සතර සතිපට්ඨාන ධර්ම
සති යනු අරමුණ සිහිකිරීමය. අරමුණ වෙත එළඹ විශේෂ වශයෙන් පිහිටීම හෙවත් අරමුණට බැසගෙන පිහිටානුයි, පවතීනුයි යන අර්ථයෙන් පට්ඨාන නම් වේ. සතියම පට්ඨාන වූයේ සතිපට්ඨාන නමි. දෙපනස් (52) චෛතසික ධර්මයන් අතුරෙන් සති චෛතසිකය නම් වූ සිහිය, සම්ප්‍රයුක්ත ධර්මයන් අතුරෙන් ප්රමුඛව හෙවත් ප්‍රධානව, අන් අරමුණුවල සිත පවත්වන්නට නොදී කායාදී එක් අරමුණෙක්හි ස්ථිරව පැවැත්වීම සතිපට්ඨානය බව දතයුතු.
සතිපට්ඨානයෝ සතර දෙනෙකි. එනම්:-
- කායානුපස්සනා සතිපට්ඨානය
- වේදනානුපස්සනා සතිපට්ඨානය
- චිත්තානුපස්සනා සතිපට්ඨානය
- ධම්මානුපස්සනා සතිපට්ඨානය
බුදුරජාණන් වහන්සේ විසින් වෛනෙය ජනයන්ට හිත වැඩ පිණිස සතිපට්ඨාන ධර්ම සතරක් කොට වදාළහ මෙහිදී පුද්ගලයෝ අට කොටසකට බෙදා දක්වනු ලැබේ එනම්:-
- මන්දප්රාඥ තෘෂ්ණා චරිත පුද්ගලයාය
- තික්ඛප්රාඥ තෘෂ්ණා චරිත පුද්ගලයාය.
- මන්දප්රාඥ දෘෂ්ටි චරිත පුද්ගලයාය
- තික්ඛප්රාඥ දෘෂ්ටි චරිත පුද්ගලයාය
- මන්දප්රාඥ සමථයානික පුද්ගලයාය
- තික්ඛප්රාඥ සමථයානික පුද්ගලයාය
- මන්දප්රාඥ විපස්සනායානික පුද්ගලයාය
- තික්ඛප්රාඥ විපස්සනායානික පුද්ගලයාය
මොවුන් අතුරෙන් මෘදුලප්රඥෙන්ද්රිය ඇති හෙවත් මන්ද ප්‍රාඥවූ තෘෂ්ණාව බහුලකොට ඇති පුද්ගලයාගේ ඕදාරික වූ කායානුපස්සනා සතිපට්ඨානය තෙම විසුද්ධිමාර්ගය හෙවත් අත්‍යන්ත පරිශුද්ධ නිර්වාණ ප්‍රවේශයට උපාය මාර්ග සඞ්ඛ්‍යාත හේතුව වන හෙයින් ඕහට හිත වැඩ පිණිස කායානු- පස්සනා සතිපට්ඨානය දේශනා කළ සේක.
එපරිද්දෙන්ම තික්ඛප්රාඥ තෘෂ්ණා චරිත පුද්ගලයාහට සියුම් වූ වේදනානුපස්සනා සතිපට්ඨානය ද,
මන්දප්රාඥ දෘෂ්ටි චරිත පුද්ගලයාහට වැඩියක් ප්‍රභේද නැත්තාවූ චිත්තානුපස්සනා සතිපට්ඨානය ද,
තික්ඛප්රාඥ දෘෂ්ටි චරිත පුද්ගලයාහට වැඩියක් ප්‍රභේද ඇත්තාවූ ධම්මානුපස්සනා සතිපට්ඨානය ද,
මන්දප්රාඥ සමථයානිකයාහට නිදුකින් පැමිණිය යුතු අරමුණ වූ කායානුපස්සනා සතිපට්ඨානය ද,
තික්ඛප්රාඥ සමථයානිකයාහට ඕදාරික වූ ආරම්මණයෙහි නොපිහිටන හෙයින් වේදනානුපස්සනා සති- පට්ඨානය ද,
මන්දප්රාඥ විදර්ශනායානිකයා හට වැඩියක් ප්‍රභේදයට නොපැමිණි අරමුණ වූ චිත්තානුපස්සනා සතිපට්ඨානය ද,
තික්ඛප්රාඥ විදර්ශනායානිකයාහට වැඩියක් ප්‍රභේදයට පත් අරමුණ වූ ධම්මානුපස්සනා සතිපට්ඨානය ද විසුද්ධි මාර්ගය වන හෙයින් ඒ ඒ පුද්ගලයන්ට හිත වැඩ පිණිස මෙසේ සතිපට්ඨාන ධර්ම සතරක් කොට වදාළ සේක.
එපමණක් නොව, සුභය, සුඛය, නිත්‍යය, ආත්මය යන විපල්ලාසයන්ගේ ප්රහාණය සඳහාත් සතරකට අඩුත් නොවූ, සතරකට වැඩිත් නොවූ චතුර්විධ වූ ම සතිපට්ඨාන ධර්ම කෙනෙක් භාග්‍යවතුන්වහන්සේ දේශනා කළ සේක
රූප කාය සුභ වශයෙන් ගත් පුද්ගලාහට එය අසුභ වශයෙන් දැක්වීමෙන් සුභ විපල්ලාසය ප්‍රහීණ වන බැවින් කායානුපස්සනා සතිපට්ඨානය ද,
වේදනාව සුඛ වශයෙන් ගත් පුද්ගලයාහට එය දුක්ඛ වශයෙන් දැක්වීමෙන් සුඛ විපල්ලාසය ප්‍රහීණ වන බැවින් වේදනානුපස්සනා සතිපට්ඨානය ද,
චිත්තය නිත්‍ය වශයෙන් ගත් පුද්ගලයා හට එය අනිත්‍ය වශයෙන් දැක්වීමෙන් නිත්‍ය විපල්ලාසය ප්‍රහීණ වන බැවින් චිත්තානුපස්සනා සතිපට්ඨානය ද,
ධර්මයන් ආත්ම වශයෙන් ගත් පුද්ගලයා හට එය අනාත්ම වශයෙන් දැක්වීමෙන් ආත්මය යන විපල්ලාසය ප්‍රහීණ වන බැවින් ධම්මානුපස්සනා සතිපට්ඨානය ද දේශනා කරණ ලදි.
තවද, චතුර්විධ ඕඝය, චතුර්විධ යෝගය, චතුර්විධ ආශ්‍රවය, චතුර්විධ ග්‍රන්ථය, චතුර්විධ උපාදානය යන මොවුන්ගේ ප්රහාණය පිණිසත්, චතුර්විධ ආහාරයන් පිරිසිඳ දැනීම සඳහාත් චතුර්විධ සතිපට්ඨාන ධර්ම කෙනෙක් දක්වා වදාළ සේක.
පඤ්චකාම ගුණයෝ රූප කායයෙහි ලැබෙන හෙයින් ද විශේෂයෙන් කාමෝඝයට ද, කාමයෝගයට ද කාමාශ්රවයට ද කරුණු වන හෙයින් ද එකි ධර්මයන්ගේ ප්රහාණය පිණිස කායානුපස්සනා, සතිපට්ඨානය ද,
භවය සුඛයයි වරදවා ගැනීම් වශයෙන් භවය අශ්වාද කරන බැවින් වේදනාව භවෝඝයට ද, භවයෝගයට ද, භවාශ්රවයට ද කරුණු වන හෙයින් එහි ප්රහාණය පිණිස වේදනානුපස්සනා සතිපට්ඨානය ද,
සන්තති ඝන බහල භාවය වරදවා ගැනීම් වශයෙන් චිත්තයෙහි ආත්මාහිනිවේශය වන හෙයින් චිත්තය දිට්ඨොඝයට ද, දිට්ඨියෝගයට ද, දිට්ඨාශ්රවයට ද කරුණු වන හෙයින් එහි ප්රහාණය පිණිස චිත්තානුපස්සනා සතිපට්ඨානය ද,
ස්වභාව ධර්මයන්ගේ විනිර්භෝගය හෙවත් වෙන්කිරීමත්, ස්වභාව ධර්මයන්ගේ ධර්ම මාත්‍ර භාවයත් දැනගැනීමට නොහැකි බැවින් සංඥා සංස්කාර ධර්මයෝ අවිද්යෝඝයට ද අවිද්යායෝගයට ද, අවිද්යාශ්රවයට ද කරණු වන හෙයින්, එහි ප්රහාණය පිණිස ධම්මානුපස්සනා සතිපට්ඨානය ද දේශනා කරණ ලදි.
තවද, රූපකය අභිජ්ඣා කාය ග්රන්ථයට කරුණු වන හෙයින් එය දුරු කිරීම පිණිස කායානුපස්සනා සතිපට්ඨානය දේශනා කළ සේක.
දුක්ඛ වේදනාව කරණකොටගෙන පටිඝානුසය, සන්තානයෙහි නැවත නැවත නැග එන්නේවේ ද, එහෙයින් දුක්ඛ දුක්ඛ, විපරිනාම දුක්ඛ, සංඛාර දුක්ඛ වශයෙන් සියලු වේදනාවෝ ව්‍යාපාද කාය ග්රන්ථයට කරණු වේ. එහි ප්රහාණය පිණිස වේදනානුපස්සනා සතිපට්ඨානය දෙසූ සේක.
චිත්තයෙහි ආත්මාභිනිවේශයෙන් නිත්‍ය යයි වරදවාගෙන, ශාස්වත දෘෂ්ටියන්, තමාගේ සීලයෙන් ශුද්ධිය වේය යන යම් පරාමර්ශනයක් වේද, එහෙයින් චිත්තය සීලබ්බතපරමාශ කායග්රන්ථයට කරුණු වේ. එහි ප්රහාණය පිණිස චිත්තානුපස්සනා සතිපට්ඨානය දෙසූ සේක.
නාමරූප ධර්ම සඞ්ඛ්‍යාත පරමාර්‍ත්‍ථ සත්‍ය ධර්මයන්, පරමාර්‍ත්‍ථ සත්‍ය වශයෙන් නොදක්නහුට ශාස්වත උච්ඡේද දෘෂ්ටි සඞ්ඛ්‍යාත වූ ඉදංසච්චාභිනිවේශය වන හෙයින්, එය ඉදංසච්චාභිනිවේශ කාය ග්රන්ථයට කරුණුවේ. එය නැසීම පිණිස ධම්මානුපස්සනා සතිපට්ඨානය දෙසු සේක.
මෙසේම කාමුපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතුපාදාන, අත්තචාදුපාදාන යන සතර උපාදානයන්ගේ ප්රහාණය පිණිස ද, පිළිවෙලින් කායානුපස්සනා, වෙදනානුපස්සනා චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයන් දෙසූ සේක.
තවද, කායානුපස්සනා සතිපට්ඨානය වඩන්නාවූ පුද්ගලයා, කායයාගේ හටගැනීමට හේතුව වූ කබලිකාරා- හාරය පිරිසිඳ දනී.
වෙදනානුපස්සනා සතිපට්ඨානය වඩන්නාවූ පුද්ගලයා වෙදනාවගේ හටගැනීමට හේතුව වූ ඵස්සාහාරය පිරිසිඳ දනී.
චිත්තානුපස්සනා සතිපට්ඨානය වඩන්නාවූ පුද්ගලයා විඤ්ඤාණයාගේ හටගැනීමට හේතුව වූ මනෝසඤ්චෙතනා- හාරය පිරිසිඳ දනී.
ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩන්නාවූ පුද්ගලයා නාමරූප ධර්මයන්ගේ හටගැනීමට හේතුව වූ විඤ්ඤාණාහාරය පිරිසිඳ දනී.
එකත්තසමොසරණ වශයෙන් හෙවත් ඒකස්වභාව වූ එකත්ව නම් ලද නිර්වාණයෙහි සාක්ෂාත් කිරීම් වශයෙන් අසම්මිශ්‍ර වූ හෙවත් එකලා වූ ම සතිපට්ඨානය ආලම්බන වශයෙන් සිව්දෙනෙක් වන්නේය.
සිව් දොරක් ඇති නුවරෙක්හි පෙරදිගින් එන්නාවූ වනිග් ජනයෝ හෙවත් වෙළෙන්දෝ පෙරදිග උපදනාවූ විකිණිය හැකි බඩු ගෙන, පෙරදිග පුර දොරින් නුවරට යම්සේ ඇතුල්වේද, එසේම දකුණු දිගින් ද, අපරදිගින් ද, උතුරු දිගින් ද එන්නාවූ ජනයෝ දකුණු දොරටුවෙන් ද, අපරදිග දොරටුවෙන් ද උතුරුදිග් දොරටුවෙන් ද පිළිවෙලින් නුවරට ඇතුල්වේද, එමෙන්ම නිර්වාණ නමැති මහා නගරයට ප්‍රවිෂ්ට වනු කැමැති පුද්ගලයෝ මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩා එහි ආනුභාවයෙන් නිපයන ලද්දාවූ ආර්‍ය්‍ය මාර්ගයෙන් එකම පරිනිර්වාණයටම වදිති.
මෙහි නුවර මෙන් නිර්වාණයද, සතර සතිපට්ඨාන ධර්මයන් වැඩීමෙන් නිපයන ලද්දාවූ ආර්‍ය්‍ය මාර්ගයෝ දොරටු සතර මෙන් ද දතයුතු.