ආශ්‍රව ධර්ම
ස්වභාව ධර්ම වශයෙන් සොවාන් මාර්ග චිත්තයට පෙරටුව උපදනාවූ ගොත්රභූ සිත දක්වාද, අවකාශ හෙවත් භූමි වශයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඞ්ඛ්‍යාත භවාග්‍රය දක්වාද, පැවැත්ම වන හෙයින් ද, සිහි නමැති අගුලු නොහෙළන ලද්දා වූ චක්ෂු ආදි දොරටුවලින්, සිදුරුවූ කලයකින් වැගිරෙන දියක් මෙන්ද, ව්රණ මුඛයෙන් වැගිරෙන ලේ සැරව මෙන්ද, ශ්‍රාවය වන හෙයින්ද සසර දුක ප්‍රසව කරවන හෙයින්ද, සුරාපානය කළාවූ සත්ත්වයෝ තුමූ ප්‍රකෘති ස්වභාවය හැර උමතුවන්මෙන් සියලු දුශ්චරිතයන්හි හැසිරෙත් ද, එපරිද්දෙන්ම සත්ත්වයා මත් කරවන හෙයින්ද, නොයෙක්වර පෙරාගත් සුරාවකට බඳුවූද යම් අකුසල ධර්ම කෙනෙක් වෙත්ද එයට ආශ්‍රව ධර්මයෝ යයි කියනු ලැබේ.
ආශ්‍රව ධර්මයෝ සතර දෙනෙකි. එනම්:
- කාමාශ්‍රව
- භවාශ්‍රව
- දිට්ඨාශ්‍රව
- අවිජ්ජාශ්රව
කාමාශ්‍රව යනු කාමරාගයට නමෙකි. කාම යන්නෙන් සියලුම කාමාවචර ධර්ම සඞ්ඛ්‍යාත වස්තුකාමයෝද, ඒ වස්තු කාමයන් අරමුණු කොට පවත්නා කාමතෘෂ්ණාවද ගත යුතුයි. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ඨබ්බකාම යන පඤ්චකාමයන්හි ඇලුනාවූ සත්ත්වයෝ උමතුවූවන්මෙන් කාමයන්හි ඇලී ගැලී වාසය කිරීමෙන් සතර අපා දුක්ඛයට පමුණුවනු ලැබෙත්. පස්කම් සැපතෙහි ලොල්වූ පුද්ගල තෙමේ සතුන් මැරීම්, සොරකම් කිරීම් කාමයෙහි වරදවා හැසිරීම්, මත්පැන් පානය කිරීම් ආදිකොට ඇති නොයෙක් දුශ්චරිතයන්හි හැසිරෙමින්, මෙලොවින්ද පිරිහී මරණින් මතු සතර අපා දුකින්ද නොමිදෙන්නේය. එබැවින් අවිචි මහ නිරය කෙළවර කොට ඇති මහා දුකට ක්‍රමයෙන් පමුණුවන්නාවූ ආශ්‍රවයක් බඳු හෙයින් කාමාශ්‍රව නම් වේ. මෙය ලොභ චෛතසිකය වේ.
භවාශ්‍රව යනු භවරාගය හෙවත් රූපා රූප රාගයයි. මෙහිදී රූපාවචර අරූපාවචර කුසල ධර්ම නම්වූ කර්මභවයද එහි විපාක වශයෙන් ලැබෙන්නාවූ රූපා රූප උත්පත්ති භවයද ගත යුතුයි. මේ විවිධ භවය අරමුණුකොට පවත්නා තෘෂ්ණාව සත්ත්වයා මත්කොට සසරින් මිදීමට ඉඩ නොදෙන හෙයින් භවාශ්‍රවය යයි කියන ලදී. කාමභවයෙහි ආදීනව දුටු පුද්ගලතෙමේ, එයින් මිදෙනු කැමතිව, රූපාරූපා භවයන්හි පවත්නා සැපත සළකා සමථ භාවනාවඩා ධ්‍යාන උපදවා රූපාරූප ලොකයන්ට පැමිණිකල නිත්‍යවූ සුඛය ඇත්තාවූද, සුභවූද, නිත්යාත්ම භාවයක් ලැබෙන්නේයයි මුළාවී එහි නිකාන්තිය හෙවත් තෘෂ්ණාව උපදවා ගන්නේය. එහි මහා කල්ප ගණන් ආයු වළඳා නැවතත් කාම භවයට පැමිණ සතර අපා දුක්ඛයන්ටද පැමිණෙන්නේය. එබැවින් භවරාගය සත්ත්වයන් මත් කොට සසරෙහිම රඳවා ගන්නා හෙයින් භවාශ්‍රව නම් වන්නේය. මෙයද ලෝභ චෛතසිකය වේ.
දිට්ඨාශ්‍රවය යනු මිථ්‍යාදෘෂ්ටියයි. ශාස්වත දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි යනාදි වශයෙන් දක්වන ලද දෙසැටක් (62) මිථ්‍යාදෘෂ්ටීන්ට ඇතුළත් වූ යම් පමණ වැරදි දෘෂ්ටි වේනම් එය වැළඳ ගත්තා වූ පුද්ගලයෝ එයින් මත්වීම කරණකොට ගෙන සතර අපා දුක්ඛයන්ට භාජනවෙමින් සසරම රඳවා ගන්නා හෙයින් මිථ්‍යාදෘෂ්ටියට දිට්ඨාශ්‍රවය යයි කියනු ලැබේ. කාම සම්පත් ආදිය විඳිනු කැමැති පුද්ගල තෙමේ එහි ආදිනව වටහාගත නොහැකිව සදාකාලික ආත්ම භවයක් ලබාගැනීම පිණිස හෝ මරණින් මතු භවයක් නැත, මේ භවයේදීම කාම සම්පත් සිත් වූ පරිද්දෙන් විඳ මියයාම යෙහෙකැයි සිතා හෝ, කර්ම, කර්ම ඵල ආදිය විශ්වාස නොකොට මිථ්‍යාදෘෂ්ටිය වැළඳගෙන අප්‍රමාණ දුක් විඳින්නේය. අප්‍රමාණ වූ සංසාර දුක්ඛයන්ට පමුණුවන හෙයින් මිථ්‍යාදෘෂ්ටිය ආශ්‍රවයක් වැනිය. මෙය දිට්ඨි චෛතසිකය වේ.
අවිජ්ජාශ්රව යනු අවිද්‍යාවයි. චතුස්සත්‍යය, පූර්වාන්තය, අපරාන්තය, පූර්වාපරාන්තය, පටිච්චසමුපාදය යන අටතැන්හි මුළාවීම හෙවත් නොදැනීම අවිජ්ජා නම් වන්නේය. මෙයම සත්ත්වයා උමතු කරවන හෙයින්ද අප්‍රමාණ සංසාර දුක්ඛයන්ට පමුණුවන හෙයින්ද අවිජ්ජාශ්රව යයි කියනු ලැබේ. සියලුම අකුසල ධර්මයන්ට මූලික හේතුව වූ මේ අවිද්‍යාව මුල් සිඳ දමනතාක් කල් සසරින් එතරවීමක් නොවන්නේය. මොහයෙන් මුළාවූ පුද්ගලයා ධර්මය අධර්මය ලෙසද, අධර්මය ධර්මය ලෙසද, අනිත්‍ය වූ ධර්මයන් නිත්‍ය වශයෙන්ද අසුභය සුභ වශයෙන් ද, දුක සැපතක් වශයෙන් ද, අනාත්මය ආත්ම වශයෙන් ද, වරදවා ගෙන පිළිපදිමින්, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යතාදිය නිවැරැදිකොට සළකා නොයෙක් දුශ්චරිතයන්හි හැසිරෙමින් අනර්ත්ථයම සාදාගන්නේය. මෙය මෝහ චෛතසිකය වේ.
මේ ආශ්‍රව ධර්මයෝ සතරදෙනා ධර්ම වශයෙන් සළකන කල්හි ලොභ, දිට්ඨි, මෝහ යන චෛතසික ධර්ම තුනක් වන්නේය. මේ ආශ්‍රව ධර්ම සතර හැර, මාන ආදිවූ අනිකුත් අකුසල ධර්මයන්ද, භවාග්‍රය හා ගොත්රභූ සිත දක්වා පවතින නමුත්, ප්‍රධාන වශයෙන් මේ ආශ්‍රව ධර්මයෝ අනිකුත් අකුසල යන්ට වඩා ආශ්‍රව වශයෙන් සත්ත්වයා කෙරෙහි බල පවත්නා හෙයින් ආශ්‍රව ධර්ම සතරක් කොට දක්වා තිබෙන බව දතයුතුයි.
ආශ්‍රව ධර්මයන් අතුරෙන් දිට්ඨාශ්‍රවය, සෝවාන් මග නුවණින්ද, කාමාශ්‍රවය අනාගාමි මග නුවණින් ද, භවාශ්‍රවය සහ අවිජ්ජාශ්‍රවය අර්හත් මග නුවණින් ද, සමුච්ඡේද වශයෙන් ප්රහාණය කටයුතු වේ.