අෂ්ට ආර්‍ය්‍ය මාර්ගාඞ්ග ධර්ම
අෂ්ට විධ වූ ආර්‍ය්‍ය මාර්ගාඞ්ග ධර්මයෝ නම්:
- සම්මාදිට්ඨි
- සම්මා සඞ්කප්ප
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
- සම්මා වායාම
- සම්මා සති
- සම්මා සමාධි යන අෂ්ට ධර්මයෝ යි.
මහත් වූ දැව දඬු අටක් එක් කොට බැඳගන්නා ලද පසුර, සාගරයෙන් එතර වීමට උපකාර වන්නාක් මෙන් මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන, සංසාර සාගරයෙන් එතර වීමට කාරණා වන හෙයින් නිර්වාණ මාර්ගයෙහි අඞ්ගයෝ ය, කාරණයෝය යන අර්ථයෙන් මාර්‍ගාඞ්ගයෝ යයි කියනු ලැබේ. එය උපාදානස්කන්ධ සඞ්ඛ්‍යාත ලෝකයෙන් එතර කරවන ධර්ම සමුදායකි. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්‍ය්‍ය සත්‍යය හෙවත් මාර්ග සත්‍යය නම් වූද, මධ්‍යම ප්‍රතිපදා නම් වූ මේ ධර්මයෝ අටදෙන, සොවාන්, සකෘදාගාමි, අනාගාමි අර්හත් යන සතර මාර්ග සිත්හි. එකවර නිර්වාණය අරමුණු කරමින් උපදනා, සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන්ට ඇතුළත් වූ ධර්ම අටෙකි.
1. සම්මාදිට්ඨිය - නම් දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් මනා ලෙස දන්නා යහපත් ඤාණය නම් වූ ප්‍රඥාවය, පජානනය, විචය, පවිචය, ධම්ම විචය, සල්ලක්ඛණය, උපලක්ඛණය, පච්චුපලක්ඛණය, පාණ්ඩිත්‍යය, කොසල්ලය, නිපූණය, වෙභව්ය චින්තාය, උප පරික්ඛාය, භූරි-මෙධා, පරිනායිකා, විපස්සනා, සම්පජඤ්ඤා, පතොද, පඤ්ඤා, පඤ්ඤින්ද්රිය, පඤ්ඤා බලය, පඤ්ඤාසත්ථය, පඤ්ඤා පාසාදය, පඤ්ඤා ලොකය, පඤ්ඤා ඕභාසය, පඤ්ඤා පජ්ජොතය, පඤ්ඤා රතනය, අමොහය, ධම්මවිචය සම්බොධ්‍යඞ්ගය වේ.
- සම්මා සඞ්කප්පය-නෙක්ඛම්ම සඞ්කප්පය, අව්‍යාපාද සඞ්කප්පය, අවිහිංසා සඞ්කප්පය යන මොවුන් පිළිබඳවූ යම් තර්කයක්, විතර්කයක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ නංවාතැබීමක්, සංකප්පයක්, මාර්ගාඞ්ගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එය සම්මා සඞ්කප්ප නම්.
- සම්මාවාචා බොරු කීම, කේලාම් කීම, ඵරුෂ බස් බිණීම, හිස් වචන කීම යන චතුර්විධ වාග් දුශ්චරිතයන්ගෙන් යම් ඉවත් වීමක් - වෙන්වීමක් - පටිවිරතියක්
- - විරමණයක් - නොකිරීමක් - අකරණයක් - නොපැමිණීමක්
- - සීමාව නොඉක්මවීමක් - සේතුඝාතයක් - සම්‍යග් වචනයක්
- - මාර්ගාඞ්ගයක් - මග්ග පරියාපන්නයක් ඇද්ද, එය සම්මාවාචා නම්.
- සම්මාකම්මන්ත-සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන ත්‍රිවිධකාය දුශ්චරිතයන්ගෙන් යම් ඉවත්වීමක් - වෙන්වීමක් - පටිවිරතියක්
- - විරමණයක් - නොකිරීමක් - අකරණයක් - නොපැමිණීමක්
- - සීමාව ඉක්මවීමක් - සේතු ඝාතයක් - සම්මා කම්මන්තයක්
- - මාර්ගාඞ්ගයක් - මග්ගපරියාපන්නයක් ඇද්ද එය සම්මා කම්මන්ත නම්.
- සම්මා ආජීව-මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම වැරදි දිවි පැවැත්ම හැර දැහැමින් උපන් දෙයින් දිවි පවත්වාද. නොහොත් මිථ්‍යා ආජීවයෙන් යම් ඉවත්වීමක්
- - වෙන්වීමක් - පටිවිරතියක් - විරමණයක් - නොකිරීමක්
- - නොපැමිණීමක් - සීමාව නොඉක්මවීමක් - සේතු ඝාතයක්
- - සම්‍යග් ආජීවයක් - මාර්ගාඞ්ගයක් - මග්ග පරියාපන්නයක් ඇද්ද එය සම්මා ආජීව නම්.
- සම්මා වායාමය - මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස, උපන් ලාමක අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස, උපන් කුසල ධර්මයන්ගේ සිටීම පිණිස, විනාශ නොවීම පිණිස, වර්ධනය පිණිස, මහත්බව පිණිස, භාවනාවෙන් සම්පූර්ණ කිරීම පිණිස, කැමැත්ත උපදවා ද, උත්සාහ කරත් ද, වීර්‍ය්‍යය පටන් ගනිත් ද, සිත දැඩි සේ ඔසවයි ද, බලවත් වීර්‍ය්‍ය උපදවා ද, නොහොත් නිවන පිළිබඳ පිරිසිදු කුසල ව්‍යායාමය නම් වූ යම් චෛතසික වීර්ය්යාරම්භයක්, නික්ඛමයක්, පරක්කමයක්, උය්යාමයක්, ව්‍යායාමයක්, උත්සාහයක්, උස්සොල්හි බවක්, ථාමයක්, ඨිතියක්, අසිථිල පරක්කමයක්, අනික්ඛිත්ත ඡන්දතාවයක්, අනික්ඛිත්ත ධුර බවක්, ධුර සම්පන්න ග්රාහයක්, විරියක්, විරියින්ද්රියයක්, විරිය බලයක්, සම්මා වායාමයක්, විරිය සම්බොධ්යඞ්ගයක්, මාර්ගාඞ්ගයක්, මග්ග පරියාපන්නයක් ඇද්ද, එය සම්මා වායාම නම්.
- සම්මා සති - මේ ශාසනයෙහි මහණ තෙම, කෙලෙස්, තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග් ප්‍රඥාව ඇත්තේ, සිහි ඇත්තේ මේ පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත ලෝකයෙහි, ලෝභයද, දෝමනස්සයද සංසිඳුවාගෙන, කයෙහි කය අනුව බලමින් වාසය කරයි. වෙදනාවෙහි, වෙදනාව අනුව බලමින් වාසය කරයි. සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි, ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරයි එම අරමුණු සිහිකිරීම් නම් වූ සති, අනුස්සති, පටිස්සති, සති, සරණතා, ධාරණතා, අපිලාපනතා, අසම්මුස්සනතා, සතින්ද්රිය, සති බලය, සම්මා සතිය, සති සම්බොධ්‍යාඞ්ගය, මාර්ගාඞ්ගය, මග්ගපරියාපන්නය උපදවයි - මෙය සම්මා සතිය යයි කියනු ලැබේ.
- සම්මා සමාධිය - මේ ශාසනයෙහි මහණතෙම, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත වූ, විචාර සහිත වූ විවේකයෙන් උපන්නා වූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වසයි. විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන්, තමා තුළ සිත පැහැදීම කරන්නා වූ, චිත්තයා ගේ එකඟබව වූ, විතර්කරහිත වූ, විචාර රහිත වූ, සිත එකඟ කිරීමෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වසයි. ප්‍රීතියෙහිද නො ඇලීමෙන් මැදහත් ස්වභාව ඇතිව වාසය කෙරේ. සිහි ඇතිව නුවණැතිව, සැපයද කයින් විඳියි මැදහත්ය, සිහි ඇත්තේය, සැපසේ වෙසේ යයි යමෙකු ගැන ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහකිරීමෙන්ද, දුක් පහකිරීමෙන් පූර්වයෙහි සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැතිවීමෙන් දුක් රහිත, සැප රහිත උපේක්ෂා ස්මෘතීන්ගෙන් පිරිසිදු වූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. එකල්හි උඩඟු බව දුරු කර සිත එකඟ කිරීම නම් වූ යම් චිත්තස්සඨිති, සණ්ඨිති, අවට්ඨිති, අවිසාහාර, අවික්ඛේප, අවිසාහටමානසතා, සමථ, සමාධින්ද්රිය, සමාධි බලය, සම්‍යග් සමාධිය, සමාධි සම්බෝධ්‍යඞ්ගය, මාර්ගාඞ්ගය, මග්ගපරියාපන්නයක් වේද, එය සම්මා සමාධි යයි කියනු ලැබේ.
මෙය අෂ්ටාඞ්ගික මාර්ගය වේ. ඒ සමඟ, ලෝකෝත්තර සිත්හි යෙදුන අවශේෂ ධර්මයෝ, අෂ්ටාඞ්ගික මාර්ගය හා යුක්ත වූවෝය.
සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ ජාති වශයෙන් සතකි. එනම්- සතිපට්ඨාන, සම්මප්පධාන, සෘද්ධිප්පාද, ඉන්ද්රිය, බල, බෝජ්ඣඞ්ග, මාර්ගාඞ්ග යන සතය.
ස්වභාව ධර්ම වශයෙන් තුදුසෙකි (14). එනම්, ඡන්දය, චිත්තය, උපේක්ඛාය, සද්ධාය, පස්සද්ධිය, පීතිය, සම්මාදිට්ඨිය, සම්මා සඞ්කප්පය, සම්මා වාචාය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය.
එයින් එකස්ථානිකයෝ හෙවත් එක්වර බැගින් ගැනෙන ධර්මයෝ නව දෙනෙකි. එනම්:
සම්මා සඞ්කප්ප, පස්සද්ධි, පීති, උපෙක්ඛා, ඡන්ද, චිත්ත, සම්මා වාචා; සම්මා කම්මන්තා, සම්මා ආජීව යන නවයයි.
නවස්ථානික හෙවත් නව තැනක ආයේ එකම වීර්‍ය්‍ය චෛතසිකයයි.
අෂ්ටස්ථානික හෙවත් අට තැනෙක ආයේ එකම සති චෛතසිකයයි.
පඤ්චස්ථානික හෙවත් පස් තැනෙක ආයේ එකම ප්‍රඥා චෛතසිකයයි.
චතුස්ථානික හෙවත් සතර තැනෙක ආයේ එකම සමාධිය හෙවත් එකග්ගතා චෛතසිකයයි.
ද්විස්ථානික හෙවත් දෙතැනෙක ආයේ එකම සද්ධා චෛතසිකයයි.
ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර මාර්ග සිත්හි මේ බෝධි පාක්ෂික ධර්ම සියල්ලම ලැබේ. විතක්ක, පීති, නැති ලොකෝත්තර ධ්‍යාන සිත්හි ඒ දෙක නොලැබේ.
සප්ත විසුද්ධීන් අතුරෙන් ශීල විසුද්ධි, චිත්තවිසුද්ධි, දිට්ඨිවිසුද්ධි, කඞ්ඛා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි, පටිපදාඤාණ දස්සන විසුද්ධි යන ලෞකික ෂට් විසුද්ධීන් පුරුදු කරන්නා වූ යෝගාවචරයාහට ඒ ෂට් විසුද්ධි වශයෙන් උපදනා කුසල චිත්තයෙහි මේ බෝධිපාක්ෂික ධර්මයන් අතුරෙන් එකක්ම එකවර ලැබිය හැක්කේය.
| බොධිපාක්ෂික ධර්ම | 4 සතිපට්ඨාන | 4 සම්මප්පධාන | 4 ඉද්ධිපාද | 5 ඉන්ද්රිය | 5 බල | 7 බොජ්ඣඞ්ග | 8 මග්ගඞ්ග | එකතුව | ||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1. | ඡන්දය | – ඡන්ද චෛතසිකය | 1 | 1 | ||||||
| 2. | චිත්තය | – | 1 | 1 | ||||||
| 3. | උපෙක්ඛාව | – තත්රමජ්ඣත්තා චෛතසිකය | 1 | 1 | ||||||
| 4. | සද්ධා | – සද්ධා ,, | 1 | 1 | 2 | |||||
| 5. | පස්සද්ධි | – පස්සද්ධි ,, | 1 | 1 | ||||||
| 6. | පීති | – පීති ,, | 1 | 1 | ||||||
| 7. | සම්මාදිට්ඨි | – ප්‍රඥා ,, | 1 | 1 | 1 | 1 | 1 | 5 | ||
| 8. | සම්මාසඞ්කප්ප | – විතර්ක ,, | 1 | 1 | ||||||
| 9. | සම්මාවාචා | – එම විරති ,, | 1 | 1 | ||||||
| 10. | සම්මා කම්මන්ත | – එම විරති ,, | 1 | 1 | ||||||
| 11. | සම්මා ආජීව | – එම විරති ,, | 1 | 1 | ||||||
| 12. | සම්මා වායාම | – විරිය ,, | 4 | 1 | 1 | 1 | 1 | 1 | 9 | |
| 13. | සම්මාසති | – සති ,, | 4 | 1 | 1 | 1 | 1 | 8 | ||
| 14. | සම්මා සමාධි | – එකග්ගතා ,, | 1 | 1 | 1 | 1 | 4 | |||