අභිධර්මාර්ථ ප්‍රදීපිකා

විඥානස්කන්‍ධය

අතීත වූද අනාගත වූද, ප්‍රත්‍යුත්පන්න වූද, අධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද, ඔදාරික වූ ද, සියුම් වූ ද, හීන වූ ද, ප්‍රණීත වූ ද, දූරෙහි වූ ද, සමීපයෙහි වූ ද, යම් චතුර්භූමික විඤ්ඤාණයෝ වෙත්ද, එය එකතුකොට ඇති, රැස්කොට ඇති, පිඬුකොට ඇති ඒ විඤ්ඤාණයෝ, විඤ්ඤාණස්කන්‍ධය යයි කියනු ලැබේ.

මේ විඤ්ඤාණයෝ ෂඩ්විධ වේ. එනම්:-

  1. චක්ඛු විඤ්ඤාණය
  2. සොත විඤ්ඤාණය
  3. ඝාණ විඤ්ඤාණය
  4. ජිව්හා විඤ්ඤාණය
  5. කායවිඤ්ඤාණය
  6. මනොවිඤ්ඤාණය

චතුර්භූමික වූ චක්ඛු විඥානාදීන් අතුරෙන් චක්ඛු විඥාන, ශ්‍රොත විඥාන, ඝාණ විඥාන, ජිව්හා විඥාන, කාය විඥාන යන විඥානයෝ පස්දෙන චක්ඛුප්‍රසාද, සොතප්‍රසාද, ඝාණප්‍රසාද, ජිව්හාප්‍රසාද, කායප්‍රසාද යන ප්‍රසාද රූපයන් නිශ්‍රයකොට ඇත්තාහුම වෙත්. මනොවිඥානය තෙම හදයවස්තුව නිශ්‍රය කොට හෝ නිශ්‍රය නොකොට හෝ උපදී.

අතීතවූ විඥානය - යම්කිසි විඥානයක් පසුගිය කාලයට අයත් වූයේද, නිරුද්ධ වූයේද, පහව ගියේද, වෙනසකට පත්වූයේද, අස්තයට ගියේද, විනාශ වූයේද, ඉපිද පහව ගියේද, පසුවූයේද, පසුවීම් කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳුවූ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යන මෙය අතීත විඤ්ඤාණ යයි කියනු ලැබේ.

අනාගත විඥානය - යම් විඥානයක් ඇතිනොවූයේද, නොවූයේද, හටනොගත්තේද, නූපන්නේද, පහළනොවූයේද, අපාතුභූතද, අනුප්පන්නද, අසමුප්පන්නද, අනුට්ඨිතද, අසමුට්ඨිතද, අනාගතද, අනාගත කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳු වූ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය යන මෙය අනාගත විඤ්ඤාණ යයි කියනු ලැබේ.

ප්‍රත්‍යුත්පන්න විඥානය - යම් විඥානයක් ඇතිවූයේද, වූයේද, හටගත්තේද, උපන්නේද, පහළවූයේද, පාතුභූතද, උප්පන්නද, සමුප්පන්නද, උට්ඨිතද, සමුට්ඨිතද, වර්‍තමාන වූයේද, වර්‍තමාන කොටස් වශයෙන් ගණන් ගැණුනේද එබඳුවූ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යන මෙය ප්‍රත්‍යුත්පන්න විඤ්ඤාණයයි කියනු ලැබේ.

අධ්‍යාත්මික විඥානය - යම් විඤ්ඤාණයක් ඒ ඒ සත්ත්‍වයන්ගේ චිත්ත පරම්පරාගතද, තමා පිළිබඳ ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ස්වකීයද, සමානව ලැබුනේද, තමාගේ යයි සිතා ගත්තේද, එබඳු වූ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යන මෙය අධ්‍යාත්මික විඤ්ඤාණය යයි කියනු ලැබේ.

බාහිර වූ විඥානය - යම් විඤ්ඤාණයක් ඒ ඒ අන්‍යවූ සත්ත්‍වයන්ගේ අන්‍යවූ පුද්ගලයන්ගේ චිත්ත පරම්පරාගතද, ඔවුන් පිළිබඳ ද ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ස්වකීයද, සමානව ලැබුනේද, ඔවුන් පිළිබඳ යයි සිතා ගත්තේද එබඳු වූ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය යන මෙය බාහිර වූ විඤ්ඤාණය යයි කියනු ලැබේ.

ඖදාරික වූ ද සියුම් වූ ද විඤ්ඤාණය - අකුසල විඥානය ඖදාරිකය. කුසල අව්‍යාකෘත විඥානයෝ සියුම් ය.

කුසල් අකුසල් විඥානයෝ ඖදාරිකය. අව්‍යාකෘත විඥානය සියුම් ය.

දුක්වූ වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණය ඖදාරිකය සැප වූ ද, සුව දුක් නොවන්නාවූද විඤ්ඤාණයෝ සියුම් ය.

සුවදුක් ඇති වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණය ඖදාරිකය. සුව දුක් නොවන්නාවූ වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණය සියුම් ය.

සන්හුන් නොවූවහුගේ විඤ්ඤාණය ඖදාරිකය සන්හුන් වූවහුගේ විඤ්ඤාණය සියුම් ය.

කෙලෙස් සහිත විඤ්ඤාණය ඖදාරිකය. කෙලෙස් රහිත විඤ්ඤාණය සියුම් ය.

ඒ ඒ විඤ්ඤාණයක් හා සමකොට ඖදාරික වූ විඤ්ඤාණයද, සියුම් වූ විඤ්ඤාණයද දතයුතු.

හීන වූ ද, ප්‍රණීත වූ ද විඤ්ඤාණය - අකුසල විඤ්ඤාණය හීනය. කුසල අව්‍යාකෘත විඤ්ඤාණයෝ ප්‍රණීතය

කුසල් අකුසල් විඤ්ඤාණයෝ හීනය. අව්‍යාකෘත විඤ්ඤාණය ප්‍රණීතය.

දුක් වූ වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණය හීනය. සැපවූ ද, සුව දුක් නොවන්නාවූ ද වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණයෝ ප්‍රණීතය.

සැප දුක් වෙදනාවන් හා යුක්තවූ විඤ්ඤාණයෝ හීනය සුව දුක් නොවූ වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණයෝ ප්‍රණීතය.

සන්හුන් නොවූවහුගේ විඤ්ඤාණය හීනය. සන්හුන් වූවහුගේ විඤ්ඤාණය ප්‍රණීතය.

කෙලෙස් සහිත විඤ්ඤාණය හීනය. කෙලෙස් රහිත විඤ්ඤාණය ප්‍රණීතය.

ඒ ඒ විඤ්ඤාණයක් හා සමකොට හීන වූ ද, ප්‍රණීත වූ ද විඤ්ඤාණයෝ දතයුතු.

දුරෙහි වූ විඤ්ඤාණය - අකුසල විඤ්ඤාණය කුසල අව්‍යාකෘත විඤ්ඤාණයන්ගෙන් දුරය.

කුසල අව්‍යාකෘත විඤ්ඤාණයෝ අකුසල විඤ්ඤාණයන්ගෙන් දුරය.

කුසල විඤ්ඤාණය අකුසල අව්‍යාකෘත විඤ්ඤාණයන්ගෙන් දුරය.

අකුසල අව්‍යාකෘත විඤ්ඤාණයෝ කුසල විඤ්ඤාණයෙන් දුරය.

අව්‍යාකෘත විඤ්ඤාණය කුසල් අකුසල් විඤ්ඤාණයන්ගෙන් දුරය.

කුසලාකුසල විඤ්ඤාණයෝ අව්‍යාකෘත විඤ්ඤාණයන්ගෙන් දුරය.

දුක්වූ වෙදනාවෙන් යුක්තවූ විඤ්ඤාණය සැප වූ ද, සැප දුක් නොවූ ද වෙදනාවන් හා යුක්තවූ විඤ්ඤාණයන්ගෙන් දුරය.

සැප වූ ද, සුවදුක් නොවන්නා වූ ද වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණය දුක්වූ වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණයෙන් දුරය.

සැප වූ වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණය දුක් වූ ද, සුව දුක් නොවන්නාවූ ද වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණයන්ගෙන් දුරය.

දුක් වූ ද, සුව දුක් නොවන්නා වූ ද වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණය සැප වූ වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණයෙන් දුරය.

සුව දුක් නොවන්නාවූ වෙදනාව හා යුක්තවූ විඤ්ඤාණය සැප වූ ද, දුක් වූ ද වෙදනාවන් හා යුක්තවූ විඤ්ඤාණයන්ගෙන් දුරය.

සුව දුක් වෙදනාවන් හා යුක්තවූ විඤ්ඤාණය සුව දුක් නොවන්නාවූ විඤ්ඤාණයන්ගෙන් දුරය.

සන්හුන් නොවුවහුගේ විඤ්ඤාණය සන්හුන් වූවහුගේ විඤ්ඤාණයන්ගෙන් දුරය.

සන්හුන් වූවහුගේ විඤ්ඤාණය, සන්හුන් නොවුවහුගේ විඤ්ඤාණයන්ගෙන් දුරය.

කෙලෙස් සහිත විඤ්ඤාණය, කෙලෙස් රහිත විඤ්ඤාණයන්ගෙන් දුරය.

කෙලෙස් රහිත විඤ්ඤාණය, කෙලෙස් සහිත විඤ්ඤාණයන්ගෙන් දුරය.

මෙය දූරෙහි වූ විඤ්ඤාණය යයි කියනු ලැබේ.

සමීපයෙහි වූ විඤ්ඤාණය - අකුසල විඤ්ඤාණය, අකුසල විඤ්ඤාණයාගේ සමීපයෙහි ය.

කුසල විඤ්ඤාණය, කුසල විඤ්ඤාණයාගේ සමීපයෙහි ය.

අව්‍යාකෘත විඤ්ඤාණය, අව්‍යාකෘත විඤ්ඤාණයාගේ සමීපයෙහි ය.

දුක් වූ වේදනාවන් හා යුක්තවූ විඤ්ඤාණය. දුක් වූ වේදනාවන් හා යුක්තවූ විඤ්ඤාණයාගේ සමීපයෙහි ය.

සැප වූ වේදනාවන් හා යුක්තවූ විඤ්ඤාණය, සැප වූ වේදනාව හා යුක්තවූ විඤ්ඤාණයාගේ සමීපයෙහි ය.

සුව දුක් නොවන වේදනාවන් හා යුක්තවූ විඤ්ඤාණය සුව දුක් නොවන වේදනාවන් හා යුක්තවූ විඤ්ඤාණයාගේ සමීපයෙහි ය.

සන්හුන් නොවූවහුගේ විඤ්ඤාණය, සන්හුන් නොවූවහුගේ විඤ්ඤාණය සමීපයෙහි ය.

සන්හුන් වූවහුගේ විඤ්ඤාණය, සන්හුන් වූවහුගේ විඤ්ඤාණය සමීපයෙහි ය.

කෙලෙස් සහිත විඤ්ඤාණය, කෙලෙස් සහිත විඤ්ඤාණයාගේ සමීපයෙහි ය.

කෙලෙස් රහිත විඤ්ඤාණය, කෙලෙස් රහිත විඤ්ඤාණයාගේ සමීපයෙහි ය.

මෙය සමීපයෙහි වූ විඤ්ඤාණය යයි කියනු ලැබේ.

ඒ ඒ විඤ්ඤාණයක් හා සමකොට දුරෙහි වූ ද සමීපයෙහි වූ ද විඤ්ඤාණයෝ දතයුතු.