පංච ඉන්ද්රිය ධර්ම
දෙවිසි ඉන්ද්රිය ධර්මයන් අතුරෙන්, බෝධිපාක්ෂික ධර්මයන්ගේ වශයෙන් සොවාන් ආදි චතුර්විධ මාර්ග සිත්හි ඉන්ද්රිය භාවය සිද්ධ කරමින් උපදනා ඉන්ද්රිය ධර්මයෝ පස්දෙනෙකි. එනම්:
- සද්ධින්ද්රියය
- විරියින්ද්රියය
- සතින්ද්රියය
- සමාධින්ද්රියය
- පඤ්ඤින්ද්රියය යන ධර්ම පසය.
යම් ශ්‍රද්ධාවක්, ඇදහීමක්, විශ්වාසයක්, මනා පැහැදීම් බවක්, ශ්රද්ධේන්ද්රියයක්, ශ්‍රද්ධා බලයක් වේද එය ශ්‍රද්ධේන්‍ද්‍රිය යයි කියනු ලැබේ. ලෝකෝත්තර සිත්හි යෙදෙන ශ්‍රද්ධා චෛතසිකයද එයම වේ. මිථ්‍යාදෘෂ්ටිය නම්වූ අශ්රද්ධාව දුරු කරමින් සසම්ප්‍රයුක්ත ධර්මයන් තමාට අනුකූලකොට අධිපති භාවය දක්වන බැවින් එයට ශ්‍රද්ධා ඉන්ද්රිය යයි කියන ලදී. එය ඇදහීම ලක්ෂණ කොට ඇත්තේය. සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි පෙරදැරිවැ පැනීම එහි කෘත්‍යය වේ. නො කැළඹීම වැටහෙන ආකාරය වේ. පැහැදියයුතු වස්තුව පිළිබඳ නිශ්චය හෝ ඇදහියයුතු වස්තුව හෝ ආසන්න කාරණය වේ.
යම් චෛතසිකවූ වීර්ය්යාරම්භයක් ඇද්ද, හික්මීමක්, පරාක්‍රමයක්, උත්සාහයක්, ව්‍යායාමයක්, උස්සොල්හි බවක්, ථාමයක්, ධෛර්ය්යයක්, බුරුල් නොවූ පරාක්‍රමයක්, බහා නොතැබූ කැමැත්තක්, බහා නොතැබූ ධෛර්ය්යයක්, මනාකොට ගත් වීර්‍ය්‍යයක්, විරියින්ද්රියයක් විරිය බලයක් වේද, මෙය විරියින්ද්රිය යයි කියනුලැබේ. ලෝකෝත්තර සිත්හි යෙදෙන්නාවූ මේ විරිය චෛතසිකය ථිනමිද්ධය නම්වූ ප්රතිපක්ෂ ධර්මය මැඩලීමෙහිදී සම්ප්‍රයුක්ත ධර්මයන් තමන්ට අනුකූලකොට, අධිපති භාවය දක්වන හෙයින් විරියින්ද්රියය යයි කියනුලැබේ. මේ වීර්‍ය්‍යය චෛතසිකයම, ලෝකෝත්තර සිත්හි සතර සම්මප්පධානයන් වශයෙන්ද, විරියිද්ධිපාදය වශයෙන්ද, විරියින්ද්රියය වශයෙන්ද, විරිය බලය වශයෙන්ද, විරිය බොජ්ඣඞ්ගය වශයෙන්ද, සම්මා වායාම නම්වූ නිර්වාණ මාර්ගාඞ්ගය වශයෙන්ද යෙදෙනබැව් සැළකිය යුතු.
යම් සිහියක්, නැවත නැවත සිහිකිරීමක්, පටිස්සතියක් සතියක්, සරණතාවක්, ධාරණතාවක්, අමතක නොකිරීමක්, සතින්ද්රිය යක් සතිබලයක්, සම්මා සතියක් වේද, එය සතින්ද්රියය නම් වේ.
ලෝකෝත්තර සිත්හි යෙදෙන්නාවූ මේ සතිචෛතසිකය ප්‍රමාදය නැසීමේදී සහජාත ධර්මයන් තමන්ට අනුකූල කොට, අධිපති භාවය දක්වන හෙයින් සතින්ද්රියය යි කියනු ලැබේ. මේ සති චෛතසිකයම ලෝකෝත්තර සිත්හි සතර සතිපට්ඨාන ධර්ම වශයෙන්ද, සතින්ද්රියය වශයෙන්ද, සතිබලය වශයෙන්ද, සති සම්බෝධ්යාඞ්ගය වශයෙන්ද, සම්මාසති නම් වූ නිර්වාණ මාර්ගාඞ්ගය වශයෙන්ද යෙදෙන බව සැළකිය යුතු
යම් චිත්තයාගේ සිටීමක් මනා සිටීමක්, අවට්ඨිතියක්, අවිසාහාරයක්, අවික්ෂේපයක් නොකැළඹුණ සිත් ඇති බවක්, සමථයක්, සමාධින්ද්රියයක් සමාධි බලයක් සම්මා සමාධියක් ඇද්ද එය සමාධින්ද්රියය නම් වේ.
ලොකොත්තර සිත්හි යෙදෙන්නාවූ මේ එකග්ගතා චෛතසිකය වික්ෂෙපය නැසීමේදී, සහජාත ධර්මයන් තමන්ට අනුකූල කොට, අධිපති භාවය දක්වන හෙයින් සමාධින්ද්රිය යයි කියනු ලැබේ. මේ එකග්ගතා චෛතසිකය ලොකොත්තර සිත්හි සමාධින්ද්රියය, සමාධිබලය, සමාධි සම්බොධ්‍යාඞ්ගය, සම්මාසමාධි නම් වූ නිර්වාණ මාර්ගාඞ්ගය වශයෙන් යෙදෙන බවද සැළකිය යුතු.
යම් ප්‍රඥාවක්, පජානනයක්, විචයක්, පවිචයක්, ධම්ම විචයක්, සල්ලක්ඛණයක්, උප ලක්ඛණයක්, පච්චුපලක්ඛණයක්, පාණ්ඩිත්‍යයක්, කෞශල්‍යයක්, නිපුණ බවක්, විපස්සනාවක්, සම්පජඤ්ඤයක්, ප්‍රඥෙන්ද්‍රියයක්, ප්‍රඥාබලයක්, ප්රඥාශස්ත්රයක්, ප්රඥාප්රසාදයක්, ප්රඥාලොකයක්, ප්රඥාඕභාසයක්, ප්රඥාපජ්ජොතයක්, ප්රඥාරතනයක්, අමොහයක්, ධම්ම විචයක්, සම්මාදිට්ඨියක්, වෙද්ද එය ප්රඥෙන්ද්රිය නම් වේ.
ලොකොත්තර සිත්හි යෙදන්නාවූ මේ ප්‍රඥා චෛතසිකය සම්මොහය හෙවත් මුළාව නම් වූ ප්රතිපක්ෂ ධර්මය දුරුකිරීමේදී සහජාත ධර්මයන් තමන්ට අනුකූලකොට අධිපති භාවය දක්වන හෙයින් පඤ්ඤින්ද්රිය යයි කියනු ලැබේ. චතුරාර්‍ය්‍යසත්‍යය දක්නාවූ මේ ප්‍රඥා චෛතසිකය, ලොකොත්තර සිත්හි වීමංසිද්ධිපාද වශයෙන්ද, පඤ්ඤින්ද්රියය වශයෙන්ද, පඤ්ඤා බලය වශයෙන්ද, ධම්මවිචය සම්බොධ්‍යාඞ්ගය වශයෙන්ද, සම්මාදිට්ඨි නම් වූ නිර්වාණ මාර්ගාඞ්ගය වශයෙන්ද යෙදෙන බව සැළකිය යුතු.
මේ පඤ්චෙන්ද්රිය ධර්මයන්ගේ ඉන්ද්රියභාවය දක්වන්නාවූ උපමාවෙක්ද ඇත.
සිටු පුත්‍රයන් සිව්දෙනෙකු සමඟ රාජ්‍යය ආරක්ෂා කරන රජෙක් තෙම, රාත්‍රි දවස්හි නගරයෙහි තොරතුරු දැන ගන්නා පිණිස නගර සංවාරණයෙහි යෙදුනේය. එසේ නගර සංවාරණය කරන සමයෙහි පළමුවන වර, පළමුවන සිටු පුත්‍රයාගේ ගෙට පස්දෙනම පැමිණියාහ. ඉක්බිති ඒ ගෙට ස්වාමීවූ සිටුපුත්‍ර තෙමේ අවශේෂ සිටු පුත්‍රයන් තුන්දෙන ඇතුළු මහරජහට ද සුවඳ විලවුන් බත් බුලත් ආදියෙන් සංග්‍රහ කරවයි. අවශේෂ සතරදෙන තුෂ්ණීම්භූතව සිටිති. ඉක්බිති දෙවෙනිවර දෙවෙනි සිටුපුත්‍රයාගේ ගෙට පස්දෙනම පැමිණෙති. එසේ පැමිණි කල්හි ඒ ගෙට ස්වාමීවූ සිටුපුත්රතෙමේ අවශේෂ සතරදෙනහට සුවඳ විලවුන් බත් බුලත් ආදියෙන් සංග්‍රහ කරවයි. අවශේෂ සතරදෙන තුෂ්ණීම්භූතව සිටිති. ඉක්බිති තුන්වනවර තුන්වන සිටු පුත්‍රයාගේ ගෙට පස්දෙනම පැමිණෙති. එසේ පැමිණි කල්හිද, ඒ ගෙට ස්වාමීවූ සිටුපුත්‍ර තෙමේ අවශේෂ වූ සතරදෙනහට සුවඳ විලවුන් ආදියෙන් සංග්‍රහ කරවයි. ඉක්බිති එයින් නැගිට සතරවන සිටුපුත්‍රයාගේ ගෙට පස්දෙනම පැමිණෙති. එකල්හි පෙර මෙන්ම ඒ ගෙට ස්වාමීවූ සිටුපුත්‍ර තෙමේ අවශේෂ සතරදෙන හට සුවඳ විලවුන් ආදියෙන් සංග්‍රහ කරවයි. ඉක්බිති පස්වන චාරයෙහි සිටුපුත්‍රයන් සතරදෙන සමග රජගෙට ආ කල්හි රජතෙමේ සිටුපුත්රයන්ට වඩා සියක් ගුණයකින් අධිකවූ සත්කාර සම්මානයන් සිටුපුත්‍රයන් සතරදෙනාට කරවන්නේ වෙයි. එපරිද්දෙන්ම ලෝකෝත්තර චිත්තයෙහි යෙදුනාවූ ශ්‍රද්ධා, වීර්‍ය්‍ය, සති, සමාධි යන චෛතසිකයෝ සතරදෙන තම තමන්ට අයත් වූ ඒ ඒ කෘත්‍යයන් මනාකොට සිද්ධ කරවති. ප්‍රඥා චෛතසිකය වනාහි මහරජෙකු මෙන් සියලු කටයුතු මාර්ග චිත්තයෙහි මනා සේ සිද්ධ කරවයි.