සප්ත බෝධ්‍යාඞ්ග ධර්ම
සප්ත බෝධ්‍යාඞ්ග ධර්මයෝ නම්:-
- සති සම්බෝධ්‍යඞ්ගය
- ධම්මවිචය සම්බෝධ්‍යඞ්ගය
- විරිය සම්බෝධ්‍යඞ්ගය
- පීති සම්බෝධ්‍යඞ්ගය
- පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය
- සමාධි සම්බෝධ්‍යඞ්ගය
- උපෙක්ඛා සම්බෝධ්‍යඞ්ගය
බෝධි නම් ලද ධර්ම සාමග්‍රියෙන් අවයවයෝ නොහොත් බෝධි නම් ලද පුද්ගලයාගේ කාරණයෝ බෝධ්‍යඞ්ග නම්හු වෙත්. ලොකොත්තර මාර්ගක්‍ෂණයෙහි උපදනාවූ, ථීනමිද්ධය, උද්ධච්චය, ක්ලේශ වශයෙන් පිහිටීමය, අභිසංස්කාර වශයෙන් ආයූහනය හෙවත් වැර කිරීමය, කාමසුඛල්ලිකානුයොගය, අත්තකිලමථානුයොගය, උච්ඡේද දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටිය යන මොවුන් ආදිකොට ඇති අනෙකප්‍රකාර වූ උපද්‍රවයන්ට ප්‍රතිපක්‍ෂවූ, සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා සංඛ්‍යාත වූ යම් ධර්‍ම සාමාග්‍රියක් කරණකොටගෙන ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ නිවන අවබෝධ කෙරේද, එහෙයින් බොධි නමැයි කියනු ලැබේ. මෙහි ක්ලේශ වශයෙන් පිහිටීම යයි කියන ලද්දේ සසර පැවැත්මට හේතුවූ ක්ලේශයන්ගේ වශයෙන් පිහිටීමය. අභිසංස්කාර වශයෙන් ආයූහනය නම් සසරෙහි පැවැත්මට ව්‍යාපාරයක් වූ කර්‍මයයි.
තවද, ක්ලේශයන්ගේ සන්තතියයි කියන ලද නිද්‍රාවෙන් නැගී සිටීද, ප්‍රබෝධ වේද, නොහොත් චතුරාර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවෙධ කෙරේද, නොහොත්, නිර්‍වාණයම සාක්‍ෂාත් කෙරේද, ධර්‍ම සාමාග්‍රිය යයි කියන ලද ඒ බෝධියගේ අඞ්ගයෝ යි, කාරණයෝ යි යන අර්‍ත්‍ථයෙන්ද බෝධ්‍යාඞ්ග නම් වෙත්.
යම් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් වනාහි, යම් යම්, කියන ලද ප්‍රකාර ඇති ඒ ධර්‍ම සාමාග්‍රිය කරණකොටගෙන නිවන් අවබෝධ කෙරේද, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බොධි නමැයි කියනු ලැබේ. එහෙයින් බොධි නම් ලද ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ කාරණයෝ බෝධ්‍යාඞ්ග නම් වේ.
එමෙන්ම නිවන් පසක් කිරීම පිණිස, නොහොත් මාර්‍ග ඵල ප්‍රතිවෙධය පිණිස පවතීද, බෝධය කෙරෙද්ද, අනු බෝධය කෙරෙද්ද, ප්‍රතිබෝධය කෙරෙද්ද, සම්බෝධය කෙරෙද්ද, මෙකී අර්‍ත්‍ථ කරණකොටගෙනද බෝධ්‍යාඞ්ග නම් වෙත්.
මේ සස්නෙහි මහණතෙම, උතුම් වූ සිහිය හා ප්‍රඥාවෙන් යුක්ත වූයේ, කොට බොහෝ කල් වූ ද, කියා බොහෝ කල්වූ ද, දේ සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ, සිහි ඇත්තේ වේද මෙය සති සම්බෝධ්‍යාඞ්ග යයි කියනු ලැබේ.
හෙතෙම එසේ සිහියෙන් යුක්තව වාසය කරන්නේ, ඒ ධර්‍මය නුවණින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විමසයි. නුවණ හසුරුවන්නේ විමසයි. බැලීමට, සෙවීමට පැමිණෙයි. මෙය ධම්මවිචය සම්බොධ්‍යඞ්ගය යයි කියනු ලැබේ.
ඒ භික්‍ෂූවගේ ඒ ධර්‍මය නුවණින් සොයන්නේ, ප්‍රඥාව හසුරුවමින් සොයන්නේ, විමසන්නේ, බැලීමට සෙවීමට පැමිණෙන්නේ, පරිපූර්‍ණ වූයේ වෙයි. පසුබට නොවූයේ වෙයි. මෙය විරියසම්බොධ්‍යඞ්ගය යි කියනු ලැබේ.
පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තහුට නිරාමිස වූ ප්‍රීතිය උපදියි. මෙය ප්‍රීතිසම්බොධ්‍යඞ්ග යයි කියනු ලැබේ.
ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කය, කෙලෙස් විඩා සංසිඳීම් වශයෙන් සංසිඳෙයි. විඤ්ඤාණස්කන්‍ධයද සංසිඳෙයි. මෙය පස්සද්ධි සම්බොධ්‍යඞ්ගය යි කියනු ලැබේ.
සංසිඳුන කය ඇති සැපවත් වූවහුගේ සිත නිශ්චල වෙයි. මෙය සමාධි සම්බොධ්‍යඞ්ගය යයි කියනු ලැබේ.
ඔහුගේ එසේ නිශ්චලවූ සිත මනාකොට මැදහත් වූයේ වෙයි. මෙය උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගය යයි කියනු ලැබේ.
ප්‍රශස්තවූ හෙවත් පසස්නා ලද්දාවූ නොහොත් සුන්‍දරවූ බෝධ්‍යඞ්ගය තෙම සම්බොධ්‍යඞ්ග නම්. ස්මෘති තොමෝ ම සම්බොධ්‍යඞ්ගය වූයේ සති සම්බොධ්‍යඞ්ගය නම්. මෙසේ ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගයන්ගේ අර්ථ දතයුතුයි.
ලක්‍ෂණ වශයෙන් සති සම්බොධ්‍යඞ්ගය තෙමේ උපට්ඨාන ලක්ඛණ නම් වූ අරමුණ සිහිකිරීම් ලක්‍ෂණ කොට ඇත්තේය. හෙවත් අරමුණ වැටහීම් ලක්‍ෂණකොට ඇත්තේය.
ධම්මවිචය සම්බොධ්‍යඞ්ගය තෙමේ පවිචය ලක්ඛණ හෙවත් ධර්‍මයන්ගේ තත්ත්‍ව විමසීම් ලක්‍ෂණ ඇත්තේය.
විරිය සම්බොධ්‍යඞ්ගය තෙම පග්ගහ ලක්ඛණ හෙවත් අනුබල දීම් ලක්‍ෂණ ඇත්තේය.
පිති සම්බොධ්‍යඞ්ගය තෙම ඵරණ ලක්ඛණ නම් වූ ස්ඵරණ ලක්‍ෂණ හෙවත් පැතිරෙන ස්වභාවය ඇත්තේය.
පස්සද්ධි සම්බොධ්‍යඞ්ගය තෙම උපසම ලක්ඛණ හෙවත් සංසිදීම් ලක්‍ෂණ ඇත්තේය.
සමාධි සම්බොධ්‍යඞ්ගය තෙම අවික්ඛෙප ලක්ඛණ නම්වූ අවික්‍ෂෙප ලක්‍ෂණය හෙවත් නොවිසිරෙන ස්වභාවය ඇත්තේය.
උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගය තෙම පටිසඞ්ඛාන ලක්ඛණ නම් වූ මැදහත්ව දක්නා ලක්‍ෂණ ඇත්තේය. හෙවත් යුක්ති වශයෙන් දක්නා ස්වභාවය ඇත්තේය.
ඒ සතිසම්බොධ්‍යඞ්ගාදී සප්තවිධ බොධ්‍යඞ්ගයන් අතුරෙන් සියලු බොධ්‍යඞ්ගයනට උපකාර කරන බැවින් සතිසම්බොධ්‍යඞ්ගය තෙම පළමුකොට වදාළසේක. ඒ ස්මෘති සම්බොධ්‍යඞ්ගයෙන් ඔබ්බෙහි එසේ සිහියෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ පුද්ගල තෙම නුවණින් ධර්‍මයන්ගේ තත්‍වය විමසයි. මේ පිළිවෙලින් ඒ බොධ්‍යඞ්ගයෝ නොඅඩු වූ ද, නොවැඩි වූ ද සත්දෙනෙක්ම පිළිවෙලින් වදාළහ. ථීනමිද්ධ, උද්ධච්චයන්ට ප්‍රතිපක්‍ෂ වන හෙයින්ද, නොහොත් සියලු බොධ්‍යඞ්ග කෘත්‍යයන්හි කැමැති විය යුතු වන හෙයින්ද මෙසේ වදාරණ ලදී.
සප්තවිධ බොධ්‍යඞ්ගයන් අතුරෙන් ත්‍රිවිධ වූ බොධ්‍යඞ්ග කෙනෙක් ථීනමිද්ධයාගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයෝයි. යම් කලෙක ථීනමිද්ධය හා යෙදුන සිතක් උපදනේ වී නම්, එකල්හි ධම්මවිචය සම්බොධ්‍යඞ්ගය ද, විරිය සම්බොධ්‍යඞ්ගය ද, පීති සම්බොධ්‍යඞ්ගය ද වැඩිය යුතු.
ත්‍රිවිධ වූ බෝධ්‍යඞ්ග ධර්‍ම කෙනෙක් උද්ධච්චයාගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයෝ ය. යම් කලෙක උද්ධච්චය හා යෙදුන සිතක් උපදනේ වී නම්, එකල්හි පස්සද්ධි සම්බොධ්‍යඞ්ග- යද, සමාධි සම්බොධ්‍යඞ්ගය ද, උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගයද වැඩිය යුතු.
ඒ සප්තවිධ බෝධ්‍යඞ්ගයන් අතුරෙන් එකලා වූ සති සම්බොධ්‍යඞ්ගය වනාහි, සියලු සූප ව්‍යඤ්ජනයන්හි ලුණු කැවීම හෙවත් ලුණු ලෑම කැමති වියයුතු වන මෙන් ද, සියලු රාජ්‍ය කෘත්‍යයන්හි, සමස්ත රාජකාර්‍ය්‍යයෙහි නියුක්ත වූ මහ ඇමතියෙක් කැමැති වියයුතු වන මෙන් ද සියලු බෝධ්‍යඞ්ගයන්හි කැමැති වියයුතු වන හෙයින් සබ්බත්‍ථික යයි වදාරණ ලදී. සප්ත සම්බොධ්‍යඞ්ගයන් අතුරෙන් පළමු පළමු බෝධ්‍යඞ්ගයෝ පසු පසු බෝධ්‍යඞ්ගයන්ට විශේෂ ප්‍රත්‍යයද වේ.
මේ බෝධ්‍යාඞ්ග ධර්‍මයෝ සත්දෙන එකම අරමුණෙක්හි තම තමා අයත්වූ වෙන් වෙන්වූ කෘත්‍යයන් සම්පාදනය කරන්නේ ය.
මේ සස්නෙහි විදර්‍ශනා වඩා මාර්‍ග ඵලාධිගමයට පැමිණෙනු කැමැති මහණ තෙමේ සිහියෙන් යුක්තව වාසය කරන්නේ සිහි ඇත්තෙක්ව, සතිසම්පන්නයෙක් වේ. නිර්‍වාණයද චතුර්විධ මාර්‍ගයට ද අනුලෝම වන හෙයින් උතුම් වූ සිහියෙන් ද යුක්තවෙයි. නේපක්ක නම් වූ ප්‍රඥාව හා එක්ව යෙදීමෙන් ඉතා බලවත් වෙයි. තමන්ගේ හෝ මෙරමාගේ හෝ කායද්වාරයෙන් ඉතා අතීතයෙහි කළා වූ වතක් හෝ කසිණ පරි කර්‍මයක් හෝ, තමා විසින් හෝ මෙරමා විසින් හෝ වාග්ද්වාරයෙන් ඉතා අතීතයෙහි බණන ලද්දා වූ බොහෝ වූද, ධර්‍ම කථාවක් හෝ, කර්‍මස්ථාන විනිශ්චයක් හෝ, කායවිඥප්ති, වචී විඥප්ති උපදවා පැවැත්තා වූ ඒ නාම ධර්‍ම කොට්ඨාසය, මෙසේ ඉපිද මෙසේ නිරුද්ධවනැයි සිහි කරන්නේ ය, නැවත නැවත සිහි කරන්නේ ය. මෙයාකාරයෙන් උපන්නා වූ, ඒ බෝධ්‍යඞ්ගයන් උපදවන්නාවූ විදර්‍ශනාඥාන සම්ප්‍රයුක්තවූ මේ සම්‍යක් ස්මෘති තොමෝ, සතිසම්බොධ්‍යඞ්ගය නමැයි වදාරණ ලදි. ඒ භික්‍ෂුතෙම, ඒ අයුරෙන් උපන්නාවූ සිහියෙන් සිහි ඇත්තේව වාසය කරන්නේය.
ඉතා පූර්‍වයෙහි කයින් කළාවූ කටයුත්තක්, ඉතා පෙර බසින් තෙපලූ, යටකී පරිදි ඇති ධර්‍මයක්, නුවණින් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි ප්‍රකාරයෙන් විමසීම කෙරෙයි. අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යයි ඒ ධර්‍මයන්හි නුවණ හසුරුවමින් හැසිරෙයි. ත්‍රිලක්‍ෂණාවලෝකණයට තිලක්‍ෂණ අන්‍වේශණයට පැමිණෙයි. මේ කියනලද ප්‍රභේද ඇති බෝධ්‍යඞ්ගයන් උපදවන්නාවූ විදර්‍ශනාඥානය ධම්ම විචය සම්බොධ්‍යඞ්ගය නමැයි වදාරණ ලදි.
ඒ මහණහුගේ, යට කියනලද පරිදි ඇති ධර්‍මයන් පරිපූර්‍ණවූයේ වෙයි. අනුබල දෙන ලද්දේ වෙයි. පරිපූර්‍ණවූ බැවින්ම, අනුබල දුන් බැවින්ම නොහැකිළීම වේ. බෝධ්‍යඞ්ගයන් උපදවන්නාවූ, විදර්‍ශනාඥාන සම්ප්‍රයුක්තවූ මේ වීර්‍ය්‍යයතෙමේ වීර්‍ය්‍යය සම්බොධ්‍යඞ්ගය නමැයි වදාරනු ලැබේ.
කාමාමිස, ලෝකාමිස, වෘත්තාමිසයන්ගේ අවිද්‍යමානභාවයෙන් නිරාමිස හෙවත් ආමිසරහිතවූ, පිරිසිදුවූ, බෝධ්‍යඞ්ගයන් උපදවන්නාවූ, විදර්‍ශනාඥාන සම්ප්‍රයුක්තවූ මේ ප්‍රීති තොමෝ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය නමැයි වදාරනු ලැබේ. පඤ්චකාම සම්පත් පිළිබඳව පවත්නාවූ රාගය තෙමේද ඒ දෙදෙනාගේ ආලම්බනය තෙමේද කාමාමිස නම්. ලෝකග්‍රහණ වශයෙන් පැවැත්තාවූ ශාශ්වත, උච්ඡේද දෘෂ්ටි සහගතවූ රාගය තෙමේද, ඒ දෙදෙනාගේ ආලම්බනය තෙමේද, ලෝකාමිස නම්. අෂ්ටලෝකධර්‍මයෝ හෝ ලෝකාමිස නම්. සසර ආසාකිරීම් වශයෙන් උපන්නාවූ, සසර උපදවන රාගය තෙමේද, ඒ දෙදෙනාගේ ආලම්බනය තෙමේද වෘත්තාමිස නම්.
ප්‍රීති සම්ප්‍රයුක්ත සිත් ඇත්තාහුගේ වෙදනා, සඤ්ඤා, සංඛාර නම් ත්‍රිවිධ ස්කන්‍ධයන්ගේ සමූහයයි කියන ලද නාම කාය තෙමේ, කෙලෙස් විඩාව සංසිඳීම් වශයෙන් සංසිඳෙයි. චිඤ්ඤාණස්කන්‍ධය තෙමේත් එසේ කෙලෙස් විඩාව සංසිඳීම් වශයෙන් ම සංසිඳෙයි. බෝධ්‍යාඞ්ගයන් උපදවන්නාවූ විදර්‍ශනාඥාන සම්ප්‍රයුක්තවූ මේ සංසිඳීම් සඞ්ඛ්‍යාත පස්සද්ධි තොමෝ පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය නමැයි වදාරන ලදී.
පස්සද්ධිය හෙවත් සන්හුන් නාමකාය ඇතිව ජනිතවූ ශරීර සුඛයෙන් සුවපත් පුද්ගලයාගේ සිත මනාකොට පිහිටවනු ලැබේ. නිශ්චලව අරමුණෙහි තබනු ලැබේ. අර්‍පණාවට පැමිණියාක්හු මෙන් වේ. බෝධ්‍යඞ්ගයන් උපදවන්නාවූ විදර්‍ශනාඥාන සම්ප්‍රයුක්තවූ මේ චිත්තෛකාග්‍රතා තොමෝ සමාධි සම්බෝධ්‍යඞ්ගය යයි වදාරනු ලැබේ.
අර්‍පණාවට පැමිණියාක් බඳුවූ ඒ සමාධිය කරණකොට ගෙන මනාකොට අරමුණෙහි පිහිටුවන ලද සිත, මනාකොට මැදහත්ව හෝ යුක්ති වශයෙන් හෝ බලන්නේ වේ ඒ බෝධ්‍යඞ්ග ධර්‍මයන් අඩුවැඩි කිරීමෙහි අව්‍යාපෘත වූයේව, මැදහත්ව හෝ යුක්ති වශයෙන් බලයි. ෂඩ්විධවූ බෝධ්‍යඞ්ගයන්ගේ නොපසුබස්නා බව, නොඉක්මවායනබව සාදන්නාවූ, උදාසීනාකාරවූ, තත්‍රමධ්‍යස්ථතාව, උපෙක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය නමැයි වදාරනු ලැබේ.
මෙයින්, ඉදිරි පසුනොව, එකචිත්තක්‍ෂණයෙක්හි නානා විධ කෘත්‍ය ලක්‍ෂණ ඇත්තාවූ, මාර්‍ගයාගේ පූර්‍වභාගයෙහිවූ, විදර්‍ශනා සඞ්ඛ්‍යාතවූ, බෝධ්‍යඞ්ගයෝ දක්වනු ලද්දාහු වෙත්.
සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයෝ අධ්‍යාත්මික, බාහිර ආදී වශයෙන් තුදුස් (14) ප්‍රකාර වේ.
අධ්‍යාත්මික සංස්කාර ධර්‍මයන් හෙවත් තම සන්තානයෙහි පැවැති සංස්කාර ධර්‍මයන් සම්මර්‍ශනය කරනුවහට උපන් බෝධ්‍යඞ්ගයෝ අධ්‍යාත්මික බෝධ්‍යඞ්ග නමැයි ද, බාහිර සංස්කාර ධර්‍මයන් හෙවත් මෙරමා සතන්හි පැවැති සංස්කාර ධර්‍මයන් සම්මර්‍ශනය කරනුවහට උපන් බෝධ්‍යඞ්ගයෝ බාහිර බෝධ්‍යඞ්ග නමැයි ද දතයුතු.
යම් බඳුවූ අධ්‍යාත්මික ධර්‍මයන්හි මනා සිහියක් වේද්ද එබඳුවූ සති සම්බොධ්‍යාඞ්ගය, අභිඥාව හෙවත් දතයුතු ධර්‍මයන්ගේ දැනීම පිණිසද, සම්බොධි නම් වූ මාර්‍ගය පිණිසද, නිවන් පිණිසද පවතී. එසේම යම් බඳුවූ බාහිර ධර්‍මයන්හි මනා සිහියක් වේද්ද එබඳුවූ සති සම්බොධ්‍යාඞ්ගය අභිඥාව පිණිසද සම්බොධිය පිණිසද, පවතී. මෙහි, විශිෂ්ටඥානයෙන් දතයුතුවූ ධර්‍මයන් විශිෂ්ට ඥානයෙන් මනාසේ දැනගැනීම අභිඥා නම් වේ. අභිඥෙය්‍ය ධර්‍මයෝ නම්, සමස්ත සත්ත්‍වයෝ ආහාරස්ථිතිකයහ, යන ධර්‍මයෝද, හෙවත් එකවොකාර, චතුවොකාර, පඤ්චවොකාර යන සියලු භවයන්හි සියලු සත්ත්‍වයන්ගේ පැවැත්මට හේතුවූ ආහාරසඞ්ඛ්‍යාත ධර්‍මයන් ද, සඞ්ඛත අසඞ්ඛත වශයෙන්ද දතයුතුවූ උභය ධාතුහුද, කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වශයෙන් දතයුතුවූ ත්‍රිවිධ ධාතුහුද, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මයෝද, පඤ්ච විමුත්තායතනයෝද, දස්සනානුත්තරාදීවූ ෂඩ්විධ අනුත්තරිය ධර්‍මයෝද, සප්තවිධ නිද්දස වස්තුහුද, අෂ්ට අභිභායතනයෝද, නවානුපූර්‍වවිහාර යෝද, දසනිර්ජර වස්තුහුද, සියලු ස්කන්‍ධ, ආයතන, ධාතු ආදියද වෙත්. සම්බොධ්‍යඞ්ගයෝ, මෙසේ දතයුතු ධර්‍මයන්ගේ දැනීම හෙවත් අභිඥාව පිණිස පවතී
යම් බඳුවූ අධ්‍යාත්මික ධර්‍මයන්හි, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසීමක් වේද, එබඳුවූ ධම්මවිචය සම්බොධ්‍යඞ්ගය, අභිඥාව පිණිසද, සම්බොධිය පිණිසද නිවන පිණිස ද පවතී. එසේම යම්බඳුවූ බාහිර ධර්‍මයන්හි අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසීමක් වේද, එබඳුවූ ධම්මවිචය සම්බොධ්‍යඞ්ගය, අභිඥාව පිණිසද සම්බොධිය පිණිසද, නිවන පිණිසද, පවතී.
වීර්‍ය්‍යය වනාහි කායික වීර්‍ය්‍යය, චෛතසික වීර්‍ය්‍යය යයි දෙවැදෑරුම් වේ. යම්බඳු වූ කායික වීර්‍ය්‍යයක් වේද, එයම වීර්‍ය්‍ය සම්බොධ්‍යඞ්ගය නම් වේ. එම වීරිය සම්බොධ්‍යඞ්ගය අභිඥාව පිණිස ද, සම්බොධිය පිණිස ද, නිවන පිණිස ද, පවතී. යම්බඳු වූ චෛතසික වීර්‍ය්‍යයෙක් ඇද්ද, එයද වීරිය සම්බොධ්‍යඞ්ගය නම් වේ. එයත් අභිඥාව පිණිසත් සම්බොධිය පිණිසත්, නිර්‍වාණය පිණිසත් පවතී මෙහි, කායික වීර්‍ය්‍යය යනු සක්මන් කිරීම අධිෂ්ඨානය කරනුහට උපදින්නා වූ වීර්‍ය්‍ය යයි. යම්තාක් කලෙකින් මාගේ සිත උපාදානයන් නැතිව ආශ්‍රව ධර්‍මයන් කෙරෙන් මිදෙන්නේද, ඒතාක් කල් මම මේ පළඟ නො බිඳින්නෙම් හෙවත් අත්නොහරින්නෙමියි, කයින් වීර්‍ය්‍ය කිරීමක් නැතිව උපන් වීර්‍ය්‍යය, චෛතසික වීර්‍ය්‍යය නම් වේ.
ප්‍රීතිය වනාහි, සවිතක්ක සවිචාර ප්‍රීතිය ය, අවිතක්ක අවිචාර ප්‍රීතියය ය යි දෙවැදෑරුම් වේ. යම්බඳු විතර්‍කය සහිත විචාරය සහිත ප්‍රීතියක් ඇද්ද, එබඳු වූ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය, අභිඥාව පිණිසද, සම්බොධිය පිණිස ද, නිර්‍වාණය පිණිස ද පවතී. යම්බඳු වූ විතර්‍ක රහිත, විචාර රහිත ප්‍රීතියක් වේද්ද, එබඳුවූ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය, අභිඥාව පිණිසද, සම්බොධිය පිණිසද, නිවන පිණිසද පවතී.
පස්සද්ධිය වනාහි, කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය යයි දෙවැදෑරුම් වේ. කාය පස්සද්ධිය නම් වෙදනා, සඤ්ඤා, සංඛාර යන ත්‍රිවිධ ස්කන්‍ධයන්ගේ විඩාවන් සංසිඳීමයි. චිත්තපස්සද්ධිය යනු විඤ්ඤාණ ස්කන්‍ධයා ගේ විඩාවන් සංසිඳීමයි. යම් බඳුවූ කයෙහි සංසිඳීමක් ඇද්ද, එබඳුවූ, පස්සද්ධි සම්බොධ්‍යඞ්ගය අභිඥාව පිණිසද, සම්බොධිය පිණිසද, නිවන පිණිසද පවතී. යම්බඳුවූ සිතෙහි සංසිඳීමක් ඇද්ද, එබඳුවූ පස්සද්ධි සම්බොධ්‍යඞ්ගය, අභිඥාව පිණිසද, සම්බොධිය පිණිසද නිවන පිණිසද පවතී. සමාධියද, සවිතක්ක සවිචාර සමාධිය ය, අවිතක්ක අවිචාර සමාධියයි දෙවැදෑරුම් වේ. යම්බඳු වූ විතර්‍කය සහිත, විචාරය සහිත සමාධියක් ඇද්ද, එබඳු වූ සමාධි සම්බොධ්‍යඞ්ගය, අභිඥාව පිණිසද, සම්බොධිය පිණිසද නිවන පිණිසද පවතී. යම්බඳු වූ විතර්‍කය රහිත, විචාරය රහිත සමාධියක් ඇද්ද, එබඳු වූ සමාධි සම්බොධ්‍යඞ්ගයද අභිඥාව පිණිස ද, සම්බොධිය පිණිස ද, නිවන පිණිස ද පවතී.
උපෙක්‍ෂාව වනාහි, අධ්‍යාත්මික ධර්‍මයන්හි උපෙක්‍ෂාවය, බාහිර ධර්‍මයන්හි උපෙක්‍ෂාවය යයි දෙ වැදෑරුම් වේ. යම්බඳු වූ, අධ්‍යාත්මික ධර්‍මයන්හි උපෙක්‍ෂාවක් ඇද්ද, එබඳු වූ උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගය අභිඥාව පිණිස ද, සම්බොධිය පිණිස ද, නිවන පිණිස ද, පවතී. යම්බඳු වූ, බාහිර ධර්‍මයන්හි උපෙක්‍ෂාවක් ඇද්ද, එබඳු වූ උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගය අභිඥාව පිණිස ද, සම්බොධිය පිණිස ද, නිවන පිණිස ද පවතී.
මේ ක්‍රමයෙන් ලෞකික ලෝකෝත්තර ධර්‍මයන් හා මිශ්‍ර වූ සප්ත බෝධ්‍යඞ්ගයෝ දක්වන ලදි. ඒ මෙසේයි,
අධ්‍යාත්මික වූ බෝධ්‍යඞ්ග ධර්‍මයන් අතුරෙන් සතිධම්මවිචය, උපෙක්ඛා යන මේ බෝධ්‍යඞ්ග ධර්‍මයෝ තුමූ, තමාගේ ස්කන්ධයන්ම අරමුණුකොට පැවති හෙයින් ලෞකිකයෝම වෙත්.
මාර්‍ගභාවයට නොපැමිණි කායික වීර්‍ය්‍ය තෙමේ එසේම ලෞකික වේ.
විතක්ක විචාර රහිත වූ ප්‍රීති සමාධි දෙක ලෝකෝත්තරහු වෙත්.
ඉතිරි වූ බෝධ්‍යඞ්ග ධර්‍මයෝ තුමූ ලෞකික ලෝකෝත්තර ධර්‍මයන් හා මිශ්‍ර වූවාහු වෙත්.
අධ්‍යාත්මික වූ බෝධ්‍යඞ්ග ධර්‍මයන් අතුරෙන් සති ධම්මවිචය, උපේක්ඛා බෝධ්‍යඞ්ග ධර්‍මයෝ අධ්‍යාත්ම ධර්‍ම යන්ම අරමුණු කොට ඇත්තාහ.
ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ග ධර්‍මයෝ වනාහි බහිද්ධාරම්මණ වූ නිර්‍වාණයම අරමුණු කොට ඇත්තාහ. එහෙයින් ඒ අධ්‍යාත්මික ධර්‍මයන්හි පැවැති සති, ධම්මවිචය, උපේක්‍ෂා බෝධ්‍යඞ්ග ධර්‍මයන් ගේ ලෝකෝත්තර වන බවක් නො යෙදෙයි.
සක්මන් ප්‍රයෝගයෙන් උපන් වීර්‍ය්‍ය තෙමේ ද ලෞකික වේ.
කාමාවචර භූමියෙහි ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය තෙම ලැබේ. අවිතක්ක අවිචාර ප්‍රීතිය නොලැබේ. රූපාවචර භූමියෙහි අවිතක්ක අවිචාර ප්‍රීති තොමෝ ලැබේ ප්‍රීති සම්බෝධ්‍යඞ්ග තෙම වනාහි නො ලැබේ. අරූපාවචර භූමියෙහි ප්‍රීති සම්බෝධ්‍යඞ්ගයත්, අවිතක්ක අවිචාර ප්‍රීතියත් සර්‍වප්‍රකාරයෙන්ම නොලැබේ. රූපාවචර භූමියෙහි නොලැබෙන්නා වූ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය කරුණුකොටගෙන, ලැබෙන්නා වූ අවිතක්ක අවිචාර ප්‍රීති තොමෝ ද ප්‍රතිසිද්ධය, නොහොත් කාමාවචර භූමියෙහි නොලැබෙන්නා වූ අවිතක්ක අවිචාර ප්‍රීතිය කරුණුකොටගෙන ලැබෙන්නා වූ බෝධ්‍යඞ්ග භූත වූ ප්‍රීති තොමෝ ද ප්‍රතිසිද්ධය. මෙකී නයින් අවිතක්ක අවිචාර වූ මේ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය තෙම කාමාවචර ධර්‍මයන් කෙරෙන් ද, රූපාවචර ධර්‍මයන් කෙරෙන් ද, අරූපාවචර ධර්‍මයන් කෙරෙන් ද නිකුත්වන හෙයින් ලෞකික බෝධ්‍යඞ්ගයන් හා අසම්මිශ්‍ර වූ ලෝකෝත්තර බෝධ්‍යඞ්ගයෝම වෙත් යයි කියන ලදී.
එසේම කාමාවචර භූමියෙහි සමාධි සම්බෝධ්‍යඞ්ගය තෙම ලැබේ. අවිතක්ක අවිචාර සමාධිය නොලැබේ. රූපාවචර අරූපාවචර භූමීන්හි අවිතක්ක අවිචාර සමාධි තෙමේ ලැබේ. සමාධි සම්බෝධ්‍යඞ්ගය තෙම වනාහි නො ලැබේ. මේ රූපාවචර අරූපාවචර භුමින්හි නොලැබෙන්නාවූ, සමාධි සම්බෝධ්‍යඞ්ගය කරුණු කොටගෙන ලැබෙන්නාවූ අවිතක්ක අවිචාර සමාධියත් ප්‍රතිසිද්ධය. මේ නයින් අවිතක්ක අවිචාරවූ මේ සමාධි තෙමේ කාමාවචර ධර්‍මයන් කෙරෙන්ද රූපාවචර ධර්‍මයන් කෙරෙන්ද, අරූපාවචර ධර්‍මයන් කෙරෙන්ද නිකුත් වන හෙයින් ලෞකික බෝධ්‍යඞ්ගයන් හා අසම්මිශ්‍ර වූ ලෝකෝත්තර බෝධ්‍යඞ්ගයක් යයි කියන ලදී.
තවද, බෝධ්‍යාඞ්ග ධර්‍මයන් භාවනා වශයෙන් වඩන්නාවූද, නැවත නැවත සිත්හි උපදවන්නාවූ ද වැඩිවශයෙන් උපදවන්නාවූ ද මහණ තෙමේ, විවේක නිශ්‍රිතව හෙවත් විවේකය ඇසුරුකොට, විරාග නිශ්‍රිතව හෙවත් විරාගය ඇසුරුකොට, නිරෝධ නිශ්‍රිතව හෙවත් නිරෝධය ඇසුරු කොට, විදර්‍ශනාක්‍ෂණයෙහි කෙලෙසුන් නැසීම යයි කියන ලද වෝස්සග්ගය සඳහා පිරිනැමූ සති සම්බෝධ්‍යඞ්ගය වඩයි.
මේ විවේකය වනාහි, තදඞ්ග විවේකය, විෂ්කම්භන විවේකය, සමුච්ඡේද විවේකය, පටිප්පස්සද්ධි විවේකය, නිස්සරණ විවේකය යයි පඤ්ච ප්‍රකාර ඇත්තේය. ඒ පඤ්චප්‍රකාර විවේකයන් අතුරෙන් තදඞ්ග විවේකය නම් විදර්‍ශනාතොමෝ යි. විෂ්කම්භන විවේකය නම් අෂ්ටප්‍රකාර රූපා රූප සමාපත්තීහුය සමුච්ඡේද විවේකය නම් ආර්‍ය්‍ය මාර්‍ගයයි. පටිප්පස්සද්ධි විවේකය නම් ශ්‍රාමණ්‍ය ඵලයයි නිස්සරණ විවේකය නම් සර්‍වසංස්කාර නිමිත්තයා කෙරෙන් පහවූ නිර්‍වාණයයි. මෙ තැන්හි විවේක නිශ්‍රිත යයි කී කල්හි තදඞ්ග විවේකය නම් ලද විදර්‍ශනාව ඇසුරු කළා වූද, සමුච්ඡේද විවේකය නම් ලද මාර්‍ගය ඇසුරු කළා වූද, නිස්සරණ විවේකය නම් ලද නිර්‍වාණය ඇසුරු කළා වූද සති සම්බෝධ්‍යඞ්ගය වඩන්නේ යයි අර්‍ථ ගත යුතු. සති සම්බෝධ්‍යඞ්ග භාවනානුයෝගයෙහි නියුක්ත වූ යොගාවචර මහණ තෙමේ, විදර්‍ශනා වඩන කෙණෙහි, කෘත්‍ය වශයෙන් තදඞ්ග විවේකය ඇසුරු කළා වූ අදහස් වශයෙන් නිස්සරණ විවේකය ඇසුරු කළා වූ, මාර්‍ගකාලයෙහි වනාහි, කෘත්‍ය වශයෙන් සමුච්ඡේද විවේකය ඇසුරු කළා වූ, අරමුණු කිරීම් වශයෙන් නිස්සරණ විවේකය ඇසුරු කළා වූ සති සම්බෝධ්‍යඞ්ගය වඩයි.
මෙහි වොස්සග්ගය වනාහි, පරිච්චාග වොස්සග්ගය, පක්ඛන්‍දන වොස්සග්ගය යයි ද්විප්‍රකාර වේ. එයින් පරිච්චාග වොස්සග්ගය නම් විදර්‍ශනාක්‍ෂණයෙහි තදඞ්ග වශයෙන්, මාර්‍ගක්‍ෂණයෙහි සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ක්ලේශයන් ගේ ප්‍රහාණ යයි. පක්ඛන්‍දන වොස්සග්ගය නම් විදර්‍ශනාක්‍ෂණයෙහි ඒ නිවණට නැඹුරුවීම් වශයෙන්, නිවණට ප්‍රවේශවීම් වශයෙන්, මාර්‍ගක්‍ෂණයෙහි අරමුණු කිරීම් වශයෙන් නිවණට ප්‍රවේශ වීමයි.
එ බැවින් මේ බොජ්ඣඞ්ග භාවනාවෙහි යෙදුනා වූ මහණ තෙමේ යම් පරිද්දෙකින් මෙසේ කෙලෙසුන් නැසීම වූ පරිච්චාග වොස්සග්ගය සඳහාත්, නිවණට පැමිණීම වූ පක්ඛන්‍දන වොස්සග්ගය සඳහාත් මුකුරුවා ද, යම් පරිද්දෙකින් මුකුළේවේද ඒ පරිද්දෙන් ඒ සති සම්බෝධ්‍යඞ්ගය වඩයි.
එසේම ඒ යොගාවචර මහණ තෙම විවේකය ඇසුරුකොට ඇති, විරාගය ඇසුරුකොට ඇති නිරෝධය ඇසුරුකොට ඇති කෙලෙස් දුරු කිරීම පිණිස නැමුණු ධම්ම විචය සම්බෝධ්‍යඞ්ගය ද, විරිය සම්බෝධ්‍යඞ්ගය ද පීති සම්බෝධ්‍යඞ්ගය ද, පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය ද, සමාධි සම්බෝධ්‍යඞ්ගය ද, උපෙක්ඛා සම්බෝධ්‍යඞ්ගය ද වඩයි.