ආහාරය
සත්ත්වයන් පිළිබඳවූ අධ්‍යාත්ම සන්තතිය පවත්වා ගැනීමට විශේෂයෙන් ප්‍රත්‍ය වන්නාවූ ද, ඕජාට්ඨමක රූප ත්‍රිවිධ වෙදනා, ප්රතිසන්ධි විඤ්ඤාණ, නාම රූප ආදීන් ආහරණය කරණ හෙවත් උපදවන ධර්මයන්ට ආහාරයෝ යයි කියනු ලැබේ. මෙබඳු ආහාරයෝ සතර දෙනෙකි එනම්:-
- කබලීකාරාහාරය
- ඵස්සාහාරය
- මනෝසඤ්චේතනාහාරය
- විඤ්ඤාණාහාරය
1. කබලීකාරාහාරය. කනබොන ආහාරපානයන්නොහොත් පිඬුකොට හෙවත් කබල කොට අනුභව කරන්නාවූ ආහාරයන්ගෙන් හටගත්තා වූ ඕජා සංඛ්‍යාත ආහාර රූපය කබලීකාරාහාරය නම් වේ. උතුසමුට්ඨාන වූ මේ ආහාරයන්ගේ පඨවි, ආපො, තෙජො, වායො, වණ්ණ, ගන්ධ, රස, ඕජා සංඛ්‍යාත ශුද්ධාෂ්ටක රූපයන් අතුරෙන් ඕජාරූපය, ජීවත්වන සත්ත්වයන්ගේ ශරීරාභ්‍යන්තරයට වත් කල්හි, ආහාරජවූ ඕජාට්ඨමක රූප කලාප උපදවත්.
පටිසන්ධික්ෂණයේදී උපදනා කර්මජ රූප කලාපවූ කාය දසක, භාව දසක, වත්‍ථුදසක යන රූප කලාපයන්හිද මේ ඕජා රූප ඇත්තාහ නමුත් ඒ කර්මජ රූපයන්ගේ සන්තතිය පවත්වා ගැනීමට මේ ආහාරජ රූපයෝ උපකාර වෙත් ආහාරයෝ නොලැබෙන්නේ නම් කර්මජ රූප කලාප සන්තතිය පවත්වා ගැණීම දුෂ්කර වේ. බාහිර ඕජාවන්ගෙන් රුකුල් ලැබීම හේතුකොට ගෙන අභ්‍යන්තර ඕජාවෝද ආහාරජ රූප කලාප උපදවත්. සත්ත්ව ශරීර යෙහි හටගන්නා වූ ඍතුජ රූප සන්තතියටද මේ ආහාරය උපකාර වෙත්. ඍතුජ රූප කලාපයන්හි ඇතුළත් වූ ඕජා රූපයෝද, බාහිර ඕජා රූපයන්ගෙන් රුකුල් ලැබ ආහාරජ රූප උපදවත්. මෙසේ සත්ත්වයෙකු පිළිබඳ වූ කර්මජ හෝ ඍතුජ හෝ රූපයන්ගේ පැවැත්මට හා වර්ධනයට මේ කබලිකාරාහාරය නම් වූ ආහාර රූප උපස්ථම්භක වන්නේය. මනුෂ්‍යාදි සත්ත්වයෝ කබලිකාරාහාරය නොලැබීමෙන් ක්‍රමයෙන් දුර්වලවී මියයන්නේ රූප කායයාගේ පැවැත්මට උපස්ථම්භක වන ආහාර නොලැබෙන හෙයිනි.
2. ඵස්සාහාරය. දෙපනස් (52) චෛතසික ධර්මයන් අතුරෙන් පළමුව දක්වන ලද ඵස්ස චෛතසිකය සියළුම සිත්හි යෙදෙන්නේය. ඒ ඵස්සය, සුඛ, දුක්ඛ, උපෙක්ඛාදි වේදනාවෝ ආහරණය කරණු ලබන හෙයින් ඵස්සාහාරය යන නාමයද ලබන්නේය. ආරම්මණය සහ ඵස්සය එක්වූ කල්හි උපදනා චිත්තයෙහි ඒ ආරම්මණ රසය අනුභව කරන්නාවූ වේදනා චෛතසිකයද උපදවනු ලැබේ. මෙසේ උපදනා වේදනාව හේතුකොටගෙන සත්ත්වයාගේ පැවැත්ම වන්නේය. චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ් ද්වාරයන්ට රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම යන අරමුණු හමුවූ කල්හි චක්ඛුසම්ඵස්සජ වෙදනා, සොත සම්ඵස්සජ වෙදනා, ඝාණ සම්ඵස්සජ වෙදනා, ජිව්හා සම්ඵස්සජ වෙදනා, කාය සම්ඵස්සජ වෙදනා, මනො සම්ඵස්සජ වෙදනා යන ෂට් ආකාර වෙදනාවන් ඉපදීමෙන් තෘෂ්ණාව හටගෙන, කම්මවට්ට විපාකවට්ට, කිලෙසවට්ට යන ත්‍රිවිධ වෘත්තයන් පුරමින් සත්ත්වයාගේ ජීවත්වීම ඇතිවන්නේය.
3. මනො සඤ්චෙතනාහාරය යනු චෙතනා චෛතසිකයයි. ලොකොත්තර සිත් හැර ඉතිරි එකුන්තිස් (29) කුසලා කුසල ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චෙතනාවට කර්මය යයි ද කියති. මේ කුසලා කුසල කර්ම සඞ්ඛ්‍යාත චෙතනාවෝ කාම, රූප, අරූප යන භවත්රයෙහිම ප්රතිසන්ධි විඤ්ඤාණය ආහරණය කරණ හෙයින් හෙවත් උපදවන හෙයින් මනොසඤ්චෙතනාහාරයයි කියනු ලැබේ. මෙයින් අකුසල චෙතනාවෝ සතර අපායෙහිද, අට මහා කුසල චෙතනාවෝ සප්ත කාම භූමියෙහිද, නව මහග්ගත චෙතනාවෝ විසි බඹ තලයෙහිද පටිසන්ධිය උපදවත්. මේ කුසලා කුසල සංඛාරයන් නැතිකල්හි කර්ම වෘත්තයක් නොවන්නේය. කර්ම වෘත්තය නැතිකල්හි විපාකවෘත්තයද නොවන්නේය. විපාක වෘත්තය නැති කල්හි ක්ලේශ වෘත්තයක්ද නැත්තේය. එවිට භවයක් ඇති නොවන්නේය. එබැවින් මේ චෙතනාව, මනොසඤ්චෙතනාහාරය වශයෙන් ඇතිවීමෙන් ත්‍රිවිධ භවයන්හි පටිසන්ධිය ගෙනදෙන බව දත යුතු.
4. විඤ්ඤාණාහාරය නම් ප්රතිසන්ධි විඤ්ඤාණයයි. නාමරූප ධර්මයන් ආහරණය කරන හෙයින් එයට විඤ්ඤාණාහාරය යයි කියත්. කුසලා කුසල කර්මයන් හේතුකොට ගෙණ යම් භවයක ප්රතිසන්ධිය ලබන්නේ නම්, ඒ භවයේදී පළමුව හටගන්නාවූ ප්රතිසන්ධි සිත හෙවත් ප්රතිසන්ධි විඤ්ඤාණය හා සමඟම, ඒ සිතට ඇතුළත්ව ඵස්ස, වෙදනා, සංඥා, චෙතනාදි වූ නාම ධර්මයන්ද, රූප ධර්මයන් අතුරෙන් කායදසක, භාවදසක, වත්‍ථුදසක යන ත්‍රිවිධ රූප කලාපයන්ද පහළ වෙත්. එකුන්විසි ප්රතිසන්ධි විඤ්ඤාණයන් අතුරෙන් ඒ ඒ විඤ්ඤාණයෝ අසඤ්ඤ සත්තයෙහි හෙවත් එකවොකාර භවයෙහි රූප මාත්‍රයක්ද, සතර අරූප තලයන්හි හෙවත් චතුවොකාර භවයෙහි නාම මාත්‍රයක්ද, කාමලොක රූප ලොකයන්හි හෙවත් පඤ්චවොකාර භවයන්හි නාමරූප මාත්‍රයක්ද උපදවන හෙවත් පවත්වන අර්ත්ථයෙන් විඤ්ඤාණාභාරය යයි කියනු ලැබේ.