අභිධර්මාර්ථ ප්‍රදීපිකා

වේදනානු පස්සනා සතිපට්ඨානය

වේදනානුපස්සනා සතිපට්ඨානය වඩන්නාවූ යෝගාවචර තෙමේද, කායානුපස්සනා භාවනාවට කී පරිද්දෙන්ම සියලු කටයුතු සම්පූර්‍ණකොට කමටහන විධි ලෙස ඉගෙන සුදුසු තැනක පහසු ඉරියව්වකින් වාසය කරමින් වැඩිය යුතු. මෙහිදී වේදනාව, වේදනාව අනුව නැවත නැවත බලමින්, තමා පිළිබඳවූද, පරසන්තාන පිළිබඳවූද, අධ්‍යාත්ම බාහිර සන්තාන පිළිබඳවූද, වේදනාව අරමුණු කරමින් වාසය කිරීම දක්වනු ලැබේ.

වේදනානුපස්සනාවට අරමුණු වන්නාවූ වේදනාවෝ නවප්‍රකාරයකින් සංග්‍රහ කොට වදාරා තිබේ. එනම්:

  1. සුඛ වේදනා
  2. දුක්ඛ වේදනා
  3. අදුක්ඛමසුඛ වේදනා
  4. සාමිස සුඛ වේදනා
  5. නිරාමිස සුඛ වේදනා
  6. සාමිස දුක්ඛ වෙදනා
  7. නිරාමිස දුක්ඛ වෙදනා
  8. සාමිස අදුක්ඛමසුඛ වෙදනා
  9. නිරාමිස අදුක්ඛමසුඛ වෙදනා

1. වෙදනානුපස්සනාව වඩන්නාවූ යෝගාවචරතෙම පළමු කොට “සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමිති පජානාති” යනාදි වශයෙන් දක්වන ලද පරිද්දෙන් කායික වූ හෝ චෛතසික වූ හෝ සැප වෙදනාව විඳින්නා වූ හෙතෙමේ, මම සැප වෙදනාව විඳිමියි මෙනෙහි කළ යුතු වේ.

මෙහි විඳීම යන්නෙන් හෙවත් වෙදනාව දැනීම යන්නෙන් සත්ත්‍වය යන දැනීම නොහොත් සත්ත්‍වය යන ලබ්ධිය අත්හරින්නාවූ ද, සත්ත්‍වය යන සංඥාව උගුලුවා, කමටහනක් වශයෙන් ද, සතිපට්ඨානයක් වශයෙන් ද වෙදනාවගේ දැනීම බව දත යුතු. සත්ත්‍වය යන දැනීම ලබ්ධියය. සංඥාව අත් නොහරින්නා වූ ද, කමටහනක් සතිපට්ඨානයක් වශයෙන් නොපවත්නාවූ ද වෙදනාවගේ දැනීම මෙහිදී අදහස් නො කරන ලදී.

අනුපස්සනා වශයෙන් නැවත නැවත වෙදනාව බලන්නාවූ හෙවත් මෙනෙහි කරන්නාවූ යෝගාවචර තෙමේ මේ සුඛ වෙදනාව කිනම් පුද්ගලයෙක් විඳීද, කිනම් පුද්ගලයෙක්හුගේ වෙදනාවද, හෙවත් කිනම් කරුණකින් වෙදනා නම් වේද යනාදි වශයෙන් නුවණින් මනාකොට විසඳා දතයුතු.

වෙදනාවට විඳින්නාවූ සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත. එමෙත්ම මේ වෙදනාව සත්ත්‍වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ වෙදනාවක් නොවේ. මේ වෙදනාව තමාගේ උත්පත්තියට කාරණා වූ අර්ථයෙන් වස්තු නම් ලද අරමුණ ඇත්තී වේ. නොහොත් වස්තු සඞ්ඛ්‍යාත ආලම්බණය ඇත්තාවූ ධර්‍ම ජාතියක් වේ. මෙසේ සුඛාදීන්ගේ වස්තුභූතවූ අරමුණ අරමුණුකොට වෙදනාතොමෝ විදී යයි සලකන්නාවූ යොගාවචර තෙමේ සැප වෙදනාව විඳිමියි කියා දනී.

පෙර එක්තරා තෙරනමක් ගිලන් වූ කල්හි බලවත්වූ දුක්ඛ වෙදනාවෙන් කෙඳිරිගාමින් ඈත මෑත පෙරළෙමින් සිටිනු දැක එක්තරා නවක භික්‍ෂුවක් ‘වහන්ස, නුඹ වහන්සේගේ කවර තැනෙක් රිදේදැයි’ ඇසුවේය. එවිට ඒ තෙරහු ඇවැත්ති, වෙන් වශයෙන් රිදෙන තැනෙක් නම් නැත. වෙදනාවට වස්තු වූ අරමුණු අරමුණුකොට වෙදනාතොමෝ විඳී යයි කී කල්හි, වහන්ස, ඉවසීම මැනවැයි කීය. එවිට රෝගය උත්සන්නවී ශස්ත්‍රකවාතය තෙමේ හදවත දක්වා පැලී ඇඳෙහි අතුණුහු රැස්ව සිටි කල්හි නවක භික්‍ෂුවට එය දක්වා මෙපමණ වූ ඉවසීමක් වටීදැයි ඇසීය. නවක භික්‍ෂුව නිශ්ශබ්දවිය. ස්ථවිරයන් වහන්සේ වීර්‍ය්‍ය හා සමාධිය වඩා ලොකෞත්තර වූ සිව්පිළි සිඹියාවන් හා සමඟ රහත් ඵලයට පැමිණ සමසිසීව පිරිනිවන් පෑ සේක හෙවත් අර්හත් මාර්‍ගඵල පදප්‍රාප්තව ඉන් නැග මාර්‍ග ප්‍රත්‍යවේක්‍ෂණ, ඵල ප්‍රත්‍යවේක්‍ෂණ, නිර්‍වාණ ප්‍රත්‍යවේක්‍ෂණ, ප්‍රහීණක්ලේශ ප්‍රත්‍යවේක්‍ෂණ වාරයට අනතුරු වූ චිත්තවාරයෙහි අනුපාදිශේෂ පරිනිර්‍වාණ ධාතු වෙන් පිරිනිවි සේක.

රූප කමටහන, අරූප කමටහන යන ද්විවිධ කමටහන් අතුරෙන් අරූප කමටහන දේශනා කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ බොහෝසෙයින් වෙදනාවගේ වශයෙන්ම දේශනා කළ සේක. ඒ අරූපකමටහන ස්පර්‍ශ වශයෙන් ද, වෙදනා වශයෙන් ද, චිත්ත වශයෙන් ද යන ත්‍රිවිධාකාරයෙන් දක්වනු ලැබේ. යම් යොගාවචරයෙකු හට රූප කර්‍මස්ථානය වඩනා කල්හි ඒ කර්‍මස්ථානභූතවූ ආලම්බනයෙහි චිත්ත චෛතසිකයන්ගේ පළමුව හටගැනීමේදී ඒ අරමුණු ස්පර්‍ශ කරන්නාවූ කල්හි ස්පර්‍ශය තෙමේ ප්‍රකට වේ. ඇතැම් යොගාවචරයෙකුහට ඒ අරමුණු විඳීම් වශයෙන් උපදනා වේදනාව ප්‍රකටව පහළවේ. ඇතැම් කෙනෙකුට අරමුණ මෙනෙහි කරන කල්හි අරමුණ දැනීම වශයෙන් උපදනා විඤ්ඤාණය හෙවත් සිත ප්‍රකට වේ.

ඒ ත්‍රිවිධ පුද්ගලයන් අතුරෙන් යම් පුද්ගලයෙකුහට ස්පර්ශය තෙම ප්‍රකටව පහළවේද ඔහුට ස්පර්ශය පමණක් නූපදී. ඒ අරමුණම විඳින්නාවූ වේදනා තොමෝ ද, ඒ ස්පර්ශය හා සමගම අරමුණ හඳුනන්නාවූ සංඥා තොමෝ ද ආලම්බණග්‍රහණයෙන් යථාරූඪවූ සම්ප්‍රයුක්ත ධර්මයන් අරමුණෙහි යොදන්නාවූ නොහොත් කර්ම සිද්ධිය කරන්නාවූ චෙතනා තොමෝ ද, අරමුණු වෙසෙසින් දන්නාවූ විඤ්ඤාණය තෙමේ ද උපදී. මෙසේ ඔහු ඵස්සපඤ්චකය හෙවත් ස්පර්ශය හා යුක්තවූ ධර්මයන් පස්දෙනෙකුන්ම සම්මර්ශනය කෙරෙයි.

එමෙන්ම වේදනාව ප්‍රකටව පහළවන්නාවූ පුද්ගලයා හට ද විඤ්ඤාණය ප්‍රකටව පහළවන්නාවූ පුද්ගලයාහට ද මේ ඵස්සාදී ධර්ම පඤ්චකයම පහළවන බැවින් ඒ ධර්මයන් පස්දෙනෙකුන්ම සම්මර්ශනය කෙරෙයි.

එවිට ඒ යෝගාවචරතෙම ඵස්ස පඤ්චක වූ මේ ධර්මයෝ තුමූ කුමක් ඇසුරු කොළෝ දෑ යි ආවර්ජනය කරණුයේ වස්තුව නම් වූ මේ කරජකය ඇසුරු කළහයි නුවනින් දනී. ඒ කරජකයද, ස්වරූප වශයෙන් භූතොපාදාය රූප සමුදාය බව දනී. මෙසේ වස්තු ස්පර්ශපඤ්චක ධර්මයන් අතුරෙන් වස්තු නම්වූ කරජකය තෙමේ රූප ධර්ම නමැයි ද, ස්පර්ශ පඤ්චක ධර්මයෝ නාම ධර්මයයි ද දනී. මේ නාමරූපයම දක්නාවූ හෙතෙම රූපය තෙමේ රූපස්කන්‍ධය යයි ද, නාමය තෙමේ චතුර්විධ වූ අරූපී වූ ස්කන්‍ධයෝ ය යි ද, පඤ්චස්කන්‍ධ මාත්‍ර වශයෙන් දක්නේය. මේ නාමරූප ධර්මයන් කෙරෙන් විනිර්මුක්ත වූ පඤ්චස්කන්‍ධයෙක් හෝ පඤ්චස්කන්‍ධයෙන් විනිර්මුක්ත වූ නාමරූප ධර්මයෙක් හෝ නැත්තේය.

අනතුරුව හෙතෙමේ මේ පඤ්චස්කන්‍ධයෝ තුමූ කුමක් හේතුකොට ඇත්තාහුදැයි පරීක්‍ෂා කරනුයේ අවිද්‍යාදිය හේතුකොට ඇත්තාහයි දක්නේය. ඒ ප්‍රත්‍ය දර්‍ශනයෙන් මත්තෙහි ප්‍රත්‍යම වූ ද, ප්‍රත්‍යොත්පන්නම වූ ද මේ ධර්‍ම ස්වභාවය තෙම අන් සත්ත්‍වයෙක් හෝ අන් පුද්ගලයෙක් හෝ නොවේය, හුදෙක් සංස්කාර ධර්‍ම සමූහ මාත්‍රයක්මැ යි මෙසේ ප්‍රත්‍යයන් හා එක්ව පවත්නා නාමරූප ධර්‍මයන් වශයෙන් තිලකුණු නගා විදසුන් නැණ පිළිවෙලින් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යැයි මෙසේ සම්මර්‍ශනය කරමින් වාසය කෙරෙයි. හෙතෙම ප්‍රතිවේධය හෙවත් මාර්‍ගාධිගමය අද අද යැයි කැමැති වෙමින් වාසය කරන්නේ එබඳු වූ දිනෙක උතුසප්පාය හෙවත් සත්ප්‍රාය වූ ඍතුවක් හෝ, පුග්ගල සප්පාය හෙවත් සත්ප්‍රාය වූ පුද්ගලයෙකු හෝ, භෝජන සප්පාය හෙවත් සත්ප්‍රාය වූ භෝජනයක් හෝ, ධම්මසවණ සප්පාය හෙවත් සත්ප්‍රාය වූ ධර්‍මශ්‍රවණයක් හෝ ලැබ එක් පර්‍ය්‍යඞ්කයෙක්හිම භිඳගෙන විදර්‍ශනා කර්‍මස්ථානය මුදුන් පමුණුවා අර්‍හත් ඵලයෙහි පිහිටයි.

ස්පර්‍ශයාගේ වශයෙන් හෝ විඤ්ඤාණයාගේ වශයෙන් හෝ වදාරණු ලබන්නාවූ අරූප කර්‍මස්ථානය ප්‍රකට නොවේ. අඳුරු වූවක්හුමෙන් වැටහෙයි. වේදනාවගේ වශයෙන් වනාහි ප්‍රකට වන්නේය. වේදනාවගේ ඉපදීම ප්‍රකටවන හෙයිනි. වේදනාවන් අතුරෙන් ද සුඛ දුක්ඛ වේදනාවන්ගේ ඉපදීම ප්‍රකටය. යම් කලෙක සුඛ වේදනාව උපදීද, එකල්හි මුළු ශරීරය කලඹමින්, මඩිමින් පතුරමින් ගල්වන්නක්හු මෙන් හෝ ඉසින්නාක්හුමෙන් සියක්වර හුණුකොට දියෙහි ලා නගාගත් ගිතෙලක් කවන්නක්හුමෙන්, දිය කල දහසකින් තැව්ලිය හෙවත් විඩාව සන්සිඳවීමක් මෙන් “අහො සුඛං අහො සුඛං” යි ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරවමින්ම උපදී.

යම් කලෙක දුක්ඛ වේදනාව උපදීද, එකල්හි මුළු සිරුර කලඹමින්, මඩිමින්, පතුරමින්, ගල්වන්නක්හු මෙන්, ඉසින්නක්හු මෙන් කෙරෙමින්, ගිනියම් කළ දම්වැළකින් වෙළන්නාක්මෙන් හුණු තඹ ලෝදියෙන් ඉසින්නක්හු මෙන් වියලී තණ පඳුරු ඇති වනයෙහි දර ගිනිහුළු මිටියක් බහාලන්නක්හු මෙන් “අහො දුක්ඛං, අහො දුක්ඛං”යි නන්දොඩවමින්ම උපදී.

මෙපරිද්දෙන් සුඛ දුක්ඛ වෙදනාවන්ගේ ඉපදීම ප්‍රකට වේ.

අදුක්ඛමසුඛ සඞ්ඛ්‍යාත උපෙක්‍ෂා වෙදනා තොමෝ වනාහි දැක්වීමට දුෂ්කරය. අඳුරක් මෙන් ප්‍රකාශ නොවේ. උපෙක්‍ෂා වෙදනා තොමෝ සුවදුක් දෙදෙනාගේ පහවීමක් ඇතිකල, සුවදුක් දෙදෙනා ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් හා උදාසීනාකාර භාවයෙන් වටහා ගන්නාහට ප්‍රකට වේ. වනලැහැබෙක්හි මුවෙකු පසුපස්සෙහි එලවා යන වැදි තෙමේ, මුවාගේ පා සටහන් දැක මුවා ගිය මග යන්නේ, ගල්තලාවක් දැක, එයින් නැග ගිය මුවා ඉන් ඔබ්බෙහි තබනුලැබූ පා සටහනින් ගල්තලාවෙහි මේ මගින් යන්නට ඇතැයි නිශ්චය කරගන්නාක්මෙන් සුඛ දුක්ඛ දෙදෙනාගේ අතර වූ උපෙක්‍ෂා වෙදනාව දැනගනු ලැබේ. මුවා නැග ගිය තැන පා සටහන මෙන් සුඛ වෙදනාවගේ ඉපදීම ද බැසගිය තැන පා සටහන මෙන් දුක්ඛ වෙදනාවගේ ඉපදීමද ප්‍රකට වේ. මෙතැනින් නැංගේය, මෙතැනින් බැස්සේය, ගල මැදින් මෙසේ ගියේවනැයි වටහා ගැනීම මෙන් සුව දුක් දෙදෙනා පහව ගිය කල්හි සුව දුක් ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් උදාසීනාකාරයෙන් උපදනා වෙදනාතොමෝ අදුක්ඛමසුඛ වෙදනා නමැයි වටහා ගන්නහු හට ප්‍රකට වේ.

මෙපරිද්දෙන්ම සාමිසවූ සුඛ, දුක්ඛ, උපෙක්ඛා වෙදනා විඳිනා කල්හිද, නිරාමිසවූ සුඛ, දුක්ඛ, උපෙක්ඛා වෙදනා විඳිනා කල්හිද ඒ බැව් නුවණින් දනිමින් වාසය කෙරෙයි මෙහි සාමිසය යනු පස්කම් සැපත් යයි කියනලද ආමිසයන් ඇසුරුකළාවූ ෂඩ්වාරයන් පිළිබඳ පැවති ෂඩ්විධවූ වෙදනාවෝයි. සාමිස සුඛවේදනා නම් ෂඩ්ද්වාරයන් පිළිබඳ පැවැති ෂඩ්විධ වූ සොම්නස් වෙදනාවෝ යි නිරාමිස සුඛ වේදනා නම් ෂඩ් ද්වාරයන්හි පස්කම් සැපතින් නික්මීම ඇසුරුකළාවූ ෂඩ්විධ සොම්නස් වෙදනාවෝ යි. සාමිස දුක්ඛ වේදනා නම් ෂඩ් ද්වාරයන්හි පස්කම් සැපත් යයි කියනලද ආමිසයන් ඇසුරු කළාවූ ෂඩ්විධ වූ දොම්නස් වෙදනාවෝ යි. නිරාමිස දුක්ඛ වේදනා නම් ෂඩ් ද්වාරයන්හි පස්කම් සැපතින් නික්මීම ඇසුරු කළාවූ ෂඩ්විධ වූ දොම්නස් වෙදනාවෝයි. සාමිස අදුක්ඛමසුඛ වේදනා නම් ෂඩ් ද්වාරයන්හි පස්කම් සැපත් යයි කියනලද ආමිසයන් ඇසුරු කළාවූ ෂඩ්විධ වූ උපෙක්‍ෂා වෙදනාවෝයි. නිරාමිස අදුක්ඛම සුඛ වේදනා නම් ෂඩ්ද්වාරයන්හි පස්කම් සැපතින් නික්මීම ඇසුරු කළාවූ ෂඩ්විධ උපෙක්‍ෂා වෙදනාවෝ යි.

මෙපරිද්දෙන් නවවිධ වූ වෙදනාවන් නැවත නැවත නුවණ නම්ලද අනුදර්‍ශනාවෙන් බලන්නා වූ යෝගාවචර තෙමේ අධ්‍යාත්ම සන්තානගත වෙදනාවන් නැවත නැවත අරමුණු කරමින් වාසය කරන්නේය. එසේම පරසන්තානගත හෙවත් පරපුද්ගලයන් පිළිබඳ වෙදනාවන් ද අරමුණු කරමින් වාසය කරන්නේය. එසේම අජ්ඣත්තබහිද්ධ වශයෙන් කිසිකලෙක ස්වසන්තානය පිළිබඳ වෙදනාවන්ද කිසිකලෙක පරසන්තානගත වෙදනාවන්ද අරමුණු කරමින් වාසය කරයි.