අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පංච බල ධර්‍ම

නවවිධ බල ධර්‍මයන් අතුරෙන් බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගේ වශයෙන් සොවාන් ආදී චතුර්විධ මාර්‍ග සිත්හි බල ධර්‍ම වශයෙන් උපදනා ධර්‍මයෝ පස්දෙනෙකි. එනම්:

  1. සද්ධා බලය
  2. විරිය බලය
  3. සති බලය
  4. සමාධි බලය
  5. ප්‍රඥා බලය යන ධර්‍ම පසය.

ලොකොත්තර සිත්හි යෙදෙන්නාවූ මේ බල ධර්ම පස් දෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන චෛතසික ධර්මයෝම වෙති. මේ බල ධර්මයෝ අන්‍යයන්ගේ අධිපති භාවය නො වළක්වා පංචනීවරණාදී සතුරු පාප ධර්මයන්ට හිංසා කරන අර්ථයෙන් බල ධර්ම නම් වෙති. යුද්ධ කරන්නාවූ භූමියෙහි බල නායකයෝ තුමූ තම තමන්ගේ අධිපති භාවයෙහි පවත්වන යොධ හටයන් මෙහෙයවා සතුරු පක්‍ෂය විනාශ කරන්නාක් මෙන් සොවාන් ආදි සතර මාර්ග සිත්හි යෙදුනු බල ධර්මයෝ ඔවුනොවුන්ගේ බලය මැඩ නොපවත්වාම සතුරු පාප ධර්මයන් නසත්. ශ්‍රද්ධා බලය වනාහි සෙසු සතර බලයන්ගේ ශක්තිය මැඩ නොපවත්වාම රාග ද්වේෂ මොහාදී පාප ධර්මයන්ට හිංසා කරයි. අවශේෂවූ සතර බල ධර්මයෝද, එපරිද්දෙන්ම තමතමාහට සතුරුවූ පාප ධර්මයන්ගේ ශක්තිය විනාශ කෙරෙත්. ලොකොත්තර සිත් නමැති යුද්ධ භූමියෙහි සිට ශ්‍රද්ධාදි බල නායකයෝ පස්දෙන ඒ පංචනීවරණාදී කෙලෙස් නමැති සතුරන් හාත්පසින් විනාශ කෙරෙත්.