කායානුපස්සනා සතිපට්ඨානය
කාය යන පදයෙන් රූප කාය යන අර්ථය ගතයුතු. මේ රූප කාය, අඞ්ගප්රත්යඞ්ගයන්ගේ ද, කෙශාදී වූ නිස්සත්ත්වනිජ්ජීව ස්වභාවයන්ගේ ද සමූහාර්ථය හේතුකොට ගෙන කාය යයි කියනු ලැබේ, එපරිද්දෙන් ම මේ රූප කාය. වැඩියක් පිළිකුල් වූ කෙසාදී කුණපයන්ගේ උප්පත්ති ස්ථාන වන අර්ථයෙන් ද, කාය නම් වේ. අනුපස්සනා යනු නැවත නැවත ඇති තත්ත්වයෙන් දැකීමයි. මෙසේ රූප කායෙහි රූපකාය ඇති තත්ත්වයෙන් නැවත නැවත බැලීම පිණිස සිහිය මනාකොට පිහිටුවා ගැනීම කායානු- පස්සනා සතිපට්ඨාන නම් වේ.
මේ රූප කායයෙහි, රූප කායයම නැවත නැවත දක්නා ස්වභාවයෙන් වාසය කරන යොගාවචර තෙමේ, එහි වේදනානුපස්සනා වශයෙන් හෝ චිත්තානුපස්සනා වශයෙන් හෝ, ධම්මානුපස්සනා වශයෙන් හෝ නැවත නැවත දැකිමක් නො කරන්නේය.
එ පරිද්දෙන් ම, රූප කායයෙහි කුදු මහත් අඞ්ගප්රත්යඞ්ගයන් කෙරෙන් විනිර්මුක්ත වූ අන්‍ය ධර්මයක්හු නැවත නැවත දකිමින් වාසය නො කෙරෙයි.
එසේම කෙසලොමාදීන් කෙරෙන් විනිර්මුක්ත වූ ස්ත්‍රී පුරුෂ කෙනෙකුන් නැවත නැවත දකිමින් වාසය නො කෙරෙයි.
නැවත නැවත රූප කායයෙහි කය අනුව බලන්නා වූ යොගාවචර තෙමේ කෙස් ලොම් ආදි කොට ඇති භූතරූප උපාදාය රූපයන් ගේ සමූහ යයි කියන ලද යම් කායයෙක් ඇද්ද, ඒ කායයෙහි ද භූතරූප උපාදාය රූපයන් කෙරෙන් විනිර්මුක්ත වූ අන්‍ය ධර්මයක්හු නැවත නැවත දකිමින් වාසය නො කෙරයි.
සත්‍ය වශයෙන් රථයක් බලන්නාවු පුරුෂතෙම, රියසක්, රියනැබ ආදී වූ රථ සම්භාරයන් නැවත නැවත බලන්නාක් මෙන් ද, නුවරක් බලන්නාවූ පුරුෂතෙම එහි අවයවයන් නැවත නැවත බලන්නාක්හු මෙන් ද, කායානුපස්සනා සතිපට්ඨානය වඩන්නා වූ යොගාවචර තෙමේ කෙස්-ලොම් ආදී අවයවයන් නැවත නැවත දැකිමින් වාසය කරයි.
එමෙන්ම කෙසෙල් කඳ පතුවැටි වෙන් කරන්නා වූ පුරුෂයෙක්හු මෙන් ද, භූතරූප උපාදාය රූපයන්ගේ සමුදාය නැවත නැවත දකිමින් ම වාසය කෙරෙයි. මෙසේ සමූහ වසයෙන් ම කාය සඞ්ඛ්‍යාත වූ ආලම්බනය දැකිමෙන්, ඝන විනිර්භෝගය හෙවත් සමූහ භූත වූ ධර්මයන් වෙන් කිරීම දක්නා ලද්දේ වේ. මෙසේ කය දක්නා වූ යොගාවචර තෙමේ භූතරූප උපාදාය රූපයන්ගේ සමූහය කෙරෙන් විනිර්මුක්ත වූ කයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් හෝ අන් කිසි ධර්ම කෙනෙක් හෝ නො දක්නේය. යම් ස්ත්‍රී පුරුෂාදියෙක් හු ඇසින් දකිද. ඒ ස්ත්‍රී පුරුෂාදිය දකින ලද්දේ නොවේ. යම් රූපායතනයක්හු ස්ත්‍රී පුරුෂාදී මිථ්‍යා දර්ශනයෙන් දකිද, වරදවා දුටු ඒ ස්ත්‍රී පුරුෂාදිය රූපායතන ද නොවේ. රූපායතනය තෙමේ, ස්ත්‍රී පුරුෂාදී ප්රඥප්ති සඞ්ඛ්‍යාත ධර්මායතනයද නොවේ. ඒ දක්නා ලද රූපායතනය හෝ කෙසාදී භූතොපාදය සමූහ සඞ්ඛ්‍යාත වූ රූපකාය හෝ නුවණැසින් පරමාර්‍ත්‍ථ සත්‍ය වශයෙන්ද නොදකී.
මෙසේ දක්නා හෙතෙම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අශුභවූ ම මේ රූප කායයෙහි නිත්‍ය, සුඛ, ආත්ම, සුභ හාවය දකිමින් වාසය නො කෙරෙයි. අනිත්යාකාරවූ, දුක්ඛාකාරවූ, අනාත්මාකාරවූ, අසුභාකාරවූ කෙසාදී සමූහය, නැවත නැවත දකිමින්ම වාසය කෙරෙයි.
මෙසේ කායානුපස්සනා සතිපට්ඨානය වඩන්නා වූ භික්ෂු තෙම සප්තවිධ අනුපස්සනා වශයෙන් හෙවත් අනිච්චානු- පස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරොධානුපස්සනා, පටි- නිස්සග්ගානුපස්සනා වශයෙන් වඩන්නේ මේ කෙසාදී වූ නිස්සත්ත්ව නිජ්ජීව ධර්ම සමූහය අනිත්‍ය වශයෙන් දකී. නිත්‍ය වශයෙන් නොදකී දුක්ඛ වශයෙන් දකී සුඛ වශයෙන් නොදකී. අනාත්ම වශයෙන් දකී ආත්ම වශයෙන් නොදකී. මෙසේ දක්නා වූ හෙතෙම රූපයෙහි කළ කිරෙයි. රූපය පැවැත්වීමට උත්සාහ නො කෙරෙයි. ඇල්මෙන් පහ වෙයි නො ඇලෙයි. නිරොධය කෙරෙයි. නො පවත්වයි. ඉවත් කරයි. නොගනී.
කායානුපස්සනාව වඩන්නා වූ යොගාවචර තෙමේ චතුර්විධ ඉරියව්වකින් එකක් ගෙන වාසය කෙරෙයි. හෙතෙම තමාගේ ශරීරය හෙවත් අධ්‍යාත්මික රූපකාය ගෙන භාවනා කරන්නේ නම් අධ්‍යාත්ම රූප කායයෙහි කෙසාදී භුතොපාදාය රූපයන් අරමුණු කරයි. බහිද්ධාකාය හෙවත් පරසන්තාන ගත රූපකාය ගෙන භාවනා කරන කල්හි බාහිර වූ කෙසාදීන් අරමුණු කරයි. අජ්ඣත්තබහිද්ධ වශයෙන් භාවනා කරන කල්හි ඇතැම් විටෙක තමාගේ රූපකාය අරමුණු කරයි. ඇතැම් විටෙක පර සන්තාන ගත රූපකාය අරමුණු කරමින් වාසය කෙරෙයි. එකවර අධ්‍යාත්ම බාහිර ධර්මයන් අරමුණු කිරීමක් නොවන බව දත යුතුයි.
මේ භාවනායෙහි යෙදෙන යෝගාවචර තෙමේ කෙලෙස් තවන වීර්යයෙන් සමන්විත කෙනෙකුන් වියයුතු. මෙතෙම සිහිය කරණකොට ගෙන අරමුණ ස්මරණය කරන්නේය. සම්පජඤ්ඤ යයි කියන ලද ප්‍රඥාව කරණකොටගෙන සම්මර්ශනය කරන්නේය. සිහියෙන් තොරවූ යෝගාවචරයා හට අනුපස්සනාවක් නම් නොවන්නේය.
භාවනාවගේ ඵලයක් වශයෙන් මේ යෝගාවචරයා හට රූපකාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා දෝමනස්සයන්ගේ තදඞ්ග විෂ්කම්භන වශයෙන් ප්රහාණය වන්නේය.
අභිද්‍යාව හෙවත් දළ ලෝභයෙන් කාමච්ඡන්ද නීවරණයද දෝමනස්සයෙන් ව්‍යාපාද නීවරණයද දක්වනු ලැබේ පඤ්ච නීවරණ ධර්මයන් අතුරෙන් ප්‍රබල වූ මේ කාමච්ඡන්ද, ව්‍යාපාද යන නීවරණ දෙක ගත් කල්හි ඉතිරි නීවරණ තුනද එයින් ම ගැණෙනු ලැබේ. අභිද්‍යාව ගැනීමෙන් රූපකායයාගේ සම්පත්තියට මූලභූත වූ අනුකූලත්වයත්, දෝමනස්සය ගැනීමෙන් රූප කායයාගේ විපත්තියට මූලභූතවූ අනුකූලත්වයත් ප්‍රකාශ වේ අභිද්‍යාව ප්රහාණය කිරීමෙන් රූප කායයෙහි දැඩි ආලයත්, දෝම්නස ප්රහාණය කිරීමෙන් කායානුපස්සනා භාවනාවෙහි නො ඇලීමත්, අභිද්‍යාව දුරු කිරීමෙන් රූප කායයෙහි අවිද්‍යමාන වූ සුභත්ව, සුඛත්වයන්ගේ පහ කිරීමත්, දෝම්නස දුරු කිරීමෙන් රූප කායයෙහි විද්‍යමාන වූ අසුභත්ව අසුඛත්වාදීන්ගේ බැහැරලීමත් ප්‍රහාණයත් වන බව දතයුතු.
කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව තුදුස් ආකාරය කින් දක්වා තිබේ ඒ තුදුස් ආකාරය නම්:-
- ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් ආනාපාන සතිය වැඩීම
- ඉරියාපථ වශයෙන් සතිය වැඩීම
- සාත්ථක, සප්පාය, ගෝචර, අසම්මෝහ වශයෙන් හෙවත් චතුසම්පජඤ්ඤ වශයෙන් සතිය වැඩීම
- පටික්කූල මනසිකාර වශයෙන් සතිය වැඩීම
- ධාතු මනසිකාර වශයෙන් සතිය වැඩීම 6-14. නව සීවථිකා වශයෙන් සතිය වැඩීම
මේ තුදුස් ආකාරයන් අතුරෙන් පටික්කූලමනසිකාර වශයෙන් කායානුපස්සනාව වඩන්නාවූ පුද්ගල තෙම රූපකාය පිළිකුල් කොට දකී.
මේ රූපකාය වතාහි පත්ලෙන් උඩ, කෙසගින් යට සරසින් සමසීමාකොට ඇති නානාවිධ වූ අශුචින් පිරුණේ වේ සිරුර තෙමේ අසූචි රැසක් වන හෙයින් පිළිකුල් කටයුතුවූ, කෙසලොමාදී වූ දෙතිස් කුණප කොට්ඨාසයන් ගේ හා, ඇස් ලෙඩ මුල්කොට ඇති සිය ගණන් රෝගයන්ගේද, උත්පත්තිස්ථාන වන හෙයින් කාය යයි කියනු ලැබේ. මේ කුණු රූප කායයෙහි සියලු අයුරින් විමසන්නේ වී නමුත් නුවණැති කිසිවෙක්, යම්කිසි මුතු ඇටයක් හෝ මැණිකක් හෝ වටිනා කිසිවක් හෝ නො දකී. ශුචි භාවයක් නොදකී. ඉතා දුගඳ, පිළිකුල් බව ඇති නානාවිධ වූ කේශ ලොමාදි ප්‍රභේද ඇති අශුචි දෙයක්ම දකී.
මෙසේ මේ කමටහන වඩා මාර්ගඵලාධිගමය ලබනු කැමැති කුලපුත්‍ර තෙමේ, මුලදීම චතුර්විධ වූ සීලය පිරිසිදු කොට, ඉතා පිරිසිදු ශීලයෙහි පිහිටියහු විසින් ආවාස, කුල, ලාභ, ගණ, කම්ම, අද්ධාන, ඤාති, ආබාධ, ගන්ථ, ඉද්ධි යන දසවිධ පළිබෝධයන් අතුරෙන් යම් පළිබෝධයක් ඇද්ද, එය දුරුකොට, භාවනා කිරීමට ප්‍රථම කළයුතු සියළු කෘත්‍යයන් කොට නිමවා, පටික්කුලමනසිකාරය නම් කමටහන වැඩීමෙන් ප්‍රථමධ්‍යානය උපදවා, ධ්‍යානය පාදක කොටගෙන විදසුන් වඩා රහත් ඵලයට හෝ, අනාගාමි ඵලාදීන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණියාවූ හෝ යටත් පිරිසෙයින් අටුවා සහිත පෙළ දහම්හි කරණ ලද අභ්‍යාසය ඇති කල්‍යාණ මිත්රයෙක්හුගේ හෝ හමුවෙහි කමටහන ඉගෙනගත යුතු. යථොක්ත ස්වභාවය ඇත්තාවූ කල්‍යාණමිත්‍ර වූ ආචාර්ය්යවරයෙක් එක් විහාරයක නො ලබන්නාහු නම් ඔහු වසන වෙහෙරට ගොස් ඉගෙණගත යුතු.
කමටහන කියන්නාවූ ආචාර්ය්යවරයා විසින් තුන් පරිද්දෙකින් කියයුතු.
පෙර ඉගෙනගන්නා ලද කමටහන් ඇති පුද්ගලයෙක් නම් එක් වරක් හෝ දෙවරක් හිඳින කල් හැදැරීම කරවා යැවිය යුතු.
ආචාර්ය්යවරයා හමුවෙහි වැස උගෙණු කැමැත්තේ නම් ඔහට ආ ආ කල්හි කමටහන කියවිය යුතු.
යමෙක් කමටහන ඉගෙණ අන් තැනකට යනු කැමැත්තේ නම් ඔහුට වැඩියක් විස්තර නොකොට වැඩියක් ලුහුඬු නොකොට, නිරවුල් කොට ගැටළු තැන් නැතිකොට කමටහන කියවිය යුතු.
තවද, ආචාර්ය්යවරයා විසින් ඔහට සත්පරිද්දෙකින් වාචොද්ගත කරණාදි වශයෙන් උග්ගහකොසල්ලය හෙවත් උගැන්මෙන් නිපයන කෞශල්‍ය සඞ්ඛ්‍යාත ඥානය ද, මනසි- කාර කොසල්ලය හෙවත් මෙනෙහි කිරීමෙන් නිපයන කෞශල්‍ය සඞ්ඛ්‍යාත ඥානය ද ඇතිකොට දියයුතු.
මේ උද්ග්‍රහ මනස්කාර කෞශල්‍යයන් අතුරෙන්, බසින, සිතින, වර්ණවශයෙන, සණ්ඨාන වශයෙන, දිශා වශයෙන, ඕකාසවශයෙන, පරිච්ඡේද වශයෙනැයි සත් පරිද්දෙකින් වාචොද්ගතකරණාදී වශයෙන් උගැන්මෙහි නිපුන කෞශල්‍ය සඞ්ඛ්‍යාත ඥානය ඇතිකළ යුතුයි. ත්‍රිපිටකධාරී වූ කෙනෙක් වුවද, පළමුකොට බසින් හැදෑරීම කළයුතු වේ. ඇතැම් කෙනෙකුට හදාරමින් සිටියදීම කමටහන පහළ වේ.
ලක්දිව මලය දනව් වැසි මහාදෙව තෙරුන්ගේ සමීපයෙහි උගත් කමටහන් ඇති තෙරුන් දෙනමකට පහළවුවාක් මෙනි. මහාදෙව තෙරුන්වහන්සේ ඒ තෙරුන් දෙදෙනහු විසින් කමටහන ඉල්වන ලද්දේ, සිව්මසක් මුළුල්ලෙහි මේ කමටහන මේ පරිද්දෙන් හැදෑරීම කරව් යයි දෙතිස් කුණපයන් පිළිබඳ වූ කේශා ලෝමා ආදී වූ පාළිය දුන්නේය. දෙතුන් වරකින් ඒ දෙනමට පාළිය පුහුණුවූවද, ඔහු අනුරූපවශයෙන් ගන්නාසුලු වන බැවින් සිව්මසක් මුළුල්ලෙහිම පිළිකුල් භාවනා පෙළ හදාරමින් සොවාන් වූවාහුය. එහෙයින් ආචාර්‍ය්‍යයා විසින් පළමු කොට බසින් හැදෑරීම කරවයි කිවයුතු.
බසින් හදාරන යෝගාවචරයා විසින් තචපඤ්චකාදීන් පිරිසිද, අනුලොම් පටිලොම් වශයෙන් හැදෑරීම කටයුතු. කේසා, ලොමා, නඛා, දන්තා, තචො යි හදාරා නැවත පටිලොම් වශයෙන් තචො, දන්තා, නඛා, ලොමා, කේසා යි හදාළයුතු. එයට ඉක්බිති වක්කපඤ්චකයෙහි මංසං, නහාරු, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං යි අනුලොම වශයෙන් කියා නැවත ප්‍රතිලොම වශයෙන් වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහාරු, මංසං, තචො, දන්තා, නඛා, ලොමා, කේසා යි කියයුතු. එයට ඉක්බිතිව පප්ඵාසපඤ්චකයෙහි හදයං, යකනං, කිලොමකං, පිහකං, පප්ඵාසං යි අනුලොම වශයෙන් කියා නැවතත් පටිලොම වශයෙන් පප්ඵාසං, පිහකං, යනාදීන් කේසා දක්වා කියයුතු. එයට අනතුරුව මත්‍ථලුඞ්ග පඤ්චකයෙහි අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්ථලුඞ්ගං යි අනුලොම වශයෙන් කියා නැවත පටිලොම වශයෙන් මත්ථලුඞ්ගං යන තැන් සිට කෙසා යන පදය දක්වා කිවයුතු. එයට ඉක්බිතිව මෙදො ෂට්කයෙහි පිත්තං, සෙම්හං, පුබ්බො, ලොහිතං, සෙදො, මෙදො යි කියා නැවත පටිලොම වශයෙන් මෙදො සිට කෙසා දක්වා කියයුතු. එයට ඉක්බිතිව මුත්ත ෂට්කයෙහි අස්සු, වසා, ඛෙළො, සිඞ්ඝානිකා, ලසිකා, මුත්තං යි අනුලොම වශයෙන් කියා නැවතත් පටිලොම වශයෙන් මුත්තං යන පදය සිට කෙසා යන පදය දක්වා කිවයුතු. මෙසේ මේ දෙතිස් පදයෝ අනුලොම වශයෙන් සියදහස් වර නොව ලක්ෂ ගණන් වුවත් හැදෑරීම කටයුතු. යම් හෙයකින් බසින් හැදෑරීම කරණකොට ගෙන කමටහන් පෙළ පුහුණු වේද, ඔබිමොබ්බ සිත් නොදිවේද, කෙස් ලොම් ආදි කොටස්හු ප්‍රකාශ වූවෝ වෙත්ද, ඉදිරිපත් කළ දෙඅතුල තල ඇඟිලි පෙළක් මෙන් වැටහේද, එතෙක් සජ්ඣායනා කළ යුතු.
බසින් යම් සේ හැදෑරීම කටයුත්තේද එපරිද්දෙන්ම සිතිනුදු හැදෑරීම කටයුත්තේය. බසින් හැදෑරීම සිතින් හැදෑරීමට ප්‍රත්‍යය වන්නේය. සිතින් හැදෑරීම අසුභ ලක්ෂණ නොහොත් ධාතු ලක්ෂණ ප්‍රතිවෙධයට ප්‍රත්‍යය වේ. ධාතු ලක්ෂණ ප්‍රතිවෙධය මාර්ග ඵල ප්‍රතිවෙධයට ප්‍රත්‍යය වේ.
වර්ණ වශයෙන් යනු කෙසාදින්ගේ කළු සුදු ආදී වර්ණයන් දැක හැඳිනීම ය.
සණ්ඨාන යනු කෙසාදී කොට්ඨාසයන්ගේ සටහන සැළකීමය.
දිසා වශයෙන් යනු මේ සිරුරෙහි නාහි පෙදෙසින් මතු සිරුර උපරිම දිසා හෙවත් උඩදිග නම්. නැබින් යට සිරුර හෙට්ඨිම දිසා හෙවත් යටදිග නම්. එහෙයින් මේ මේ කුණප කොටස් මේ මේ දිග්හි යයි දිශා වශයෙන් සැළකීමය.
ඔකාස වශයෙන් යනු - මෙසේ කුණප කොට්ඨාස මෙනම් මෙනම් අවකාශයෙහි හෙවත් ඉඩමෙහි පිහිටියේය යි ඒ ඒ කුණප කොටස් පිහිටි ඉඩම් වශයෙන් සැළකීමය.
පරිච්ඡේද වශයෙන් යනු සභාග පරිච්ඡේද, විසභාග පරිච්ඡේද යයි විවිධ වේ. තමාගේ කොටසින් පිරිසිඳීම සභාග පරිච්ඡේද නම්. සභාග නොවූ කොටසකින් පිරිසිඳීම විසභාග පරිච්ඡේද යයි. මේ කුණප කොට්ඨාසයන් යටිනුදු, උඩිනුදු, සරසිනුදු මෙනම් පිරිසිඳීමකින් පිරිසිඳින ලදැයි’ මෙසේ තමාගේ කොටසින් පිරිසිඳීම සභාග පරිච්ඡේද නම්. කෙස්හු ලොම්හු නොවෙත්, ලොම්හු කෙස්හු නොවෙත්, මේ නයින් මිශ්රනොවූවන්ගේ වශයෙන් පිරිසිඳීම විසභාග පරිච්ඡේද ය යි.
මෙසේ සප්තප්රකාරයකින් උද්ග්‍රහණ කෞශල්‍ය සංඛ්‍යාත ඥානය අස්වන්නා වූ ආචාය්යවරයා විසින් මේ කමටහන අසුවල් සූත්‍රයෙහි ප්‍රතික්කූල වශයෙන් ද, අසුවල් සූත්‍රයෙහි ධාතු වශයෙන් ද දේශනා කරන ලදැයි කියා දිය යුතුයි.
මේ කමටහන මහා සතිපට්ඨාන සූත්‍රයෙහි පටික්කූල මනසිකාර වශයෙන් ද, මහා හත්ථි පදොපම, මහා රාහුලොවාද, ධාතු විභංග නම් වූ පුක්කුසාති සූත්‍රය යන සූත්‍රයන්හි ධාතු වශයෙන් ද, කායගතාසති සූත්‍රයෙහි ධාතු වශයෙන් ද වදාළ කමටහන විදර්ශනා කර්මස්ථාන නම් වේ. පටික්කූල වශයෙන් වදාළ කමටහන සමථ කර්මස්ථාන නම් වේ.
සතිපට්ඨාන විභඞ්ගයෙහි දී ඒ කමටහන සමථ කර්මස්ථාන නම් වේ.
මෙසේ සත් පරිද්දෙකින් උද්ග්‍රහණ කෞශල්‍ය ඇති කොට ඉක්බිතිව දශ ප්‍රකාරයකින් මනසිකාර කෞශල්‍යය ඇතිකල යුතුයි, ඒ දශවිධිය නම්:-
- අනුපුබ්බ වශයෙන් හෙවත් පිළිවෙල නො යික්මවීම වශයෙන්,
- නාතිසිඝ්ර වශයෙන් හෙවත් ඉතා යුහුසුළු නොවීම් වශයෙන්,
- නාතිසනික වශයෙන් හෙවත් ඉතා ලස් නොවීම් වශයෙන්,
- වික්ෂේප පටිබාහන වශයෙන් හෙවත් බහිද්ධාලම්බනයන් ගෙන් චිත්තයාගේ වික්ෂේපය වැළැක් වීම් වශයෙන්,
- ප්රඥප්ති සමතික්කමන වශයෙන් හෙවත් කෙස් ලොම් ආදී ප්රඥප්තිය ඉක්මවීම් වශයෙන්,
- අනුපුබ්බ මුඤ්චන වශයෙන් හෙවත් නො වැටහෙන කොටස් ක්‍රමයෙන් මුදවීම් වශයෙන්,
- අර්පණා වශයෙන්,
- අධිවිත්ත සූත්‍රය, වශයෙන්,
- සීතිභාව සූත්‍රය වශයෙන්,
- බොජ්ඣඞ්ග කොසල්ල සූත්‍රය වශයෙන් යනුයි.
- අනුපුබ්බ වශයෙන් මනසිකාරය ඇතිකිරීම නම් බසිනුදු සිතිනුදු පුහුණු කිරීමේදී දේශනාපාළිය අනුව පිළිවෙල නොයික්මවා කෙසා, ලොමා, නඛා, දන්තා ආදි වශයෙන් පුහුණු කිරීමය. කෙසා, නඛා, තචො, යනාදි වශයෙන් එකක් හෝ දෙකක් හැර නොකියයුතු. එසේ කියන්නේ නම් අදක්ෂ වූ පුද්ගලයෙක් දෙතිස් පෙත්තක් ඇති හිණකින් නැග යාමේදී පෙති එකක් හැර එකක පා තබා යාමෙන් බොහෝ විඩාවට පත්වන්නාක්මෙන් භාවනා බලයෙන් පැමිණියයුතු යම් සැපතක් ඇත්නම් එයට නොපැමිණ විඩාවට පත්ව කලාන්තව මාර්ගඵල භාවනාස්වාදයට නො පැමිණෙන්නේ ය.
- එසේම ඉතා ඉක්මනින් මෙනෙහි නොකට යුතුයි. ඉක්මනින් මෙනෙහි කරන්නාහට කමටහන කෙළවරට ගියත් එය ප්රකටව නොවැටහෙන හෙයින් ධ්‍යානාදිය වළක්වන්නේ ය.
- එමෙන්ම ඉතා සෙමෙනුදු මෙනෙහි කටයුතු නොවේ. නිමාවට යායුතු කල්හි නොහෙන හෙයිනි. එකල්හිද ධ්‍යානාදිය නොලැබේ.
- කායානුපස්සනාව හැර එයින් අන්‍ය වූ බාහිර අරමුණෙක සිත නොයැවිය යුතු එක් පාදයක් පමණක් තබා යායුතු කුඩා මගක් ඇති ප්‍රපාත මාර්ගයට පිළිපන් අදක්ෂ පුද්ගලතෙමේ නොසළකා ඔබිමොබ බලා යන්නේ ප්‍රපාතයෙහි වැටී අනතුරට පත්වන්නාක් මෙන් භාවනා අරමුණ හැර අන් අරමුණක් ගන්නේනම් ඔහුගේ භාවනාව පිරිහී ධ්‍යානාදී ඵලයන්ගෙන්ද පිරිහෙන්නේය.
- කමටහන පුරුදුවූ කල්හි කෙස් ලොම් ආදී වශයෙන් භාවිත කළ ප්රඥප්තිය ඉක්මවා කමටහන මෙනෙහි කළයුතු. දිය දුර්ලභ කල මිනිස්සු අරණ්‍යයෙහි ලිඳක් දැක, එහි ජලය පිණිස යනු එනු කැමැතිව, මග නොවරදින ලෙස තල්පත් ආදී සළකුණක් බැඳ, ඒ සළකුණෙන් අවුත් නඟද්ද, පැන් බොද්ද, යම් කලෙක්හි ඒ මිනිසුන් නිතර ආගිය පා ලකුණු නිසා මග ප්‍රකටවේද, එවිට බැඳ තිබූ සළකුණ අත්හැර ඒ මගින් කැමති කැමති විටෙක ඇවිත් නඟද්ද පැන් බොද්ද, එපරිද්දෙන් කෙස් ලොම් ආදී වූ ප්රඥප්ති වශයෙන් මෙනෙහි කරන්නාහට පිළිකුල් බව ප්‍රකට වූ කල්හි, කෙස් ලොම් යන ප්රඥප්තිය ඉක්මවා පිළිකුල් ආකාරයෙහිම භාවනා සිත පිහිටවිය යුතු.
- තවද යම් යම් කුණප කොටසෙක් නොවැටහේ ද, ඒ ඒ නොවැටහෙන කුණප කොටස් අත්හරිමින් අනුපුබ්බමුඤ්චන වශයෙන් වැඩිය යුතුයි. පිළිවෙලින් කෙශයෙන් පටන්ගෙන මුත්තං දක්වා දෙතිස් කුණපයන් අනුලොම ප්‍රතිලොම වශයෙන් මෙනෙහි කරන ආදි කර්මිකයාහට සමහර කොටස් නොවැටහෙත්, සමහර කොටස් වැටහෙත්. වැටහෙන්නාවූ කොටස් අතුරෙන් ද වැඩියෙන්ම වැටහෙන කොටස් දෙකක් ගෙන මෙනෙහි කටයුතු ඒ දෙක අතුරෙන් ද වඩාත් වැටහෙන එක් කොටසක් ගෙන එය නැවත නැවත මෙනෙහි කරන්නේ නම්, ඔහුගේ සිත අර්පණා බවට පැමිණේ.
තල්ගස් දෙතිසක් ඇති තල් වනයෙක්හි වසන්නාවූ වඳුරකු අල්වාගනු කැමැති එක් වැද්දෙක් පළමු තල් ගසෙහි පත්‍රයට හීයෙන් විද හඬ නගන්නේය. එකල්හි ඒ වඳුරු තෙම පිළිවෙලින් ඒ ඒ තල්ගසෙන් තල්ගසට පැන කෙළවර තල්ගසට යන්නේය. වැදිතෙමේද ගසින් ගස තල්පත් හීයෙන් විද කෙළවර ගස දක්වා විඳිමින් යන්නේය. එතැන සිටි වඳුරා නැවත ආපසු හැරී ගසින් ගසට පැන ක්‍රමයෙන් පළමු ගස දක්වා එන්නේය. වැදි තෙමේද වඳුරා පසුපසෙහි ක්‍රමයෙන් විඳිමින් පළමු ගස දක්වා යයි. මෙසේ දෙදෙනාම මුල් තල්ගස සිට අග ගස දක්වා ද, අග සිට මුල් ගස දක්වා ද පිළිවෙලින් යන්නාහ. වඳුරුතෙම එක් නොවිදපු තල් ගොබයක් දැඩි කොට අල්වාගෙන ඉදින් විදිනු ලබන්නේවී නමුත් අත් නොහරින්නෙමියි සිතමින් එක්තැන්ව සිටී. මේ උපමාවෙහි තාලවනයෙහි දෙතිස් තල්ගස්හු යම්සේ ද, එමෙන් මේ රූප කයෙහි දෙතිස් කුණපයන් දතයුතු. වානරයා මෙන් චිත්තයද, වැද්දා මෙන් යෝගාවචරයා ද, වානරයාගේ දෙතිස් තලක් ඇති තල් වනයෙහි විසීම මෙන් යෝගීහුගේ චිත්තයාගේ දෙතිස් කුණප කොටස් ඇති රූප කායයෙහි අරමුණු කිරීම් වශයෙන් නැවත නැවත පැවැත්මද දතයුතු. වැද්දා විසින් මුල පටන් පිළිවෙලින් තල්පත් විදිනු ලබන කල්හි වානරතෙම මුල් ගස සිට අග දක්වා යන්නාක් මෙන් යෝගාවචරයාගේ කෙසා යයි මෙනෙහි කරන්නට ආරම්භ කළ තැන් පටන් අග දක්වා මෙනෙහි කිරීම දතයුතු. වානරයා වැද්දාගේ හී පහරින් වළකිනු සඳහා ගසින් ගසට ගොස් එක් ගසෙක්හි තදකොට අල්වාගෙන සිටින්නක්හු මෙන් ප්‍රකට වූ එක් අරමුණක් හෙවත් කොට්ඨාසයක් ගෙන මෙනෙහි කිරීම දතයුතු.
- අර්පණා වශයෙන් යනු කෙසාදීන් අතුරෙන් එකී එකී කොටසෙහි අර්පණාප්රාප්ත වීමය.
- අධිචිත්ත සූත්‍රයෙහි වදාළ පරිදි යනු අධිචිත්තය හෙවත් සමථ විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයා විසින් තුන් අරමුණක් කලින් කල මෙනෙහි කිරීමය. එනම් කලින් කල
- සමාධි නිමිත්තය හෙවත් සමාධියට කරුණු වූ අරමුණු ආවර්ජනා කටයුතු.
- කලින් කල පග්ගහ නිමිත්ත හෙවත් වීර්‍ය්‍යයට කරුණු වූ අරමුණ ආවර්ජනා කටයුතු.
- කලින් කල උපෙක්ඛා නිමිත්ත හෙවත් තත්ර මධ්‍යස්ථතා ලක්ෂණයට කරුණු වූ අරමුණු ආවර්ජනා කටයුතු.
ඉදින් සමාධි නිමිත්තම ආවර්ජනය කරන්නේ නම් කුසීත බව ඇතිවීමට කරුණු ඇත. පග්ගහ නිමිත්තම ආවර්ජනය කරන්නේ නම් උද්ධච්චය ඇතිවීමට කරුණු ඇත. උපෙක්ඛා නිමිත්තම ආවර්ජනය කරන්නේ නම් ඔහුගේ සිත ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම පිණිස සමාහිත නොවීමට කරුණු ඇත. එබැවින් කලින් කල සමාධි නිමිත්ත ද, කලින් කල පග්ගහ නිමිත්ත ද, කලින් කල උපෙක්ඛා නිමිත්ත ද මෙනෙහි කළයුතු.
රන්කරුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ කෝවය බැඳ, කෝව මුව දල්වා හඬුවෙන් රන අල්වාගෙන කෝව මුවෙහි බහා කලින් කල පිඹියි. කලින් කල දිය ඉසියි. කලින් කල උපෙක්ෂා වශයෙන් බලා සිටියි. එසේ නොකොට ඔහු නිතරම පිඹන්නේනම් ඒ රන හුනුවී ද, යන්නට කරුණු ඇත නිතරම ජලය ඉසීනම් ඒ රන සීතව නිවී යාමට කරුණු ඇත. නිතරම උපෙක්ෂාවෙන් බලා සිටී නම් ඒ රන පැසීමට නොයන්නේය. නමුත් ඔහු සිහියෙන් යුක්තව කලින් කල පිඹිනම් කලින් කල දිය ඉසී නම් කලින්කල උපෙක්ෂාවෙන් සිටිනම් ඒ රන කර්මණ්ය භාවයට හා පරිශුද්ධ භාවයට පත්වී කැමති කැමති ආභරණ සාදාගැනීමටත් හැකි වන්නේය.
එමෙන්ම සමථ විදර්ශනා වඩන්නාවූ යෝගාවචර තෙමේ කලින් කල සමාධි නිමිත්ත ද, කලින් කල පග්ගහ නිමිත්ත ද කලින් කල උපෙක්ඛා නිමිත්ත ද ආවර්ජනය කරන්නේ නම් ඔහුගේ ඒ අධිවිත්තය, ආශ්‍රවයන්ගේ ක්ෂයවීම පිණිස ද, ඍද්ධිවිධාදී අභිඥාවන් සාක්ෂාත්කර ගැනීමට ද යෝග්‍ය බවට පැමිණේ.
9. සීති භාව සූත්‍රයෙහිදී කරුණු සයක් නිර්වාණය නොහොත් ක්ලේශදාහ ව්යුපසමය පසක් කරන්නට පොහොසත් බව වදාරා තිබේ. එනම්:-
- නිග්‍රහ කිරීම නොහොත් භාවනානුයෝගී පුද්ගලයා විසින් තම සන්තානයෙහි උද්ධච්ච ථීනමිද්ධාදි නිග්‍රහ කටයුතු ධර්මයන් ඇති කල්හි ඒ සිතට නිග්‍රහ කෙරෙයි.
- ප්‍රග්‍රහ නොහොත් වීර්‍ය්‍ය කටයුතු කල්හි වීර්‍ය්‍යය කෙරෙයි.
- සම්පහංසනය හෙවත් සිත තොස පත් කළයුතු හෙවත් පැහැපත් කළයුතු කල්හි පැහැපත් කෙරෙයි.
- අජ්ඣුපෙක්ඛා නොහොත් සිත අලීනව, අනුද්ධතව, මනාකොට භාවනා වීථියට බැසගත් කල්හි නිග්‍රහ, ප්‍රග්‍රහ, සම්පහංසනාදිය නොකොට මැදහත්ව විසීම කෙරෙයි.
- උතුම් මාර්ගඵලයන්හි අදහස් ඇත්තෙක්ද වේ.
- නිවන් පතන්නෙක්ද වේ. 10 බොජ්ඣඞ්ග කෞශල්‍ය සූත්‍රයෙහි දක්වනලද පරිදි සප්තබෝධ්යාඞ්ග ධර්මයන් ද වැඩිවියයුතු වේ.
මෙසේ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින් සප්තවිධ වූ උග්‍රහ කෞශල්‍යයද, දසවිධ වූ මනසිකාර කෞශල්‍යයද ඇති කරවීමෙන් කමටහන මනාකොට ඉගැන්විය යුතු.
මෙපරිද්දෙන් කමටහන උද්ග්‍රහණය කළ පුද්ගල තෙමේ කමටහන් වැඩීමට හෙවත් භාවනාවට නුසුදුසු වූ සෙනසුන් හැර මහාවාසාදි අටළොස් සෙනසුන් දොසින් තොර වූ සුදුසු වූ සෙනසුනක වසන්නේ දීර්ඝ කෙස් නිය හරණාදි වශයෙන් කුඩා පළිබෝධයන් දුරුකොට රාග චරිත පුද්ගලයෙක් වීනම් ඔහු විසින් පළමුකොට රාගය දුරු කටයුත්තේද, එහෙයින් මෙ පටික්කූල මනසිකාරයෙහි පරිකර්මය කටයුතු.
පරිකර්මභාවනා කරන්නාවූ යෝගාවචරයා විසින් පළමු කොට කෙස්හි අසුභාකාර නිමිත්ත ගතයුතු. ඉක්බිති අනිකුදු කොටස් පිළිවෙලින් ගෙන මෙනෙහි කටයුතු. මෙසේ සියලුම කොටස් වර්ණය, සටහනය, දිශාය, අව- කාශය, පරිච්ඡේදය යන මොවුන්ගේ වශයෙන් නිශ්චය කොට, වර්ණය, සටහනය, ගන්ධය, නිශ්‍රය, අවකාශය යන මොවුන්ගේ වශයෙන් පස් ප්‍රකාරයකින් පිළිකුල් බැව් නිශ්චය කටයුතු. අනුලොම පටිලොම වශයෙන් මෙසේ මෙනෙහි කරන්නාහට කෙසාදි ප්රඥප්තිය ඉක්මවීම් වශයෙන් යම්සේ ඇස් ඇත්තාවූ පුරුෂයාහට දෙතිස් වැදෑරුම් වර්ණවත්වූ කුසුමයන්ගේ එක්හුයෙහි ගෙතූ මල් දම බලනුවනට සියලු පුෂ්පයෝ පෙරපසුනොව එකවට මෙන් ප්රකටවූවාහු වෙද්ද, එපරිද්දෙන්ම මේ කයෙහි කෙස්හු ඇත්තාහ යනාදි වශයෙන් මේ කය බලනුවනට වර්ණාදි වශයෙන් නිශ්චිතවූ පිළිකුල් ආකාරයෙන් වැටහුනු ඒ කොට්ඨාස ධර්මයන් පෙරපසු නුවූවාක් මෙන් හෙවත් එකවට මෙන් පහළ වෙත් බහිද්ධ සන්තානයෙහි හෙවත් පරසත්ත්වකායයෙහි ප්රතික්කුලමනසිකාරය ඵල වූ ඒ යෝගාවචරයාහට තම සිරුරෙහි පිළිකුල් බව වැටහුනු පරිද්දෙන්, පරසිරුරෙහිද සියලුම කොටසුන් පිළිකුල් වශයෙන් වැටහුණු කල්හි ඇවිදින්නාවූ සියලු මිනිස් තිරිසන් ආදී සත්ත්වයන්, සත්ත්ව පුද්ගල භාවය හැර කුණප කොට්ඨාස රාශියකගේ වශයෙන්ම වැටහෙයි. එසේ වැටහෙන කල්හි අනුපූර්ව මුඤ්චනාදී වශයෙන් හෙවත් නොවැටහෙන නොවැටහෙන කොටසුන් හැරපීම් ආදි වශයෙන් පිළිකුල්යහයි නැවත නැවත කෙසාදි කොට්ඨාසයන් මෙනෙහි කරන්නාවූ යෝගාවචර මහණහට පිළිවෙලින් අර්පණා තොමෝ උපදී ඒ අර්පණාවට පළමුව ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ තියුණු බවත් සමබවත් ඇතිවී අශ්රද්ධාදීන් දුරුවීමෙන් ශක්තිමත්වූ කල්හි විතර්කාදි ධ්යානාඞ්ගයන්ට ඉදුරා ප්රතිපක්ෂ භාවයෙන් සිටි නීවරණයෝ ඔවුන් හා එක්ව උපන් පාප ධර්මයන් හා සමග යටපත්වූවාහුම වෙත්. එවිට උපචාර සමාධියෙන් සිත සමථ භාවයට පැමිණෙයි යෝගා වචරතෙමේ එම අරමුණ ආසේවනය කරමින් භාවනා කරමින්, බහුලීකෘත කරමින් අර්පණාවට පැමිණේ. ඒ වර්ණාදි වශයෙන් මෙනෙහිකොට ප්‍රතික්කුල වශයෙන් වැටහී ගිය කොටසුන් අතුරෙන් කෙසාදීන්ගේ වර්ණ සටහන් ආදී වශයෙන් වැටහීම උග්ගහ නිමිත්ත නම් හැම අයුරින් පිළිකුල් වශයෙන් වැටහීම ප්‍රතිභාග නිමිත්ත නම්. මේ ප්‍රතිභාග නිමිත්ත නැවත නැවතත් ආවර්ජනය කරන කල්හි, මෙනෙහි කරන කල්හි තර්කයෙන් විතර්කයෙන් පිරිසිඳින කල්හි සතර නාමස්කන්‍ධයෝ පිළිකුල් බව අරමුණු කරමින් ප්‍රථමධ්‍යාන වශයෙන් අර්පණා සිත උපදී. ප්‍රථමධ්‍යානයට පූර්වකාලයෙහි උපදනා පරිකර්ම උපචාර චිත්තයෝ විතක්ක, විචාර, පීති, සුඛ යන ධ්‍යානාඞ්ගයන් සහිතය. සොමනස්සසහගතය. පිළිකුල් බව අරමුණුකොට ඇත්තාහ. එයට අනතුරුව උපදනා අර්පණා සිත හෙවත් ප්‍රථම ධ්‍යාන සිතද සවිතක්ක සවිචාරය, සප්රීතිය, සොමනස්ස සහගතය, පිළිකුල් බව අරමුණු කොට ඇත්තේය. භූමි වශයෙන් රූපාවචරය, පිළිකුල අරමුණු කරන්නේ වී නමුත් එහි ආනිශංස දක්නා කල්හි සොමනස්සය උපදින බව සැලකියයුතු. එකම අරමුණක්හුගේ බලයෙන්ද සොම්නස උපදී.
මේ කුණප කොට්ඨාස සඞ්ඛ්‍යාත ආරම්මණය ඔදාරිකය. විතර්කයාගේ බලයෙන්ම චිත්තෙකග්ගතාවය උපදී. එහෙයින් ප්‍රථමධ්‍යානය මුත් ද්විතියධ්යානාදිය නූපදී.
කොට්ඨාස වශයෙන් ගෙන භාවනා කරන්නාවූ කල්හි ඇතැම් යෝගාවචරයෙක්හට ඒ ඒ කොට්ඨාස වර්ණ වශයෙන් වැටහෙන්නේය. පෙර භවයන්හිදී වර්ණ කසිණ භාවනා කොට පුරුදු ඇති හෙයින් ඔහට වර්ණයම ප්රකටව වැටහේ. ශරීරයෙහි කෙසාදී නිල්වූ කොටස් නිල වර්ණය වශයෙන්ද රන්වන් පැහැ ඇති තැන් පීත වර්ණ වශයෙන්ද, රත්පැහැ ඇතිතැන් ලොහිත වර්ණ වශයෙන්ද යනාදී ක්‍රමයෙන් වර්ණ වශයෙන් ප්‍රකට වෙත්. එවිට ඔහු ඒ වර්ණ කසිණය වඩා පිළිවෙලින් චතුෂ්ක පඤ්චමධ්යානාදිය උපදවාගෙන එයම පාදක කොට විදසුන් වඩා මාර්ගඵල පිළිවෙලින් රහත් ඵලයට පැමිණේ.
ඇතැම් යෝගාවචරයෙක්හට පෙර පටික්කූල මනසිකාරය කොට පුරුදු ඇති හෙයින් ඒ ඒ කොට්ඨාසයන්හි පිළිකුල් බවම ප්රකටව වැටහෙත්. එසේ පිළිකුල් බව අරමුණු කරමින් ප්‍රථම ධ්‍යානය උපදවාගෙන එය පාදක කොට විදර්ශනා වඩා රහත්ඵලයට පැමිණෙන්නේය.
ඇතැම් යෝගාවචරයෙකුහට ඒ ඒ කොට්ඨාසයන් ධාතු වශයෙන් වැටහේ. පෙර භවයන්හිද ධාතු මනසිකාර කොට පුරුදු ඇති ඔහු මේ මේ කොටස් පඨවිලක්ෂණ ඇත්තේය. මේ මේ කොටස් ආපො ලක්ෂණ ඇත්තේය යනාදී වශයෙන් සතර මහා භූත රූපයන් සහ උපාදාය රූපයන්ද රූපස්කන්ධය වශයෙන් මෙනෙහි කරන්නේය. තවද ඔහු ද්වාර ආයතනාදී වශයෙන්ද මෙනෙහි කරන්නේය. එවිට ඔහට ආයතන ද්වාරයන්ගේ වශයෙන් අරූපී වූ ස්කන්ධයෝ අරමුණු වෙත්. මේ රූපාරූප ධර්මයන් අරමුණු කරන කල්හි ඒ නාමරූප ධර්මයන් පඤ්චස්කන්ධ වශයෙන්ද, ඒ පඤ්චස්කන්ධයෝ ද්වාදසායතන වශයෙන්ද, ද්වාදසායතනයෝ අටළොස් ධාතු වශයෙන් ද වැටහෙත්.
නාමරූප ධර්මයන් ව්‍යවස්ථානය කරන ඒ යෝගාවචර තෙමේ මේ නාමරූපයෝ හේතු රහිතව නූපදින්නාහ. ප්‍රත්‍යයෙන් වෙන්ව නූපදී අවිජ්ජා, තණ්හා, කම්ම, ආහාර යන ප්‍රත්‍යයන්ගේ ශක්තියෙන්ම උපදී. අතීතාදී කාලවශයෙන් බලන කල්හිද මේ ප්රත්යයෝම වෙත්. මෙහි සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත. මෙයාකාරයෙන් සංස්කාර ධර්මයන් සම්මර්ශනය කොට හෙතෙම බුද්ධශාසනයෙහි ප්‍රතිෂ්ඨාව ලැබ නියත ගතික වූ හෙවත් නියත සුගති ගති ඇති චුල්ලසෝතාපන්න නම් පුද්ගල බවට පැමිණේ. මෙසේ රහත්ඵල ලැබීමට සුදුසු උතුසප්පාය, පුද්ගල සප්පාය, භෝජන සප්පාය, ධම්ම සවණ සප්පාය ලැබ එක් අස්නෙක හිඳ තිලකුණු නගා විදසුන් පිළිවෙලින් සංස්කාර ධර්මයන් සම්මර්ශනය කරන්නේ රහත් ඵලය ලබයි.
මෙසේ කායානුපස්සනා සතිපට්ඨානය වඩන්නා වූ යෝගාවචර තෙමේ දෙතිස් කුණප කොට්ඨාසයන්හි එක්සිය සැට නිමිත්තක් දක්නේය. එනම් එක් කොට්ඨාසයක වර්ණ නිමිත්තය, සංස්ථාන නිමිත්තය, දිසා නිමිත්තය, ඔකාස නිමිත්තය, පරිච්ඡේද නිමිත්තය යන පඤ්ච ප්‍රකාර නිමිති වශයෙන් දෙතිස් කොට්ඨාසයන්හි එක්සිය සැට (160) නිමිති වන්නේය.
ලක්ෂණ වශයෙන් බලන්නාවූ ඔහු එක්සිය අටවිස්සක් ලක්ෂණ දකින්නේය. එනම් එක් කොට්ඨාසයෙක්හි මේ තද බවය යි කියන ලද ලක්ෂණය, මේ බැඳ ගලපන බවයයි
කියන ලද ලක්ෂණය, මේ උණුසුම් බවයයි කියන ලද ලක්ෂණය, වේ විෂ්ටම්භනය හෙවත් හම්මවන බව යයි කියන ලද ලක්ෂණය යන සතරවිධ ලක්ෂණයන්ගේ වශයෙන් දෙතිස් කොට්ඨාසයන්හි එක්සිය අටවිසි (128) ලක්ෂණයන් දකිත්.
ධාතු වශයෙන් බලන්නාවූ ඔහු විසින් එක්සිය අටවිසි (128) ධාතු කෙනෙක් දක්නා ලැබේ. කෙසාදී එක් එක් කොට්ඨාසයෙක්හි කැකුළු බව, රළු බව, දැඩි බව පඨවි ධාතු නමි. බැඳෙන බව ආපොධාතු නමි, උණුසුම් බව තියුණු බව තෙජොධාතු නමි, හම්මන බව, රුකුල් දෙන බව වායො ධාතු නමි. මේ ආදි වශයෙන් දෙතිස් කොට්ඨාසයන්හි එක්සිය අටවිසි ධාතු කෙනෙක් දක්නා ලැබේ.
සූන්‍ය වශයෙන් මෙනෙහි කරන්නාවූ ඔහු විසින් එක් එක් කොටසෙහි ත්‍රිවිධ සූන්‍යතා වශයෙන් සයානූවක් (96) සූන්යතාවෝ දක්නා ලැබේ. එනම් ආත්ම සූන්යතාය, ආත්මිය සූන්යතාය, නිත්යභාව සූන්යතාය වශයෙන් දෙතිස් කොට්ඨාසයන්හි සයානූවක් සූන්යතාවෝ වෙත්.
ස්කන්ධාදි වශයෙන් මෙනෙහි කරන්නාවූ යොගාවචර තෙමේ කෙසාදීවූ කොටසුන්හි මෙතෙක් ස්කන්ධයෝය මෙතෙක් ආයතනයෝය, මෙතෙක් ධාතුහුය, මෙතෙක් සත්‍යයෝය මෙතෙක් සතිපට්ඨාතයෝය යනාදි වශයෙන් මෙනෙහි කරන්නේය.
මෙසේ මේ යොගාවචරතෙමේ කායානුපස්සනා වඩන්නේ අධ්‍යාත්ම රූප කයෙහි ද, පරසන්තානගත රූපකයෙහිද, අධ්‍යාත්මික බාහිර රූප කායයන්හිද පිළිකුල්බවම නිස්සාර බවම නැවත නැවත අරමුණු කරමින් වාසය කරන්නේය. හෙතෙම කෙලෙස් තවන වීර්ය්යයෙන්ද යුක්තව සම්පජඤ්ඤයයි කියන ලද නුවණින් වාසය කරන්නේ සම්මා සතියෙන් යුක්තව භාවනා අරමුණ නොහැර වඩන්නාවූ කල්හි මේ පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත ලෝකයෙහි යථා තත්ත්ව යෙන් වැටහීම හේතුකොට ගෙන අභිද්‍යා දෝමනස්සයන්ගේ තදඞ්ග විස්කම්භන ප්‍රහාණ වශයෙන් නැති කිරීමෙන් නීවරණාදී ක්ලේශ ධර්මයන් පහව යන්නේය.
මෙපරිද්දෙන් රූ කය නැවත නැවත දක්නා නුවණ නම් ලද අනුදර්ශනාවෙන් කමටහනද, සතර ඉරියව් වැටුමෙන් කමටහනෙහි නියුක්ත යෝගාවචර මහණහුගේ ශරීර පරිහරණයද, වීර්‍ය්‍යයෙන් සතර සම්‍යග් ප්‍රධානයද, ස්මෘති ප්‍රඥාවෙන් කමටහන රැක්මට කරුණුවූ උපාමගද, නොහොත් කායානු දර්ශනාවෙන් ලබන ලද සමථයද, ප්‍රඥාවෙන් ලබන ලද විදර්ශනාවද, අභිද්‍යා දෝමනස්සයන්ගේ ප්‍රහාණයෙන් භාවනාවෙන් පැමිණිය යුතු ඵලයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.