අභිධර්මාර්ථ ප්‍රදීපිකා

වෙදනාස්කන්‍ධය

අතීත වූ ද, අනාගත වූ ද, ප්‍රත්‍යුත්පන්න වූ ද, අධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද, ඖදාරික වූ ද, සූක්‍ෂම වූ ද, හීන වූ ද, ප්‍රණීත වූ ද, දුරෙ වූ ද, සන්තික වූ ද යම් සුඛ දුක්ඛ උපෙක්ඛාදි වශයෙන් චාතුර්භූමික වෙදනාවක් වේ නම් එය එකතුකොට ඇති, රැස්කොට ඇති, පිඬුකොට ඇති ඒ වෙදනාවෝ වෙදනාස්කන්‍ධය යයි කියනු ලැබේ.

මේ ත්‍රිවිධ වෙදනාවන් අතුරෙන් සුඛ වෙදනා තොමෝ කායික වූ සුඛ වෙදනාය, මානසික වූ සුඛ වෙදනාය කියා විප්‍රකාර වේ. දුක්ඛ වෙදනාවද එසේම කායික වූ දුක්ඛ වෙදනාය, මානසික දුක්ඛ වෙදනා යයි විප්‍රකාර වේ. උපෙක්ඛා හෙවත් අදුක්ඛමසුඛ වෙදනා තොමෝ වනාහි චක්‍ෂුරාදි වූ ප්‍රසාද කායයන් සඳහා උපචාර වශයෙන් කායික අදුක්ඛමසුඛ වෙදනා ය, මානසික අදුක්ඛමසුඛ වෙදනා යයි විප්‍රකාර වේ.

සුඛ සහගත කාය විඥානය සමඟ පැවැති වෙදනාව කායික සුඛ වෙදනා නම් වේ.

සුඛ සහගත කාය විඥානයෙන් අන්‍ය වූ සොමනස්ස සහගත දෙසැට (62) සිත් සමඟ පැවති වෙදනාව මානසික සුඛ වෙදනාව නම් වේ.

දුක්ඛ සහගත කාය විඥානය සමඟ පැවැති වෙදනාව කායික දුක්ඛ වෙදනා නම් වේ.

දෝෂ මූල සිත් දෙක සමඟ පැවති වෙදනාව මානසික දුක්ඛ වෙදනා නම් වේ.

චක්‍ෂුප්‍රසාද, සොතප්‍රසාද, ඝාණප්‍රසාද, ජිව්හා ප්‍රසාද යන චතුර්විධ ප්‍රසාද රූපයන් ආශ්‍රයකොට උපදනා චක්‍ෂුර්විඥාන, සොත විඥාන, ඝාණ විඥාන, ජිව්හා විඥාන යන චතුර්විධ චිත්තයන් සමඟ පැවැති වෙදනාව ස්ථානොපචාර වශයෙන් ගෙන කායික අදුක්ඛම සුඛ වෙදනා යයි කියනු ලැබේ.

චතුර්විධ වූ චක්‍ෂුර් විඥානාදීන් හැර ඉතිරි එක් පනසක් (51) වූ උපෙක්ඛා සහගත සිත්හි පැවති අදුක්ඛමසුඛ වෙදනා තොමෝ මානසික අදුක්ඛමසුඛ වෙදනා යයි කියනු ලැබේ.

ඒ වෙදනාවන් අතුරෙන් සියලුම කායික වූ හෙවත් ප්‍රසාද රූපයන් ඇසුරුකොට පවත්නා වූ සුඛ දුක්ඛ උපෙක්ඛා වෙදනාවෝ තුමූ කාමාවචරයහ.

මානසික වූ දුක්ඛ වෙදනාවෝ ද එසේම කාමාවචරයහ.

මානසික වූ සුඛ වෙදනාතොමෝ කාම, රූප, ලොකොත්තර යන ත්‍රිවිධ භූමියෙහි පර්යාපන්න හෙයින් ත්‍රෛභූමිකය.

අදුක්ඛමසුඛ වෙදනාතොමෝ චාතුර්භූමිකය.

අතීත වූ වෙදනාව — යම් වෙදනාවක් පසුගිය කාලයට අයත් වූයේ ද, නිරුද්ධ වූයේ ද, පහව ගියේ ද, වෙනසකට පත් වූයේ ද, අස්තයට ගියේ ද, විනාශ වූයේ ද, ඉපිද පහව ගියේ ද, පසු වූයේ ද, පසුවීම් කොටස් වශයෙන් ගණන් ගැණුනේ ද, එබඳු වූ සුඛ වෙදනා, දුක්ඛ වෙදනා, අදුක්ඛමසුඛ වෙදනා තුමූ අතීත වෙදනා යයි කියනු ලැබේ.

අනාගතවූ වේදනාව - යම් වේදනාවක් ඇති නොවූයේද, නොවූයේද, හට නොගත්තේද, නූපන්නේද, පහළ නොවූයේ ද, අපාතුභූතද, අනුප්පන්නද, අසමුප්පන්නද, අනුට්ඨිතද, අසමුට්ඨිතද, අනාගත කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳු වූ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ වේදනාතුමූ අනාගත වේදනා යයි කියනු ලැබේ.

ප්‍රත්‍යුත්පන්න වේදනාව - යම් වේදනාවක් ඇතිවූයේද, හටගත්තේද, උපන්නේද, පහළවූයේද, පාතුභූතද, උප්පන්නද, සමුප්පන්නද, උට්ඨිතද, සමුට්ඨිතද, වර්‍තමාන වූයේද, වර්‍තමාන කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳුවූ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ වේදනා තුමූ ප්‍රත්‍යුත්පන්න වේදනා යයි කියනු ලැබේ.

සියළු ප්‍රභේද ඇත්තාවූ ඒ වේදනාවගේ සන්තති වශයෙන්ද හෙවත් පෙළ සෑදී පැවතුම් වශයෙන්ද, ක්‍ෂණාදීන්ගේ වශයෙන්ද අතීතාදී භාවය තෙම දත යුත්තේය. ඒ සන්තති ක්‍ෂණාදීන් අතුරෙහි සන්තති වශයෙන් එක් චිත්ත විථියක, එක් ජවන වාරයක, එක් සමාපත්තියෙක ඇතුළත්වූ ද, එක් ස්ථිතික්‍ෂණාවස්ථාවක් ඇති ආලම්බනයෙහි නැවත නැවත යෙදීමෙන් පැවැත්තාවූද, වේදනා තොමෝ ප්‍රත්‍යුත්පන්න වේදනා නම් වේ. ඉන් මත්තෙහි උපන් වේදනාවෝ අතීත වේදනා නම් වේ. පසුව උපදින්නාවූ වේදනා තොමෝ අනාගත වේදනා නම් වේ.

ක්‍ෂණාදීන්ගේ වශයෙන් කුඩා ක්‍ෂණත්‍රයට ඇතුළත්වූ පූර්‍ව, අපර, මධ්‍ය කොට්ඨාසත්‍රයෙහිවූද, තමා අයත් කිසද කරන්නාවූ වේදනා තොමෝ ප්‍රත්‍යුත්පන්න වේදනා නම් වේ. එයින් පූර්‍වයෙහි උපන් වේදනා තොමෝ අතීත වේදනා නම් වේ. එයින් පසුව උපදින්නාවූ වේදනා තොමෝ අනාගත වේදනා නම් වේ.

මානසික වූ සුඛවෙදනාව ත්‍රෛභූමික යයි යට දක්වන ලදි. සොමනස්ස සහගත අකුසල් සිත් සතරද, සොමනස්ස සහගත මහා කුසල් සිත් සතරද, සොමනස්ස සහගත මහා ක්‍රියා සිත් සතරද, සොමනස්ස සහගත සොතාපත්ති මාර්‍ග චිත්තයන් හැර, සොමනස්ස සහගත ලොකොත්තර සිත්ද, අරූප භූමියෙහි පවත්නා නමුදු, කාමාවචර, ලොකොත්තර ව්‍යවහාරය අත්නොහරින හෙයින් අරූප භූමිය අත්හැර ත්‍රෛභූමික යයි වදාළ බව දතයුතු.

අධ්‍යාත්මික වේදනාව - යම් වේදනාවක් ඒ ඒ සත්ත්‍වයන්ගේ චිත්ත පරම්පරාගත ද, තමා පිළිබඳ ද. ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ස්වකීයද, සමානව ලැබුණේද, තමාගේ යයි සිතා ගත්තේද එබඳු වූ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ වේදනා තොමෝ අධ්‍යාත්මික වේදනා යයි කියනු ලැබේ.

බාහිර වේදනාව - යම් වේදනාවක් ඒ ඒ අන්‍යවූ සත්ත්‍වයන්ගේ අන්‍යවූ පුද්ගලයන්ගේ චිත්ත පරම්පරාගතද, ඔහු පිළිබඳ ද, ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ස්වකීයද, සමානව ලැබුණේද, ඔහු පිළිබඳ යයි සිතා ගත්තේද, එබඳු වූ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ වේදනා තොමෝ බාහිර වේදනා යයි කියනු ලැබේ.