අභිධර්මාර්ථ ප්‍රදීපිකා

චිත්තානුපස්සනා සතිපට්ඨානය

චිත්තානුපස්සනා භාවනා වඩන්නාවූ යෝගාවචර තෙමේ සොළොස් වැදෑරුම්වූ චිත්තයන් හැඳින විදර්‍ශනා සඞ්ඛ්‍යාත සම්මර්‍ශනය කොට අදහස් මුදුන් පමුණුවා ගන්නේය. ඒ සොළොස් වැදෑරුම් චිත්තයෝ නම්

  1. සරාග චිත්තය
  2. විතරාග චිත්තය
  3. සදොස චිත්තය
  4. වීතදොස චිත්තය
  5. සමොහ චිත්තය
  6. වීතමොහ චිත්තය
  7. සංඛිත්ත චිත්තය
  8. වික්ඛිත්ත චිත්තය
  9. මහග්ගත චිත්තය
  10. අමහග්ගත චිත්තය
  11. සඋත්තර චිත්තය
  12. අනුත්තර චිත්තය
  13. සමාහිත චිත්තය
  14. අසමාහිත චිත්තය
  15. විමුත්ත චිත්තය
  16. අවිමුත්ත චිත්තය
  17. සරාග චිත්තය යනු අෂ්ටවිධ ලෝභසහගත සිත්වලට නමෙකි.
  18. විතරාග චිත්තය යනු ලෞකික කුසලාව්‍යාකෘත හෙවත් කාමාවචර කුසල, විපාක, ක්‍රියා සිත් සූවිස්සය.
  19. සදොස චිත්තය යනු දොසමූල දොම්නස් සහගත අකුසල් දෙසිතය.
  20. විතදොස චිත්තය යනු කාමාවචර කුසල විපාක ක්‍රියා සිත් සූවිස්සය.
  21. සමෝහ චිත්තය යනු මෝහමූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත හා උද්ධච්ච සම්ප්‍රයුක්ත සිතද වේ. මෝහය සියලුම අකුසල් සිත්හි උපදනා බැවින් සමෝහචිත්තයන් කෙරෙන් අන්‍යවූ දස අකුසල් සිත්ද මෙහි ඇතුළත් වේ.
  22. විතමෝහ චිත්තය යනු කාමාවචර කුසල විපාක ක්‍රියා සිත් සූවිස්සය.
  23. සංඛිත්ත චිත්තය යනු ථීනමිද්ධය අනුව ගිය හෙවත් ථීනමිද්ධයෙන් සමන්විත වූ, අරමුණු ගැන්මෙහි හැකිළ ගිය සිතය.
  24. වික්ඛිත්ත චිත්තය යනු උද්ධච්ච සහගතවූ හෙවත් නානාලම්බණයන්හි වික්‍ෂිප්ත වූ සිතය.
  25. මහග්ගත චිත්තය යනු රූපාවචරවූද අරූපාවචර වූද සිතය.
  26. අමහග්ගත චිත්තය යනු කාමාවචර සිතය.
  27. සඋත්තර චිත්තය යනු කාමාවචර සිතය.
  28. අනුත්තර චිත්තය යනු රූපාවචරවූද අරූපාවචර වූද සිතය. මේ සඋත්තර අනුත්තර චිත්තයන් අතුරෙහිද රූපාවචර සිත සඋත්තරය, අරූපාවචර සිත අනුත්තරය.
  29. සමාහිත චිත්තය යනු අර්පණාසමාධියක් හෝ උපචාර සමාධියක් හෝ ඇති සිතය.
  30. අසමාහිත චිත්තය යනු උපචාර අර්පණා සඞ්ඛ්‍යාත උභය සමාධි විරහිතවූ සිතයි.
  31. විමුත්ත චිත්තය යනු තදඞ්ග විමුක්ති, විෂ්කම්භන විමුක්තීන්ගේ වශයෙන් නීවරණයන් කෙරෙන් මනාසේ මිදුණු සිතය.
  32. අවිමුත්ත චිත්තය යනු තදඞ්ග විමුක්ති විෂ්කම්භන විමුක්තීන්ගේ වශයෙන් නීවරණයන් කෙරෙන් නොමිදුණු සිතය.

මෙසේ තමාගේ සන්තානයෙහි උපදනා සොළොස් වැදෑරුම් වූ චිත්තයන්ද, බහිද්ධ සන්තානයෙහි උපදනා එකී චිත්තයන්ද, අජ්ඣත්ත බහිද්ධ වශයෙන් හෙවත් කලෙක තම සන්තානයෙහිද කලෙක පරසන්තානයෙහිද උපදනා එකී චිත්තයන්ද අරමුණු කරමින් සිහිනුවණින් යෙදී වාසය කරන්නාවූ යොගාවචර තෙමේ චිත්තානුපස්සනා වශයෙන් විදර්ශනා වඩා අර්‍හත් ඵලයට පැමිණෙන්නේය.