අධිපති ධර්ම
යම් ධර්මකෙනෙක් සම්ප්‍රයුත්ත ධර්මයන් කෙරෙහි පරමාධිපති භාවය හෙවත් පරමෙශ්වර භාවය දක්වන්නේද ඒ ධර්මයට අධිපති ධර්මය යයි කියනු ලැබේ. ඉන්ද්රිය ධර්මයෝ වනාහි තමතමන්ට අයත් කෘත්‍යයන්හි පමණක් සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි ඊශ්වර භාවය සිද්ධ කරන්නේය. අන්‍ය ධර්මයන්ගේ ඊශ්වර භාවය නොවළක්වයි. අධිපති ධර්මයෝ එසේ නොව අන්‍යවූ අධිපතීන්ගේද ඊශ්වර භාවය වළක්වා තෙමේම පරමේශ්වර භාවය සිද්ධ කරන්නේය. එහෙයින් අධිපති ධර්මයෝ ඉන්ද්රිය ධර්මයන්ට වඩා ශක්තිසම්පන්නය. අධිපති ධර්ම කීපයක් එකම චිත්තයෙහි යෙදුන කල්හි එයින් එක් ධර්මයක් පමණක් අධිපති වෙයි. අවශේෂ ධර්මයෝ ඒ ධර්මයට යටත්ව සිටිත්.
අධිපති ධර්මයෝ සතර දෙනෙකි. එනම්:-
- ඡන්දාධිපති
- චිත්තාධිපති
- විරියාධිපති
- විමංසාධිපති
1. ඡන්දාධිපති - යනු ඡන්ද චෛතසික යයි ඡන්දය නොයෙදෙන මොහමූල අකුසල් සිත් දෙකය, අහේතුක සිත් අටළොසය යන විසි චිත්තයන් හැර ඉතිරි එකුන් සැත්තෑ (69) සිත් අතුරෙන් යම් චිත්තයක ඡන්ද චෛතසිකය සම්ප්‍රයුක්ත ධර්මයන්ට වඩා බලවත් වූ කල්හි ඒ ඒ සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ නොයෙක් ශක්තින් වළක්වා තෙමේම අධිපතිභාවය සිද්ධකරන්නේ නම් එයට ඡන්දාධිපතියයි කියනු ලැබේ. යමක් කරණු කැමැත්ත ඇති කල්හි මේ ඡන්ද චෛතසිකය අධිපති භාවය සිද්ධකරන හෙයින් ප්රකටව පෙනෙන්නේය.
2. චිත්තාධිපති - චිත්තයම සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි අධිපතිව පවත්නා කල්හි එයට චිත්තාධිපති යයි කියති. අධිපති භාවය සිද්ධකරන සිත් දෙපනසෙකි (52). එනම්:-
ද්විහේතුක අකුසල ජවන් 10
ද්විහේතුක කුසලක්‍රියා ජවන් 8
ත්‍රිහේතුක කාමකුසලක්රියා ජවන් 8
රූපාවචර කුසලක්‍රියා ජවන් 10
අරූපාවචර කුසලක්‍රියා ජවන් 8
ලොකොත්තර මාර්ගඵල ජවන් 8 52 ජවන් සිත් අතුරෙන් එකම මොහ හේතුව පමණක් ඇති මොහ මූල දෙසිත හා අහේතුක හසිතුප්පාද සිතද චිත්තාධිපති භාවය සිද්ධ නොකරන බව දතයුතු.
3. විරියාධිපති - වීර්‍ය්‍ය චෛතසිකය, සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි අධිපති භාවය දක්වන කල්හි විරියාධිපති යයි කියනු ලැබේ. වීපඤ්ච විඤ්ඤාණයෝය, මනෝධාතු ත්‍රිකය සහ සන්තිරණ ත්‍රිකය යන සොළොස් චිත්තයන් හැර ඉතිරි තෙසැත්තෑ (73) චිත්තයන්හි මේ වීර්‍ය්‍ය චෛතසිකය ලැබේ.
4. විමංසාධිපති යනු ප්‍රඥා චෛතසිකයයි. සත්සාළිස් (47) ඤාණ සම්ප්‍රයුක්ත සිත් අතුරෙන් යම් සිතක ප්‍රඥා චෛතසිකය, සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි අධිපතිභාවය දක්වන්නේ නම්, එයට විමංසාධිපති යයි කියනු ලැබේ.