බොධිපාක්ෂික සංග්‍රහය
බොධි යනු සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මාර්ග සිත්හි යෙදෙන ප්‍රඥාවට නමෙකි. මේ ආර්‍ය්‍ය මාර්ග ප්‍රඥාව විසින් දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්‍ය්‍යසත්‍යයන් අවබෝධ කරන හෙයින් බොධි යයි කියනු ලැබේ. බොධි නම් වූ ආර්‍ය්‍ය මාර්ගයාගේ පක්ෂයෙහි වූ හෙයින් බොධිපාක්ෂික නම් වේ. චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය පිණිස උපකාර වන්නාවූ ධර්මයෝ බොධිපාක්ෂික ධර්ම නම් වෙත්.
බොධිපාක්ෂික ධර්මයෝ සත්තිස් (37) දෙනෙකි. කොටස් වශයෙන් සතෙකි. එනම් :-
- සතර සතිපට්ඨාන 4
- සතර සම්මප්පධාන 4
- සතර සෘද්ධිපාද 4
- පඤ්ච ඉන්ද්රිය 5
- පඤ්ච බල 5
- සප්ත බොජ්ඣඞ්ග 7
- අෂ්ට ආර්‍ය්‍ය මාර්ගාඞ්ග 8
__37__
මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ සතර මාර්ග චිත්තයන්ගේ උත්පත්ති කාලයෙහි හෙවත් මාර්ගක්ෂණයේදී තමතමන්ට අයත් ඒ ඒ කෘත්‍යයන් සිද්ධකරමින් එක මාර්ග සිතෙහිම ලැබෙත්. ඵලක්ෂණයෙහිදී සතර සම්‍යග් ප්‍රධානයන් හැර ඉතිරි තෙතිස් ධර්මයෝ ලැබෙති. මාර්ග හා ඵල සිත්හි උපදනා බෝධිපාක්ෂික ධර්මයෝ නිර්වාණය අරමුණු කරමින් උපදී. නිර්වාණාවබෝධය පිණිස සමථ විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයා හට ලෞකික විදර්ශනා පවත්නා කල්හි මෙකී ධර්ම නානාක්ෂණිකව හෙවත් මාර්ගයට පෙරටුව පූර්වාභාග ප්‍රතිපදා සමයෙහි නොයෙක් ඈසිල්ලෙහි වෙන්වෙන්ව ලැබෙත්. ඥානදර්ශන විසුද්ධියේදී හෙවත් සොවාන් මාර්ගක්ෂණයේදී පරිපූර්ණ බෝධිපාක්ෂික භාවය ඇතිවිය යුතු බව විශේෂයෙන් සැලකිය යුතු.