ධම්මානුපස්සනාව
චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් මෙනෙහි කරන්නාවූ යෝගාවචරතෙමේ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියා තත්වූ පරිද්දෙන් දන්නේ ය. එසේම මෙය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යයි කියාද, මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි කියාද, මේ දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි කියාද, තත්වූ පරිද්දෙන් දන්නේ ය.
මේ සතර සත්‍ය ධර්මයන් අතුරෙන් ඒ ඒ සත්ත්ව සමූහයෙක්හි අපරිපූර්ණායතන ඇත්තවුන්ගේ වශයෙන් යම් ඉපදීමක් වේද, පරිපූර්ණායතන ඇත්තවුන්ගේ වශයෙන් යම් හටගැනීමක් වේද, අණ්ඩජ ජලාබුජ සත්ත්වයන්ගේ වශයෙන් උත්පත්තිස්ථානයට යම් ඇතුල්වීමක් වේද, සංසෙදජ, ඕපපාතිකයන්ගේ වශයෙන් ප්‍රකට පහළවීමක් වේද, පරමාර්ත්ථවශයෙන් එකවොකාර, චතුවොකාර පංචවොකාර භවයන්හි ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ඒ ඒ තන්හි ආයතනයන්ගේ ලැබීමක් වේද, එය ජාති දුක යයිද,
උපන්නාවූ ඒ ඒ සත්ත්වයන්ගේ යම් ජරාවක් වේද, දිරණ බවක් වේද, ඛණ්ඩ දන්තයන් ඇති බවක් වේද, කෙස් ලොම් ආදීන්ගේ පැසීමක් වේද, සම රැලි බවක් වේද, ආයුෂයාගේ ගෙවීමක් වේද, චක්ෂුරාදි ඉන්ද්රියයන්ගේ මුහුකූරා ගිය බවක් වේද, එය ජරා දුක යයිද,
ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙන් යම් චුතවීමක් වේද, ජීවිතය ගැලවී යන බවක් වේද, පරමාර්‍ත්‍ථ වශයෙන් ස්කන්ධයන්ගේ යම් බිඳීමක් වේද, රූපස්කන්ධාදීන්ගේ අතුරුදන්වීමක් වේද, සම්මුති මරණයක් හෝ වේද, කාල ක්‍රියාවක් වේද, කලෙබරයාගේ නිඃක්ෂේපයක් වේද, එය මරණ දුක යයිද,
ඤාති ව්‍යසන, රෝග ව්‍යසනාදීන්ගෙන් යුක්ත වූ සත්ත්වයාගේ හෝ එක්තරා දුක්ඛ ස්වභාවයකින් ස්පර්ශ කරනලද්දාහුගේ හෝ යම් සොක කිරීමක් වේද, සොක කරන ආකාරයක් වේද, සොක කරන බවක් වේද ඇතුළත සොක කිරීමක් වේද, ඇතුළත විශේෂයෙන් වියලීමක් වේද එය සොකය යයිද,
ඤාති ව්‍යසනාදීන්ගෙන් යුක්ත වූ පුද්ගලයාගේ යම් නම් කියා හැඬීමක් වේද, ගුණ වර්ණනාකොට හැඬීමක් හෝ වේද, නම් කියා හඬන ආකාරයක් වේද, ගුණ කියා හඬන ආකාරයක් වේද එය පරිදේව දුක්ඛ යයිද,
කයෙහි හටගත් යම් දුකක් වේද, කයෙහි හටගන්නා වූ නොමිහිරි බවක් වේද, කාය ස්පර්ශයෙන් හටගන්නා වූ දුක් වූ විඳීමක් වේද, අමිහිරි විඳීමක් වේද, එය කායික දුක්ඛය යයිද,
සිතෙහි හටගන්නා වූ යම් දුකක් වේද, සිතෙහි හට ගන්නා වූ අමිහිරි බවක් වේද, අමනොඥ අරමුණු ස්පර්ශ වීමෙන් සිතෙහි හටගත් දුකක් වේද, සැප නොවූ විඳීමක් වේද, එය දොම්නස ය කියාද,
ඤාති ව්‍යසනාදී දුක්ඛ ධර්මයන්ගෙන් යුක්ත වූ පුද්ගලයාගේ චිත්තක්ලාන්ත ස්වභාවය වූ යම් ආයාසයක් වේද, බලවත් ආයාසයක් වේද, ක්ලාන්ත වූ ස්වභාවයක් වේද, දැඩි ක්ලාන්ත ස්වභාවයක් වේද එය උපායාසය යි කියා ද,
සසර උපදින බව ස්වභාව කොට ඇති සත්ත්වයන්ට, දුක් ගෙන දෙන්නා වූ මේ ඉපදීම නොලැබෙත් නම් යෙහෙක, ජාතිය නො ආයේ නම් යෙහෙකැයි ආශා වූ පරිද්දෙන් නොලැබීම ද, ජරාවෙන් පීඩිත වූ සත්ත්වයාහට ජරාස්වභාවය නොපැමිණෙන්නේ නම් යෙහෙක, ජරාව නොආයේ නම් යෙහෙකැයි ආශා වූ පරිද්දෙන් නොලැබීම ද ව්‍යාධි දුකින් පෙළෙන සත්ත්වයාහට, ව්‍යාධිය නැත්තේ වේනම් යෙහෙක, ව්‍යාධිය නොආයේ නම් යෙහෙකැයි, ආශාවූ පරිද්දෙන් නොලැබීමද, මරණ ධර්මය ස්වභාවකොට ඇති සත්ත්වයාහට, මරණස්වභාවය නැත්නම් යෙහෙක. මරණය නොආයේනම් යෙහෙකැයි, ආශාවූ පරිද්දෙන් නොලැබීමද, එමෙන්ම සොක, පරිදේව, දුක් දොම්නස් උපායාසාදීන් පීඩිත වූ සත්නට එවැනි සොකාදිය නොපැමිණෙන්නේ නම්, නොආයේ නම්, යෙහෙකැයි ආශාවූ පරිද්දෙන් නොලැබීමද, කැමැති දෙය නොලැබී- මෙන් ඇතිවන දුක්ඛය කියාද,
සක්ෂෙපයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, යන පඤ්චුපාදානස්කන්ධයෝම දුකයයි කියාද විදර්ශනාඥාන යෙන් දැනීම දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දන්නේය.
නැවත නැවත භවයෙහි උත්පත්තිය ඇතිකරන්නාවූ නන්දිරාගය හා එක්ව පැවති, රූපශබ්දාදි නොයෙක් අරමුණු ගැනීමෙන් සතුටුවන්නාවූ යම් තෘෂ්ණාවක් වේද, පඤ්චකාම ගුණික රාග වශයෙන් පැවති කාමතෘෂ්ණාවය, භවය ශාස්වතය, නිත්‍යයයි ගෙන රූපාරූප භවයන්හි ප්‍රාර්ථනා වශයෙන් හා ධ්‍යාන නිකාන්ති වශයෙන් පවත්නා භවතෘෂ්ණාය, උච්ඡෙද දෘෂ්ටි වශයෙන්, මෙයින් මත්තෙහි සත්ත්වයාහට භවයක් නැතැයි ගන්නාලද විභවතෘෂ්ණාය යන සියළු තෘෂ්ණාවෝ සමුදයාර්‍ය්‍ය සත්‍යය යයි යම්කිසිවක් ප්‍රියවූ ස්වභාවය ඇත්තේවේද, වින්දයුතුවූ මධුර ස්වභාවය ඇත්තේවේද, තෘෂ්ණාතොමෝ එහිම උපදනේය, එහිම පවත්නේය, චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය මන යන ෂඩ් අධ්‍යාත්මික ආයතනයන්හිද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන ෂඩ් බාහිර ආයතනයන්හිද, චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනො විඤ්ඤාණ යන ෂඩ් විඤ්ඤාණයන්හිද චක්ඛු සම්ඵස්ස, සොත සම්ඵස්ස, ඝාණ සම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස, මනො සම්ඵස්ස යන ෂඩ්විධ ස්පර්ශයන්හිද, චක්ඛුසම්ඵස්සජා වේදනා සොත සම්ඵස්සජා වේදනා, ඝාණසම්ඵස්සජා වේදනා, ජිව්හා සම්ඵස්සජා වෙදනා, කාය සම්ඵස්සජා වෙදනා, මනො සම්ඵස්සජා වේදනා යන ෂඩ්විධ වේදනාවන්හිද, රූප සඤ්ඤා, සද්ද සඤ්ඤා, ගන්ධ සඤ්ඤා, රස සඤ්ඤා, පොට්ඨබ්බ සඤ්ඤා, ධම්ම සඤ්ඤා යන ෂඩ්විධ සඤ්ඤාවන්හිද, රූප සඤ්චෙතනා, සද්ද සඤ්චෙතනා, ගන්ධ සඤ්චෙතනා, රස සඤ්චෙතනා, පොට්ඨබ්බ සඤ්චෙතනා, ධම්ම සඤ්චෙතනා යන ෂඩ්විධ චේතනාවන්හිද, රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා ධම්ම තණ්හා, යන ෂඩ්විධ තෘෂ්ණාවන්හිද, රූප විතක්ක, සද්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ඨබ්බ විතක්ක, ධම්ම විතක්ක යන ෂඩ්විධ විතර්කයන්හිද, රූප විචාර, සද්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ඨබ්බ විචාර, ධම්ම විචාර යන ෂඩ්විධ විචාරයන්හිද ප්‍රියවූ ස්වභාවය වින්ද යුතුවූ මධුරවූ ස්වභාවය ඇති හෙයින් තෘෂ්ණා තොමෝ එකී තන්හි ඉපිද එකී තැන්හිම පවත්නේයයිද දන්නේය.
පුනර්භවය ඇති කරන්නාවූ කාමතෘෂ්ණාදී වශයෙන් ප්‍රභෙද ඇත්තාවූ තෘෂ්ණාවගේ මාර්ග සංඛ්‍යාත විරාගයෙන් යම් නිරවශේෂ නිරෝධයක් වේද, ආලය ඇරිමක් සර්වාකරයෙන් ආලයාගේ දුරලීමක් වේද, ඒ ආලයාගේ මිදීමක් වේද, යම් නොඇලීමක් වේද, එය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යයි විදර්ශනාඥානයෙන් දැන ගන්නේය.
එමෙන්ම මේ දුක්ඛයාගේ නිරෝධය, තෘෂ්ණාවගේ උත්පත්තිස්ථානවූද, පවත්නා ස්ථානවූද, චක්ඛායතනාදී සැට තැන්හිදීම ඇතිවන බවත්, එහිදීම නිරුද්ධවන බවත් දැන වාසය කරන්නේය.
දුක්ඛනිරෝධය පිණිස පිළිපැදියයුතුවූ අංග අටකින් යුත් ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමනි පටිපදා ආර්‍ය්‍යසත්‍ය යයිද දැනගන්නේය. ඒ ආර්‍ය්‍ය මාර්ගාඞ්ග අටදෙනා නම්, මිථ්‍යාදෘෂ්ටියට ප්රතිපක්ෂවූ චතුස්සත්‍ය දන්නා නුවණ යයි කියනලද සම්‍යග් දෘෂ්ටියද, මිථ්‍යා සඞ්කල්පනාවට ප්‍රති පක්ෂවූ නෛෂ්ක්‍රම්‍යාදි කල්පනායයි කියනලද සම්‍යග් සඞ්කල්පනාවද, මිථ්‍යා වචනයට ප්රතිපක්ෂවූ වාග් දුශ්චරිතයෙන් වැළකීම ලක්‍ෂණකොට ඇති සම්‍යග් වචනයද, මිථ්‍යා කර්මාන්තයට ප්රතිපක්ෂවූ කාය දුශ්චරිතාදියෙන් වැළකීම ලක්‍ෂණකොට ඇති සම්‍යග් කර්මාන්තයද, මිථ්‍යා ජීවයට ප්රතිපක්ෂවූ සම්‍යක් ආජීවය ලක්‍ෂණකොට ඇති සම්මා ආජීවයද, මිථ්‍යා වීර්‍ය්‍යයට ප්රතිපක්ෂවූ වීර්‍ය්‍යාරම්භය ලක්‍ෂණකොට ඇති සම්‍යග් ව්‍යායාමයද, මිථ්‍යා ස්මෘතියට ප්රතිපක්ෂවූ අවිප්‍රවාසය ලක්‍ෂණකොට ඇති සම්මා සතියද, මිථ්‍යා සමාධියට ප්රතිපක්ෂවූ අවික්‍ෂේපය ලක්‍ෂණකොට ඇති සම්‍යග් සමාධියද වෙත්.
චතුස්සත්‍යය ධර්මයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව වඩන්නාවූ යෝගාවචරතෙමේ අධ්‍යාත්මිකවූ චතුස්සත්‍ය ධර්මයන් කෙරෙහි ධර්මානුස්මෘති වශයෙන් ඒ ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. අනුන් පිළිබඳවූද චතුස්සත්‍ය ධර්මයන් කෙරෙහිද ධර්මය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක අධ්‍යාත්මයෙහිද, කලෙක පරසන්තානයෙහිද ඇති චතුස්සත්‍ය ධර්මයන් කෙරෙහි, ධර්මය අනුව බලමින් වාසය කරන්නේය ඒ ඒ ධර්මයන්ගේ උත්පත්තියද, විනාශයද දකිමින් වාසය කරන්නේය. මෙසේ අනුපස්සනා වශයෙන් චතුස්සත්‍ය ධර්මයන් සම්මර්ශනය කරන කල්හි, සිහිය මනාකොට එළඹ සිටි කල්හි ඤාණයාගේ වැඩීම හේතුකොටගෙන අර්හත් ඵලයට පැමිණෙන්නේය.
මේ සතර සතිපට්ඨාන ධර්මයන් අතුරෙන් කායානුපස්සනා සතිපට්ඨානය සමථවිදර්ශනා වශයෙන්ද, වේදනා, චිත්ත ධම්මානුපස්සනා සතිපට්ඨානයෝ ශුද්ධවිදර්ශනා වශයෙන්ද දේශනා කරනලදී. සුද්ධවිපස්සනා නම් සමථ භාවනා හා මිශ්‍ර නොවූ විදර්ශනා භාවනාවයි.
මේ සතිපට්ඨානයෝ ලෝකෝත්තර මාර්ගයට පූර්ව භාගයෙහිද නානාක්ෂණිකව හෙවත් නොයෙක් සිත්හි ලැබෙත්. අන්‍යවූම සිතකින් රූපකාය පිරිසිඳ දැනගැනීමද, අන් සිතෙකින් වෙදනා සමූහයද, අන් සිතෙකින් චිත්ත සමූහයද, අන් සිතෙකින් සංස්කාරස්කන්‍ධ පර්ය්යාපන්නවූ නීවරණාදිධර්මයන් පිරිසිඳ දැනගැණීමද වේ. ලොකොත්තරවූ මාර්ග චිත්තක්ෂණයෙහි වනාහි එක් සිතෙක්හිම ලැබෙත්. මුල පටන් රූප කය හෙවත් කෙසාදී සමූහය පිරිසිඳීම් බවට පැමිණි මහණහුගේ විදර්ශනා ජවන් සිත් සමග යෙදුනාවූ ස්මෘති තොමෝ කායානුපස්සනා හෙවත් කායානුදර්ශනා නම් වේ. ඒ ස්මෘතිය හා යුක්ත වූ පෘථග්ජන පුද්ගල තෙමේ කායානුපස්සි හෙවත් කායානුදර්ශි නම් වේ. විදර්ශනාව වඩා ආර්ය්යමාර්ගයට පැමිණි මහණහුගේ මාර්ගක්ෂණයෙහි මාර්ග චිත්තය හා සම්ප්‍රයුක්ත වූ ස්මෘති තොමෝ කායානුපස්සනා හෙවත් කායානුදර්ශනා නම් වේ. ඒ ස්මෘතිය හා යුක්ත වූ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ කායානුපස්සි හෙවත් කායානුදර්ශි නම් වේ. එමෙන්ම වෙදනා සමූහය, චිත්ත සමූහය, සංස්කාරස්කන්‍ධ පර්ය්යාපන්නවූ ධර්ම සමූහය පිරිසිඳීම් බවට පැමිණි මහණහුගේ විදර්ශනා ජවන් සිත් සමග යෙදුනාවූ ස්මෘති තොමෝ ධම්මානුපස්සනා හෙවත් ධර්මානුදර්ශනා නම් වේ. ඒ ස්මෘතිය හා යුක්ත වූ පෘථග්ජන පුද්ගල තෙමේ ධම්මානුපස්සි හෙවත් ධර්මානුදර්ශි නම් වේ. විදර්ශනාව වඩා ආර්‍ය්‍ය මාර්ගයට පැමිණි මහණහුගේ මාර්ගක්ෂණයෙහි මාර්ග චිත්තය හා සම්ප්‍රයුක්ත වූ ස්මෘති තොමෝ ධම්මානුපස්සනා හෙවත් ධම්මානුදර්ශනා නම් වේ. ඒ සතිය හා යුක්ත වූ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ ධම්මානුපස්සි හෙවත් ධර්මානුදර්ශි නම් වේ.
රූප කායයෙහි සුභය යන විපර්‍ය්‍යාසය දුරුකරන්නාවූ, රූපකය පිරිසිඳ සිහිකරන්නාවූ ස්මෘති තොමෝ ලොකොත්තර මාර්ගය හේතුකොටගෙන සමෘද්ධවන හෙයින් කායානුපස්සනා නම් වේ.
වෙදනා සමුදායයෙහි සුඛය යන විපර්‍ය්‍යාසය දුරු කරන්නාවූ වෙදනා සමූහය පිරිසිඳ සිහිකරන්නාවූ ස්මෘතිතොමෝ ලොකොත්තර මාර්ගය හේතුකොටගෙන සමෘද්ධවන හෙයින් වෙදනානුපස්සනා නම් වේ.
චිත්ත සමුදායයෙහි නිත්‍යය යන විපර්‍ය්‍යාසය දුරු කරන්නාවූ චිත්ත සමූහය පිරිසිඳ සිහිකරන්නාවූ ස්මෘති තොමෝ ලෝකෝත්තර මාර්ගය හේතුකොටගෙන සමෘද්ධ වන හෙයින් චිත්තානුපස්සනා නම් වේ.
සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්න වූ ධර්මයන්හි ආත්මය යන විපර්‍ය්‍යාසය දුරු කරන්නාවූ, ධර්මයන් පිරිසිඳ සිහිකරන්නාවූ ස්මෘති තොමෝ, ලෝකෝත්තර මාර්ග චිත්තය හේතුකොට ගෙන සමෘද්ධවන හෙයින් ධම්මානුපස්සනා නම් වේ.
එකලාවූම ලෝකෝත්තර මාර්ගය හා සම්ප්‍රයුක්ත වූ ස්මෘති තොමෝ චතුර්විධ කෘත්‍ය සම්පාදනාර්ත්ථයෙන් චතුර්විධ වූ නාමයන්ම ලබයි.