. ඒ ශීලවිසුද්ධියෙන් ඉක්බිති, පිරිසුදුවූ ශීලයෙහි පිහිටා දසවිධ පළිබෝධයන් මැඩ තුන් සිවුර පමණකොට ඇති හෙයින් සතුටුව ආචාර්ය්ය උපාධ්‍යායනට නිසි වත් පිළිවෙත් කොට, කමටහන් උගෙන, කසිණ පරිකර්ම කොට, සමාපත්ති උපදවා, සමාපත්තිහුම ආසන්න කාරණා කොට ඇති විදසුන් වඩා රහත් ඵලයට පැමිණේ.
ඒ වෙදනාවන් අතුරෙන් සියලුම පරිකර්ම වෙදනා තොමෝ කාමාවචරය. අෂ්ට සමාපත්තියෙහි වූ වෙදනා තොමෝ රූපාවචර අරූපාවචරයහ, මාර්ගඵල සිත්හිවූ වෙදනා තොමෝ ලොකොත්තරය.
මේ කියනලද නයින් චක්ෂුර්විඥානය තෙම චාතුර්භූමික වෙදනා නිෂ්පත්තියගේ බලවත් හේතුවෙක් වේද, එහෙයින් චාතුර්භූමික වෙදනා නොමෝ චක්ඛුසම්ඵස්සජාතා හෙවත් චක්ෂුප්රසාද සම්මර්ශ සඞ්ඛ්‍යාත හේතුවෙන් වූවා නම් වේ.
මෙහිදී පරිකර්ම භාවනාවට පෙර ආදිභාවයෙන් උපනිශ්‍රය වීම ආදිභූත උපනිශ්‍රය නම් වේ.
කසිණ මණ්ඩල දර්ශනයෙහි සිට කාමාවචර කුසලාදී වෙදනාවන්ට උපනිශ්‍රය වූ යම් කසිණ මණ්ඩල සඞ්ඛ්‍යාත අවයවයෙක් වේද එය අවයවභූත උපනිශ්‍රය නම්.
මතු මත්තෙහිදී කසිණමණ්ඩලය දර්ශනය නොවී අනන්ත භාවයෙන් උපනිශ්‍රය වීම අනන්තභූතවූ උපනිශ්‍රය නම් වේ.
මෙසේ උපනිශ්‍රය වශයෙන් ලැබෙන පරිදි දතයුතු.
සමතික්කම වශයෙන් ලැබීම මෙසේයි.
චක්ෂුද්වාරයෙහි වනාහි, රූපය හමුවූ කල්හි ඉෂ්ටාලම්බනයෙහි මට රාගය උපන. අනිෂ්ටාලම්බනයෙහි ද්වේෂය උපන. උදාසීනව බැලීමෙහිදී මෝහය උපන. අරමුණෙහි වෙසෙසින් බැඳුනාවූ මට මානය උපන. මිථ්‍යා වශයෙන් ආමර්ශනය කළාවූ මට දෘෂ්ටිය උපන. වික්ෂෙපයට පැමිණියාවූ මට ඖද්ධත්‍යය උපන. අරමුණෙහි නිශ්චයට නොපැමිණියාවූ මට විචිකිච්ඡාව උපන. කෙලෙසුන් බලවත් වූ කල්හි අනුසය කෙලෙස්හු උපන. මෙපරිද්දෙන් සම්මර්ශනය කරමින් සිටියාවූ කුලපුත්‍රතෙම තමාගේ කෙලෙසුන් ඉපැදීම දැන මේ කෙලෙස්හු වැඩෙන්නාහු මට ව්‍යසනය පිණිස, පවත්නාහුය. එහෙයින් දැන් මම ඒ කෙලෙසුන් නිග්‍රහ කෙරෙමියි සිතා, නිදාසිටින්නාවූ මා විසින් කෙලෙසුන් නිග්‍රහ කරන්ට නොහැක්කේය. මුලින්ම වීර්යය කටයුතුය. ශීලයද පිරිසිදු කරන්ට වටනේය යනාදි වශයෙන් යට කියනලද පරිද්දෙන් පිළිපැද රහත් ඵලයට පැමිණේ.
ඒ වෙදනාවන් අතුරෙන් සියලුම පරිකර්ම වෙදනාවෝ කාමාවචරය. අෂ්ට සමාපත්තියෙහි පැවති වෙදනාවෝ රූපාවචරය, අරූපාවචරයහ. මාර්ගඵල සිත්හි පැවති වෙදනාවෝ ලොකොත්තරය. මෙපරිද්දෙන් රූපාලම්බනයෙහි උපන්නාවූ රාගාදි ක්ලේශයන් ඉක්මවා ලන්නේය. එහෙයින් සියලුම චාතුර්භූමික වෙදනා තොමෝ චක්ඛුසම්- ඵස්ස පච්චයා ජාතා නම් වේ. මේ කියනලද නයින් සමතික්කම වශයෙන් හෙවත් ඉක්මවීම් වශයෙන් ඒ කුසලාදීවූ නානාවීථිගත චිත්තයෝ ලැබෙත්.
භාවනා වශයෙන් ලැබීම මෙසේයි.
චක්ෂුචාරයෙහි වනාහි, රූපයක් හමුවූ කල්හි මේ රූපාලම්බනය තෙම කුමක් ඇසුරු කෙළේද? යනාදී වශයෙන් කරුණු පිරිසිඳීම කරන්නේය. ඉක්බිති ඒ රූපාලම්බනය මහා භූතයන් ඇසුරු කෙළේ වනැයි දැන සතර මහා භූතයෝද, උපාදා රූපයද, රූපය යයි පිරිසිඳ දනී. ඒ රූපාලම්බනය අරමුණුකොට ඇත්තාවූ චිත්ත චෛතසික ධර්මයන්, නාමධර්ම යයි පිරිසිඳ දනී. ඉක්බිති හේතුව හා සමග පැවැත්තාවූ නාම රූප ධර්මය පිරිසිඳ දැන, තිලකුණු නගා විදර්ශනා ඥාන පිළිවෙළින් සංස්කාර ධර්මයන් සම්මර්ශනයකොට රහත් ඵලයට පැමිණේ.
ඒ වෙදනාවන් අතුරෙන් සියලු පරිකර්ම වෙදනාවෝ කාමාවචරය. අෂ්ටසමාපත්තීන්හි පැවති වෙදනා තොමෝ රූපාවචර අරූපාවචරය. මාර්ගඵල සිත්හි පැවති වෙදනා තොමෝ ලොකොත්තරය. මෙපරිද්දෙන් රූපාලම්බනය සම්මර්ශනයකොට වෙදනාතොමෝ නිපයන ලදද, එහෙයින් මේ වෙදනා තොමෝ චක්ඛු සම්ඵස්ස පච්චයා ජාතා නම් වේ. යථොක්ත නයින් භාවනා වශයෙන් ඒ චිත්තයෝ ලැබෙත්.
සොතද්වාරයෙහි වනාහි ඒ චිත්තයන්ගේ ලැබීම මෙසේ දතයුතු.
එක්තරා මහණෙක් කසිණ පරිකම් කොට ධ්‍යාන සමාපත්ති උපදවා ඒ සමාපත්තීහු පදට්ඨානකොට ඇති විදසුන් වඩා රහත් ඵලයට පැමිණියේයයි යන වචනය කණින් අසා උතුම් අදහස් ඇති කුලපුත් තෙමේ මේ කටයුත්ත දුෂ්කර යයි නො සළකා මා විසිනුදු මේ ගුණය උපදවන්ට වටනේ යයි සිතා පළමු නියායෙන්ම පිළිපැද රහත් ඵලයට පැමිණේ. එහි පරිකර්මාදී වේදනාවෝ යට කියනලද පරිදි දතයුතු. මේ සෝත විඤ්ඤාණය තෙම චාතුර්භූමික වේදනාවගේ නිෂ්පත්තිය පිණිස බලවත් ප්‍රත්‍යයෙක් වේද, එහෙයින් චාතුර්භූමික වේදනා තොමෝ සෝතසම්ඵස්ස පච්චයා ජාතා නම් වේ. මෙසේ උපනිශ්‍රය වශයෙන් ඒ චිත්තයෝ ලැබෙත්.
සෝතචාරයෙහි වනාහි ශබ්දාලම්බනය හමුවූ කල්හි චක්ෂුචාරයෙහිදී කී පරිදි රාගාදි ක්ලේශයන් උපදින සැටි සම්මර්ශනය කොට, ඒ රාගාදි වූ ක්ලේශයන් ඉක්මවා පවත්නා වේදනාවෝ සෝතසම්ඵස්ස පච්චයා ජාතා නම් වේ. මෙසේ සමතික්කම වශයෙන් ඒ චිත්තයෝ ලැබෙත්.
තවද ශබ්දයක් අරමුණු වූ කල්හි මේ ශබ්දය කුමක් ඇසුරු කෙළේද යනාදි වශයෙන් යටකී නයින්ම පිරිසිඳ දනී මෙසේ ශබ්දාලම්බනය සම්මර්ශනය කොට වේදනා තොමෝ නිපයන ලදුද, එහෙයින් සෝතසම්ඵස්ස පච්චයා ජාතා නම් වේ. මෙසේ සෝතචාරයෙහි භාවනා වශයෙන් ද ඒ චිත්තයෝ ලැබෙත්.
මනෝචාරයෙහි වනාහි තුන්ප්රකාරයෙන්ම ලැබෙත්.
එක් මහණෙක් ජාතියද, ජරාවද, ව්‍යාධියද, මරණයද භය වශයෙන් දකී. භය වශයෙන් දැක ජාති, ජරා, ව්‍යාධි, මරණයන් කෙරෙන් මිදෙන්නට වටනේය, එකාන්තයෙන්ම නිදන්නා වූ මා විසින් ජාති ආදියෙන් මිදෙන්නට නොහැක්කේය. මුල පටන්ම වීර්‍ය්‍ය කරන්ට, සීලය පිරිසුදු කරන්ට වටනේ යයි සිතා යටකී නයින් පිළිපැද රහත් ඵලයට පැමිණේ.
මෙහිද, පරිකර්මාදි වේදනාවෝ යටකී නයින්ම දතයුතු මෙපරිද්දෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණය තෙම චාතුර්භූමික වූ වේදනාවගේ නිෂ්පත්තියට බලවත් වූ ප්‍රත්‍යයක් වේද, එහෙයින් ඒ චාතුර්භූමික වේදනා තොමෝ මනෝසම්ඵස්ස පච්චයා ජාතා නම් වේ. මෙසේ මනෝද්වාරයෙහි උපනිශ්‍රය වශයෙන් ඒ චිත්තයෝ ලැබෙත්.
මනෝද්වාරයෙහි වනාහි ධම්මාරම්මණයක් හමුවූ කල්හි යටකී පරිදි රාගාදි ක්ලේශයන් උපදින සැටි සම්මර්ශනය කොට ඒ රාගාදි වූ ක්ලේශයන් ඉක්මවා පවත්නා වේදනා වෝද මනෝසම්ඵස්ස පච්චයා ජාතා නම් වේ. මෙසේ මනෝද්වාරයෙහි සමතික්කම වශයෙන් ද ඒ චිත්තයෝ ලැබෙත්.
මනෝද්වාරයෙහි වනාහි ධම්මාලම්බනයක් හමුවූ කල්හි මේ ධම්මාලම්බනය කුමක් ඇසුරු කෙළේදැයි මෙසේ පිරිසිඳ දැනීම පිහිටුවයි. එය වස්තුරූපය ඇසුරු කෙළේ යයි දැන, වස්තුරූපය කුමක් ඇසුරු කෙළේදැයි නුවණින් සලකා බලන්නේ මහා භූත රූපයන් ඇසුරුකෙළේ වනැයි දැන ඒ මහණ තෙම සතර මහා භූතයෝද, උපාදා රූපද, රූප ධර්මයයි පිරිසිඳ දනී. ඒ රූප ධර්මයන් අරමුණු කොට ඇති චිත්ත වෛතසික ධර්මයන් නාම ධර්මයයි පිරිසිඳ දනී. ඉක්බිති හේතු සහිත වූ නාමරූප ධර්මය පිරිසිඳ දැන තිලකුණු නගා විදර්ශනාඥාන පිළිවෙලින් සංස්කාර ධර්මයන් සම්මර්ශනය කොට රහත් ඵලයට පැමිණේ. ඒ වේදනාවන් අතුරෙන් සියළුම පරිකර්ම වේදනා තොමෝ කාමාවචරය. අෂ්ටසමාපත්ති වේදනාතොමෝ රූපාවචර අරූපාවචරය. මාර්ගඵල සිත්හි පැවති වේදනාතොමෝ ලෝකෝත්තරය. මෙසේ ධර්මාලම්බනය සම්මර්ශනය කොට චාතුර්භූමික වේදනාවෝ නිපයන ලදුද, එහෙයින් මේ වේදනාතොමෝ මනෝසම්ඵස්ස පච්චයා ජාතා නම් වේ. මෙසේ භාවනා වශයෙන්ද ඒ චිත්තයෝ ලැබෙත්.
මේ නයින්ම සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණයන්ගේ ඒකට්ඨාදී වූ භේදය දතයුතු.