පඤ්චස්කන්ධ
පඤ්චස්කන්ධයෝ නම්:-
- රූපස්කන්ධය
- වෙදනාස්කන්ධය
- සඤ්ඤාස්කන්ධය
- සංඛාරස්කන්ධය
- විඤ්ඤාණස්කන්ධය යන පඤ්චවිධ ස්කන්ධයෝයි.
පඤ්චස්කන්ධය යන පදයෙහි ඛන්ධ ශබ්දය තෙම රාශියෙහි ද, ගුණයෙහි ද, ප්රඥප්තියෙහි ද, රුද්ධියෙහි ද මෙසේ බොහෝ වූ අර්ත්ථයන්හි වැටේ. එයින් මහත් වූ ජලස්කන්ධයකැයි කී කල්හි රාශි අර්ත්ථයෙන් ස්කන්ධය ප්රකාශ වේ. එසේම රජස්කන්ධ, ගවස්කන්ධය, බලස්කන්ධය, පුඤ්ඤස්කන්ධය යනාදී තන්හි ද රාශි අර්ත්ථයම දැක් වේ.
සීලස්කන්ධය, සමාධිස්කන්ධය යනාදී තන්හි ගුණයෙහි වැටේ. මහත්වූ දරස්කන්ධයක් හෙවත් දර කඳක් යයි කී කල්හි ප්රඥප්තියෙහි වැටේ. චක්ෂුර් විඤ්ඤාණාදිය අතුරෙහි එක් අවයවයකුදු ස්කන්ධ ශබ්දය තෙමේ එකදෙශොපචාර වශයෙන් දැක්වේ. මෙකී ස්කන්ධ ශබ්දයාගේ අර්ත්ථ අතුරෙන් රාශි අර්ත්ථය පමණක්ම මෙහි ශබ්දාර්ත්ථය වන්නේය. ගුණ ප්රඥප්ති, රූඪී වූ අර්ත්ථයෝ වනාහි ස්කන්ධ ශබ්දයාගේ විෂය මාත්රය මුත් ශබ්දාර්ත්ථයෝ නොවන්නාහ. එබැවින් ස්කන්ධ ශබ්දයාගේ අර්ත්ථය, මෙහිදී පිණ්ඩාර්ත්ථය, සමුදයාර්ත්ථය පුඤ්ජාර්ත්ථය රාශ්යාර්ත්ථය හෙවත් සමූහ සඞ්ඛ්යාත අර්ත්ථය ඇති හෙයින්, පඤ්චස්කන්ධයෝ රාශි ලක්ෂණය හෙවත් සමූහ භාවය ලක්ෂණ කොට ඇති බව දත යුතු. එමෙන්ම කොට්ඨාස භාවයද ලක්ෂණ කොට ඇත්තේය. එසේ හෙයින් බුදුරජානන් වහන්සේ, රූපස්කන්ධය නම් රූප සමූහයක, රූප කොට්ඨාසයකැයි කියාද, වෙදනාස්කන්ධය, වෙදනා සමූහයක, වෙදනා කොට්ඨාසයකැයි කියාද, සංඥාස්කන්ධය, සංඥා සමූහයක, සංඥා කොට්ඨාසයකැයි කියාද, සංඛාරස්කන්ධය, සංස්කාර සමූහයක, සංස්කාර කොට්ඨාසයකැයි කියාද, විඤ්ඤාණස්කන්ධය, විඤ්ඤාණ සමූහයක, විඤ්ඤාණ කොට්ඨාසයකැයි කියාද වදාළහ.
තවද, බුදුරජානන් වහන්සේ, සතර මහා භූතයෝය, සතර මහා භූතයන් නිසා හටගත්තාවූ උපාදාය රූපයෝද, අතීතානාගත පච්චුප්පන්නා දී වශයෙන් එකොළසක් වූ, අවකාශයන්හි හෙවත් අවස්ථාවන්හි බෙදා දක්වන ලද්දාවූ පස් විස්සක් පමණවූ රූප ධර්ම කොටස්හුය කියාත්, සයානූවක් පමණ වූ රූප ධර්ම කොටස්හුය කියාත්, මෙ බඳු වූ ප්රභේද ඇති යම් රූප රාශියක් ඇද්ද, ඒ සියලු රූප රාශිය හාත් පසින් පිඬුකොට රූපස්කන්ධය නමැයි දක්වා වදාළසේක.
එකොළොස් අවකාශයෝ නම්:-
- අතීතාවකාශය
- අනාගතාවකාශය
- ප්රත්යුත්පන්නාවකාශය
- අධ්යාත්මාවකාශය
- බාහ්යාවකාශය
- ඖදාරිකාවකාශය
- සූක්ෂමාවකාශය
- හීනාවකාශය
- ප්රණීතාවකාශය
- දූරාවකාශය
- සන්තිකාවකාශය යන එකොළොස් අවස්ථාවෝ යි.
පස්විසි රූප ධර්ම කොට්ඨාශයෝ නම් චක්ඛායතන, රූපායතන, සොතායතන, සද්දායතන, ඝාණායතන, ගන්ධායතන, ජිව්හායතන, රසායතන, කායායතන, පොට්ඨබ්බායතන යන දසායතනයෝ ද, හදය වස්තු රූපය වර්ජිත කොට ඇති සූක්ෂම රූප පසළොස් දෙනාදැයි යන විසිපස් රූපයෝ ද, පූර්වොක්ත දසායතනයන් හා උපචය සන්තති රූප චය එක් කොට ගෙන හදය වස්තු රූපයත් සමග සූක්ෂම රූප පසළොස් දෙනාදැයි යන පස්විසි රූප කොට්ඨාසයෝ වෙත්.
සයානුවක් රූප කොට්ඨාසයෝ නම්, චක්ඛු දසකය, සොත දසකය, ඝාණ දසකය, ජිව්හා දසකය, කාය දසකය, භාව දසකය, වස්තු දසකය යන දසක කලාප සත් දෙන එකතුව රූප සැත්තෑ දෙනෙක, ඍතුජාෂ්ටක කලාපය, චිත්තජාෂ්ටක කලාපය, ආහාරජාෂ්ටක කලාපය යන අෂ්ටක කලාප ත්රයට ඇතුළත් සූවිසි රූපයෝ ද යන රූප ධර්මයෝ සුවානුවක් (94) හා චිත්තජ ශබ්දය, ඍතුජ ශබ්දය යන දෙදෙනාත් සමග සයානුවක් (96) රූප ධර්මයෝ වෙත්.
සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛම සුඛා වෙදනා යයි කියා එබඳු ස්වභාව වූම, එකොළොස් අවකාශයන්හි විභජනය කරන ලද්දා වූ යම් චාතුර්භූමික වෙදනා රාශියක් ඇද්ද, ඒ සියලු චාතුර්භූමික වෙදනා රාශිය හාත්පසින් පිඬුකොට වෙදනාස්කන්ධය නමැයි දක්වා වදාළ සේක.
චක්ඛුසම්පස්සජාසඤ්ඤා, සොතසම්පස්සජාසඤ්ඤාදී වශයෙන් එබඳු ස්වභාවවූම එකොළොසක් වූ අවකාශයන්හි විභජනය කරන ලද්දා වූ යම් චාතුර්භූමික සංඥා රාශියක් ඇද්ද, ඒ සියලු චාතුර්භූමික සංඥා රාශිය හාත් පසින් පිඬු කොට සංඥාස්කන්ධය නමැයි වදාළ සේක.
චක්ඛුසම්පස්සජා චෙතනා, සොතසම්පස්සජා චෙතනාදී වශයෙන් එබඳු ස්වභාවවූම, එකොළොසක් වූ අවකාශයන්හි විභජනය කරන ලද්දා වූ යම් චාතුර්භූමික චෙතනා රාශියක් ඇද්ද, ඒ සියලු චාතුර්භූමික චෙතනා රාශිය හාත්පසින් පිඬුකොට සංස්කාරස්කන්ධය නමැයි දක්වා වදාළ සේක.
චක්ඛුවිඤ්ඤාණ, සොතවිඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කායවිඤ්ඤාණ, මනොධාතු, මනොවිඤ්ඤාණ ධාතු යයි කියා එබඳු ස්වභාවවූම එකොළොසක් වූ අවකාශයන්හි විභජනය කරන ලද්දා වූ යම් චාතුර්භූමික චිත්ත රාශියක් ඇද්ද, ඒ සියලුම චාතුර්භූමික චිත්ත රාශිය හාත්පසින් පිඬුකොට විඤ්ඤාණස්කන්ධය නමැයි දක්වා වදාළ සේක.
තවද, සියළුම කම්ම, චිත්ත, ඍතු ආහාර යන චතුසමුට්ඨානික රූපයෝ රූපස්කන්ධය නමැයි ද,
සියළුම එකුන් අනූවක් පමණ සිත් සමග එක්ව උපදනාවූ වෙදනා තොමෝ වෙදනාස්කන්ධය නමැයි ද,
සියළුම එකුන් අනූවක් පමණ සිත් සමග එක්ව උපදනා වූ සංඥා තොමෝ සංඥාස්කන්ධය නමැයි ද,
ස්පර්ශය ආදි කොට ඇති චෛතසික ධර්මයෝ පනස් දෙන සංස්කාරස්කන්ධය නමැයි ද,
එකුන් අනූවක් පමණ වූ සිත්හු විඤ්ඤාණස්කන්ධය නමැයි ද දක්වා වදාළ සේක.