අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සතර සම්මප්පධාන ධර්‍ම

සම්මප්පධානයෝ නම් බෝධිපාක්‍ෂික ධර්‍මයන්ට ඇතුළත්වූද, මාර්ග ඵලාධිගමය පිණිස වැඩියයුතු වූද, යහපත් වීර්‍ය්‍යයෝයි, හෙවත් එකාන්තයෙන්ම මාගේ ශරීරයෙහි සම් ඇට නහර ඉතිරිවේවා, ඔස් ලේ වියළේවා, පුරුෂ ශක්තියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යම් ගුණයක් ලබාගත හැකිද. එය නොලබා වීර්‍ය්‍යයාගේ නැවැත්මක් නොවේයයි තදින් ගන්නාලද නොපසුබස්නා වීර්‍ය්‍යයවේ.

මේ වීර්‍ය්‍යය සතරාකාර වේ එනම්:-

  1. උපන් අකුසල් ප්‍රහාණය පිණිස ගන්නා වීර්‍ය්‍යය
  2. නුපන් අකුසල් නුපදීම පිණිස ගන්නා වීර්‍ය්‍යය
  3. නුපන් කුසල් උපදවාගැනීම පිණිස ගන්නා වීර්‍ය්‍යය
  4. උපන් කුසල් වැඩීම පිණිස ගන්නා වීර්‍ය්‍යය

සසරින් එතරවනු කැමැතිව විදර්‍ශනා වඩන්නාවූ යෝගාවචර තෙමේ, මේ සතර ධර්‍මයෝ, බෝධිය හෙවත් මාර්ගඥානය ලබාගැනීමට උපකාර වන්නාවූ බෝධිපාක්‍ෂික ධර්මයන් බව දැන සතර සම්‍යග්ප්‍රධානයන්ගේ වශයෙන් වඩා මාර්ගඵලාධිගමය කරන්නේය.

කාරණාභූතවූ ප්‍රධන් වීර්‍ය්‍ය ධර්ම හෙවත් ප්‍රධන් වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත කාරණා වූ ධර්මයන්ට සම්මප්පධානයෝ යයි කියනු ලැබේ. යුක්තිභූතවූ හෙවත් අනුරූපවූ ප්‍රධන් වීර්‍ය්‍ය ධර්මයෝ යයි ද උපායභූතවූ ප්‍රධන් වීර්‍ය්‍ය ධර්මයෝ යයි ද නුවණින් ප්‍රධන්වීර්‍ය්‍ය කිරීම යයිද කියනු ලබන්නේත් මේ සතර සම්මප්පධානයන්ටමය.

මේ බුද්ධශාසනයෙහි භාවනාවට පිළිපන්නාවූ හෙවත් භාවනානුයොගීවූ මහණතෙම, නූපන්නාවූ, ලාමකවූ, නිහීනවූ, කෞශල්‍ය නම් ලද ඥානය හේතුකොටගෙන නොභටගත්තාවූ, අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස, කත්තුකම්‍යතා සඞ්ඛ්‍යාත කරණු කැමති බව යයි කියනලද කුසලච්ඡන්‍දය උපදවයි. දැඩි උත්සාහය වූ පරාක්‍රමය කෙරෙයි. කායික චෛතසික වූ වීර්‍ය්‍ය කෙරෙයි. ඒ සිත සමඟ උපන් වීර්‍ය්‍ය කරණකොටගෙනම සිත ඔසවයි. කාරණාභූතවූ වීර්‍ය්‍ය කෙරෙයි. නොහොත් නැවත නැවත සේවනය කිරීම්, වැඩි දියුණු කිරීම්, බහුලකොට කිරීම්, නිරතුරුව කිරීම් වශයෙන් වීර්‍ය්‍යය වඩයි. එපරිද්දෙන්ම උපන්නාවූ හෙවත් නූපන්හයි නොකියයුතු බවට පැමිණියාවූ අකුසල ධර්මයන්ගේ දුරලීම පිණිසද, නූපන්නාවූ කෞශල්‍ය යයි කියනලද නුවණ හේතුකොටගෙන පැවතී කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිසද, උපන්නාවූ කුසල ධර්මයන්ගේ ස්ථිතිය පිණිසද, නොනස්නා පිණිසද, නැවත නැවත වීම පිණිසද, විපුලත්‍වය පිණිසද, වැඩීම පිණිසද, පරිපූර්‍ණත්‍වය පිණිසද වීර්‍ය්‍ය වඩයි.

නූපන්හයි කියයුතු බවට පැමිණි පාපධර්මයෝ නම්:-

  1. භූමිලබ්ධොත්පන්න ක්ලේශයෝය
  2. ආලම්බනාධිගෘහිතොත්පන්න ක්ලේශයෝය
  3. අවිෂ්කම්භිතොත්පන්න ක්ලේශයෝය
  4. අසමුද්ඝාතිතොත්පන්න ක්ලේශයෝ යයි සතරාකාර වේ.

එයින් විදර්‍ශනාවට භූමිභූතවූ අතීතාදී ප්‍රභේදවත් වූ පඤ්චස්කන්‍ධයන්හි අනුසයාවස්ථාවට පැමිණි කෙලෙස්හු, මාර්‍ගයෙන් නොපහව ගියාහු වෙත්ද, ඒ ක්ලේශයෝ භූමිලබ්ධොත්පන්නයෝයි.

වරක් ඇස් දල්වා අරමුණක්හු නිමිත්තක්හු ගත් කල්හි ආලම්බනාධිගෘහිත වන බැවින්, අනුස්මරණය කළ කළ කෙණෙහි කෙලෙස්හු නූපදනාහයි නොකිය යුත්තාහුද, මාර්‍ගයෙන් ප්‍රහීණ නොකළ ඒ ක්ලේශයෝ ආලම්බනාධිගෘහිතොත්පන්නයෝයි.

සමාපත්තියකින් විෂ්කම්භණය නොකළාවූ මෙනම් කෙලෙස්හු නැවත නූපදින්නාහයි නොකියයුත්තාහුද, ඒ ක්ලේශයෝ අවිෂ්කම්භිතොත්පන්නයෝයි.

මාර්‍ගයෙන් සමූලඝාතනය නොකළාවූ කෙලෙස්හු, භවයෙහි උපන් පුද්ගලයා හට උපදිත්ද, ඒ ක්ලේශයෝ අසමුද්ඝාතිතොත්පන්නයෝයි.

මේ සතර සම්‍යග් ප්‍රධන් වීර්‍ය්‍යයෝ ලෞකික සම්‍යග් ප්‍රධන් වීර්‍ය්‍යයෝය, ලෝකෝත්තර සම්‍යග්ප්‍රධන් වීර්‍ය්‍යයෝ යයි දෙයාකාර වේ.

ලෞකික සම්‍යග්ප්‍රධන් වීර්‍ය්‍යයෝ සියලු මාර්‍ගයන්ට පූර්‍වභාගයෙහි උපදී. ඒ ලෞකිකවූ සම්‍යග්ප්‍රධන් වීර්‍ය්‍යයෝ සතරදෙනා නම්:-

  1. මේ සස්නෙහි සසර බිය දක්නා මහණතෙමේ ඔහට නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදින්නාහු නම් අනර්‍ත්‍ථ පිණිස පවත්නාහයි දැන වීර්‍ය්‍ය වඩයි.
  2. උපන්නාවූ ලාමක වූ අකුසල ධර්‍මයෝ පහ නො වන්නාහු නම් අනර්‍ත්‍ථ පිණිස පවත්නාහයි දැන වීර්‍ය්‍යවඩයි.

3. නූපන්නාවූ කුසල ධර්මයෝ නූපදින්නාහු නම් අනර්ථ පිණිස පවත්නාහයි දැන වීර්‍ය්‍ය වඩයි.

4. උපන්නාවූ කුසලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් අනර්ථ පිණිස පවත්නාහයි දැන වීර්‍ය්‍ය වඩයි.

මෙහි නූපන් කුසල ධර්මයෝ නම් සමථවිදර්ශනාවෝයි. මොහුට මාර්ගයත්, නූපන් කුසලයකි. උපන් කුසල්හු නම් සමථවිදර්ශනාවෝම වෙති. ආර්ය මාර්ගය වරක් ඉපිද නිරුද්ධ වන්නේවීනමුත් අනර්ථය පිණිස නොපවතී. ඒ ආර්ය මාර්ගය තම තමා අයත් ඵලයට ප්‍රත්‍යයව නිරුද්ධවන බැවිනි.

උපන්නාවූ සමථවිදර්ශනාවෝ නිරුද්ධ වන්නාහු නම් අනර්ථය පිණිස පවත්නාහයි දැක්වීම පිණිස එක්තර කථා වස්තුවක් දක්වා තිබේ.

එක් රහත් ස්ථවිරයන් වහන්සේ නමක් ලක්දිව රුවන්වැලි මහා සෑයත් ශ්‍රී මහා බෝධීන්වහන්සේත් වඳින්නෙමියි සමාපත්තිලාභිවූ පා සිවුරු ගන්නා සාමණෙර නමක් සමග දනව්වෙන් මහා වෙහෙරට අවුත් පියඞ්ගණ නම් පිරිවෙනට වැඩි සේක. සවස් වේලෙහි මහා භික්‍ෂු සඞ්ඝයා රුවන්වැලි මහසෑය වඳින කල්හි, මහසෑය වැඳීම පිණිස තෙරුන්වහන්සේ නොනික්මුණු සේක. කවරහෙයිනයත්? යම් හෙයකින් රහත් පුද්ගලයන්ගේ තුනුරුවන්හි මහත්වූ ගෞරවයක්වේද, ඒ හෙයිනි භික්‍ෂු සඞ්ඝයා වැඳ පෙරළා වැඩම කළ කල්හි, මිනිසුන්ගේ රැ බත් කා නිමවූ වේලෙහි සාමණෙර යන්ටද නොදන්වා මහසෑය වඳින්නෙමියි තනිවම නික්මුණු සේක. සාමණෙරයන් වහන්සේද කවරහෙයකින් නොකල්හි තෙරුන්වහන්සේ තනිවම වඩනාසේක්දෝ දැනගන්නෙමියි උපාද්ධ්‍යායන් වහන්සේගේ පදානුපදිකව හෙවත් පියවර අනුව නික්මුණෝය. තෙරුන්වහන්සේද මෙනෙහි නොකිරීම හේතුකොටගෙන ඒ සාමණේරයන්ගේ ඒම නොදන්නා සේක් දකුණු දොරින් මහා චෛත්‍යාඞ්ගනයට නැගි සේක. සාමණෙර නමද පියවර අනුවම චෛත්‍යඞ්ගනයට නැංගේය මහා තෙරුන්වහන්සේද මහා චෛත්‍ය බලාවදාරා බුද්ධාලම්බන ප්‍රීතිය ගන්වා සියල් බුදුගුණ සිතින් ආභෝග මනස්කාරකොට තුටුපහටු වූයේම මහසෑය වඳින සේක. සාමණෙරයෝද, තෙරුන්වහන්සේ වඳිනසැටි දැක, මාගේ උපාද්ධ්‍යායන් වහන්සේ වැඩියක්ම පහන් සිත් ඇත්තේව වඳිනසේක. කිමෙක්ද, මල් ලැබුනොත් පුදකරන්නේදෝයි සිතීය. තෙරුන් වහන්සේ වැද නැග, මුදුනෙහි ඇඳිලි පිහිටවා මහසෑය මතු බලා වැඩසිටි කල්හි සාමණේරයෝ කාරා තමා පැමිණි බව දැන්වී. තෙරුන්වහන්සේ හැරී බලමින් කවර වේලෙහි ආයේවෙහිදැයි විචාළ සේක. ස්වාමීන්වහන්ස, නුඹවහන්සේගේ සෑය වඳින කල්හිම ආමි. වැඩියක්ම පහන්වූ මමද මහසෑය වැන්දෙමියයි කීය. කිමෙක්ද මල් ලැබුනොත් පුදකරන්නහුදෝයි මෙසේ විචාළේය. තෙරුන්වහන්සේ එසේය, පුදන්නෙමි. මේ රුවන්වැලි මහ සෑයෙහි මෙන් අන් සෑයෙක්හි මෙපමණ ධාතු නිධානයක් නම් නැත. මෙබඳු වූ අසදෘශවූ මහසෑය මල් ලැබුනොත් කවර පුද්ගලයෙක් නොපුදන්නේදැයි මෙසේ වදාළ සේක. සාමණෙරයෝද, ස්වාමීන්වහන්ස, එසේවීනම් ඉවසා වදාළ මැනව. මල් ගෙනෙන්නෙමියි කියා එකෙණෙහිම පාදකධ්‍යානයට සමවැද, සෘද්ධියෙන් හිමවතට ගොස් වර්‍ණ ගන්‍ධයෙන් සමෘද්ධවූ මල් ගෙන පෙරන්කඩ පුරවා මහතෙරුන් වහන්සේ දකුණු දොර පෙදෙසින් පශ්චිම මුව පෙදෙසට නො පැමිණ වදාළ කල්හිම, අවුත් මල් පෙරහන්කඩ අත්ලෙහි තබා වහන්ස, පුදකළ මැනවැයි කීයේය. තෙරුන්වහන්සේද, හෙරණ, මල් ඉතා මද නොවේදැයි වදාළ සේක. වහන්ස, වැඩවදාළ මැනව, භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කොට පිදුව මැනවයි කීය. තෙරුන්වහන්සේද පශ්චිම මුව පෙදෙස ඇසුරුකළාවූ හිණෙන් නැග ඇතුල් වේදිකා භූමියෙහි මල් පුදන්නට ඇරඹූ සේක. වේදිකා භූමිතොමෝ පරිපුර්‍ණවූය මලින් පිරි දෙවන වේදිකා භූමියෙහිද දත පමණ පිරීගියහ. එයින් අවුත් පාපිට පෙළද පුදනසේක් එයද පිරීගියහ. ඒ බව දැක පහත මළුවෙහි විහිරමින් වැඩිසේක. මෙසේ සියලු චෛත්‍යාඞ්ගන පිරී ගියේය. නමුත් මල් ක්‍ෂය නොවෙයි වදාළ සේක. ස්වාමින් වහන්ස, පෙරහන්කඩ මුව යටිකුරු වූවක් කර වදාළ මැනවැයි කී කල්හි එසේ කළසේක. එවේලෙහි මල් ක්‍ෂය වූහ. තෙරුන්වහන්සේ පෙරහන්කඩ සාමණෙරයන්ට දී ඇත් පවුරු වලල්ල වටලාගෙන, සෑය තුන් යළක් ප්‍රදක්‍ෂිණා කොට, සතර තැනෙක්හිම වැඳ, පියඞ්ගන නම් පිරිවෙනට වැඩිසේක්, මේ සාමණෙරයෝ ඉතා මහත් වූ ඍද්ධි ඇත්තෙක, මේ ඍද්ධියානුභාවය රක්නට හැකිවන්නේදෝයි මෙසේ සිතූ සේක. එවිට නොහැකි වන්නේ යයි දිවැසින් දැක, හෙරණ, නුඹ දැන් මහත් වූ ඍද්ධි ඇත්තෙක් වෙයි. එසේ වී නමුත් මෙබඳු වූ ඍද්ධිය නසාගෙන පසු කලෙක එකැස් කණවූ පෙහෙකරු කතකගේ අතින් මැඩගත් කාඩිය බොන්නෙහි යයි සාමණෙරයන්ට වදාළසේක. මේ වැරද්ද නම් තරුණ භාවයාගේ වරද යයි ද කිය. සාමණෙර නමද තෙරුන් වහන්සේගේ කථාවෙන් නැතිගෙන, වහන්ස, මාහට කමටහනක් වදාළ මැනවැයි යාඤ්ඤා නොකෙළේයි. අපගේ උපාධ්‍යායන් වහන්සේ කුමක් වදාරාද, මෙසේ සිතා එය නොඇසුනාක්හුමෙන් ගියේය. තෙරුන්වහන්සේ මහසෑයද මහා බෝධියද වැඳ හෙරණහු පාසිවුරු ගන්වා පිළිවෙලින් කුටෙලිතිස්ස නම් මහා විහාරයට වැඩිසේක. සාමණෙර තෙමේද එයින් පසු උපාධ්‍යායයන් වහන්සේගේ පදානුපදිකව පිඬු පිණිස නොවඩියි. ස්වාමීනි කුම්නම් ගමකට යන්නේදැයි විචාරා දැන නැවතී උපාධ්‍යායයන් වහන්සේ දැන් ගම්දොරට පැමිණ වදාළේ වන්නේ යයි දැන තමාගේත් උපාධ්‍යායයන් වහන්සේගේත් පාසිවුරු ගෙන අහසින් අවුත් තෙරුන් වහන්සේට පාසිවුරු දී පිඬු පිණිස ගමට වදී. තෙරුන් වහන්සේද, හෙරණ මෙසේ නොකරාවා, පෘථග්ජනයන්ගේ ඍද්ධිතොමෝ නම් චපලය නියත නොවන්නීය, සත්ප්‍රාය නොවූ රූපාදි ආලම්බනයක් ලැබීම් හේතුවෙන් ස්වල්ප මාත්‍රයකින්ම බිඳෙයි. සන්සිඳුනාවූ සමවතින් පිරිහී ගියහු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි අසමර්ථ වෙත්. මෙසේ හැම වේලේම ඔවා දෙනසේක. හෙරණුවෝද මාගේ උපාධ්‍යායයන් වහන්සේ කුමක් වදාරණසේක්දැයි මෙසේ සිතා අසන්නට නොකැමැති වේ තෙරුන්වහන්සේද පිළිවෙල නොයික්මවා චෛත්‍ය වන්‍දනාව කෙරෙමින් කම්පෙන්ද නම් ගම් වෙහෙරට වැඩි සේක එතැන්හිද සාමණේරයෝ එපරිද්දෙන්ම කෙරෙයි.

එකල්හි, මනා රූ ඇති, පළමු වියෙහි සිටියාවූ එක්තරා පෙෂකර්ම දුහිතෘවක් එක් දිනෙක කම්පෙන්ද නම් ගමින් නික්ම පියුම් විලකට බැස ගී, කියමින්, පියුම් නෙළයි. එසමයෙහි හෙරණුවෝද පියුම් විල මත්තෙන් යන්නේ උක්පැණි ලාටුවෙහි ඇලුනු කණ මැස්සකු මෙන් ඇගේ ගීතස්වරයෙහි බැඳීන. ඒ ගීතස්වරයෙහි බැඳීගිය ඇසිල්ලෙහිම ඍද්ධිය අතුරුදහන් විය. සුන් පියාපත් ඇති කවුඩකු මෙන් වූයේය. සන්හුන් සමවත් බෙලෙන් වනාහි ඒ පියුම් විලෙහිම දිය මතුපිට නොගිලිහී ඉඹුල් පුලුන් පටලක් මෙන් ක්‍රමයෙන් පියුම් විල්තෙර සිටියේය. හෙරණතෙමේ වේගයෙන් ගොස් උපාධ්‍යායයන් වහන්සේගේ පාසිවුරු දී නැවතුනේය. තෙරුන්වහන්සේද, කල්ඇතිවම මේ කරුණ මා විසින් දක්නා ලදය. වළක්වනු ලබන්නේ විනමුත් නොනවතින්නේය. මෙසේ සිතා කිසි තෙපුලක් නොවදාරා පිඬු පිණිස ගමට වන්සේක. හෙරණුවෝද ගොස් පියුම් විල්තෙර, ඇගේ විලෙන් ගොඩ නැගීම් බලාපොරොත්තුවෙමින් සිටියේය ඇද අහසින් යන්නාවූද, නැවත අවුත් සිටියාවූද හෙරණහු දැක, ඒකාන්තයෙන්ම මෙතෙම මා නිසා කළකිරුණේ වනැයි දැන, හෙරණ ඉවත් වෙවයි කීය ඔහුද ඉවත්විය. පෙහෙකරුදූ තොමෝ විලෙන් ගොඩට නැග සළුව හැඳ ඒ හෙරණහු වෙත එළඹ වහන්ස, කීමෙක්දැයි විචාළාය. ඔහුද එපවත් සැළකෙළේය එවිට ඒ පෙහෙකරු දූතොමෝ ගිහිගෙයි වාසයෙහි ආදීනවයද, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි අනුසස්ද දක්වා ඔවා දෙන්නී නමුත් ඒ හෙරණහුගේ කලකිරීම දුරුකරන්නට නොහැකි වන්නී, මේ හෙරණතෙම මා හේතුකොටගෙන මෙබඳු සෘද්ධියෙන් පිරිහින. දැන් අත්හරින්ට යුතු නැත යනාදීන් සිතා මෙතනම සිටුවයි කියා ගෙට ගොස් මව්පියන්ට එපුවත් සැළකළාය. ඒ මව්පියහුද අවුත් නොයෙක් පරිද්දෙන් අවවාද දුන් නමුත් පිළිනොගන්නාවූ හෙරණහට නුඹවහන්සේ අපි උසස් කුල ඇත්තෝවමුයි සලකන්නෙහිද, අපි පෙහෙකරුවෝ වම්හ. පෙහෙකරුකම් කරන්නට හැකිවන්නෙහිදැයි මෙසේ ඇසීය. හෙරණතෙමේ, උවසුවෙනි, ගිහිවූයේනම් පෙහෙකරුකම් හෝ කුළුපොතුකම් හෝ කළයුතු වන්නේය. මේ කථාවෙන් කම් නැත. වස්ත්‍ර මාත්‍රයෙක්හි ලෝභ නොකරවයි කීය. පෙහෙකරු තෙමේ ඉනෙහි දවටා තිබූ සළුව දී ගෙට පමුණුවා දුව දින.

හෙතෙම පෙහෙකරුකම් ඉගෙන, අනික් පෙහෙකරුවන් හා සමග කම්හළෙහි කටයුතු කෙරෙයි. අනික් පෙහෙකරු පුරුෂයන්ගේ අඹුවූ අගනෝ උදෑසනම බත් සපයා දෙන්නාහුය මොහුගේ අඹුතොමෝ වේලාසනින් නොඑයි. හෙතෙම අනික් පෙහෙකරුවන් වැඩ නවත්වා අනුභව කරන කල්හි තර්කුටිය හෙවත් ටකාව වටමින් හුන්නේය. අඹුතොමෝ පසුව ආය. එවිට ඔහු මෙතෙක් ප්‍රමාදවී ආයේ ඇයිදැයි තර්‍ජනය කෙළේය. ඈද සක්විති රජක්හු පවා තමා කෙරෙහි පිළිබඳ සිතැත්තහුයි දැන දාසයකු මෙන් සලකයි. එබැවින්, ඕ තොමෝ අනික් සැමියන්ගේ ගෙයි දර, පලාපත්, ලුණු, ආදී උපකරණයෝ රැස්කොට තබනලදුය, පිටතින් ගෙනවුත් දෙන්නාවූ මෙහෙකරුකම් කරනුවෝද ඇත. මම වනාහි හුදකලා වෙමි. නුඹද මාගේ ගෙයි මෙනම් දෙයක් ඇත, මෙනම් දෙයෙක් නැතැයි නොදන්නෙහිය. ඉදින් කැමති නම් අනුභව කරව. නොකැමැති නම් අනුභව නොකරවයි කීය. ඔහුද නොපමාව බත් නොගෙනීම පමණක් නොව තෙපුලෙන්ද මා ගටන්නේයයි කිපී අන් කිසි ගසන දැයක් නොදැක එම ටකාව සූත්‍රවේෂ්ඨනයෙන් ලිහා දමා ගැසීය. ඔතොමෝ, එන්නාවූ ඒ ටකාව දැක මදක් නැමුණාය. ටකා දඬුහුගේ කොණ තියුණු මුවැති වේ. ඒ ටකාදඬු කෙළවර, ඇය නැමුණු කල්හි ඇස කෙළවර ඇනී සිටගත ඔතොමෝ දැතින් වහා ඇස අල්වාගත්තාය. බුන් තැනින් ලේ වැගිරෙන්නට විය. ඒ පුරුෂතෙම එකල්හි උපාධ්‍යායයන් වහන්සේගේ වචනය නැවත නැවත සිහිකෙළේය. මේ කරුණ සඳහා උපාධ්‍යායයන් වහන්සේ මතු කාලයෙහි කණ පෙහෙකරු කතකගේ අතින් මඩනලද කාඩිය බොන්නෙහි යයි වදාළ සේක. මේ කරුණ උපාධ්‍යායයන් වහන්සේ විසින් දක්නා ලද්දේ වන්නේය. මාහිමියන් වහන්සේ දීර්‍ඝදර්ශී වනසේක. විශ්මයකැයි සිහිකොට මහ හඬින් හඬන්නට පටන් ගත්තේය. අනික් පෙහෙකරුවෝ ඇවිත හැඬීමෙන් කම් නැත බිඳුනාවූ ඇස හැඬීමෙන් පෙරළා ප්‍රකෘතිමත් වූවක්හු කරන්නට නොහැක්කේයයි කිහ. හෙතෙමේ, මම ඇස් බුන්වගිය කරුණ නිසා නොහඬිමි. මේ කරුණ සඳහා හඬමියි පිළිවෙලින් සියලු ප්‍රවෘත්තිය කීය.

මෙයාකාරයෙන් උපන්නාවූ සමථවිදර්‍ශනාවෝ නිරුද්ධ වන්නාහු අවැඩ පිණිස පවත්නාහයි දැන වීර්‍ය්‍ය වඩන්නේය.

තවද, ලෞකික සම්‍යග් ප්‍රධානයන්ගේ වශයෙන් උපන්නාවූ සමථවිදර්‍ශනාවෝ නිරුද්ධවන්නාහු නම් අවැඩ පිණිස පවත්නාහයි දැක්වීම පිණිස අනිකුදු කථාවස්තුවක් දක්වා තිබේ.

තිස් නමක් පමණ වූ භික්‍ෂූහු කැළණි මහා චෛත්‍ය වැඳ කැලෑ මගින් මහමගට බස්නාහු අතර මග දාගැබ හෙවත් ගිනිළූ හේනක කටයුතු කොට එන්නාහු එක් මිනිසක්හු දුටහ. ඔහුගේ ශරීරය දැලි වැකී ගියේ වේ. දැලි වැකී ගියාවූම එක් කසාවන් පිළිකඩක් කැසපට බැඳ හදිනා ලද්දේ බලන්නහුට ගිනි ඇවිළගත් කණුවක් මෙන් වැටහේ. ඒ පුරුෂ තෙමේ දවල් කාලයෙහි කටයුතු කොට අඩක් දැගියාවූ දර මිටියක් ඔසවාගෙන පිට පැත්තෙහි විසුළාවූ කෙශයෙන් යුක්තව අප්‍රසිද්ධ මාර්ග යකින් අවුත් භික්‍ෂූන්ගේ හමුවෙහි සිටියේය. හෙරණහු ඔහු දැක ඔවුනොවුන් බලන්නාහු ඇවැත්නි තාගේ පිය තෙමේයි, මහපිය තෙමේයි තාගේ මයිල් තෙමේයි මෙසේ කියමින් සිනාසෙමින් ගොස් උපාසකය, නුඹ කිනම් ඇත්තෙක් වෙයිදැයි විචාළහ. ඒ පුරුෂ තෙමේ නම අසන ලද්දේ විපිළිසර ඇත්තේව, දරමිටිය දමා, වස්ත්‍රය මනා ලෙස හැඳ මහ තෙරුන් වැඳ ස්වාමීන් වහන්ස, මද වේලාවක් සිටිනු මැනවයි කීයේය. මහ තෙරහු සිටියාහුය. නවක භික්‍ෂූ සාමණේරයෝ අවුත් මහතෙරුන්ගේ ඉදිරියෙහිදු කෙළි කවටකම් කෙරෙත්. උවසු තෙමේ, වහන්ස නුඹ වහන්සේලා මා දැක කෙළි කවටකම් කරව්ය. මෙතෙ කින්ම හෙවත් පැවිදකම් ලත් පමණෙකින්ම මස්තකයට අපි පැමිණි යෙම්හයි සලකව් දෝ කීය. මමත් පූර්‍වයෙහි නුඹවහන්සේලා වැනිවූම මහණෙක්වීමි. නුඹ වහන්සේලාට වනාහි චිත්තෙකග්‍රතා සඞ්ඛ්‍යාත සමාධි මාත්‍රයකුදු නැත. මම මේ සස්නෙහි මහා සෘද්ධි ඇත්තෙක්, මහානුභාවය ඇත්තෙක්වීමි. අහස ගෙන පොළොව කෙරෙමි. පොළොව ගෙන අහස කෙරෙමි. දුර හෝ දුරස්ථයෙකු හෝ කෙරෙමි. සමීපය හෝ සමීපස්ථයෙකු ඈත්හි කෙරෙමි. සක්වළ දහසක් ඇසිල්ලෙකින් සිදුරු කෙරෙමි. මාගේ අත්තල් බලනු මැනවි දැන් වනාහි මාගේ අත්ලයෝ රිලා අත්තල් බඳුය මම මේ අත්තල් වලින්ම මේ මිනිස් ලෙවෙහි හුන්නේම සඳ හිරු මඬුල් පිරිමැද්දෙමි. මේ පාතල යන්ගේම, සඳහිරු මඬුල්, පා පුටුවක් කොට හුනිමි. මාගේ මෙබඳු වූ සෘද්ධි තොමෝ ස්මෘති විප්‍රවාසය යයි කියන ලද ප්‍රමාදයකින් අතුරුදන් වූය. නුඹ වහන්සේලා නො පමාවව් යම් හෙයකින් ප්‍රමාද හේතුවෙන් මෙබඳුවූ ව්‍යසනයට පැමිණෙද්ද, ස්මෘති විප්‍රවාසය යයි කියන ලද ප්‍රමාදයෙන් තොරවූවෝව වාසය කරන්නෝ ජාති ජරා මරණ දුක්ඛයාගේ අවසානය කෙරෙද්ද, වහන්ස, එහෙයින් නුඹ වහන්සේලා මාම අරමුණුකොට ප්‍රමාද නුවූවහු වව් යයි තැති ගන්වා අවවාද දින. ඒ භික්‍ෂුහු ඒ උවසු තෙපලද්දීම සසර කලකිරීමට පැමිණ විදසුන් වඩන්නාහු තිස් දෙනෙක් තෙරහු ඒ පියෙස්හිම රහත් ඵලයට පැමිණියාහ.

ලොකොන්තර මාර්‍ගක්‍ෂණයෙහි එකලාවූම වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සම්‍යග් ප්‍රධානය තෙමේ චතුර්විධ සම්‍යග් ප්‍රධානකෘත්‍යය සම්පාදනය කිරීම් වශයෙන් චතුර්විධවූ නාමයන් ලබයි.

මෙහිදී නූපන් අකුසල ධර්‍ම නම් අසමුදාචාර වශයෙන් හෙවත් නොකඩව නොපැවැත්වීම්හුගේ බලයෙන් හෝ අනනුභූතාරම්මණ වශයෙන් හෙවත් අනුභව නොකළ විරූ අරමුණු බෙලෙන් හෝ නූපන් අකුසල ධර්‍මයෝයි.

ඒ අසමුදාචාර, අනනුභූතාරම්මණයන්ගේ වශයෙන් උපන් අකුසල ධර්‍මයන් අතුරෙන් ඇතැම් මහණෙකුහට වත්හුගේ වශයෙන් කෙලෙස් නොකඩව නොපවත්ති. ඇතැම් මහණකුහට, ග්‍රන්ථ පරිශීලනය, ධූතාංඞ්ග සමා දානය, සමථ කමටහන් වැඩිමය, විදර්‍ශනා කමටහන් වැඩීමය, නව කර්‍මයන්හි නියුක්තවීමය යන මොවුන් අතුරෙන් එක්තරා ධර්‍මාවරණයක්හුගේ ශක්ති වශයෙන් කෙලෙස්හු නොකඩවා නොපවත්ති.

ඇතැම් මහණෙක් වත් සම්පන්න වේද, ඒ මහණ හට දෙඅසූ (82) කුදුවත්ද, තුදුස් මහවත්ද, දාගැබ් මළුවෙහි කළයුතු වත්ද, බෝමළුවෙහි කළයුතු වත්ද, පැන්හළ කළයුතු වත්ද, පොහෝ ගෙයි කළයුතු වත්ද, ආගන්තුක මහණුන්ට කළයුතු වත්ද, ගමික මහණුන්හට කළයුතු වත්ද, කරමින් සිටියදීම කෙලෙස් නූපදිත්. පසු කලෙක වනාහි වතපිළිවෙත විහිද භින්නවූ වත් ඇත්තෙක්ව හැසිරෙන්නාවූ ඕහට අයොනිසොමනසිකාරයත්, ස්මෘති විප්‍රවාසය නම් ලද ප්‍රමාදයත් කරුණු කොට ගෙන කෙලෙස්හු උපදීති. මේ ක්‍රමයෙන් ද, අසමුදාචාර වශයෙන් හෙවත් නොකඩව නොපන්නා වශයෙන් නූපන්නාවූ කෙලෙස්හු උපදීත්.

ඇතැම් මහණෙක් වනාහි ග්‍රන්ථ ශික්‍ෂාවෙහි නියුක්ත වූයේ වේද, එක් සඟියකුත් ග්‍රහණ ධාරණාදී වශයෙන් ශික්‍ෂාව කෙරේද, දෙනිකාය කෙනෙකුත් තුන් නිකාය කෙනෙකුත් සතර නිකාය කෙනෙකුත් පස් නිකාය කෙනෙකුත් හෙවත් සඟි පසමත් ග්‍රහණ ධාරණාදි වශයෙන් ශික්‍ෂාව කෙරේද, ඒ මහණහට මෙපරිද්දෙන් ත්‍රිපිටක බුද්ධ ධර්‍මය අර්ථ වශයෙන්ද, පාළි වශයෙන්ද, අනුසන්‍ධි වශයෙන්ද, පූර්‍වාපර සම්බන්‍ධ වශයෙන්ද, ග්‍රහණ ධාරණාදි වශයෙන් ශික්‍ෂාව කෙරෙමින් සිටියදී, හදාරමින් සිටියදී, අර්ථ චින්තනය කරමින් සිටියදී අර්ථ අස්වමින් සිටියදී, අර්ථ දක්වමින් සිටියදී, අර්ථ ප්‍රකාශ කෙරෙමින් සිටියදී කෙළෙස් ඉපදීමට අවසර නොලබත්. පසු කලෙක වනාහි, ග්‍රන්ථ පරිශීලන කර්‍මය හැර අලස පුද්ගලයෙක්ව හැසිරෙන්නාවූ ඕහට අයෝනිසෝමනසිකාර ප්‍රමාද සඞ්ඛ්‍යාත කාරණයන් නිසා කෙලෙස්හු උපදීති. මේ ක්‍රමයෙන් ද අසමුදාචාර වශයෙන් නූපන්නාවූ කෙලෙස්හු උපදීති.

ඇතැම් මහණෙක් වනාහි ධුතාඞ්ගධරයෙක් වේද, තෙළෙස් ධුතාඞ්ග ගුණ සමාදන්ව පවතීද, ඒ මහණහට ධුතාඞ්ග ගුණ රකිමින් සිටියදී කෙළෙස්හු ඉපදීමට අවසර නොලබත්. පසු කලෙක වනාහි ධුතාඞ්ගයන් හැර චීවරාදී ප්‍රත්‍යය බහුලත්‍වය සඳහා පෙරළුනක්හුව හැසිරෙන්නාවූ ඕහට අයෝනිසෝමනසිකාර ප්‍රමාද සඞ්ඛ්‍යාත කාරණයන් නිසා කෙලෙස්හු උපදීති. මෙපරිද්දෙන්ද අසමුදාචාර වශයෙන් නූපන්නාවූ කෙලෙස්හු උපදීත්.

ඇතැම් මහණෙක් වනාහි අෂ්ට සමාපත්තීන්හි පුරුදු කළ වසඟ බැව් ඇත්තේ වේද, ඒ මහණහට ප්‍රථම ධ්‍යානාදීන්හි ආවර්ජන වශිත්‍වාදීන්ගේ ශක්ති වශයෙන් ඉරියව් වටමින් සිටියදී කෙලෙස්හු අවසර නොලබත් පසු කලෙක වනාහි දැහැනින් පිරිහුණු කල්හි හෝ පිරිහුණු දැහැන් ඇත්තාවූ හෝ දොඩමළු බැව් ආදීන්හි නැවත නැවත යෙදුනාවූ ඕහට අයොනිසොමනසිකාර ප්‍රමාද සංඛ්‍යාත කාරණයන් නිසා කෙලෙස්හු උපදිත්. මේ නයින්ද, අසමුදාචාර වශයෙන් හෙවත් නොකඩව නොපවත්නා වශයෙන් නූපන්නාවූ කෙලෙස්හු උපදිත්.

ඇතැම් මහණෙක් වනාහි විදර්‍ශකයෙක් වේද, අනුදර්‍ශනා මහා විදර්‍ශනාවන්හි හෝ කෘත්‍යය කරමින් වෙසේද, ඒ මහණ හටද කෙලෙස්හු අවසර නොලබත් පසුකලෙක වනාහි විදර්‍ශනා වැඩීම් කෘත්‍යය හැර ඇඟ මස් වැඩීමෙහි බහුලවූ උත්සාහ ඇතිව හැසිරෙමින් සිටින්නාවූ ඕහට අයොනිසොමනසිකාර ප්‍රමාද සංඛ්‍යාත කාරණයන් නිසා කෙලෙස්හු උපදිති. මේ ක්‍රමයෙන්ද අසමුදාචාර වශයෙන් නූපන්නාවූ කෙලෙස්හු උපදිත්.

ඇතැම් මහණෙක් වනාහි නව කර්‍මාන්ත නියුක්තයෙක් වේද පොහෝ ගෙවල්, බොජුන් හල්, ආදීන් කෙරේද, ඒ මහණහට ඒ පොහෝ ගෙවල්, බොජුන් හල් ආදීන්ගේ උපකරණයන් සිතමින් සිටියදී කෙලෙස්හු අවසර නොලබත්. පසුකලෙක නව කම් නිමි කල්හි ඕහට අයොනිසොමනසිකාර ප්‍රමාද සංඛ්‍යාත කාරණයන් නිසා කෙලෙස්හු උපදිති මේ නයින්ද අසමුදාචාර වශයෙන් නූපන්නාවූ කෙලෙස්හු උපදිති.

ඇතැම් මහණෙක් වනාහි බඹලොවින් චුතව, පිළිසිදීම් වශයෙන් ආවාවූ ශුද්ධ සත්ත්‍වයෙක් වේද, ඒ මහණහට අකුසල ජවනයන්ගේ ආසෙවන ශක්ති නැති හෙයින් කෙලෙස්හු අවසර නොලබත්. පසු කලෙක වනාහි ලත් අකුසල ජවනයන්ගේ ආසෙවන ශක්ති ඇති ඕහට අයොනිසොමනසිකාර ප්‍රමාද සංඛ්‍යාත කාරණයන් නිසා කෙලෙස්හු උපදිති මේ නයින්ද අසමුදාචාර වශයෙන් හෙවත් නොකඩව නොපවත්නා වශයෙන් නූපන්නාවූ කෙලෙස්හු උපදිත්.

අනනුභූතාරම්මණ වශයෙන් හෙවත් ආස්වාදනය නොකළවිරූ ආලම්බනයන්ගේ වශයෙන්ද කෙලෙසුන්ගේ නූපන් බැව් ඇතිවේ.

මේ සස්නෙහි ඇතැම් මහණෙක් හෝ ඇතැම් පුද්ගලයෙක් ආස්වාදනය නොකළවිරූ මනවඩන අරමුණු ආදි අරමුණක් ආස්වාදනය කෙරේද, ඒ මහණහට නොහොත් ඒ පුද්ගලයාහට ඒ අරමුණෙහි අයොනිසොමනසිකාර ප්‍රමාද සඞ්ඛ්‍යාත කාරණයන් නිසා රාගාදීවූ කෙලෙස්හු උපදිති. මෙසේ අනනුභූතාරම්මණ වශයෙන් නූපන් කෙලෙස්හු උපදිත්.

ලොකොත්තර මාර්‍ගක්‍ෂණයෙහි එකම වීර්‍ය්‍යය, නූපන්නාවූ යම් කෙලෙස්හු උපදින්නාහුද, ඒ කෙලෙස්හු යම් පරිද්දෙකින් නූපදිත්ද, ඒ පරිද්දෙන් ඒ කෙලෙසුන්ගේ අනුත්පාද කෘත්‍යයද, උපන් කෙලෙසුන්ගේ පහානකෘත්‍යයද සාදයි.

මෙහි උපන් කෙලෙස්හු සතරාකාරයකින් දක්වනු ලැබේ. එනම්:

  1. වත්තමානුප්පන්න හෙවත් ක්‍ෂණත්‍රයට පැමිණීමව උපන් කෙලෙස්ය.
  2. භුත්‍වාවිගතුප්පන්න හෙවත් ආස්වාදනයකොට නිරුද්ධව උපන් කෙලෙස්ය.
  3. ඔකාසකතුප්පන්න හෙවත් කොට නිමවූ අවසර ඇතිව උපන් කෙලෙස්ය.
  4. භුමිලද්ධුප්පන්න හෙවත් ඒ ඒ පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත ලබ්ධ භූමීන්හි උපන් කෙලෙස්ය යනුයි.

මොවුන් අතුරෙන් යම් කෙලෙස් කෙනෙක් විද්‍යමානවම උත්පාද, ඨිති, භඞ්ග සඞ්ඛ්‍යාත ක්‍ෂණත්‍රයෙන් සමන්විත වෙත්ද, මේ ක්‍ෂණත්‍රය සමන්විත ක්ලේශයෝ වත්තමානොප්- පන්න කෙලෙස්හු නම් වෙත්.

කර්මය වනාහි ජවත් වශයෙන් පැවැති කල්හි ආලම්බන රසය ආස්වාදනය කොට නිරුද්ධ වූ විපාකයතෙමේ භුත්‍වාවිගතුප්පන්න කෙලෙස්හු වෙත්. ඉපිද නිරුද්ධ වූ කර්මයද භුත්‍වාවිගතුප්පන්න කෙලෙස් නම් වෙත්. එබැවින් කර්මයත් විපාකයත් දෙකම එයට ඇතුළත් වේ.

කුසලාකුසල කර්මයතෙමේ අනික් කර්මයක්හුගේ විපාකය මගහරවා තමාගේ විපාකයට අවසර ගනීද, එපරිද්දෙන් අවසර ගෙන උපදනාවූ විපාකයතෙම අවසර දුන් තැන් පටන් උත්පන්න යයි කියනු ලැබේ. මේ උත්පන්නය ඔකාසකතුප්පන්න නම් වේ.

පඤ්චස්කන්‍ධය වනාහි විදර්ශනාවගේ ප්‍රවෘත්තිස්ථාන වූ භූමි හෙවත් අරමුණු නම්. අතීතාදි ප්‍රභේද ඇත්තා වූ ඒ පඤ්චස්කන්‍ධයන්හි අනුසය බවට පැමිණි කෙලෙස්හු වනාහි හෙවත් සිව්මගින් නොනසන ලදුව පැවැති කෙලෙස්හු වනාහි, අතීත වූ කෙලෙස්හුය කියාත්, අනාගත වූ කෙලෙස්හුය කියාත්, ප්‍රත්‍යුත්පන්න වූ කෙලෙස්හුය කියාත් නොකියයුතු. අතීතස්කන්‍ධයන්හි අනුසය බවට පත් කෙලෙස්හුද, මාර්ගයකින් ප්‍රහීණ නොකළාහුම වෙත්. අනාගත වූ ස්කන්‍ධයන්හි, වර්තමාන වූ ස්කන්‍ධයන්හි අනුසය බවට පත් කෙලෙස්හුද මාර්ගයෙකින් ප්‍රහීණ නොකළාහුම වෙත්. මෙසේ වූ කෙලෙසුන්ගේ උත්පන්නය භූමිලද්ධුප්පන්න නම් වේ. හෙවත් ලත් ලත් පඤ්චස්කන්‍ධයෙහි උපදනා කෙලෙස් නම් වෙත්. එබැවින් විදර්ශනාවගේ ප්‍රවෘත්තිස්ථාන වූ ඒ ඒ ස්කන්ධයන්හි නොහොත් ඒ ඒ කාම, රූප, අරූප භූමින්හි චතුර්විධ මාර්ගයෙන් සමූලඝාතනය නොකරනලද්දා වූ කෙලෙස්හු භූමිලබ්ධොත්පන්න යයි කියන ලදී.

තවද

  1. සමුදාචාරුප්පන්නය
  2. ආරම්මණාධිග්ගහිතුප්පන්නය
  3. අවික්ඛම්භිතුප්පන්නය
  4. අසමුග්ඝාටිතුප්පන්නය යයි චතුර්විධ වූ උත්පන්නයෙක්ද ඇත්තේය ඒ චතුර්විධ උත්පන්නයන් අතුරෙන් ක්‍ෂණත්‍රයට පැමිණි උත්පන්නයම සමුදාචාරුප්පන්න නම් වේ. හෙවත් ක්‍ෂණත්‍රයට පැමිණීම් වශයෙන් කෙලෙසුන්ගේ උපන් බව නම් වේ.

වරක් ඇස් දල්වා අරමුණෙහි නිමිත්ත ගත් කල, මෙනෙහි කළ කෙණෙහි කෙලෙස්හු නූපදින්නාහයි නොකියයුත්තාහ. අරමුණ නිමිති ගැනීම් වශයෙන් අතිශයින් හෝ දැඩිකොට ගත් බැවිනි. කිරි ඇති ගසක් පොරොවෙන් පහළ පහළ තැන කිර නොනික්මෙන්නේ යයි නොකියයුත්තේ යම්සේද, එපරිද්දෙන්ම මේ උත්පන්නය ආරම්මණාධිග්ගහිතුප්පන්න නම් වේ.

සමාපත්තියකින් විෂ්කම්භනය නොකළ කෙලෙස්හු වනාහි මෙනම් තැන නූපදින්නාහයි නොකියයුත්තාහ. කිරි ඇති රුකක් පොරොවෙන් පහරා නම්, මෙනම් තැන කිරි නො නික්මෙන්නේ යයි නො කියයුත්තේ යම්සේ ද, මෙපරිද්දෙන් මේ උත්පන්නය අවික්ඛම්භිතුප්පන්න නම් වේ.

චතුර්විධ මාර්ගයෙන් සමූලඝාතනය නොකළාවූ කෙලෙස්හු වනාහි භවාග්‍රයෙහි හෙවත් නෙවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහි පහළවූ පුද්ගලයා හටත් නූපදින්නාහයි නොකිය යුත්තාහ. ඒ බැවින් එසේ උපදනා කෙලෙස්හු අසමුද්ඝාතොත්පන්න නම් වේ.

මේ උත්පන්නයන් අතුරෙන් වත්තමානුප්පන්න කෙලෙස්හුද, භුත්‍වාවිගතුප්පන්න කෙලෙස්හුද, ඔකාසකතුප්පන්න කෙලෙස්හුද, සමුදාචාරුප්පන්න කෙලෙස්හුද යන චතුර්විධ වූ උත්පන්නය ඇති කෙලෙස්හු මාර්ගයෙන් ප්‍රහාණය කළයුතු කෙලෙස්හු නොවෙත්.

භූමිලබ්ධොත්පන්න වූ ද ආරම්මණාධිග්ගහිතුප්පන්න වූ ද, අවික්ඛම්භිතුප්පන්න වූ ද, අසමුද්ඝාධිතුප්පන්න වූ ද කෙලෙස්හු මාර්ගයෙන් ප්‍රහීණ කළයුතු වේ.

මාර්‍ගයතෙම උපදනා කල්හිම කෙලෙසුන් දුරු කෙරෙයි. මාර්‍ගය තෙම යම් කෙලෙසුන් දුරු කෙරෙයිද, ඒ කෙලෙස්හු අතීතය කියා හෝ අනාගතය කියා හෝ වර්‍තමානය කියාහෝ නොකියයුත්තාහ.

ඉඳින් මාර්‍ගයතෙම අතීතවූ කෙලෙසුන් දුරුකෙරේනම්, ඒ මාර්‍ගයතෙම ක්‍ෂයවූ ක්ලේශය ක්‍ෂය කරන්නේ නම්වේ පහවූ ක්ලේශය පහකරන්නේ වේ. විනාශවූ හෙවත් අස්තඞ්ගතවූ ක්ලේශය විනාශ කරන්නේ වේ. අතීත වූ යම් ක්ලේශ ජාතියක් නැත්තේද, ඒ නැත්තාවූ ක්ලේශ ජාතිය දුරු කරන්නේ නම් වේ.

මාර්‍ගය තෙමේ අනාගතවූ කෙලෙසුන් දුරුකෙරේනම්, එසේ දුරු කිරීමක් ඇතහොත්, නොහටගත් ඒ ක්ලේශ ජාති දුරුකෙරේ නම් වේ නොනිපන් ක්ලේශ ජාතිය, නූපන් ක්ලේශ ජාතිය, පහළනොවූ ක්ලේශ ජාතිය දුරු කෙරේ නම් වේ. අනාගත වූ යම් ක්ලේශයෙක් නැත්ද, නැත්තාවූ ඒ කෙලෙස් මාර්‍ගය විසින් දුරුකෙළේ නම් වේ.

මාර්‍ගයතෙමේ ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් දුරුකෙරේද, එසේ දුරුකිරීමක් ඇතහොත් රාගයෙන් රක්ත පුද්ගලතෙමේ රාගය දුරුකෙරේ නම් වේ. ද්වේෂයෙන් දුෂ්ට පුද්ගලතෙම ද්වේෂය දුරුකෙරේ නම් වේ. මෝහයෙන් මූඪ පුද්ගලතෙම මෝහය දුරුකෙරේ නම් වේ. මානයෙන් බඳනාලද පුද්ගලතෙම මානයද, දෘෂ්ටිපරාමර්‍ශය ඇති පුද්ගල තෙමේ දෘෂ්ටියද, උද්ධච්චයෙන් වික්‍ෂේපයට පත් පුද්ගල තෙමේ උද්ධච්චයද නිශ්චයට නොපැමිණි පුද්ගල තෙමේ විවිකිච්ඡාවද බලවත් බවට පත් කෙලෙසුන් ඇති පුද්ගල තෙමේ අනුසය දුරුකෙරේ නම් වේ. කෘෂ්ණ ශුක්ල ස්වභාවය ඇත්තාවූ කුසලාකුසල ධර්‍මයෝ යුගනන්‍ධව හෙවත් සමධුරයෙහි ගොනුන් මෙන් යුවල යුවලව යෙදුනෝව පවතිත්. කෙලෙසුන්ම අරමුණු කොට ඇත්තාවූ මාර්‍ග භාවනාවක්ද වේ. එසේ කෙලෙසුන් අරමුණුකොට ඇති මාර්ග භාවනාවක් ඇතහොත් එය මාර්ග භාවනාවක් නම් නොවේ ඵලසාක්‍ෂාත් ක්‍රියාවක්ද නැත. කෙලෙසුන් ප්‍රහීණ කිරීමක්ද නැත. චතුස්සත්‍යාවබෝධයක්ද නැත.

නමුත් මාර්ග භාවනාවක්ද ඇත. ඵලසාක්‍ෂාත් කිරීමක්ද ඇත. ක්ලෙශප්‍රහාණයක්ද ඇත ධර්මාභිසමයක්ද ඇත. ඒ බව නොහටගත් ඵල ඇති රුකක් හටගත් ඵල ඇති රුක කරණකොටගෙන දැක්වීම මෙනි.

ඵල ඇති තරුණ අඹ රුකක් ඇද්ද, එහි ඵලයන් මිනිස්සු අනුභව කරන්නාහුය. ඉතිරිවූ ඵලයන් එකතු කොට තබන්නාහ. ඉක්බිති අන්‍ය පුරුෂයෙක් ඒ අඹරුක පොරොවෙන් සිඳින්නේවීනම් ඒ පුරුෂයා විසින් ඒ අඹ රුකගේ පූර්ව ඵලයෝ නොම නස්නාලද්දාහු වෙත්. අනාගතයෙහි වන්නාවූද, දැන් පවත්නාවූද, ඵලයෝ නොනස්නාලද්දාහු වෙත් පූර්වයෙහි හටගත් ඵල මිනිසුන් විසින් අනුභව කරනලදී. අනාගතයෙහි හටගන්නාවූ ඵල නොහටගත් බැවින් නස්නට නොහැක්කේය එසේවීනමුත් යම්කලෙක ඒ අඹරුක සිඳදමන ලද්දේද. එකල්හි හටගත් අඹ ඵල නැද්ද, එහෙයින් දැන් පවත්නා ඵලයෝත් නොනස්නා ලද්දාහුය. ඉදින් අඹ රුක නොසිඳින ලද්දේද, එකල්හි ඒ අඹරුකගේ ඵලයෝ පෘථුවි රසයත්, ආපො රසයත් ප්‍රත්‍යයකොටගෙන යම් ඵල කෙනෙක් උපදින්නාහු නම් එය නස්නාලද්දාහු වෙත්. ඒ ඵලයෝ නොහටගත්තාහුම නො හටගනිද්ද, නූපන්නාහුම නූපදිත්ද, පහළ නුවූවාහුම පහළ නොවෙත්ද, එපරිද්දෙන්ම මාර්ග තෙමේද, අතීතාදී ප්‍රභේද ඇති කෙලෙසුන් දුරු නොකෙරෙයි. ආර්‍ය්‍ය මාර්ගයෙන් ස්කන්‍ධයන් පිරිසිඳ නොදත් කල්හි යම්බඳුවූ කෙලෙසුන්ගේ පහළවීමක් වන්නීද, ආර්‍ය්‍ය මාර්ගය විසින් ස්කන්‍ධයන් පිරිසිඳ දත් හෙයින් ඒ කෙලෙස්හු නූපන්හුම නූපදීති. පහළ නොවූහුම පහළ නොවෙති. බිලිඳු පුතකු ඇති ස්ත්‍රියක්හු නැවත නොවැදීම පිණිසද ගිලන් වූවන් ලෙඩ සංසිඳීම පිණිසද, බොන බෙහෙත් වලින්ද මේ අදහසම ප්‍රකාශ වන්නේය.

මෙසේ ආර්‍ය්‍ය මාර්‍ගතෙමේ යම්බඳුවූ කෙලෙසුන් දුර, කෙරෙයිද, ඒ කෙළෙස්හු අතීතය කියා හෝ අනාගතය කියා හෝ නොකියයුත්තාහ. ආර්‍ය්‍ය මාර්‍ගය තෙමේ කෙලෙසුන් දුරු නොකරන්නේ නොවෙයි, දුරු කරන්නේ මැයි ආර්‍ය්‍ය මාර්‍ගතෙමේ යම් කෙලෙස් කෙනෙකුන් වනාහි දුරු කෙරෙයිද ඒ කෙලෙසුන් සඳහාම “උපන්නා වූ අකුසලයන්” යන වචනය ප්‍රකාශ කරණලදී. හුදෙක් ආර්‍ය්‍ය මාර්‍ගය තෙමේ කෙලෙසුන්ම දුරු නොකරයි කෙළෙසුන් වනාහි අප්‍රහීණ බැවින් යම් උපාදානයන්ට ගොචර වූ ස්කන්‍ධ කෙනෙක් උපදින්නාහු නම්, ඒ උපාදාන ස්කන්‍ධයන්ද, දුරු කෙරේමය.

සොවාන් මග නුවණින් අභිසංස්කාර විඥානය නිරුද්ධව ගිය හෙයින් සප්තාත්මභාව කෙනෙකුන් තබා අක්මුල් නැති අනවරාග්‍රවූ සංසාරයෙහි නාමයත් රූපයත් යන යම් ධර්‍ම කෙනෙක් උපදිත්ද, ඒ නාමරූප ධර්‍මයෝ තූමූ මේ සප්තාත්මභාවයෙහි නිරුද්ධ වෙති.

මෙසේ ආර්‍ය්‍ය මාර්‍ගතෙමේ උපාදින්නස්කන්‍ධයන් කෙරෙන්ද අනුපාදින්න ස්කන්‍ධයන් කෙරෙන්ද නඟී. භව වශයෙන් වනාහි, සොතාපත්ති මාර්‍ගය තෙමේ චතුර්විධ අපාය සඞ්ඛ්‍යාත දුර්‍ගති භවය කෙරෙන් නඟී. සකෘදාගාමි මාර්‍ගය තෙමේ සුගති භවයාගේ එක් දෙසක්හු කෙරෙන් නඟී. අනාගාමි මාර්‍ගය තෙමේ සුගතිකාම භවය කෙරෙන් නඟී. අර්‍හත් මාර්‍ගය තෙමේ රූපාරූප භවයන් කෙරෙන් නඟී. සියලුම භවයන් කෙරෙන්ද නඟීමැයි.

නූපන් කුසල ධර්‍මයන්ගේ උපදවාලීමත්, උපන් කුසල ධර්‍මයන්ගේ ස්ථිතියත් ආර්‍ය්‍ය මාර්‍ගයාගේ පැවැත්ම හේතු කොට ගෙනම වන්නේය.

ආර්‍ය්‍ය මාර්‍ගතෙමේ පවත්නේවීනම්, පැවත්මට පූර්‍වභාගයෙහි නූපන්විරූ බැවින් අනුප්පන්න නමැයි කියනු ලැබේ. යම්සේ නොගියවිරූ තැනට හෝ ගොස් අස්වාදය නොකළ විරූ අරමුණක් හෝ ආස්වාදනකොට, අපි නො ආවිරූ තැනකට ආවාහු වම්හ. ආස්වාදනය නොකළවිරූ අරමුණක් ආස්වාදනය කරම්හ, මෙසේ කියන්නේ වෙත්ද, එපරිද්දෙන් ම, අනුප්පන්න නමැයි කියනු ලැබේ. ඒ ආර්‍ය්‍ය මාර්‍ගයාගේ යම් පැවැත්මක් ඇද්ද, මේ පැවැත්මම ස්ථිති නම් වේ. එහෙයින් ස්ථිතිය පිණිස වඩායයි කියන්නට හෝ කිම හෝ වටී. මෙනයින් ඒ මහණහුගේ ලෝකෝත්තර මාර්‍ගයන් පවත්නා ඇසිල්ලෙහි මේ සම්‍යක්ප්‍රධාන සඞ්ඛ්‍යාත වීර්‍ය්‍ය තෙමේ මේ චතුර්විධ වූ නාමයන් හෙවත් නූපන්නා වූ ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ නොයිපදවීමය, උපන්නා වූ අකුසල ධර්‍මයන්ගේ ප්‍රහාණය, නූපන් කුසල ධර්‍මයන්ගේ ඉපදවීමය, උපන් කුසල ධර්‍මයන්ගේ ඨිතියද පිණිස පවත්නේ යයි කියනු ලැබේ.