රූපස්කන්ධය
යම් හෙයකින් විකාරයට පැමිණේද, නොහොත් විකාරයට පමුණනු ලැබේද, නොහොත් තුමූම වෙනස් වේද, එහෙයින් රූප යයි කියනු ලැබේ.
මේ විකාරයට පැමිණීම නොහොත් පමුණනු ලැබීම නොයෙක් හේතුන් කරණකොට ගෙන සිදුවේ. සීත හේතු වෙනුත් විකාරයට පැමිණේ, නොහොත් සීතයා විසිනුත් විකාරයට පමුණනු ලැබේ. උෂ්ණ හේතුවෙනුත්
විකාරයට පැමිණේ, නොහොත් උෂ්ණයා විසිනුත් විකාරයට පමුණනු ලැබේ. ක්ෂුධා හෙතුවෙනුත් විකාරයට පැමිණේ, නොහොත් ක්ෂුධාව විසිනුත් විකාරයට පමුණනු ලැබේ. පිපාසා හෙතුවෙනුත් විකාරයට පැමිණේ, නොහොත් පිපාසය විසිනුත් විකාරයට පමුණනු ලැබේ. ඩංසමකස වාතාතපසිරිංසපසම්පස්සාදිය හෙවත් ඩැහැ ලේ බොන මැසිය, මදුරුය, සුළගය, අව්වය, දීර්ඝ ජාතීන්ගේ දෂ්ටසං- ස්පර්ශය, සපෘෂ්ට සංස්පර්ශය යන හෙතුවෙනුත් විකාරයට පැමිණේ නොහොත් ඒ මැසි ආදින් විසිනුත් විකාරයට පමුණනු ලැබේ.
කිපෙන්නේය, ගටනු ලබන්නේය, පෙළනු ලබන්නේය, විකාරයට පැමිණෙන්නේය, නොහොත් විකාරයට පමුණනු ලබන්නේය. නොහොත් තමාම බිඳෙන්නේය යන මෙපමණ වූ භිද්යමානාර්ත්ථ හෙවත් බිඳීම දක්වන අර්ත්ථසඞ්ඛ්යාත වූ මේ කාරණයෙන් රූපය යයි වදාළ සේක.
තවද, රූප්පන සඞ්ඛ්‍යාත විකාර භාවය හෙවත් බිඳීම ලක්ෂණ කොට ඇති හෙයින්ද රූප නම් වේ.
ශීත හෙතුවෙන් විකාරයට පැමිණීම ලෝකාන්තරිය නරකයෙහි ප්‍රකට වේ. චක්‍රවාල හෙවත් සක්වලවල් සම්බන්ධි වූ තුන් තුන් දෙනෙකුගේ අතර යොදුන් අට දහසක් පමණ ඇත්තා වූ එක් එක් ලෝකාන්තරිය නරකයෙක් නම් වේ. එහි යට භාගයෙහි පෘථුවියක් නැත. මත්තෙහි චන්ද්රාලෝකයෙක්, සූර්ය්යාලෝකයෙක් ප්රදීපාලෝකයෙක්, රත්නාලෝකයෙක් නැත. හැම කල්හි අන්ධකාරය ඇත්තේ වේ. ඒ ලෝකාන්තරිය නරකයෙහි උපන් සත්ත්වයන්ගේ තුන්ගව් පමණැත්තා වූ ආත්මභාවයෙක් වේ. ඒ නිරිසත්තු වවුලන් මෙන් චක්‍රවාල පර්වත පාදයෙහි දිගු පුළුල් වූ නියවලින් බදාගෙන, යට හෙළු හිස් ඇත්තාහු එල්බෙත්. යම් කලෙක ඈත මෑත යන්නාහු ඔවුනොවුන්ගේ අත් පසට ගියාහු වෙද්ද, එකල්හි අප විසින් භෝජනයක් ලබන ලදැයි සිතා ඒ භෝජනයෙහි වෑයම කරන්නාහු, වැරදී, ගිලිහීවුත්, සක්වල ගල උසුලන්නාවූ ජලපොළොවෙහි සුන්බුන්ව පතිත වෙත්. සිහිල් පවන හමන කල්හි විලිකුම් මී පල මෙන්, මුසපත් වීමෙන් ස්ථානයෙන් මුක්තව, අඟපසඟ සිඳීම් වශයෙන සිඳගෙන පෘථුවි සන්ධාරක ජලයෙහි වැටෙත්. පතිත වූ පමණකින්ම අතිශයින් සිහිල් වූ, සීතල ජලයෙන් බිඳෙන්නා වූ, සුන්වූ සම් නහර මස් ඇටවලින් යුක්තව කකාළ තෙළෙහි දැමූ පිටි පිඩක් මෙන් පටපටැ යි හඬ නගමින් පැසි පැසී දියව යෙත්. මෙසේ සීත හේතුවෙන් විකාරයට පැමිණීම ලෝකාන්තරික නරකයෙහි ප්‍රකට වේ. පිනි බෑමෙන් සිහිල්වූ ප්‍රදේශයන්හිත් මේ සීත හේතුවෙන් රූප්පන ස්වභාවයට පැමිණීම නොහොත් සීතත්වය විසින් රූප්පන ස්වභාවයට පමුණනු ලැබීම ප්‍රකට මැයි ඒ පෙදෙස්හි වසන ඇතැම් සත්ත්වයෝ සීත හේතුවෙන් නොහොත් සීතත්වය විසින් සුන් බුන් සිරුරු ඇත්තෝව ප්‍රාණ හානියටත් පැමිණෙත්.
උෂ්ණ හේතුවෙන් නොහොත් උෂ්ණය විසින් විකාරයට පැමිණීම නොහොත් විකාරයට පමුණනු ලැබීම අවීචි මහා නරකයෙහි ප්‍රකට වේ. ඒ අවීචි මහා නරකයෙහි ගිනියම් වූ ලෝහ භූමියෙහි හොවා පඤ්චවිධ බන්ධනාදි වූ කම් කටුල් කරන කාලයෙහි සත්ත්වයෝ ඉමහත් දුක් අනුභව කෙරෙත්. ජඨරාග්නි සමාගමයෙන් වූ සාදුක් හෙයින් විකාරයට පැමිණීම ප්‍රේත ලෝකයෙහි ද, දුර්භික්ෂ කාලයෙහි ද ප්‍රකට වේ. ප්‍රේත ලෝකයෙහි සත්ත්වයෝ දෙතුන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි කිසිම අහරක් අතින් ගෙන මුවෙහි ලා ගන්නා කෙනෙක් නම් නොවෙත්. ජඨරාභ්යන්තරය තෙම ගිනි ඇවිලගත් බිල ඇති රුකක් මෙන් වේ. දුර්භික්ෂ සමයෙහි කැඳිත්තක් පමණකුත් නොලැබ මළාවූ සත්ත්වයන් ගේ ප්රමාණයෙක් නැත.
පිපාසා හේතුවෙන් විකාරයට පැමිණීම කාලකඤ්ජික නම් වූ ප්‍රේතාසුර භූමියෙහි ප්‍රකට වේ. ඒ කාලකඤ්ජික නම් වූ ප්‍රේතාසුර භූමියෙහි සත්ත්වයෝ දෙතුන් බුද්ධාන්තර යක් මුලුල්ලෙහි ළය තෙමෙන පමණකුදු දිව තෙමෙන පමණකුදු දිය බිඳක් හෝ ලබන්නට නොහැකි වෙත්. පැන් පානය කරන්නමෝයි ගඟක් බලා ගියා වූ කාලකඤ්ජික ප්රේතාසුරයන්ටද ගඞ්ගා තොමෝ වැලිතලාවෙක් සිද්ධවන්නීය. මහා සමුද්‍රය වෙත පැමිණියා වූ කාලකඤ්ජික ප්රේතාසුරයන්ටද, මහා සමුද්‍රය තෙම ගල්තලාවෙක් වේ. ඒ කාලකඤ්ජික නම් වූ ප්රේතාසුරයෝ වියලෙන්නෝව, බලවත් දුකින් පෙළෙන්නෝව හැසිරෙත්. එක් කාලකඤ්ජික වූ ප්රේතාසුරයෙක් තෙම පිපාසය ඉවසන්නට නොහැකි වන්නේ ගැඹුර පුළුලින් යොදුනක් පමණ ඇති ගඞ්ගානම් මහා නදියට බැස්සේය. ඒ කාලකඤ්ජික ප්රේතාසුරයා ගිය ගිය තන්හි ජලය සිඳී යෙයි, දුම මතුවෙයි රත්වූ ගල්තලාවෙක්හි සක්මන් කරන කලක් මෙන් වේ ඒ ප්රේතාසුරයාගේ ගඞ්ගා ජලය සම්බන්ධ වූ ශබ්දය අසා ඔබමොබ ද හැසිරෙමින් සිටියදීම රාත්‍රිතොමෝ අවසන් වූය. එකල්හි ඒ ප්රේතාසුරයා උදෑසනම ගොදුරු ගමට යන්නා වූ තිස්නමක් පමණ වූ පිණ්ඩපාතික භික්ෂූහු දැක, සත්පුරුෂය, තෝ කිනම් පුරුෂයෙක් වෙහිදැයි ඇසූහ. ස්වාමිවරුනි මම ප්‍රේතයෙක් වෙමියි කී කල්හි කුමක් සොයන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි පැන් සොයන්නෙමියි කී කල්හි මේ ගඞ්ගාතොමෝ ජලයෙන් පරිපූර්ණය. තෝ නො දන්නෙහිදැයි ඇසූහ. ස්වාමිවරුනි, පැනක් නොලැබේයි කී කල්හි, එසේවී නම් ගංඉවුරු තලාවෙහි වැදහෙව. තාගේ මුවෙහි පැන් වත්කරන්නෙමු යයි කිහු එවිට ඒ ප්‍රේතාසුර තෙම වැලිතලාවෙහි උඩුකුරුව හොත්තේය. භික්ෂූහු තිසක් පමණ වූ පාත්‍රයන් ගෙන පැන් ගෙනවුත් ඒ ප්රේතාසුරයාගේ මුඛයෙහි වත්කළහ. ඒ භික්ෂූන් එපරිද්දෙන් කරද්දීම පිඬු පිණිස ගම් වදනා වේලා තොමෝ ළඟාවූය. එහෙයින්, එම්බල පුරුෂය, දැන් අපට පිඬු පිණිස ගමට වදනා කාලය වේ. කිමෙක් ද, තා විසින් සැනසීම් මාත්‍රයක් ලදුදැයි ඇසූහ. ප්‍රේතාසුර තෙමේ වහන්ස, තිස්නමක් පමණ වූ ස්වාමීන්ද්‍රයන් වහන් සේලාගේ තිසක් පමණ වූ පාත්‍රයන් කරණකොට ගෙන වන්කළාවූ ජලයෙන් අඩපතක් පමණකුදු ඉදින් බොටුවෙන් තුලට වන්නම්, ප්රේතානමභාවයෙන් මිදීමක් නොවේවායි. මෙසේ කියේය. මෙපරිද්දෙන් පිපාසා හේතුවෙන් විකාරයට පැමිණීම ප්‍රේත ලෝකයෙහි ප්‍රකට වේ.
ඩංසමකසවාතාතප සිරිංසපසම්ඵස්ස ආදීන් හේතු කොටගෙන විකාරයට පැමිණීම ඩැහැ ලේ බොන මැසි ආදීහු බෙහෙවින් ඇත්තාවූ ප්‍රදේශයන්හි ප්‍රකට වේ. මෙහි ඩංසයෝ නම් පිඟුවන් වූ ඩැහැ ලේ බොන මැස්සෝයි. මකසයෝ නම් මදුරුවෝය. වාතයෝ නම් කුස තුළ පවත්නා වාතය, පිට පැතිර පවත්නා වාතය යනාදීන්ගේ වශයෙන් වූ වාතයයි. සිරුරෙහි වාතාබාධය තෙම ඉපිද අත් පිටු පා පිටු ආදින් බිඳින්නේය, කණ කරන්නේය, කුදු කරන්නේය, පිළු කරන්නේය. ආතාප නම් සූර්ය්ය සන්තාපයයි. ඒ සූර්ය්ය සන්තාප හේතුවෙන් විකාරයට පැමිණීම වාලුකා කාන්තාරාදීන්හි ප්‍රකට වේ. එක් ස්ත්‍රියක් තොමෝ මරු කතරෙක රාත්‍රි කාලයෙහි වණිග් ජන සමූහයා කෙරෙන් වෙන්වූවාය. හිරු මතුවන කල්හි අව්වෙන් තැවුනාවූ වැලිතලාවෙහි පතුල් තබන්නට නොහැකි වන්නී හිසින් පැස බහා තබා සිටියාය. ක්‍රමයෙන් රිවි තැව්ලෙන් වැඩියක් හුනුව ගියාවූ පැසෙහි සිටින්නට නොහැකි වන්නී ඒ පැස මතුවෙහි සළුව තබා සිටියාය. ඒ සළුවද හුනුව ගිය කල්හි ඇකයෙන් ගන්නා ලද ළදරුවා යටි මුව කොට හොවා හඬන්නාහු ඒ පුත්‍රයා සමග එතැන්හිම උෂ්ණ සන්තාප හේතුවෙන් කළුරිය කළාය. සිරිංසපයෝ නම් සියළුම දීර්ඝ ජාතික ප්‍රාණීහු, වක්‍ර ගතින් හැසිරෙන්නෝව යෙත්ද ඔව්හු වෙති. ඒ සත්ත්වයන්ගේ දෂ්ටස්පර්ශ, ස්පෘෂ්ටස්පර්ශ හේතුවෙන් විකාරයට පැමිණීම විස දළ ඇති සර්පාදින් පිළිබඳ වූ දෂ්ට ස්පර්ශාදීන්ගේ වශයෙන් දතයුතු.
වතුර්විධ වූ මහා භූතයෝ ද, චතුර්විධ වූ මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපයෝ ද, අතීතානාගත පච්චුප්පන්න ආදි වශයෙන් එකොළොස් අවස්ථාවන්හි පිහිටි රූප වශයෙන් විභාගය දතයුතු.
අතීතානාගත පච්චුප්පන්න රූපය තෙම, සූත්‍ර දේශනා වශයෙන් හා අභිධර්ම නිර්දේශ වශයෙනැයි ද්විප්‍රකාර වන්නේය. ඒ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න රූපය, සූත්‍ර දේශනාවෙහි, භව වශයෙන් පිරිසිඳින ලදී. පිළිසිඳ ගත් තැන් පටන් ඉක්ම ගියාවූ භවයන්හි උපන්විරු රූපය තෙමේ, අනතුරු ඉකුත් භවයෙහි හෝ උපන්නේ වේවා, කප්කෙළ සිය දහසකින් මත්තෙහි හෝ උපන්නේ වේවා, සියළු රූපය අතීත රූප නම් වේ.
චුතවූ තැන් පටන් අසම්ප්‍රාප්ත භවයන්හි, මතු උපදින්නා වූ රූපය තෙමේ අනතුරු වූ අනාගතාසන්න භවයෙහි හෝ උපදින්නේ වේවා, කප්කෙළ සිය දහසකින් ඉදිරියෙහි හෝ උපදින්නේ වේවා, සියළු රූපය අනාගත රූපය නම් වේ.
චුති ප්රතිසන්ධීන්ට අතර ප්රවෘත්තවූ රූපය ප්‍රත්‍යුත්පන්න රූපය නම් වේ.
අභිධර්ම නිර්දේශයෙහි වනාහි ක්ෂණ වශයෙන් පිරිසිඳින ලදහ.
රූපයාගේ ක්‍ෂණයෝ තුමූ උත්පාදක්ෂණය, ස්ථිතික්ෂ- ණය, භඞ්ගක්ෂණය යයි තුනෙකි. මේ ත්රිවිධක්ෂණයන්ට පැමිණ නිරුද්ධ වූ හෙවත් බිදී ගියාවූ රූපය තෙමේ අතරක් නැති අත්‍යාසන්න කාලයෙහි නිරුද්ධ වූයේ හෝ වේවා, අතීත කාලයෙහි කප් කෙළ ලක්ෂයකින් මත්තෙහි හෝ නිරුද්ධ වූයේ හෝ වේවා, සියළු රූපය අතීත රූප නම් වේ.
ත්රිවිධක්ෂණයන්ට නොපැමිණියාවූ රූපය තෙම එක් චිත්තක්ෂණ මාත්රයෙක්හි හෝ නොපැමිණියේ වේවා අනාගත කාලයෙහි කප්කෙළ සිය දහසකින් ඉදිරියෙහි හෝ නො පැමිණියේ වේවා, සියළු රූපය අනාගත රූපය නම් වේ.
මේ ත්රිවිධක්ෂණයන්ට පැමිණියා වූ රූපය වනාහි ප්‍රත්‍යුත්පන්න රූපය නම් වේ.
තවද මේ රූපය තෙමේ අද්ධාන වශයෙන්ද, සන්තති වශයෙන්ද, සමය වශයෙන්ද, ක්ෂණ වශයෙන්ද සිව් පරිද්දෙකින් අතීත නම් වේ.
එක් සත්ත්වයෙක්හුගේ එක් අත්බැවෙක්හි ප්රතිසන්ධියෙන් පූර්වයෙහි උපන් රූපය අතීත නමි. චුතියෙන් මත්තෙහි උපදින්නාවූ රූපය අනාගත නමි. ප්රතිසන්ධි චුතීන්ගේ මධ්‍යයෙහි උපදනා රූපය ප්‍රත්‍යුත්පන්න නමි. මෙය අද්ධාන වශයෙන් පිරිසිඳීමයි.
සන්තති වශයෙන් වනාහි, සමාන ස්වභාව ඇති එක් සෘතු හේතුවකින් උපදනාවූ රූපයද, පූර්වාපර කාලයන්හි ප්රවෘත්ති වශයෙන් පවත්නේවිනමුත් ප්‍රත්‍යුත්පන්න නම් වේ. ඒ ප්‍රත්‍යුත්පන්න කාලයෙන් පූර්වයෙහි අසමාන ස්වභාව ඇති සෘතු හේතුවෙන් හා ආහාර හේතුවෙන් උපන්නාවූ රූපය අතීත නම් වේ. පසුව උපදින්නාවූ රූපය අනාගත නම් වේ.
එක් චිත්ත වීථියෙක්හි, එක් ජවන වාරයෙක්හි, එක් සමාපත්ති වාරයෙක්හි උපදනාවූ චිත්තසමුට්ඨාන රූපය ප්‍රත්‍යුත්පන්න රූපය නම් වේ. ඒ ප්රත්යුත්පන්නයා කෙරෙන් පූර්වයෙහි උපන් චිත්ත සමුට්ඨාන රූපය අතීත රූපය නම් වේ. පසුව උපදින්නාවූ චිත්ත සමුට්ඨාන රූපය අනාගත රූපය නම් වේ.
කර්මය හේතුකොටගෙන උපදනා රූපයාගේ, සන්තති වශයෙන් අතීතාදි ප්‍රභේදයක් නැත. සෘතු, ආහාර, චිත්ත හේතුවෙන් උපදනාවූ ඒ රූපයන්ටම අනුබල දීම් වශයෙන් ඒ කර්මජ රූපයාගේ අතීතාදී භාවය තෙමේ දතයුතු.
සමය වශයෙන් වනාහි, එක් මොහොතක් කාලය, පෙරවරු කාලය, සවස් කාලය, රාත්‍රි කාලය, දහවල් කාලය යනාදී වූ කාලයන් අතුරෙන් පෙළ සෑදී පවත්නා ඒ ඒ කාලය තෙම ප්‍රත්‍යුත්පන්න නමි. ඒ ප්‍රත්‍යුත්පන්න කාලයෙන් පූර්වයෙහි පැවති කාලය තෙම අතීත නමි. පසුව පවතින කාලය තෙම අනාගත නමි.
ක්ෂණ වශයෙන් වනාහි, උත්පාද, ඨිති, භඞ්ග සඞ්ඛ්‍යාත වූ ක්ෂණත්රයෙහි අන්තර්ගත වූ රූපය තෙම ප්‍රත්‍යුත්පන්න නමි. ඒ ප්රත්යුත්පන්නයෙන් පූර්වයෙහි උපන් රූපය තෙම අතීත නමි. පසුව උපදින්නා වූ රූපය තෙමේ අනාගත නමි.
ඉක්මගියා වූ හේතු කෘත්‍යය, ප්රත්යකෘත්යය ඇති රූපය තෙම අතීත නමි. නිමාවට ගියා වූ හේතුකෘත්ය ඇති, නො නිමියා වූ ප්‍රත්‍යය කෘත්‍ය ඇති රූපය තෙමේ ප්‍රත්‍යුත්පන්න නමි. උභය කෘත්‍යයට නොපැමිණියා වූ රූපය තෙම අනාගත නමි.
ස්වකීය කෘත්යක්ෂණ යෙහි නොහොත් කෘත්‍යය හා සමග පවත්නා කෙණෙහි උපදනා රූපය තෙම ප්රත්යුත්- පන්න නමි. ඒ ස්වකීය කෘත්යක්ෂණයෙන් පූර්වයෙහි උපන් රූපය තෙම අතීත නමි. පසුව උපදින්නා වූ රූපය තෙම අනාගත නමි.
මෙකී අද්ධා, සන්තති, සමය ක්ෂණාදීන් අතුරෙන් ක්ෂණ වශයෙන් ගන්නා ලද අතීතානාගත ප්‍රත්‍යුත්පන්න රූපයෝ පමණක් මෙහි දී අදහස් කරන ලද බව දතයුතු.
එබැවින් යම් රූපයක් පසු කාලයට අයත් වූයේ ද, නිරුද්ධ වූයේ ද, පහව ගියේ ද, වෙනසකට පත් වූයේ ද, අස්තයට ගියේ ද, විනාශ වූයේ ද, ඉපිද පහව ගියේ ද, පසු වූයේ ද, පසු වීම් කොටස් වශයෙන් ගණන් ගැණුනේ ද, එසේ වූ සතර මහා භූතයෝ ද, සතර මහා භූතයන් නිසා, උපන් රූපද, අතීත රූප යයි කියනු ලැබේ.
යම් රූපයක් ඇති නොවූයේද, හට නොගත්තේද, නූපන්නේද, පහළනොවූයේද, අපාතු භූතද, අනුප්පන්නද, අසමුප්පන්නද, අනුට්ඨිතද, අසම්මුට්ඨිතද, අනාගතද, අනා ගත කොටස් වශයෙන් ගණන් ගැනුනේද, එසේවූ සතර මහා භූතයෝද, සතර මහා භූතයන් නිසා උපදින රූපද අනාගත යයි කියනු ලැබේ.
යම් රූපයක් ඇතිවූයේද, වූයේද, හටගත්තේද උපන් නේද, පහළවූයේද, පාතුභූතද උත්පන්නද, සමුප්පන්නද, උට්ඨිතද, සමුට්ඨිතද, වර්තමානවූයේද, වර්තමාන කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එසේවූ සතර මහා භූතයෝද, සතර මහා භූතයන් නිසා උපන් රූපද ප්‍රත්‍යුත්පන්න රූප යයි කියනු ලැබේ.
යම් රූපයක් ඒ ඒ සත්ත්වයන්ගේ චිත්ත පරම්පරා ගතද, තමා පිළිබඳ ද, ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද ස්වකීයද, සමානව ලැබුනේද, තමාගේ යයි සිතාගත්තේද, එසේ වූ සතර මහා භූතයෝද, සතර මහා භූතයන් නිසා උපන් රූපද, අද්ධ්‍යාත්ම රූප යයි කියනු ලැබේ.
යම් රූපයක් ඒ ඒ අන්‍යවූ සත්ත්වයන්ගේ, අන්‍යවූ පුද්ගලයන්ගේ චිත්ත පරම්පරාගතද, ඔවුන් පිළිබඳද, ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ඔවුන්ට ස්වකීයද, සමානව ලැබුනේද ඔවුන් තමා පිළිබඳයයි සිතා ගත්තේද. එසේ වූ සතර මහා භූතයෝද, සතර මහා භූතයන් නිසා උපන් රූපයෝද, බාහිර රූප යයි කියනු ලැබේ.
යම් චක්ඛායතන, සොතායතන, ඝාණායතන, ජිව්හා යතන, කායායතන, රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ඨබ්බායතනයෙක් වේද මෙය ඖදාරික රූප යයි කියනු ලැබේ.
හදය වස්තු රූපය වර්ජිත කොට ඇති සූක්ෂ්මරූප පසළොස් දෙනාගේ වශයෙන් හෝ, උපචය සන්තති රූපචය එක්කොට ගෙන හදය වත්ථු රූපයත් සමඟවූ සූක්ෂ්ම රූප පසළොස් දෙනාගේ වශයෙන් හෝ ගණන් ගනු ලබන රූපයෝ සූක්ෂ්ම රූප යයි කියනු ලැබේ
යම් රූපයක් ඒ ඒ සත්ත්වයන්ගේ අවමානයට හේතුද, නොගත යුත්තක් කොට හැර දමාද, මෙය කුමක් දැයි වචනයෙන් අපහාස කෙරේද, ගරු නොකෙරේද, ලාමක යයි සිතාද, හීන යයි දක්නා ලදද, පහත්යයි සම්මත වූයේද, අප්‍රිය වූයේද, කැමැති නො වේද, සිතට රුචි නොවේද, එබඳුවූ රූපයෝද, ශබ්දයෝද, ගන්ධයෝද, රසයෝද, ස්පර්ශයෝ ද යන මොව්හු හීන රූප යයි කියනු ලැබේ.
යම් රූපයක්, ඒ ඒ සත්ත්වයන්ගේ අවමානයට හේතු නොවේද, නින්දාවට හේතු නොවේද නොගතයුත්තක් කොට හැර නොදමාද, මෙය කුමක් දැයි වචනයෙන් අපහාස නො කෙරේද, ගරු කෙරේද, ප්‍රණීතද, ප්‍රණීත යයි සිතාද, ප්‍රණීතයයි සම්මතද, ඉෂ්ටවූ, කාන්තාවූ මනාපවූ රූපයෝ ද, ශබ්දයෝ ද, ගන්ධයෝ ද, රසයෝ ද, ස්පර්ශයෝ ද යන මොව්හු ප්‍රණීත රූප යයි කියනු ලැබේ.
මේ හීන ප්‍රණීත රූපයෝ ආරම්මණයාගේ ඉෂ්ටානිෂ්ටභාවය වශයෙන් ගත යුතු. සම්පත්තියෙන් තොරවූ හෙයින් අනිෂ්ටාලම්බන නමි. ඒ අනිෂ්ටාලම්බනය එකාන්ත වශයෙන් කර්ම හේතුවෙන් හටගන්නාවූ රූපයන් අතුරෙන් අකුසල කර්ම හේතුවෙන් හටගන්නා රූපයයි. සුඛයට කරුණු නොවන හෙයින් අකාන්තය හෙවත් නො කැමැතිය දුක්ඛයට කරුණු වන හෙයින් අමනාපය හෙවත් මන නොවඩනු ය. එබැවින් අකුසල කර්ම සමුත්‍ථාන රූප ධර්මයාගේ වශයෙන් අනිෂ්ටාලම්බනවූ පඤ්ච කාම කොට්ඨාසයෝ බෙදන ලද්දාහ. කුසල කර්ම සමුත්‍ථාන රූපය තෙම අනිෂ්ටාලම්බන වූවෙක් නම් නොවෙයි. කුසල කර්ම සමුත්‍ථාන සියලු රූපය තෙමේ ඉෂ්ටවූ රූපය මැයි. කර්ම සමුත්‍ථාන රූපයන්හි ඉෂ්ටානිෂ්ටාලම්බනත්වය යම්සේ ද, එපරිද්දෙන් උතුසමුත්ථානාදීන්හිත් ඉෂ්ටානිෂ්ටාලම්බනත්වය ඇති බව දත යුතු.
මේ ඉෂ්ටානිෂ්ටාලම්බනය විභජනය කරන ලද්දේ මධ්‍යම වූ සත්ත්වයාගේ වශයෙනි. වැඩියක් ඉසුරුමත්වූ නරෙශ්වරාදීන්ගේ වශයෙන් විභජනය කරන ලද්දේ නොවෙයි. ඒ ඉසුරුමතුන්හට දිව්යාලම්බනයක් හා සමානවූ අරමුණක් නමුත් අමනාපව වැටහෙන බැවිනි. වැඩියක් දිළිඳුවූ දුලබ බත් පැන් අහර ඇත්තාවූ සත්ත්වයන්ගේ වශයෙන්ද නොබෙදා වදාරන ලදය. ඒ දුබල බත් පැන් ඇති සත්තට කඩසහල් බත් හුළුද, කුණු මස් රසයද ඉතා මිහිරි වේද, එ හෙයිනි. හීනොත්කෘෂ්ට පුද්ගලයන්ගේ අන්තරයෙහිවූ හෙයින් මධ්‍යමවූ කිසිවිටෙක ඉෂ්ටාරම්මණයක්ද, කිසිවිටෙක අනිෂ්ටාරම්මණයක්ද ලබන්නාවූ සෙනෙවි, ඇමති, සිටු, කෙළෙඹි, වෙළඳ යනාදී පුද්ගලයන්ගේ වශයෙන් බෙදා වදාළහ. මෙබඳු මධ්‍යම පුද්ගලයෝ ඉෂ්ටානිෂ්ටාලම්බනත්වය පිරිසිඳින්ට හැකිවන හෙයිනි. ඔවුන්ට ඉෂ්ටාලම්බනය, ඉෂ්ටාලම්බනය යයිද, අනිෂ්ටාලම්බනය, අනිෂ්ටාලම්බනයයිද, ඇති සැටියෙන් ගත හැකිවේ. එය එසේ වෙතත්, ඉෂ්ටාලම්බනයෙහි කුසල විපාකයත් අනිෂ්ටාලම්බනයෙහි අකුසල විපාකයත් වන්නේ යයි නිශ්චය කොට දතයුතු. ඉෂ්ටානිෂ්ටාලම්බනය විපාකයාගේ වශයෙන්ම පිරිසිඳින ලදය. ජවන්නුගේ වශයෙන් නොපිරිසිඳින ලදය. ජවනය වනාහි සංඥා විපර්‍ය්‍යාස වශයෙන් ඉෂ්ටාලම්බනයෙහිම ඇලෙයි. ඉෂ්ටාලම්බනයෙහිම කිපෙයි. අනිෂ්ටාලම්බනයෙහිම ඇලෙයි. අනිෂ්ටාලම්බනයෙහිම කිපෙයි. විපාකයාගේ වශයෙන්ම ඒ ඉෂ්ටාලම්බන අනිෂ්ටාලම්බනත්වය ඒකාන්තයෙන් පිරිසිඳින්නේය. හෙවත් විනිශ්චය කරන්නේය. විපාක වරදන්නට හෝ රවටන්නට නො හැකි වේ.
ඉටු අරමුණෙක් වේ නම්, කුසල විපාක චිත්තොත්පාදය තෙම උපදනේය. අනිටු අරමුණක් වේ නම්, අකුසල විපාක චිත්තොත්පාදය තෙම උපදනේය. මිසදිටුවෝ, බුදුන් හෝ සංඝයා හෝ, චෛත්‍ය හෝ උදාර වූ අරමුණු හෝ, දැක ඇස් පියත් නමුදු, දොම්නසට පැමිණෙත් නමුදු, දහම් දෙසන ශබ්දය අසා කන්සහළු වසත් නමුදු, එසේ වුවද, ඒ මිසදිටුවන්ගේ ඒ චක්ෂුර් විඥාන සොතවිඥානයෝ කුසල විපාක චිත්තයෝම වෙත්. ගුථභක්ෂක සූකර ආදී ප්‍රාණීහු අශුචි ගන්ධය ආඝ්‍රාණය කොට කන්ට ලබන්නෙමුයි හටගත් සොම්නස් ඇත්තාහු වෙත් නමුදු, ඔවුන්ගේ ඒ අශුචි දර්ශනයෙහි චක්ෂුර් විඥානයද, ඒ අශුචියගේ ගන්ධාඝ්රාණයෙහි ඝ්‍රාණ විඥානයද, රසාස්වාදනයෙහි ජිව්හා විඥානයද, අකුසල විපාක චිත්තයම වේ. බැඳ උතුම් යහනෙක්හි සයනය කරවූ සූකර තෙමේද ඉදින් මොරගසා නමුදු, එසේ වුවද, සංඥා විපර්‍ය්‍යාසයෙන් ඒ සයනය කරවූ සූකරයාගේ ජවන් සිතෙහිම දොම්නස් වෙදනා තොමෝ උපදී. කාය විඤ්ඤාණය තෙමේ කුසල විපාකම වේ. අරමුණ ඉටු බැවිනි.
තවද චාරයන්ගේ වශයෙන්ද ඉෂ්ටාලම්බන අනිෂ්ටාලම්බනතා තොමෝ දතයුත්තීය. සුඛස්පර්ශය ඇති අශුචි කර්දමය තෙමේ චක්ඛුචාර ඝාණචාරයන්හි අනිටු අරමුණක් වේ. සක්විති රජක්හුගේ මාණික්‍ය රත්නය කරණකොටගෙන තාඩනය කරනු ලබන ජනයාගේ ද, සුවර්ණසූලයෙහි නගාලූ ජනයාගේද, මාණික්‍යරත්න ශූලයෝ චක්ෂුචාරයෙහි ඉෂ්ටාලම්බනයෝ වෙත්. කායචාරයෙහි අනිෂ්ටාලම්බනයෝ වෙත්. ඉමහත්වූ දුකක් උපදවන හෙයිනි. මේ කියන ලද නයින් නියත වශයෙන් විපාකයා විසින්ම ඉෂ්ටාලම්බන අනිෂ්ටාලම්බනබව පිරිසිඳිනු ලැබේ යයි දතයුතු.
තවද, නිරිසතුන්ගේ රූපය තෙම කෙළ පැමිණියාවූ හීන නමි. ඒ නිරිසතුන්ගේ රූපය නිසා තිරිසන් ගියවුන් අතුරෙහි නාග ගරුඩයන්ගේ රූපය තෙම ප්‍රණීත නමි. ඒ නාග ගරුඩයන්ගේ රූපය තෙමේද හීන නමි. ඒ නාග ගරුඩයන්ගේ රූපය නිසා ප්‍රේතයන්ගේ රූපය තෙම
ප්‍රණීත නම්. ඒ ප්‍රේතයන්ගේ රූපයද හීන ය. ඒ ප්‍රේතයන්ගේ රූපය නිසා දනව් වැස්සන්ගේ රූපය තෙමේ ප්‍රණීත නම්. ඒ දනව්වැස්සන්ගේ රූපයද හීන ය. ඒ දනව් වැස්සන්ගේ රූපය නිසා ග්‍රාමභෝජකයන්ගේ රූපයද හීන ය. ඒ ග්‍රාමභෝජකයන්ගේ රූපය නිසා දනව් හිමියන්ගේ රූපය තෙමේ ප්‍රණීත ය. ඒ දනව් හිමියන්ගේ රූපයද හීන ය. ඒ දනව් හිමියන්ගේ රූපය නිසා ප්‍රදේශ රජුන්ගේ රූපය තෙමේ ප්‍රණීත ය. ඒ ප්‍රදේශ රජුන්ගේ රූපයද හීන ය. ඒ ප්‍රදේශ රජුන්ගේ රූපය නිසා සක්විති රජහුගේ රූපය තෙමේ ප්‍රණීත ය. ඒ සක්විති රජහුගේ රූපය ද හීන ය. ඒ සක්විති රජහුගේ රූපය නිසා භූමාටු දෙවියන්ගේ රූපය තෙමේ ප්‍රණීතය. ඒ භූමාටු දෙවියන්ගේ රූපය ද හීන ය. ඒ භූමාටු දෙවියන්ගේ රූපය නිසා චාතුම්මහාරාජික දෙව්ලොව වැසි දෙවියන්ගේ රූපය තෙමේ ප්‍රණීත ය. ඒ චාතුම්මහාරාජික දෙව්ලෝ වැසි දෙවියන්ගේ රූපයද හීන ය. ඒ චාතුම්මහාරාජික දෙව්ලෝ වැසි දෙවියන්ගේ රූපය නිසා තව්තිසා දෙව්ලෝ වැසි දෙවියන්ගේ රූපය තෙමේ ප්‍රණීත ය. මෙසේ ක්‍රමයෙන් බලන කල්හි අකිනිටා බඹලෝ වැසි බඹුන්ගේ වනාහි රූපය තෙමේ මුදුන් පැමිණියාවූ ප්‍රණීත නම්.
ඉත්‍ථින්‍ද්‍රිය ආදිකොට ඇති සූක්ෂම රූප වූ යම් ඒ අන්‍ය වූ ද ආසන්න නොවූ, ළඟ නොවූ, සමීප නොවූ, දුර වූ, ඇත වූ රූපයක් ඇත්තේද එය දුරේ රූප යයි කියනු ලැබේ.
චක්ඛායතනාදී වූ ඖදාරික වූ යම් ඒ අන්‍ය වූ ද, ආසන්නවූ, සමීප වූ නුදුරෙහි වූ, ඈත නොවූ රූපයක් ඇද්ද, එය සන්තිකෙ රූප යයි කියනු ලැබේ.
චක්ෂුප්රසාදාදි ඖදාරික රූපයෝ දස දෙනා විදර්ශනා වැඩීමට පහසු බව සලකා ලක්ෂණ වශයෙන් සන්තිකෙ රූප නම් වෙත්. පසළොස් වැදරුම් වූ සූක්ෂම රූපය, ලක්ෂණ වශයෙන් දුරේ රූප යයි කියනු ලැබේ.
අවකාශ වශයෙන් හෙවත් ස්ථාන වශයෙන් සන්තිකෙ දූර දක්වන්නේ මෙසේයි: දොළොස්රියන් හෙවත් ද්වාදස හස්ත ප්‍රමාණය ඇති තැන, ශ්රවණෝපචාරස්ථාන හෙවත් ඇසීමට සුදුසු වූ තැන වේ ඒ ද්වාදස හස්ත ප්‍රමාණවත් ප්රදේශයාගේ මොබ්බෙහි ප්‍රවෘත්ත වූ රූපය තෙම සන්තිකෙ රූප හෙවත් ආසන්නයෙහි වූ රූප නමි. ද්වාදස හස්තප්රමාණවත් ප්‍රදේශයෙන් ඔබ්බෙහි ප්‍රවෘත්ත වූ රූපය තෙමේ දුරෙ රූප හෙවත් ඇත්හි වූ රූප නමි. ඒ සූක්ෂම ඖදාරික රූපයන් අතුරෙන් සූක්ෂමරූපය තෙමේ දූරස්ථාන යෙහි වනුයේ ලක්ෂණ වශයෙන්ද, අවකාශ වශයෙන්ද, දූරේ රූප නම් වේ. ආසන්නයෙහි වනුයේ වතාහි අවකාශ හෙයින්ම සන්තික රූප නම් වේ ලක්ෂණ වශයෙන් සන්තිකරූප නම් නොවේ. ඖදාරික රූපය ආසන්නයෙහි වනුයේ ලක්ෂණ වශයෙන්ද අවකාශ වශයෙන්ද සන්තිකෙ රූප නම් වේ. දූරස්ථානයෙහි වනුයේ අවකාශ හෙයින්ම දූරෙ රූප නම් වේ. ලක්ෂණ වශයෙන් දූරෙ රූප නොවේ.
තවත් ක්‍රමයකින්ද දූරෙ සන්තිකෙ රූප දක්වනු ලැබේ. තමාගේ රූපය තෙම සන්තික රූප නමි. තමාගේ කුස තුළ හොත්තාවූ ද මෙරමාගේ රූපය තෙමේ දූරෙ රූප නමි. තමාගේ කුස තුළ හොත් ළදරුවාගේ රූපය තෙමේ සන්තික රූප නමි. පිටත්හි සිටියහුගේ රූපය තෙම දූරෙ රූප නමි. එක් මැස්සෙක්හි හොත්ත හුගේ රූපය තෙමේ සන්තික රූප නමි. ආලින්දයෙන් පිටත සිටියහුගේ රූපය තෙමේ දූරෙ රූප නමි. පිරිවෙන් තුළ හෙවත් මළුව තුළ සිටියහුගේ රූපය තෙම සන්තික රූප නමි. පිරිවෙණෙන් පිටත හෙවත් මළුවෙන් පිටත සිටියහුගේ රූපය තෙම දූරෙ රූප නමි. සඞ්ඝාරාමාභ්යන්තරයෙහි සිටියහුගේ රූප තෙමේ සන්තික රූප නමි. සංඝාරාමයෙන් පිටත සිටියහුගේ රූපය තෙමේ දූරෙ රූප නමි. ග්රාමක්ෂේත්රය තුළ සිටියහුගේ රූපය තෙමේ සන්තික රූප නමි. ග්රාමක්ෂේත්රයෙන් පිටත සිටියහුගේ රූපය තෙමේ දුරෙ රූප නම්. දනව් තුළ සිටියහුගේ රූපය තෙමේ සන්තික රූප නම් දනව්වෙන් පිටත සිටියහුගේ රූපය තෙමේ දුරෙ රූප නම් රාජ්‍ය සීමාභ්යන්තරයෙහි සිටියහුගේ රූපය තෙමේ සන්තිකෙ රූප නම්. රාජ්‍ය සීමාවෙන් පිටත සිටියහුගේ රූපය තෙමේ දුරෙ රූප නම් සමුද්රාභ්යන්තරයෙහි සිටියහුගේ රූපය තෙමේ සන්තික රූප නම්. සමුද්‍රයෙන් පිටත සිටියහුගේ රූපය තෙමේ දුරෙ රූප නම්. චක්රවාලාභ්යන්තරයෙහි සිටියහුගේ රූපය තෙමේ සන්තිකෙ රූප නම්. චක්රවාලයෙන් පිටත සිටියහුගේ රූපය තෙමේ දුරෙ රූප නම්.