අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඖදාරික වේදනාව සහ සූක්‍ෂම වේදනාව -

අකුසල වේදනාව ඖදාරිකය. කුසල අව්‍යාකෘත වේදනාව සූක්‍ෂමය.

කුසල් වූ ද, අකුසල් වූ ද වේදනාව ඖදාරිකය අව්‍යාකෘත වේදනාව සූක්‍ෂම ය.

දුක්ඛ වේදනාව ඖදාරිකය. සුඛ වේදනාවද අදුක්ඛමසුඛ වේදනාව ද සූක්‍ෂම ය.

සුඛදුක්ඛ වෙදනාවෝ ඖදාරිකය. අදුක්ඛමසුඛ වෙදනාව සූක්‍ෂම ය.

සන්සුන් නොවූවහුගේ වෙදනාව ඖදාරිකය. සන්සුන් වූවහුගේ වෙදනාව සූක්‍ෂම ය.

කෙලෙස් සහිත වූවහුගේ වෙදනාව ඖදාරිකය. කෙලෙස් රහිතවූවහුගේ වෙදනාව සූක්‍ෂම ය.

ඒ ඒ වෙදනාවකට සමානකොට ගත් වෙදනා ඖදාරික සූක්‍ෂම වශයෙන් ගතයුතු.

මෙකි වෙදනාවන් අතුරෙන්, අකුසල වෙදනාවෝ තුමූ ක්ලේශාග්නි සන්තාපය හා සම්ප්‍රයුක්ත වන අර්ථයෙන් ද දුක්වූ විපාකයන් ඵලවන අර්ථයෙන්ද ඖදාරිකය හ. කුසල වෙදනාවෝ තුමූ, ක්ලේශාග්නි සන්තාපයෙන් ඉවත්වූ අර්ථයෙන්ද, සැප විපාක ඵලවන අර්ථයෙන්ද සූක්‍ෂමයහ. අව්‍යාකෘත වෙදනා තොමෝ කාය කර්මාදි ව්‍යාපාර රහිත අර්ථයෙන්ද, විපාකයන් ගෙන නොදෙන අර්ථයෙන්ද, සූක්‍ෂමයහ.

කුසලාකුසල වෙදනාවෝ තුමූ කාය කර්මාදී ව්‍යාපාර සහිත අර්ථයෙන් ද, විපාකයන් ගෙනදෙන අර්ථයෙන් ද, නොහොත් තමා සතුවූ විපාක ඇති අර්ථයෙන් ද ඖදාරිකයහ. අව්‍යාකෘතවූ වෙදනාවෝ තුමූ යටකී නයින්ම සූක්‍ෂමයහ.

දුක්ඛ වෙදනා තොමෝ, සුඛ වෙදනාවට විපක්‍ෂවූ අමධුර, අනිෂ්ට අර්ථයෙන් ද, දුක්ඛාර්ථයෙන් ද ඖදාරිකය. සුඛ වෙදනාවෝ ආස්වාදනාර්ථයෙන්ද, සැප ඵලවන අර්ථයෙන්ද සූක්‍ෂමයහ. අදුක්ඛමසුඛ වෙදනා තොමෝ ශාන්තවූ අර්ථයෙන්ද, ප්‍රණීතවූ අර්ථයෙන්ද සූක්‍ෂමයහ.

සුඛ දුක්ඛ වෙදනාවෝ තුමූ, කැළඹන අර්‍ත්‍ථයෙන් ද, ස්ඵරණාර්‍ත්‍ථයෙන් ද, ඖදාරිකය. අදුක්ඛම සුඛ වෙදනා තොමෝ ශාන්ත වූ අර්‍ත්‍ථයෙන් ද, ප්‍රණීත වූ අර්‍ත්‍ථයෙන් ද සූක්‍ෂමයහ.

සන්හුන් නොවූ හෙවත් සමවතුන් සම නොවන පුද්ගලයාගේ වෙදනා තොමෝ අනෙකවිධ වූ ආලම්බනයෙහි වික්‍ෂප්ත භාවය හේතුකොටගෙන ඖදාරිකයහ සන්හුන් හෙවත් සමවතුන් සමවත් පුද්ගලයාගේ වෙදනා තොමෝ එම ස්වභාව ඇති අරමුණෙක්හිම, අරමුණු කිරීම් වශයෙන් පවතින හෙයින් සූක්‍ෂමයහ.

කෙලෙස් සහිත හෙවත් ආශ්‍රව ධර්‍මයන්ට අරමුණු වූ වෙදනා තොමෝ ආශ්‍රවයන්ගේ හටගැනීමට කරුණු වන හෙයින් ඖදාරිකය ආශ්‍රව ධර්‍මයන්ට අරමුණු නොවූ වෙදනා තොමෝ, කියනලද සාශ්‍රව වෙදනාවට විපක්‍ෂ වශයෙන් සූක්‍ෂමයහ.

තවද, අකුසල වෙදනාවෝ, ලෝභ සහගත, ද්වේෂ සහගත යයි ද්විප්‍රකාර වේ ඒ දෙදෙනා අතුරෙන් ද්වේෂය සමඟ පැවති අකුසල වෙදනා තොමෝ ඖදාරිකය ලෝභය හා එක්ව පැවති වෙදනා තොමෝ සූක්‍ෂමයහ.

ද්වේෂ සහගත වෙදනාව ද, නියත වෙදනා; අනියත වෙදනා යයි ද්විවිධ වේ. පඤ්චානන්තර්‍ය්‍ය කර්‍මයන් සම්බන්‍ධවූ ද්වේෂය සමඟ පැවැති වෙදනාව නියතය ආනන්තර්‍ය්‍ය කර්‍මයන් කෙරෙන් අන්‍යවූ ප්‍රාණඝාත කර්‍මයන් සම්බන්‍ධවූ ද්වේෂය සමඟ පවත්නා වෙදනාව අනියතය. ඒ දෙදෙනා අතුරෙන් නියත වෙදනා තොමෝ ඖදාරිකය. අනියත වෙදනා තොමෝ සූක්‍ෂමයහ.

නියත වෙදනා තොමෝද, කල්පස්ථායිකවූ හෙවත් කල්පයක් මුළුදා අවීචිනරකයෙහි දුක් විඳීමට නිසිවූ නියත වෙදනාය, කල්පස්ථායික නොවූ හෙවත් කල්පයක් මුළුදා අවීචි නරකයෙහි දුක් විඳීමට නොනිසිවූ නියත වෙදනාය කියා ද්විවිධ වේ. ඒ දෙදෙනා අතුරෙන් කල්පස්ථායික වූ නියත වෙදනා තොමෝ ඖදාරිකය, කල්පස්ථායික නො වූ නියත වෙදනා තොමෝ සූක්‍ෂමයහ. මෙහි සංඝභෙද කර්‍මය සම්බන්‍ධි වූ නියත වෙදනාව කල්පස්ථායි වෙදනාව යයි ද, සඞ්ඝභෙද කර්‍මයෙන් අන්‍යවූ ආනන්තර්‍ය්‍ය කර්‍මයන් සම්බන්‍ධිතවූ නියත වෙදනාව අකල්පස්ථායික වෙදනාව යයිද දත යුතු.

කල්පස්ථිතික වෙදනාවද, අසඞ්ඛාරික, සසඞ්ඛාරික වශයෙන් ද්විවිධ වේ. එයින් අසඞ්ඛාරික කල්පස්ථායික වෙදනා තොමෝ ඖදාරිකය. සසඞ්ඛාරික කල්පස්ථායික වෙදනා තොමෝ සූක්‍ෂමය හ.

ලෝභය හා එක්ව පැවති වෙදනා තොමෝද, දිට්ඨි සම්පයුත්ත, දිට්ඨි විප්පයුත්ත යයි ද්විවිධ වේ. එයින් මිථ්‍යාදෘෂ්ටිය හා සමග පැවති වෙදනා තොමෝ ඖදාරිකය මිථ්‍යාදෘෂ්ටිය හා සමග නොපැවති වෙදනා තොමෝ සූක්‍ෂමය හ.

දිට්ඨිසම්පයුත්ත වෙදනා තොමෝද, නියත මිථ්‍යා දිට්ඨිය හා එක්ව පැවති වෙදනාය, අනියත මිථ්‍යා දිට්ඨිය හා එක්ව පැවති වෙදනා යයි ද්විවිධ වේ. එයින් නියත දිට්ඨිසම්ප්‍රයුක්ත වෙදනා තොමෝ ඖදාරිකය. අනියත දිට්ඨි සම්ප්‍රයුක්ත වෙදනා තොමෝ සූක්‍ෂමය හ.

ඒ නියත මිථ්‍යා දිට්ඨිය හා පැවති වෙදනා තොමෝ ද, අසඞ්ඛාරික, සසඞ්ඛාරික නියත දිට්ඨි සම්පයුක්ත වෙදනා වශයෙන් ද්විවිධ වේ. එයින් අසංඛාරික වෙදනාව ඖදාරිකය. සසඞ්ඛාරික වෙදනාව සූක්‍ෂමය හ.

සංක්‍ෂෙපයෙන් පාප පක්‍ෂය කරා පැමිණි යම් වෙදනාවක් තොමෝ බොහෝ වූ විපාක දේද, ඒ වෙදනා තොමෝ ඖදාරිකය. යම් වෙදනාවක් තොමෝ ස්වල්ප විපාක දේද, ඒ වෙදනා තොමෝ සූක්‍ෂමය හ.

කුසල පක්‍ෂයට පැමිණ ස්වල්ප විපාකයක් ගෙන දෙන්නා වූ වේදනා තොමෝ ඖදාරිකය. බොහෝ වූ විපාකයන් ගෙන දෙන්නා වූ වේදනා තොමෝ සූක්ෂ්මය හ.

සිව් වැදෑරුම් වූ කුසලයෙහි, කාමාවචර කුසල වේදනා තොමෝ ඖදාරිකය රූපාවචර කුසල වේදනා තොමෝ සූක්ෂ්මය හ.

ඒ රූපාවචර කුසල වේදනා තොමෝද ඖදාරිකය. අරූපාවචර කුසල වේදනා තොමෝ සූක්ෂ්මය හ.

ඒ අරූපාවචර කුසල වේදනා තොමෝද ඖදාරිකය. ලොකොත්තර කුසල වේදනා තොමෝ සූක්ෂ්ම ය.

භේද වශයෙන් වනාහි, කාමාවචර වේදනා තොමෝ දානමය සීලමය භාවනාමය වේදනාවන් ගේ වශයෙන් ත්‍රිවිධ වේ. ඒ ත්‍රිවිධ වේදනාවන් අතුරෙන් දානමය වූ වේදනා තොමෝ ඖදාරිකය. සීලමය වූ වේදනා තොමෝ සූක්ෂ්මය හ. ඒ සීලමය වේදනා තොමෝ ද ඖදාරිකය. භාවනාමය වූ වේදනා තොමෝ සූක්ෂ්මය හ.

ඒ භාවනාමය වූ වේදනා තොමෝද, ද්විහේතුක වේදනාය, ත්‍රිහේතුක වේදනා යයි විවිධ වේ. ඔවුන් අතුරෙන් ද්විහේතුක වූ වේදනා තොමෝ ඖදාරිකය. ත්‍රිහේතුක වූ වේදනා තොමෝ සූක්ෂ්මය හ.

ඒ ත්‍රිහේතුක වේදනා තොමෝද සසඞ්ඛාරික, අසඞ්ඛාරික වශයෙන් විවිධ වේ. එයින් සසඞ්ඛාරික වූ වේදනා තොමෝ ඖදාරිකය. අසඞ්ඛාරික වූ වේදනා තොමෝ සූක්ෂ්මය හ.

රූපාවචර භූමියෙහි, ප්‍රථමධ්‍යාන කුසල වේදනා තොමෝ ඖදාරිකය. දුතියධ්‍යාන කුසල වේදනා තොමෝ සූක්ෂ්මය හ. ඒ දුතියධ්‍යාන කුසල වේදනා තොමෝ ද ඖදාරිකය. තතියධ්‍යාන කුසල වේදනා තොමෝ සූක්ෂ්මය හ, ඒ තෘතීයධ්‍යාන කුසල වෙදනා තොමෝද ඖදාරිකය, චතුත්‍ථධ්‍යාන කුසල වෙදනා තොමෝ සූක්ෂ්මය හ, ඒ චතුත්‍ථධ්‍යාන කුසල වෙදනා තොමෝද ඖදාරිකය. අරූපාවචර භූමියෙහි ආකාසානඤ්චායතන කුසල වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ආකාසානඤ්චායතන කුසල වෙදනා තොමෝද ඖදාරිකය. විඤ්ඤාණඤ්චායතන කුසල වෙදනා තොමෝ සූක්ෂ්මය හ. විඤ්ඤාණඤ්චායතන කුසල වෙදනා තොමෝද ඖදාරිකය. ආකිඤ්චඤ්ඤායතන කුසල වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ආකිඤ්චඤ්ඤායතන කුසල වෙදනා තොමෝද, ඖදාරිකය. නේවසඤ්ඤා නාසඤ්ඤායතන වෙදනා තොමෝ සූක්ෂ්මය හ.

ඒ නේවසඤ්ඤා නාසඤ්ඤායතන වෙදනා තොමෝද ඖදාරිකය. විදර්‍ශනාව හා සමඟ උපන් වෙදනා තොමෝ සූක්ෂ්මය. විදර්‍ශනාව හා සමඟ උපන් වෙදනා තොමෝද ඖදාරිකය. ලෝකෝත්තර භූමියෙහි ශ්‍රෝතාපත්ති මාර්‍ගය හා සමඟ උපන් වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ඒ සෝතාපත්ති මාර්‍ගය හා සමඟ උපන් වෙදනා තොමෝද ඖදාරිකය. සකෘදාගාමි මාර්‍ගය හා සමඟ උපන් වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ඒ සකෘදාගාමි මාර්‍ගය හා සමඟ උපන් වෙදනා තොමෝද ඖදාරිකය. අනාගාමි මාර්‍ගය හා සමඟ උපන් වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ඒ අනාගාමි මාර්‍ගය හා සමඟ උපන් වෙදනා තොමෝද ඖදාරිකය. අරහත්තමාර්‍ගය හා සමඟ උපන් වෙදනා තොමෝ සූක්ෂ්මය හ.

සිව්වැදෑරුම්වූ විපාකයෙහි කාමාවචර විපාක වෙදනා තොමෝ ඖදාරිකය. රූපාවචර විපාක වෙදනා තොමෝ සූක්ෂ්මය හ. රූපාවචර විපාක වෙදනා තොමෝද ඖදාරිකය. අරූපාවචර විපාක වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ඒ අරූපාවචර විපාක වෙදනා තොමෝද ඖදාරිකය. ලෝකෝත්තරවිපාක වෙදනා තොමෝ සූක්ෂ්මය හ.

භේද වශයෙන් වනාහි, කාමාවචර විපාකයෝ අහේතුක විපාක, සහේතුක විපාක යයි ද්විවිධ වේ. ඔවුන් අතුරෙන් අහේතුක කාමාවචර විපාක වෙදනා තොමෝ ඖදාරිකය. සහේතුක කාමාවචර විපාක වෙදනා තොමෝ සූක්ෂ්මය හ.

ඒ සහේතුක කාමාවචර විපාක වෙදනා තොමෝද ද්විහේතුක, ත්‍රිහේතුක වශයෙන් ද්විවිධ වේ. ඔවුන් අතුරෙන් ද්විහේතුක කාමාවචර විපාක වෙදනා තොමෝ ඖදාරිකය. ත්‍රිහේතුක කාමාවචර විපාක වෙදනා තොමෝ සූක්ෂ්මය හ.

ඒ ත්‍රිහේතුක කාමාවචර විපාක වෙදනා තොමෝද සසඞ්ඛාරික, අසඞ්ඛාරික වශයෙන් ද්විවිධ වේ. ඔවුන් අතුරෙන් සසඞ්ඛාරික ත්‍රිහේතුක කාමාවචර විපාක වෙදනා තොමෝ ඖදාරිකය. අසඞ්ඛාරික ත්‍රිහේතුක කාමාවචර විපාක වෙදනා තොමෝ සූක්ෂ්මය හ.

එමෙන් ම ප්‍රථමධ්‍යාන විපාක වෙදනා තොමෝ ඖදාරිකය. දුතියධ්‍යාන විපාක වෙදනා තොමෝ සූක්ෂ්මයහ. දුතියධ්‍යාන විපාක වෙදනා තොමෝ ඖදාරිකය. තතියධ්‍යාන විපාක වෙදනා තොමෝ සූක්ෂ්මය හ. තතියධ්‍යාන විපාක වෙදනා තොමෝද ඖදාරිකය. චතුත්‍ථධ්‍යාන විපාක වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ඒ චතුත්‍ථධ්‍යාන විපාක වෙදනා තොමෝ ද ඖදාරිකය. ආකාසානඤ්චායතන විපාක වෙදනා තොමෝ සූක්ෂ්මය. මේ ක්‍රමයෙන් අරූපාවචර විපාක වෙදනාවන්ගේ ඖදාරික සුඛුම භාවයද, පිළිවෙලින් සතර ලොකොත්තර ඵලයන් ගේ ඖදාරික සුඛුම භාවයද දතයුතු.

ත්‍රිවිධ ක්‍රියා වෙදනාවන් අතරෙන් කාමාවචර ක්‍රියා වෙදනා තොමෝ ඖදාරිකය. රූපාවචර ක්‍රියා වෙදනා තොමෝ සූක්ෂ්මය හ. රූපාවචර ක්‍රියා වෙදනා තොමෝද ඖදාරිකය. අරූපාවචර ක්‍රියා වෙදනා තොමෝ සූක්ෂ්මය හ.

කාමාවචර ක්‍රියා වෙදනාවන් අතුරෙන් අහේතුක ක්‍රියා වෙදනා තොමෝ ඖදාරිකය. සහේතුක ක්‍රියා වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ඒ සහේතුක ක්‍රියා වෙදනා අතුරෙන් ද්විහේතුක ක්‍රියා වෙදනා තොමෝ ඖදාරිකය. ත්‍රිහේතුක ක්‍රියා වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ත්‍රිහේතුක කාමාවචර ක්‍රියා වෙදනාවන් අතුරෙන් ද සසඞ්ඛාරික ක්‍රියා වෙදනා තොමෝ ඖදාරිකය. අසඞ්ඛාරික ක්‍රියා වෙදනා තොමෝ සූක්ෂ්මය හ. ප්‍රථමධ්‍යාන ක්‍රියා වෙදනා තොමෝ ඖදාරිකය. දුතියධ්‍යාන ක්‍රියා වෙදනා තොමෝ සූක්ෂ්මය. මේ ක්‍රමයෙන් රූපාවචර අරූපාවචර ක්‍රියා වෙදනාවන්ගේ ඖදාරික සුඛුම භාවය දතයුතු.

හීන වෙදනාව හා ප්‍රණීත වෙදනාව - අකුසල වෙදනාව හීනය. කුසල අව්‍යාකෘත වෙදනාව ප්‍රණීතය. කුසල් වූද, අකුසල් වූද වෙදනාව හීනය. අව්‍යාකෘත වෙදනාව ප්‍රණීතය. දුක්වූ වෙදනාව හීනය, සුඛ වෙදනාව සහ අදුක්ඛමසුඛ වෙදනාව ප්‍රණීතය සැපවූද දුක්වූද වේදනා හීනය. අදුක්ඛමසුඛ වෙදනාව ප්‍රණීතය. සන්සුන් නො වූවහුගේ වෙදනාව හීනය. සන්සුන්වූවහුගේ වෙදනාව ප්‍රණීතය කෙලෙස් සහිත වෙදනාව හීනය කෙලෙස් රහිත වෙදනාව ප්‍රණීතයහ. ඒ ඒ වෙදනාවක් හා සමාන කොට හීන ප්‍රණීත වෙදනා දතයුතු.

සංක්‍ෂේපයෙන් වනාහි යම් වෙදනාවක් තොමෝ ඖදාරිකද, ඒ වෙදනා තොමෝ හීනය. යම් වෙදනාවක් තොමෝ සූක්ෂ්ම වේද, ඒ වෙදනා තොමෝ ප්‍රණීතය.

දුරෙ හෙවත් දුරෙහිවූ වේදනාව - අකුසල වෙදනාව කුසල අව්‍යාකෘත වෙදනාවලින් දුරය. කුසල අව්‍යාකෘත වෙදනාවෝ අකුසල වෙදනාවෙන් දුරය. කුසල වෙදනාව අකුසල අව්‍යාකෘත වෙදනාවලින් දුරය. අකුසල අව්‍යාකෘත වෙදනාවෝ කුසල වෙදනාවෙන් දුරය. අව්‍යාකෘත වෙදනාව කුසල් වූද, අකුසල් වූද, වෙදනාවන්ගෙන් දුරය. කුසල් වූද අකුසල් වූද වෙදනාවෝ අව්‍යාකෘත වෙදනාවෙන් දුරය. දුක් වූ වෙදනාව, සැප වූද, අදුක්ඛමසුඛ වූද වෙදනාවන්ගෙන් දුරය. සැප වූද, අදුක්ඛමසුඛ වූද වෙදනාවෝ දුක් වූ වෙදනාවෙන් දුරය. සැප වෙදනාව දුක් වූද, අදුක්ඛමසුඛ වූද වෙදනාවන්ගෙන් දුරය. දුක් වූද, අදුක්ඛමසුඛ වූද, වෙදනාවෝ සැප වෙදනාවෙන් දුරය. අදුක්ඛමසුඛ වෙදනාව සැප හා දුක් ඇති වෙදනාවන්ගෙන් දුරය. සැප හා දුක් ඇති වෙදනාවෝ සුව දුක් නොවන්නා වූ වෙදනාවෙන් දුරය. සන්හුන් නොවූවහුගේ වෙදනාව සන්හුන් වූවහුගේ වෙදනාවෙන් දුරය. සන්හුන් වූවහුගේ වෙදනාව සන්හුන් නොවූවහුගේ වෙදනාවෙන් දුරය. කෙලෙස් සහිත වෙදනාව කෙලෙස් රහිත වෙදනාවෙන් දුරය. කෙලෙස් රහිත වෙදනාව කෙලෙස් සහිත වෙදනාවෙන් දුරය. මෙය දුරෙහි වූ වෙදනාවයයි කියනු ලැබේ.

අකුසල වෙදනා තොමෝ විසභාගාර්‍ත්‍ථයෙන් හෙවත් අසමාන කොට්ඨාසවත් වූ අර්‍ථයෙන් ද, විසංසට්ඨ හෙවත් අසමාන ස්වභාව නොහොත් අසමාන කෘත්‍යවත් වූ අර්‍ථයෙන් ද, කුසලවෙදනා අව්‍යාකෘත වෙදනා කෙරෙන් දූරෙ වෙදනාවන බව දනයුතු. අනිකුදු දූර භාවය මේ නයින්ම දනයුතු.

අකුසලාදි වෙදනාවන් හා සමන්විතවූ පුද්ගලයෝ තුමූද, තුන් තුන් දෙන එක මැස්සෙක්හි හුන්නාහු වෙද්ද, එසේවී නමුත් ඒ පුද්ගලයන්ගේ ද ඒ වේදනාවෝ තුමූ අසමාන කොට්ඨාසවත් වූ අර්‍ථයෙන් ද, අසමාන කෘත්‍යවත් වූ නොහොත් අසමාන ස්වභාව වූ අර්‍ථයෙන් ද දූර වෙදනාවෝ නම් වෙත්. සමවතට සමවන් වෙදනාදියෙන් සමන්විත වූ පුද්ගලයන් කෙරෙහි ද මෙකී නය බඳු නය ඇත්තේ ය.

සන්තිකෙ වෙදනා හෙවත් ලඟවූ වෙදනාව— අකුසල වෙදනාව, අකුසල වෙදනාවට ලඟය. කුසල වෙදනාව, කුසල වෙදනාවට ලඟය. දුක්වූ වෙදනාව දුක්වූ වෙදනාවට ලඟය. සැප වෙදනාව සැප වෙදනාවට ලඟය. අදුක්ඛමසුඛ වෙදනාව අදුක්ඛමසුඛ වෙදනාවට ලඟය. සන්හුන් නොවූවහුගේ වෙදනාව සන්හුන් නොවූවහුගේ වෙදනාවට ලඟය. සන්හුන් වූවහුගේ වෙදනාව, සන්හුන් වූවහුගේ වෙදනාවට ලඟය. කෙලෙස් සහිත වෙදනාව කෙලෙස් සහිත වෙදනාවට ලඟය. කෙලෙස් රහිත වෙදනාව, කෙලෙස් රහිත වේදනාවට ළඟය, මෙය ළඟවූ හෙවත් සන්තිකෙ වේදනාව යයි කියනු ලැබේ. ඒ ඒ වේදනාවක් හෝ සමකොට බලා දුරෙහි වූ ළඟවූ වේදනා දතයුතු.

අකුසල වේදනා තොමෝ වනාහි අකුසල වේදනාව හා සභාග හෙවත් සමාන කොට්ඨාසවත් වූ අර්ථයෙන් ද, සමාන කෘත්‍යවත් වූ අර්ථයෙන් ද, නොහොත් සමාන ස්වභාව වූ අර්ථ යෙන් ද, සන්තිකෙ වේදනා නම් වේ. මෙකී නයින් සන්තික තාවය හෙවත් ආසන්න තාවය දත යුතු.

මෙහි තුන් තුන් දෙනා නම්:

  1. අකුසල වේදනා සමන්විත එකෙක, දුක්ඛ වේදනා සමන්විත එකෙක, සුඛ වේදනා සමන්විත එකෙකැයි තිදෙනෙකි.
  2. අකුසල වේදනා සමන්විත එකෙක, කුසල වේදනා සමන්විත එකෙක, දුක්ඛ වේදනා සමන්විත එකෙකැයි තිදෙනෙකි.
  3. අකුසල වේදනා සමන්විත එකෙක, කුසල වේදනා සමන්විත එකෙක. සුඛ වේදනා සමන්විත එකෙකැයි තිදෙනෙකි.

අකුසල වේදනාවෙන් සමන්විත වූ තුන් දෙනෙකුන් අතුරෙහි එක් පුද්ගලයෙක් කාම භවයෙහි ද, එක් පුද්ගල යෙක් රූප භවයෙහි ද, එක් පුද්ගලයෙක් අරූප භවයෙහි ද සිටි නමුත්, ඒ පුද්ගලයන්ගේ ද අකුසල වේදනාවෝ තුමූ සමාන ස්වභාව වූ අර්ථයෙන් ද සමානකෘත්‍යවත් වූ අර්ථයෙන් ද, ආසන්නයෙහි ම වූවාහු ම වෙත්. කුසල වේදනාදීන් සමන්විත පුද්ගලයන් කෙරෙහි ද මෙකී නය බඳු නය ඇත්තේ ය.

මෙසේ මේ එකොළොස් තන්හි පිහිටි සියලුම වේදනාවෝ එක්කොට පිඬුකොට වේදනාස්කන්‍ධය යයි වදාළ සේක.