සතර ඉද්ධිපාද ධර්ම
යම් ධර්ම ජාතියක් තොමෝ ඉටුවේද, සමෘද්ධවේද, නිපැදීමවේද, නොහොත් යම් ධර්ම ජාතියක් කරුණුකොට ගෙන සෘද්ධිය වූවහු හෙවත් වර්ධනය වූවහු වෙත්ද, නොහොත් සමෘද්ධවූවාහු, වැඩිදියුණු වූවාහු උත්කර්ෂ භාවයට හෙවත් අතිශය භාවයට ගියාහු වෙත්ද, ඒ ධර්ම ජාතිතොමෝ සෘද්ධි නම් වේ.
ඉද්ධියම පාද හෙවත් කොටස වේද, නොහොත් සෘද්ධියගේ පිහිටන තැන හෙවත් අධිගමයට කරුණුවේද, එහෙයින් ඉද්ධිපාද යයි කියනු ලැබේ. සත්ත්වයෝ ඒ සෘද්ධිපාද ධර්මය කරුණුකොටගෙන මතුමත්තෙහි වූ විශේෂය යයි කියන ලද සමෘද්ධියට යම්හෙයකින් පැමිණෙත්ද, එහෙයින් ඒ කාරණා වූ ධර්මය තෙමේ පාදනම් වේ.
මේ ඉද්ධිපාද ධර්මයෝ සතරදෙනෙක් වෙත්. එනම්
- ඡන්දිද්ධිපාද
- විරියිද්ධිපාද
- චිත්තිද්ධිපාද
- විමංසිද්ධිපාද
යන සතර ධර්මයෝයි. මේ සස්නෙහි මහණතෙම බොධි හෙවත් මාර්ගඥානය පිණිස.
- ඡන්දසමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය හෙවත් කත්තුකම්‍යතා ඡන්දය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීර්ය්යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි.
- විරියසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය හෙවත් වීර්‍ය්‍යය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීර්ය්යයෙන්ද යුක්ත වූ ඉද්ධිපාදය වඩයි.
- චිත්තසමාධිපධානසඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය හෙවත් චිත්තය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීර්ය්යයෙන්ද යුක්ත වූ ඉද්ධිපාදය වඩයි.
- විමංසාසමාධිපධානසඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය හෙවත් විමංසය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීර්ය්යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි.
1. මෙහි ඡන්ද සමාධිය නම් කත්තුකම්‍යතා ඡන්දයම හේතුකොට ඇත්තාවූ ඡන්දයම අධිකකොට ඇත්තාවූ හෙවත් ඡන්දය අධිපති ප්‍රත්‍යයකොට ලත් සමාධියයි.
ප්රධානභූතවූ හෙවත් ශ්‍රේෂ්ඨවූ, වීර්ය්යයවූ, සංස්කාර ධර්මයෝ ප්‍රධාන සඞ්ඛාර ධර්ම නම් වෙත්. එනම් සතර සම්යග්ප්රධාන වීර්ය්යයෝයි.
එහෙයින් ඡන්දය අධිපතිකොට ඇති සමාධිය ලබාද, නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නො ඉපදීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්‍ය්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, උපන් ලාමක අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්‍ය්‍ය ආරම්භ කෙරේද, සිත දැඩි කොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්‍ය්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, උපන් කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස භාවනාවන් සම්පූර්ණ කිරීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්‍ය්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත්ලෙස උත්සාහ කෙරේද, එය ඡන්ද සමාධි පධාන සඞ්ඛාර නම් වේ. හෙවත් ඡන්දය අධිපතිකොට ඇති සමාධිය හා සම්යග්ප්රධාන් වීර්‍ය්‍ය නම් වේ.
යම් කැමැත්තක්, කැමතිබවක්, දක්ෂබවක්, ධර්‍මච්ඡන්‍ද යක් හෙවත් ස්වභාවයෙන් කැමැත්තක් ඇද්ද එයට ඡන්දය යයි කියනු ලැබේ.
යම් චිත්තයාගේ පැවැත්මක්, විශේෂ පැවැත්මක්, සිටීමක්, නැවතීමක්, නො විසුරුණු බවක්, නො විසුරුණ සිත් ඇති බවක්, සමථයක්, සමාධින්ද්‍රියක්, සමාධි බලයක්, සම්‍යක් සමාධියක් ඇද්ද එයට සමාධියයි කියනු ලැබේ.
යම් චෛතසික වීර්ය්යාරම්භයක් ඇත්ද, නික්කමයක් පරක්කමයක් උය්යාමයක්, වායාමයක්, උත්සාහයක් උත්සාහ බවක්, ථාමයක්, ධෛර්ය්යයක්, බුරුල් නොවූ පරාක්‍රම ඇතිබවක්, බහා නො තැබූ කැමැත්තක්, බහා නො තැබූ ධෛර්ය්යයක්, ධෛර්ය්යය දැඩිව ගැනීමක්, වීර්‍ය්‍යයක්, විරියින්ද්රියයක්, විරිය බලයක්, සම්‍යක් ව්‍යායාමයක්, ඇද්ද එය පධානසඞ්ඛාර නම් වේ. මෙසේ මහණ තෙමේ මේ ඡන්දයෙන්ද, සමාධියෙන්ද, පධානසඞ්ඛාරයෙන්ද යුක්ත වූයේ වෙයි, සමූපෙතවූයේ වෙයි, උපාගතවූයේ වෙයි, උප්පන්නවූයේ වෙයි, සමුප්පන්නවූයේ වෙයි, සමන්නාගත වූයේ වෙයි, එහෙයින් ඡන්දසමාධි පධානසඞ්ඛාර සමන්නාගත යයි කියනු ලැබේ.
වතුර්විධ සම්ප්‍රයෝග ලක්ෂණයෙන් යුක්තවූ ඒ ඡන්දාදි ධර්මයන්ගේ යම් ඉටුවන සිදුවන බවක් හෙවත් ඉද්ධියක් වේද සම්පූර්ණවූ ඍද්ධියක් හෙවත් සමෘද්ධියක් වේද, ඉජ්ඣනා නම් වූ වඩනාලද ඉටුවන, සිදුවන සමෘද්ධවන, සම්පූර්ණවන ස්වභාවයක් වේ ද, තමාගේ ස්කන්ධසන්තානයෙහි පහළවීම් වශයෙන් යම් ලැබීමක් වේද, පිරිහුනාවූ ඡන්දාදි ධර්මයන්ගේ වීර්ය්යාරම්භකිරීම් වශයෙන් නැවත ලැබීමක් හෙවත් ප්‍රතිලාභයක් වේද, අධිගමයට පැමිණීමක් වේද, නොපිරිහීම් වශයෙන් මනාකොට අධිගමය හෝ පැමිණීම වේද, ප්රතිලාභ වශයෙන් පහස්නා බවක් වේද, ප්රතිලාභ සඞ්ඛ්යාතවූ සාක්ෂාත් කරණයක් නොහොත් ප්රතිලාභ වශයෙන් සාක්ෂාත් කරණයක් වේද, උපසම්පදා නම්වූ ප්රතිලාභ වශයෙන් වැඩියක් එළඹීමක් වේද, එය ඉද්ධි නම් වේ.
එබඳුවූ වේදනාස්කන්ධය, සඤ්ඤාස්කන්ධය, සඞ්ඛාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය ඉද්ධිපාද නම් වේ.
ඉද්ධිපාදය වඩන්නාවූ මහණතෙම ඒ ධර්මයන් සේවනය කරයි, වඩයි, බහුල වශයෙන් කරයි.
- 2 විරිය සමාධිපධානසඞ්ඛාර සමන්නාගත ඉද්ධි- පාදය වඩන්නාවූ මහණතෙම වීර්‍ය්‍යය අධිපති කොට ලැබූ සමාධිය හා බලවත් වීර්ය්යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය අධිපතිකොට ඇති සමාධිය හෙවත් සිතෙහි එකඟ බව වීර්‍ය්‍යසමාධි නම් වේ හෙතෙමේ වීර්‍ය්‍යසමාධි යෙන් යුක්තව නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නො ඉපදීම පිණිසද, උපන් ලාමක අකුසලධර්මයන්ගේ දුරු කිරීම පිණිසද, නූපන් කුසලධර්මයන්ගේ ඉපදීම පිණිසද, උපන් කුසල ධර්මයන්ගේ පැවතීම පිණිසද, වැඩීම පිණිසද, මහත්බව පිණිසද, භාවනාවන් සම්පූර්ණ කිරීම පිණිසද, කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්‍ය්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත්ලෙස උත්සාහ කෙරේද, එය පධානසඞ්ඛාර නම් වේ. ඒ සියල්ල එකතුකොට සමඟි කොට, රැස්කොට විරියසමාධි පධාන සංඛාරයෝ යයි කියනු ලැබේ. මෙහි වීර්‍ය්‍යය දෙතැනක ප්‍රකාශ වේ. එයින් විරියසමාධි යන්නෙන් වීර්‍ය්‍යය අධිපති කොට උපදවන ලද සමාධිය දක්වන ලදී. එය සමාධිය වෙසෙසන වීර්‍ය්‍ය යයි. පධානසඞ්ඛාර යන්නෙන් දක්වනලද වීර්‍ය්‍යය, විරිය සමාධිය හා සම්ප්‍රයුත්ත ධර්මයක් වශයෙන් දක්වනලද වීර්‍ය්‍ය යයි.
- චිත්ත සමාධි පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය වඩන්නා වූ මහණතෙම, සිත අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීර්‍ය්‍යයෙන් ද යුක්ත වූ ඉද්ධිපාදය වඩයි. චිත්තය අධිපතිකොට ඇති සමාධිය හෙවත් සිතෙහි එකඟබව චිත්තසමාධි නම් වේ. හෙතෙමේ පළමුපරිද්දෙන් චිත්තසමාධියෙන් යුක්තව සතර සම්‍යග් ප්‍රධන් වීර්‍ය්‍යය වඩයි.
- වීමංසා සමාධි පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය වඩන්නා වූ මහණ තෙම වීමංසාව අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීර්‍ය්‍යයෙන් ද යුක්ත වූ ඉද්ධිපාදය වඩයි. වීමංසාව අධිපතිකොට ඇති සමාධිය හෙවත් සිතෙහි එකඟබව වීමංසා සමාධි නම් වේ. හෙතෙමේ වීමංසා සමාධියෙන් යුක්තව සතර සම්‍යග් ප්‍රධාන වීර්‍ය්‍යය වඩයි. වීමංසාව නම් ප්‍රඥාවට අමෝහයට, සම්මාදිට්ඨියට නමෙකි.
මේ සතර ඉද්ධිපාද ධර්මයන් දැක්වීමෙන් භාග්‍යවතුන් වහන්සේ සතර වැදෑරුම් වූ, භික්ෂූන්ගේ මුදුන් පැමිණියා වූ කමටහන වදාළසේක.
එක් මහණෙක් තෙමේ ඡන්දය ඇසුරු කෙරේද, හෙවත් පිහිට කොට පවතීද, කත්තුකම්‍යතා ලක්ෂණ ඇති කුසල ධර්මච්ඡන්දය කරණකොට ගෙන අර්ත්ථනිෂ්පාදනයක්හු ඇති කල්හි මම නවලොකොත්තර ධර්මය නිෂ්පාදනය කරන්නෙමි. ඒ නවලොකොත්තර ධර්මයාගේ නිෂ්පාදනයෙහි මට බරෙක් නැතැයි මෙසේ ඡන්දය දෙටුකොට, ඡන්දය ඉදිරිපත්කොට, ඡන්දය පූර්වාඞ්ගමකොට නවලෝකෝත්තර ධර්මය නිෂ්පාදනය කෙරෙයි.
මෙසේ එක් මහණෙක් වීර්‍ය්‍ය ඇසුරුකෙරේද හෙවත් පිහිට කොට පවතීද, එක් මහණෙක් සිත ඇසුරු කෙරේද හෙවත් පිහිට කොට පවතීද, එක් මහණෙක් ප්‍රඥාව ඇසුරු කෙරේද හෙවත් පිහිට කොට පවතීද, ඒ ප්‍රඥාව කරණ කොට ගෙන අර්ථනිෂ්පාදනයක්හු ඇතිකල්හි මම නව ලෝකෝත්තර ධර්මය නිෂ්පාදනය කරන්නෙමි. ඒ නව ලෝකෝත්තර ධර්මයාගේ නිෂ්පාදනයෙහි මට බරෙක් නැත, මෙසේ ප්‍රඥාව දෙටුකොට, ප්‍රඥාව ඉදිරිපත්කොට, ප්‍රඥාව පූර්වාඞ්ගම කොට නවලෝකෝත්තර ධර්මය නිෂ්පාදනය කෙරෙයි.
තනතුරුපතා හැසිරෙන්නාවූ සතර ඇමැති දරුවන් අතුරෙන් එක් ඇමැති දරුවෙක් උපස්ථානය ඇසුරු කෙරේද එක් ඇමැති දරුවෙක් ශූරත්වය ඇසුරු කෙරේද, එක් ඇමැති දරුවෙක් ජාතිය ඇසුරු කෙරේද, එක් ඇමැති දරුවෙක් ශිල්ප ශාස්ත්‍රය ඇසුරු කෙරේද එමෙනි.
මෙයින් පළමු ඇමැති පුත්තෙමේ උවටැන්හි නොපමාව කරන සුළු බැවින් අර්ථ නිෂ්පාදනයක්හු ඇති කල්හි ලැබීමට නිසිවූ ඒ ඨානාන්තරය ලබන්නෙමියි සිතා උපස්ථානය ඇසුරු කෙළේයි. දෙවෙනි ඇමතිපුත් තෙම උවටැන්හි නොපමාවූයේ වී නමුත් ඇතැම් රාජ පුරුෂයෙක් සංග්‍රාමයක් එළඹ සිටි කල්හි සිටිනට නොහැකිවේ. අවශ්‍ය යෙන්ම රජුගේ පසල් දනව්ව කිපෙන්නේය. ඒ පසල් දනව්ව කිපි කල්හි රථ ඉදිරියෙහි කම් කොට, රජහු සතුටු කොට ඒ තනතුර පමුණුවාගන්නෙමි සිතා සූරත්වය ඇසුරු කෙළේයි. තෙවැනිවූ ඇමැති පුත් තෙම සූරත්වය ඇති කල්හිත් ඇතැම් රාජ පුරුෂයෙක් නීව ජාති ඇත්තෙක්වේ ජාතිය පිරිසිදු කොට තනතුරක් දෙන්නාහු නම් මට දෙන්නාහයි සිතා ජාතිය ඇසුරු කෙළේයි. සිව්වෙනි ඇමති පුත් තෙම, ජාති සම්පන්න වූයේ වී නමුත් ඇතැම් රාජ පුරුෂයෙක් හිතාහිත මන්ත්‍රණයෙහි නොනිස්සෙක් නොහොත් ශිල්ප ශාස්ත්‍රය නොදන්නෙක් වේ. හිතා හිත මන්ත්‍රණයෙන් හෝ ශිල්ප ශාස්ත්‍රයෙන් රජහට කළහැකි කටයුත්තක් උපන් කල්හි ඒ ඨානාන්තරය පමුණුවා ගන්නෙමියි සිතා හිත මන්ත්‍රණය හෝ ශිල්ප ශාස්ත්‍රය ඇසුරු කෙළේයි. ඒ සියලුම ඇමති දරුවෝ තුමූ තම තමන් අයත්වූ නිඃශ්රයස්ථාන ශක්තියෙන් හෙවත් ඇසුරු කළ තැන් බලයෙන් තනතුරුවලට පැමිණියහ.
ඒ ඇමැති පුත් සතර දෙනා අතුරෙන් උපස්ථානයෙහි නොපමාවූයේව, තනතුරට පැමිණි ඇමැති දරුවාමෙන් ඡන්දය ඇසුරු කොට, කන්තුකම්යතා ලක්ෂණ ඇති කුසලධර්මච්ඡන්දය කරණ කොට ගෙන, අර්ථ නිෂ්පාදකයක්හු ඇති කල්හි මම නවලොකොත්තර ධර්මය නිෂ්පාදනය කරන්නෙමි ඒ නවලොකොත්තර ධර්මයාගේ නිෂ්පාදනයෙහි මට බරෙක් නැතැයි සිතා ඡන්දය දෙටුකොට, ඡන්දය ඉදිරිපත්කොට, ඡන්දය පූර්වාඞ්ගමකොට ලොව්තුරා දහම් නිපයන පුද්ගලතෙම දත යුතුයි.
ශුරත්වයෙන් රජහු සතුටුකොට තනතුරට පැමිණි ඇමති දරුවා මෙන් වීර්‍ය්‍යය දෙටුකොට, වීර්‍ය්‍යය ඉදිරිපත් කොට වීර්‍ය්‍යය පූර්වාඞ්ගම කොට ලොව්තුරා දහම් නිපයන පුද්ගල තෙම දත යුතුයි.
ජාති සම්පත් කරුණු කොට ගෙන තනතුරට පැමිණි ඇමැති දරුවා මෙන් සිත දෙටුකොට, සිත ඉදිරිපත්කොට, සිත පූර්වාඞ්ගම කොට ලොව්තුරු දහම් නිපයන පුද්ගල තෙම දත යුතුයි.
මන්ත්‍රණය හෝ ශිල්ප ශාස්ත්‍රය පිහිට කොට තනතුරට පැමිණි ඇමති දරුවාමෙන් වීමංසාව හෙවත් ප්‍රඥාව දෙටු කොට වීමංසාව ඉදිරිපත්කොට, වීමංසාව පූර්වාඞ්ගමකොට ලොව්තුරු දහම් නිපයන පුද්ගල තෙම යුතුයි.
ඡන්දිද්ධිපාද, විරියිද්ධිපාද, චිත්තිද්ධිපාද, විමංසිද්ධි- පාද, යන මේ සතර සෘද්ධිපාද ධර්මයෝ තුමූ ලෝකෝත්තර සිත්හි නිර්වාණය අරමුණු කරමින්ම උපදී. චෛතසික ධර්ම වශයෙන් ඡන්දිද්ධිප්පාදය තෙම ඡන්ද චෛතසිකය වේ. විරියිද්ධිප්පාදය සම්මප්පධාන සඞ්ඛ්‍යාත විරිය චෛතසිකය වේ. චිත්තිද්ධිප්පාදය, ලෝකෝත්තර චිත්තයම වේ. විමංසිද්ධිප්පාදය ලෝකෝත්තර සිත්හි යෙදුන ප්‍රඥා චෛතසිකය වේ.